Socialist Equality Party (Sri Lanka)
සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්

ධනවාදයේ අර්බුදය සහ සසප කර්තව්‍යයෝ

35-1 ලෙහ්මන් බ‍්‍රදර්ස් නමැති ඇමරිකානු ආයෝජන බැංකුවේ බිඳ වැටීමත් සමග 2008 සැප්තැම්බරයේ දී පුපුරාගිය ගෝලීය මූල්‍ය අර්බුදය, සන්සන්ධිමය ආර්ථික බිඳවැටීමක් නොව ධනේශ්වර පර්යායේ අතිමූලික බිඳවැටීමකි. මූල්‍ය පර්යාය සහ මහා සංගතයන් ආරක්ෂා කිරීමට ආන්ඩු විසින් එන්නත් කරන ලද ඩොලර් ටි‍්‍රලියන ගනන් මුදල් කන්දරාව, ආර්ථික පද්ධතිය යලිත් ස්ථාවර කර ඇති බවට පැවති සුභවාදය වේගයෙන් වියැකී ගොස් ඇත. සමපේක්ෂකයන්ගේ හා ජාවාරම්කරුවන්ගේ කඳු ගැසුනු බොල් නය, ඇපදීම් සහ උත්තේජක වැඩ සටහන් තුලින් රාජ්‍ය ගිනුම් තුලට මාරු කල අතර, දැන් රටක් රටක් පාසා කප්පාදු පියවරයන්ගේ රූපයෙන් ඒවා කම්කරු පන්තියේ කර මතට පටවනු ලැබේ. ආර්ථික අර්බුදය තවමත් දරන දිගහරිමින්, වඩ වඩාත් විෂම ස්වරූපයන් අත් කර ගනිමින් පවතී. ඕස්ටේ‍්‍රලියානු සසපයේ ජාතික ලේකම් නික් බීම්ස් මෙසේ පැහැදිලි කලේය: “බිඳවැටීමක් යන්නෙන් ධනවාදය නතරවීමක් කරා පැමින ඇතැයි අදහස් නොවේ. එයින් පෙන්නුම් කෙරෙන්නේ, ආර්ථික හා දේශපාලනික යන ක්ෂේත‍්‍ර දෙකේ මෙන් ම දෘෂ්ටිවාදයන් සහ චින්තන විධික‍්‍රම යන අංශවල ද පැරනි ව්‍යුහයන් විස්ථාපනය වන සහ සමාජයේ ඉරනම ම තීන්දු කෙරෙන දේශපාලන අරගලයේ නව රූපාකාර වර්ධනය වන ඉතිහාසයේ නව කාල පරිච්ඡේදයක ආරම්භය යි.” [73]

35-2 උග‍්‍රවන ආර්ථික අර්බුදය ප‍්‍රධාන බලවතුන් අතර, ප‍්‍රථමයෙන්ම එක්සත් ජනපදය සහ චීනය අතර, ප‍්‍රතිවිරෝධතා තව දුරටත් උග‍්‍ර කරනු ඇත. වේගවත් ආර්ථික නැගීම හේතුකොටගෙන චීනය, බල ශක්ති සම්පත්, අමු ද්‍රව්‍ය හා වෙලඳපොල සොයා ලෝකය පීරායන තතු තුල, එහි වඩා ස්ථාපිත පිලිමලුන් සමග ද ඉන්දියාව වැනි නැගීඑන බලයන් සමග ද තරගයට අනිවාර්යයෙන්ම ඇද වැටෙනු ඇත. චීනය තම මුහුදු මාර්ග ආරක්ෂා කරගනු වස් යුද බලය, විශේෂයෙන්ම නාවුක බලය දියුනු තියුනු කර ගැනීමේ යෙදී සිටියි. එහෙත් මෙය, බටහිර පැසිෆික් සාගරයේ සහ ඉන්දියානු සාගරයේ දීර්ඝකාලීන එක්සත් ජනපද ආධිපත්‍යයට තර්ජනය කර සිටී. දැන් ලෝකයේ විශාලතම නයකාර ජාතිය බවට පත්ව තිබෙන එක්සත් ජනපදය ලෝකයේ ආර්ථික බලවතා හැටියට එයට පශ්චාත් යුදකාලීනව පැවති තත්වය නැති කර ගෙන ඇත. මෙම තතු තුල එය තම ප‍්‍රතිමල්ලයින්ට වල කැපීම සඳහා තමන්ට ඉතුරුව ඇති යුද්ධමය බලය ඉවබවක් නැතිව පාවිච්චි කරමින් සිටී. ඇමරිකා එක්සත් ජනපදය සාමාකාමීව තමාගේ පෙර පැවති ආධිපත්‍යය අහෝසි කර ගනු නැත. තමන්ගේ ම තියුනු ආර්ථික සහ සමාජ අස්ථාවරයේ පැටලී ඇති චීනයට, වොෂින්ටනයේ කොන්දේසි තීන්දු පිලිගත නො හැකි ය. දැනට ම වානිජ සහ මූල්‍ය ගැටුම් ලෙස ඉස්මත්තට පැමින තිබෙන එන්ට එන්ට ම උග‍්‍ර වන්නාවූ මෙම ප‍්‍රතිවාදිත්වය, අනෙකුත් බලවතුන් ද අනිවාර්යයෙන් ම එයට ඇදගෙන, තවත් ව්‍යසනකාරී ලෝක යුද්ධයක් තුලට මනුෂ්‍ය වර්ගයා ඇද ගෙන යාමේ තර්ජනය මතු කරයි.

