නොවැම්බර් 22 පැවති “ජන මාධ්‍ය පිලිබඳ අමාත්‍ය උපදේශක කමිටු” රැස්වීමකදී, “දේශීය වෙබ් අඩවි නියාමනය කිරීම" සඳහා නිසි ක්‍රමවේදයක් අවශ්‍ය බවත්, එය ඉදිරි සති කීපය තුල ක්‍රියාත්මක කරන” බවත් මාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කර ඇත. කමිටුවේ සිටින ආන්ඩුවේ හා විපක්ෂයේ අනෙකුත් සාමාජිකයින් ද එම මර්දනයේ අවශ්‍යතාව අවධාරනය කරන උපදෙස් දී තිබේ.
රඹුක්වැල්ල තව දුරටත් ප්‍රකාශ කර ඇත්තේ, මාධ්‍ය හරහා සිදුකරන අපහාස කිරීම් "යම් ප්‍රමානයකට හෝ පාලනය කිරීම" සඳහා වාරනයක් අත්‍යවශ්‍ය වන බවයි.
ඇමතියෙකු වන මහාචාර්ය චරිත හේරත් මේ ආකාරයේ නියාමනයක් රූපවාහිනී හා ගුවන්විදුලි මාධ්‍ය වලටද පැනවිය යුතු බව පවසා තිබේ.
වෙබ් අඩවි හා සමාජ ජාල වාරනයට මෑතකදී සිංගප්පූරුවේ සම්මත කල නීතියක් හුවා දැක්වූ අධ්‍යාපන ඇමති ජී. එල්. පීරිස් “එවැනි නීති අධ්‍යනය කර මෙම නව යාන්ත්‍රනය සැකසිය යුතු” බව ප්‍රකාශ කර ඇත. ආන්ඩු පක්ෂ මන්ත්‍රීයකු හා හිටපු විශ්ව විද්‍යාල ගුරුවරයෙකු වන ආචාර්ය සුරෙන් රාඝවන් පවසා අත්තේ, සමාජ මාධ්‍ය තුලින් “ජාතිවාදය පැතිරවීම වැලක්වීමට” මෙම පියවර අවශ්‍ය බවයි.
පීරිස් යෝජනා කර ඇති පරිදිම, ආන්ඩුව සූදානම් කරන ඊනියා නියාමන ක්‍රමවේදය හෙවත් වාරනය ආකෘතිගත කිරීම සූදානම් කෙරෙන්නේ සිංගප්පූරුවේ "ඉන්ෆොකොම් මාධ්‍ය වැඩි දියුනු කිරීමේ පනත - 2016" (Info-comm Media Development Authority Act) හා "අන්තර්ජාල අසත්‍ය කරනයන් හා විකෘතකරනයන්ට එරෙහි පනත - 2018" (Protection from Online Falsehoods and Manipulation Act ) යන පනත් මත බව වාර්තාවලින් පැහැදිලිවෙයි.
සිංගප්පූරුවේ පොලිස් පාලනයේ මෙම මර්දන නීති ජාත්‍යන්තරව මාධ්‍යවේදීන්ගේ හා මානව අයිතිවාසිකම් සංවිධාන වල ද දැඩි විවේචනයට ලක්වී ඇත. එම පනත් මගින් වෙබ් අඩවි වල සඳහන් වන කරුනු "වහාම නිවැරදි කරන ලෙස" අත්තනෝමතිකව නියෝග නිකුත් කිරීමට ආන්ඩුවට බලය ලැබෙන අතර, අවශ්‍යනම් "වැරදි කරුවන්" ඇමරිකානු ඩොලර් ලක්ෂ හතක් දක්වා දඩයකට යටත් කිරීමටත් වසර 10ක් දක්වා සිරදඬුවම් ලබාදීමටත් ඉඩ සැලසේ.
පසුගිය අනුප්‍රාප්තික ආන්ඩුවලට, අර්බුදයන් මතුවූ අවස්ථාවල දී හා තිස් අවුරුදු වර්ගවාදී යුද්ධය මධ්‍යයේ පුවත්පත්, වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය තහනම් කිරීමේ, අවහිර කිරීමේ හා වාරනය කිරීමේ කුරිරු ඉතිහාසයක් තිබේ.
ඉන් අවස්ථා කිහිපයක් පමනක් දක්වන්නේ නම්: මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින්, වර්ගවාදී යුද්ධය යලි තීව්‍ර කරමින් පැවති සමයේ, එල්ටීටීඊයට හිතවත් "ටැමිල් නෙට්" වෙබ් අඩවියට ලංකාව තුල දී පිවිසීම අවහිර කිරීම; 2017දී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට අපහාස වන ප්‍රවෘත්තියක් පල කලේ යයි කියමින් "ලංකා ඊ නිවුස්" වෙබ් අඩවිය අවහිර කිරීම; 2019 අප්‍රේල් මස පාස්කු දින බෝම්බ ප්‍රහාරයෙන් පසු, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් සති දෙකක් පමන සමාජ ජාල වෙබ් අඩවි තහනම් කර තැබීම.
