[ මෙය Hollywood’s race and gender quotas, identity politics and the writers’ strike යන මැයෙන් 2023 මැයි 18 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
ඇමරිකානු ලේඛක සංගමයේ [Writers Guild of America (WGA)] සාමාජිකයින් වන රූපවාහිනී සහ තිර පිටපත් රචකයෝ 11, 500ක් පමණ මැයි 2 දින වැඩ වර්ජනයක නිරත වූහ. ඒ සිනමා කර්මාන්තය පාලනය කරන යෝධ සංගත විසින් තමන් සාර වශයෙන් ම “ගිග්” කම්කරුවන් (තාවකාලික ස්වයං-සේවානියුක්තකයන්) බවට අවප්‍රමාණ කිරීමට දරන උත්සාහයට එරෙහි ව ය.
කම්කරු පන්තියේ සෑම කොටසකට ම මෙම ගැටුමේ ප්‍රතිඵලය තුල තමන්ටත් යම් කොටසක් ඇත්තේ ය. ඩිස්නි, ඇමේසන්, ඇපල්, එන්බීසී යුනිවර්සල්, සෝනි වැනි ඩොලර් බිලියන සංඛ්‍යාත ප්‍රාග්ධනයෙන් හෙබි යෝධ සංගත වැඩ කරන ජනගහනයේ උර මත ධනවාදයේ අර්බුදය පැටවීමේ සිය පොදු ප්‍රහාරයේ කොටසක් හැටියට, එහි ආදර්ශයක් වශයෙන් ලේඛකයන්ගේ කොන්දේසි පහතට ඇද දැමීමට අධිෂ්ඨානවත් ව සිටී. එමතු නො ව, ලේඛකයන් නිර්මානය කරන දේත්, නැත හොත් නිර්මානය කිරීමට අවසර නැති දේත් ජනගහනයේ පලල් ස්තරයන්හි සංස්කෘතික මට්ටම මත, වැදගත් සමාජ යථාර්ථයන් ග්‍රහනය කිරීමට ඇති ඔවුන්ගේ හැකියාව මත හා ඔවුන්ගේ දිශානතිය මත බලපෑමක් ඇති කරන දේත් සංගත විසින් පාලනය කෙරේ. Succession, The Dropout, Dopesick සහ තවත් කතා මාලා මහජන දැනුවත් භාවයට දායක වන අතර පවතින ක්‍රමය පිලිබඳ ඇති මායාවන් යටින් හාරා බිඳ දමයි.
රචකයන්ගේ වැඩ වැරුමෙන් සතියකට මඳක් වැඩි කාලයකට පසු, මැයි 10 වෙනි දා, චලන චිත්‍ර කලා සහ විද්‍යා ඇකඩමිය [Academy of Motion Picture Arts and Sciences (AMPAS)] 2024 වර්ෂයේ සිට ක්‍රියාත්මක වනු ඇති හොඳ ම සිනමා ප්‍රවර්ගය සඳහා වූ එහි නව “ඇතුලත් කර ගැනීමේ ප්‍රමිතීන්” සාකච්ඡා කිරීමට මාර්ගගත නගර ශාලාවක් පැවැත් වී ය.
“ඇතුලත් කර ගැනීමේ ප්‍රමිතීන්” පලමුවෙන් ම ප්‍රකාශයට පත් කරන ලද්දේ 2020 වසරේ සැප්තැම්බරයේ දී ය. ඒ අවස්ථාවේ, ලෝක සමාජවාදී වෙබ් අඩවිය “හොඳ ම චිත්‍රපටය සඳහා සම්මානයට සුදුසුකම් ලැබීමට වාර්ගික හා ස්ත්‍රීපුරුෂ භාවය පිලිබඳ නිර්නායකවලට අනුකූල” චිත්‍රපට අවධාරනයෙන් ඉල්ලා සිටීමේ ඇකඩමියේ උත්සාහය ඇත්තෙන් ම “කලාත්මක නිදහස මත එල්ල කෙරුනු විසකුරු ප්‍රහාරයක් බවත් එය බෙහෙවින් භයානක පාරකට පල්ලම් බැසීමක් බවත්” පෙන්වා දෙමින් හෙලා දැක්කේ ය.
එය ක්ෂනික ව දැක ගන්නට බැරි විය හැකි වුව ද, මැයි මස මුල මේ සිද්ධි දෙක දැඩි ව සම්බන්ධ කරන හුය පටක් තිබින.