35-3 සමස්තයක් වසයෙන් ආසියාව, එක්සත් ජනපදය සහ චීනය අතර උග‍්‍රවන්නා වූ තරගයේ කරලියක් බවට පරිවර්තනය වී පවතී. ඊසාන දිග ආසියාවේ තමන්ට කලින් තිබුනු ආධිපත්‍යය රැක ගැනීම සඳහා ජපානය, වොෂින්ටනය සමග තම යුද සන්ධානය ශක්තිමත් කර ගනිමින් සිටී. තමනුත් ගෝලීය බලවතෙකු වීමේ ආශාවෙන් පෙලෙන ඉන්දියාව, වොෂින්ටනය සමග මූලෝපායික හවුලක් පිහිටුවාගෙන සිටී. සෑම රටක ම පාලක පන්තිය මුහුන දෙන්නේ මූලික උභතෝකෝටිකයකට ය; දැනට ආසියාවේ සෑම රටක් සමග ම පාහේ ලොකුම වෙලඳ සහකරුවා බවට පත්ව සිටින චීනය සහ තවමත් ලෝකයේ විශාලම ආර්ථිකය ද ශක්තිමත් ම යුද බලය ද ලෙස පවත්නා ඇමරිකා එක්සත් ජනපදය ද අතර සිය තුලනය පවත්වා ගෙන යන්නේ කෙසේ ද යන්නයි. මෙම භූ-දේශපාලනික අරගලයේ විනාශකාරී ප‍්‍රතිවිපාක, මධ්‍යම ආසියාවේ ඇමරිකානු ආධිපත්‍යය යටතේ පවත්නා යටත් විජිත මුරපොලක් බවට පිරිහෙලී ඇති ඇෆ්ගනිස්ථානය ද දේශපාලන අර්බුදයෙන් හා ඝට්ටනයන්ගෙන් සොලවාලනු ලැබ ඇති අසල්වැසි පකිස්තානය ද තුල දැනට ම දක්නට ලැබෙයි.

