ග්‍රේෂන් සහෝදරයා ඝාතනය සහ විකොස මුහුන දෙන කර්තව්‍යයෝ

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ දේශපාලන කමිටුව 1989 ජුනි 30දා නිකුත් කල ප්‍රකාශය

මෙහි පලවන්නේ ෆෝර්ත් ඉන්ටර්නැෂනල් (Fourth International) සඟරාවේ 1989 ජූලි-දෙසැම්බර් කලාපයේ පල කෙරුනු, සමාජවාදී සමානතා පක්ෂයේ පුර්වගාමි විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය විසින් නිකුත් කෙරුනු ඉහත සඳහන් ප්‍රකාශයේ සිංහල පරිවර්තනයයි. මෙම ප්‍රකාශය, ග්‍රේෂන් ගීකියනගේ සහෝදරයාගේ ඝාතනය පිලිබඳව අප පක්ෂයේ දේශපාලන තක්සේරුව මෙන් ම දේශපාලන මුලිකත්වය ගැනීම පැහැදිලි කරයි.

ග්‍රේෂන් ගීකියනගේ [wsws]

ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) ෆැසිස්ට්වාදී තුවක්කුකරුවන් විසින් විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයෙහි (විකොස) හලාවත ශාඛාවේ සාමාජිකයෙකු වූ ග්‍රේෂන් ගීකියනගේ සහෝදරයා ඝාතනය කිරීමේ කුදුමහත් ගම්‍යයන් උකහා ගන්නා ලෙසත්, ෆැසිස්ට්වාදීන්ගේ හා ධනපති රාජ්‍යයේ ඒකාබද්ධ ප්‍රහාරයන් පරාජය කිරීම සඳහා සිය ශක්තිය බලමුලුගන්වන ලෙසත්, විකොස ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී.

ලංකාවේ කම්කරු ව්‍යාපාරයට එරෙහි ව, ෆැසිස්ට් ජවිපෙ හා ජනාධිපති ප්‍රේමදාසගේ ධනපති පාලන තන්ත්‍රය එල්ල කරන ඒකාබද්ධ ප්‍රහාරයෙහි අලුත් වටයේ ඉහල ම ලක්ෂ්‍යය මෙම ම්ලේච්ඡ ඝාතනය යි. ජවිපෙ කෙරෙහි කිසිදු ප්‍රතිරෝධයක් දැක්වීම අත්හරිමින්, කම්කරු සංවිධානවල ප්‍රතිසංස්කරනවාදී, ස්ටැලින්වාදී හා මාධ්‍යමික නායකත්වයන් ෆැසිස්ට් ත්‍රස්ත උද්ඝෝෂනය ඉදිරියේ දනගසා සිටින කොන්දේසි යටතේ මෙම ඝාතනය සිදුකර තිබේ.

ආන්ඩුව විසින් පනවනු ලබා ඇති හදිසි නීති රෙගුලාසි සමග එකට සිදුවන ජවිපෙ ඝාතනවල අලුත් වටය, ධනේශ්වරයට එරෙහිව විප්ලවවාදී අරගලය සඳහා සූදානම්වීමේ හදිසි භාවය කම්කරු පන්තිය ඉදිරියේ ඉස්මතු කරයි. නාස්ති කිරීමට කාලයක් නැත!

ෆැසිස්ට් ආඥාදායකත්වයේ තර්ජනයට එරෙහි ව, කම්කරු පන්තියේ ආරක්ෂාව සංවිධානය කිරීමට සටන් වදිමින් සිටින්නේ විකොස පමනි. ෆැසිස්ට් හා රාජ්‍ය ප්‍රචන්ඩත්වයට එරෙහි ව, තම නායකත්වයන්, වෘත්තීය සමිති හා කම්කරු-පන්තික නිවහන් ප්‍රදේශ ආරක්ෂා කරගැනීමටත්, ත්‍රස්තවාදී ප්‍රහාරවලට එරෙහි ව පහරට පහර දීමටත්, තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු සහ ආරක්ෂක භටකායන් ගොඩනගන ලෙස, විකොස ලංකාවේ කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි.

විකොස සහ හජාජාක ධජ සහ ග්‍රේෂන් සහෝදරයාට විප්ලවවාදී ආචාරය පුද කිරීමේ ධජයක් සමඟ පෙරහැර ග්‍රේෂන් උපන් ගම්මානයේ සොහොන් බිම වෙත ගමන් කල අයුරු [wsws]

ජවිපෙ ත්‍රස්තයේ තර්ජන ප්‍රතික්ෂේප කරමින්, ජුනි 27 අඟහරුවාදා හලාවත පැවති ග්‍රේෂන් සහෝදරයාගේ අවමංගල පෙලපාලියට කම්කරුවන් 600කට අධික පිරිසක් සහභාගි වීම තුල, මෙම ප්‍රහාරයන් ආපසු හරවා පරාජයට කරනුවස් කම්කරුවන්ට පවතින හැකියාව හා අධිෂ්ටානය බලගතු ලෙස ප්‍රදර්ශනය කෙරුනි.

මෙම බලමුලුගැන්වීමට ජවිපෙ දක්වා ඇති මංමුලා සහගත ප්‍රතිචාරය වී ඇත්තේ, විකොසහි හලාවත නායක කේඩරයට සහ වෘත්තීය සමිති නායකයන්ට මරන තර්ජන නිකුත් කිරීමත්, හලාවත හේකාබ් කර්මාන්තශාලාවේ කම්කරුවන්ට සිය වෘත්තීය සමිතිය විසුරුවා හරින ලෙස නියෝග කිරීමත් ය. ජවිපෙ උද්ඝෝෂනයෙහි ෆැසිස්ට් ස්වභාවයට මෙය පැහැදිලි ව ම සාක්ෂි දෙයි.

ජුනි 23 සිකුරාදා, හලාවත ඔහුගේ නිවසේ මිදුලේ දී, 27 හැවිරිදි වූ ග්‍රේෂන් සහෝදරයාට ජවිපෙ ඝාතකයන් විසින් වෙඩි තැබී ය. පිටස්තර ප්‍රදේශවලින් එවා තිබුනු ජවිපෙ තුවක්කුකරුවෝ, ග්‍රේෂන් ගේ වැඩිමහල් සහෝදරයා සොයමින් නිවසට පැමිනිය. හලාවත ප්‍රදේශයේ විකොස නායක සාමාජිකයෙකු වන ඔහු සොයා ගැනීමට තුවක්කුකරුවෝ අසමත් වූහ. ඔවුන් කවුරුන්දැයි ග්‍රේෂන් විමසූ විට, තුවක්කුකරුවෝ ඔහුගේ හිසට වෙඩි තැබූහ.

වහා ම මීගමුව රෝහලට ගෙන යන ලද ග්‍රේෂන් සහෝදරයා, එතැනින් කොලඹ මහ රෝහලට මාරු කර යවන ලදී. ප්‍රහාරයේ දී ඔහුට මරනීය තුවාල සිදු නො වුන ද ශල්‍ය කර්මයක් ප්‍රමාද කිරීම නිසා, රුධිරය වහනය වීමෙන් ඔහු මරනයට පත් වීමට බලධාරීහු ඉඩ හල හ.

සිය වැඩිමහල් සහෝදරයා සහ හලාවත ප්‍රදේශයේ අනෙකුත් විකොස සාමාජිකයන් සමග, ධීවර ජනයා වෘත්තීය සමිතියක් තුල සංවිධානය කිරීමටත්, එක්සත් ජාතික පක්ෂ (එජාප) පාලන තන්ත්‍රයට සහ ෆැසිස්ට්වාදීන්ට එරෙහි අරගලයට දේශපාලන පදනම දැමීමටත්, ග්‍රේෂන් සහෝදරයා මේ වසර මුල දී පෙරමුන ගත්තේ ය. ලංකාවේ ධීවර ජනයා අතර පිහිටුවන ලද පලමු වෘත්තීය සමිතිය වූයේ මෙය යි.

