ඉදිරිදර්ශන

වසංගතය හා මරන සාමාන්‍යකරනය

එක්සත් ජනපදය පවතින්නේ එරට ඉතිහාසයේ වඩාත් ම වේගවත් සමූහ මරන කාල පරිච්ඡේදයන්ගෙන් එකක් මධ්‍යයේ ය. සතියක් වැනි කෙටි කාලයක් තුල කොරෝනා වෛරසයෙන් පුද්ගලයින් 16,000කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, එය සෑම දිනක ම 2,300ක සාමාන්‍ය අගයක් ගනී.

සංසන්දනාත්මකව බලන කල, 1918 “ස්පාඤ්ඤ උන” වසංගතය අතරතුර එක්සත් ජනපදයේ 675,000ක පමන පිරිසකට වසර දෙකක් තුල ජීවිත අහිමි විය. එය සෑම දිනක ම පුද්ගලයන් 1000කට අඩු සාමාන්‍යයක් විය. 1995 දී, බිහිසුනු ඒඩ්ස් වසංගතයේ උච්චතම අවස්ථාවේ දී, එක් වසරක් තුල පුද්ගලයින් 41,000 ක් මිය ගිය අතර, එය දිනකට ආසන්න වශයෙන් පුද්ගලයන් 112 ක් හෝ වර්තමාන මරන අනුපාතයෙන් 1/20ක් විය.

කොරෝනා වෛරසයට ගොදුරු වූවන්ගේ සිරුරු සහිත මිනී පෙට්ටි ස්පාඤ්ඤයේ බාසිලෝනා හි කොල්සෙරෝලා මෘතශරීරාගාරයේ භූමදාන හෝ ආදාහනය කිරීම සඳහා සූදානම් කෙරී තිබේ. (රූපඅනුග්‍රහය: ඒපී / නිර්මාතෘ: එමිලියෝ මොරෙනට්ටි)

ඉදිරි දින කිහිපය තුල, කොරෝනා වෛරසයෙන් මිය යන සංඛ්‍යාව 300,000 හෝ නැතහොත් මුලු රටේ සෑම දහසකට ම එක් අයෙකු ඉක්මවා යනු ඇත. හෘද රෝග හා පිලිකා අභිබවා යමින් දැන් එක්සත් ජනපදයේ මරනයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ කොරෝනා ‌වෛරසය යි.

මෙම මරනවල මට්ටම දිනෙන් දින, සතියෙන් සතිය, මාසයෙන් මසකට සිදුවන තතු යටතේ, නිල ප්‍රතිචාරය වන්නේ දිග හැරෙමින් තිබෙන මහා විනාශය ලඝු කිරීම යි.

මරන “සාමාන්‍යකරනය” කෙරී ඇත.

සෑම දිනක ම ජනමාධ්‍යවල මරන සංඛ්‍යාව වාර්තා වේ. වරින් වර, මව්පියන් දෙදෙනාම මිය යමින් මුලු පවුලක්ම අතුගෑවී යාම වැනි විශේෂයෙන් භයානක සිදුවීම් ගැන පවා සඳහනක් තිබේ. නමුත් මෙම මාතෘකාව අතහැර දැමේ, ප්‍රවෘත්ති විකාශනය ඊලඟ අයිතමය වෙත ගමන් කරයි. කිසි අඩුවක් නැති මෙම ව්‍යසනයට දැවැන්ත හා ක්ෂනික ප්‍රතිචාරයක් අවශ්‍ය බවට පිලිගැනීමක් නො මැත. මිය යන්නේ කවු ද, කොහේ ද හා කුමන තත්වයන් යටතේ ද යන්න පරීක්ෂා කිරීමට කිසිදු උත්සාහයක් නො මැත.

ධවල මන්දිරයේ ෆැසිස්ට්වාදී ඒකාධිපතියෙකු වීමට පෙරුම්පුරන ට්‍රම්ප්, මෙම වසර මුල දී ඔහු “සැබවින් ම කාටවත් ” බලපෑමක් නැත යි කියු පරිදි, මෙම මරන කිසිදු වැදගත්කමක්ට නැති දෙයක් ලෙස සලකා ඇත. ට්‍රම්ප් පරිපාලනයේ සමස්ත ප්‍රතිපත්තිය පදනම් වී ඇත්තේ රෝගාබාධ හා මරන පැතිරීම නැවැත්වීම සඳහා වන මොන යම් හෝ සම්බන්ධීකෘක ප්‍රතිචාරයක් වැලක්වීම මත ය.