35-4 ශ‍්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ ප‍්‍රමුඛ නාවුක මාර්ගවලට මැදි වී කේන්ද්‍රීයව පැවැත්මේ ප‍්‍රතිඵලයක් ලෙස, මහබලවතුන්ගේ තරගයේ සුලියට ඇද දමනු ලැබ ඇත. 2009 වර්ෂයේ දී දිවයිනේ දිග්ගැසුනු සිවිල් යුද්ධය අවසාන වීමත් සමග, එක්සත් ජනපදය, චීනය සහ ඉන්දියාව අතර කොලඹ මත ආධිපත්‍යය සඳහා වන තරගය වඩාත් උග‍්‍ර විය. එල්ටීටීඊයේ පරාජය ආසන්න ව පවතින කල්හි, චීනය, ලංකාවට යුදමය සහ ආර්ථික ආධාර සැපයීම මගින් ලංකාව තුල තම බලය ඉමහත් ලෙස වර්ධනය කර ගෙන ඇති බව එක්සත් ජනපදය කල්පසු වී වටහා ගත්තේය. මෙයට ප‍්‍රත්‍යුපකාර වශයෙන් ලංකාවේ ආන්ඩුව, චීනය විසින් බුරුමයේ, බංග්ලාදේශයේ සහ පකිස්තානයේ ගොඩනගා ගෙන යන මූලෝපායික වරාය පහසුකම් මාලාවේ කොටසක් ලෙස, දකුනු පලාතේ හම්බන්තොට නගරය තුල ප‍්‍රධාන නව වරායක් තනා ගැනීමට බෙයිජිනයට ඉඩ දී ඇත. වොෂින්ටනයට ශ‍්‍රී ලංකාවේ පවත්නා මූලෝපායික වැදගත්කම, 2009 දෙසැම්බරයේ දී එක්සත් ජනපද සෙනේට් මන්ඩලය විසින් නිකුත් කල වාර්තාවක් තුලින් අවධාරනය කරනු ලැබ ඇත. එම වාර්තාව පැහැදිලිව ප‍්‍රකාශ කලේ “ලංකාව නැති කර ගැනීමට” එක්සත් ජනපදයට නො හැකි බව යි. කලාපයේ අනෙකුත් සියලු රාජ්‍ය පරිද්දෙන් ම ශ‍්‍රී ලංකාවේ ආන්ඩුව ද දැන් යෙදී ගෙන සිටින අවදානම් සහගත අතුරේ යාම, කම්කරු පන්තියට අතිමහත් විනාශයක් අත්පත් කර දෙන්නා වූ ඝට්ටනයක් තුලට මේ දිවයින ද අනිවාර්යයෙන් උකහා ගැනීම වැලැක්වීමට අසමත් වනු ඇත.

35-5 ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් 2006 දී යලි අරඹන ලද යුද්ධයෙන් සමස්ත දිවයිනම විනාශ මුඛයට ඇද දැමින. දෙමල සිවිල් වැසියන් දසදහස් ගනනක් මරා දැමුනු සහ නගර, ගම් සුන්බුන් බවට පත් කෙරුනු කුරිරු යුද්ධයක්, සියලු ප‍්‍රධාන බලයන්ගේ පිටු බලය සහිතව, ආන්ඩුව සහ හමුදාව මගින් දියත් කෙරින. ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට එල්ල කෙරුනු දුරදිග යන ප‍්‍රහාරයක් ද කම්කරු පන්තිය මත නව ආර්ථික බර පැටවීමක් ද යුද්ධය සමග කි‍්‍රයාත්මක විය. හමුදාව සමග ඉතා සමීපව කටයුතූ කල ආන්ඩුවට හිතවත් ඝාතක කල්ලි විසින් මාධ්‍යවේදීන් සහ දේශපාලනඥයන් ඇතුලු සිය ගනනක් “අතුරුදහන්” කෙරින, නැතහොත් මරා දැමින. 2007 මාර්තුවේ දී සසප සාමාජික නඩරාජා විමලේශ්වරන් නාවික හමුදාවෙන් පාලනය කෙරුනු කයිට්ස් දූපත වෙත යද්දී “අතූරුදහන්” විය. සිද්ධිය සම්බන්ධයෙන් කවර හෝ විමර්ශනයක් කිරීම අවහිර කල ආන්ඩුව, ඝාතනයක් වීමට බොහෝ ඉඩකඩ ඇති, ඔහුගේ අතුරුදහන් වීමට වගකිව යුතුය.