සමාජවාදී විප්ලවය සඳහා නිර්ධන පන්තික ජාත්‍යන්තරවාදී ක්‍රියා මාර්ගය මත විකොස ගෙනගිය දේශපාලන වැඩකටයුතු, ක්ෂනිකවම හලාවත ධනවත් මාලු වෙලෙඳුන්ගේ හා ප්‍රතිගාමී බලවේගවල සතුරුකමට තුඩු දුන්නේය. ප්‍රදේශයේ කම්කරුවන් හා දුගී ජනයා අතර විකොසහි වැඩෙන ආනුභාවය, 1987 තරම් ඈත සිට ම, පාලන තන්ත්‍රයේ හා ප්‍රදේශය තුල එහි හෙංචයියන්ගේ ප්‍රතිප්‍රහාරයට ලක් වී තිබුනු අතර, කුමන්ත්‍රනය කිරීමක් පිලිබඳ බොරු චෝදනා මත, සහෝදරවරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන සති හතක් සිරගත කොට තිබුනි.

ග්‍රේෂන් සහෝදරයා මරා දැමීම මගින්, මෙම සියලු ප්‍රතිගාමී බලවේගයන් වෙනුවෙන් ජවිපෙ ක්‍රියා කර ඇත්තේ, ධනේශ්වරයේ කුලී මැරයෙකු ලෙසය. පසුගිය මාස හත තුල, ජවිපෙ ෆැසිස්ට් මැරයන් විසින් මරා දමන ලද තුන්වන විකොස සාමාජිකයා වන්නේ ග්‍රේෂන් සහෝදරයා යි. පසුගිය නොවැම්බරයේ ජවිපෙ ඝාතකයන් ආර්. ඒ. පිටවෙල සහෝදරයා මරා දැමූ අතර, දෙසැම්බරයේ දී ඔවුහු පී. එච්. ගුනපාල සහෝදරයා මරා දැමූ හ. මෙම ඝාතනයන්ගෙන් නියෝජනය වන්නේ, කම්කරු පන්තියේ සවිඥානික පෙරටු බලඇනියෙහි හිස ගසා දැමීමට ගනන් බලා දරන ලද උත්සාහයකි. සමස්ත කම්කරු ව්‍යාපාරය ත්‍රස්ත කිරීමට දරන උත්සාහයේ දී, ජවිපෙ පසුගිය වසර පුරා කම්කරුවන් කිහිප සියයක් හා වෘත්තීය සමිති නායකයන් බොහෝ ගනනක් ඝාතනය කිරීමට ක්‍රියා කර ඇත.

ග්‍රේෂන් ඝාතනය සිදු කර ඇත්තේ, ජවිපෙ විසින් අනවන ලද මධ්‍යම ගමනාගමන මන්ඩලයේ හා දුම්‍රිය සේවයෙන් ආරම්භ වූ වැඩ නැවැත්වීමේ උද්ඝෝෂනය මධ්‍යයේය. වචනයේ කිසිදු අර්ථයකින්, මෙම වැඩ නැවැත්වීම් කම්කරු පන්තියේ වැඩ වර්ජන නො වේ. ඒවා කැඳවීමේ දී, කම්කරුවන්ගේ රැස්වීම් හෝ ඉල්ලීම් සාකච්ඡා කිරීම් හෝ ඡන්දය විමසීම් පැවැත්වී නැත. ඊට විපරීත ව, මෙම ක්‍රියාවන් වනාහි, පසුගිය ඔක්තෝබර්-නොවැම්බර් සමයේ ජවිපෙ උද්ඝෝෂනය වැනි ම, මරන තර්ජන එල්ලකර සිය රැකියාවලට යාමෙන් වැලකී සිටීමට කම්කරුවන්ට නියෝග කරන ලද ත්‍රස්තවාදය යොදා සිදුකෙරුනු වැඩ නැවැත්වීම් ය.

මේ අවස්ථාවේ දී, තමන්ගේ ම ප්‍රතිගාමී අභිප්‍රායන් සඳහා, කම්කරු ව්‍යාපාරය තුල උපාමාරු දමනුවස්, සිය ෆැසිස්ට්වාදී හා වර්ගවාදී ඉන්දියානු-විරෝධී ක්‍රියා මාර්ගයට වැටුප් ඉල්ලීමක් ගැටගැසීමට ජවිපෙ ක්‍රියා කර තිබේ. ඒ අතර ම, මෙම වැඩ නැවැත්වීම්වලට වෘත්තීය සමිතිවලට හෝ ඒවායේ නායකයන්ට සහභාගි විය නො හැකි යයි ජවිපෙ ප්‍රකාශ කරන්නේ, එසේ කලහොත් ඔවුන්ට මරනයේ වේදනාව දැනෙනු ඇතැයි තර්ජනය කරමිනි.

ජවිපෙ සැබෑ ඉලක්කයන් ගැන වැරදි වැටහීමක් ඇතිකර නොගත යුතුය. ප්‍රේමදාස පාලනයේ වක්‍ර සහයෝගය සහිතව, කම්කරු පන්තියේ ස්වාධීන පක්ෂ හා වෘත්තීය සමිති තලා දැමීමටත්, දෙමල සුලුතරයට එරෙහි වාර්ගික ප්‍රහාර දියත් කිරීමටත්, නග්න ත්‍රස්තය හරහා තමන්ගේ ම අධිකාරය පැටවීමටත් ජවිපෙ උත්සාහ දරමින් සිටී.

වැඩ නැවැත්වීම්වලට නියෝග කරන ලද්දේ, ජවිපෙහි “ඉන්දියාව වර්ජනය කරනු” යන උද්ඝෝෂනයේ කොටසක් ලෙස ය. මෙම උද්ඝෝෂනය නිවේදනය කරමින්, 1930 ගනන් මුල ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසි හලා හල විෂ මතකයට නංවන ප්‍රකාශයක් ජවිපෙ නායක රෝහන විජේවීර විසින් නිකුත් කලේ ය. එහි අසන්න ඉලක්කය වූයේ, ලංකාව තුල සිටින ඉන්දියානුවන් සහ ලංකාවේ කම්කරු පන්තියෙන් හරියට ම තුනෙන් පංගුවක් වන මධ්‍යම කඳුකරයේ සිටින ඉන්දියානු සම්භවයක් සහිත වතු කම්කරුවන් ය.

“ජුනි 14දා වන විට මේ රටින් පිට වීමට අසමත් වන හා ඉන්පසු මේ රට තුල රැඳී සිටින ඕනෑ ම ඉන්දියානුවෙක් ‘යුද අපරාධකරුවෙකු’ ලෙස සලකන” බව ප්‍රකාශයේ සඳහන් විය. “කඳුරට තුල ඉන්දියානු-ගැති බල කඳවුරක් ස්ථාපනය කිරීමේ...සැලැස්මක් පිලිබඳ ව දේශප්‍රේමී ජනයාට මෙමගින් අනතුරු අඟවනු ලැබේ” යි ප්‍රකාශ කරමින්, වතු කම්කරුවන්ට කරන ම්ලේච්ඡ තර්ජනයක් සමගින් ප්‍රකාශය ඉදිරියට ගියේ ය.

“වාමාංශිකයන් ලෙස පෙනී සිටින, සිංහල ඉන්දියානු ඒජන්තයන්ගේ සහයෝගය සමගින් ඉන්දියානු පස්වන කොලමේ [පරසතුරු ඒජන්තයන්ගේ] උපදෙස් මත” කොලඹ නගරයේ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර සැලසුම් කර තිබුනේය යන කඩතුරාව යොදා ගනිමින්, කම්කරු-පන්තික පක්ෂවලට හා නායකත්වයන්ට එරෙහි ව, ජවිපෙ නව ප්‍රහාරයන් දියත් වනු ඇති බව මෙම ප්‍රකාශයෙන් පෙන්නුම් කෙරුනි.

ස්වෝත්තමවාදී සුලු-ධනේශ්වරයේ වඩාත් ප්‍රතිගාමී කොටස් රැලි කරගැනීමේ ෆැසිස්ට් හඬතැලීමක යෙදෙමින්, විජේවීර සිය ප්‍රකාශය අවසන් කලේ මෙසේ ය: “සෑම කෙනෙකුට ම, සෑම දේශප්‍රේමියෙකුට ම හා නීතියට ගරු කරන සෑම පුරවැසියෙකුට ම මා කැඳවුම් කරන්නේ, අප සමග අත්වැල් බැඳගෙන, දේශද්‍රෝහීන් මේ රටින් පන්නා දමා, අනාගත පරම්පරාවන් වෙනුවෙන් මෙරට නිවහල් රටක් බවට පත් කිරීමට ඉදිරියට එන ලෙස යි.”

