සිවු වසරක් පුරා රජයේ පාසල්වල ඉගැන්වීමේ කාර්යන්හි නිරතව සිටින 16,000 ක් පමන වන පාසල් සංවර්ධන නිලධාරීන් (පාසනි), තමා ගුරු සේවයට අන්තර්ග්රහනය කරන ලෙස ඉල්ලා ගෙනයන යුක්තියුක්ත අරගලය මේ වනවිට තීරනාත්මක අදියරකට පැමින තිබේ.
දෙසැම්බර් මස 02 දා, බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටි දහසකට ආසන්න පාසල් සංවර්ධන නිලධාරීන්ට එරෙහිව පොලිසිය මෙහෙයවා පහර දීමට, ජනාධිපති අනුර කුමාර දිසානයකගේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ ජාතික ජන බලවේගය (ජාජබ) ආන්ඩුව කටයුතු කලේය. පාසනි ගුරුවරුන්ට අතින් පයින් පහරදුන් පොලීසිය ඉන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබී ය.
නීතිවිරෝධී රැස්වීමක කොටස්කරුවන් වීම, රථ වාහන ධාවනයට බාධා කිරීම සහ පොලීසියට තුවාල කිරීම යන අභූත චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිට එම ගුරුවරු සිවුදෙනා දෙසැම්බර් මස 10 දා ඇප මත නිදහස් කෙරුනි. නමුත්, ඔවුන්ට එරෙහි චෝදනා යටතේ දඩයමකට ලක් කිරීමේ අන්තරාය තවමත් පවතී.
“නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුව” ද ඇතුලත් “කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය” (කක්‍රිකසා), මෙම ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරය හෙලා දකිමින්, දෙසැම්බර් 07 දා නිකුත් කල ප්‍රකාශයේ මෙසේ සඳහන් කලෙමු:
“අත්අඩංගුවට ගත් මෙම ගුරුවරුන් සිවුදෙනා, ජනාධිපති දිසානායකගේ ආන්ඩුව සූදානම් කරමින් තිබෙන පන්ති යුද්ධයේ පලමු ගොදුර බවට පත්ව සිටිති. කම්කරු පන්තිය මෙම ප්‍රහාර වලට ඉඩ නොදිය යුතුය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) නිර්දය කප්පාදු වැඩපිලිවෙල තීව්ර කරන ආන්ඩුව, වැඩි කල්යන්නට මත්තෙන් ඔබට ද අත තබනු ඇත, පන්ති සහෝදර සහෝදරියන්ගේ එක් කොටසකට පහර දීම යනු අප සැමට පහර දීමකි!”
එම පන්ති ආස්ථානය මත, මෙම පොලිස් ප්‍රහාරය තරයේ හෙලා දකින ලෙසත්, ගුරුවරුන් සිවුදෙනාට එරෙහි සියලු චෝදනා ඉවත් කරගන්නා ලෙස බල කරන ලෙසත්, තමා ගුරු සේවයට අන්තර්ග්රහනය කරන ලෙස ඉල්ලා පාසනි ගෙනයන යුක්තියුක්ත සටනට සක්‍රීයව සහාය දෙන ලෙසත්, ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඇතුලු සමස්ත කම්කරු පන්තියෙන් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙන්, අපි ඉල්ලා සිටිමු.
කක්‍රිකසා ප්‍රකාශයෙන් පෙන්වාදුන් පරිදි, “මෙම පොලිස් මෙහෙයුම සමස්ත කම්කරු පන්තියටම අනතුරු ඇඟවීමකි. ජාමූඅ කප්පාදු පියවර මුලුමනින්ම ක්‍රියාවට නැංවීමේ තම පොරොන්දුවට අභියෝගක් වන කම්කරුවන්ගේ ඕනෑම ක්‍රියාමාර්ගයක් තලා දැමීමට ජවිපෙ/ජාජබ තන්ත්රය පසුබට නොවනු ඇත.”
මෙම රාජ්‍ය මර්දනයේදී ආන්ඩුව ක්‍රියාවට දැමීමට යන කුරිරු ක්‍රමවේදයන් පිලිබඳ ඉතා බරපතල ඇඟවුමක් ද මෙම පොලිස් ප්‍රහාරයෙන් එලිමහනට පැමින ඇත. විරෝධතාවේ යෙදී සිටියදී තමා අතර සැකකටයුතු ලෙස හැසිරුනු තැනැත්තෙකු, පාසල් සංවර්ධන නිලධාරීන් විසින් පොලීසියට භාර දී ඇති අතර, ඔහු හමුදා බුද්ධි අංශයට අයත් තැනැත්තෙකු බව අනාවරනය වී ඇත. ඔහු අතේ උල් ආයුධයක් තිබූ බව පෙන්නුම් කෙරෙන වීඩියෝ දර්ශන, විත්තියේ නීතීඥයන් විසින් අධිකරනයට ඉදිරිපත්කර ඇතිබව වාර්තාවන අතර, ප්රකෝපකරනයක් ඇවිලවීමේ අරමුනෙන්, පොලිස් භටයන්ට තුවාල සිදුකලේ ඔහු බවට සෑම සැකයක්ම පවතී.