35-6 සිවිල් යුද්ධයේ අවසානය, ජනාධිපති රාජපක්ෂ පොරොන්දු වූ “සාමය සහ සමෘද්ධිය” ගෙන විත් නැත. යුද්ධය සඳහා ගෙවීමට දිවයින මුලුමනින්ම උකස් තබා ඇති ආන්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම් සන්තර්පනය කිරීම සඳහා රාජ්‍ය අංශයේ රැකියා, සේවා සහ සහනාධාර තවත් ගැඹුරින් ම කප්පාදු කිරීමට බල කෙරී ඇත. ගත වූ අවුරුදු 5 තුල වැටුප් වැඩිවීම් සැබවින්ම අත්හිටුවා ඇති අතර ඉතා මූලික ආහාර ද්‍රව්‍යය ද ඇතුලු සියලු භාන්ඩ මිල ගනන් අහස උසට ඉහල ගොස්, කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවගේ අති විශාල කොටස්වලට ඉතා දුෂ්කර තත්වයක් නිර්මානය කොට තිබේ. පොහොසත් සහ දුප්පත් අය අතරේ දැවැන්ත අගාධය, අලුත් ම සමාජ සංඛ්‍යා ලේඛන තුලින් මෙසේ පැහැදිලි වේ. සමාජයේ පහත ම සියයට 20 ලබන්නේ සමස්ත කුටුම්බ ආදායමෙන් සියයට 4.5 ක් වන අතර ඉහල සියයට 20 එයින් සියයට 54.1 ක් ලබති. වැඩ කරන ජනතාවගේ හදිසි අවශ්‍යතාවයන් සහ අපේක්ෂාවන් කිසිවක් හෝ කොලඹ දේශපාලන සංස්ථාපිතයේ කුමන කොටසකින් හෝ ප‍්‍රකාශනයක් අත්පත් කර ගන්නේ නැත. විපක්ෂ එජාප සහ ජවිපෙ, ආන්ඩුවේ යුද්ධයටත් ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනය වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරනු ලබන වෙලඳ පොල-හිතැති ආර්ථික න්‍යාය පත‍්‍රයටත් සම්පූර්න සහයෝගය දුන්නෝය.

35-7 ශ‍්‍රී ලංකාවේ ධනපති පන්තියේ දේශපාලන දුර්වලතාවය ඉස්මතු කරන තවත් කරුනක් නම්, සිවිල් යුද්ධයේ ශතවර්ෂ කාලකට වැඩි කාලය තුල දී රට තුල ගොඩනගා ඇති යෝධ ආරක්ෂක හමුදාවන් මත රාජපක්ෂ ආන්ඩුව රඳාපැවතීම ය. යුද්ධයේ නිමාවෙන් අවුරුදු 2ක් පමන ගත වූ පසුත් අති දරුනු හදිසි නීති තාමත් බලපවත්නා අතර, හමුදාවේ කිසිදු කොටසක් විසුරුවා හැර නැත. ඒ වෙනුවට හමුදාව, කලින් මුලුමනින්ම සිවිල් අංශයට භාරව පැවතියේ යයි සලකනු ලැබූ ආන්ඩුවේ අංශවලට කඩා වදිමින් පවතී. මීට එක් උදාහරනයක් නම්, පවුල් 60,000ක් බලහත්කාරයෙන් ඉවත්කරලීම ඉලක්ක කර ගත් කොලඹ පැල්පත් ඉවත් කිරීමේ දැවැන්ත වැඩපිලිවෙල ය. කම්කරුවන්, “ජාතිය ගොඩනැගීමට” සොල්දාදුවන් සේ කැපවී ගත යුතු ය යන රාජපක්ෂගේ අනුශාසනා තුල, රටේ ජීවිතය මිලිටරිකරනය කිරීම සාරාංශ ගත වී ඇත. එන්ට එන්ට ම රාජපක්ෂ තන්ත‍්‍රය කි‍්‍රයා කර ඇත්තේ, පාර්ලිමේන්තුව, ව්‍යවස්ථාව සහ අධිකරනය නොතකන්නා වූ දේශපාලන-මිලිටරි බල කට්ටුවක් ලෙස ය. පොලිස් රාජ්‍ය තන්ත‍්‍රය අන් සියල්ලටමත් වඩා එල්ල වී ඇත්තේ, කම්කරු පන්තියේ සහ ගම්බද ජනතාවගේ ඕනෑම විරුද්ධත්වයක් පාගා දැමීම සඳහා ය.