හලාවත දී ග්‍රේෂන් සහෝදරයා මරා දැමීම තුලින් මෙන් ම, ඉන්දියානු භාන්ඩ විකිනුවේය යන කඩතුරාව මත සංහාරයක ආකාරයෙන් මීගමුවේ දී හා කඳානේ දී දෙමල කඩසාප්පුකරුවන් හතර දෙනෙකු මරා දැමීමෙන්, ජවිපෙ නායකයා ගේ වචනවල අර්ථය වහා ම තහවුරු කෙරුනි.

මෙම විවෘත ෆැසිස්ට් උද්ඝෝෂනය මධ්‍යයේ, ජවිපෙ වැඩ නැවැත්වීම්වලට විරුද්ධ ව කම්කරු පන්තිය බලමුලුගන්වනුවස්, මහ බැංකු සේවක සංගමයේ විකොස නායකත්වය කල ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට, ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය හා මාධ්‍යමික නසසපය විසින් පාලනය කරන වෘත්තීය සමිති 21 පෙරමුනේ නායකත්වය ක්‍රියා කලේ ය. කම්කරු පන්තියේ ආරක්ෂාව සඳහා කිසිදු පියවරක් ගැනීම ප්‍රතික්ෂේප කල මෙම ද්‍රෝහියෝ, ඒ වෙනුවට කම්කරුවන් ජවිපෙ අන්තරායට අතහැර දැමූ හ.

ප්‍රතිසංස්කරනවාදී ලංකා සම සමාජ පක්ෂය ක්‍රියා කර ඇත්තේ, ජවිපෙ වෙනුවට කම්කරුවන් සිය ඉලක්කය කරගෙන සිටින ප්‍රේමදාස පාලන තන්ත්‍රයේ මර්දන පියවරයන්ට සහයෝගය දීමට ය. ෆැසිස්ට්වාදීන්ට නිදහසේ ක්‍රියා කිරීමට ඉඩ ලබා දෙන පාලන තන්ත්‍රය, ත්‍රස්ත උද්ඝෝෂනය මගින් වැඩට යාම වලක්වා ඇති ගමනාගමන මන්ඩල කම්කරුවන් මහා පරිමානයෙන් දොට්ට දමන බවට තර්ජනය කර ඇත.

ආරක්ෂාව තකා එජාප පාලනයට ආයාචනා කරන ලසසප නායකත්වය, කම්කරු පන්තිය කිසිදු ආකාරයක ස්වාධීන ක්‍රියා මාර්ගයක් නොගත යුතු යයි පවසන නසසපය හා ස්ටැලින්වාදීන් සමග එකඟ වෙයි. ලසසප මධ්‍යම කාරක සභික හා ලංකා කම්කරු සම්මේලනයේ ලේකම් ඩී.ජී. විමලසේන, පක්ෂ මුද්‍රනාලයේ දී ජවිපෙ තුවක්කුකරුවන් විසින් වෙඩි තබා මරා දමනු ලැබීමෙන් පසුව, කම්කරුවන් 5,000ට අධික පිරිසක් ඔහුගේ අවමංගල්‍යයට රැස් වූ හ. එහෙත් ලසසප නායකත්වය කම්කරුවන්ට කීවේ ආපසු ගෙදර ගොස් කරබාගෙන සිටින ලෙස යි!

ජවිපෙ වැඩ නැවැත්වීම්වල මුව විට දී මරා දමන ලද ප්‍රමුඛ කම්කරු නායකයන් තිදෙනාගෙන් එක් අයෙක් වූයේ විමලසේන යි. අනෙක් දෙදෙනා වූයේ ලසසප මධ්‍යම කාරක සභික ක්‍රිස්ටි මාකස් ඩයස් හා රජයේ ලිපිකරු සේවා සංගමයේ නියෝජ්‍ය ලේකම් මෙත්තානන්ද ය. ජවිපෙ ඝාතකයින් විසින් මෙලෙසින් හෝ ඊට පෙර ඝාතනය කරන ලද වෘත්තීය සමිති හා කම්කරු-පන්තික පක්ෂ නායකයන් මරා දැමීම ගැන කිසිවෙකු කවදා හෝ අත්අඩංගුවට ගෙන නැත.

අන් සියලටමත් වඩා, දකුනේ කම්කරු-පන්ති ව්‍යාපාරය හා උතුරේ දෙමල ජනයාගේ ජාතික විමුක්ති අරගලය පරාජය කිරීමට පාලක පන්තිය අසමත් වීම විසින් සංලක්ෂිතව තිබෙන, ලංකාවේ ධනේශ්වර පාලනයෙහි දිග්ගැස්සුනු අර්බුදය, කම්කරු පන්තිය දැන් අභිමුඛව සිටින තීරනාත්මක අවස්ථාවයි.

“ශ්‍රී ලංකාවේ තත්ත්වය සහ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ කර්තව්‍යයෝ” යන හිසින්, 1987 නොවැම්බර් 19දා නිකුත් කල ප්‍රකාශය තුල, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) මෙසේ පෙරදුටුවේ ය:

“ලෝකය පුරා සංශෝධනවාදීන් විසින් අමතක කරනු ලැබ ඇති බලවේගය වන ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ නව ප්‍රහාරයක් ලෝක ආර්ථිකයේ වර්ධනය වන අර්බුදය මගින් ඉදිරි මාසවල දී අවුලුවාලනු ඇත. ලඟා වන මෙම ප්‍රහාරය නිවැරදි විප්ලවවාදී පිලිවෙතක් මගින් සන්නද්ධ කරනු ලැබුව හොත් ශ්‍රී ලංකාවේ ද ඉන්දු-උප මහාද්වීපයේ ද මුලු මහත් දේශපාලන බල තුලනය ප්‍රතිවර්තනය කෙරෙනු ඇත.”

ඊට පසු වසරේ වැඩ වර්ජන අරගල පුපුරා යාම සමගින් මෙම පෙරදැකීම බලගතු ලෙස සනාථ විය. මහ බැංකු සේවක සංගමය තුල විකොස ලත් ජයග්‍රහනයෙන් මෙම ව්‍යාපාරය එහි සවිඥානික ප්‍රකාශනය අත්පත්කර ගත්තේ, ප්‍රතිසංස්කරනවාදී, මාධ්‍යමිකවාදී හා ස්ටැලින්වාදී නායකත්වයන්ගෙන් බිඳෙමින්, කම්කරු පන්තිය විප්ලවවාදී විකල්පයක් සෙවීම කරා යොමු කරමිනි.

ජවිපෙහි ත්‍රස්තවාදී වැඩ නැවැත්වීම් මගින් නියෝජනය කෙරෙන්නේ අඛන්ඩ ව තීව්‍ර වී ඇති ලංකාවේ කම්කරු පන්තියෙහි අරගල පූර්ව-භංග කිරීමේ දනුවත් උත්සාහයකි. සියලු සමාජ ගැටුම්වල බේරුම්කරුවා තමන් බව පෙන්නුම්කර ගනිමින්, කම්කරු-පන්තික සංවිධානවල අධිකාරය බිඳහෙලීම සහ ධනේශ්වරයේ හා අධිරාජ්‍යවාදයේ ඇස් ඉදිරිපිට තමන්ගේ තත්වය ගොඩනගා ගැනීම ෆැසිස්ට්වාදීන්ගේ ඉලක්ක යයි. මේ අනුව, මෑත කාලයේ සිය අව්‍යාජ වැඩ වර්ජනවල දී, කම්කරුවන් ඉදිරිපත් කල ඉල්ලීම්වලින් හතරෙන් පංගුවක් වත් නො වන සොච්චමක් වන රුපියල් 250ක වැටුප් වැඩි කිරීමක් දෙන්නේ නම් සිය ත්‍රස්තවාදී වැඩ නැවැත්වීම් අවසන් කිරීමට පොරොන්දුවෙමින් ජවිපෙ ප්‍රේමදාස පාලනය සමග සාකච්ඡාවලට එලැඹී ඇත.

පසුගිය නොවැම්බරයේ, කම්කරු ව්‍යාපාරයට එරෙහි ව ෆැසිස්ට් මැදිහත් වීම සමයේ, ජවිපෙ තුවක්කුකරුවන්ගේ ත්‍රස්තය හා එජාප ආන්ඩුවේ යුධ නීති පියවරයන් යන දෙක ම ප්‍රතික්ෂේප කිරීම, කම්කරු පන්තිය විසින් ආරම්භ කලේ ය. විශේෂයෙන් ම, මහ බැංකු සේවක සංගමයේ විකොස නායකත්වය ගත් නිර්භය ආස්ථානය, මුලු මහත් කම්කරු පන්තිය රැලි වන ලක්ෂ්‍යයක් බවට පත් විය.