ඉදිරි පන්ති අරගලවලදී කම්කරුවන් සහ අවශේෂ කොටස් දඩයම් කිරීම සඳහා දුෂ්ට ප්රකෝපකරනයන් යොදා ගැනීමට ආන්ඩුව සූදානම් වන බව මෙහි ඇඟවුමයි.
අනෙක් අතට, පාසනි සටනට වෘත්තීය සමිති නිලධරය දක්වා ඇති ප්‍රතිචාරය මගින් ඔවුනගේ, කම්කරු-විරෝධී, ද්‍රෝහී භූමිකාව වඩාත් විශදව ප්‍රකාශයට පත්ව ඇත.
ජවිපෙ ට අයත් ලංකා ගුරු සේවා සංගමයේ (ලංගුසේස) නායක, දැන් ආන්ඩුවේ කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ පාර්ලිමේන්තුව තුල කතා කරමින්, පොලිස් නිලධාරීන්ට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පාසනි හෙලා දැක්කේ ය. “මේ උද්ඝෝෂනය නොවියයුතු දෙයක්. ආන්ඩුව යම් අපහසුතාවයකට ලක් කිරීමේ එල්ලයෙන් ද මේ විරෝධතාවය දියත් වුනේ කියන ප්රශ්නය අපිට තියෙනවා” යයි ප්‍රකාශ කල ජයසිංහ ආන්ඩුවේ සුපුරුදු මන්ත්‍රය ජප කරමින්, “ආන්ඩුවට කල් දිය යුතු” යයි කියා සිටියේ ය.
පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට එරෙහි වෙමින් ඔහු කියා සිටියේ, “ගුරු සේවයට” බඳවා ගැනීම සිදු කරන්නේ ගුරු සේවා ව්‍යාවස්ථාව අනුව බැවින්, ඒ සඳහා තරග විභාග පැවැත්විය යුතු බවයි.
ස්වාධීන ගුරු සංගමයක් යයි කියා ගන්නා ලංකා ගුරු සංගමයේ (ලංගුස) ලේකම් ජෝසෆ් ස්ටාලින් ද, ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පත්වීම “ජනතා අභිලාෂයන් ප්‍රකාශයට පත්වීමක්” යයි කියා සිටින ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) යටතේ මෙහෙය වන ඒකාබද්ධ ගුරු සේවා සංගමය (ඒගුසේස) ද, ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව තරග විභාගයක් පැවැත්විය යුතු බවත්, ගුරු සේවයට බඳවා ගත යුත්තේ අවුරුදු 35 ට අඩු පුද්ගලයන් බවත් යන කරුනු ඉදිරියට දමමින් ආන්ඩුව සමග පෙලගැසී සිටී.
පසුගිය සිවුවසර පුරා, ඉගැන්වීමේ කාර්යයේ දී මෙන්ම වෙනත් පාසල් ක්‍රියාකාරකම්වල දී ද, පාසනි, අනෙකුත් ගුරුවරුන් සමග ඒකාබද්ධව සහ සහයෝගයෙන් සේවයේ නිරතව සිටිති. සැබැවින්ම, එම කාර්යයන්හි දී අප දෙපිරිස අතර කිසිදු වෙනසක් නැත. නමුත් ඔවුන්ගෙන් බහුතරයකට පාසල් නිමවන වේලාවට පිටව යා නොහැක. සවස 3.30 න් පසුව ද ඔවුන්ට පාසලේ රැඳීමට බල කෙරෙන අතර, පාසල් නිවාඩු කාලයන්හි දී ද සේවයට වාර්තා කල යුතු ය. ඔවුනගේ වැටුප්, සාමාන්‍ය ගුරුවරයෙකුගේ වැටුපට වඩා රුපියල් 6500 ක් පහලින් පවතී.
මෙම තතු යටතේ, තමා “ගුරු සේවය”ට අන්තර්ග්රහනය කර අනෙක් ගුරුවරුන්ට හිමි අයිතීන් තහවුරුකර දෙන ලෙස පාසල් සංවර්ධන නිලධාරීන් කරන ඉල්ලීම මුලුමනින්ම යුක්තියුක්ත වන අතර, ඊනියා ගුරු සේවා ව්‍යවස්ථාව ලෙලවමින් එයට එරෙහිවන සමිති නිලධරය, පාසනි ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ඔවුන්ගේ සටන මර්දනය කිරීම සඳහා ආන්ඩුවට පූර්න පිටුබලය ලබා දේ.
කම්කරු පන්තියේ අනෙක් සෑම සටනකදී මෙන්ම, පාසනි සටනේදී ද අති මූලික ප්‍රශ්න ඉස්මත්තට පැමින ඇත; ධනපති ජාජබ/ජවිපෙ ආන්ඩුවට හෝ වෙනත් ධනපති ආන්ඩුවකට පීඩනය යෙදීමෙන් කම්කරුවන්ට තම ඉල්ලීම් දිනාගත හැකිද ? වෘත්තීය සමිති සංවිධාන හරහා තම සටන ඉදිරියට ගෙන යා හැකි ද?