පසුගිය සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවත් වර්තමාන ආන්ඩුවත්, "ෆේස් බුක්" ආදී සමාජ ජාල නිරන්තරව නිරීක්ෂනයට භාජනය කිරීම හා ඒවායේ පුද්ගලයින් පලකරන අදහස් මත, විවිධ හේතු දක්වමින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සාමාන්‍ය ක්‍රියාවලියක් බවට පත්කරගෙන ඇත. මෑතම සිද්ධීන් වන්නේ "මහවිරු සැමරුම" නමින් යුද සමයේ මියගියවුන් අනුස්මරනයට පක්ෂව මුහුනුපොතේ සටහන් තැබුවන් කිහිපදෙනෙකුම අත්අඩංගුවට ගැනීමයි.
"සිවිල් හා දේශපාලන අයිතීන් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතිය" නමැති පනත උපයෝගී කරගනිමින්,, "ජාතික ආගමික සමගියට හානිවන" ප්‍රකාශ පල කරන්නේය යන චෝදනාව මත ලේඛක ශක්තික සත්කුමාර ඇතුලු කලාකරුවන් හා නිදහස් මතධාරි විශ්ලේෂකයන් ගනනාවක් අත්අඩංගුවට ගැනීම මිට උදාහරනයකි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූ තැන් පටන් ඔහු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නායකයෝ පුවත්පත්වලට හා සමාජ මාධ්‍යජාල වලට බුරා පනිමින් සිටියහ. ගෝලීය වසංගතයේ බලපෑම එක දිගට උග්‍ර වෙද්දී පාලක පන්තියේ අර්බුදය උත්සන්න වී තිබේ. ආර්ථිකය වැටී ඇත. පසුගිය ආන්ඩුව අර්බුදයට හෙලමින් මතුවූ පන්ති අරගල, රැකියා, වැටුප් හා සේවා කොන්දේසි කැපීම නිසා මහා පිපිරීමක් කරා මෝදුවෙමින් යයි. ගම්බද හා නගරබද දුගීන් අතර පෙරලිකාරිත්වය වැඩෙමින් පවතී.
වර්ධනය වන දේශපාලන හා සමාජ කැලඹීම මධ්‍යයේ රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව කම්කරු පන්තිය මතට කඩාපැනීම සූදානම් කරමින් මිලිටරිය මත පාදකවූ ඒකාධිපතිත්වයකට පියවර ගනිමින් සිටී. වරාය කම්කරුවන් මැඩලා තැබීමට අත්‍යවශ්‍ය සේවා නියෝග පැනවීම එහි කොටසකි. මාධ්‍ය මගින් කෙරන සුලු හෝ විවේචනයක් සමාජ පිපිරීමක් ඇවිලවීමට තෙල් වත් කිරීමක් ලෙස ආන්ඩුව සලකයි.
"ව්‍යාජ පුවත්" මගින් සමාජයට ඇතිවන අහිතකර බලපෑම ගැන ආන්ඩුව හා එහි උපදේශකයෝ කිඹුල් කඳුලු හෙලති. මෙය, මාධ්‍ය වාරනයට ලෙහෙසිම පාර ලෙස මොවුහු කල්පනා කරති. රාජ්‍ය මාධ්‍ය හා තමන්ට හිතවත් කෝටිපතියන්ගේ පුද්ගලික මාධ්‍ය යොදා ගනිමින්, මුස්ලිම් හා දෙමල විරෝධි වර්ගවාදය මෙන්ම, සිංහල අධිපතිවාදය ඇවිස්සීමට දිනපතා ක්‍රියා කරන ආන්ඩුවක්, අන්තර්ජාලය ඔස්සේ පතුරුවන වාර්ගික හෝ ආගමික වෛරී ප්‍රකාශ ගැන "කම්පාවක්" පලකිරීම තරම් තුච්ච දේශපාලන කුහකත්වයක් තවත් තිබිය හැකිද?
මෑත කාලීනව, විශේෂයෙන්ම තරුන කම්කරුවන් හා පිඩිතයින්ගේ විරෝධය ප්‍රකාශයට පත්වන ප්‍රධාන මාධ්‍යයක් බවට පත්ව ඇත්තේ "ෆේස් බුක්", "ට්විටර්" හා "වට්ස් ඇප්" වැනි සමාජ මාධ්‍ය ජාලාවන්ය. රජයේ පාලනයට හෝ පුද්ගලික ව්‍යාපාරිකයන්ගේ ඍජු අයිතියට යටත්ව ඇති සාම්ප්‍රදායික මාධ්‍ය පිලිබඳ ජනතාවට ඇති සැකයද අන්තර්ජාල මාධ්‍ය වල ප්‍රසාරනයට හේතු වී ඇත.