තව ද ෆැසිස්ට් ප්‍රහාර හා මිලිටරි ආඥාදායකත්වයේ තර්ජනය පරාජය කිරීම සඳහා, කම්කරු-පන්තික පක්ෂ සහ වෘත්තීය සමිතිවල එක්සත් පෙරමුනක් කැඳවුම් කල විකොස උද්ඝෝෂනය, ලංකාවේ කම්කරු පන්තියෙන් බලගතු ප්‍රතිචාරයක් ලබා ගත්තේය. මහ බැංකු සේවක සංගමය හා තවත් වෘත්තීය සමිති හතක් එක්සත් කරමින්, අප්‍රේල් මාසයේ දී එක්සත් පෙරමුනක් සඳහා වන තාවකාලික කමිටුවක් විකොස නායකත්වය යටතේ ස්ථාපිත කරනු ලැබී ය.

මාර්තු හා අප්‍රේල් මාසවල දී පමනක්, අංක 30කින් ඉහල ගිය, ජීවන වියදම් දර්ශකයේ පුපුරනසුලු නැගීමට ප්‍රතිචාර වසයෙන්, මේ වසර ආරම්භයේ සිට ම, කම්කරු පන්තිය බලගතු වැටුප් අරගල මාලාවක් දියත් කලේ ය. දෙමල වැසියන් වාසය කරන ප්‍රදේශවල විශ්ව විද්‍යාල දෙක ද ඇතුලු ව, විශ්ව විද්‍යාල හතේ කම්කරුවන්ගේ වැඩ වර්ජනය නිසා සැලකිය යුතු වැටුප් වැඩි කිරීම් ලබා දීමට ආන්ඩුවට බල කෙරුනේ, ඒ හා සමාන ඉල්ලීම් මත කම්කරු ව්‍යාපාරයේ සියලු කොටස් අතර වැඩ වර්ජන මාලාවකට වේදිකාව සකසමිනි.

සිංහල හා දෙමල කම්කරුවන්ගේ මෙම ඒකාබද්ධ වැඩ වර්ජනය සහ වැඩ වර්ජන ක්‍රියා සඳහා වතු හා නාගරික කම්කරුවන් අතර පැනනැගුනු උද්ඝෝෂනය, අධිරාජ්‍යවාදීන් ද ඔවුන්ගේ ධනේශ්වර හා සුලු-ධනේශ්වර හෙංචයියන් ද ගැඹුරු අර්බුදයකට ඇද දැමී ය. ජවිපෙ වර්තමාන ත්‍රස්ත උද්ඝෝෂනයට තුඩුදුන් ආසන්න හේතුව මෙය යි.

ඒ අතර ම, 1987 ඉන්දු-ලංකා ගිවිසුමේ බිඳවැටීම විසින් පාලනයේ මෙම අර්බුදය තීව්‍ර කරනු ලැබ ඇත. උතුරේ ජාතික විමුක්ති අරගලය තලා දැමීම සඳහා ඉන්දියානු හමුදා භටයන් 100,000ක් ගෙන ඒමටත්, දකුනේ කම්කරුවන්ට හා පීඩිත ජනයාට එරෙහි ව යුද්ධය දියත් කරනුවස් සිංහල වර්ගවාදී තන්ත්‍රයේ පරාජිත හමුදා නිදහස් කරගැනීමටත්, මෙම ගිවිසුම යොදාගනු ලැබී ය.

ලෝක අධිරාජ්‍යවාදයේ ද ඉන්දියානු හා ලාංකික ධනේශ්වරයේ ද ප්‍රතිවිප්ලවවාදී කුමන්ත්‍රනයක් ලෙස ආරම්භයේ පටන් ම මෙම ගිවිසුමට විරුද්ධ වූ විකොස හා හජාජාක, ඉන්දියානු භටයන් වහා ම ඉවත් කරගන්නා ලෙස ඉල්ලා සිටිය හ. විකොස එම ආස්ථානය ගත්තේ, එල්ටීටීඊය ඇතුලු ජාතික විමුක්ති අරගලයේ ධනේශ්වර ජාතිකවාදී නායකත්වයන් මෙන් ම ලසසප, කොප හා නසසප යන සියල්ලන්, මෙම ගිවිසුම “ප්‍රජාතන්ත්‍රවාදයේ” ජයග්‍රහනයක් ලෙස ඔජ වඩවද්දී ය.

ඉන්දියානු භටයන් විසින් උතුරේ දෙමල වැසියන් දහස් ගනනක් මරා දැමීමත්, 1988 මැද භාගයේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නියෝග කරන ලද කප්පාදු පියවරයන්ට හා බහුජාතික සංගතයන්ට එරෙහි ව දකුනේ ආරම්භ වුනු වැඩ වර්ජන රැල්ල තලා දැමීමට හමුදා යොදාගැනීමත්, විකොස ආස්ථානය නිවැරැදි භාවය මුලුමනින් ම තහවුරු කලේ ය.

නිර්ධන පන්තික ජාත්‍යන්තරවාදයේ ක්‍රියා මාර්ගය මත පදනම් ව, විකොස ඉන්දියානු වාඩිලා ගැනීමට එරෙහි ව සටන් කරයි. ශ්‍රී ලංකා හා ඊලම් එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සිංහල හා දෙමල කම්කරුවන් එකමුතු කිරීමටත්, උප-මහාද්වීපය පුරා සමාජවාදී විප්ලවය සඳහා අරගලයේ දී ලංකාවේ හා ඉන්දියාවේ කම්කරුවන්ගේ ඒකාබද්ධතාවටත් එය කැඳවුම් කරයි.

ඉන්දියානු වාඩිලා ගැනීමට හා ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි මෙම නිර්ධන පන්තික ජාත්‍යන්තරවාදී අරගලය, අධිරාජ්‍යවාදී අනුග්‍රහය සහිත ව ඉන්දියානු උප-මහාද්වීපය පුරා ගොඩනගා ඇති රාජ්‍ය පද්ධතියට එරෙහි විප්ලවවාදී විරුද්ධත්වය මත පදනම් වේ. කලාපය තුල අධිරාජ්‍යවාදී කොල්ලකෑමේ කනිෂ්ට හවුල්කරුවන් ලෙස ක්‍රියාත්මක වන, ජාතික ධනේශ්වරයන්ගේ නරුම ප්‍රතිමල්ලතාවන්ගේ අත්ගෙඩි ලෙස කම්කරුවන්, ගොවීන් හා පීඩිත ජනයා යොදාගැනීමෙන් වැලැක්විය හැක්කේ, මෙම නිර්ධන-පන්තික විප්ලවවාදී අරගල විධික්‍රමවලට පමනි.

නාමික නිදහස ප්‍රදානය කිරීමෙන් පසු කාලයේ ඉන්දියානු උප-මහාද්වීපයේ ඉතිහාසය, මෙම ඉදිරි දර්ශනය ලෙයින් සනාථ කර ඇත. 1947 දී, අධිරාජ්‍යවාදීන් විසින් ඉන්දියාව බෙදීම පිලිගත් හින්දු හා මුස්ලිම් ධනේශ්වරය, ඉන්පසුව වාර්ගික වෛරය ඇවිලවීමට එම බෙදීම උපයෝගී කරගත්තේ ය. 1987 දී, දෙමල අරගලය මැඩීමටත්, දකුනේ කම්කරු පන්තිය හා දුගී ගොවීන් මර්දනය කරනුවස් තමන්ගේ අත් නිදහස් කරගැනීමටත්, එජාප පාලනය ඉන්දියානු ධනේශ්වරය සමග උපාමාරු දැමුවේ ය. දෙමල-විරෝධී හා කම්කරු පන්ති-විරෝධී උන්මාදයක් ඇවිලවීම සඳහා, ජවිපෙ ද සහයෝගය සහිත ව, ඉන්දියානු-විරෝධී ස්වෝත්තමවාදය උපයෝගී කරගැනීමට දැන් එය උත්සාහ දරයි.

ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි ජවිපෙ උද්ඝෝෂනය, නාසි ජයග්‍රහනයට පෙර වසරවල දී වර්සායි ගිවිසුමට එරෙහි හිට්ලරියානු උද්ඝෝෂනයේ සාරභූත ෆැසිස්ට් අන්තර්ගතය ම දරා සිටී. නාසීන් මෙන් ජවිපෙ ද පදනම් වන්නේ වර්ගවාදය හා ජාතික ස්වෝත්තමවාදය මත යි. කම්කරු පන්තියට එරෙහි ව සිය ප්‍රහාරක හමුදාවන් ගොඩනැගීම සඳහා, තමන්ට වර්සායිහි දී “පිටුපසින් පිහියෙන් අනින ලදැ” යි හිට්ලර් මොර දුන්නාක් මෙන්, ඉන්දු-ලංකා ගිවිසුමට ලසසප, කොප හා නසසප නායකයින් දෙන ද්‍රෝහී සහයෝගය, ජවිපෙ විසින් ප්‍රකෝපකාරී ලෙස යොදා ගෙන ඇත්තේ ලංකාවේ කම්කරු ව්‍යාපාරයට එරෙහි ව උන්මාදනීය සුලු-ධනේශ්වර ප්‍රහාරයන් ඇවිලවීම සඳහා ය.

පන්ති පීඩනය සඟවාලීම සඳහා මෙම උද්ඝෝෂනය මුලුමනින් ම විදේශ වාඩිලාගැනීම හා දෙමල-විරෝධී වර්ගවාදය මත කේන්ද්‍ර කරගෙන තිබෙන අතර, ජවිපෙට ෆැසිස්ට් පාලන තන්ත්‍රයක් අටවාලීමට ඉඩකඩ ලැබුන හොත්, කලාපය තුල අධිරාජ්‍යවාදී ආධිපත්‍යය සහතික කිරීමට යොදාගන්නා ප්‍රතිගාමී වර්ගවාදී හා ආගමික රාජ්‍ය ව්‍යුහයන් පවත්වාගෙන යාම සඳහා, එය ඉන්දියානු ධනේශ්වරය සමග සම්මුතියට එලැඹෙන බවට, කිසිදු සැකයක් තිබිය නො හැක.

මුල දී ගිවිසුමට සහයෝගය දීමෙන් පසු, ලසසප, කොප හා නසසපහි ප්‍රතිසංස්කරනවාදී, ස්ටැලින්වාදී හා මාධ්‍යමික නායකයෝ, ඉන්දියානු සාම සාධක හමුදාව (අයිපීකේඑෆ්) ඉවත් කරගන්නා ලෙසට ප්‍රේමදාස හා ලංකාවේ ධනේශ්වරය ගෙන යන කැඳවුම පිටුපස පෙලගැසී ඇත්තා හ. කිසිදු ස්වාධීන පන්ති විකල්පයකට විරුද්ධ වන මෙම ද්‍රෝහියෝ, ෆැසිස්ට්වාදීන්ගේ වර්ගවාදී හා ස්වෝත්තමවාදී දේශපාලනයට ලජ්ජා විරහිත ව අනුගත වෙති.

ජාතික ස්වයං-නීර්නය ස්ථාපිත කිරීමට, සුලු-ධනේශ්වර ජාතිකවාදයට පවතින නො හැකියාව ප්‍රදර්ශනය කරමින්, එල්ටීටීඊය මුල පටන් ම ඉන්දියානු වාඩිලාගැනීමට එරෙහි අරගලයට ප්‍රවිෂ්ට වී ඇත්තේ, මුලුමනින් ම මූලධර්ම විරහිත ආස්ථානයකිනි. මුල දී එය ගිවිසුමට සහයෝගය දුන්නේ ය. ඉන්පසු, ඉන්දියානු හමුදාවේ ප්‍රහාරවලට ප්‍රතිරෝධය දැක්වීමට එයට බලකෙරුනු විට පවා, ඉන්දියාවේ භූ-දේශපාලනික අවශ්‍යතාවන්ට ඔවුන්ගේ කීකරු භාවය ප්‍රකාශ කිරීමට එල්ටීටීඊ නායකයෝ ක්‍රියා කල හ. දැන් එය, වසර 40ක් තිස්සේ දෙමල ජාතියේ ස්වයං-නීර්නයට විරුද්ධ වී ඇති, සිංහල ධනේශ්වරය සමග දේශපාලන සන්ධානයක් ඇති කරගැනීම සඳහා පල්ලම් බැස ඇත.

සියලු හතුරුකම් අවසාන කිරීම සඳහා, ජුනි 28දා එකඟතාවකට එලඹුනු ප්‍රේමදාස පාලනය හා එල්ටීටීඊ නායකත්වය ඒකාබද්ධ ප්‍රකාශයක් තුල මෙසේ ප්‍රකාශ කල හ: “සියලු ප්‍රජාවන් හා කන්ඩායම් ජනාධිපතිවරයා වටා රැලි වෙමින්, (ඉන්දියානු භටයන්) රටින් ඉවත් කිරීම තහවුරු කල යුතු අතර, ඔවුන්ට තිබෙන සියලු ගැටලු, සාකච්ඡාව, සම්මන්ත්‍රනය හා සම්මුතිය හරහා කිසිදු බාහිර මැදිහත්වීමකින් තොර ව විසඳාගැනීමට ක්‍රියා කල යුතු ය.”

මේ අනුව, සිංහල ස්වෝත්තමවාදී පාලන තන්ත්‍රයෙන් කවර හෝ ස්වාධීනත්වයක් පවත්වා ගැනීම අත්හැර ඇති එල්ටීටීඊය, අර්බුද-ග්‍රස්ත ප්‍රේමදාස ආන්ඩුවට නව ආධාරක පදනමක් සම්පාදනය කිරීමට උත්සාහ කරයි. සුලු-ධනේශ්වර ජාතිකවාදීන් කම්කරු පන්ති ව්‍යාපාරයට බිය වන නිසා ම, අධිරාජ්‍යවාදයට අනුගත වන ඔවුන්, පීඩිත ජනයාගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සඳහා සටන් කිරීමට අසමත් ය.

ලංකාවේ දේශපාලන කැලඹීම් යටින් පවතින්නේ, ලංකාවේ හා ලෝක ධනවාදයේ විසඳිය නො හැකි අර්බුදය යි. රුපියල් බිලියන 140ක නය බරකට මුහුන දී සිටින ලංකාවේ පාලන තන්ත්‍රයට, දුරදිග යන කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දමන්නැයි ලෝක බැංකුව නියෝග කර ඇත. සියයට 20ක් වූ 1988 උද්ධමන අනුපාතයෙන් අනතුරු ව, අධිරාජ්‍යවාදී බැංකුකරුවෝ රුපියලේ තවත් අවප්‍රමානය කිරීමක් ඉල්ලා සිටිති. එම පියවරයන්ට මේවා ද ඇතුලත් ය: ආන්ඩුවේ දෙපාර්තමේන්තු ගනන 40 සිට 26 දක්වා කපා හැරීම; සෞඛ්‍යාරක්ෂනය හා අධ්‍යාපනය කපා හැරීම; ගොවීන් මත ජල බදු පැටවීම; විදුලි සන්දේශ කටයුතු හා දුම්‍රිය පුද්ගලීකරනය කිරීම සහ රජයට අයත් වතු ක්ෂේත්‍රය බිඳ දැමීම. වතු කම්කරුවන් “ඉන්දියානු පස්වන කොලම්කාරයන්” ලෙස ජවිපෙ කරන හෙලාදැකීම් පිටුපස පවතින සැබෑ පන්ති අවශ්‍යතා, ලෝක බැංකුවේ මෙම අවසන් නියෝගය විසින් හෙලිදරවු කෙරෙයි.

මේ වසරේ ජනවාරියේ දී, කලින් වසර 12 තුල ජනාධිපති ලෙස පාලනය කර තිබුනු ජයවර්ධන, ප්‍රේමදාස විසින් විස්ථාපනය කරනු ලැබීම, හුදෙක් ව්‍යවස්ථාමය බලය පුරුදු පරිදි මාරු කිරීමට වැඩි දෙයක් විය. එමගින් පිලිබිඹු වූයේ, ඉන්දු-ලංකා ගිවිසුමේ අසමර්ථතාව, කම්කරු පන්තියේ වැඩෙන අරගල, සුලු-ධනේශ්වරය එයින් ඈත්වීම හා ඉහල යමින් තිබෙන ෆැසිස්ට් උද්ඝෝෂනය යන දේවල් තුල විලක්ෂනය වන එජාප පාලනයේ නො විසඳිය හැකි අර්බුදයයි.

