අඛන්ඩව පැතිරෙන කෝවිඩ්-19 වසංගතය සහ පාලක පන්තිය සමාජ ඩාවින්වාදයට ආපසු යෑම

[මෙය ලෝක සමාජවාදී වෙබ් අඩවිය තුල 2023 මැයි 3 වනදා The ongoing COVID-19 pandemic and the ruling class’ return to Social Darwinism යන මාතෘකාව යටතේ ඉංග්‍රීසි භාෂාවෙන් පලවිනි.]

මෙය එවාන් බ්ලේක් අප්‍රේල් 30 වනදා පැවැත්වුනු 2023 මැයි දින ජාත්‍යන්තර ඔන්ලයින් රැලියට ඉදිරිපත් කල වාර්තාවයි. බ්ලේක් කෝවිඩ්-19 වසංගතය පිලිබඳ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ගෝලීය කම්කරු පරීක්ෂනයේ සම්බන්ධීකාරකවරයාය. සියලුම කතා නැරඹීමට මෙම සබැඳියට පිවිසෙන්න.

අප දැන් සිටින්නේ කෝවිඩ්-19 වසංගතයේ සිව්වන වසරේ ය. මෙම වසරේ මැයි දිනය පැවැත්වෙන්නේ වසංගතය අවසන් බවට ව්‍යාජ ලෙස පින්තාරු කිරීම එල්ල කරගත් ලෝක පරිමාන මහා ප්‍රචාරක ව්‍යාපාරයක් මධ්‍යයේ ය.

එක්සත් ජනපදයේ දී, මෙම උද්ඝෝෂනය තීරනාත්මක හැරවුම් ලක්ෂයකට එලඹී ඇත. අප්‍රේල් පලමු වනදා, වසංගතය හේතුවෙන් ඉහල නංවන ලද මෙඩිකේඩ් සඳහා ප්‍රවේශය කපා හරිනු ලැබී ය. අප්‍රේල් 10 වනදා, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කෝවිඩ්-19 ජාතික හදිසි තත්ත්වය නිල වශයෙන් අවසන් කලේය. මැයි 11 වනදා, මහජන සෞඛ්‍යය හදිසි තත්ත්වයේ කල් ඉකුත් වනු ඇත.

මෙම පියවර තුනෙහි ප්‍රතිඵලයක් ලෙස, අනාගත එන්නත් බෙදා හැරීම, පරීක්ෂන සහ ප්‍රතිකාර ඇතුලු වසංගතයට ආන්ඩුවේ සියලු ප්‍රතිචාරයන් පුද්ගලීකරනය කෙරෙනු ඇත. දීර්ඝ කෝවිඩ් තත්ත්වයෙන් පීඩා විඳින මිලියන එකකට අධික ජනතාව ඇතුලු ව, මිලියන 20ක් දක්වා ඇමරිකානුවන්ට එලඹෙන වසරේ දී සෞඛ්‍ය ආවරනය අහිමි වනු ඇත.

2023 ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලිය

ජාත්‍යන්තර ව ද මේ හා සමාන සන්තතියක් දිග හැරෙමින් පවතී. රෝහල් තුල මුව ආවරන පැලඳීම ඇතුලු කෝවිඩ් වසංගතය පැතිරීම සීමා කරන සෑම අවම කිරීමේ පියවරක් ම මුලුමනින් අත හැර දමා ඇත.

වසංගතය අවසන් බවට කරන ප්‍රකාශ පදනම් කොට ඇත්තේ බොරු සහ ව්‍යාජ තොරතුරු මතය. යතාර්ථය වන්නේ ලෝකය පුරා අඛන්ඩ ව පැතිරෙමින් පවතින මහා ආසාදන, මරන සහ දීර්ඝ කෝවිඩ් මගින් සිදු කෙරෙන දුබල කිරීම් ය.

ලෝකය පුරා කොවිඩ් පරීක්ෂන සහ දත්ත වාර්තා කිරීම අඩපන කිරීම හේතුවෙන්, අපට වසංගතයේ පරිමාව පිලිබඳ දල තක්සේරුවක් ගත හැක්කේ අපජලය සහ අතිරික්ත මරන දෙස බැලීමෙන් පමනකි. අප ජල පරීක්ෂන සිදු කල විට එය පෙන්වන්නේ වෛරසය පැතිරීමේ සැබෑ තත්වය අඛන්ඩ ව ම ඉහල මට්ටමක පවතින බවයි.

