25-1 1987 නොවැම්බරයේ දී ජාත්‍යන්තර කමිටුව, ශ්‍රී ලංකාවේ හා දෙමල ඊලම්හි එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් පිලිබඳ සටන් පාඨය ප‍්‍රථම වරට ඉස්මතු කල “ඉන්දු-ලංකා ගිවිසුම සහ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ කර්තව්‍යයෝ” යන හිසින් යුත් පූර්න ප‍්‍රකාශනයක් ප‍්‍රසිද්ධ කලේ ය. නො නවතින විප්ලව න්‍යාය මත පදනම් වූ එම ප‍්‍රකාශනය, දෙමල ජනයාගේ ප‍්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් සාක්ෂාත් කරගත හැක්කේ කම්කරු පන්තිය සමාජවාදය සඳහා කරන අරගලය හරහා පමනක් බව පැහැදිලිව අවධාරනය කලේ ය. වෙනත් වචනවලින් කියතොත් අනෙකුත් ප‍්‍රජාතාන්ත්‍රික කර්තව්‍යයන් මෙන් ම ජාතික ස්වයං-නීර්නය ද, කොතරම් දිරිමත් හා සටන්කාමී වුවත්, ධනේශ්වර හා සුලු-ධනේශ්වර ව්‍යාපාරවලට විසඳිය නො හැකි ය. කවිප කල ආකාරයට, පක්ෂය, දෙමල ජාතික ව්‍යාපාරයට හුරේ දැමීමේ හා එහි දේශපාලන උපදේශකත්වයේ භූමිකාවට ලඝු කිරීමේ ඕනෑම ප‍්‍රවනතාවකින් වෙන්වී ගෙන, සමාජවාදය සඳහා ගෙනගිය අරගලය හරහා මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කරගැනීමට සිංහල හා දෙමල කම්කරු පන්තිය බලමුලුගැන්වීම සඳහා සටන් වැදීම තුල පවත්නා විකොස දිශානුගතවීම මෙම සටන් පාඨය මගින් පැහැදිලිව විදහා දැක්වුනි.
25-2 ජාත්‍යන්තර කමිටුවේ ප‍්‍රකාශනය පැහැදිලි කල පරිදි දෙවන ලෝක යුද්ධයෙන් පසුව ස්ථාපනය කරන ලද ඊනියා ස්වාධීන රාජ්‍යයන්ගෙන් එකක්වත්, මහජනතාවන්ගේ ප‍්‍රජාතාන්ත්‍රික අභිලාෂයන් හෝ මූලික ද්‍රව්‍යමය අවශ්‍යතා ඉටු කර නොමැත. “අධිරාජ්‍යවාදයේ අනුමැතිය ලත් ‘ස්වාධීනත්වයේ’ අර්ථය වූයේ අනිවාර්යයෙන්ම ප‍්‍රජාතාන්ත‍්‍ර මූලධර්ම මාරක ලෙස උල්ලංඝනය කිරීම මත පදනම් කරනු ලැබූ අවජාතක රාජ්‍යයන් බිහිකිරීමයි. මෙම ක්‍රියාදාමයේ දී ජාතික ධනේශ්වර පන්තිය ක්‍රියාකොට ඇත්තේ පීඩිත ජනතාවගේ විමුක්ති දායකයා ලෙස නොව අධිරාජ්‍යවාදී කොල්ලයේ කනිෂ්ට හවුල් කරුවා ලෙසය. මෙම ක්‍රියාවලිය තුලදී නිර්මානය කරනු ලැබූ රාජ්‍ය වර්ගය, නිෂ්පාදන බලවේගයන්ගේ ප‍්‍රගතිශීලී වර්ධනයක් ඇති කිරීමට අසමත්වූ, කුනුවන ධනවාදයේ සිපිරි බිමක්මැ විය.... එවැනි කොන්දේසිවලින් බිහිවන්නේ අන්තර්-වාර්ගික යුද්ධයේ සංත‍්‍රාසය යි. ධනේශ්වර පාලනය පවතින තුරු මෙම තත්ත්වය වෙනස් කල නො හැක. ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, බුරුමය මෙන් ම ලෝකයේ සෑම පශ්චාත් යටත් විජිත රටක ම පශ්චාත් නිදහස් ඉතිහාසය තීරනාත්මක ලෙස සාධනය කරන්නේ, ධනේශ්වරයට අව්‍යාජ ජාතික එකමුතුව හා දේශපාලන නිදහස ස්ථාපනය කල නො හැකි බව යි.” [59]