තේරී පත් වී සිටින ජනාධිපති ජෝ බයිඩෙන් සම්බන්ධයෙන් ගත් කල, ඔහු පසුගිය සතියේ ඕනෑවට ඒපාවට ප්‍රකාශ කලේ “අපට දැන් හා ජනවාරි අතර තවත් 250,000 ක් අහිමි වී යාමට ඉඩ ඇති” බව යි. ඔහු මෙම දැවැන්ත මරන සංඛ්‍යාව ඉදිරිපත් කලේ එය නො වැලැක්විය හැකි විශ්වීය සිදුවීමක් ලෙසටය. මෙම පුරෝකථනය සාක්ෂාත් වීම වැලැක්වීම සඳහා හදිසි ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටියේ නැත. පාසැල් විවෘත ව තිබි ය යුතු ය යන ඉල්ලීම කේන්ද්‍ර කර ගනිමින් බයිඩෙන් ඊයේ සිය කොරෝනා වෛරස් ප්‍රතිපත්තිය සාරාංශ කර දැක්වීය. පාලක පන්තිය විසින් එය දකිනු ලබන්නේ කම්කරුවන් රැකියාවෙහි තබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය දෙයක් ලෙසට ය.

මරන සාමාන්‍යකරනය පැන නගින්නේ පන්ති අවශ්‍යතා මත පදනම් වූ, “ආර්ථික සෞඛ්‍යය” හා “මිනිස් ජීවිතය” සැසඳිය හැකි සංසිද්ධියක් ලෙස සලකන්නා වූ ද, පලමුවැන්නට වඩා දෙවැන්නට ප්‍රමුඛත්වට දෙනු ලබන්නා වූ ද තීරනය සමගිනි. දේශපාලන සංස්ථාපිතය, කතිපයාධිකාරීන් හා මාධ්‍ය විසින් සිදු කරනු ලබන පරිදි, සංසන්දනය හා ප්‍රමුඛතාවයේ නීත්‍යානුකූලභාවය පිලිගත් පසු, සමූහ මරන වලැක්විය නො හැකි දෙයක් ලෙස සලකනු ලැබේ.

“ප්‍රතිකාරය රෝගයට වඩා දරුනු විය නො හැක” යන සටන් පාඨය මතුවන්නේ මෙම භයානක ගනනය කිරීම්වලිනි.

ධනවාදය යටතේ “ආර්ථිකය” යන්නෙන් අදහස් කෙරෙන්නේ කම්කරු පන්තිය සූරාකෑම යි. “සුව කිරීම” එනම් ජීවිත බේරා ගැනීම සඳහා වන මූලික ක්‍රියාමාර්ග, ලාභ සමුච්චය කිරීමේ ක්‍රියාවලියට බලපාන තාක් දුරට එය පිලිගත නො හැකි ය. කම්කරු පන්තියෙන් අතිරික්ත වටිනාකම නිස්සාරනය කිරීම හෝ මෙම අතිරික්ත වටිනාකම හදිසි පියවර හා සමාජ සේවා මගින් ධනපතියන්ගෙන් වෙනතකට යොමු කරන ඕනෑ ම දෙයක් ප්‍රතික්ෂේප කෙරේ.

එතැන් සිට නිගමනය වනුයේ: කම්කරුවන් මිය යා යුතුය. මාක්ස් ධනවාදයේ “අන්ධ වූ පාලනය කල නො හැකි තෘෂ්නාව, අතිරික්ත ශ්‍රමය සඳහා වූ වෘකවෙස්ගත් (werewolf) සාගින්න” ගැන සඳහන් කරන විට, මේවා සාහිත්‍යමය වාක්‍ය ඛන්ඩ පමනක් නො වේ. ඒවා ප්‍රකාශ කරන්නේ සමාජ යථාර්ථයේ භීෂනය යි.

එක්සත් ජනපදය තුල හා ලොව පුරා වසංගතයට වන පාලක පන්තියේ ප්‍රතිචාරය පැන නගින්නේ ඊට පෙර පැවති කොන්දේසි මගිනි. (තැචර්ගේ වචන වලින්) “සමාජය කියා දෙයක් නැත” යනුවෙන් ප්‍රකාශ කරමින්, රොනල්ඩ් රේගන් හා මාග්‍රට් තැචර් බලයට පත්වී දශක හතරකට ආසන්න කාලයක් ගත වී ඇත.තැචර් සහ රේගන් විසින් තොරොම්බල් කරන ලද දක්ෂිනාංශික ස්වාධීනතාවාදී “නිදහස් වෙලඳපොල” දෘෂ්ටිවාදය දේශපාලන සංස්ථාපිතයේ සෑම කොටසක ම ප්‍රධාන තැනක් ගත් අතර, බිල් ක්ලින්ටන් වැනි ඩිමොක්‍රටිකයන් හා ටෝනි බ්ලෙයාර් වැනි ලේබර් පාක්ෂිකයන් විසින් වැලඳ ගැනුනි. ඔවුන්ගේ ප්‍රතිගාමී “නිදහස් වෙලඳපොල” පිලිවෙත් සෑම රටක ම ධනවාදී ප්‍රතිපත්තිවල පදනම වේ.

