වල්සපුගල ගොවි අරගලයට එරෙහිව ආන්ඩුවේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ ප්‍රතිගාමී උද්ඝෝෂනයක්

වල්අලින්ගෙන් තම ජීවිතවලට හා වගාවන්ට සිදුවන හානි වලින් ආරක්ෂාව සලසා ගනුවස්, යෝජිත අලි කලමනාකරන රක්ෂිතය ගැසට් කිරීම ඇතුලු ඉල්ලීම් හයක් මත වල්සපුගල ගොවීන් ආරම්භ කර ඇති උද්ඝෝෂනයට අදට දින 70 ක් ගතවී ඇත. ජනවාරි 18 වන දින, වල්සපුගල මංසන්ධියේ ඉදිකෙරුනු වේදිකාවක් මත, ගොවීන් කීප දෙනෙකු සහභාගිවූ සත්‍යග්‍රහයක් ලෙස මෙම උද්ඝෝෂනය ආරම්භ විය. 

වල්සපුගල ගොවීන් ආරම්භ කර ඇති උද්ඝෝෂනය සත්‍යග්‍රහයක් ලෙස

ජනවාරි 21 වන දින, “වලව ඒකාබද්ධ ගොවි සංවිධානයේ” සභාපති මහින්ද සමරවික්‍රම එම වේදිකාව මත උපවාසයක් ආරම්භ කලේය.

ජනවාරි 23 වන දින එම ස්ථානයට පැමිනි ඇමති චමල් රාජපක්ෂ අදාල ගැසට් නිවේදනය මසක් ඇතුලත නිකුත් කරන බවට ලබාදුන් පොරොන්දුව කෙරෙහි විශ්වාසය තබා උපවාසය අවසන් කලද, ගොවීහු සත්‍යග්‍රහය අඛන්ඩව පවත්වාගෙන ගියහ. 

ඇමතිගේ පොරොන්දුව ඉටු නොවුන තතු තුල මාර්තු 7 වන දා නැවතත් උපවාසය ආරම්භ කෙරුනු අතර, 8 වන දා කාන්තාවන් දෙදෙනෙකුද එයට සහභාගිවූහ. උපවාසයේ යෙදුන තිදෙන අසාධ්‍ය තත්වයට පත්වූ තතු තුල, ගොවීහු විශාල පිරිසක් 10 වන දින සූරියවැව නගරයේ විරෝධතාවයක් පවත්වා ඉන් අනතුරුව රථ පෙරහැරකින් අම්බලන්තොට නගරයට පැමින විරෝධතාවයක නිරතවූහ. දහසක පමන සහභාගිත්වයෙන් පැවති එම උද්ඝෝෂනය හේතුවෙන් කොලඹ කතරගම ප්‍රධාන මාර්ගය අවහිර කෙරුනි.

උද්ඝෝෂනය අවසානයේ ගොවි නියෝජිතයන් කිහිප දෙනෙකු සමග හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් සාකච්ජාවක නිරතවිය. සාකච්ජාව අවසානයේ යෝජිත අලි කලමනාකරන රක්ෂිත ගැසට් නිවේදනය නිකුත් කිරීමට කටයුතු කරන බවට සහතික කරන ලද ලිපියක් වනජීවි අධ්‍යක්ෂක ජෙනරාල්ගේ අත්සනින් යුතුව ගොවි නියෝජිතයන්ට භාර දුනි. අනතුරුව උපවාසය අවසන් කර රෝගාතුරව සිටි තිදෙන රෝහල් ගත කරන්ට උද්ඝෝෂකයෝ පියවර ගත්හ. කෙසේ වෙතත් සත්‍යග්‍රහය අඛන්ඩව පවත්වා ගෙන යාමට ගොවීහු කටයුතු කලහ.

ගොවීන් මෙම පොරොන්දුව ඉටුවේදැයි බලා සිටියදී, මාර්තු 23 වන දා හම්බන්තොට නගරයේදි රජයට පක්ෂපාතිත්වය දක්වන දේශපාලනඥයන් පිරිසකගේ සහභාගිත්වයෙන්, වල්සපුගල ගොවීන් ගෙනයන උද්ඝෝෂනයට විරුද්ධව, අලි කලමනාකරන රක්ෂිතය අදාල ගැසට් නිවේදනය නිකුත් නොකරන ලෙස ඉල්ලුම් කෙරෙන විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වුනි.