කලෙක මධ්‍යම පන්තිය ලෙස සිතා ගත් ජනගහනයේ අනෙකුත් කන්ඩායම් මෙන් ම, රූපවාහිනී සහ චිත්‍රපට රචකයින් දැනට මත් සැලකිය යුතු ලෙස නිර්ධනීකරනයට ලක් ව ඇත්තේ ය. චිත්‍රාගාර සහ ජාලක ඒවායේ ලාභ පිපාසිත ධාවනයේ දී තමන්ගේ අභිමතය පරිදි, අවශ්‍ය වූ සැනෙකින් සේවය ලබා ගෙන ඉනික්බිති දැහැටි දඬු මෙන් ඉවතට වීසි කල හැකි, බලාපොරොත්තු සුන් ව අතරමං වූ රචකයන්ගේ සංචිතයක් නිර්මානය කිරීමට අර අඳිමින් සිටී. ඔවුන්ගේ වැඩ වර්ජනය මඟින් මතු කරන ප්‍රශ්න ජනගහනයේ විශාල කොටස් මුහුන දෙන ප්‍රශ්නයන් ම ය.
ඩිමොක්‍රටික් පක්ෂයටත් හොලිවුඩ් සංස්ථාපිතයටත් ගැට ගැසී ඇති ලේඛක සංගමයේ නායකත්වය මෙම ප්‍රහාරවලට ප්‍රතිරෝධය පෑමට අසමත් ය. ඒ සඳහා කර්මාන්තයේත් ඉන් ඔබ්බටත් ගිය සිය දහස් ගනන් කම්කරුවන්ගේ යෝධ බලය බලමුලු ගැන්වීම අවශ්‍ය ය. සේවා තත්වයන් සැලකිය යුතු මට්ටමින් නංවා ගැනීමට හා වැඩි දියුනු කර ගැනීමට සටන් කරනු පිනිස සිනමා රචකයන්, රංගධරයන් සහ සිනමා අධ්‍යක්ෂවරුන් එක් ව ක්‍රියාකාරී කමිටු සාදා ගැනීම අවශ්‍ය වේ. මෙහි දී දේශපාලන සහ සංස්කෘතික ප්‍රශ්න ද නොතකා හැරිය නොහැකි වේ. කෙරී ගෙන යන ගැටුම මඟින් පැහැදිලි ව හෙලිපෙහෙලි ව ඇති, රූපවාහිනී හා චිත්‍රපට නිෂ්පාදනය මත මූල්‍ය කතිපයාධිකාරයේ ගලග්‍රහනය බිඳ දැමිය හැක්කේ සමාජවාදී පිලිවෙත් ඔස්සේ සමාජය ප්‍රතිසංවිධානය කරන කම්කරු පන්ති ව්‍යාපාරයට පමනි.
ඉතා වෙනස් දිශාවකට වැඩ කිරීම වූකලි සමෘද්ධිමත් ඉහල මධ්‍යම පන්තියට බෝ වී ඇත්තා වූ ද චලන චිත්‍ර කලා හා විද්‍යා ඇකඩමියේ ඊනියා ඇතුලත් කර ගැනීමේ ප්‍රමිතීන් තුල තියුනු ප්‍රකාශනයක් අත්පත් කර ගත්තා වූ ද වාර්ගික හා ස්ත්‍රීපුරුෂ භාවය පිලිබඳ පොදු මනෝග්‍රස්තිය යි. අනන්‍යතා දේශපාලනය සුදු මිනිසුන්ට එරෙහි ව කලු මිනිසුන් ද පිරිමින්ට එරෙහි ව ස්ත්‍රීන් ද ආදි වශයෙන් පිහිටුවයි; විශාල ව්‍යාකුලත්වයක් වපුරමින් දෘෂ්ටිවාදාත්මක විෂ හාත්පස වාතාවරනයට පොදුවේ හැකිතරම් එන්නත් කරයි; එමඟින් කම්කරු පන්තිය බෙදා වෙන් කිරීමට සවිඥානක ව ක්‍රියාත්මක වේ. ඇකඩමියේ නව ප්‍රමිතීන් යනු කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක් විසින් මතු කරන තර්ජනයට එරෙහි ව ඩිමොක්‍රටික් පක්ෂයේ, වෘත්තිය සමිතිවල හා ව්‍යාජ-වාම ව්‍යාපාරවල සිටින පවතින තත්වයෙහි ආරක්ෂකයින් විසින් දක්වන දක්ෂිනාංශික ප්‍රතිචාරයේ කොටසකි.
