විදේශයන්හි අතර මං ව සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු කැඳවා ගැනීමේ ආන්ඩුවේ ක්‍රියා පටිපාටිය අනුව ප්‍රමුඛස්ථානය ලැබෙන්නේ සිසුන්ට මිස විගමනික කම්කරුවන්ට නො වන බව විදේශ සබඳතා පිලිබඳ අතිරේක ජනාධිපති ලේකම් අද්මිරාල් ජයන්ත කොලඹගේ ජුනි 10 දා ප්‍රකාශකල බව මාධ්‍ය වාර්තා කලේය.
ඩේලි මිරර් පුවත්පතේ සඳහන් වූ මෙම ප්‍රකාශයට අනුව, මේ අවස්ථාවේ “ප්‍රමුඛත්වය දෙන්නේ සිසුන්ට” බවත් ඊ ලඟට “තාවකාලික වීසා මගින් විදේශගතව සිටින අය” ගෙන්වීමෙන් පසුව “ගැබිනි කාන්තාවන්ට සහ රැකියා අහිමි වූවන්ට ප්‍රමුඛත්වය ලබා දී විගමනික කම්කරුවන් ගෙන්වීමට” කටයුතු කරන බව ද ඔහු එහි දී සඳහන් කර තිබේ.
ලෝකයේ සෙසු රටවල ධනේශ්වර පාලක පන්තීන්ට මෙන් ම රාජපක්ෂ ආන්ඩුවට ද කම්කරු පන්තියේ ජීවිත තුට්ටුවකට නොවටී. කොවිඩ්-19 මාරාන්තික වසංගත රෝගය මධ්‍යයේ මේ බව හොඳින්ම එලිදරව් වී ඇත. කොරෝනා වසංගතයෙන් සහ රැකියා අහිමිවීම ඇතුලු අනේකවිධ දුෂ්කරතාවන්ගෙන් පීඩාවට පත්ව සිටින විගමනික කම්කරුවන් මෙරටට ගෙන ඒම තුන්වැනි තැනට දැමීම හෙවත් අවිනිශ්චිත අනාගතයකට කල් දැමීම මගින් රාජපක්ෂ ආන්ඩුව නොසඟවා එලිදරව් කර ඇත්තේ එය ඔවුන් කෙරෙහි දක්වන අතිශය මෘග පන්තිමය ආකල්පය යි.
ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයන් ගෙන් සියයට තිහක් "ආනයනිත රෝගීන්" බවත් රෝගීන් විශාල ගනනකට නිරෝධායන හා ප්‍රතිකාර පහසුකම් ලබා දීමට නො හැකි බවත් අද්මිරාල් කොලඹගේ සඳහන් කර තිබේ. ලාභ හා විදේශ මුදල් සූරා ගත හැකිතාක් කල් පිටරට දාඩිය හෙලන කම්කරුවන් ට “රටවිරුවන්” යයි නම් පටබඳින ධනපති ආන්ඩුවට ඊට සේවය කරන අද්මිරල්ලාට වසංගතයට ගොදුරුවූ ජනයා “ආනයනිතයන්” වී ඇත. ධනපති ජාතික රාජ්‍යයේ නීතිවලට අනුව ලංකාවේ පුරවැසියන් වන මේ කම්කරුවන්ට රෝග වැලඳුනත් නැතත් ආපසු ඒමට අයිතිය ඇත. කුමන වියදමක් දරා හෝ ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම ආන්ඩුවේ වගකීමයි. කම්කරුවන්ගේ හා දුගීන්ගේ අවශ්‍යතා සපිරීමට නොහැකි ආන්ඩුව හා ධනපති පන්තියට පැවතීමට අයිතියක් නැත.
මැයි 21 දා කුවේට් ආන්ඩුව කම්කරුවන් 462 ක් සිය වියදමින් ශ්‍රී ලංකාවට එවන ලදී. මෙසේ එවන ලද කම්කරුවන් කොරෝනා ආසාදිත “බෝම්බ” ලෙස නම් කරමින් හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ දෙරන රූපවාහිනියේ පෙනී සිටිමින් කල සාකච්චාවක දී ඔවුන්ට අවමන් කලේ ය. ආන්ඩුවට අවශ්‍ය වී ඇත්තේ, කොරෝනා රෝගීන් පිලිබඳ අඩු සංඛ්‍යා ලේඛන දක්වා රට සාමන්‍ය අතට හැරී ඇතිබව ඔප්පු කිරීමටයි.
ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යංශයට අනුව මෙම වසරේ ජනවාරි මාසයේ දී ඇස්තමේන්තුගත විදේශීය ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව මිලියන 1.5 කි. ඉන් මිලියන 1.2 ක් සිටින්නේ මැද පෙරදිග රටවලය. ඔවුන්ගෙන් සියයට 80 ක් ගල්ෆ් රටවල්වන සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට් සහ කටාර් වැනි රටවල සිටිති. සංක්‍රමනික කම්කරුවන්ගෙන් අතිමහත් බහුතරය ගම්බද හා නාගරික දුගීන් සහ දෙමල ජනයාට එරෙහි දසක තුනක වර්ගවාදී යුද්ධයෙන් පීඩාවට පත් උතුරු නැගෙනහිර පවුල්වල සාමාජිකයෝය.
මැයි 27 වන විට දිවයිනට ඒමට අපේක්ෂාවෙන් රටවල් 123 ක සිටි ශ්‍රී ලාංකික කම්කරුවන් සංඛ්‍යාව 34,881 කි. ඉන් 20, 893 මැදපෙරදිග රටවල ජීවත් වන කම්කරුවෝ ය.
ගමන් බලපත්‍ර හා වීසා නොමැති ශ්‍රී ලාංකිකයන් 19,000 ට රටින් පිටවන ලෙස කුවේට් ආන්ඩුව මැයි මස අග නිවේදනය කලේය. එහෙත් අප්‍රේල් මාසයේ ලබා දුන් පොදු සමා කාලය තුල කම්කරුවන්ට අවශ්‍ය තාවකාලික ලියවිලි සකස් කර දීම කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දිගින් දිගටම මගහැර සිටියේ ය. ලංකාවේ ආන්ඩුව ඊට අවසර දී නැතැයි නිලධාරීහු කීහ. පොදු සමා කාලය අවසනවසන් වී රැකියාවලින් සහ නේවාසික ස්ථාන වලින් ඉවත් වී ෆර්වානිය නගරයට පැමිනි කම්කරුවෝ අනාථ වූහ.
මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකික කම්කරුවන් අතරින් අවම වශයෙන් කිහිප සියයකට කොවිඩ් වසංගතය ආසාදනය වී තිබෙන බව වාර්තා වන අතර කිහිප දෙනෙකු මියගියහ. ඔවුන්ට එම රටවල් වල දී නිසි වෛද්‍ය පහසුකම් පමනක් නොව, නවාතැන් සහ ආහාර පවා නොලැබෙන බවත් ශ්‍රී ලංකා තානාපති කාර්යාල ඒ පිලිබඳව අතිශයින් ම නො සැලකිලිමත් බවත් ඔව්හු චෝදනා කරති. මෙම රටවල තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාල වසා තැබීම හා දුරකථන පනිවිඩ වලට පිලිතුරු නොදෙන බව ද ඔව්හු කියති. එවන් තතු තුල රාජපක්ෂ ආන්ඩුවේ පිලිවෙත වන්නේ ඔවුන්ගේ ජීවිත වසංගතයට බිලිදීමකි.
ඇඟලුම් අපනයන ලඟට විශාලතම විදේශ විනිමය උපයන්නේ මෙම සංක්‍රමනික කම්කරුවෝය. පසුගිය දෙවසර තුල -2018 සහ 2019- සංක්‍රමනික කම්කරුවන් ඉපයූ විදේශ විනිමය පිලිවෙලින් ඇමරිකන් ඩොලර් බිලියන 7.9 සහ 6.7 කි.
ආන්ඩුව විදේශ කටයුතු අමාත්‍යංශය හරහා නිකුත් කල නිවේදන මගින් පීඩාවට පත් වී සිටින මෙම කම්කරුවන්ගෙන් “ජාතික ආර්ථිකය ගොඩ නැගීම” සඳහා කැප වීම ඉල්ලා සිටියේ ය. කම්කරුවන්ගේ විරෝධතා වර්ධනය වු තතු තුල “විදේශ රට වල සේවයේ නිරත පිරිස් මේ රටට පැමිනීමට කරන ඉල්ලීම් කොරෝනා සම්පූර්නයෙන් මර්දනය කිරීමෙන් පසුව සලකා බලන” බවත් “මෙම අවස්ථාවේ තමන් සිටින රටවල ම රැඳී සිටිමින් රජයට සහයෝගය දක්වන්න” ලෙසත් ආන්ඩුව ඉල්ලා සිටියේ ය.