මාර්තු 27 දා, ලෝක සමාජවාදි වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවෝ මෙතෙකුදු සත්‍යග්‍රහයේ නියුතු ගොවි උද්ඝෝෂකයන් මුනගැසුනාහ. 

කේ.ඒ. අජිත් කුමාර

 “දිනුජය ගොවි සංවිධානයේ” සභාපති කේ.ඒ. අජිත් කුමාර, ගොවීන්ගේ අරගලයට එරෙහිව පැවැත්වුනු විරෝධතාවයේ අරමුන සහ ස්වභාවය පිලිබඳව මෙසේ කරුනු පැහැදිලි කලේය: “හම්බන්තොට පැවැත්වුනු උද්ඝෝෂනයේ මූලිකත්වය ගත්තේ රජයට පක්ෂපාති මෙම පෙදෙසේ ප්‍රධාන දේශපාලන චරිත කිහිපයක්. හම්බන්තොට නගරාධිපති හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති සහ සභිකයො කිහිප දෙනෙකුත් සිටියා. මේ සියලුම දෙනා කෘෂිකර්ම  ඇමති චමල් රාජපක්ෂගේ දේශපාලන අනුගාමිකයන්. විරෝධතාවයට සහභාගි කරවීමට කැඳවාගෙන ආ පිරිස් අතර සිටි බොහොමයක් අය අනවසරයෙන් භූමිභාග අල්ලාගෙන වගා කටයුතු කරන ඉඩම්වල සහ ගල්කොරිවල සේවයේ යොදවා ඇති සේවකයන්.”

එම සේවකයන් මෙම ඊනියා උද්ඝෝෂනයට සහභාගි වූයේ අදාල දේශපාලනඥයන්ගේ බලපෑම මත මිස ඔවුනගේ අවශ්‍යතාවයකට නොවන බව ඉතා පැහැදිලි බව අජිත් කුමාර පැවසීය. විරෝධයට සහභාගිවූ පිරිස්, වන රක්ෂිතය තුල පිහිටි “නින්දගම්වල” පදිංචිවූවන් හැටියට  පෙන්නුම් කිරීමට සංවිධායකයන් උත්සාහ කල ද එය සම්පූර්න මුසාවක් බව ඔහු පැවසීය.

“1986 මහවැලි අධිකාරියට අයත් භූමි ප්‍රදේශයක් ලෙස නම් කලාට පසු නින්දගම් සියල්ල අහෝසිවුනා. කිසියම් අයිතියක් තිබූ අයෙකු සිටියානම් දින 15ක් තුල ඉදිරිපත් විය යුතුව තිබුනා. එවැනි කිසිවෙකු ඉදිරිපත් වුනේ නැහැ. දැන් විශාල ඉඩම් කොටස් අත්පත් කරගෙන මහා පරිමාන වගා කරන්නෙත්, ගල් කොරි පවත්වන්නෙත් දේශපාලනඥයන්ගේ අනුග්‍රහය ලබන ධනපති කොටස්.”

අයි.කේ. සමන් සුදර්ශන

“වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ” ලේකම් අයි.කේ. සමන් සුදර්ශන ලෝසවෙඅ ට කියා සිටියේ ආන්ඩුවේ පොරොන්දු පිලිබඳ කවර හෝ නිශ්චිත තොරතුරක් මෙතෙක් ලැබී නොමැති බවයි. ” 2010න් පසු සිදුකල අවිධිමත් සංවර්ධන කටයුතු නිසයි වල්අලි අනතුර වැඩිවුනේ. හම්බන්තොට නගර සැලැස්ම යටතේ අලින්ගේ නිජභූමි අහිමිවුනා. අලි උවදුර වැඩිවීම සමග රාජ්‍ය ආයතන කල සමීක්ෂනයක ප්‍රතිඵලයක් හැටියටයි අලි රක්ෂිත කලාපයක් යන යෝජනාව ආවේ. 2012 ආරම්භ කල මෙම යෝජනාව ක්‍රියාවට දැමීමට පැවතුනු කිසිම රජයක් කටයුතු කලේ නැහැ.”

