ඉදිරිදර්ශන

2023 මැයි දිනය කරා පෙරට! යුද්ධයට එරෙහි ව, සමාජවාදය සඳහා කම්කරුවන්ගේ හා තරුනයන්ගේ මහජන ව්‍යාපාරයක් ගොඩනගනු!

(මෙයForward to May Day 2023! Build a mass move ment of workers and youth against war and for socialism! මැයෙන් 2023 අප්‍රේල් 8දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනය යි.)

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය, 2023 මැයි දිනය සැමරීමට ශ්‍රී ලංකා වේලාවෙන් මැයි 1 වැනි දා සඳුදා අලුයම 12.30ට ගෝලීය අන්තර් ජාල රැලියක් පවත්වනු ඇත.

මේ වසරේ දී ජාත්‍යන්තර කම්කරු පන්තියෙහි එකමුතුව සැමරීම මත්තේ ක්‍රියාදාමයන් දෙකක් ආධිපත්‍ය දරයි: එනම්, ගෝලීය වහ්නි ජාලාවක් දෙසට පුපුරා යමින් තිබෙන යුක්‍රේනය තුල යුද්ධය සහ පන්ති අරගලයේ ජාත්‍යන්තර පුනර්ජීවනය යි. මෙම ක්‍රියා දාමයන් දෙක ප්‍රගාඪ ලෙස එකිනෙක හා බැඳී ඇත. අධිරාජ්‍යවාදී පාලක ප්‍රභූන් ව යුද්ධයේ මාවත කරා ධාවනය කරන එම ආර්ථික, භූ-දේශපාලනික හා සමාජ පරස්පර විරෝධයන් ම, කම්කරු පන්තියෙහි රැඩිකලීකරනයට හා විප්ලවවාදී අරගලවල පුපුරා යාමට වෛෂයික ගාමකය සම්පාදනය කරයි.

යුක්‍රේනය තුල යුද්ධය දැන් එහි දෙවන වසරට පිවිස ඇත. යුක්‍රේනියානු සොල්දාදුවන් 150,000ට අධික පිරිසක් මරා දමා ඇතැයි තක්සේරු කරන වඩාත් ම විශ්වාසදායක විපත් පිලිබඳ වාර්තා, රුසියානු මරන ගනන 50,000 හා 100,000 අතර වනු ඇතැයි වාර්තා කරයි. මානව ජීවිතවල මෙම ගොරතර අහිමිවීම් විසින් බිය ගැන්වී සටන් විරාමයක් සඳහා කැඳවුම් කරනු වෙනුවට, එක්සත් ජනපදය හා එහි නැටෝ සගයෝ යුක්‍රේනයට වඩ වඩා ආයුධ සපයමින් සිටිති. වක්‍ර යුද්ධයෙන් එක්සත් ජනපදය හා නැටෝව ලබන ජයග්‍රහනයක කීර්තිනාමය වෙනුවෙන් කැප වී සිටින බයිඩන් පරිපාලනයට, එහි මිලිටරිමය හා භූ-දේශපාලනික අරමුනුවල අසමර්ථවීමක දේශපාලන විපාකයන් දරා සිටිය නො හැක. එහි යුද අරමුනුවල තර්කනය සාහසික පිලිවෙත් කරා ධාවනය කරවයි.

පලමුවන ලෝක යුද්ධය සමයේ සිදු වූ සොම් සහ වේර්ඩන් සංග්‍රාම වල භීෂයනයන් යලි මතකයට නංවනු ඇත්තා වූ විපත් සංඛ්‍යාවන් ජනනය කරනු ඇති, ආසන්න යුක්‍රේනියානු වසන්ත ප්‍රතිප්‍රහාරයක් සිදුවීමේ හැකියාව පිලිබඳ සිය ප්‍රමෝදය සඟවා ගැනීම යුද-ගැති මාධ්‍යන්ට කල නො හැක. කෝවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර ලෙස, මරන මිලියන ගනනක් ජනනය කල පිලිවෙත් පටවා ඇති ධනපති ආන්ඩු සහ මාධ්‍ය ප්‍රචාරන හොරනෑ, රුසියාව සමග ගැටුම තුල ඔවුන්ගේ යුද අරමුනුවල මාරක විපාකයන් දරා සිටීමට හුරුපුරුදු වී ඇත. සමාජ අවශ්‍යතාව ධනපති ලාභෝත්පාදනයේ හා පුද්ගලික පොහොසත්වීමේ විධානයන්ට යටත් කිරීමේ විපාකය ලෙස මහා පරිමාන මරනයන් සිදු වීම, ධනවාදය යටතේ සාමාන්‍ය සිද්ධියක් බවට පත් ව තිබේ. පුද්ගලයන් 150,000ට අධික පිරිසක් මරා දමා ඇතැයි විශ්වාස කෙරෙන තුර්කියේ හා සිරියාවේ භූ-චලන, අද්‍යතන ජීවිතය තුල වැලැක්විය හැකි නිමක් නැති ව්‍යසනයන් මාලාව අතර පවතී.

යුද්ධය සඳහා සහයෝගය ගොනු කරගනුවස් බයිඩන් පරිපාලනය බදාගෙන සිටින්නේ .“අප්‍රකෝපිත යුද්ධය” යන අභූත ආඛ්‍යායනයයි. ඒ අනුව, එක් උදෑසනක අවදි වූ ව්ලැදිමීර් පුටින්, පැහැදිලි හේතුවකින් තොර ව, “යුක්‍රේනයෙහි යුද්ධය පැවතුනා වේ” යි ප්‍රකාශයට පත් කිරීමත් සමග සියල්ල ආරම්භ වූ බව මහජනයා විශ්වාස කල යුතු යයි අපේක්ෂා කෙරේ. එහෙත් ඉතිහාසය පෙන්වා දෙන්නේ, යුද්ධයන් වනාහි ආර්ථික, භූ-දේශපාලනික හා සමාජීය ක්‍රියා දාමයන්ගේ සංකීර්න අන්තර්ක්‍රියාවක ප්‍රතිඵලය වන බව යි. 1914 දී පලමුවන ලෝක යුද්ධය පුපුරා යාමෙන් වසර 100කටත් අධික කාලයකට පසුව, එම ගැටුම තුල පැවති හේතුඵල සම්බන්ධයේ විවිධ මට්ටම් අවබෝධ කරගැනීමට, ඉතිහාසඥයෝ තවමත් උත්සාහ දරමින් සිටිති.