නව “ඇතුලත් කර ගැනීමේ” ප්‍රතිපත්ති වූකලි අනන්‍යතා දේශපාලන ක්‍රියාකාරීන්, හොලිවුඩයේ ඩිමොක්‍රටික් පක්ෂය සමඟ පෙල ගැසුනු පුද්ගලයන් හා නිව්යෝක් ටයිම්ස් බඳු මාධ්‍ය ආයතන විසින් ගෙන ගිය වසර ගනනාවක දැඩි පීඩනයේ ප්‍රතිඵලයකි. එක දිගට වසර දෙකක් ප්‍රධාන සහ සහාය නලු කාන්ඩයේ නිර්දේශිත රංග ශිල්පීන් 20 දෙනා ම සුදු ජාතිකයින් වූ විට 2016 පුපුරා ගිය ඃ ඔස්කාර්ස්සෝවයිට් මතභේදය මේ මෙහෙයුම දියත් කිරීමට ව්‍යාජ හේතුවක් සම්පාදනය කලේ ය.
2020 ජුනි මාසයේ, “2025 ඇකඩමි ද්වාරකය” නමින් හැඳින්වෙන, සිය “සමානතාව හා ඇතුලත් කිරීමේ ප්‍රාරම්භක වැඩපිලිවෙලෙහි” නව අවධිය සම්බන්ධයෙන් කාර්යසාධක බලකායක් වැඩ කටයුතු මෙහෙයවමින් සිටින බව ඇකඩමියේ නිලධාරීහු ප්‍රකාශයට පත් කලහ. 2020 සැප්තැම්බර් 8 දින පැවැත් වූ මාධ්‍ය නිවේදනයකින් ඇකඩමියේ පාලකවරුන් වූ ඩේවන් ෆ්රෑන්ක්ලින් (අභිප්‍රේරන කථික, දේශක හා Miracles from Heaven iy Heaven Is for Real නම් අමරණීය කෘතීන්හි නිෂ්පාදක) හා ජිම් ජියානෝපුලෝස් (මිලියනපති, එවක පැරමවුන්ට් පික්චර්ස්හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී) විසින් සභාපතිත්වය දැරූ කාර්යසාධක බලකාය විසින් යෝජිත හොඳ ම චිත්‍රපට සම්මානය සඳහා වූ නව “නියෝජනය වීමේ හා ඇතුලත් කර ගැනීමේ ප්‍රමිතීන්” ප්‍රකාශයට පත් කෙරින.
2024 ඇකඩමි සම්මාන ප්‍රදානයේ දී හොඳ ම චිත්‍රපටය සඳහා වූ සම්මානය සඳහා සුදුසුකම් ලැබීමට චිත්‍රපටයකට ප්‍රමිතීන් හතරෙන් (A සිට D දක්වා) දෙකක් සපුරාලීමට සිදු වනු ඇත. ඒ ප්‍රමිතීන් අසාධාරන හා විකාර සහගත ය.
නිදසුනක් ලෙස, “A ප්‍රමිතිය” තෘප්ත කිරීමට චිත්‍රපටයක් පහත දැක්වෙන නිර්නායකවලින් එකක් සපුරාලිය යුතු ය.
* අඩු වශයෙන් ප්‍රධාන නලුවන්ගෙන් හෝ සැලකිය යුතු සහාය නලුවන්ගෙන් එක් අයෙක් ආසියානු, හිස්පැනික්/ ලතින් ඇමරිකානු, කලු ජාතිකයකු/අෆ්‍රිකානු ඇමරිකානුවකු, සුදු ජාතික නො වූ ස්වදේශික ඇමරිකානුවකු/ ඇලස්කානු ස්වදේශිකයකු, මැද පෙරදිග ජාතිකයකු/ උතුරු අෆ්‍රිකානුවකු, හවායි ස්වදේශිකයකු හෝ වෙනත් පැසිෆික් දූපත්වාසියකු හෝ වෙනත් “අඩු නියෝජනයකින් යුත් ජාතියක හෝ වාර්ගිකත්වයක” කෙනකු වීම.
