ධනපති ආන්ඩුවෙන් "ගෞරවාන්විත වැඩ දිනයක්" ඉල්ලීම: සමිති නායක ඇන්ටන් මාර්කස්ගේ තවත් වංචනික ව්‍යායාමයක්

“ලෝක ගෞරවාන්විත වැඩ දිනය” වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඇඟලුම් සහ අපනයන කම්කරුවන්ගේ  “ගෞරවාන්විත රැකියා අයිතිය” තහවුරු කරන ලෙස නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ (නිවෙකපොසේසේස) සම ලේකම් ඇන්ටන් මාර්කස් රාජපක්ෂ ආන්ඩුවෙන් ඉල්ලා ඇත. ඔහු සිය නිවේදනයේ මෙසේ සඳහන් කරයි: “අප කම්කරු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ 'ගෞරවාන්විත රැකියා' සඳහා අවශ්‍ය  කොන්දේසි සහතික කර, ඇඟලුම් සේවක සේවිකාවන්ගේ ගෞරවය හා රැකියා සුරක්ෂිතතාව තහවුරු කරමින් ඇඟලුම් හා අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රය වරදකාර හැඟීමකින් තොර වැදගත් ක්ෂේත්‍රයක්  බවට පත්කරන ලෙසයි.”

ඉක්බිතිව කොවිඩ් 19 වසංගතය තුල කම්කරුවන්ගේ “රැකියා සුරක්ෂිතභාවය සහ සෞඛ්‍ය  ආරක්ෂාව සම්බන්ධයෙන්” හාම්පුතුන්, ආන්ඩුව සහ වෘත්තීය සමිති එක් ව ගොඩනගාගත් ත්‍රෛපාර්ශ්වීය කාර්යසාධක බලකාය විසින් ගනු ලැබූ තීන්දු නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට ආන්ඩුව අසමත් වීම ගැන “කනගාටුව” ප්‍රකාශ කරන මාකස්, ධනපති හාම්පුතුන්  “ඇඟලුම් ක්ෂේත්‍රයෙහි මනුස්ස ජීවිත සඳහා කිසිදු තැකීමක් නොමැති ව සේවකයින් දරුනු ලෙස සූරාකන” බවට චෝදනා කරයි. 

මාකස් “ඇඟලුම් සේවක සේවිකාවන්ගේ ගෞරවය හා රැකියා සුරක්ෂිතභාවය” කෙරෙහි දක්වන උනන්දුව මුලුමනින් ම වංචනික ය. ඔහුත්, ඔහු නායකත්වය දෙන නිවෙකපොසේසේස සහ ලංකා වෙලඳ කාර්මික හා පොදු කම්කරු සංගමය (ලවෙකාපොකස), එක්සත් කම්කරු සමිති සම්මේලනය (එකසස ) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් මෙහෙයවනු ලබන අන්තර් සමාගම් සේවක සංගමය (අසසේස) ඇතුලු පුද්ගලික අංශයේ සමිති කොරෝනා වසංගතයෙන් තීව්‍ර කෙරුන ඇඟලුම් හා අපනයන කර්මාන්තයේ අර්බුදය කම්කරුවන් මත පැටවීමට රාජපක්ෂ ආන්ඩුවට හා හාම්පුතුන්ට සහයෝගය දෙති. 

කොවිඩ් 19 වසංගතයේ බලපෑම යටතේ රට අගුලු දැමීමෙන් අනතුරුව මැයි මාසයේ රාජපක්ෂ ආන්ඩුව විසින් “ආර්ථිකය යලි විවෘත” කෙරුනේ කම්හල් සහ ආයතන තුල නිසි සෞඛ්‍ය ආරක්ෂක පහසුකම් වලින් තොර ව හා අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීම සඳහා රැකියා සහ වැටුප් කප්පාදුව සහ පෙර නොවූ විරූ ආකාරයෙන් වැඩ වේගවත් කිරීමේ කොන්දේසි සහිත ව ය. ආන්ඩුව සහ හාම්පුතුන් මෙම පිලිවෙත් ක්‍රියාවට දමන්නේ  ත්‍රෛපාර්ශවීය කාර්යසාධක බලකාය තුලිනි. ජුලි මාසයේ අවසන් කෙරුන ගිවිසුම සැප්තැම්බර් දක්වා දීර්ඝ කිරීමට එකඟ වූ සමිති දෙවන වතාවටත් එය දීර්ඝ කිරීමට, ආන්ඩුව සහ හාම්පුතුන් සමග වට මේස සාකච්චා වල යෙදී ගෙන සිටිති.

කම්කරුවන්ගෙන්  සියයට 70ක් පමන රැකියාවෙන් ඉවත් කර තැබීමට හා වැටුප් සියයට පනහකින් හා අතිකාල සහ අනෙකුත් දීමනා කප්පාදු කිරීම සඳහා හාම්පුත්තු ගිවිසුම තමන්ට රිසි සේ යොදාගත්හ. කම්කරුවන්ගේ රැකියා “සුරක්ෂිත” කිරීමේ ප්‍රෝඩාවක් යටතේ වෘත්තීය සමිති එම කප්පාදු පිලිවෙත් වලට සහයෝගය දුන්හ. කප්පාදු පිලිවෙත් හා අනාරක්ෂිත සේවා කොන්දේසිවලට එරෙහිව කම්කරුවන්ගෙන් මතු වූ විරෝධය වෘත්තීය සමිති විසින් යටපත් කෙරුනි. යක්කල එස්ක්වෙල් හා කටුනායක ස්මාර්ට් ෂර්ට් ඇඟලුම් කම්හල් ඒ සම්බන්ධ මනා උදාහරන වන්නේ ය. 