ජර්මානු ශාස්ත්‍රාලික ජෝර්න් ලියොන්හාඩ් මෑත දී ලියා ඇති පරිදි:

තුසිඩයිඩ්ස්ගේ පටන්, යුද්ධයේ ව්‍යුහාත්මක හා ක්ෂනික හේතු අතර වෙනස පිලිබඳ ව ඉතිහාසඥයන් දැන සිට ඇත; යුද්ධයේ නිල සාධාරනීකරනය කිරීම්, දෘෂ්ටිවාදාත්මක විවේචනයකට බඳුන් කිරීමේ අවශ්‍යතාව ද ඔවුන් අවබෝධ කරගෙන ඇත. විප්ලවවල හේතු සෙවීම තුල මෙන් ම, මෙම අංශය තුල ද වෙනස්කම් කරනු ලැබිය හැක; එනම්, දීර්ඝ-කාලීන, මධ්‍ය -කාලීන හා කෙටි-කාලීන හේතු හඳුනාගැනීමට නිර්නායක, උත්ප්‍රේරක හා අහම්බයන් වෙන්කොට හඳුනාගැනීම අනිවාර්යයෙන්ම අවශ්‍ය වන බව යි. තව ද විශේෂයෙන් ම යුද්ධයේ පුපුරා යාම සම්බන්ධ ව, අද දින දක්වා ම, බාහිර හා අභ්‍යන්තර සාධක පිලිබඳ ප්‍රශ්නය මූලික භූමිකාවක් අඛන්ඩ ව ඉටු කරයි. එනම්, ජාත්‍යන්තර සබඳතා පද්ධතිය තුල යුද්ධයක මූලික හේතුව රැඳී පවතින්නේ කවර පරිමානයකට ද යන්න සහ රාජ්‍යන්ගේ හා සමාජයන්ගේ අභ්‍යන්තර සංයුතිය තුල එය රැඳී පවතින්නේ කවර පරිමානයකට ද යන්න යි. [1]

“අප්‍රකෝපිත යුද්ධය” පිලිබඳ ආඛ්‍යානය, යුද්ධයෙහි ඓතිහාසික, ආර්ථික, සමාජීය හා දේශපාලනික සම්භවයන් පිලිබඳ ව කිසිවක් විස්තර නො කරයි. එය, යුක්‍රේනය තුල එක්සත් ජනපද-නැටෝ යුද්ධය සහ පහත සඳහන් සංසිද්ධීන් අතර සබඳතාව විභාග කිරීමක් වෙතින් අවධානය ඉවතට ගමන් කරවයි එනම්, එක්සත් ජනපද-නැටෝ යුද්ධය 1) ඉරාකය, සර්බියාව, ඇෆ්ගනිස්තානය, සෝමාලියාව, ලිබියාව හා සිරියාව තුල පසුගිය වසර 30 පුරා එක්සත් ජනපදය විසින් දියත් කරන ලද තථ්‍ය වසයෙන් අඛන්ඩ යුද්ධය ; 2)1991 දී සෝවියට් සංගමය බිඳ විසිරවූ තැන් පටන් නැටෝව අනවරත ව නැගෙනහිරට ප්‍රසාරනය වීම; 3)ඇමරිකානු අධිරාජ්‍යවාදය තමන්ගේ ආධිපත්‍යධාරී ලෝක තත්ත්වයට අන්තරායකාරී තර්ජනයක් ලෙස දැකගන්නා චීනය සමග තීව්‍ර වන භූ-දේශපාලනික ගැටුම; 4)ලෝකයේ සංචිත මුදල ලෙස ඩොලරයට පවතින ආධිපත්‍ය ය කෙරෙහි වැඩෙන අභියෝගය තුල තියුනු ම ප්‍රකාශනය සොයා ගන්නා, එක්සත් ජනපදයේ ගෝලීය ආර්ථික තත්ත්වය අඛන්ඩ ව ඛාදනය වීම; 5) එක්සත් ජනපද මූල්‍ය පද්ධතිය මුලුමනින් කඩාවැටීම වලක්වා ගැනීමට මංමුලා සහගත ඇපතැබීම් අවශ්‍ය කර ඇති ආර්ථික කම්පන මාලාව; 6) 2020 නොවැම්බර් ජාතික මැතිවරනයේ ප්‍රතිඵලය පෙරලා දැමීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2021 ජනවාරි 6දා දැරූ උත්සාහය තුල ප්‍රකටවන ඇමරිකානු දේශපාලන පද්ධතියේ පැහැදිලි බිඳවැටීම; 7) වසංගතයෙහි බලපෑම සහ ඇමරිකානු කම්කරු පන්තිය රැඩිකලීකරනය කරනු ලබන නව උද්ධමනීය සර්පිලාකාර ඉහල යාම විසින් තීව්‍ර කරනු ලබන අසමානතාවේ විශ්මයාකාර නැග්මක් අරක්ගත් සමාජයක දේශීය අස්ථාවරත්වය අතර සබඳතාව විභාග කිරීමක් වෙතින් එය එහි අවධානය ඉවතට ගමන් කරවයි.

යුද්ධය මගින් මෙල්ල කිරීමට අපහසු අර්බුදයන්ගෙන් ඉවතට මාවතක් සොයා ගැනීම සඳහා, එක්සත් ජනපදයේ සංගත-මූල්‍ය ප්‍රභූන් මංමුලා සහගත ප්‍රයත්නයන් වෙත තල්ලු කර තිබෙන ආර්ථික, දේශපාලනික හා සමාජීය පරස්පර-විරෝධයන් විශ්ලේෂනය කරමින්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය තුල පසුගිය ශතවර්ෂ කාල තුල පලකරනු ලැබ ඇති, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ගනන් නැති ප්‍රකාශන තුල, “අප්‍රකෝපිත යුද්ධය” පිලිබඳ ආඛ්‍යාතය වඩාත් බලගතු ලෙස ඛන්ඩනය කරනු ලැබ ඇත.

2003 මාර්තුවේ දී, බුෂ් පරිපාලනය ඉරාක ආක්‍රමනය දියත් කිරීමෙන් යන්තම් සතියකට පසුව, එනම් විසි වසරකට පෙර, හජාජාක ඇමරිකානු ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) මෙසේ පැහැදිලි කලේ ය: “ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මූලෝපාය සමන්විත වන්නේ, එක්සත් ජනපදයේ අනභියෝගී ගෝලීය ආධිපත්‍යය ස්ථාපිත කිරීමටත්, ලෝකයේ ආර්ථික සම්පත් තමන් වෙතට ම යටත් කරගැනීමටත්, එහි යෝධ මිලිටරි බලය උපයෝගී කරගැනීම තුල යි.” [2]

ලෝක ධනවාදය තුල ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කේන්ද්‍රීය භූමිකාව සැලකූ කල, එහි අර්බුදය සමස්ත දේශපාලන හා ආර්ථික පද්ධතිය අස්ථාවර කොට තිබුනි. එහි පිලිවෙත්, හුදෙක් ජාතික අර්බුදයකට නො ව, සාරභූත වසයෙන් ගෝලීය අර්බුදයකට දැක්වූ ප්‍රතිචාරය වූ බව සසප විස්තර කලේ ය.