* ද්විතීයික හා වඩාත් අප්‍රධාන චරිත රඟපාන සියලු අයගෙන් අඩු වශයෙන් සියයට 30ක් පහත දැක්වෙන අඩු නියෝජනයක් සහිත කන්ඩායම්වලින් අඩු වශයෙන් දෙකකින් සිටීම : “ස්ත්‍රීන්, ජාතික හෝ වාර්ගික කන්ඩායම්, LGBTQ+ (ස්ත්‍රී සමලිංගික, පුරුෂ සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්ති ලිංගික, තමන්ගේ ම ලිංගික හා ස්ත්‍රී පුරුෂ අනන්‍යතාව ප්‍රශ්න කරන්නන් හා මේවාට අයත් නො වූ වෙනත් ලිංගික දිශාවනතීන් හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතා සහිත අය), හෝ ප්‍රජානන හෝ කායික ආබාධිත පුද්ගලයන් හෝ බිහිරි හෝ ශ්‍රවනාබාධිත පුද්ගලයන්.
* චිත්‍රපටයේ ප්‍රධාන කතා වස්තුව හෝ කතා වස්තු, තේමාව හෝ ආඛ්‍යානය අඩු නියෝජනයකින් යුත් කන්ඩායමක් හෝ කන්ඩායම් මත කේන්ද්‍ර ගත වී තිබීම.
“B ප්‍රමිතිය” උපදෙස් දී ඇත්තේ “නිර්මානී නායකත්ව තනතුරු හා කාර්යාංශ ප්‍රධානීන්” ගෙන් එක්තරා සංඛ්‍යාවක් කලින් කී “අඩු නියෝජනාත්මක කන්ඩායම්වලින්” පැමිනි අය විය යුතු බව යි. චිත්‍රපටයේ මුලු කාර්ය මන්ඩලයෙන් අඩු වශයෙන් සියයට 30ක් එම කන්ඩායම්වලින් ම බඳවා ගත් අය වීම අවශ්‍ය වේ. “C ප්‍රමිතිය” උත්සුක ව ඇත්තේ ස්ත්‍රීන්ට හා ජනවාර්ගික කන්ඩායම්වල සාමාජිකයන්ට වැටුප් ගෙවන අභ්‍යාසලාභිත්වය හෝ සීමාවාසිකත්වය සැපයීම ඇතුලත් “කර්මාන්තයට ප්‍රවේශය හා අවස්ථා ලබා දීම” ගැන ය. “D ප්‍රමිතියෙන්” ඉල්ලා සිටින්නේ දෙන ලද චිත්‍රාගාරයකට සහරැ හෝ සිනමා කන්ඩායමකට විවිධ “අඩු නියෝජනාත්මක කන්ඩායම්වලින්... ඔවුන්ගේ අලෙවිකරනය, ප්‍රචාරනය සහ/ හෝ බෙදා හැරීමේ කන්ඩායම්වලින්” “බහුවිධ අභ්‍යන්තරික ජ්‍යෙෂ්ඨ විධායකයින්” බඳවා ගැනීම අවශ්‍ය බව ය.
ඩෙඩ්ලයින් වෙබ් අඩවියට අනුව, මැයි 10 පැවති මාර්ගගත නගර ශාලාවේ දී ඇකඩමියේ ප්‍රධාන විධායක නිලධාරී බිල් ක්‍රාමර් “මෙම ප්‍රමිතීන් චිත්‍රපට නිෂ්පාදකයන්ට සීමා නොවනු ඇති බව අවධාරනය කර ඇත.” තව ද, ක්‍රාමර් හා ඔහුගේ සහායකයින් “පසුගිය වසරේ හොඳ ම චිත්‍රපට නිර්දේශිත නාමයන් සියල්ල ම සුදුසුකම් ලබනු ඇතැයි ද සඳහන් කර ඇත. එහෙත් මේ විවිධ චිත්‍රපට ඒවායේ අවශ්‍යතාවන් ප්‍රමිතීන් හතරෙන් කවරක් යටතේ සපුරාලූයේ ද යන්න ඔවුන් කියා නැත.”
තව දුරටත් ඩෙඩ්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේ “නව ප්‍රමිතීන් ඇතැමකු බිය ගන්වා ඇතත්, ඔස්කාර් රාත්‍රියේ ඉහල ම සම්මානයට සුදුසුකම් ලැබීමට තව මත් විවිධ ක්‍රම දෙන ලදු ව ඇති හෙයින් තමන් නිර්මාන ක්‍රියාවලිය කෙලෙසීමට අදහස් නොකරන බව ඇකඩමිය සිය සාමාජිකයිනට සහතික වෙමින් සිටින බව ය.”