මෙම ප්‍රහාරයන්ට එරෙහි ව කම්කරුවන් අතර විරුද්ධත්වය සහ කෝපය වැඩෙන තතු තුල මාකස් ඇතුලු පුද්ගලික අංශයේ සමිති නිලධරය හුදෙක් හාම්පුතුන්ට සහ ආන්ඩුවට චෝදනා කර ඇඟ බේරා ගැනීමේ වංචනික ප්‍රයත්නයක් යෙදී සිටි. මාකස් සිය නිවේදනයේ මෙසේ සඳහන් කරයි: “ඇඟලුම් ක්ෂේත්‍රයෙහි මනුස්ස ජීවිත සඳහා කිසිදු තැකීමක් නොමැති ව සේවකයින් දරුනු  ලෙස සූරා කන බැව් කාරනා  දෙකකින් ප්‍රදර්ශනය විය. එක් සාක්ෂියක් වූයේ දෙකෙන් පංගුවක් පමන වූ සේවක සංඛ්‍යාවකින්  පෙර හා සමාන වටිනාකමකින් යුත් නිෂ්පාදනයක් ලබා ගැනීම ය. දෙවැන්න වූයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙහි කෝවිඩ් -19 ‍වෛරසය  බරපතල ලෙස පැතිරීම ය.”

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්  කම්හලේ සමස්ත කම්කරුවන්ට කොවිඩ් වෛරසය ආසාදනය වීමට අමතරව කටුනායක හා බියගම ඇතුලු සෙසු අපනයන කලාප තුල ද වෛරසය පැතිරී ඇති බව දැන් හෙලිදරව් වී තිබේ. එය රාජපක්ෂ ආන්ඩුවේ සහ වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිව  බරපතල අනාරක්ෂිත හා රුදුරු සේවා කොන්දේසි යටතේ ධනපති හාම්පුතුන් විසින් නිෂ්පාදන කටයුතු පවත්වා ගෙන යන බවට පැහැදිලි සාක්ෂියකි. 

කම්කරුවන් සිය ගනනකට එකවර උන රෝගය වැලදී තිබියදීත් ඔවුන්ට නිවාඩු දීම හා වෛද්‍ය පරීක්ෂන පැවැත්වීම බ්‍රැන්ඩික්ස් පාලකයන් විසින් ප්‍රතික්ෂේප කල බව ද කම්කරුවන් පවසා ඇත. මෙය වනාහි “ආපසු වැඩට” සහ “නව සාමාන්‍යය” යන දුෂ්ට පිලිවෙත් යටතේ ධනපති පාලක පන්තීන්ගේ සහ වෘත්තීය සමිති වල සහයෝගය ඇතිව කාර්මික හා වෙලඳ සංගත විසින් කම්කරුවන්ගේ ජීවිත පරදුවට තබා ගෝලීය ව ක්‍රියාවට දමන ප්‍රතිගාමී පිලිවෙතකි.  

කොරෝනා වසංගතය මැද අපනයන පහත වැටීම සහ වෙලඳපොල හැකිලීම තිබියදී ම, අවම සේවක සංඛ්‍යාවක් රුදුරු සේවා කොන්දේසි යටතේ සේවයේ යෙදවීම මගින්, පසුගිය වසර හා සැසදීමේ දී සුලු අඩුවීමක් සහිතව, මෙම වසරේ ජුනි, ජුලි සහ අගෝස්තු මාසවල ඉහල ආදායමක් උපයා ගැනීමට ඇඟලුම් සමාගම් සමත් වී ඇත.  ඇඟලුම් සංවිධාන ඒකාබද්ධ සංසදය කම්කරු ඇමතිට ඉදිරිපත් කල වාර්තාවක් උපුටා දක්වමින් මාකස් සිය නිවේදනයේ සමාගම් උපයාගෙන ඇති ලාබ ගැන සඳහන් කර ඇත. 

ඒ අනුව ජුනි, ජුලි හා අගෝස්තු මාසවල පිලිවෙලින් ඩොලර් මිලියන 382.4 ක්, 441.9 ක් සහ 472.6 ක අපනයන ආදායමක් ඇඟලුම් සමාගම් විසින්  උපයාගෙන තිබේ. ඒ සමගම අර්ථසාධක සහ භාරකාර අරමුදල් වලට දායකමුදල් බැර නොකිරීමෙන් ඉතිරි වූ මුදල් ද හාම්පුතුන් තම ලාබයට එකතු කරගත් බව ද මාකස් පවසා ඇත. එහෙත් ඇඟලුම් හා අපනයන සමාගම් මෙසේ ලාබ පොදී  ගසා ගැනීමට සමත් වී ඇත්තේ කම්කරුවන් මත රුදුරු කප්පාදු පිලිවෙත් සහ සේවා කොන්දේසි පැටවීමට වෘත්තීය සමිතිවලින් ලැබුන නොමද සහයෝගය ඇතිව බව මාකස් වසන් කරයි.  

මාකස්  ඇතුලු වෘත්තීය සමිති නිලධරය උත්සුක වන්නේ කම්කරුවන්ගේ අයිතීන් රැකීම ගැන නොව,  ධනපති ආන්ඩුව සහ හාම්පුතුන් විසින් ඉවක් බවක් නැතිව ක්‍රියාවට දමන ව්‍යසනකාරී පිලිවෙත් වලට එරෙහිව කම්කරුවන් අතර වැඩෙන විරෝධය තමන්ට පාලනය කල නොහැකි මට්ටමට පුපුරා යාමට ඇති හැකියාව කෙරෙහිය.

වැඩිදුර කියවන්න

Loading