කොරෝනා වසංගතය අඛන්ඩ ව ම විකෘති වෙමින් නව සහ වඩා අන්තරායකාරී ප්‍රභේද බවට පත්වීමේ විභවය සහිත ඒවා බවට පරිනාමය වෙමින් පවතී. අද අපි හමුවන විට, අනෙක් රටවල් වලද ඉක්මනින් ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වෙමින් පවතින ඔමික්‍රෝන් එක්ස්බීබී.1.16 උප ප්‍රභේදය ඉන්දියාව තුල වසංගතයේ තවත් ඉහල යෑමක් වාර්තා කරමින් සිටී.

ගෝලීය ව වසංගතයේ දෛනික අතිරික්ත මරන ප්‍රමානය දසදහසට වැඩි මට්ටමක පවතී. මීට සෘජු කෝවිඩ් මරන මෙන් ම කෝවිඩ් ආසාදන සමග මතුවන ඉහල යන හෘදයාබාධ, සහ අනෙකුත් අතුරු ප්‍රතිඵල රේට්ටුව සහ සෞඛ්‍ය පද්ධතියේ කඩා වැටීම ඇතුලත් ය. මේ වන විට වසංගතය හේතුවෙන් සෑම මාස තුනකටම වරක් මිලියනයකට වැඩි සංඛ්‍යාවක් වාර්තා කරමින්, මිලියන 22 ක ජනතාවක් මියගොස් ඇත.

පසුගිය වසර පුරා ගෝලීයව දෛනික අතිරික්ත මරන පිලිබඳ ඇස්තමේන්තුව (ඡායාරූප -දත්ත තුල අපේ ලෝකය (දි එකොනොමිස්ට්හි දත්ත යොදාගනමින්)/සීසී බීවයි 4.0) [Photo by Our World In Data (using data from The Economist) / CC BY 4.0]

තව දුරටත්, දීර්ඝ කෝවිඩ් මගින් “මහා පරිමාන දුබල කිරීම්” දිනෙන් දින ගැඹුරු කෙරෙමින් පවතී. දීර්ඝ කෝවිඩ් පිලිබඳ ව මෑතදී කෙරුනු පෘථුල අධ්‍යයනයක් මගින් ප්‍රවේසම් සහගත ලෙස ඇස්තමේන්තුගත කෙරුනේ ලෝකය පුරා අවම වශයෙන් මිලියන 65 මෙම දුක් ගැහැට වලින් පීඩා විඳින බවයි. මේ පිලිබඳව සත්‍යය සංඛ්‍යාවන් මිලියන සිය ගනනකින් වැඩි විය හැකිය.

මේ සා පරිමාන මහා දුබල කිරීමට සමාන කල හැකි කිසිවක් මානව ඉතිහාසයේ නොමැති බව අවධාරනය කල යුතු ය. මෙම දැවැන්ත අන්තරාය ගැන සංගත මාධ්‍යයන් තුල සම්පූර්නයෙන් ම පාහේ සඳහන් නො වන තරම් ය.

වසංගතය සමාජ කැලැල් සහ ජාත්‍යන්තරවම බිලියන ගනන් ජනතාවට චිත්තවේගී කම්පනයන් ඉතිරි කරමින් ගෝලීය සමාජය නැවත ආපසු හැරවිය නොහැකි ආකාරයෙන් වෙනස් කොට ඇත. නමුත් ධනපති පාලක පන්තීන්ට ජනතාව විඳින මෙම දුක් වේදනා ගැන කිසිදු තැකීමක් නැත.

ජනවාරියේ දී, නගරාධිපතිවරුන්ගේ සමුලුවක දී ඇමරිකාවේ කෝවිඩ් මරන ප්‍රමානය ගැන බයිඩන් උඬඟු ආකාරයෙන් පැවසුවේ, “මම ඒ ගැන සිතීම නවත්වා ඇති නිසා මම ඇතැම් විට එය අවතක්සේරු කරනවා” යනුවෙනි.

කෝවිඩ් වසංගතය හේතුවෙන් මිය ගිය මිලියන 1.1 කට වැඩි ඇමරිකානුවන්ගේ පවුල් සහ ඔවුන්ගේ ආදරනීයයන්ට මොනතරම් අපහාසයක්ද!

පාලක ප්‍රභූන් වසංගතය අහවර බව කියන්නේ, ඔවුන් වගකිව යුතු දැනටමත් කෙරී ගෙන යන දැවැන්ත සමාජ අපරාධ ගැන මහජනතාවට අමතක කරවීමට අවශ්‍ය නිසා ය.

නමුත් ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ජාත්‍යන්තර කම්කරු පන්තියේ හඬ, එය අමතක කලේ සහ අමතක කරන්නේද නැත. අනෙක් සෑම මාධ්‍යයක් ම සහ දේශපාලන පක්ෂයක් ම වසංගතය පිලිබඳ නොතකා හැරිය ද අපි ලෝකය පුරා එහි බලපෑම පිලිබඳව අඛන්ඩ ව ම ආවරනය කරමින් සිටිමු.

