Socialist Equality Party (Sri Lanka)
සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්

ලසසපය හතර වන ජාත්‍යන්තරය කරා

4-1 හතර වන ජාත්‍යන්තරය -1938 ඔක්තෝබර් 28 දින - පිහිටුවන ලද්දේ පැරිසියේ පවත්වන ලද රටවල් එකොලහක නියෝජිතයන් තිස්දෙනෙකුගේ රහස් රැස්වීමක දී ය. නියෝජිතයන් එවීමට අසමත් වූ ආසියාවේ පක්ෂ තුනක් ද - චීනයේ, ඉන්දු චීනයේ සහ ඕස්ටේ‍්‍රලියාවේ - හතර වන ජාත්‍යන්තරයේ ශාඛාවන් ලෙස ඒකාබද්ධ වූහ. සම්මේලනය විසින් සම්මත කරගනු ලැබූ සංක‍්‍රමන කි‍්‍රයාමාර්ගය, ධනවාදයේ මරලතෝනිය හා හතර වන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ යන ට්‍රොට්ස්කි විසින් ලියන ලද ලියවිල්ල මෙසේ ප‍්‍රකාශ කලේ ය: “සමාජවාදය සඳහා තව මත් ඓතිහාසික තත්වයන් ‘මෝරා’ නැතැයි කරන සියලූ දෙඩවිලි මුග්ධත්වයේ නැතහොත් දැනුවත් වංචාවේ නිෂ්පාදිත යි. නිර්ධන පන්ති විප්ලවය සඳහා වෛෂයික පූර්වාවශ්‍යතා ‘මෝරා’ ඇතුවා පමනක් නො ව, තරමක් දුරට කුනුවන්ට ද පටන් ගෙන ඇත. යටත් පිරිසෙයින් මීලඟ ඓතිහාසික යුගයේ දී, සමාජවාදී විප්ලවයක් නො සිදු වුව හොත් මානව වර්ගයා ගේ මුලූ මහත් සංස්කෘතියට ම මහා විනාශයක් එල්ල වන්නේ ය. දැන් වාරය නිර්ධන පන්තියට යි: එනම්, ප‍්‍රධාන වසයෙන් ම එහි විප්ලවවාදී පෙරටු බල ඇනියට යි. මානව වර්ගයාගේ ඓතිහාසික අර්බුදය විප්ලවවාදී නායකත්වයේ අර්බුදය බවට සිඳී ඇත්තේ ය.” [3] එම කි‍්‍රයාමාර්ගය කම්කරු පන්තියේ පලල් ස්ථරවල අද්‍යතන කොන්දේසිවලින් ද අද්‍යතන විඥානයෙන් ද ගලා එන්නා වූත්, නිර්ධන පන්තිය විසින් බලය දිනා ගැනීම නමැති අවසාන නිගමනය කරා අප‍්‍රතිවර්තනීය ලෙස ගමන් කරන්නා වූත්, සංක‍්‍රමන ඉල්ලීම් පද්ධතියක්” ඉදිරිපත් කලේය. [4] (එම, පි.4-5) සංක‍්‍රමන ඉල්ලීම් එල්ල වූයේ කම්කරු පන්තියේ විප්ලවවාදී විඥානය වර්ධනය කිරීමට ය. කම්කරු පන්තියේ පවත්නා විඥානයේ මට්ටමට කි‍්‍රයාමාර්ගය දියාරු කිරීමට නො වේ.

4-2 ලියවිල්ල සාරාත්මක වශයෙන් ධනවාදයේ ඒකාබද්ධ සහ අසමාන වර්ධනය මත පදනම් වූ නො නවතින විප්ලවය පිලිබඳ ඉදිරිදර්ශනය ඉදිරිපත් කලේ මෙසේ ය: “විජිත හා අර්ධ විජිත රටවල් සාරාර්ථයෙන් ම පසුබට රටවල් ය. එහෙත් මේ පසුබට රටවල් ද අධිරාජ්‍යවාදය ආධිපත්‍යය දරන ලෝකයක කොටසකි. එහෙයින් ඒවායේ වර්ධනය සංකලිත ස්වභාවයක් උසුලයි; අති ප‍්‍රාථමික ආර්ථික රූප ධනේශ්වර තාක්ෂනයේ හා සංස්කෘතියේ අති නූතන රූප සමග සංකලනය වී ඇත. පසුබට රටවල නිර්ධන පන්තියේ දේශපාලන ප‍්‍රයත්න ද නිර්නිත වී තිබෙන්නේ ඒ ආකාරයටම ය; ජාතික ස්වාධීනත්වය හා ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන අතිමූලික අවශ්‍යතා සඳහා අරගලය, ලෝක අධිරාජ්‍යවාදයට එරෙහි සමාජවාදී අරගලය සමග සංකලනය වී ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටන් පාඨ, සංක‍්‍රමන ඉල්ලීම් හා සමාජවාදී විප්ලවයේ ගැටලූ මෙම අරගලයේ වෙනස් ඓතිහාසික යුගවලට නො බෙදී කෙලින් ම එකිනෙකින් පැන නගී.” [5]