අපට කොහෙත් ම නව විශ්වාසයක් නැත. 2016 දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය විවරනය කල පරිදි, මෙයාකාරයේ ප්‍රයත්නයක යටින් පවතින ප්‍රස්තුතය වන්නේ “කලා කෘතියක් වර්ගීකරනය කල යුත්තේ හා පෙනෙන හැටියට තක්සේරු කල යුත්තේ එයින් පුරුෂ හෝ ස්ත්‍රී, නැත් නම් සුදු ජාතික හෝ කලු ජාතික ඉදිරි දර්ශනයක් නියෝජනය කරන්නේ ද යන්න අනුව ය” යන්න යි. ඔවුන් ඊට කැමති වුවත් නැතත්, එබඳු බලවේග විසින් “ස්ත්‍රීන් විසින් නිපදවන කලාවෙන් ස්ත්‍රීන්ට වැඩි යමක් ද යුදෙව්වන් විසින් නිපදවන කලාවෙන් යුදෙව්වන්ට වැඩි යමක් ද අප්‍රිකානු-ඇමරිකානුවන්ගේ කලාවෙන් අප්‍රිකානු-ඇමරිකානුවන්ට වැඩි යමක් ද ආදි වශයෙන්” වූ මෙම මුලික ප්‍රමිතිය සකසමින් සිටින බවට අපි අනතුරු ඇඟවීමු.
කලාත්මක ඉදිරි දර්ශනය වාර්ගිකත්වය හෝ ස්ත්‍රී පුරුෂ භාවය විසින් මුලුමනින් සකසනු ලබන්නේ යැයි උපකල්පනය කරමින්, ඇකඩමියේ නිලධරය හා ඔවුන්ගේ උපදේශකයෝ එබඳු කාරනා ලෝක දැක්මක මට්ටමට ඔසවා තබති. දෘෂ්ටිවාදාත්මක ව ගත් කල, විශේෂයෙන් ජාතිය කෙරෙහි ඔවුන්ගේ ඇති මනෝග්‍රස්තිය තුල හා එවැනි දෘෂ්ටීන් ඓතිහාසික ව අනන්‍ය කෙරී ඇත්තේ අන්ත දක්ෂිනාංශික දෘෂ්ටීන් සමඟ ය.
ඇත්ත වශයෙන් ම, එවැනි ප්‍රවේශයක් කලාවට මාරක ය. එයින් ඉල්ලා සිටින්නේ කලාකරුවා සෑම වර්ගයක ම බාහිර ප්‍රේරනයන් නොසලකා හැර ඔහුට ම හෝ ඇයට ම සත්‍යවාදී විය යුතු බව ය. ඇකඩමියේ යෝජනා වූකලි දශක තුනකට වැඩි කාලයක් චිත්‍රපට නිෂ්පාදනය මත අත්තනෝමතික පාලනයක් ගෙන ගිය කුප්‍රකට චලන චිත්‍ර නිෂ්පාදන නීති සංග්‍රහයේ (හේස් නීති සංග්‍රහයේ) නව අනුවාදයක් වන සුලු ධනේශ්වර, අනන්‍යතා දේශපාලනයෙහි වාරන ස්වරූපයකි.
මේ අනර්ථකාරී ප්‍රයත්නයට එරෙහි ව, 1842 දී ප්‍රසියානු වාරකයාගේ නියෝගවලට තරුන කාල් මාක්ස් දුන් පිලිතුරෙන් සිනමා කලාකරුවන්ට අනුප්‍රානය ලබා ගත හැකි ය. “වාරනය විසින් සත්‍යය පිලිබඳ බැරෑරුම් සහ මැදහත් ගවේෂන වැලැක්විය යුතු නැතැ” යි වාරකයා විසින් අවධාරනය කොට තිබුනි. මාක්ස් ඊට පරිහාසාත්මක ව මෙසේ ඇසී ය: “වම් පස හෝ දකුනු පස නොබලා කෙලින් ම සත්‍යය අරමුනු කොට ගැනීම සත්‍ය ගවේෂකයාගේ ප්‍රථම වගකීම නො වන්නේ ද? එය නිර්දේශිත රූපාකාරයෙන් ම ප්‍රකාශ කල යුතු ය යන්න අමතක නො කිරීමට මා බැඳී සිටී නම් කාරනයේ හරය ම මගෙන් ගිලිහී යන්නේ නැද්ද?”
