එම්.පී.ඇල්බට් සහෝදරයා පිලිබඳ මතකය දිගුකල් දිනේවා!

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දිගුකාලීන සාමාජිකයෙකු වූ එම්.පී.ඇල්බට් සහෝදරයා අභාවප්‍රාප්ත වී අදට තෙමසකි. දෙසැම්බර් 9 වන සඳුදා අලුයම මිය යන විට ඔහුගේ වයස අවුරුදු 74 ඉක්ම වූවා පමනි. ඔහු, 1990 ගනන් මුල දී සසප පුර්වගාමී විප්ලවවාදී කොමිනියුස්ට් සංගමයට (විකොස) බැඳුනු දිනයේ සිට දශක තුනකට වැඩි කාලයක් අඛන්ඩව ලෝක සමාජවාදී විප්ලවයේ ට්‍රොට්ස්කිවාදී ධජය අත දරාගෙන සටන් වැදුනු විප්ලවවාදී සටන්කාමියෙකි.

එම්.පී.ඇල්බට් සහෝදරයා

දැඩිලෙස රෝගාතුර වූ ජිවිතයේ අවසාන වසර කිහිපය තුල ඔහුගේ නිවහනවුයේ සමාජසේවා දෙපාර්තමේන්තුව මගින් පාලනය කෙරෙන දැරනියගල වැඩිහිටි නිවාසයයි. තම ආර්ථික සහ කායික දුබලතා සලකා බැලූ ඇල්බට් සහෝදරයා, පක්ෂය සමග සාකච්ඡාකොට, වැඩිහිටි නිවාසයේ ජීවත්වීමට තීන්දු කලේය.

බඩවැලේ පැවති අසාදනයක් හේතුවෙන්, 2024 නොවැම්බර් මාසයේ අවිස්සාවේල්ල රෝහලේදී සිදුකෙරුනු ශල්‍ය කර්මයකින් පසුව යලි නවාතැනට පැමින සුවය ලබමින් සිටි ඇල්බට්, හදිසියේම මිය ගියේය.

ඔහු කුඩාකල සිට ජීවත් වූයේ කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් රුවන්වැල්ලේ, මතමගොඩ ග්‍රාමයෙහි ය. එය, ගොවි ජනයාගෙන් සහ වතු කම්කරුවන්ගෙන් සමන්විත වූ ප්‍රදේශයකි. ඇල්බට් තම ජීවිකාව ගෙනයාම සඳහා තෝරා ගත්තේ පලතුරු සහ ගම්බද ගෙවතුවල වැවෙන භෝග නගරයට ගෙනගොස් විකිනීමේ ස්වයං රැකියාවකි. එය, ප්‍රදේශයේ ගැමියන්ගේ ඉපැරනි රැකියාවකි.

ප්‍රතිපත්තිගරුක පුද්ගලයෙකු ලෙස ප්‍රදේශය තුල නමක් දිනාගෙන සිටි ඇල්බට් සහෝදරයාට වෙලඳ ද්‍රව්‍ය ලබාදීම සඳහා ගම්බද හිතවත්තු ඉතා කැමැත්තෙන් ඉදිරිපත්වූහ. තම දුෂ්කර ජීවනෝපාය තුල හමුවන ගැමියන්, වතු කම්කරුවන් සහ සුලු වෙලෙන්දන් සමග පක්ෂය සහ එහි ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙල පිලිබඳව නිතර සාකච්ඡා කල අයුරු සහ ඔවුන් අතර පක්ෂයේ සාහිත්‍යය බෙදාහල අයුරු, ප්‍රදේශවාසීහු ඉමහත් ආස්වාදයකින් මතකයට නංවති.