4.3 1939 ජුලි මස ඉන්දියානු කම්කරුවන්ට ලියන ලද ලිපියක දී එලඹෙන යුද්ධය තුල ඔවුන් මුහුන දෙන්නා වූ දේශපාලන ප‍්‍රශ්න තව දුරටත් මෙසේ විස්තාරනය කලේ ය: බි‍්‍රතාන්‍ය ආන්ඩුවේ ඒජන්තයෝ ඉදිරියේ එන යුද්ධය ෆැසිස්ට්වාදයෙන් “ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගලවා ගැනීම සඳහා” ප‍්‍රජාතන්ත‍්‍රවාදී, මූලධර්ම සඳහා කරනු ලබන යුද්ධයක් යයි පින්තාරු කරති. මේ අනුව ෆැසිස්ට් ආක‍්‍රමනිකයින් පලවා හැරීම සඳහා සියලූ ම පන්තීන් සහ ජනයා, “සාමකාමී”, “ප‍්‍රජාතන්ත‍්‍රවාදී” ආන්ඩු පිටුපස පෙල ගැසිය යුතුය. ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගලවාගත යුතු ය. සදාකාලික සාමය තහවුරු කල යුතුය’. මෙම ශුභාරංචිය දැනුවත් බොරුවක් මත රැුඳී ඇත. බි‍්‍රතාන්‍ය ආන්ඩුවට ඇත්ත වශයෙන් ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුපුෂ්පිත කිරීම දැකීමට උවමනා නම්, එය ඔප්පු කර දැක්වීමට ඉතා සරල ක‍්‍රමයක් තිබේ. එය ඉන්දියාවට මුලූමනින් ම නිදහස දී අයින් විය යුතු ය.” [6] (ලියොන් ට්‍රොට්ස්කිගේ ලේඛන 1939-40 පාත් ෆයින්ඩර්, පි. 29-30). ට්‍රොට්ස්කි කිසිසේත් ම ෆැසිස්ට් අන්තරාය ලඝු කොට තැකුවේ නැත. එහෙත් පීඩිත පන්තීන්ගේ හා ජනතාවන්ගේ ප‍්‍රධාන සතුරා සිටියේ සිය රට තුල ම ය යන්න ඔහු අවධාරනය කලේය. ඉන්දියාව සම්බන්ධයෙන් ගත් කල එම සතුරා බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය වූ අතර එය පෙරලා දැමීම, ෆැසිස්ට් ඒකාධිපතියන් ද ඇතුලූ සියලූ පීඩකයන්ට දැවැන්ත ප‍්‍රහාරයක් වනු ඇත.

4-4 ඉන්දියානු ධනේශ්වර පන්තිය සම්බන්ධයෙන් ට්‍රොට්ස්කිගේ විවේචනය ගිනියම් විය: “ඔවුහු බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය සමග සමීපව වෙලී සිටිති. එය මත සමීපව ආයත්තව සිටිති. ඔවුහු තමන්ගේ ම දේපල පිලිබඳ ව වෙවුලූම් ගෙන මහජනයාට බියෙන් සිටිති. කුමන ගාස්තුවක් ගෙවා හෝ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය සමග සම්මුති ගසා ගැනීමට බලා සිටින ඔවුහු උඩින් ලැබෙන ප‍්‍රතිසංස්කරන පිලිබඳ අපේක්ෂාවලින් ඉන්දියානු ජනතාව නලවති. මෙම ධනේශ්වරයේ නායකයා ද අනාගත වක්තෘ ද ගාන්ධි ය. ව්‍යාජ නායකයෙක්, ව්‍යාජ අනාගත වක්තෘ කෙනෙක්. ගාන්ධි සහ ඔහුගේ සහකරුවෝ, ව්‍යාජ න්‍යායක් වගා කර ගෙන සිටිති. ‘ඉන්දියාවේ තත්වය නිරන්තරව හොඳ අතට හැරෙනු ඇත. ඇයගේ ස්වාධීනතා වඩ වඩාත් පුලූල් කෙරෙනු ඇත. සාමකාමී ප‍්‍රතිසංස්කරන මාවත ඔස්සේ යමින් ඉන්දියාව, ටිකෙන් ටික ඩොමීනියන් රාජ්‍යයක් බවට පත් වනු ඇත. කල්යාමේ දී සමහර විට ස්වාධීනතාවය පවා ලබා ගනු ඇත.’ මෙය වනාහි අරටුවෙන් ම සාවද්‍ය වූ ඉදිරිදර්ශනයකි.” [7]