මාක්ස් තව දුරටත් මෙසේ කී ය: “නීතිය මට ලිවීමට අවසර දෙයි, හැබැයි ඒ මගේ ම නොවන ශෛලියකින් මා ලිවිය යුතු බවට අන පනවමිනි! මට මගේ ආධ්‍යාත්මික විලාසය පෙන්වන්නට පුලුවන, හැබැයි පලමුවෙන් මා එය නීතියෙන් නිර්දේශිත රැලි අතරේ පැලපදියම් කල යුතු ය! ආත්ම ගරුත්වයක් ඇති කවර නම් මිනිසෙකු මෙම පූර්වානුමිතියෙන් (පූර්ව නියෝගයෙන්) ලජ්ජාවට පත් නො වන්නේ ද?”
ඇත්තෙන් ම, ආත්ම ගෞරවයෙන් හෙබි කවර නම් මිනිසකු හෝ ගැහැනියක මෙවැනි පූර්වානුමිතියකින් ලජ්ජාවට පත් නොවනු ඇත් ද?
“ඇතුලත් කර ගැනීම” හා “විවිධත්වය” සම්බන්ධිත ඇකඩමියේ ප්‍රාරම්භකත්වය පිලිබඳ උරුමකම් කීම මොන ම අර්ථයකින් ගත්ත ද ප්‍රෝඩාකාරී ය. ඊට පටහැනි ව, දැනට මත් පොහොසත් අප්‍රිකානු ඇමරිකානුවන්ගේ සහ ස්ත්‍රීන්ගේ කොටසක් කර්මාන්තය තුලට ගෙන ඒමෙන් අඩු තරමින් ඇමරිකානු සිනමාවේ හා රූපවාහිනියේ සමාජ ස්වභාවයේ වෙනසක් සිදු නො වන්නේ ය.
ඇත්තෙන් ම, නව ප්‍රමිතීන්ගේ එක් අභිප්‍රායක් වන්නේ ප්‍රශ්නවලිනුත් ප්‍රශ්නය ලෙස රචකයින්ගේ, අධ්‍යක්ෂවරුන්ගේ, නිෂ්පාදකයින්ගේ හා නලුවන්ගේ අවධානය පෞද්ගලික අනන්‍යතාව කෙරෙහි යොමු කොට, එමඟින් යුද්ධය, දිලිඳුකම, වසංගතය සහ ඒකාධිපතිත්වයේ තර්ජනය යන දැවෙන ගැටලුවලින් ඔවුන්ගේ අවධානය වෙන අතකට හැරවීම ය.
වැඩ කරන ජනතාවගේ කොන්දේසි සහ උවමනාවන් කෙරෙහි විනෝද කර්මාන්තය පාලනය කරන ධනවත් කල්ලියේ ඇති උදාසීන භාවයට හා සතුරු භාවයට ප්‍රතිප්‍රහාර එල්ල කල හැක්කේ ලාභ පද්ධතියට එරෙහි ව ක්‍රියා කරන පලල් ව්‍යාපාරයක් මඟින් පමනි. රූපවාහිනියේ හා සිනමා කලාවේ ද (වර්තමානයේ ඉඳහිට පමනක් දක්නට ලැබෙන) නිරවද්‍ය ව හා සංකීර්ණ ලෙස ජීවිතය නිරූපනය කිරීමේ ද ප්‍රගතිය බැඳී පවත්නේ පන්ති අරගලයේ වර්ධනයත් සමඟ ය.
චලන චිත්‍ර කලා හා විද්‍යා ඇකඩමිය යනු කිම? එය විසින් නියෝජනය කරන්නේ කාගේ සමාජ උවමනාඑපාකම් ද?
ඇකඩමියේ සම්භවය පවතින්නේ එහි අතිගම්භීර සහ මවාපෑම් සහිත නමට සපුරා පටහැනි ලෙස බවට සෝදිසියෙන් යුත් විවරනකරුවෝ එකඟ වෙති. එය පැන නැඟුනේ 1920 ගනන්වල අග භාගයේ දී, චිත්‍රපට කම්කරුවන් වෘත්තීය සමිතිගත වීම කඩාකප්පල් කර දමනු සඳහා මෙට්රෝ- ගෝල්ඩ්වින්- මේයර්හි ප්‍රධානියා වූ ද වඩාත් ම බලගතු හොලිවුඩ් විධායක නිලධාරියා වූ ද ලුවී බී. මේයර් විසින් නායකත්වය දුන් තුච්ඡ, යටිකූට්ටු ප්‍රයත්නයක ප්‍රතිඵලයක් හැටියට ය. මේයර් හා අනෙකුත් අයගේ බලාපොරොත්තු ව වූයේ, වෙනස් ශාඛා සහිත සංගතයක් ස්ථාපිත කිරීම මඟින් ලේඛකයන් හා කර්මාන්තයේ අන් අයට තමන් ද කර්මාන්තයේ කොටසක් ය යන හැඟීම ප්‍රේරනය වනු ඇතැයි ද එහි ප්‍රතිඵලයක් වශයෙන් කිසිදු අසාධාරන ඉල්ලීමක් නොඉල්ලනු ඇතැයි ද කියා ය.