ප්‍රේමදාස ඔහුට පෙර සිටි ජයවර්ධන මෙන් ම, එක් අතකින් කම්කරු පන්තියේ ද්‍රෝහී නායකත්වයන් ද අනෙක් අතින් ෆැසිස්ට් ජවිපෙ ද අතර බල තුලනයේ යෙදෙන, බොනපාට්වාදී පාලනයකට නායකත්වය දෙයි. එහෙත් ප්‍රේමදාස බලයේ ස්ථාපිත කිරීම පෙන්වා දෙන්නේ, එජාප පාලනය සුලු-ධනේශ්වරය අතර තමන්ගේ ම සමාජ පදනම වේගයෙන් අහිමි කරගනිමින් සිටින කොන්දේසි යටතේ, ෆැසිස්ට්වාදීන් මත වඩ වඩා රැඳී සිටීමට ගත් මාරුවකි. ඉන්දියානු සාමසාධක හමුදා ප්‍රශ්නය මත පසුකාලීනව දමාගත් වහන්තරාව, පාලන තන්ත්‍රය පිටුපස කම්කරු පන්තියට එරෙහි ව සුලු-ධනේශ්වරයේ වඩාත් ම අතෘප්තියට පත් කොටස් රැලි කරගැනීමට ගන්නා දැනුවත් උත්සාහයක කොටසක් විය.

එක් වර කම්කරු පක්ෂවල සිටින සිය සුලු-ධනේශ්වර සේවකයන් සහ ජවිපෙ තුල සිටින සිය ත්‍රස්තවාදී ඒජන්තයන් මත, තම පාලනය පදනම් කිරීමට පාලක පන්තිය ගන්නා මෙම උත්සාහය, ආවේනිකව ම අස්ථාවර එකක් වන අතර ස්වභාවයෙන් ම තාවකාලික වෙයි. මුලුමනින් ම බංකොලොත් ධනේශ්වර පාර්ලිමේන්තු පාලන රූපවල සිට, එක්කෝ නිර්ධන පන්තික සමාජවාදී විප්ලවය හෝ ෆැසිස්ට්වාදී ප්‍රතිවිප්ලවය ජයග්‍රහනය කල යුතු සංක්‍රමනීය කාල පරිච්ඡේදයක් එමගින් සලකුනු කරයි.

දේශපාලනික චරිතයක් ලෙස, ජවිපෙ ෆැසිස්ට්වාදීන් මෙන් ම ප්‍රේමදාස ද පදනම් වන්නේ, එක ම සුලු-ධනේශ්වර හා ලුම්පන් සමාජ බලවේගයන් මත ය. ප්‍රේමදාස වනාහි එජාප මැරයන්ගේ හා වඩාත් ම ප්‍රචන්ඩ සිංහල ස්වෝත්තමවාදීන්ගේ පිලිගත් නායකයා ය. ප්‍රේමදාස තෝරාගැනීම ජවිපෙ ෆැසිස්ට්වාදීන් ශමනය කොට ජාතික සමගි පාලන තන්ත්‍රයක් තුලට ඔවුන් ගෙන එනු ඇතැයි පාලක පන්තිය විශ්වාස කල නමුත්, එමගින් සිදු කර ඇත්තේ, ෆැසිස්ට්වාදීන්ගේ උද්ඝෝෂනය දිරිමත් කරමින් ධනේශ්වරයේ ම දේශපාලන අර්බුදය තීව්‍ර කරන ප්‍රති-විරුද්ධ ප්‍රතිඵලයක් ජනිත කිරීම යි.

ජවිපෙ නායකත්වයට පාර්ලිමේන්තු ආසන ප්‍රදානය කිරීම සහ ජවිපෙ මර්දනය කිරීමේ කඩතුරාව යටතේ ගම්බද තරුනයන්ට එරෙහි ව ලේවැකි මිලිටරි උද්ඝෝෂනය දියත් කිරීම අතර ප්‍රේමදාස පාලනය පැද්දෙයි. බොනපාට්වාදයේ සිට විවෘත ෆැසිස්ට් හෝ මිලිටරි ආඥාදායකත්වයක් කරා මාරු වීමට ධනේශ්වරය විසින් වැඩකටයුතු කරන දේශපාලන ක්‍රියා දාමය මෙය යි.

කම්කරු පන්තිය බියවැද්දීමේ නින්දිත කටයුත්ත සඳහා ජවිපෙ ෆැසිස්ට්වාදීන් යොදාගැනීමට මනාප වන ධනේශ්වරයේ කොටස්, විවෘත ව ඔවුන් දෙසට හැරීමට තවමත් ප්‍රතිරෝධය දක්වති. ජවිපෙ දැනට මත් රාජ්‍ය යාන්ත්‍රනයේ ඉහල ම කොටස් අතර පලල් සහයෝගයක් භුක්ති විඳී. ලංකා හමුදාවේ පරාජිත හා අපකීර්තිමත් ස්වභාවය හේතුවෙන්, පාලක පන්තියට මේ මොහොතේ දී විවෘත ලෙස මිලිටරි ආඥාදායකත්වයට යොමු විය නො හැක. එහෙත් මෙය ක්ෂනික ව වෙනස් විය හැකි ය. පාලක කවයන් ඇතුලත වර්තමානයේ පවතින ගැටුම්, තවමත් පැමිනීමට නියමිත කම්කරු පන්තිය සමග තීරනාත්මකව මුහුනට මුහුනලා ගැටුම සඳහා සූදානම් වීම යි. නිර්ධන පන්තියේ සංවිධිත ප්‍රතිරෝධයක් නොමැති තැන, තමන්ගේ අවශ්‍යතාවන්ට ඉතාමත් හොඳින් ගැලපෙන ආඥාදායක රූපය තෝරාගැනීමට ධනේශ්වරයට ඉඩ ලැබේ.

ඒකාබද්ධ ආරක්ෂක ක්‍රියා සඳහා කම්කරු පන්තිය බලමුලුගැන්වීමට, එහි ද්‍රෝහී නායකත්වයන්ට එරෙහි කැරැල්ලක් අවශ්‍ය කරයි. පාර්ලිමේන්තු පාලනයේ කුනු වූ මලකඳට දශක ගනනක් තිස්සේ ගැටගැසී සිටින මෙම නායකත්වයන්, දැන් ෆැසිස්ට්වාදී ජවිපෙහි හා රාජ්‍ය මර්දනයේ විවෘත සහකරුවන් බවට පත් වෙයි.

ෆැසිස්ට්වාදීන්ගේ හා ධනපති රාජ්‍යයෙහි මර්දනකාරී බලවේගයන්ගේ ප්‍රහාරයන්ට එරෙහි ව ආරක්ෂාව සංවිධානය කිරීම සඳහා, කම්කරු-පන්තික පක්ෂ හා වෘත්තීය සමිතිවල එක්සත් පෙරමුනක් සඳහා,1988 නොවැම්බරයේ පටන් විකොස සටන් වැදී ඇත. නාසීන් බලයට පත්වීම වැලැක්වීමේ එක ම ක්‍රමය ලෙස, ජර්මනිය තුල එක්සත් පෙරමුන සඳහා ට්‍රොට්ස්කි දියත් කල ජීවිතයත් මරනයත් අතර අරගලය මගින්, මෙම උද්ඝෝෂනයට අනුප්‍රානය සපයනු ලැබෙයි. ස්ටැලින්වාදී නායකත්වය යටතේ සිටි ජර්මානු කොමියුනිස්ට් පක්ෂය හා තුන්වැනි ජාත්‍යන්තරය මෙම පිලිවෙත අනුගමනය කිරීම ප්‍රතික්ෂේප කිරීම, ජර්මානු කම්කරු පන්තියට ඓතිහාසික පරාජයක් අත්කර දීමට තුඩු දුනි.