4-5 ට්‍රොට්ස්කි, ස්ටැලින්වාදයේ භූමිකාව දෙසට හැරෙමින් සෝවියට් නිලධරය, අනෙකුත් රටවල දී මෙන් ම ඉන්දියාවේ දී ද “ප‍්‍රජාතන්ත‍්‍ර බලවතුන්” සමග තමන් ගෙන යන රාජ්‍ය තන්ත‍්‍ර උපාමාරුවලට ජනතාවගේ උවමනාකම් යටත් කරන බව පැහැදිලි කලේය. ෆැසිස්ට් ආධිපත්‍යය යටතේ පවත්නා ජාතීන්ට ස්වයං නීර්නය, එහෙත් බි‍්‍රතාන්‍යයේ, ප‍්‍රන්සයේ සහ ඇමරිකාවේ යටත් විජිත රටවලට සනාතන වහල් බව. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට විරුද්ධව ද එලඹෙන යුද්ධයට එරෙහිව ද කරන අරගලයක් ඉල්ලූම් කරන්නේ ස්ටැලින්වාදයෙන් මුලූමනින් ම බෙදී වෙන්විය යුතුය යන්නයි. හතරවන ජාත්‍යන්තරය දෙසට හැරුනා වූ ලසසප නායකයින් මුහුන දී සිටි ප‍්‍රශ්නය හරියට ම මෙයයි. ට්‍රොට්ස්කිවාදී නායකයන් සමග සබඳතා ඇතිකර ගැනීමටත් ට්‍රොට්ස්කි හමුවීමටත් සෙලීනා පෙරේරා 1939 දී බි‍්‍රතාන්‍යයට හා ඇමරිකා එක්සත් ජනපදයට යවන ලද අතර ට්‍රොට්ස්කි හමුවීමේ ඇයගේ ප‍්‍රයත්නය අසාර්ථක විය.

4-6 1939 දෙසැම්බරයේ දී ලසසපයේ ට්‍රොට්ස්කිවාදී කන්ඩායම එහි සිටි ස්ටැලින්වාදී අනුගාමිකයන්ට කෙලින් ම අභියෝග කරමින්, පහත සඳහන් යෝජනාව පක්ෂයේ විධායක කමිටුවට ඉදිරිපත් කලේ ය: “ප‍්‍රථම කම්කරු රාජ්‍යය වන සෝවියට් සංගමය සමග සහෝදරත්වය ප‍්‍රකාශ කරන අතරම ලංකා සමසමාජ පක්ෂය, ජාත්‍යන්තර විප්ලවවාදී කම්කරු පන්ති ව්‍යාපාරයේ අවශ්‍යතා වෙනුවෙන් තව දුරටත් කටයුතු නොකරන තුන්වෙනි ජාත්‍යන්තරය කෙරෙහි විශ්වාසයක් නොමැති බව කියා සිටී.” මෙම යෝජනාව 29 ට 5 බහුතරයකින් සම්මත විය. ස්ටැලින්වාදීන් සහ ඔවුන්ගේ සගයින් ලසසපයෙන් කැඞී, 1940 නොවැම්බර්යේ දී එක්සත් සමාජවාදී පක්ෂය පිහිටුවා ගත්හ. ඔවුහු පසුව 1943 ජුලියේ දී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා ගත්හ.