අපි 2021 නොවැම්බර් මාසයේ දී ආරම්භ කල කෝවිඩ් වසංගතය පිලිබඳ ගෝලීය කම්කරු පරීක්ෂනය ගැඹුරු කරමින් සිටිමු. මෙය වසංගතය සම්බන්ධයෙන් ලෝකය පුරා ක්‍රියාවට දමා ඇති සාපරාධී පිලිවෙත් පිලිබඳව එකම ස්වාධීන පරීක්ෂනය වන්නේ මෙයයි.

පසුගිය ශීත සෘතුවේ දී, වසංගතයේ මහා අපරාධ වලින් එකක් වන චීනයේ ශූන්‍ය කෝවිඩ් තුරන් කිරීමේ පිලිවෙත අත් හැරීම සිදුවිනි. ඇස්තමේන්තු වලට අනුව, යන්තම් මාස තුනක කාලයක් තුල මිලියන 1-2 ක ජනතාවට කොතැනක හෝ මරනයට පත්ව ඇති අතර, එය දෙවන ලෝක යුද්ධයෙන් පසුව දක්නට නො ලැබුනු පරිමානයේ කාල සංකේන්ද්‍රිත සමූහ මරනයන් ය.

චීනයේ රෝහලක හදිසි ප්‍රතිකාර වාට්ටුවක්, 2023 ජනවාරි 3. [ඒපී ඡායාරූප/ඇන්ඩි වෝංග්] [AP Photo/Andy Wong]

චීන කොමියුනිස්ට් පක්ෂය-ධනපති ක්‍රමය පුනස්ථාපනයෙන් පසුව බිහිවූ නව පාලක පන්තියේ දේශපාලන සංවිධානය- මෙම සමාජ ඛේදවාචකය සම්බන්ධයෙන් සම්පූර්න වගකීම දරයි. මෙම පියවර මිලියන එකකට වඩා ජනතාවක් මරා දමනු ඇති බවට විද්‍යාත්මක ප්‍රක්ෂේපනයන් තිබියදීත් ශූන්‍ය කොවිඩ් පිලිවෙත අත් හරින ලෙස ඉල්ලා සිටි බටහිර අධිරාජ්‍යවාදී බලයන් සහ ඔවුන්ගේ සංගත මාධ්‍ය මෙන්ම, මධ්‍යම පන්තික ව්‍යාජ වාම සංවිධාන සහ ඒවායේ ප්‍රකාශන ද මෙම අපරාධය සමග ගැඹුරින් සම්බන්ධ වී සිටිති.

වසංගතය පැතිරීම වැලැක්වීම වෙනුවට, ධනපති පන්තිය එය ලෝක ඉතිහාසයේ දැවැන්ත ම ධනය මාරු කර යැවීමට සහ කම්කරු පන්තියට එරෙහිව ඔවුන්ගේ දශක ගනනක් දිගු සමාජ ප්‍රතිවිප්ලවය ගැඹුරු කිරීමට යොදාගෙන ඇත.

මහජන සෞඛ්‍යය වර්ධනය කිරීම හරහා ආයු අපේක්ෂාව සම්බන්ධයෙන් මීට පෙර ලබාගත් ජයග්‍රහන ආපසු හරවා ඇති අතර, එන්නත්-විරෝධී ව්‍යාජ විද්‍යාවන් ප්‍රධාන ප්‍රවාහයට එක්වෙමින් මීට පෙර පාලනයේ තබාගත් රෝග යලි ඉහල යාමට සලස්වා ඇත.

ඒ අතර ම, පාලක පන්තිය ඔවුන්ගේ ඉතිහාසයේ යොදාගත්, 19 සියවසේ අග භාගයේ සහ 20 වන සියවසේ මුල් භාගයේ පාලක කව තුල ආධිපත්‍යය දැරූ (පරි-අසමානතාවය සහ දරිද්‍රතාවය සාධාරනීකරනය කරන, ආබාධිතයන් සහ මානසික රෝගීන් ආදී පීඩිත කොටස් ජානමය වශයෙන් දුබල යැයි කියමින් ඔවුන් සමූලෝත්පාඨනයට උපදෙස් දෙන න්‍යායක් වන)සුජනකවාදය සහ (පරි-මිනිසුන්ගෙන් “දුබල” අය මිය ගොස් “ප්‍රබල” අය ඉතිරි වන බවට පවසන න්‍යායක් වන)සමාජ ඩාවින්වාදය ද ඇතුලත් වඩාත් ප්‍රතිගාමී දෘෂ්ටිවාදයන්ට යලි පන දෙමින් සිටී.