එවන් එක්සත් පෙරමුනු අරගලයක් මුහුන දෙන ක්ෂනික හා ප්‍රායෝගික කර්තව්‍යයන් ට්‍රොට්ස්කි මෙසේ විදාරනය කලේ ය:

“කිසිදු ප්‍රමාදයකින් තොර ව, හුදෙක් (කොමියුනිස්ට්වරු ඉදිරියේ) සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් ‘හෙලිදරවු’ කිරීම පමනක් නො ව, ෆැසිස්ට්වාදයට එරෙහි සැබෑ අරගලයේ ඉලක්කය සමග ප්‍රායෝගික පියවර පද්ධතියක් අවසානයේ විදාරනය කිරීම අවශ්‍ය ය. කම්හල් ආරක්ෂක සංවිධානවල ප්‍රශ්නය, කම්හල් කමිටුවල පාර්ශවයෙන් අබාධිත ක්‍රියාකාරීත්වයේ ප්‍රශ්නය, කම්කරු සංවිධාන හා ආයතනවල අනුල්ලංඝනීය භාවය පිලිබඳ ප්‍රශ්නය, ෆැසිස්ට්වාදීන් විසින් අල්ලාගත හැකි ආයුධ ගබඩා පිලිබඳ ප්‍රශ්නය, හදිසි අවස්ථාවක දී ගත යුතු පියවරයන් පිලිබඳ ප්‍රශ්නය, අරගලය තුල කොමියුනිස්ට් හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අංශවල ක්‍රියාවන් සම්බන්ධීකරනය පිලිබඳ ප්‍රශ්නය ආදියට මෙම ක්‍රියා මාර්ගය විසින් පිලිතුරු දිය යුතු ය.

“ෆැසිස්ට්වාදයට එරෙහි අරගලයේ දී, කම්හල් කමිටු යෝධ වැදගත් ස්ථානයක් භජනය කරයි. මෙහි දී පැහැදිලි ක්‍රියා මාර්ගික වැඩපිලිවෙලක් අවශ්‍ය ය. තමන්ගේ ම අනදෙන නිලධාරීන් හා තමන්ගේ ම භටකායන් සමග, සෑම කම්හලක් ම ෆැසිස්ට්-විරෝධී බලකොටුවක් බවට පත්විය යුතු ය. සෑම නගරයක් හා සෑම දිස්ත්‍රික්කයක් තුල ම, ෆැසිස්ට් බැරැක්ක හා අනෙකුත් සියලු ෆැසිස්ට් බලකොටු පිලිබඳ සිතියමක් තිබීම අවශ්‍ය ය. විප්ලවවාදී බලකොටු වට කිරීමට ෆැසිස්ට්වාදීන් උත්සාහ දරමින් සිටී. වටකිරීම් වට කරනු ලැබිය යුතු ය.”

ඒ අතර ම, ලංකාවේ කම්කරු ව්‍යාපාරය තුල මෙම තීරනාත්මක ව අවශ්‍ය පිලිවෙත සඳහා සටන් වැදී ඇති විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමගින්, මෙම උද්ඝෝෂනය තුල තිබෙන තීරනාත්මක ප්‍රශ්න ජාත්‍යන්තර කම්කරු පන්තිය ඉදිරියේ තබා ඇත.

ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ හා යුරෝපයේ කම්කරු පන්තිය තුලින් එය මෙම පිලිවෙතට දිනාගෙන ඇති බලගතු සහයෝගය, හජාජාක හි ජාත්‍යන්තර ඉදිරි දර්ශනයේ පැහැදිලි සනාථ වීමකි. ලංකාවේ දේශපාලන අර්බුදය ලෝක ධනවාදයේ අර්බුදයෙහි ප්‍රකාශනයක් වන අතර, ලංකාවේ නිර්ධන පන්තියේ අරගලය, සෑම මහාද්වීපයක් මත ම නිලධාරිවාදී නායකත්වයන්ට එරෙහි කම්කරු-පන්තික කැරැල්ලේ හා කම්කරු පන්තියේ ජාත්‍යන්තර රැඩිකලීකරනයේ කොටසකි.

සියලු කම්කරු-පන්තික පක්ෂ හා සංවිධානවල එක්සත් පෙරමුනක් නිර්මානය කිරීම සඳහා, විකොස පසුගිය නොවැම්බරයේ දී පලමු වරට නිකුත් කරන ලද කැඳවුම ලසසප-කොප-නසසප- ලංකා කම්කරු කොන්ග්‍රසයේ (ලංකකො) නායකයන් විසින් ප්‍රතික්ෂේප කිරීම, ජවිපෙ ප්‍රහාරවල නව වටයට හා එජාප ආන්ඩුව විසින් හදිසි නීති පාලනය ප්‍රකාශ කිරීමට මග පාදා ඇත. ලසසප හා ලංකකො රාජ්‍ය මර්දනයට සහයෝගය දෙන අතර, කොප හා නසසප නායකයන් ඔවුන්ගේ සංවිධාන විනාශ කරද්දී හා ඔවුන්ගේ සාමාජිකයන් මරා දමනු ලබද්දී, තම අත් හකුලාගෙන සිටීමට තීන්දු කර ඇත. සත්‍ය වසයෙන් ම ඔවුන් ෆැසිස්ට් වැඩ නැවැත්වීම්වලට ඔවුන්ගේ වක්‍ර සහයෝගය දිගු කර තිබේ.

ජවිපෙ තමන් හමුවී, ඔවුන්ගේ වැඩ කටයුතුවලට බාධා වන කිසිවක් නො කරන්නේ නම්, තමන්ට කිසිදු හානියක් නො කිරීමට පොරොන්දු වී තිබුනු බවට, පසුගිය අප්‍රේල් මාසයේ ඉතාලියේ කල කතාවක දී උග්‍ර පැබ්ලෝවාදියෙකු වන එඩ්මන්ඩ් සමරක්කොඩි විසින් පිලිගැනීම මගින්, මෙම ද්‍රෝහීන් හා ෆැසිස්ට්වාදීන් අතර පවත්නා සැබෑ සබඳතාව හෙලිදරවු කෙරුනි. ජවිපෙට එරෙහි ව විකොස අඛන්ඩ ව සටන් කිරීම නිසා, විකොස සිය සාමාජිකයින් ව “හෙලිදරවු” කර තිබීම හේතුවෙන්, එහි සාමාජිකයන් මරා දැමීම ගැන සමරක්කොඩි එම කතාවේ දී ම විකොසට දොස් පැවරුවේ ය!

කාලකන්නි සංශෝධනවාදී ද්‍රෝහියා ෆැසිස්ට්වාදීන්ගේ ඉල්ලීම පිලිගත් අතර, මාධ්‍යමික නසසප හා ස්ටැලින්වාදී නායකයන් ද එසේ කර ඇත. අතිශයින් ම ම්ලේච්ඡ ප්‍රහාරයන්වලට ඔවුන්ගේ සංවිධාන හා සාමාජිකයන් විවෘත ව තැබීමට ඔවුන් සූදානම් වන්නේ, ෆැසිස්ට්වාදීන් බලය අල්ලා ගැනීමක දී තමන්ට රටින් පිටව යාමට අවසර දෙන ලෙස පමනක් ඉල්ලමිනි.

ජවිපෙ ත්‍රස්තවාදී ප්‍රහාර නැවැත්වීමට ආන්ඩුව කිසිවක් නො කරයි. තමන්ගේ ම ආරක්ෂාවටත්, තම අයිතීන් සඳහා සටන් කිරීමටත්, කම්කරු පන්තිය ආරක්ෂක භටකායන් සංවිධානය කල යුතු ය.

මෙම ආරක්ෂක ක්‍රියාවන් ගැනීමේ ජීවිතයත් මරනයත් අතර ස්වභාවය, පන්ති හතුරා විසින් යොදාගනු ලැබෙමින් තිබෙන විධික්‍රම මගින් විධානය කරයි. පාලක පන්තිය මුදාහැර ඇති ජවිපෙ ෆැසිස්ට් නඩවලට එරෙහි ව තමන්ගේ සංවිධාන ආරක්ෂා කර නො ගෙන, ලංකාවේ කම්කරු ව්‍යාපාරයට අධිරාජ්‍යවාදී බැංකුකරුවන්, බහුජාතික සංගතයන් හා දේශීය ධනපතියන් එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිරෝධය දැක්වීම හෝ තම අතිමූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගැනීම කල නො හැක.

ෆැසිස්ට්වාදීන් හා රාජ්‍ය හමුදාවන් උත්සාහ කරන්නේ ඒත්තු ගැන්වීමට නො ව කම්කරුවන්ගේ සංවිධාන විනාශ කිරීමට ය. පහරට පහර දීමෙන් මිස සාමවාදය යොදාගෙන ඔවුන්ට පිලිතුරු දිය නො හැක. කම්කරු ආරක්ෂක භටකායන් යොදාගෙන පමනක් ම මෙය කරනු ලැබිය හැකි ය.