25-3 මෙහි විපාකයක් ලෙස එම ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී කර්තව්‍යයන් කම්කරු පන්තිය මතට පැවරේ. ස්වයං-නීර්න අයිතිය පිලිගන්නා අතර ම ජාත්‍යන්තර කමිටුව අවධාරනය කලේ, ජාතික ප‍්‍රශ්නය විසඳිය හැක්කේ, සමාජවාදී විප්ලවයේ මූලෝපාය මගින් පමනක් බවයි, එබැවින් ස්වයං-නීර්නය එම මූලෝපායට යටත් බවයි. “ස්වයං-නීර්නය සඳහා ජාතීන් ගේ අයිතිය සාක්ෂාත් කරගත හැකි එකම සමාජ බලවේගය නිර්ධන පන්තිය යි. එහෙත් නිර්ධන පන්තිය මෙය ඉටු කරන්නේ ජාතික ධනේශ්වරයේ වලිගයක් හැටියට නොව එහි සම්මුති විරහිත සතුරෙකු හැටියට ය. නිර්ධන පන්තිය ජාතීන්ගේ ස්වයං-නීර්නය අයිතිය සඳහා සටන් වදින්නේ තමන්ටම ආවේනිකවූ අවි වලිනි; තමන්ගේම ක්‍රියාමාර්ගය මතය; ගමේ හා නගරයේ සියලු පීඩිත ජනතාව තමන් පිටුපස බලමුලුගන්වා ගනිමිනි. ජාතික ස්වයං නීර්නය අයිතිය තහවුරු කෙරෙනවා ඇත්තේ සිය ඒකාධිපතිත්වය පිහිටුවාගෙන සියලුම පීඩිත ජනයාට ඔවුන්ගේ යුක්ති යුක්ත ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සහතික කරන්නාවූ කම්කරු පන්තිය විසින් නායකත්වය දෙනු ලබන සමාජවාදී විප්ලවයේ අතුරු ඵලයක් ලෙසය. ජාතීන් අතර සැබෑ සමානත්වයේ රාමුවක් ලෙස සිය කැමැත්තෙන් එක්සත්වූ සමාජවාදී සමූහාන්ඩුවක් නිර්මානය කිරීමට නිර්ධන පන්තිය යෝජනා කරයි. ආර්ථික හා සංස්කෘතික ප‍්‍රගමනය සඳහා හොඳම අවස්ථාව සහතික කෙරෙන්නේ සියලුම පීඩිත ජාතීන්ගේ ස්වේච්ඡා ඒකාබද්ධතාවයෙන් යයි විශ්වාස කරන අතරම නිර්ධන පන්ති ඒකාධිපතිත්වය වෙන් වීමට කැමති සෑම ජාතියකටම වෙන් වීමට ඇති අයිතිය සහතික කර දෙන්නේය. දෙමල ඊලම් හා ශ‍්‍රී ලංකාව අතර එක්සත් සමාජවාදී රාජ්‍යයන්ගේ සමූහාන්ඩුවක් සඳහා විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති කි‍්‍රයා මාර්ගයේ සාරභූත අන්තර්ගතය මෙය යි.” [60]
25-4 ඉන්දියාවේ ධනේශ්වරයට එල්ටීටීඊය දේශපාලනිකව යටත්වීමේ ආලෝකයෙන්, ජාත්‍යන්තර කමිටුවේ ප‍්‍රකාශනය, විවිධ ජාතික විමුක්ති ව්‍යාපාරවල ස්වභාවය යලි තක්සේරු කිරීමේ කි‍්‍රයාදාමයක් ද ඇරඹීය. දෙවන ලෝක යුද්ධයට පෙර හා පසුව බිහිවූ, ජාතිකත්ව, භාෂා, ආගම් හා කුල භේද කපාගෙන මහජනයා ආකර්ෂනය කරගත්, පුලුල් විජිත විරෝධී ව්‍යාපාරවලට විපරීතව, එල්ටීටීඊය වැනි සංවිධාන, ජාතික සුවිශේෂතාවාදය මත පදනම් විය. ලෙනින් අනතුරු අඟවා තිබුනු පරිදි මෙය වනාහි තමන්ගේ ම ජාතික වරප‍්‍රසාද හා තමන්ගේ ම ‘ස්වාධීන’ රාජ්‍යය තුල කම්කරුවන් හා ගොවීන් සූරාකෑමේ කොන්දේසි ස්ථාපනය කිරීමේ ආස්ථානයෙන් පමනක් ස්වයං-නීර්නය අවබෝධ කරගත් ජාතික ධනේශ්වරයේ දෘෂ්ටිය යි. එල්ටීටීඊය සම්බන්ධයෙන් ගත්කල, ස්වාධීන ඊලමක් සඳහා වන එහි කි‍්‍රයාමාර්ගය, දිවයිනේ මධ්‍යම ප‍්‍රදේශයේ ලක්ෂ ගනනක් වන දෙමල වතු කම්කරුවන් හෝ පෝක් සමුද්‍ර සන්ධියෙන් එහා දකුනු ඉන්දියාවේ දෙමල මහජනයා පිලිබඳ ඉදිරිදර්ශනයක් නො තිබුනු ශී‍්‍ර ලංකාවේ දෙමල ධනේශ්වරයේ අල්ප ඉලක්ක නියෝජනය කල ධනේශ්වර ටීයූඑල්එෆ් වෙතින් ඍජුව ම උකහා ගත් එකක් විය.