2011 පුපුරාගිය ඊජිප්තු විප්ලවයේ සිට, 2018 -2019 ප්‍රන්සයේ "කහ බැනියම් විරෝධතා" දක්වා වූ දැවැන්ත සමාජ පුපුරායාම් වලට අන්තර්ජාලය හරහා වඩාත් පුලුල් ප්‍රකාශනයක් ලැබුනා පමනක් නොව, බොහෝවිට තරුන විරෝධතාකරුවන් තම සංවිධාන කටයුතු සිදුකලේ ද සමාජ මාධ්‍ය හරහාය. 2018 වසරේදී ශ්‍රී ලංකාවේ ඇවිලීගිය, රුපියල් දාහක අවම වැටුපක් සඳහා වූ වතු කම්කරු අරගලය තුලදී, එක දිනක් ඇතුලත සමාජ මාධ්‍ය හරහා සංවිධානය වී කම්කරුවන් හා තරුනයන් 5000ක් පමන කොලඹ ගාලු මුවදොර පිටියේ දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමද මෙයට උදාහරනයකි.
ගෝලීය ධනපති ක්‍රමයේ ආපසු හරවා ගත නොහැකි ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ, වේගයෙන් සටන්කාමී වෙමින් ඇති කම්කරුවන් හා තරුනයින්, අන්තර්ජාල මෙවලම් සමාජ විප්ලවයේ අරමුනු සඳහා යොදා ගැනීමේ හැකියාව පිලිබඳව ලොව පුරා පාලක පන්තීන් හොඳාකාරවම දැනුවත්ය.
ඇමරිකානු අධිරාජ්‍යවාදයේ යුද අපරාධ අන්තර්ජාලය හරහා හෙලිකල ජුලියන් අසාන්ජ්, චෙල්සි මැනින් හා එඩ්වර්ඩ් ස්නෝඩන්ට එරෙහිව වොෂින්ටනය විසින් විදේශ රජයන් ගනනාවක සහය ඇතිව ගෙනයන මුර්ග ප්‍රහාරය මෙහි එක් ප්‍රකාශනයකි.
වර්තමාන කොවිඩ්19 අර්බුදය තුල, වසංගතය පාලනයට යයි කියාගනිමින් පනවා ඇති මර්දන නීති භාවිත කරමින් අන්තර්ජාලය තුල අදහස් පලකිරීම වඩාත් දරදඬු ලෙස මර්දනය කිරීමත්, පෙර නොවූවිරු ලෙස පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමත්, ඕස්ට්‍රේලියාව, චීනය හා ඉන්දියාව ඇතුලු ධනපති රාජ්‍යයන් ගනනාවක් විසින් ආරම්භ කර තිබේ.
ජන මාධ්‍ය පිලිබඳ අමාත්‍ය උපදේශක කමිටු විපක්ෂයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී මනුෂ නානායක්කාර "ස්වයං-නියාමනයක්" හඳුන්වාදීම ගැන මැත දොඩවමින් ආන්ඩුව සූදානම් කරන ප්‍රහාරයට විරුද්ධවී නැත. එම පක්ෂයේ ම මන්ත්‍රියකු වන ශාන්ත බන්ඩාර රූපවාහිනී මාධ්‍ය ද නියාමන කල යුතු යයි ආන්ඩුවට උඩගෙඩි දී ඇත.
යෝජිත මර්දන නීති පිලිබඳව ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුනේ "මාධ්‍ය නියාමනය අතිශය මතභේදාත්මක කාරනයක්" විය හැකි බවයි.
"සාම්ප්‍රදායික මාධ්‍යවලට වඩා භයානක ලෙස ඩිජිටල් මාධ්‍ය වේදිකාවලට තොරතුරු විකෘති කිරීමට, වෛරී කතා ප්‍රචාරය කිරීමට හැකි" බව පවසමින් ආන්ඩුවේ තර්කයම තොරොම්බල් කරන අමරසූරිය, "එම කරුනු තිබියදීම .. විකල්ප හා විවේචනාත්මක අදහස් සඳහා ඉඩ ලබාදීමේ දී සමාජ මාධ්‍ය වල ඇති වැදගත්කම සලකා බලා" මෙම නියාමන ක්‍රියාමාර්ග පිලිබඳව යලි ගැඹුරින් සිතන ලෙස ආන්ඩුවට ආයාචනා කලාය. ජවිපෙට හා මහාචාර්යවරියට ඒකාධිපතිත්වයකට මාරුවෙමින් සිටින ආන්ඩුව ගැන විශ්වාසය එවැනිය.
ශ්‍රී ලංකාවේ කම්කරුවන්, තරුනයින් හා පීඩිතයින්, මෙම යෝජිත අන්තර්ජාල නියාමනයට කොන්දේසි විරහිත ව විරුද්ධවිය යුතුය. නිදහස් අදහස් ප්‍රකාශනයට කෙටීම ඒකාධිපතිවාදයේ ඉදිරි පියවරකි.