35-8 දිග්ගැසුනු සිවිල් යුද්ධයට තුඩු දුන් එයට යටින් පැවති කිසිදු ගැටලුවක් එල්ටීටීඊය මිලිටරිමය වසයෙන් පරාජය කිරීම මගින් විසඳී නැත. නිල ස්වාධීනත්වයෙන් දශක හයකට පසු ශ‍්‍රී ලංකාවේ ධනපති පන්තිය බලයේ එල්බීගෙන සිටින්නේ, දිවයින ප‍්‍රජාගනවාදී පදනමක බිඳ දැමීම තුලිනි. යුද අවි බලයෙන් ම පවත්වාගෙන ඇති එක්සත්කම කි. උතුරු-නැගෙනහිර පවතින දැවැන්ත මිලිටරි වාඩිලාගැනීමෙන් මෙම තතු දැන් ප‍්‍රකාශිත වේ. දශක ගනනාවක් තිස්සේ මුල්බැසගත් වෙනස්කම් කිරීමට එරෙහිව දෙමල ජනයාගේ යුක්තිසහගත දුක්ගැනවිලි සහ කෝපය අනිවාර්යයෙන් ම නව රූපාකාරවලින් පුපුරා යනු ඇත. කම්කරු පන්තිය මින්, අවශ්‍ය දේශපාලන පාඩම් උකහා ගත යුතු ය. එල්ටීටීඊයේ පරාජය ප‍්‍රාථමිකව ම යුදමය පරාජයක් නො වී ය. එම පරාජය එල්ටීටීඊයේ දේශපාලන ඉදිරිදර්ශනයේ ආවේනික දේශපාලන දුබලකම්වල ප‍්‍රතිඵලයක් විය. ආරම්භයේ පටන්ම එල්ටීටීඊයේ අරමුන වූයේ ඉන්දියාවේ සහ අනෙකුත් කලාපීය හා ලෝක බලවතුන්ගේ ආධාරයෙන්, දෙමල ධනපති පන්තිය වෙනුවෙන් ධනේශ්වර ඊලම් රාජ්‍යයක් වෙන් කර ගැනීම ය. මෙම බලවතුන් එම සැලැස්මට තීරනාත්මක ව එරෙහි වූ කල්හි එල්ටීටීඊයට ඉතුරු වූයේ, මිලිටරි ආක‍්‍රමනය වලක්වාලීම සඳහා උදව් කරන ලෙස “ජාත්‍යන්තර ප‍්‍රජාවට” බෙලහීන ලෙස කන්නලව් කිරීම ය. ශ‍්‍රී ලංකාවේ ධනපති පන්තියට සහ ඔවුන්ට පිටුබලය සපයන අධිරාජ්‍යවාදී බලයන්ට එරෙහිව සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් සඳහා අරගලයක් කිරීමට සමත් සමාජය තුල පවත්නා එකම සමාජ බලවේගය නම් කම්කරු පන්තිය යි. කෙසේවෙතත් එල්ටීටීඊය සෑම විට ම සිංහල සහ දෙමල කම්කරුවන්, පන්ති පදනමක ඒකාබද්ධ කිරීමේ කුමන යොමුවකට හෝ ඓන්ද්‍රීයව ම විරුද්ධ විය. සිංහල සිවිල් ජනයාට එරෙහිව එල්ටීටීඊය එල්ල කල ඉව බව නැති ප‍්‍රහාර, ප‍්‍රජාගනවාදී භේද ගැඹුරු කරමින් කොලඹ දේශපාලන සංස්ථාපිතය අතට වාසි ලබා දුන්නේ ය. එල්ටීටීඊයට නතුව පැවති ප‍්‍රදේශවල එම සංවිධානය කලේ, වැඩ කරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතිවාසිකම් ද සමාජ අවශ්‍යතාවන් ද පාගා දැමීම ය. එහි ප‍්‍රතිඵලයක් ලෙස, තමන් අන්තිම සටනට මුහුන දී සිටිය දී, එල්ටීටීඊ නායකත්වය, දිවයින සහ කලාපය පුරා කම්කරු පන්තිය පසෙක තිබියේවා, අඩු වශයෙන් දෙමල ජනතාවට හෝ කිසියම් පලල් ආයාචනයක් කිරීමට මුලුමනින්ම අසමත් විය. එල්ටීටීඊයේ බිඳවැටීම වනාහි ධනේශ්වර බෙදුම්වාදය මත පදනම් වූ සියලූ ප‍්‍රවනතාවයන්ගේ බංකොලොත්කම පිලිබඳ සිත් කාවදින සනාථනයකි.