විදේශ සම්බන්ධතා අමාත්‍යංශය මැයි 17 දා නිකුත් කල තවත් නිවේදනයක් මගින් “රජය විසින් මෙහෙයවනු ලබන සීමිත ගුවන් ගමන් වලින් ප්‍රයෝජන ගනිමින් ශ්‍රී ලංකාවට ආපසු පැමිනීම සඳහා තීරනය කිරීමට පෙර එසේ පැමිනීමෙන් ඔවුන්ගේ රැකියා සහ අධ්‍යාපනය කෙරෙහි ඇති විය හැකි බලපෑම ගැන සියුම්ව සලකා බලන” ලෙස ඉල්ලා සිටියේ ය. එය රැකියා සහ අධ්‍යාපනය අහිමිවීම ගැන බියක් ඇතිකිරීම තුලින් ඔවුන් දිවයිනට පැමිනීම අධෛර්යමත් කිරීමක් මෙන්ම ඔවුන් සම්බන්ධයෙන් ආන්ඩුව කිසිදු වගකීමක් නොදරන බවට කල ඇඟවීමකි.
ඒ සමගම ගුවන් ටිකට් පත්වල මිල කිහිප ගුනයකින් ඉහල දැමීම මගින් රැකියා හා වැටුප් අහිමි වී නිවෙස් බලා පැමිනීමට බලා සිටින කම්කරුවන් තව දුරටත් අසරන භාවයට පත් කර ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත් වන සුමිත් ලෝක සමාජවාදී වෙබ් අඩවියට කියා සිටියේ සෑහෙන රක්ෂනයක් නැති කෙනෙකුට සෞඛ්‍ය රැකවරන ලබා ගැනීමට නො හැකි බව ය. රක්ෂන අහිමි අය අතර රෝගීන් වාර්තා වූ විට ඔවුහු අන් අයගෙන් වෙන් කිරීම සඳහා විශේෂ මධ්‍යස්තානයක රඳවන නමුත් පැනඩෝල් හා සී විටමින් වලට අමතරව වෙනත් බෙහෙතක් හෝ ප්‍රතිකාරයක් නො ලැබෙන බව ඔහු කියයි.
ආන්ඩුව කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මුලුමනින් ම අත්හැර දමා ඇත. ඩුබායි හෝටලයක වසර අටක් සේවය කල සේවකයෙකුගෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට දැනගන්නට ලැබුනේ ඔහුට හෝටලයෙන් ආහාර පමනක් ලබා දෙන බවයි. රැකියාව අහිමි වීමේ අනතුරට ඔහු මුහුන දී සිටියි.
මැයි මාසයේ දී ඔහු නිරෝධායනය සඳහා ගෙන යන ලදී. තට්ටු විසිපහක ගොඩ නැගිල්ලක උඩ තට්ටුවකට ලඟා වන තෙක් තමන් කොහි ගෙන යන්නේ දැයි ඔහු දැන සිට නැත. ඇඳුම් දෙකක් පමනක් රැගෙන පැමිනෙන ලෙස ඔහුට දැනුම් දී තිබිනි. නිදා ගැනීමට සිදු වූයේ තමන් විසින් ගෙන යන ලද සරමක් බිම එලාගෙනය. එහි සිටි දින 14ට ම ලැබී ඇත්තේ එක සබන් කැබැල්ලකි. සියලු දෙනා එක ට රඳවා සිටි, නිසි සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේදයක් අනුගමනය නො කල නිරෝධායනය තුල රෝගය බෝවීම සිදු නො වුනේ අහම්බෙන් බව ඔහු පවසයි.
එසේ වූයේ නම් ඔහු දැනුවත් කිරීමකින් තොරව ම වෙනත් නො දන්නා ස්ථානයකට මාරු කර යැවීමට නියමිත ව තිබිනි. මෙම තත්ත්වය ට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම හා එහි ස්වභාවය එලිදරව් වන ඡායාරූප තම මිතුරන් වෙත යැවීම රැකියාව අහිමි කිරීමට බල පෑ බව ඔහු පවසයි.
රාජපක්ෂ ආන්ඩුව සංක්‍රමනික කම්කරුවන් ට විවිධාකාරයෙන් ගර්හා කරමින් සහ හෙලා දකිමින් ගෙනයන පිලිවෙත මගින් සලකුනු කෙරෙන්නේ ආර්ථිකව හා දේශපාලනිකව පමනක් නොව සදාචාරාත්මකව ද පරිහානියට පත් මෙරට කුජීත ධනපති පාලක පන්තියේ යථා ස්වභාවය යි.