4-7 ලෙස්ලි ගුනවර්ධන “තුන් වන ජාත්‍යන්තරය හෙලාදැකේ” යන නමින් යුතු ස්ටැලින්වාදය පිලිබඳ විවේචනයක් ඉදිරිපත් කලේ ය. එහි දී ඔහු, 1939 ඇතුලත දී බි‍්‍රතාන්‍යයේ සහ ප‍්‍රන්සයේ කොමියුනිස්ට් පක්ෂ අධිරාජ්‍යවාදී යුද්ධයට පක්ෂ ආස්ථානයක සිට විරුද්ධ ආස්ථානයක් කරා සිදු කල අවස්ථාවාදී මාරුවීම අවධාරනය කලේ ය. මෙම වියරු දේශපාලන පැද්දීම් තීන්දු කරනු ලැබුවේ “ප‍්‍රජාතන්ත‍්‍ර බලවතුන්” යයි නම් කරන ලද බි‍්‍රතාන්‍ය සහ ප‍්‍රන්සය සමග ගෙන ගිය අප‍්‍රතිපත්තික උපාමාරුවල සිිට 1939 අගෝස්තුවේ දී හිට්ලර්-ස්ටැලින් ගිවිසුම අත්සන් කිරීම දක්වා ක්‍රෙම්ලිනය හිටිහැටියේ සිදු කල වෙනස්වීම මගින් බව ඔහු පෙන්වා දුන්නේ ය. ඔහු මෙසේ සමාප්ත කලේය: “දෙවන ජාත්‍යන්තරය 1914-18 යුද්ධයේ දී කම්කරු පන්තිය පාවා දුනි. අද ද තුන් වන ජාත්‍යන්තරය සෝවියට් සංගමයේ විදෙස් පිලිවෙතට, ජාත්‍යන්තර විප්ලවවාදී ව්‍යාපාරය යටත් කිරීම මගින් තවත් පාවාදීමක් සිදු කරයි. මෙම කාරනය පෙන්වා දීම අපේ යුතුකමයි.” [8]

4-8 ස්ටැලින්වාදීන් පලවා හැරීම ද හතර වන ජාත්‍යන්තරය වෙත හැරීම ද ලසසප පන්ති අක්ෂයේ තීරනාත්මක සන්ධිස්ථානයකි. එය නො නවතින විප්ලව න්‍යාය මත පක්ෂය දේශපාලනිකව නව මගකට යොමු කලේ ය. අන් සියල්ලටමත් වඩා ලසසප නායකයෝ ලංකාව තුල සමාජවාදය සඳහා අරගලය ඉන්දියාවේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල සමග අවියෝජනීය ලෙස බැඳී පවත්නා බව වටහා ගත්හ. දුර දක්නා පියවරක් ගත් ලසසපය, බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව උප මහාද්වීපය පුරා කම්කරු පන්ති අරගලයන් ඒකාග‍්‍ර කිරීම සඳහා සමස්ත ඉන්දීය පක්ෂයක්, හතර වන ජාත්‍යන්තරයේ කොටසක් ලෙස පිහිටුවිය යුතුව ඇතැ යි නිගමනය කලේ ය. ඊට පසු කාලයේ, 1950 ගනන්වල සිට ලසසපයේ පිරිහීම සලකුනු කරන දැනට ලියැවී ඇති සියලූ ම ඉතිහාස, ඉන්දීය බොල්ශෙවික් ලෙනින්වාදී පක්ෂයේ (බීඑල්පීඅයි) පසුකාලීන ඉතිහාසය පිලිබඳ අත්දැකීම මුලූමනින් ම නොතකා හරියි. නැතහොත් එය විප්ලවවාදී රොමෑන්ටිකවාදයේ නිරර්ථක වික‍්‍රමයක් ලෙස සලකති. එහෙත්, සමසමාජවාදයේ රැඩිකල් ජාතිකවාදී දෘෂ්ටියෙන් කැඞීම ද කම්කරු පන්තික ජාත්‍යන්තරවාදයේ පදනම මත එය නව මගකට යොමු කිරීම ද යන කරුනු නිසා ම බීඑල්පීඅයි, දකුනු ආසියාව හා ජාත්‍යන්තරය තුල ඉටු කලා වූ නොමැකෙන ප‍්‍රතිපදානය, අද දක්වා ම කම්කරුවන් සහ තරුනයින්ට තීරනාත්මක දේශපාලන සහ න්‍යායික පාඩම් දරා සිටී.

