වැඩෙන චීන බලපෑම වැලැක්වීමට ඉන්දියානු විදේශ ඇමති ශ්‍රී ලංකාවට පැමිනෙයි

චීනයට එරෙහි භූ-මූලෝපායික ව වැදගත් යැයි සලකන ආයෝජන ව්‍යාපෘති ප්‍රමාද වීම පිලිබඳව නව දිල්ලියේ අප්‍රසාදය පල කිරීම සඳහා, ඉන්දියානු විදේශ ඇමති එස් ජයශංකර් පසුගිය සතියේ දී ශ්‍රී ලංකාවට පැමිනියේ ය.

ජනවාරි 7න් අවසන් වූ ඔහුගේ තෙදින සංචාරය අතරතුර, ජයශංකර් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුනවර්ධන හමුවිය. පාර්ලිමේන්තු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ දෙමල ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් සමඟ ද ඔහු සාකච්ඡා කලේ ය.

ඉන්දියානු විදේශ ඇමති එස් ජයශංකර් සමග මයික් පොම්පියෝ (Source Twitter: @SecPompeo)

චීනයට එරෙහිව වොෂින්ටනයේ ආක්‍රමනශීලී මිලිටරි මූලෝපායික තර කිරීම්වල පෙරටුගාමී රාජ්‍යයක් ලෙස ක්‍රියා කරන ඉන්දියාව,  රාජපක්ෂ ආන්ඩුව බීජීනය සමඟ ආර්ථික සබඳතා වර්ධනය කර ගැනීම පිලිබඳව බෙහෙවින් කනස්සලු ය. 

ඉන්දියාවේ කැබිනට් තනතුරක තත්වය දරන ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල්,ඉන්දියානු ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා පසුගිය මාසයේ දී, මූලෝපායිකව වැදගත් පිහිටීමක් සහිත දිවයිනට පැමින ජනාධිපති සහ අනෙකුත් දේශපාලන නායකයින් හමු විය. 

මාධ්‍ය වාර්තාවලට අනුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ආන්ඩුව,  ව්‍යාපෘති 15 ක් - සමහර ඒවා 2017 තරම් ඈත දී අත්සන් කර ඇත - ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම පිලිබඳව නැවත නැවතත් කනස්සල්ල පල කර ඇත. මේවාට කොලඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ (ඊසීටී) ඉන්දියානු සංරචකය සහ උතුරු පලාලි ගුවන්තොටුපල ඇතුලත් වේ. ශ්‍රී ලංකා-ඉන්දියා-ජපාන ඒකාබද්ධ ව්‍යාපෘතිය පිලිබඳ මූලික ගිවිසුම 2019 දී අත්සන් කරන ලදී. චීනයට අයත් කොලඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය, ඊසීටීයට යාබදව පිහිටා ඇත.

තවත් යෝජනාවක් වන්නේ, ඉන්දියාවේ විශාලතම ගෑස් ආනයනකරු වන පෙට්‍රොනෙට් එල්එන්ජී සහ එහි ජපාන හවුල්කරුවන් වන මිට්සුබිෂි සහ සොජිට්ස් සමඟ හවුල්ව කොලඹ අසල ද්‍රව ස්වාභාවික වායු පර්යන්තයක් පිහිටුවීමයි.

කොලඹ වරාය අපනයනය කරන භාන්ඩ වලින් සියයට 80 ක් පමන ඉන්දියානු සංක්‍රාන්ති නැව්ගත කිරීම් වන අතර, ශ්‍රී ලංකාවේ අඩිය ගසා ගැනීම  තීරනාත්මක බව ඉන්දියාව සලකයි. 

ශ්‍රී ලංකා ජනාධිපති සමඟ ජයශංකර්, ඊසීටී සහ අනකෙුත් ප්‍රශ්න මතු කල බව වාර්තා වේ. කොවිඩි-19 එන්නත් ලබා දෙන බවට මීට පෙර දුන් පොරොන්දුවක් හැරුනු විට, වෙනත් කිසිදු එකඟතාවයකට මෙම සංචාරයේ දී පැමින නොමැත. පසුගිය වසරේ දී කොලඹ ආන්ඩුව, ඉන්දියාවේ සංචිත බැංකුව සමඟ ඇමරිකානු ඩොලර් බිලියනයක මුදල් හුවමාරුවක් ඉල්ලා සිටියේ ය. මෙය තව ම ක්‍රියාත්මක වී නැත.

අභ්‍යන්තර ආරංචි මාර්ග වලට අනුව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කලේ, ඉන්දියානු ව්‍යාපෘති කෙරෙහි වන චීන ‘බලපෑම ’ ගැන ජයශංකර් තම කනස්සල්ල පල කල බවයි. “එය අවහිර කිරීමේ අරමුනින් ඊසීටී මූලිකත්වය පිලිබඳ පුරසාරම් කථා චීන බුද්ධි අංශ විසින් ප්‍රවර්ධනය කිරීම ගැන නව දිල්ලිය,  කනස්සල්ලට පත්ව සිටින බව” ඔහු පැවසී ය.