ඔහු ජීවත්වූ රුවන්වැල්ල ප්‍රදේශය ලංකා සම සමාජ පක්ෂයේ (ලසසප) දේශපාලන බලකොටුවකි. ලසසප නායක එන්.එම්.පෙරේරා දශක ගනනාවක් පුරා අඛන්ඩව, පාර්ලිමේන්තුව තුල එම ප්‍රදේශය නියෝජනය කලේය. ලසසපයේ මුල් අවධියේදී එහි පැවති අධිරාජ්‍යවාද-විරෝධි ස්වභාවය සහ පසුව එය කම්කරු පංතික පක්ෂයක් ලෙස ගනු ලැබූ මූලධර්මාත්මක ආස්ථානයන් හේතුවෙන්, කම්කරුවන් සහ ගම්බද දුගීන් බහුතරයක් එය දැක ගත්තේ, තම අවශ්‍යතා නියෝජනය කරන පක්ෂය ලෙසයි.

ඇල්බට් තරුන වියට එලැඹෙන්නේ, ලසසප ය, ට්‍රොට්ස්කිවාදී, ජාත්‍යන්තරවාදී මූලධර්ම ක්‍රමාන්‍රකූලව අත්හරිමින්, සිංහල ජාතිකවාදයට වඩවඩාත් අනුගතවෙමින් පල්ලම් බසිමින් සිටින යුගයේ ය. කම්කරු පංතියේ පංති ස්වාධීනත්වය මුලුමනින්ම පාවා දෙමින්, 1964 දී එය ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වී තිබුනි. නමුත්, ලසසපයේ අතීත කීර්තිය හේතුවෙන්, එතෙකුදු කම්කරුවන් සහ ගම්බද දුගීන් අතරින් සැලකියයුතු ප්‍රමානයක්, එය කෙරෙහි විශ්වාසය තබා සිටියහ. තරුන ඇල්බට් සහෝදරයා අයත්වුයේ, වාර්ගික සහ කුල පීඩනය ඇතුලු පීඩිත සමාජ තත්වය අවසන්කිරීමට ලසසප කෙරෙහි විශ්වාසය තැබූ එම කොටස් වලටයි.

කෙසේ නමුත්, ලසසප, තම ගම්බද ශාඛාවන්, ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල ක්‍රමානුකූලව දියකොට හරින ලද තතු තුල, ඇල්බට් වැනි තරුනයන් දේශපාලනිකව හුදෙකලා වූ අතර, තම අවශ්‍යතා තවදුරටත් ලසසප තුලින් සාක්ෂාක් කල හැකිවේද යන සංශය ඔවුන් අතර වැඩෙන්නට විය.

කලකිරීමට පත් ඇල්බට් සහෝදරයා මුලින්ම හැරුනේ, ලසසප පාවා දීමෙන් ඇතිවූ හිඩැසට ඇතුලුවීමට යත්න දරමින් සිටි, මාඕවාදය, කැස්ත්‍රෝවාදය, චේ ගෙවාරාවාදය සහ සිංහල ජනතාවාදයේ අච්චාරුවක් මත පදනම් වූ සුලු ධනේශ්වර රැඩිකල් ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) වෙත යි. ඔහු ජවිපෙ සමග සාකච්ඡා කල ද කිසිදිනක එහි මතයට එකඟ නොවිය.

1990 ගනන් මුල දී ඔහුට විකොස සහෝදරවරුන් හමුවීමෙන් අනතුරුව ජාත්‍යන්තර කමිටුවේ ඉදිරි දර්ශනය හා ක්‍රියාමාර්ගය, ලසසප මහා පාවාදීමේ මූලයන්, සෝවියට් සංගමය පිලිබඳ ට්‍රොට්ස්කිගේ විශ්ලේශනය, ජවිපෙ දේශපාලනය අලලාගත් පක්ෂ ඉතිහාසය පිලිබඳ දීර්ඝ සාකච්ඡාවන්ට යොමුවිය.

1950 ගනන් මුල දී ට්‍රොට්ස්කිවාදී හතරවන ජාත්‍යන්තරය තුල පැනනැගි සංශෝධනවාදී ප්‍රවනතාවක් වන පැබිලෝවාදයට යටත්වීම ලසසපයෙහි පාවාදීමට මූලික හේතුව බව ඔහු වටහා ගත්තේය. ලසසප ය එවකට හතරවන ජාත්‍යන්තරයේ ලංකා ශාඛාව විය.