අනුප්‍රාප්තික ඇමරිකානු ආන්ඩුවල ම්ලේච්ඡ ආක්‍රමනාකරී පිලිවෙත් වනාහි, නිෂ්පාදන බලවේගවල ගෝලීය ස්වභාවය සහ යල් පිනූ ජාතික රාජ්‍ය පද්ධතිය අතර පරස්පර-විරෝධය පිලිබඳ ලෝක ඓතිහාසික ගැටලුව අධිරාජ්‍යවාදයේ පදනම මත විසඳීමට ගත් උත්සාහයක් විය.

මෙම ගැටලුව ජයගනුවස් ඇමරිකාව යෝජනා කරන්නේ, ලෝකයේ ආර්ථික සම්පත්වල වැඩි ම පංගුව තමන් අත්පත් කරගැනීමෙන් පසුව, එම සම්පත් බෙදාහරිනු ඇත්තේ කෙසේදැයි තීරනය කරන, ලෝකයේ ඉරනමෙහි අවසන් තීරකයා වන සුපිරි ජාතික රාජ්‍යය ලෙස තමන් ම ස්ථාපිත කරගැනිමයි. එහෙත්, 1914 දී අත්‍යන්තයෙන්ම ප්‍රතිගාමී වූ, ලෝක ධනවාදයට යටින් දිවෙන පරස්පර-විරෝධයන් මෙලෙසින් අධිරාජ්‍යවාදී පදනමක විසඳීම, කාලය ගතවීම සමග කිසිදු ප්‍රගිතිශීලිත්වයක් අත්පත් කරගෙන නැත. සත්‍යවසයෙන් ම, විසිවන ශතවර්ෂයේ ගමන් මාවත පුරා ලෝක ආර්ථික වර්ධනයේ පරිමානය ම, එවන් අධිරාජ්‍යවාදී ව්‍යාප්තියකට උන්මාදනීය තත්ත්වයක් උරුම කර දෙයි. තනි ජාතික රාජ්‍යයක ආධිපත්‍යය ස්ථාපිත කිරීමට දරන ඕනෑ ම ප්‍රයත්නයක්, ජාත්‍යන්තර ආර්ථික ඒකාග්‍රකරනයේ අත්‍යසාමන්‍ය මට්ටම සමග නො පෑහේ. එවන් ව්‍යාපෘතියක ප්‍රගාඪ ප්‍රතිගාමී ස්වභාවය, එය යථාවත් කරගනුවස් අවශ්‍ය කරන ම්ලේච්ඡ විධික්‍රම තුල ප්‍රකාශයට පත් වේ. [3]

ඔවුන්ගේ අධිරාජ්‍යවාදී අභිලාෂයන් ස්වාධීනව හඹා යාමට අසමත් නමුත්, ස්වීඩනය, නෝර්වේ, ඩෙන්මාර්කය, ස්පාඤ්ඤය, බෙල්ජියම හා ස්විට්සර්ලන්තය යන “අඩු බලයන්” පසෙක තැබුව ද බ්‍රිතාන්‍යය, ප්‍රන්සය, ඉතාලිය, ජර්මනිය යන කිසිදු රටක්, රුසියාව මිලිටරිමය ලෙස පරාජය කර, රාජ්‍ය කැබලිති ගනනාවකට එරට බිඳ දැමීමෙන් පසුව සිදු වනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වන භූමිභාග සහ ස්වාභාවික සම්පත් යලි බෙදාගැනීමෙන් ද එයින් ලැබෙන මූල්‍යමය වාසි කරා ප්‍රවේශයෙන් ද තමන් ම පිටමං කිරීමක් පිලිගැනීමට සූදානම් නැත.

එහි එකමුතුකම පිලිබඳ ප්‍රකාශ මධ්‍යයේ පවා, නැටෝ සන්ධානය මත්, නුදුරු අනාගතයේ දී ක්ෂනික සන්නද්ධ ගැටුමක් ලෙස පුපුරා යා හැකි, ගැඹුරු අභ්‍යන්තර බෙදීම් මගින් වෙලාගනු ලැබ ඇත. යුද්ධයෙහි අඩුවෙන් සාකච්ඡාවට ගැනෙන විපාක අතර පවතින්නේ, පශ්චාත් දෙවන ලෝක යුද්ධ සමථයෙන් පැන නගින භෞමික මතභේද යලි විවෘත වීම යි. රොක්ලෝ නමැති පෝලන්ත නගරය වරෙක බ්‍රෙස්ලෝ යනුවෙන් හඳුන්වන ලද බවත් එය විසිවන ශතවර්ෂයේ මුව විට දී ජර්මානු අධිරාජ්‍ය ය තුල හයවැනි විශාලතම නගරය වූ බවත් ජර්මානු පාලක පන්තියට අමතක ව ගොස් නැත.

බටහිර යුක්‍රේනයෙහි ල්වොව් නගරය, දෙවන ලෝක යුද්ධය පුපුරා යාමට පෙරාතුව, පෝලන්තයෙහි ල්වෝව් නමැති තෙවැනි විශාලතම නගරය ලෙස පැවති බව විෂඝෝර ජාතිකවාදී හා ෆැසිස්ට්වාදී පෝලන්ත ආන්ඩුවට ද අමතක ව ගොස් නැත.

“අප්‍රකෝපිත යුද්ධ” පිලිබද ආඛ්‍යානයේ රේඛා අතර, යුක්‍රේන යුද්ධය වනාහි තුන්වැනි ලෝක යුද්ධයට තුඩු දෙන වඩා විශාල ගෝලීය ගැටුමක කොටසක්‍ය යන්න, වඩා විවෘත ව පිලිගනු ලැබේ. දැන් පවතින ප්‍රශ්නය වන්නේ, එක්සත් ජනපදය හා චීනය අතර යුද්ධයක් සිදු වනු ඇද්ද නැද්ද යන්න නො ව, එය පටන් ගන්නේ කවදාද, ගැටුම පුපුරා යනු ඇත්තේ කොහිද එම යුද්ධයේ දී උපායාත්මක හා/හෝ මූලෝපායාත්මක න්‍යෂ්ටික ආයුධ යොදාගනු ඇද්ද යන්න ආදිය යි.

