සසප ඇඟලුම් කම්කරුවන් සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පුවත්හසුනක් දියත් කරයි

ශ්‍රී  ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප),  ඇඟලුම් කම්කරුවන් සඳහා, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පුවත්හසුනක් දියත් කරන බව සතුටින් දන්වා සිටිමු. 

ඇඟලුම් කම්කරුවන්ට සසප පනිවිඩ නම් වූ එහි ඇතැම් කලාපවල මුද්‍රිත පිටපතක් නිකුත් කිරීම ට ද අපි අපේක්ෂා කරන්නෙමු. ඒ සමගම, සසප විසින් සෞඛ්‍ය හා අධ්‍යාපන සේවකයන් සහ විගාමික කම්කරුවන් සඳහා පලකෙරෙන තවත් ලෝසවෙඅ පුවත්හසුන් තුනක් නිකුත් කිරීමට ද සැලසුම් කර ඇත.  

ඇඟලුම් කම්කරුවන්ට සසප පනිවිඩ, එම ක්ෂේත්‍රයේ පන් ලක්ෂයකට අධික සේවකයන්ගේ  අරගල මෙන්ම, ඔවුන් මුහුන දෙන, රැකියා, වැටුප්, සේවා කොන්දේසි සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පිලිබද ප්‍රශ්න අනාවරනය කිරීමේ හා විශ්ලේෂනයේ යෙදෙමින් එම ප්‍රශ්න ජයගැනීමේ ක්‍රියාමාර්ගය සාකච්චා කරනු ඇත. 

එමෙන් ම, දකුනු ආසියානු කලාපයේ සහ ලෝකයේ සෙසු රටවල ඇඟලුම් කම්කරුවන් ගේ  හා ජාත්‍යන්තර  කම්කරු පන්තියේ අනෙකුත් අරගල  ද,  ලෝක දේශපාලන වර්ධනයන් ද, සම්බන්ධව ලෝසවෙඅ පලකෙරෙන විශ්ලේෂනාත්මක ලිපි එම පුවත්හසුනට ඇතුලත් වනු ඇත.

කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ, ගෝලීයව ධනපති නිෂ්පාදකයින් ඒ ඒ රටවල ආන්ඩුවල පිටුබලය ඇතිව ක්‍රියාකරන්නේ, මාරක තර්ජනයන්ට මුහුන දිය හැකිව තිබිය දී නිසි සෞඛ්‍ය ආරක්ෂනයෙන් තොරව,  කම්කරුවන් වැඩට තල්ලු කිරීමට පමනක් නොව, ඔවුන්ගේ රැකියා, වැටුප්, සේවා කොන්දේසි රුදුරු ලෙස කප්පාදු කොට ලාභ පොදිගසා ගැනීමට ය. 

කොරෝනා වසංගතයෙන්  ලංකාවේ අනෙකුත් ක්ෂේත්‍රවල මන්ම, ඇඟලුම් කර්මාන්තයේ ද අර්බුදය වඩා ගැඹුරු කර ඇත.  රාජපක්ෂ ආන්ඩුව විසින් ”ආර්ථිකය යලි විවෘත” කිරීම යටතේ වැඩ ආරම්භ කෙරුනු කම්හල් වල සේවයට කැඳවනු ලැබ ඇත්තේ කම්කරුවන්ගෙන් සියයට 20-30 සංඛ්‍යාවකි. ඔවුන්ගේ පඩිපත කපා සේවා කාලය දිගු කර තිබේ. ඇතැම් කම්හල් මුලුමනින්ම  වසාදමා ඇත. 

වාර්තාවලට අනුව, බංගලාදේශය, මියන්මාරය සහ කාම්බෝජය යන රටවල ද, පසුගිය මාස තුන තුල රැකියා කැපීම සමගම වැටුප් ගෙවීමකින් තොරව හෝ සුලු වැටුප් ගෙවීමක් සහිතව ඇඟලුම් කම්හල් දහස් ගනනක් වසා දමා  ඇත. 

කම්කරුවන් ධනපති නිෂ්පාදකයන්ගේ අර්බුදයට පලිනැත. දැන් සිදුවෙමින් පවතින්නේ, පැසවමින් පැවති ධනපති ක්‍රමයේ අර්බුදය වසංගතය සමග ඔඩුදුවා උත්සන්න වීමකි. 