25-5 ජාත්‍යන්තර කමිටුවේ ලියවිල්ල තුල උපුටා දක්වන ලද විකොස ප‍්‍රකාශයක් මෙසේ පැහැදිලි කලේ ය: “එහෙත් ජාතික සුවිශේෂතාවාදය පදනම් කරගෙන තමන්ගේ පමනක් අයිතීන් පතා ගොඩනගන ව්‍යාපාරයක් මගින් ජාතික විමුක්තිය ලැබිය නො හැකි ය. අප ජීවත් වන මෙම කාලයේ දී එබඳු ව්‍යාපාරයක් කොතරම් ප‍්‍රබල මහජන ව්‍යාපාරයක් ජනනය කලත්, සතුරු රාජ්‍යයන් පෙලක් මැද තනි වන්නේය. සුවිශේෂ පීඩිත ජාතියක විමුක්ති ව්‍යාපාරයක් පෙරට යා හැක්කේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා නිරවශේෂව ද පුලුල්ව ද සටන් වදින ව්‍යාපාරයක කොටසක් ලෙස පමනි. ජාතික සුවිශේෂතාවාදය පීඩිත ජාතියේ විමුක්ති අරගලය, එබඳු ව්‍යාපාරයක කොටසක් බවට පත්වීම නවතයි. එසේ වන්නේ ජාතික සුවිශේෂතාවාදය අවසන් විග‍්‍රහයේදී, ජාතික ධනපතියන් තමන්ගේම රටේ කම්කරුවන් සූරාකෑමටත් ගොවීන් ගසා කෑමටත් දරන පරිශ‍්‍රමයකට සම්බන්ධවී ඇති හෙයිනි. දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ දේශපාලන බෙලහීනත්වය ගලා එන්නේ එතැනිනි.” [61] ජාත්‍යන්තර කමිටු ප‍්‍රකාශය, ජාතීන්ගේ ස්වයං-නිර්න අයිතියට මාක්ස්වාදී ව්‍යාපාරය දෙන සහයෝගය පිලිබඳව වඩා පුලුල්ව සලකා බැලීමක් සඳහා පදනම දැමීය.