යුද්ධය “අනාගත ලෝක පර්යාය හෙවත් 21වැනි ශතවර්ෂය තුල එහි මහා සංශෝධනය පිලිබඳ ව” වනු ඇතැයි හිටපු ජර්මානු විදේශ ඇමති ජොෂ්කා ෆිෂර් මෑත දී ලීවේ ය. “එක්සත් ජනපදයේ හා බටහිර ආධිපත්‍යය බිඳ දමනුවස් අවිධිමත් සන්ධානයකට එලැඹ තිබීම”ගැන ද “එක්සත් ජනපදය නායකත්වය දෙන බටහිර රටවල අන්තර්-අත්ලාන්තික හා එමෙන් ම පැසිෆික් සන්ධානයට එරෙහි මහා යුරේසියානු බලයන්” ලෙස ක්‍රියාකිරීම ගැන ද -ඔහු චීනය හා රුසියාව හෙලාදුටුවේ ය. [4]

ෆයිනෑන්ෂල් ටයිම්ස් හි ප්‍රධාන විදෙස් පුවත් වාර්තාකරුවා වන ගිඩොන් රැක්මාන් මාර්තු 27දා මෙසේ ලීවේ ය:

චීනයේ ජනාධිපතිවරයා සහ ජපානයේ අගමැතිවරයා යන දෙදෙනා, රුසියාවේ හා යුක්‍රේනයේ අගනුවරවලට එකවර හා තරඟකාරී සංචාරයන්හි යෙදීම, යුක්‍රේන යුද්ධයේ ගෝලීය අර්ථභාරය අවධාරනය කරයි. ජපානය හා චීනය යනු නැගෙනහිර ආසියාවේ කර්කෂ ප්‍රතිමල්ලවයන් ය. යුරෝපයේ ගැටුමෙහි ප්‍රතිඵලය ඔවුන්ගේ අරගලයට ප්‍රගාඪ ලෙස බලපානු ඇතැයි රටවල් දෙක ම අවබෝධ කරගනිති.

යුක්‍රේනය අරබයා, චීනය හා ජපානය අතර වන මෙම ආවෘත ගැටුම පුලුල් ප්‍රවනතාවක කොටසකි. යුරෝ-අත්ලාන්තික හා ඉන්දු-පැසිෆික් කලාප තුල මූලෝපායික ප්‍රතිමල්ලතා වඩ වඩා එකිනෙක මත අතිපිහිත වෙමින් පවතී. දැන් ඉස්මතු වෙමින් තිබෙන්නේ, වඩවඩා තනි භූ-දේශපාලනික අරගලයක් ලෙස පෙනෙන දෙයකි. [5]

රැක්මාන් “අප්‍රකෝපිත යුද්ධය” පිලිබඳ ආඛ්‍යානයේ උද්‍යෝගීමත් යෝජකයෙක් ලෙස තව දුරටත් සිටිය ද ඔහු ඔහුගේ ස්වයං-පරස්පර-විරෝධී විශ්ලේෂනය මෙම තියුනු අනතුරු ඇඟවීම සමගින් සමාප්ත කරයි:

එහෙත්, ගෝලීය ගැටුමක් තුලට තල්ලු වී යාමේ අන්තරාය තවමත් අහවර නැත. නැගෙනහිර ආසියාව තුල නැගෙන ආතතීන් සමග සංයුක්ත ව, යුරෝපය තුල යුද්ධය පුපුරා යාම -මෙම රංගපථ දෙක අතර වැඩෙන සබඳතාව සමගින්- තවමත් 1930 ගනන්වලට සුවිශේෂී ප්‍රතිරාවයන් දරා සිටී. මේ වතාවේ දී, සියලු පාර්ශවවලට පවතින වගකීමක් වන්නේ, යුරෝපයේ හා ආසියාවේ සම්බන්ධිත ප්‍රතිමල්ලතාවන්, ගෝලීය ශෝකාන්තයක් තුල කූටප්‍රාප්තියට පත් නො වන බව තහවුරු කිරීම යි. [6]

2022 පෙබරවාරි 24දා, රුසියාව යුක්‍රේනය ආක්‍රමනය කිරීමට තුඩු දුන් සිද්ධීන් නියමිත ඓතිහාසික හා දේශපාලන සන්දර්භය තුල තැබූ විට, යුද්ධය අවුලුවාලන ලද්දේ එක්සත් ජනපදය හා එහි නැටෝ සගයන් විසින් බවට කිසිදු ප්‍රශ්නයක් නැත. “පලමු වෙඩිල්ල තැබුවේ කවුරුන් ද?” යන ප්‍රශ්නය මත කේන්ද්‍රගත ව යුද්ධය සඳහා වන “දෝෂාරෝපනය” තක්සේරු කිරීමට දරන සියලු ප්‍රයත්නවලට, වඩා දීර්ඝ අනුප්‍රාප්තික සිද්ධි දාමයකින් එක් තනි වෘතාන්තයක් හුදකලා කරන ආන්තික ලෙස සීමිත කාලරාමුවක් අවශ්‍ය කරයි. 1934 දී ට්‍රොට්ස්කි විස්තර කල පරිදි: “යුද්ධයේ ස්වභාවය නීර්නය කරනු ලබන්නේ, (‘මධ්‍යස්ථභාවය උල්ලංඝනය කිරීම,’ ‘සතුරු ආක්‍රාමනය,’ ආදී) ආරම්භක වෘතාන්තය විසින් නොව, යුද්ධයේ ප්‍රධාන ගාමක බලයන්, එහි සමස්ත වර්ධනය සහ එය අවසානයේ තුඩු දෙන ප්‍රති විපාක මගිනි.” [7]

“අප්‍රකෝපිත යුද්ධය” පිලිබඳ භයංකර කතන්දරයට විපරීත ව, 2022 පෙබරවාරි ආක්‍රමනය වනාහි, ඡන්දයෙන් පත් වූ රුසියානු-ගැති වික්ටර් යනුකොවිච්ගේ ආන්ඩුව පෙරලා දැමූ, සීඅයිඒය විසින් අරමුදල් සපයමින් ක්‍රියාවට දමන ලද, 2014 මයිදාන් කුමන්ත්‍රනය තෙක් පමනක් නො ව, සෝවියට් සංගමය බිඳ විසිරවීමේ විපාකයක් ලෙස, යුක්‍රේනය හා රුසියාව යන රටවල් දෙක තුල ම, ප්‍රතිගාමී ජාතිකවාදී ප්‍රවනතා මුදාහරිනු ලැබීම දක්වා ම ආපස්සට දිවෙන, සංකීර්න සිද්ධි දාමයක ප්‍රතිඵලය විය.

කෙසේවෙතත්, යුද්ධය අවුලුවාලන ලද්දේ එක්සත් ජනපදය හා නැටෝව විසින් ය යන්න, යුක්‍රේනය තුල රුසියානු ආක්‍රමනයෙහි ප්‍රතිගාමී ස්වභාවය ලඝු කරනවා තබා, එම ආක්‍රමනය සාධාරනීකරනය කිරීමක් වත් කරන්නේ නැත. යුක්‍රේන ආක්‍රමනය වනාහි, රුසියාවේ දේශසීමාවන්ට නැටෝව එල්ල කල තර්ජනයට දැක්වූ යුක්තියුක්ත ප්‍රතිචාරයක් ය යන පදනම මත, එය ආරක්ෂා කරන්නන් සරල ව ම නො තකා හරින්නේ, පුටින් යනු සෝවියට් සංගමය තුල පැවති ජනසතු දේපොල විසුරුවා හැරීම හා සොරාගැනීම මත තම ධනය පදනම් කරන කතිපයාධිකාරී පන්තියක ආර්ථික අවශ්‍යතා විසින් නීර්නය කරනු ලබන “ජාතික ආරක්ෂාවක්” සහිත ධනපති රාජ්‍යයක නායකයාය යන්න යි.