ගෝලීය ධනපති ක්‍රමය මුහුන දී සිටින ගැඹුරු ආර්ථික අර්බුදය හමුවේ, කම්කරු පන්තියේ සමාජ සහ ප්රජාතන්ත්රීය අයිතීන් පාගා දැමීම හැර වෙනත් විකල්පයක් ලොවපුරා පාලක පන්තීන්ට නොමැත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබා ගන්නා ඩොලර් බිලියන 3 ක ඇපනයට හිලවු වසයෙන් එය පනවා ඇති කප්පාදු විධානයන් අකුරටම ක්‍රියාත්මක කරමින්, ලංකාවේ ජාජබ/ජවිපෙ ආන්ඩුව ක්‍රියාවට නංවමින් සිටින්නේ එයයි.
රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සීමා කිරීම, වැටුප් කැටි කිරීම හා අධ්‍යාපන, සෞඛ්‍ය වියදම් කප්පාදුව, රැකියා ලක්ෂ පහකට බලපාන අයුරින් රාජ්‍ය ව්‍යවසාය 430 ක් ප්‍රතිව්‍යුගත කිරීම හා රාජ්‍ය අංශයේ රැකියා ලක්ෂ පහමාරක් අතුගාදැමීම සහ දැවැන්ත පරිමානව බදු ඉහල දැමීම ආන්ඩුවේ එම රුදුරු වැඩපිලිවෙලට අයත් ය.
එම තත්වය යටතේ ධනපති ආන්ඩුවට පීඩනය යෙදීමෙන් ඉල්ලීම් දිනාගත හැකිය යන්න පර්පූර්න මිත්‍යාවකි. කම්කරු-පීඩිත මහජනතාවගේ කවර හෝ ඉල්ලීමක් සාක්ෂාත් කල හැක්කේ, ධනපති ආන්ඩුවට සහ සමස්ත ධනපති ක්‍රමයට එරෙහිව, ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් මත පාදක වූ කම්කරු පන්තියේ ඒකාබද්ධ ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමෙන් පමනි. ධනපති ක්‍රමයට ඓන්ද්‍රීයව බැඳුනු වෘත්තීය සමිති එවන් වැඩපිලිවෙලකට පරම සතුරු බැවින්, වෘත්තීය සමිති වලින් සහ ධනපති පක්ෂ වලින් ස්වාධීන වූ කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම මෙහි ලා අත්‍යවශ්‍ය ය.
කක්‍රිකසා ප්‍රකාශය කැඳවුම් කල පරිදි, “වඩාත් පුලුල්ව හා හදිසිභාවයෙන්” පහත ඉල්ලීම් මත එක්ව සටන් වදින ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු:
“ම්ලේච්ඡ ජාමූඅ වැඩසටහන එපා!
“පුද්ගලීකරනය හෝ කවර හෝ ප්‍රතිව්‍යුහගත කිරීමක් එපා. ! සියලුම රාජ්‍ය ව්‍යවසායන් කම්කරුවන්ගේ ප්රජාතන්ත්රවාදී පාලනය යටතට පත් කරනු.!
“විදේශ නය ආපසු ගෙවීම එපා!
“අපගේ සගයන් වන්නේ අපගේ ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන්ය. එක්සත් ජනපදයේ, එක්සත් රාජධානියේ, යුරෝපය පුරා, ඕස්ට්‍රේලියාවේ, ඉන්දියාවේ සහ වඩාත් පුලුල්ව, සංගතවල සහ ආන්ඩුවල ප්‍රහාරවලින් තම අයිතීන් ආරක්ෂා කර ගැනීමට කම්කරුවන් අරගලයට පැමින ඇත.
“මෙම අරගලයේ දී මෙසේ ක්‍රියා කරන ලෙස අපි ඔබ උනන්දු කර සිටින්නෙමු: ලංකාවේ කම්කරුවන් ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතුව ගොඩනගා ගත යුතුය ! මෙය සාක්ෂාත් කර ගත හැක්කේ, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රික-ජාස) සමඟ සම්බන්ධ වීමෙනි,”
“පාසල් සංවර්ධන නිලධාරීන් (ගුරුවරුන්) සිවුදෙනාට එරෙහි චෝදනා ඉවත්කරගනු! පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සටනට පූර්න සහාය!” යන මැයෙන් කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය විසින් දෙසැම්බර් 15 ඉරිදා සවස 7 ට පවත්වන ප්‍රසිද්ධ ඔන්ලයින් සූම් රැස්වීමේදී මෙම වැඩපිලිවෙල සාකච්ඡා කෙරෙන අතර, එයට සහභාගිවන ලෙස සියලු ගුරුවරුන්ගෙන්, විදුහල්පතිවරුන්ගෙන්, අවශේෂ කම්කරුවන්ගෙන් සහ තරුනයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.