මෙම යෝජනාව කඩාකප්පල් කිරීමට කටයුතු කරන්නේ මහවැලි ඇමති චමල් රාජපක්ෂ බව ඔහු පැවසීය. රක්ෂිත යෝජනාව ගැසට් කලද, රක්ෂිතයේ පවත්නා වානිජ භෝග වගාවන් හෝ ගල්කොරි ඉවත් කිරිමක් සිදු වෙතැයි බලාපොරොත්තු විය නොහැකිබව ඔහු කීවේය. “එවැන්නක් අලි අනතුරට විසඳුමක් වෙනවා වෙනුවට මොකක් හෝ මවාපෑමක්විය හැකියි.”

මෙතෙක් පැවති කවර ආන්ඩුවක් යටතේ හෝ ගොවි ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුමක් ලැබී නොමැති බව පැවසූ ඔහු, එම ප්‍රශ්න කීපයක් ගෙනහැර දැක්වීය: “රටේ ගොවිබිම් පවතින පෙදෙස්වලින් අලින්ගෙන් සිදුවන අනතුරු එක දිගට වාර්තා වෙනවා. ගොවීන්ගේ ඉඩම් ප්‍රශ්නය ජල ප්‍රශ්නය නිෂ්පාදන සඳහා පවතින මිල ප්‍රශ්න මේ ආන්ඩු යටතේ විස‌‌ඳ ගන්න බැහැ. අනිත් අතට ගොවියන් අරගලයට ආවාම ඒ අරගල ගොවියන්ට පමනක් සීමා වෙනවා. කම්කරුවන්ගෙ සහාය අපට අවශ්‍යයි. අනෙක් අතට කම්කරුවන්ගෙ ශිෂ්‍යයන්ගෙ අරගල ආවාම ඒවා අපට අදාල නොවන හැටියටයි අපි සැලකුවේ. වතු කම්කරුවන්ට එල්ල කර ඇති ප්‍රහාරය පරාජය කරන්න අපිත් ඉදිරියට එන්න ඕන.” 

තම ප්‍රශ්න වලට විසඳුමක් නොලැබෙන්නේ නම් පලල් ජන කොටසකගේ සහභාගිත්වය ලබා ගැනීම සඳහා උද්ඝෝෂනය කොලඹට ගෙනඑන බව ඔහු පැවසීය. ඉන්දියාවේ මෝඩි පාලන තන්ත්‍රය ගොවීන්ගේ මූලික අයිතීන් අහෝසි කරමින් එල්ල කර ඇති ප්‍රහාර වලට එරෙහිව, දසදහස් සංඛ්‍යාත ගොවීන් නවදිල්ලියට පැමින උද්ඝෝෂනය කලද, එය පල නොදරන්නේ අවශ්‍ය ඉදිරි දර්ශනය සහ නායකත්වය නොමැති නිසා බව ලෝසවෙඅ වාර්තාකරුවෝ පෙන්වා දුන්හ.  

කම්කරුවන්ට සහ ගොවීන්ට එරෙහි ප්‍රහාර ගලා එන්නේ ධනපති ක්‍රමයේ පද්ධතිගත අර්බුදයෙන් බැවින් එම ප්‍රහාර පරාජය කිරීම සඳහා ධනපති ක්‍රමයට සහ ධනපති ආන්ඩුවට එරෙහි දේශපාලන සටනක් අත්‍යවශ්‍ය බව වාර්තාකරුවෝ පැහැදිලි කලහ. කම්කරු පන්තිය වටා ගොවීන් බලමුලු ගැන්වී, ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒම එම සටනේ එල්ලය වියයුතු බව පෙන්වා දෙමින් ලෝසවෙඅ වාර්තාකරුවන් කල පැහැදිලි කිරීමට ගොවියෝ සාවධානව සවන් දුන්හ. 

Loading