යුද්ධය දියත් කිරීම හා කරගෙන යාම යන දෙකේ දී ම පුටින් කරන සියලු වැරදි ගනන් බැලීම් හා මොට්ටකම් පිලිබිඹු කරන්නේ, ඔහු සේවය කරන පන්ති අවශ්‍යතාවන් ය. යුද්ධයෙහි අරමුන වන්නේ, බටහිර අධිරාජ්‍යවාදී බලයන්ගෙන් එල්ල වන මිලිටරි පීඩනයට එරෙහිව ක්‍රියා කිරීම සහ රුසියානු දේශසීමා ඇතුලත ද හැකි තරම් පුලුල්තම පරිමානයට කලු මුහුදු කලාපය ද මධ්‍යයම ආසියාවේ හා අන්තර්-කොකේසියානු කලාපයේ අසල්වැසි රටවල් ද තුල ස්වාභාවික සම්පත් හා ශ්‍රාමය සූරාකෑමට ජාතික ධනපති පන්තියට අවශ්‍ය කරන ආධිපත්‍යධාරී තත්ත්වය දිගටම තබා ගැනීම යි.

මේ අරමුනු තුල, අධිරාජ්‍ය-විරෝධී ස්වභාවයක් තබා, කිසිදු ප්‍රගතිශීලී භාවයක් වත් නැත. සාර්වාදයේ උරුමයට ආයාචනා කරමින්, පුටින් , ලෙනින්, බොල්ශෙවික්වාදය හා ඔක්තෝබර් විප්ලවය හෙලාදකිද්දී, ඔහු පෙන්නුම් කරමින් සිටින්නේ, ඔහුගේ පාලන තන්ත්‍රයෙහි ඓතිහාසික ව ප්‍රතිගාමී හා දේශපාලනික ව බංකොලොත් ස්වභාවය යි.

ඔවුන්ගේ වර්තමාන ගැටුම නො තකා, රුසියාවේ හා යුක්‍රේනයේ නව පශ්චාත්-සෝවියට් පාලක පන්තීහු එක ම සාපරාධී සම්භවය බෙදා හදා ගනිති. සෝවියට් සංගමය නිල වසයෙන් බිඳ විසුරුවා හැරීමට මාස තුනකටත් අඩුකාලයකට පෙර දී, ජාත්‍යන්තර කමිටුවේ නියෝජිතයෙකු ලෙස, 1991 ඔක්තෝබර් 3දා කීව් නගරයේ කම්කරු සමාජයේ පැවති ප්‍රසිද්ධ රැස්වීමක් ඇමතූ මෙම ලේඛකයා, ජාතිකවාදීන්ගේ න්‍යාය පත්‍රයෙන් ගලා එනු ඇත්තා වූ විනාශකාරී ප්‍රතිවිපාක පිලිබඳ ව අනතුරු ඇඟවී ය:

සමූහාන්ඩු තුල, සියලු ජාතිකවාදීන් කියා සිටින්නේ, සියලු ගැටුම්වලට විසඳුම, නව “ස්වාධීන” රාජ්‍යයන් නිර්මානය කිරීම තුල පවතින බව යි. කාගෙන් ස්වාධීන වීමදැයි විමසීමට අපට ඉඩ දෙන්න. මොස්කෝවෙන් ස්වාධීනත්වය ප්‍රකාශ කිරීම මගින්, ජාතිකවාදීන්ට කල හැකි වන්නේ, ඔවුන්ගේ නව රාජ්‍යයන්ගේ අනාගතයට සම්බන්ධ සියලු තීරනාත්මක තීන්දු ගැනීම ජර්මනියේ, බ්‍රිතාන්‍යයේ, ප්‍රන්සයේ, ජපානයේ සහ එක්සත් ජනපදයේ හස්තයේ තැබීම යි. (යුක්‍රේන කොමියුනිස්ට් පක්ෂයේ නායකයා හා පශ්චාත්-සෝවියට් යුක්‍රේනයේ අනාගත ජනාධිපති වූ) ක්‍රෝයව්චක් වොෂින්ටනයට ගොස් ජනාධිපති බුෂ්ගේ දේශනවලට සවන් දෙන අතරතුර පාසල් ශිෂ්‍යයකු මෙන් සිය ආසනය මත නලියයි. ..

එසේ නම්, සෝවියට් සංගමයේ වැඩකරන ජනතාව අනුගමනය කල යුතු මාවත කුමක් ද? විකල්පය කවරක් ද? සොයාගත හැකි එක ම විසඳුම පදනම් වන්නේ විප්ලවවාදී ජාත්‍යන්තරවාදයේ ක්‍රියා මාර්ගය මත යි. ජාතිකවාදීන්ගේ ස්වෝත්තමවාදී උද්ඝෝෂනය එක වෙස් මුහුනක් පමනක් වන, ධනවාදය කරා ආපසු යාම, තුඩු දිය හැක්කේ පීඩනයේ නව රූපාකාරයකට පමනි. දාන හා පිලිසරන යදිමින්, සිය හිස් පහත් කරගෙන දන නමාගෙන, එක් එක් සෝවියට් ජාතිකත්වයන් අධිරාජ්‍ය වාදීන් වෙත ප්‍රවිෂ්ට වීම වෙනුවට, සියලු ජාතිකත්වයන්ගේ සෝවියට් කම්කරුවන් කල යුතු වන්නේ, සැබෑ සමාජ සමානතාවේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම මත පදනම් ව, 1917 උරුමයෙන් රැකගත යුතු සියල්ල විප්ලවීය ලෙස ආරක්ෂා කිරීමේ පදනම මත නව සබඳතාවක් වාත්තු කරගැනීම යි. ...

මෙම ක්‍රියා මාර්ගයෙහි හරි මැද පවතින්නේ විප්ලවවාදී ජාත්‍යන්තරවාදයේ ඉදිරි දර්ශනය යි. සෝවියට් ජනයා ඉදිරියේ අද දින හොල්මන් කරන සියලු ගැටලුවල මූලයන් පවතින්නේ, විප්ලවවාදී ජාත්‍යන්තරවාදයේ ක්‍රියාමාර්ගය අත්හැර දැමීම තුල යි. [8]

මීට වසර 32කට ආසන්න කාලයකට පෙර ජාත්‍යන්තර කමිටුව කල අනතුරු ඇඟවීම් ඛේදනීය ලෙස සනාථ වී ඇත. රුසියාවේ හා යුක්‍රේනයේ වැඩකරන ජනයා භාතෘ ඝාතක ගැටුමකට ඇද දමනු ලැබ ඇත. වසර අසූවකට පෙර, සෝවියට් සංගමයෙන් නාසි හමුදාව පලවා හැරීම සඳහා, ඔක්තෝබර් විප්ලවයේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුහු එක් ව සටන් කල හ. දැන් ධනපති පාලන තන්ත්‍රයන්ගේ නියෝග මත ක්‍රියාකරන ඔවුහු, එකිනෙකාට වෙඩි තබා ගනිමින් මරා ගනිති.