25-6 ප‍්‍රකාශය ප‍්‍රසිද්ධ කිරීමෙන් ටික කලකට පසුව, 1987 දෙසැම්බර් 18 දා කීර්ති බාලසූරිය ක්ෂනික හා අනපේක්ෂිත කිරීටක ක්ෂ්‍යානියකින් මිය ගියේ ය. යන්තම් 39 වන වියෙහි පසු වූ ඔහු සිය සමස්ත වැඩිහිටි ජීවිතය ම ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලයට කැපකොට තිබුනි. ලසසප පාවාදීම මගින් ජනනය කරන ලද දේශපාලන ව්‍යාකූලත්වය මධ්‍යයේ යන්තම් 19 වන වියේ දී විකොසට නායකත්වය දීමේ භාරදූර වගකීම භාරගත් බාලසූරිය, එසේ කිරීම මගින් ලංකාවේ කම්කරු පන්තිය ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට යලි සම්බන්ධ කිරීමේ වගකීමට කරගැසීය. 1960 ගනන් අග හා 1970 ගනන් මුල, එල්ටීටීඊ හා ජවිපෙ වැනි ව්‍යාපාරවලට ප‍්‍රානය සැපයූ මධ්‍යම පන්තික රැඩිකල්වාදයේ ද “සන්නද්ධ අරගලය” වන්දනාමාන කිරීමේ ද ප‍්‍රවාහයට එරෙහිව ඔහු හා විකොස නැගී සිටියහ. හුදෙක් ස්ටැලින්වාදී පක්ෂවලින් හා ඔවුන්ගේ විවිධාකාර පැබ්ලෝවාදී ක්ෂමාලාපකයන්ගෙන් පමනක් නොව ජාත්‍යන්තර කමිටුව තුල කවිප වෙතින් ම ද නො නවතින විප්ලව න්‍යාය විශ්වීය ප‍්‍රහාරයකට ලක්වෙද්දී, ඔහු එය ආරක්ෂා කලේ ය. එසේ කිරීම මගින් ආසියාවේ හා ජාත්‍යන්තරව ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලයට බාලසූරිය නො මැකෙන ප‍්‍රතිපදානයක් කලේ ය.
25-7 ඔහුගේ අභාවානුකථනයේ දී ඩේවිඩ් නෝර්ත් මෙසේ පැහැදිලි කලේ ය: “ට්‍රොට්ස්කි සටන් වැදුනු ඉදිරිදර්ශනයේ විද්‍යාත්මක වලංගු භාවය පිලිබඳව කීර්ති සහෝදරයා ප‍්‍රගාඪ ලෙස ඒත්තු ගෙන සිටියා. සුලු ධනේශ්වර රැඩිකල්ලු මා ඕ සේතුංගේ, හෝ චි මිංගේ හා ෆිඩෙල් කස්ත්‍රෝගේ ‘සාර්ථකත්වයන්ගෙන්’ මෝහනයට පත්වෙද්දී කීර්ති සහෝදරයා අවධාරනය කලේ, අපගේ ග‍්‍රහලෝකයේ එකම සංගතික විප්ලවවාදී බලවේගය ලෙස කම්කරු පන්තිය වෙතට මාක්ස්වාදීන්ගේ දේශපාලන දිශාවනතිය යොමු විය යුතු බවයි... ඉදිරියේ ක්ෂනිකව එලැඹෙන කාල පරිච්ඡේදයේ දී ආසියාවේ පමනක් නොව සමස්ත ලෝකය පුරා කම්කරුවෝ කීර්ති සහෝදරයාගේ ලියවිලි කියවනු ඇති. තරුනයන්ගේ ගුරුවරු වනු ඇත්තේ මා ඕ සේතුංලා, හෝ චි මිංලා හා කස්ත්‍රෝලා නො වන බව අපට විශ්වාස යි. ඒ වෙනුවට කම්කරුවන් හා තරුනයන් අතර සිටින වැඩිදියුනු කොටස් තම විප්ලවීය පාඩම් ඉගෙනගනු ඇත්තේ කීර්ති බාලසූරිය, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය හා ජාත්‍යන්තර කමිටුව වෙතිනු යි.”[62]
25-8 බාලසූරියගේ අකල් මරනය විකොසට, ජාත්‍යන්තර කමිටුවට හා ජාත්‍යන්තර කම්කරු පන්තියට එල්ල වූ ප‍්‍රධාන දේශපාලන පහරක් විය. එය සිදුවූයේ කවිප භ‍්‍රෂ්ටයන් වෙතින් බිඳී වෙන්වීමෙන් ක්ෂනික ඉක්බිතිව විකොස තුල පැහැදිලි කරගැනීමේ හා ශක්තිමත් කරගැනීමේ ක්‍රියාදාමය තවමත් සිදුවන තීරනාත්මක කාලයක ය. බාලසූරියගේ කාරකත්වයෙන් ගොඩනැගුනුු පක්ෂ නායකත්වය සිදුවූ පාඩුව දරාගැනීමට සමත්ව, විජේ ඩයස්ගේ නායකත්වය යටතේ යලි ශක්තිමත් වී, ඉහල නැංවෙන සිවිල් යුද්ධයක දුෂ්කර කොන්දේසි යටතේ සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා සංගතික අරගලයක් දියත් කිරීමට සමත් වීම බාලසූරිය හා ඔහු සටන් වැද තිබුනු මූලධර්ම පිලිබඳ සාක්ෂියකි.