ඇකඩමි සම්මාන උලෙල ම සම්බන්ධයෙන් මේයර් පසුව නරුම ලෙස මෙසේ සඳහන් කලේ ය: “[චිත්‍රපට නිෂ්පාදකයින්] මේච්චල් කිරීමට ඇති හොඳ ම ක්‍රමය ඔවුන්ගේ ඇඟ පුරා පදක්කම් එල්ලීම බව මම සොයා ගතිමි... මා ඔවුනට කුසලාන හා සම්මාන දුන්නොත් මට අවශ්‍ය කරන දේ නිෂ්පාදනය කිරීමට ඔවුන් තමන් ව වුව මරා ගනීවි. ඒ නිසා තමයි ඇකඩමි සම්මාන නිර්මානය කරන ලද්දේ.”
ලැරී සෙප්ලෙයාර් හා ස්ටීවන් එන්ග්ලන්ඩ් තමන්ගේ The Inquisition in Hollywood: Politics in the Film Community, 1930-60 (හොලිවුඩය පිලිබඳ විමර්ශනය: සිනමා ප්‍රජාවේ 1930-60 දේශපාලනය) නම් මාහැඟි කෘතියෙහි ලා 1927 චිත්‍රාගාර හිමිකරුවන් “කම්කරු සටන්කාමීත්වයේ නව යුගයක් ඉව කරමින් කලමනාකාරීත්වයේ වඩාත් ම වැහැරුනු තුරුම්පු අතරින් එකක් වන- චලන චිත්‍ර කලා හා විද්‍යා ඇකඩමිය නම් සමාගම විසින් නිර්මිත සංගමය- දමා ගැසී ය.” ඔවුන් මෙසේ ලිවී ය: මේ සංවිධානය “අවුරුදු පහකට වැඩි කාලයක් තිස්සේ හොලිවුඩ් කලාකරුවන් අතරේ කම්කරුවන් බරපතල ලෙස සංවිධානය වීම කල් තියා වැලැක්වීමට සමත් විය. කෙසේ වෙතත්, චිත්‍රපට කර්මාන්තයේ ශබ්ද විප්ලවය විසින් ඇති කරන ලද වෙනස්කම් හා අවපාතයේ මුල් නරක ම වසරවල් විසින් සිනමා කලාකරුවන් පලවා හැරීම හා බිය ගැන්වීම නැවතීම යන කාරනා ද්වය හේතු කොට ගෙන චිත්‍රපට පරිපාලනය කිරීමේ ඒජන්සියක් ලෙස ඇකඩමියේ භූමිකාව සියල්ලන්ට ම පැහැදිලි විය. 1920 දශකයේ අග හා 1930 දශකයේ මුල වැටුප් කැපීම් හා දොට්ට දැමීම් මාලාවකට ලැබුනු ඇකඩමියේ එකඟතාව හරහා නිෂ්පාදකයන්ගේ වියදම් අඩු කිරීම හමුවේ ප්‍රතිභා සම්පන්න සේවකයන් අසරන තත්වයට ඇද හෙලින.
The Hollywood Writers’ Wars (හොලිවුඩ් තිර රචකයින්ගේ සටන) කෘතියෙහි ලා නැන්සි ලින් ෂ්වාර්ට්ස් මේ විස්තරය සනාථ කලා ය. 1930 ගනන්වල එක්සත් ජනපදයේ වැඩි ම වැටුප්ලාභියා වූ ද මෙට්රෝ- ගෝල්ඩ්වින්- මේයර්හි ප්‍රධානියා වූ ද මේයර් පැවැත් වූ සුවිශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයේ දී ඔහු “තමන්ගේ අමුත්තන් හමුවේ ගොස නඟමින් ඇකඩමිය බඳු සංවිධානයක් නිෂ්පාදකයන්ට පසමිතුරු වෙනත් ඕනෑ ම ශිල්ප සංවිධානයකට වඩා සුදුසු බවත් එහෙයින් ඇකඩමිය උපන් බවත් ඔවුනට ඒත්තු ගැන්වූයේ ...” යැයි එම කෘතියේ ඇය සඳහන් කොට ඇත.