4-9 යුද්ධය ආරම්භවීමත් සමග ස්ටැලින්, අලූතින් පිහිටුවා තිබුනු හතර වන ජාත්‍යන්තරය විනාශ කිරීමට ද අන් සියල්ලටමත් වඩා ලියොන් ට්‍රොට්ස්කි ම විනාශ කර දැමීමට ද වැඩ ඇරඹුවේ ය. යුද්ධය විසින් අනිවාර්යයෙන් ම නිර්මානය කරනු ඇති මහා විප්ලවකාරී කම්පනයන්, සෝවියට් සංගමය තුල ද ඇතුලත්ව, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ඉමහත් ලෙස ශක්තිමත් කරනු ඇතැයි ද එම තතු තුල සෝවියට් නිලධරයට සෘජු අභියෝගයක් එල්ල වනු ඇතැ යි ද ස්ටැලින් බියට පත් විය. හතර වන ජාත්‍යන්තරය පිහිටුවීමට පෙර, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුලට රිංගවනු ලැබූ රහස් ඔත්තුකාරයින්ගේ ආධාර ලත් ජීපීයූව, (ස්ටැලින්ගේ රහස් පොලීසිය) ට්‍රොට්ස්කිගේ ලේකම්වරයෙකු වූ අර්වින් වුල්ෆ් මරා දැමී ය. ට්‍රොට්ස්කිට තම ආධාරය ප‍්‍රකාශ කල, ජීපීයුව හැර ගිය තැනැත්තෙකු වූ ඉග්නාස් රයිස්, ට්‍රොට්ස්කිගේ පුත් ලියොන් සෙඩොව් සහ හතර වන ජාත්‍යන්තරයේ ලේකම් රුඩොල්ෆ් ක්ලෙමන්ට් ද මරා දමන ලද්දෝ ය. 1940 මැයි මාසයේ දී ට්‍රොට්ස්කි ඝාතනය කිරීමට දරන ලද ප‍්‍රයත්නය අසාර්ථක විය. එහෙත් 1940 අගෝස්තු 20දා නිවස තුල දී රේමන් මර්කාඩර් නම් ජීපීයූ ඒජන්තයාගේ ප‍්‍රහාරයකට ලක්වූ ට්‍රොට්ස්කි, පසුව දා මරනයට පත් විය. ට්‍රොට්ස්කි ඝාතනය මෙම ශතවර්ෂයේ මහා දේශපාලන අපරාධය වූ අතර, ජාත්‍යන්තර කම්කරු පන්තියට එල්ල කරන ලද බලගතු පහරක් විය. ලෙනින් ද සමග ට්‍රොට්ස්කි, රුසියානු විප්ලවයේ සම නායකයා ද ස්ටැලින්වාදයේ අශමනීය සතුරා ද පමනක් නො ව 19 වන සියවසේ ද 20 වන සියවසේ මුල් දශකවල ද මහා විප්ලවකාරී කම්කරු ව්‍යාපාරයට ආස්වාදය සැපයූ සම්භාව්‍ය මාක්ස්වාදී සම්ප‍්‍රදායේ අන්තිම සහ ශේෂ්ඨතම නියෝජිතයා ද වූයේ ය.


[3]

ලියොන් ට්‍රොට්ස්කි, හතර වන ජාත්‍යන්තරයේ ආරම්භක සම්මේලනයේදී සම්මත කෙරුන සංක‍්‍රමන ක්‍රියා මාර්ගය හා හතරවන ජාත්‍යන්තරයේ ව්‍යවස්ථා: සිංහල පරිවර්තනය, කම්කරු මාවත ප‍්‍රකාශන: පි.2.

[4]

එම., පිටු 4-5.

[5]

එම., පි.32.

[6]

Writings of Leon Trotsky 1939-40, ලියොන් ට්‍රොට්ස්කිගේ ලේඛන 1939-40 ( නිව් යෝර්ක්: පාත් ෆයින්ඩර් ප්‍රෙස්, 2001) පි. 29-30.

[7]

එම., පිටු 30-31.

[8]

Blows Against the Empire: Trotskyism in Ceylon the Lanka Sama Samaja Party, 1935–1964: (අධිරාජ්‍යවාදයට එරෙහි ප්‍රහාරය: ලංකා සමසමාජ පක්ෂය, ලංකාව තුල ට්‍රොට්ස්කිවාදය 1935-1964 (ලන්ඩන්: පොර්කුපයින් ප්‍රෙස්: සෝෂලිස්ට් ප්ලැට්ෆෝම් 1997) පිටු 64–67.