ජාත්‍යන්තර කම්කරු පන්තියේ එකමුතුව සඳහා ජාත්‍යන්තර කමිටුවේ කැඳවුම වඩා දැවැන්ත හදිසි භාවයක් අත්කරගෙන ඇතුවා පමනක් නො වේ. විප්ලවවාදී සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ක්‍රියා මාර්ගයෙහි පදනම මත, ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට පවතින වෛෂයික කොන්දේසි දැන් අන් කවරදාටත් වඩා වාසිදායක ය. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ගැඹුරු වන අර්බුදයට හා ගෝලීය ධනේශ්වර පරස්පර-විරෝධයන් තීව්‍ර වීමට අමතර ව, ජාත්‍යන්තර කම්කරු පන්තියේ යෝධ වර්ධනයක් සිදු වී පවතී. විසිවන ශතවර්ෂයේ අවසන් දශකය දක්වා ම, නිර්ධන පන්තිය ජනගහනයෙන් ඉතා කුඩා කොටසක් පමනක් ව සිටි රටවල් තුල, කම්කරුවන් කෝටි ගනන් වාසය කරන යෝධ නාගරික මධ්‍යස්ථාන ඉස්මතු වීම විසින්, එහි ආර්ථික ශක්තිය සහ විභවීය බලය යෝධ ලෙස විශාලනය කර තිබේ.

පසුගිය දශකය තුල, පන්ති අරගලයේ අනවරත උත්සන්න වීමක් පැවතී ඇත. පන්ති අරගලයෙහි සිත් කාවදින ලක්ෂනයක් වන්නේ, එහි ජාත්‍යන්තර ස්වභාවය යි. සන්නිවේදන තාක්ෂනයෙහි විප්ලවීය අභිවර්ධනයන්, එකිනෙකට වෙනස් රටවල කම්කරුවන් අතර පැවති බාධක බිඳ දමමින් පවතී. එය ආරම්භ වන්නේ කොහිද යන්න නො තකා, ඕනෑ ම සුවිශේෂී රටක සමාජීය ඝට්ටනය, ක්ෂනික ව ම පාහේ ජාත්‍යන්තර ශ්‍රාවකයක් අත්පත් කරගනිමින්, ලෝක සිද්ධියක් බවට පත් වේ. ලේඛන හා කතා, ඒවා ලියන ලද හා පලමුව ඉදිරිපත් කරන ලද භාෂාව කවරක් ද යන්න නො තකා, ගෝලීය ශ්‍රාවකයකට පහසුවෙන් අවබෝධ කරගත හැකි දේවල් බවට පත් කරන පරිවර්තනයේ හා පිටපත් කිරීමේ යෙදුම් භාවිතා කිරීම මගින්, යුග ගනන් පැරනි භාෂාමය බාධාවන් පවා ජයගනු ලැබෙමින් පවතී.

තාක්ෂනයේ මෙම අභිවර්ධනයන්, සියලු රටවල කම්කරු පන්තිය මුහුන දෙන ආර්ථික, සමාජීය හා දේශපාලනික ගැටලුවලට අවශ්‍ය ගෝලීය විප්ලවවාදී ප්‍රතිචාරයකට පහසුකම් සපයයි. මාස දෙකකට අඩු කාලයක් තුල, මිලියනයකට අධික මරනයන්ට තුඩු දෙමින්, 2022 පසුභාගයේ දී, චීනය එහි ශූන්‍ය-කෝවිඩ් පිලිවෙත ක්ෂනික ව අත්හැර දැමීම ප්‍රදර්ශනය කර ඇත්තේ, ගෝලීය අර්බුදයකට ජාතික විසඳුමක් සැපයීමේ නො හැකියාව යි. මෙම අතිමූලික සත්‍යය, ගැඹුරු වන සමාජ අර්බුදයේ යථාර්ථය විසින් රටවල් තුලට කාවද්දනු ලැබෙමින් පවතී.

යුක්‍රේන යුද්ධය සහ මිලිටරි අයවැයවල යෝධ වර්ධනය, සෑම රටක් තුල ම කම්කරුවන්ගේ සමාජ කොන්දේසිවලට එරෙහි යුද්ධයක රූපය අත්පත් කරගෙන ඇත. උද්ධමනය, විරැකියාව සහ සමාජ සේවා සඳහා අයවැය කපා හැරීම, ලෝකය පුරා වැඩ වර්ජන ක්‍රියාවල පුනර්ජීවනයක් අවුලුවා තිබේ. සෑම මහාද්වීපයක් තුල ම, ප්‍රධාන සමාජීය අරගල පුපුරා ගොස් ඇත.

රටවල් අතර පවතින වෙනස්කම් නො තකා, සියලු රටවල් තුල කම්කරු පන්තිය මුහුන දෙන දේශපාලන කොන්දේසි තුල නිශ්චිත පොදු ලක්ෂන සිය ප්‍රකාශනය අත්පත් කර ගනී. කම්කරුවන්ගේ ඉල්ලීම් කොතරම් සීමිත ද යන්න නො තකා, හාම්පුතුන්ගේ හා රාජ්‍යයේ කටුක ප්‍රතිරෝධයට ඔවුහු මුහුන දෙති.