35-9 යුද්ධයේ පසුගිය වසර 25, සෑම දේශපාලන ප‍්‍රවනතාවයක්ම උරගා බලා තිබේ. ශ‍්‍රී ලංකාවේ සහ ඊලම්හි එක්සත් සමාජවාදී සමුහාන්ඩුවක් සඳහා වූ මූලෝපායේ අත්‍යවශ්‍ය කොටසක් ලෙස දෙමල ජනතාවගේ සහ සමස්තයක් වශයෙන් වැඩකරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ස්ථිරසාර දේශපාලන අරගලයක් ගෙන යා හැකි එකම සංවිධානය, සසප බව ඉන් ඔප්පු වී ඇත. සෑම පැත්තෙන්ම තමන්ට එල්ල වූ දේශපාලන සහ කායික ප‍්‍රහාරයන්ට මුහුන දී නැගී සිටීමට සසප සමත් වුයේ එය පදනම් වී ගත්තා වූ මූලධර්මයන්හි ශක්තිය නිසා ය. ධනපති පන්තියේ සෑම කොටසකින්ම කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය අත්කර ගැනීම සඳහා සටන් කිරීමේ එකම මාර්ගය නම්, නොනවතින විප්ලවයේ න්‍යායයි. දසක තුනකට අධික කාලයක් තිස්සේ ට්‍රොට්ස්කිවාදය උදෙසා අප‍්‍රතිහත අරගලයක් කිරීම මගින් කම්කරු පන්තිය තුලට තම මුල් ගැඹුරින් විදහා ගෙන සිටින සසප, වැඩ කරන ජනතාවගේ ඓතිහාසික අවශ්‍යතාවන් ආරක්ෂා කරන එකම පක්ෂය තමන් බව තහවුරු කර තිබේ.

35-10 ශ‍්‍රී ලංකාව ක්ෂුද්‍රවිශ්වයක් ලෙසින් විදහා දක්වන්නේ, දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිති දකුනු ආසියාව පුරා පිහිටුවන ලද සියලු ඊනියා ස්වාධීන රාජ්‍යයන් තුල කි‍්‍රයාත්මක කෙරුනු ජාතික ව්‍යාපෘතියේ පරිපූර්න අසාර්ථකත්වය යි. යහපත් ජීවන තත්වයක් සඳහා ද මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සඳහා ද වූ මහජනතාවගේ අභිලාෂයන් සන්තර්පනය කිරීමට ධනේශ්වර ආන්ඩු මේ කුමන තැනක දී වත් සමත්ව නැත. කෝටි සංඛ්‍යාත ජනයා දිලිඳුකමේ ද පසුගාමිත්වයේ ද ගිලී සිටිති. ශ‍්‍රී ලංකාවේ දශක ගනන් දිග්ගැසුනු සිවිල් යුද්ධයේ සමාන්තරය මුලුමහත් කලාපය පුරා පෙන්නුම් කෙරෙන්නේ ප‍්‍රජාගන, ජනවාර්ගික හා භාෂාමය භේදයන්, පාලක ප‍්‍රභූවේ ප‍්‍රතිමල්ල කන්ඩායම් විසින් තමන්ගේ ම පටු අවශතාවයන් උදෙසා ප‍්‍රතිගාමී ලෙස ගසාකෑම තුලය. කම්කරු පන්තිය විප්ලවවාදී කැලඹීම්වලින් යුක්ත නව කාලපරිච්චේදයක් තුලට ඇතුලු වෙද්දී සාරභූත දේශපාලන පාඩම් උකහා ගත යුතුව ඇත. යල්පැනගිය ධනපති ක‍්‍රමය පෙරලා දමා ලෝක පරිමානව සැලසුම්ගත සමාජවාදී ආර්ථිකයකින් එය විස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය විප්ලවවාදී බලවේගය වර්ධනය කරගත හැකි වන්නේ, කම්කරු පන්තිය ජාතික දේශසීමාවන් තුල ද ඒවා ඉක්මවා ද ඒකාබද්ධ කිරීම තුලින් පමනි. සසප මෙහිදී ජාත්‍යන්තර කමිටුවේ කි‍්‍රයා මාර්ගය මත තරයේ පදනම් වෙමින් බීඑල්පීඅයි හි හොඳම විප්ලවවාදී සම්ප‍්‍රදායන් යලි පුනර්ජීවනය කරමින්, ලෝක සමාජවාදී විප්ලවයේ එකාග‍්‍රිත කොටසක් ලෙස දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක් පිහිටුවාලීම සඳහා, කම්කරුවන්ගේ හා පීඩිත ජනයාගේ සමගිය සඳහා සටන් වදී.