ට්‍රොට්ස්කිවාදයේ මුරගල වන, නොනවතිතන විප්ලව න්‍යාය හා ක්‍රියාමාර්ගය ද කම්කරු පන්තියේ විප්ලවවාදී කාර්යභාරය හා ස්වාධීන ට්‍රොට්ස්කිවාදී විප්ලවවාදී පක්ෂ ගොඩනැගීමේ අවශ්‍යතාව ද ප්‍රතික්ෂේප කරමින්, පැබිලෝවාදින් කියා සිටියේ, මානව ඉතිහාසය නිර්නය වනුයේ, අධිරාජ්‍යවාදී කඳවුර සහ “තනි රටේ සමාජවාදය” මත පාදක වූ ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රීය කඳවුර අතර ගැටුමෙන් බවයි. ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගයට එරෙහිව “තනි රටේ සමාජවාදය” නමැති ප්‍රති-මාක්ස්වාදී න්‍යාය සූත්‍රගතකොට ඉදිරිපත් කෙරුනේ, ලෙනින්ගේ අභාවයෙන් පසු සෝවියට් සංගමයේ නායකත්වයට පැමිනි, ජෝසෆ් ස්ටැලින් ප්‍රමුඛ නිලධාරි තන්ත්‍රය විසිනි.

සෝවියට් සංගමයේ සහ නැගෙනහිර යුරෝපයේ එවකට පැවති ස්ටැලින්වාදී නිලධාරි තන්ත්‍රයන් ඓතිහාසිකව ප්‍රගතිශීලී කාර්යභාරයක් ඉටුකරමින් සිටි බව පැබ්ලෝවාදය තුල සූත්‍රගත කෙරුනි. මෙය හතරවන ජාත්‍යන්තරයේ සහ ට්‍රොට්ස්කිවාදයේ මූලික විශ්ලේෂනයන්ට සපුරා පටහැනිය. එම විශ්ලේෂනයන්ට අනුව ස්ටැලින්වාදය යනු “අධිරාජ්‍යවාදයේ ඒජන්සියකි'.

පැබ්ලෝවාදී සංශෝධනවාදී ප්‍රවනතාවට එරෙහිව සාධාර්මික ට්‍රොට්ස්කිවාදීන් විසින් ගෙනගිය අරගලයේ ප්‍රතිඵලයක් ලෙස, 1953 දී, හතරවන ජාත්‍යන්තරය දෙකඩ විය. පැබිලෝවාදීන්, හතරවන ජාත්‍යන්තරය ජාත්‍යන්තර ලේකම් මන්ඩලය ලෙසත්, සාධාර්මික ට්‍රොට්ස්කිවාදීන්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජක) ලෙසත් භේද වූ බව ඇල්බට් එම සාකච්ඡාවන්හි දී අවබෝධ කර ගත්තේය. මෙහිදී ලසසප ය පැබිලෝවාදීන් සමග ඒකාබද්ධ වූ බවත්, හජාජක හි ලංකා ශාඛාව ලෙස 1968 දී විකොස පිහිටුවාගත් බවත් දැන ගත් ඔහු ඉමහත් අභිරුචියෙන් මාක්ස්වාදී ව්‍යාපාරයේ ඉතිහාසය ඉගෙනීමේ යෙදී ගත්තේය.

ව්‍යාජ වාම පක්ෂ සහ අවස්ථාවාදී වෘත්තීය සමිති නිතර මතුරන, විප්ලවවාදි පක්ෂයක් ගොඩනැගීමට නොහැක්කේ “කම්කරුවන්ට සහ පිඩිත මහජනතාවට විකොස කියන කිසිවක් වැටහෙන්නේ නැති නිසාය යන ප්‍රලාපය බොරු කරමින්, නිසි පාසල් අධ්‍යාපනයක් පවා නොලද ඇල්බට් ඉතා වේගයෙන් දේශපාලන අධ්‍යාපනය පක්ෂය තුලින් ලබාගත්තේය.