අඛන්ඩව වැඩෙන සංඛ්‍යාතයකින් හා තීව්‍රතාවකින් යුතු ව, ධනේශ්වර රාජ්‍යය, කම්කරු පන්තියට එරෙහි යුද්ධයෙහි ඍජු නායකත්වය පාලක පන්තිය වෙනුවෙන්, අත්පත් කරගනිමින් සිටී. ශ්‍රී ලංකාව හා ප්‍රන්සය වැනි වෙනස් ආර්ථික සංවර්ධනයක් සහිත රටවල් තුල, ශ්‍රී ලංකාවේ නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ප්‍රන්සයේ නම් ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් වසයෙන්, රාජ්‍යයේ නායකයා තුල, කම්කරු පන්තිය එහි කේන්ද්‍රීය හතුරාට මුහුන දෙයි. දේශපාලනික ව වාසිදායක තාක් දුරට, ඔවුන් යොදා ගන්නා ප්‍රජාතන්ත්‍රතවාදී වාගාලාප නො තකා, ඔවුන්ගේ තීන්දු, ඒවා බලයෙන් පටවනුවස් පොලීසිය හා මිලිටරිය මත පදනම් වන, පැහැදිලි ආඥාදායක ස්වභාවයක් අත්පත් කරගනී. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ වත්මන් ගෝලීය බිඳ වැටීම ලෙනින්ගේ විශ්ලේෂනය සනාථ කරයි: “අධිරාජ්‍යවාදයේ ලාක්ෂනික අංගයක් වන්නේ හිසේ සිට දෙපතුල දක්වා වන දේශපාලන ප්‍රතිගාමීත්වයයි.”[9]

මේ කාරනය නිසා, පන්ති අරගලයේ තර්කනය, රාජ්‍යයට එරෙහි දේශපාලන අරගලයක ලක්ෂනය අත්පත් කරගනිමින්, කම්කරු බලයේ ස්වාධීන සංස්ථා වර්ධනය කිරීමේ අවශ්‍යතාව ඉස්මතු කරයි. ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ සමාජවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනයක් සඳහා කරන කැඳවුමත්, මැක්‍රෝන් ආන්ඩුව පෙරලා දමන ලෙස එහි ප්‍රන්ස ශාඛාව මතු කරන ඉල්ලීමත්, කම්කරු පන්තිය සහ ධනේශ්වර රාජ්‍යය අතර තීව්‍ර වන ගැටුමට දක්වන ආවශ්‍යක ප්‍රතිචාරයන් ය.

විසිවන ශතවර්ෂයේ මූලික පාඩමක් වන්නේ, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය සාර්ථකව ගෙන යා හැක්කේ, සම්මුති විරහිත ලෙස ධනපති-විරෝධී හා සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත, කම්කරු පන්තිය දේශපාලනික ව බලමුලු ගැන්වීම හරහා ම පමනක් බව යි. ජාතික රාජ්‍ය පද්ධතිය හා ධනපති ලාභ පද්ධතිය තුල මුල් බැස තිබෙන යුද්ධයේ හේතු නො තකමින් හා ආවරනය කරමින් යුද්ධයට විරුද්ධ වීමට කරන සියලු යෝජනා අසාර්ථක වීමට නියමිත ය.

කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට පවතින විශාලතම බාධාව වන්නේ, වෘත්තීය සමිති තුල සිටින ධනපති-ගැති නිලධරයන්, ප්‍රතිගාමී ලේබර් හා ව්‍යාජ සමාජවාදී පක්ෂ සහ ඉසුරුමත් මධ්‍යම-පන්තියේ ව්‍යාජ-වාම සංවිධානවල පලල් රොත්තක් තව දුරටත් දරා සිටින දේශපාලනික ආනුභාවය යි. ඔවුන්ගේ අදෘශ්‍යමාන එහෙත් ව්‍යසනකාරී ආනුභාවය ජයගනු ලැබිය යුතු ය.

කම්කරු පන්තිය තුල විකල්ප විප්ලවවාදී නායකත්වයක් වර්ධනය කිරීමේ දී, ජාත්‍යන්තර කමිටුව අර්ථභාරී අභිවර්ධනයන් සිදු කර ඇත. කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (ක්‍රිකජාස) වනාහි, කම්හල් කමිටු ගොඩනැගීම සඳහා සංක්‍රමන ක්‍රියා මාර්ගය තුල ට්‍රොට්ස්කි ඉදිරිපත් කල ඉදිරි දර්ශනය සංයුක්තනය කිරීම යි. “හැකි සෑම අවස්ථාවක දී ම ධනේශ්වර සමාජයට එරෙහි ජනතා අරගලයේ කර්තව්‍යයන්ට වඩාත් සමීප ව අනුරූප වන ස්වාධීන සටන්කාමී සංවිධාන නිර්මානය කිරීමටත්...අවශ්‍ය වුව හොත්, වෘත්තීය සමිතිවල ගතානුගතික යාන්ත්‍රනයෙන් කෙලින් ම බිඳීමට පවා බිය නො විය යුතු”[10] බවත්, ඔහු හතරවන ජාත්‍යන්තරයේ ශාඛාවලින් ඉල්ලා සිටියේය.

තව ද, ක්‍රිකජාස වර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර කමිටුව දී ඇති ජවය පදනම් වන්නේ, අධිරාජ්‍යවාදී යුගය තුල වෘත්තීය සමිතිවල ඉරනම පිලිබඳ ව, ට්‍රොට්ස්කි කල විශ්ලේෂනය මත යි. ඔහුගේ ඝාතනයෙන් පසුව, ට්‍රොට්ස්කිගේ මේසය මත තිබී සොයා ගත් අසම්පූර්න අත් ලිපියක් තුල, ඔහු මෙසේ ලියා තිබුනි: “සමස්ත ලෝකය තුල නවීන වෘත්තීය සමිති සංවිධානවල වර්ධනය, නැතහොත්, වඩා නිවැරදි ව කියන්නේ නම් ඒවායේ පිරිහී යාම තුල එක් පොදු ලක්ෂනයක් පවතී: එනම්, ඒවා රාජ්‍ය බලය සමග වඩ වඩා සමීපස්ථ වන බව යි.”

එම නිසා, “හුදෙක් ධනේශ්වරයට පමනක් නො ව, වෘත්තීය සමිති තුල ම පවතින සර්වාධිකාරී තන්ත්‍රයටත්, එම තන්ත්‍රය බලාත්මක කරන නායකයන්ටත් එරෙහි ව, මහජනයා බලමුලු ගැන්වීම”[11] අවශ්‍ය විය.

පාලක පන්තියේ සුලු-ධනේශ්වර ව්‍යාජ-වාම ඒජන්තයින් හජාජාක හෙලා දකින විට, ඔවුන් සැබෑවට ම පහර දෙමින් සිටින්නේ, අධිරාජ්‍ය-ගැති හා කෝපරේට්වාදී කම්කරු නිලධරයන්ට කම්කරු පන්තිය යටත් කිරීම ජාත්‍යන්තර කමිටුව විසින් පිලි නො ගැනීමට යි. එක්සත් ජනපදය තුල ඒඑෆ්එල්-සීඅයිඕ, ජර්මනියේ අයිජී මෙටල්, ප්‍රන්සයේ සීජීටී හා ලොව පුරා ඔවුන්ගේ පර්යාය සංවිධානවල පොලිස් මුරකාවල් විසින් පාලනය කරනු ලබන බන්ධනාගාර බිත්ති තුල රැඳී සිටින කම්කරුවන්ගේ අරගල වර්ජනය කරනු වෙනුවට, ක්‍රිකජාස නියැලී සිටින්නේ නිලධාරී යාන්ත්‍රනයට විරුද්ධ ව එම කම්කරුවන්ගේ කැරැල්ල දිරිමත් කිරීමට හා ශක්තිමත් කිරීමට එයට හැකි සියල්ල කිරීම තුල යි. මෝටර් රථ කර්මාන්තය මත කම්කරුවන්ගේ පාලනය ස්ථාපිත කිරීමටත්, වෘත්තීය සමිති යාන්ත්‍රනය බිඳ හෙලීමටත් කල කැඳවුමක් මත, එක්සත් මෝටර් කම්කරු සමිතියේ (යූඒඩබ්ලිව්) සභාපති තනතුරට තරඟ කල සමාජවාදී අපේක්ෂකයා වූ විල් ලෙහ්මන්, 2022 ඔක්තෝබරයේ දී මෝටර් රථ කම්කරුවන් 5,000කගේ ඡන්දය ලබා ගැනීම, ක්‍රිකජාසහි වැඩෙන ආනුභාවයටත්, එහි සංවිධානාත්මක හා දේශපාලන විභවයටත් සාක්ෂි දරයි.