විකොස මෙම භටකායන් තැනීමේ ආරම්භකත්වය ගනිමින් සිටී. ක්‍රියාකාරී කමිටු හා ආරක්ෂක භටකායන් තැනීමේ සංයුක්ත කර්තව්‍යය ආරම්භ කිරීමට, සෑම වෘත්තීය සමිතියක් හා සෑම වැඩපොලක් තුල ම හදිසි රැස්වීම් පැවැත්වීමට එය සටන් වදී. එවන් නායකත්වයක් සම්පාදනය කල විට, කම්කරු පන්තියේ අනෙකුත් කොටස් අරගලයේ මෙම මාවත ගනු ඇත.

සියලු වෘත්තීය සමිති වැඩ වර්ජන ක්‍රියා තුල බලමුලුගන්වමින්, සෑම නගරයක් තුල ම මහජන විරෝධතා සංවිධානය කල යුතු ය. ජවිපෙ තුවක්කුකරුවන්ට හා මර්දනීය රාජ්‍ය හමුදාවන්ට එරෙහි ව, සෑම වැඩපොලක් තුල ම අඛන්ඩ පිකට් කිරීම් දියත් කරනු ලැබිය යුතු ය.

කම්හල් මත පදනම් ව ක්‍රියාකාරී කමිටු ස්ථාපිත කරමින්, ඒවා පිටුපස තරුනයන් හා දුගීන් බලමුලුගැන්විය යුතු ය. මෙම කමිටු, කම්කරු පන්තියේ හා එහි සංවිධානවල ආරක්ෂාව සඳහා, ආරක්ෂක භටකායන්ට නායකත්වය දෙමින් පුහුනු කල යුතු ය.

මෙම ආරක්ෂක ක්‍රියා මාර්ගයට සහයෝගය සම්පාදනය කිරීමටත්, වැටුප්, රැකියා හා වැඩකොන්දේසි යනාදී කම්කරුවන්ගේ දැවෙන ඉල්ලීම් ඒකාබද්ධ කරමින් මහා වැඩ වර්ජනයක් සංවිධානය කිරීමටත්, සියලු කම්කරු-පන්තික පක්ෂ හා වෘත්තීය සමිතිවල නියෝජිතයන්ගේ ඒකාබද්ධ නියෝජිත සම්මේලනයක් ක්ෂනික ව කැඳවුම් කරනු ලැබිය යුතු ය.

සමාජවාදී පිලිවෙත්වලටත්, දෙමල ජාතියේ ස්වයං-නීර්න අයිතිය, වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතීන් හා ගොවීන්ගේ ඉඩම් අයිතිය ඇතුලු නො විසඳුනු ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් විසඳීමටත් කැප වන, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීමට යොමු වන මෙම මහා වැඩ වර්ජනය, සියලු පීඩිත ජන කන්ඩායම්වල සහයෝගය රැලි කරගනු ඇත.

වතු කම්කරුවන්ට විරුද්ධ ව වර්ගවාදය ඇවිලවීම සඳහා, ජවිපෙ දියත් කරන ඉන්දියානු-විරෝධී උද්ඝෝෂනයට එරෙහිව අධිෂ්ටානවත් ලෙස සටන් කිරීම මගින්, ඒකාබද්ධ අරගලයක් තුල සිංහල හා දෙමල නාගරික කම්කරුවන්ගේ තීරනාත්මක බලය වතු කම්කරුවන්ගේ බලය සමග එකමුතු කිරීමට කම්කරු ව්‍යාපාරය ක්‍රියා කල යුතු ය.

සියලු පීඩිත ජාතීන්ගේ ස්වයං-නීර්න අයිතිය තහවුරු කරමින්, ඉන්දියානු උප-මහාද්වීපීය සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා හා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක රූපයෙන්, නිර්ධන පන්ති ආඥාදායකත්වය ස්ථාපිත කිරීම මගින් පමනක් ම, ලංකාවේ හෝ ඉන්දියාවේ හමුදාව විසින් දෙමල සුලුතරය වාර්ගික පීඩනයට ලක්කිරීම අවසන් කල හැක.

ගම්බද දුගීන්, රැකියා විරහිතයින්, තරුනයන් (සහ ෆැසිස්ට්වාදීන්ට සහයෝගය දී හෙම්බත් වුනු සුලු-ධනේශ්වරය) මෙම අරගලයට රැලි කරගනු ලැබිය හැක්කේ, පරිපූර්න වසයෙන් ඉදිරියට යාමටත්, නිර්ධන පන්ති ආඥාදායකත්වය යටතේ මෙම කොටස්වල සියලු දැවෙන ප්‍රශ්න විසඳීමටත්, කම්කරු පන්තිය සූදානම් බව ඔවුන්ට තහවුරු කරන්නේ නම් පමනි.

එක්සත් පෙරමුන සඳහා විකොස උද්ඝෝෂනය ප්‍රචාරක අභ්‍යාසයක් නො ව, තම පන්ති හතුරාට හා එහි ප්‍රතිගාමී ෆැසිස්ට් හමුදාවන්ට එරෙහි ව කම්කරු පන්තියේ හා මහජනයාගේ ආරක්ෂක හා ප්‍රහාරක ශක්තිය මුදා හරින බලගතු ආයුධයකි.

කම්කරුවන්ගේ හා ඔවුන්ගේ සංවිධානවල ආරක්ෂාව පිනිස කිසිදු ක්‍රියාවක් කැඳවුම් කිරීම ප්‍රතික්ෂේප කරන ලසසප, කොප, නසසප හා ලංකකො නායකයන්ගේ ද්‍රෝහීත්වය, විකොස එක්සත් පෙරමුනු ඉල්ලීම විසින් හෙලිදරවු කර ඇත.

ෆැසිස්ට්වාදීන්ගේ හා රාජ්‍යයේ ප්‍රහාරවලට විරුද්ධ ව, කම්කරු පන්තිය ආරක්ෂා කරනුවස් සටන් කිරීමට සූදානම් ව සිටින්නේ, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය පමනක් බව එමගින් ප්‍රදර්ශනය කර තිබේ. මෙම කුනු වූ මලකඳන්වලින් දේශපාලනික ව බිඳෙන ලෙස මග පෙන්වන්නා වූත්, ප්‍රතිගාමීත්වයට එරෙහි ව අවශ්‍ය කරන අරගලයේ උපකරන ගොඩනැගීම සඳහා ඔවුන් මෙහෙයවන්නා වූත්, උපකරනය විය යුත්තේ මෙම උද්ඝෝෂනය යි.

මෙම අරගලයේ වඩාත් ම තීරනාත්මක ප්‍රශ්නය වන්නේ, විප්ලවවාදී පක්ෂය ගොඩනැගීම සහ මෙම ද්‍රෝහී නායකත්වයන් විසින් කම්කරු පන්තියේ ගමන් මාවතට විසිකරනු ලබන බාධාවන් ජයගැනීමට එම පක්ෂය ගන්නා ආරම්භකත්වය යි. මෙම බාධාවන් ජයගැනීමට පවතින විප්ලවවාදී අධිෂ්ටානය ප්‍රදර්ශනය කරන නායකත්වයක් දෙනු ලබන විට, ලෝක සමාජවාදී විප්ලවයේ කොටසක් ලෙස, ප්‍රතිගාමීත්වයේ බලවේගයන් කුඩු කර දමා ධනවාදය පෙරලා දැමීමේ තම ඓතිහාසික කර්තව්‍යය සාක්ෂාත් කිරීමට ලංකාවේ කම්කරු පන්තිය ජයග්‍රාහී ලෙස නැගී සිටිනු ඇත.

සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාව ලෙස, ලංකාව තුල මෙම ක්‍රියා මාර්ගයට සටන් වදින විප්ලවවාදී නායකත්වය වන්නේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය යි. නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදයේ ධජය වටා රැලි වෙමින් හා විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට බැඳෙමින් වර්තමාන අර්බුදයට මුහුන දෙන ලෙස, අපි සෑම පන්ති-විඥාත කම්කරුවෙකුගෙන් ම හා සටන්කරුවෙකුගෙන් ම ඉල්ලා සිටින්නෙමු.