ඒ සමගම ඔහු, විකොස ආරම්භක ප්‍රධාන ලේකම් කීර්ති බාලසූරිය විසින් රචිත “ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය සහ පංති ස්වාභාවය” කෘතිය අධ්‍යනය කලේය. සුලුධනේශ්වර පංතිය මත පදනම් වූ ජවිපෙ හි කම්කරු පංති විරෝධය සහ සිංහල ජනතාවාදය, අනාගත ෆැසිස්ට්වාදී ව්‍යාපාරයක බීජයන් බව බාලසූරිය තම කෘතියෙන් පෙන්වා දුනි.

බාලසූරියගේ විශ්ලේෂනයන් සනාථ කරමින්, 1988-89 කාලයේ, ජවිපෙ කම්කරු පංතියට එරෙහි ෆැසිස්ට් ප්‍රහාරයක් දියත් කලේය. ඇල්බට්, එම විශ්ලේෂනයන් ශාඛා රැස්වීම් වලදී උපුටා දැක්වීය. අදදින බලයට පත්ව සිටින, ජවිපෙ නායකත්වයෙන් යුත් ජාතික ජනබලවේගය ආන්ඩුව, ජාත්‍යන්තර සහ ජාතික ප්‍රාග්ධනයේ අවශ්‍යතා වෙනුවෙන් නග්නව පෙනී සිටිමින්, කම්කරු-පීඩිත ජනතාවට එරෙහිව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ රුදුරු කප්පාදු ක්‍රියාවට නංවමින් සිටී.

ඇල්බට් සහෝදරයා ජීවත්ව සිටියේනම්, එම ප්‍රහාරයන් පරාජය කරනුවස්, ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙනඒම සඳහා කම්කරුවන් සහ ගම්බද පීඩිතයන් අතර සසප ගෙනයන සටනට තම පූර්න දායකත්වය ලබාදෙනු නිසැක ය.

ඇල්බට් මුලින්ම සම්බන්ධ වුයේ දෙමල ජනතාව මෙන්ම දැවැන්ත කම්කරු පන්තියක් ජීවත්වන වැල්ලවත්ත ප්‍රදේශයේ පක්ෂ ශාඛවටය. කමිටු සාකච්ඡාවන්ට මෙන්ම ජාතිකව සංවිධානය කල උද්ඝෝෂන සඳහාත් පක්ෂ ශාඛාවේ තීන්දුවට අනුව ඔහු සම්බන්ධවූ ආකාරය පැරනි මෙන්ම වර්තමාන සහෝදරවරු ආස්වාදයෙන් ස්මරනය කරති.

විශේෂයෙන්ම, කොලඹ ධනපති ආන්ඩු ගෙනගිය වර්ගවාදී යුද්ධයටත්, එල්ටීටීඊයේ බෙදුම්වාදයටත් එරෙහිව, සිංහල සහ දෙමල කතා කරන කම්කරුවන්ගේ එකමුතුවෙන්, ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩනැගීමේ ඉදිරිදර්ශනය මත පාදක වෙමින් සසප ගෙනගිය සප්‍රතිපත්තික අරගලය වෙනුවෙන් ඇල්බට් දෘඪතරව පෙනී සිටියේය. රුවන්වැල්ල වැනි ගම්බද ප්‍රදේශයක ඒ වෙනුවෙන්, නොසැලී සටන් වැදීම තුලින් ඔහුගේ විප්ලවවාදී ජීවගුනය වඩාත් කැපී පෙනුනි.