ධනපති නිෂ්පාදකයන්ගේ ලාභ තරකරගැනීමේ ප්‍රහාරයට කම්කරුවන්ගේ අයිතීන් බිලිදිය නොහැක. තමන් ඊට සූදානම් නැතිබව, අවශේෂ කම්කරුවන් මෙන්ම, ඇඟලුම් කම්කරුවන් විවිධ විරෝධතා මගින් පෙන්වා ඇත. 

එනමුදු, වෘත්තීය සමිති වඩා විවෘතව ඇඟලුම් කර්මාන්තකරුවන්ගේ හා ආන්ඩුවේ  ඍජු ඒජන්තයන් ලෙස ක්‍රියා කරමින් සිටිති.  ඒවා, මෙම ප්‍රහාරවලට එරෙහිව කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමට විරුද්ධව සිටියි. වෘත්තීය සමිති, ආන්ඩුව හා හාම්පුතුන්  සමග සම්බන්ධවී ක්‍රියාකරන ජාතික කම්කරු උපදේශක සභාවේදී මැයි මාසයේ ඇතිකර ගැනුනු  සම්මුතිය අනුව ඇඟලුම් හා අවශේෂ ක්ෂේත්‍රවල කම්කරුවන්ගේ රැකියා සියයට 70 කින් සහ වැටුප් සියයට 50 න් කප්පාදු කිරීමට එකඟ වුහ. 

කම්කරුවන්ට තමන්ගේ අයිතීන් සඳහා සටන් කිරීමට නව සංවිධානයක් අවශ්‍ය ය. වෘත්තීය සමිති වලින්  ස්වාධීනව, ඇඟලුම් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී  චන්දයෙන්, රැකියාවේ නියුතු හා රැකියා අහිමි කෙරුනු සියලු සේවකයන් අන්තර්ගතකරගත් කම්කරු ක්‍රියාකාරී පිහිටුවා ගැනීම හදිසි අවශ්‍යතාවක් ලෙස මතුවී ඇතිබව සසප අවධාරනය කරයි. 

එවන් ක්‍රියාකාරී කමිටු, කම්කරුවන්ගේ අරගල ඒකාබද්ධ කිරීමට, අවශේෂ කම්කරුවන් සමග එක්වීමට හා ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතුව ගෝලීය අරගලයක් සංවිධානය කිරීමට අවස්ථාව සලසයි.   

සසප අවධාරනය කරන්නේ, කම්කරුවන්ගේ අයිතීන් රැක ගැනීම, අන් සියල්ලටමත් වඩා,  අතලොස්සකගේ ලාභ ගැරීම පදනම් කරගත් ධනපති ක්‍රමයට  සහ එහි රැකවලුන් වන රාජපක්ෂ ආන්ඩුවට හා සංස්තාපිතයේ පක්ෂවලට එරෙහි දේශපාලන සටනක් බවට පත්ව ඇති බවයි.  

එය, ඇඟලුම් කම්හල් ඇතුලු සියලු ධනපති කර්මාන්ත සහ බැංකු, කම්කරුවන්ගේ  ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගෙන එමින්, අතලොස්සක් ධනපතීන්ගේ ලාභ සඳහා නොව, කම්කරු පන්තිය ඇතුලු මහජනතාවගේ අවශ්‍යතාවයන් සැපිරීමට, සමාජවාදී පදනමක් මත, විද්‍යාත්මක ලෙස, ආර්ථිකය   ප්‍රතිසංවිධානය කිරීම සඳහා කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමේ සටනකි. මෙම සටන, ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතුවී ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයකි. 

සසප විසින් දියත් කරනු ලබන ඇඟලුම් කම්කරුවන්ට සසප පනිවිඩ පුවත්හසුනට දායක වන ලෙසත්, එයට ඔබේ අදහස් හා පුවත් යොමු කරන ලෙසත් අපි ඉල්ලා සිටිමු.  ඔබගේ විද්‍යුත් තැපෑල මගින් එය ලබාගැනීමට දායක විය හැකි ය.