“ත්‍රිකුනාමලයේ පිහිටි තෙල් ටැංකි වැඩි දියුනු කිරීම හා ක්‍රියාත්මක කිරීම පිලිබඳ දීර්ඝ කාලීන ඉල්ලීම ද ඇතුලුව, ඉන්දියාව විසින් මෙහෙයවනු ලබන සියලුම වැඩ කටයුතු මන්දගාමී කිරීමට හෝ නැවැත්වීම පිටුපස චීන අතක් ඇති බවට සැකයක් පවතී” යයි ද, පුවත්පත සඳහන් කලේ ය. එවා සනාත කිරීම සඳහා කිසිදු සාක්ෂියක් හෝ පුද්ගලයකු එය නම් කලේ නැත. කෙසේ වෙතත්, මෙම වාර්තා නවදිල්ලිය සහ කොලඹ අතර වැඩෙන ආතතීන් පෙන්නුම් කරයි.

ජනවාරි 13 වන දින ජනාධිපති රාජපක්ෂ, වරාය වෘත්තීය සමිති 23 ක් සමඟ සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ, ඊසීටීය විකුනනු නොලබන නමුත්, හවුල් ව්‍යාපාරයක් ලෙස ස්ථාපිත කරන බවයි. හිමිකම් වලින් සියයට පනස් එකක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් දරනු ලබන අතර ඉතිරි කොටස ඉන්දියාවේ අදානි සමාගම සහ අනෙකුත් ආයෝජකයින්ට ලබාදීමට නියමිත ය.

ඊසීටී ය, කොලඹ වරාය පහසුකම් පෞද්ගලීකරනය කිරීමට ආන්ඩුව ගෙන ඇති පියවරවල කොටසකි. ආන්ඩුව සහ විරුද්ධ පක්ෂ විසින් විවිධාකාරයෙන් පාලනය කරනු ලබන වරාය වෘත්තීය සමිති, කොලඹ ආන්ඩුවේ පුද්ගලීකරන වැඩසටහනට එරෙහි ව සටන් කිරීමට උත්සාහ කරන කම්කරුවන් වෙනතකට හැරවීම සඳහා, අන්තවාදී බෞද්ධ කන්ඩායම් සමඟ පෙලගැසී, ප්‍රතිගාමී ඉන්දියානු විරෝධී ව්‍යාපාරයක් දියත් කර ඇත.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුනවර්ධන සමඟ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ජයශංකර් ප්‍රකාශ කලේ, ඉන්දියාව සැම විට ම “විශ්වාසනීය හවුල්කරුවෙකු සහ විශ්වාසවන්ත මිතුරෙකු” වනු ඇති බවත් ජාතීන් “එකමුතු කිරීමේ ක්‍රියාවලියට” සහාය දක්වන බවත්ය.

එක්සත් ශ්‍රී ලංකාව තුල “සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ ගෞරවය සඳහා දෙමල ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීම, ශ්‍රී ලංකාවේ ම අවශ්‍යතාවය”ට අනුරූප යැයි ඔහු තවදුරටත් පැවසී ය.

පලාත් සඳහා සීමිත බලය බෙදා හරින 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ජයශංකර් විශේෂයෙන් සඳහන් නොකලද, ඊනියා “සමඟි කිරීමේ ක්‍රියාවලිය” පිලිබඳ ඔහුගේ සඳහන වැදගත් ය. රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනු ආන්ඩුවේ සැලකිය යුතු කොටසක් මෙම සංශෝධනය අහෝසි කිරීමට බල කරයි.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි ලේ වැකි යුද්ධයේ දී, එවකට ශ්‍රී ලංකා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන හා ඉන්දීය අගමැති රජීව් ගාන්ධි විසින් අත්සන් කරන ලද ඉන්දු-ලංකා ගිවිසුමේ කොටසකි, 13 වන ව්‍යවස්ථා සංශෝධනය. එල්ටීටීඊය නිරායුධ කිරීම සඳහා ඉන්දියානු භට පිරිස් ශ්‍රී ලංකාවට පිටත් කර හැරීම අනුමත කල එම ගිවිසුම, දේශීය දෙමල ප්‍රභූ පැලැන්තියට සීමිත බලතල ලබා දුන්නේ ය.

දෙමල සුලුතරයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ඇමතීමට කිසිදු සම්බන්ධයක් නැති මෙම ගිවිසුම හා සංශෝධනය, නවදිල්ලියේ පිටුබලය ඇති ව කොලඹ සහ දෙමල ධනේශ්වරය අතර ඇති කර ගත් දේශපාලන එකඟතාවයකි.  අනුප්‍රාප්තික ඉන්දීය ආන්ඩු, කොලඹ තන්ත්‍රයන් සිය උපායමාර්ගික අවශ්‍යතා සඳහා  පෙල ගස්වා ගැනීමේ දේශපාලන ලීවරයක් ලෙස, දෙමල ප්‍රභූව යොදාගෙන ඇත.