ජවිපෙ සිංහල ස්වෝත්තමවාදී දේශපාලනයට මෙන්ම වෘත්ති සමිති අවස්ථාවාදයට ද එරෙහි සටන ඔහු කිසිදා අත නොහැරියේය. 2019 වසරේ ඇසේ සුද මතුවීම නිසා සැත්කමකට භාජනය වී පසු ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ගොස් ආපසු පැමිනෙන අතර වැටුප් ඉල්ලීම් සඳහා එවකට ගුරුවරුන් පැවැත්වූ උද්ඝෝෂනයක කොටසක් ලෙස අවිස්සාවේල්ල නගරයේ පැවැත්වූ ගුරු පිකට් වැටක් ඔහුගේ ඇස ගැටුනි. ඒ සඳහා තනියම මැදිහත් වූ අල්බට් සහෝදරයා, ආන්ඩුවට බලපෑම් දැමීමෙන් ඉල්ලීම් දිනා ගැනීමට දරන උත්සාහය නිශ්ඵල බව පෙන්වා දෙමින් සමාජවාදී සමානතා පක්ෂයේ ඉදිරිදර්ශන පත්‍රිකා බෙදා හැරියේය.

වැඩිහිටි නිවාසයේ ජීවත්වීමට පෙර හිතවතෙකු ලබාදුන් ස්ථානයක ඉතා දුෂ්කර ජිවිතයක් ගතකරමින් පවා පක්ෂ වැඩකටයුතු වලට ඔහු අඛන්ඩව සම්බන්ධ විය. ගංවතුරට යටවන එම ස්ථානයේ තිබු ඔහුගේ පක්ෂ පතපොත ඇතුලු සන්තක දේපල කිහිප වාරයක්ම හදිසි ගංවතුරෙන් විනාශ විය. දුෂ්කර තත්වයන්ට දිගු කලක් මුහුනදීම හේතුවෙන් ඔහුට විවිධ රෝගාබාධ ඇතිවිය.

ඇල්බට් වැඩිහිටි නිවාසයකට යාමට තීන්දු කලේ ඒ අනුවය. ආහාර සහ ඉඳුම් හිටුම් සම්බන්ධයෙන් එම ස්ථානය සාපේක්ෂව ඔහුට සහනදායී විය. නමුත් එහි පවත්නා දැඩි ආගමික පසුගාමිත්වය, භෞතිකවාදියෙකු වූ ඇල්බට් ට කිසිසේත්ම රිසි නොවීය. එම ආගමික පීඩනයන් හේතුවෙන්, ඇල්බට්, එක්වරක් පාලකයන්ට නොදන්වාම ඉන් ඉවත්ව ගියේය. නමුත් වෙනත් විකල්පයක් නොමැති වූ බැවින්, නැවත එහි යාමට ඔහුට සිදුවිය. නිවාසය තුල දුරකථන භාවිතය තහනම් බැවින් දේශපාලන සාකච්ඡා වලට සහභාගිවීමේ අවස්ථාව ද ඔහුට අහිමි විය.

2023 වසරේ කොලඹ ජාතික පුස්තකාලයේ පැවති ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සර රැස්වීම සඳහා ඔහු සියලු බාධක මැඩගනිමින් සහභාගිවීම අනෙකුත් සහෝදරවරුන්ට දිරිය උපදවන්නක් විය. බරපතල ලෙස රෝගීව සැත්කමකට භාජනය වී රෝහල් ඇඳ මත සිටිද්දී පවා ඔහු පසුගිය මහා මැතිවරනයේදී සසප ලබාගත් ඡන්ද සංඛ්‍යාව පිලිබඳව විමසීය.

ඒ වනවිට සසප ලේඛන කියවාගැනීමට තරම් ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් නොවීය. ඇල්බට් සහෝදරයා, රෝගී තත්වයන් තුල තම දෙනෙත් සදහටම පියා ගත්තේ වුව ද ඔහුගේ බලාපොරොත්තුව සපල කරනුවස්, ලෝක සමාජවාදී විප්ලවය සාක්ෂාත් කිරීමේ සටන ඉදිරියට ගෙන යමින්, සසප සාමාජිකයෝ ඔහුගේ විප්ලවවාදී ධෛර්යයට සහ ජීවිතයට ඉහලම ගෞරවය පුදකරනු ඇත.