දශක ගනනාවක් තිස්සේ ඩිමොක්‍රටිකයින් මෙන් ම රිපබ්ලිකානුවන් එක සේ සමාජ වියදම් හා සුභසාධන වැඩසටහන් කප්පාදු කලේ, පෙර නො වූ ලෙස මූල්‍ය වෙලඳපොලවලට වඩා විශාල මුදල් ප්‍රමානයක් පොම්ප කරමිනි. මෙම ක්‍රියාවලියේ දී, සංගතවලට මිනිසා සම්බන්ධයෙන් අයිතිවාසිකම් ඇති බව ප්‍රකාශ කෙරුනා පමනක් නො ව, සංගතවල අවශ්‍යතා - හා මූල්‍ය කතිපයාධිකාරිත්වය - මිනිසාට වඩා ඉහලට ඔසවා තබන ලදී.

මිනිස් ජීවිතයට වියුක්ත ආර්ථික වැදගත්කමක් පමනක් ඇති, මූල්‍යකරනය වූ ලෝකයක, අතිරික්ත වටිනාකමක් නිපදවීමේ නිරත නොවන-එනම් ඔවුන්ගේ රැකවරන වියදම ශ්‍රම ශක්තියේ වියදමෙන් නිපදවන අතිරික්ත වටිනාකමේ ස්කන්ධයෙන් අඩු කරන-අය“වැදගැම්මකට නැත”. ලාභ හා අලාභ ගනනය කරන සෑම තැනක ම [වැඩිවන ජනගහනය මහා ව්‍යසනයන් හේතුවෙන් පාලනය විය යුතුයැයි සිතන] මැල්තුස්ගේ අවතාරය සැමවිට ම පවතී.

මෙම මූලික පංති තර්කනයෙන් ක්‍රියාත්මක කෙරී ඇති ප්‍රතිපත්ති ගලා එයි: ඒනම් වෛරසයේ තර්ජනය අවතක්සේරු කිරීම, ධනවතුන්ට දැවැන්ත ලෙස ඇපදීම, කර්මාන්තශාලා නැවත විවෘත කිරීම සහ පාසල් නැවත විවෘත කිරීම ආදිය.මෙම ප්‍රතිපත්තියේ පුරෝකථනය කල හැකි ප්‍රතිවිපාක දැන් දිග හැරෙමින් තිබේ.

පාලක ප්‍රභූවේ නොතැකීම තවත් වැඩි කරන සාධක තිබේ. කොරෝනා වෛරස් වසංගතය යනු මූලික වශයෙන් වැඩිහිටියන්ට හා කම්කරු පන්තියට බලපාන රෝගයකි. කොවිඩ් -19 කර්මාන්තශාලා හා පුද්ගලයන් කායික ව සම්බන්ධ වන සේවා ස්ථානවල වේගයෙන් ව්‍යාප්ත වන්නේ, හවුල් හා පම්පරා ගනනාවක් ජීවත් වන බහුකාර්ය කුටුම්භවල ජීවත්වන හා බොහෝ විට සමාජ දුරස් වීමට අවස්ථා නො මැති කම්කරු පන්තියට විසමානුපාතික ලෙස බලපාමිනි.

එක්සත් ජනපදයේ, මියගිය අයගෙන් සියයට 80ක් අවුරුදු 66ක් වන විශ්‍රාම යන වයසට වඩා වැඩි අය වෙති. රටේ කොවිඩ් -19 රෝගීන්ගෙන් සාත්තු නිවාසවල සිදුවී ඇත්තේ සියයට පහක් පමනක් වන නමුත් මෙම පහසුකම් මරනවලින් සියයට 40කට හෝ පුද්ගලයන් 100,000කට වැඩි මරනවලට වග කියා ඇත.

නමුත් වෛරසය පාලක පන්තියට හා ධවල මන්දිරයට ම පැතිරීම පවා ප්‍රතිචාරයට කිසිදු බලපෑමක් ඇති කර නොමැත.

වසංගතය නැවැත්වීම සහ ජීවිත බේරා ගැනීම එය බිහි කල සමාජ පරියාය තුරන් කිරීමෙන් වෙන් කල නො හැක. සිය දහස් ගනනකගේ ජීවිතවල නිරර්ථක හා වැලැක්විය හැකි බිලිදීම, ධනවාදී පර්යායේ ප්‍රතිගාමී හා අමානුෂික ස්වභාවය සහ එය සමාජවාදය සමඟ ප්‍රතිස්ථාපනය කිරීමේ අවශ්‍යතාව පිලිබඳ විශාලතම සාක්ෂිය වේ.

Loading