කෝපරේට් (සංගත) බලයට හා ධනපති පාලනයට එරෙහි පන්ති අරගලයට, ගෝලීය මූලෝපායක් හා උපායාත්මක සම්බන්ධීකරනයක් වර්ධනය කිරීමේ දී අවශ්‍ය සහයෝගය ලබා දීමට, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය ලෝක පරිමාන ජාලයක් නිර්මානය කරමින් සිටී. එහි ඉලක්කය වන්නේ, ප්‍රතිගාමී නිලධරයන් මත පීඩනය යොදා ප්‍රතිසංස්කරනය කිරීම නො ව, තීරන ගැනීම හා බලය සාමාන්‍ය කම්කරුවන් අතට මාරු කිරීම යි.

තරුන ජනයා මාක්ස්වාදීන් ලෙස අධ්‍යාපනගත කිරීම, ස්ටැලින්වාදයට හා සකලාකාර ජාතික අවස්ථාවාදයට එරෙහි ව ට්‍රොට්ස්කි හා හතරවන ජාත්‍යන්තරය විසින් ගෙන යන ලද අරගලය පිලිබඳ ඔවුන්ගේ අවබෝධය වර්ධනය කිරීම, ඔවුන් කම්කරු පන්තිය වෙත හැරවීම සහ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනගනුවස් ඔවුන්ගේ අසීමිත ශක්තිය දිශාගත කිරීම පිනිස සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය එහි වැඩකටයුතු ප්‍රසාරනය කරමින් සිටී.

දෛනිකව පලකිරීමේ 25වන වසර දැන් සමරමින් සිටින ලෝක සමාජවාදී වෙබ් අඩවිය, පන්ති අරගලය පිලිබඳ එහි දේශපාලනික ආවරනයේ සහ විශ්ලේෂනයේ ගැඹුර හා පරාසය අඛන්ඩ ව වර්ධනය කරමින් සිටින්නේ, එම සාරභූත න්‍යායික වැඩකටයුතුවල පදනම මත, ජාත්‍යන්තර කම්කරු-පන්තියේ අරගල තුල ට්‍රොට්ස්කිවාදයේ ආනුභාවය ප්‍රසාරනය කරමිනි.

මෙම ජයග්‍රහන මත ගොඩනැගෙන මැයි දින රැලිය, කම්කරු පන්තික එකමුතුවේ මෙම ඓතිහාසික දිනය සැමරීම කැපකරනු ඇත්තේ, යුද්ධයට එරෙහි වූ ද කම්කරු පන්තිය වෙත බලය මාරු කිරීම හා සමස්ත ලෝකය පුරා සමාජවාදය ගොඩනැගීම සදහා වූ අරගලය ඉදිරියට ගෙනයාමට ය.


[1]

ජෝර්න් ලියොන්හාඩ්, Pandora’s Box: A History of the First World War (පැන්ඩෝරා පෙට්ටිය: පලමුවන ලෝක යුද්ධයේ ඉතිහාසයක්), පැට්‍රික් කැමිලර්ගේ පරිවර්තනය (කේම්බ්‍රිජ්, එම්ඒ: හාවඩ් විශ්ව විද්‍යාල මුද්‍රනාලයේ බෙල්ක්නැප් ප්‍රකාශකයෝ, 2018), 62-63 පිටු

[2]

“වඩබා මුඛය තුලට,” ඩේවිඩ් නෝර්ත්, A Quarter Century of War: The U.S. Drive for Global Hegemony 1990-2016 (යුද්ධයේ විසිපස් වසරක්, ගෝලීය ආධිපත්‍යය සඳහා එක්සත් ජනපද ධාවනය 1990-2016), (ඕක් පාක්: මෙය්‍රිං බුක්ස්, 2016), 277 පිටුව.

[3]

එම

[4]

“හිටපු ජර්මානු විදේශ ඇමති ජොෂ්කා ෆිෂර් යුක්‍රේන යුද්ධය ‘අනාගත ලෝක පර්යාය සඳහා ගෝලීය බලගැටුමක්’ යයි ප්‍රකාශ කරයි”, පීටර් ෂ්වාට්ස් විසිනි, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, 2023 අප්‍රේල් 4.

[5]

“චීනය, ජපානය සහ යුක්‍රේන යුද්ධය,” ගිඩොන් රැක්මාන් විසිනි, ෆයිනෑන්ෂල් ටයිම්ස්, 2023 මාර්තු 27 https://www.ft.com/content/9aa4df57-b457-4f2d-a660-1e646f96c8cb

[6]

එම

[7]

“යුද්ධය හා හතරවන ජාත්‍යන්තරය” ලියොන් ට්‍රො ට්ස්කි විසිනි, Writings of Leon Trotsky, 1933-34, (ලියොන් ට්‍රොට්ස්කිගේ ලේඛන, 1933-34), (නිව් යෝක්: පාත්ෆයින්ඩර්, 1975), 308 පිටුව

[8]

“අගෝස්තු කුමන්ත්‍රනයෙන් පසු: සෝවියට් සංගමය තීරනාත්මක අවස්ථාවක,” ඩේවිඩ් නෝර්ත් විසිනි, හතරවන ජාත්‍යන්තරය, 1992 සරත්-ශීත ඍතුව, වෙලුම 19, අංක 1, 110 පිටු

[9]

“Imperialism and the Split in Socialism,” V.I. Lenin, Collected Works, Vol. 23.

[10]

ධනවාදයේ මරලතෝනිය හා හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ, කම්කරු මාවත ප්‍රකාශන, 1988 ඔක්තෝබර්, 9-10 පිටු.

[11]

“අධිරාජ්‍යවාදී පිරිහීමේ යුගය තුල වෘත්තීය සමිති,” මාක්ස්වාදය හා වෘත්තීය සමිති (නිව් යෝක්: 1973), 9-10 පිටු.

වැඩිදුර කියවන්න

Loading