අවපාත කාලයේ දී චිත්‍රාගාර විසින් දැවැන්ත වැටුප් කප්පාදුවක් පටවන තෙක් අවුරුදු ගනනාවක් තිස්සේ හැම දෙයක් ම “පුංචි රාජධානිය තුල සුරක්ෂිත ලෙසින් පෙනී ගිය” බව ෂ්වාර්ට්ස් තව දුරටත් සඳහන් කර තිබින. ඉනික්බිති ලේඛකයින් බැරෑරුම් ලෙස සංවිධානය වීමට පටන් ගත් කල්හි, “ඇකඩමිය තුල ලේඛක නියෝජනයක් පැවති තතු යටතේ ලේඛකයන්ට මෙලෙස සංවිධානය වීමට අවශ්‍ය වූයේ ඇයි ද යන්න ඇකඩමියට ඇත්තෙන් ම වටහා ගත නොහැකි විය. එහෙත් ඇතමුන් විසින් ඤලේඛිකා% ඩොරති පාකර් කලේ යයි පැවසෙන ප්‍රකාශනයක ඉතා නිශ්චිත ව එය මෙසේ දක්වා තිබේ: ‘නියෝජනය උදෙසා ඇකඩමිය වෙත බැලීම ඔබ මවගේ නිවස තුල සංසර්ග කාර්යයේ යෙදෙන්නට උත්සාහ කරනු වැනි ය. හැම විට ම විසිත්ත කාමරයේ යමකු ඔබ දෙස බලා සිටින්නේ ය.’”
1940 ගනන්වල අග භාගයේ හා 1950 ගනන්වල මුල භාගයේ කොමියුනිස්ට් පක්ෂය හා අනෙකුත් වාමාංශික නලුවන්, රචකයන් හා අධ්‍යක්ෂවරුන් විරේක කල සමයේ ඇකඩමිය කුනු වූ හා බියගුලු භූමිකාවක් රඟ දැක්වී ය. 1957 තරම් පමා වී, අසාධු ලේඛනය හැකිලෙන්නට ආසන්නයේ, ඇකඩමිය අතුරු නීතියක් සම්මත කලේ ය. ඉන් නියෝග කෙරුනේ House Un-American Activities Committee [HUAC] හි දඩයම් කිරීම හමුවේ (ස්වයං- අපරාධ චෝදනාවකට එරෙහි ව) ඔහුගේ හෝ ඇයගේ පස් වෙනි සංශෝධිත අයිතිවාසිකම අයැද සිටි කිසිවකුට ඇකඩමි සම්මානයක් ලබා ගත නොහැකි බව යි. එපමනක් නො ව, එම නියෝගය මගින් කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයකු ව සිටි කිසිවකුට ඇකඩමි සම්මානයක් ලැබීමට ඇති සුදුසුකම අහිමි වෙයි. එසේ වුව ද, 1999 දී ඇකඩමිය ප්‍රධාන ඔත්තුකාරයකු වූ අධ්‍යක්ෂ ඒලියා කසාන්ට ගෞරව සම්මානයක් ප්‍රදානය කිරීමට ඉතා නින්දිත ලෙස තමන්ගේ මාවතින් එලියට ගියේ ය.
මේ “සමාගම විසින් නිර්මිත සංගමය”, එනම්, චිත්‍රාගාරවල අපකීර්තිමත් දිරා ගිය වාහකය ජවසම්පන්න ව හා අවධාරනාත්මක ව වාර්ගික හා ලිංගික දේශපාලනය පසුපස්සේ යමින් සිටී; එයට එසේ කිරීමට කදිම පන්ති හේතුවක් තිබේ. ආරම්භක පහරක් පමනක් වු, රචකයන්ගේ වැඩ වර්ජනය වැනි තමන්ට අන්තරායකාරී වර්ධනයන් ඉදිරියේ හොලිවුඩයේ හා වෝල් වීදියේ සිටින බලවත්තු “ඇතුලත් කර ගැනීම” හා “විවිධත්වය” උදෙසා උද්ඝෝෂන තමන්ගේ එක් ආරක්ෂක මාර්ගයක් බවට හරවා ගනිමින් සිටිති. මෙය ලේඛකයින් සහ අනෙකුත් අය සැලකිල්ලට ගත යුතු වේ.