“සිංහල, දෙමල, මුස්ලිම් සහ සියලු දෙනාගේ” යහපැවැත්ම සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කැප වී සිටින බව ප්‍රකාශ කරමින් විදේශ අමාත්‍ය ගුනවර්ධන ලිස්සා යන පිලිතුරක් ලබා දුනි. කෙසේ වෙතත් රාජපක්ෂ තන්ත්‍රය බලයට පත්වුනේ, දෙමල ප්‍රභූ පැලැන්තියට කිසිදු සහනයක් ලබා දීමට විරුද්ධ වන මිලිටරියේ හා සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන්ගේ ක්‍රියාකාරී සහයෝගයෙනි.

ජයශංකර් සිය කෙටි සංචාරයේ දී ඔහුට ප්‍රශංසා කල ටීඑන්ඒ නායකයින් හමු විය. “13 ඒ සහ ශ්‍රී ලංකා බැඳීම් ක්‍රියාවට නැංවීම යලිත් අවධාරනය කිරීම පිලිබඳව ඉන්දීය ආන්ඩුව ගත් ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදු නොකිරීම ගැන අප ඔහුට ස්තූතිවන්ත වන බව”, ටීඑන්ඒ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් සන්ඩේටයිම්ස් පුවත්පතට කියා සිටින ලදි. 

පාර්ලිමේන්තු විපක්ෂ නායක ප්‍රේමදාස, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ 1987 ඉන්දු-ලංකා ගිවිසුමට සහයෝගය දුන් දෙමල ඊලම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සමඟ ද ජයශංකර් සාකච්ඡා පැවැත්වීය.

නරක අතට හැරෙන කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් විශාල ආර්ථික කඩා වැටීමකට මුහුන දී සිටින රාජපක්ෂ පාලන තන්ත්‍රය, මූල්‍ය ආධාර සඳහා වැඩි වැඩියෙන් බීජිනය වෙත යොමුවීම ගැන සුලුවෙන් වසං කල අනතුරු ඇඟවීමකි,  ජයිශංකර්ගේ කොලඹ සංචාරය. 

පසුගිය මාසයේ ඩිප්ලෝමැට් සඟරාවේ ලිපියක්, ඉන්දියානු ව්‍යාපෘති සඳහා වූ ප්‍රමාදයන්, චීන විදේශ ඇමති යැං ජිචිගේ මෑත ශ්‍රී ලංකා සංචාරය සමඟ සසඳයි. එම සංචාරයෙන් පසු ව, චීන-ශ්‍රී ලංකා නිදහස් වෙලඳ ගිවිසුමක් පිලිබඳ සාකච්ඡා පුනර්ජීවනය වූ අතර කොලඹ හම්බන්තොට කාර්මික කලාපය සහ පෝර්ට් සිටි ව්‍යාපෘතිය නිම කිරීම වේගවත් විය.

වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා පසුගිය ඔක්තෝබර් මාසයේ දී ඩොලර් මිලියන 500ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබා දුන් චීනය, ඊට අමතර ව ග්‍රාමීය ප්‍රදේශවල සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ ජල සැපයුම් ඉහල නැංවීම සඳහා ද ඩොලර් මිලියන 90 ක ආධාර ලබා දුන්නේය. චීනයේ ෂැන්ඩොං හාවෝවා ටයර් සමාගම ද ඩොලර් මිලියන 300 ක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සැලසුම් කරයි. මෙම පියවරයන් වොෂිංටනයේ ආක්‍රමනශීලී මිලිටරි ගොඩනැගීමට එරෙහිව ඉන්දීය උප මහාද්වීපය තුල එහි බලපෑම ඉහල නැංවීමට බීජිනය ගත් උත්සාහයන්හි කොටසකි.

රාජපක්ෂ ආන්ඩුවේ වැනීම් ගැන, නවදිල්ලිය සහ වොෂින්ටනය වැඩි වැඩියෙන් උත්සුක වෙයි. පසුගිය ඔක්තෝබරයේදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කොලඹට පැමින කියා සිටියේ, චීනයට එරෙහි වොෂින්ටනයේ ප්‍රකෝපකාරීත්වයන් සමඟ ශ්‍රී ලංකාව මුලුමනින්ම එකඟ විය යුතු බවයි. පසුගිය මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 480 ක එක්සත් ජනපද මිලේනියම් කෝපරේෂන් ප්‍රදානය ඉල්ලා අස්කර ගැනීම, ශ්‍රී ලංකාව චීනය සමඟ ඇති සබඳතා පිලිබඳව වොෂින්ටනයේ නොසන්සුන්තාවයේ තවත් ඇඟවුමකි.

2015 ජනවාරියේදී ඉන්දියානු ආන්ඩුවේ ද සහාය ඇතිව එක්සත් ජනපදය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව නෙරපා හැරීම සඳහා තන්ත්‍ර මාරු මෙහෙයුමක් ආරම්භ කලේය. වත්මන් ශ්‍රී ලංකා ජනාධිපති එවකට ආරක්ෂක ලේකම්  විය.

[මෙම ලිපිය ජාත්‍යන්තර සංස්කරනයේ ජනවාරි 15 දින  පල විය.]

Loading