35-11 නිරන්තර ආර්ථික අර්බුදයන් ද තියුනු වන්නා වූ අන්තර් අධිරාජ්‍ය ප‍්‍රතිඝතිතාවයන් ද යුදවාදයේ වර්ධනය ද ගැඹුරු වන්නා වූ සමාජ අසමානතාවය ද පවත්නා දේශපාලන පක්ෂ සහ ව්‍යුහයන්ගෙන් සාමාන්‍ය ජනතාව ප‍්‍රගාඪ ලෙස විරසක වීම ද අනිවාර්යයෙන් ම පෙන්නුම් කරන්නේ, දිග් ගැස්සුනා වූ යුද්ධයන්ගේ සහ විප්ලවයන්ගේ නව කාලපරිච්ඡේදයකි. උතුරු අප‍්‍රිකාවේ සහ මැදපෙරදිග නැගිටීම් වනාහි, ධනවාදයේ අර්බුදය දැවැන්ත පන්ති අරගලයන් පනගන්වන බව අලුතින් ම තහවුරු කිරීමකි. කෙසේවෙතත්, ධනවාදයේ බිඳවැටීමේ වැඩි දියුනු ස්වභාවය ද කම්කරු පන්තියේ වත්මන් දේශපාලන විඥානය ද අතර තවමත් යෝධ හිදැසක් පවතී. එය ජයගත හැකි වන්නේ කම්කරු පන්තියේ ස්වාධීන බලමුලු ගැන්වීම වලක්වාගෙන සිටින්නාවූ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ, ස්ටැලින්වාදයේ සහ පැබ්ලෝවාදයේ ඒජන්සිවලට එරෙහිව විප්ලවවාදී පක්ෂය විසින් ගෙන යනු ලබන ඉවසිලි සහගත, අශමනීය දේශපාලන අරගලයක් තුලින් පමනි. එසේ කිරීමේ දී සසප කම්කරු පන්තියේ නව ස්වාධීන සංවිධානයන්ගේ වර්ධනයට ධෛර්යය දෙනු ඇත, ආධාර කරනු ඇත, කම්කරු පන්තිය තුල ස්ථිරසාර දේශපාලන අරගලයක් තුලින් පක්ෂය, කම්කරුවන්ගේ සහ ගොවියන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා අත්‍යවශ්‍ය වූ, කම්කරු-ගොවි සන්ධානය ගොඩනැගීමට සටන් වදිනු ඇත.

35-12 කෙසේ වෙතත් කේන්ද්‍රීය ප‍්‍රශ්නයව පවතින්නේ කම්කරු පන්තියේ විඥානය, එම පන්තියේ ජාත්‍යන්තර සහ ඓතිහාසික කර්තව්‍යයන්ගේ මට්ටමට ඔසොවාලීම සඳහා විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම ය. එම භූමිකාව සාර්ථකව ඉටු කිරීමට සමත් වන්නේ, ජාත්‍යන්තර කම්කරු පන්තියේ පූර්ව මූලෝපායික අත්දැකීම්වල අවශ්‍ය පාඩම් උකහා ගත් දියුනුතම විද්‍යාත්මක න්‍යාය මත පදනම් වූ පක්ෂයක් ම පමනි. හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි ශාඛාවන් පමනක් ම, සමකාලීන මාක්ස්වාදයේ, එනම් ට්‍රොට්ස්කිවාදයේ, ඓතිහාසික උරුමය දරා සිටී. කම්කරුවන් සහ තරුනයන් අතුරින් වඩාත් දූරදර්ශී වූ ද ආත්ම -පරිත්‍යාග ශීලී වූ ද කොටස් මෙම ධජයට දිනා ගනු ලැබ, ලෝක සමාජවාදී විප්ලවය කි‍්‍රයාත්මක කිරීම සඳහා අවශ්‍ය වූ ද්‍රව්‍යමය බලවේගයන් සම්පාදනය කරනු ඇතැ යි යන බරපතල විශ්වාසයෙන් යුතුව, සසප ද ජාත්‍යන්තර කමිටුවේ එහි සහෝදර පක්ෂ ද ජාත්‍යන්තර කම්කරු පන්තිය උගන්වා, බලමුලූ ගන්වා, ඒකාබද්ධ කිරීමට මෙම පදනමේ සටන් වදී.

සමාප්තයි.


[73]

නික් බීම්ස්, 70 වන සංවත්සර රැස්වීම අමතයි: ධනවාදී බිඳවැටීම සහ හතර වන ජාත්‍යන්තරයේ විප්ලවවාදී ඉදිරිදර්ශනය, http://www.wsws.org/sinhala/2008/oct2008/nb1-13o pdf.