වයස්ගතවූවන්ගේ සහ ප්‍රතිශක්ති ඌනයන්ගේ ආරක්ෂාව සැලසීම ඔවුන්ටම පවරමින්, නැවත වතාවක් “උචිතයාගේ උන්නතිය” ඔවුන්ගේ මන්ත්‍රය බවට පත් වී ඇත. රෝසා ලක්සම්බර්ග් ගේ ප්‍රසිද්ධ පාඨය වූ කම්කරු පන්තිය සමාජවාදයද නැතිනම් ම්ලේඡත්වයද යන්නට මුහුන දේ යන්න, කවරදාටත් වඩා අද සෑම දිනකම සත්‍යය බවට පත්වෙමින් පවතී.

වසංගතයට ධනපති පන්තියේ ප්‍රතිචාරය තුල ගැබ්ව පවතින ම්ලේච්ඡත්වයට ඇද වැටීමට එරෙහි වූ ලොව එකම ව්‍යාපාරය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) යි. ආරම්භයේ පටන් ම, අපි අඛන්ඩ ව ම වසංගතය නවතා දමන ගෝලීය මුලිනුපුටා දැමීමේ මූලෝපායකට කැඳවුම් කලෙමු.

මූලික වශයෙන් ම, මෙය අපගේ ට්‍රොට්ස්කිවාදය සහ නොනවතින විප්ලව න්‍යාය ආරක්ෂා කිරීම තුල මුල් බැස ඇත. විසි වන සියවසේ මුල් භාගයේ ලෝක ධනවාදයේ ගතිකයන් විශ්ලේශනය කරමින්, ශ්‍රේෂ්ඨ මාක්ස්වාදියෙක් වූ ලියොන් ට්‍රොට්ස්කි අවධාරනය කලේ, අධිරාජ්‍යවාදී යුගයේදී මූලික ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් පවා-මහජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමද ඇතුලත් ව- ධනවාදය යටතේ සාක්ෂාත් කල නොහැකි බවයි. මෙය තම අරගල තුලදී සමාජවාදී පියවරයන් ක්‍රියාත්මක කිරීමට සහ ජාත්‍යන්තර ව තම අරගල සම්බන්ධීකරනය කිරීමට බල කෙරෙන කම්කරු පන්තිය මතට මෙම කර්තව්‍යයන් පැවරේ.

අද දින මෙම න්‍යාය ම, මහජන සෞඛ්‍යය ක්‍රියාමාර්ග වලට සහ අතීත ඉතිහාසයේදී ධනපති පන්තිය පලමුව වර්ධනය කල මූලධර්ම වලට එරෙහිව ධනපති ආන්ඩු විසින් නොනවතින ප්‍රහාරයක් එල්ල කරන තතු තුල, වසංගතය සම්බන්ධයෙන් ද යෙදිය හැක. කෝවිඩ් වසංගතය පැතිරීම නැවැත්වීම සහ අනෙකුත් රෝග සහ විද්‍යාඥයන් විසින් එලඹෙන වසර වල දී පැමිනිය හැකි බවට අනතුරු අඟවන අනාගත වසංගතයන් වැලැක්වීමට අත්‍යාවශ්‍ය පියවර ක්‍රියාත්මක කල හැක්කේ ලෝක සමාජවාදී විප්ලවය වෙනුවෙන් සටන් වදින කම්කරු පන්තියේ ජාත්‍යන්තර ව්‍යාපාරයකට පමනි.

මෙය මහජනතාව මුහුන දෙන සෑම සමාජ ප්‍රශ්නයක් සම්බන්ධයෙන්ම සත්‍ය වේ. යුද්ධය, කාලගුනික වෙනස්කම්, දුප්පත්කම, ෆැසිස්ට්වාදයේ අන්තරාය යන සියලු ගෝලීය ප්‍රශ්න වලට විසඳුම සම්පාදනය කල හැක්කේ, සමාජ සමානතාවයේ සහ සැලසුම්ගත ආර්ථිකයේ මූලධර්ම මත පදනම් ව ගෝලීය සමාජය ප්‍රතිසංවිධානය එල්ල කර ගත් විප්ලවවාදී සමාජවාදී ක්‍රියාමාර්ගයකට පමනි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සටන් වදින්නේ ඒ සඳහා වන අතර මම ඔබගෙන් මෙම ව්‍යාපාරයට බැඳෙන ලෙස අද දින ඉල්ලා සිටිමි.