වර්ජිත ගුරුවරු කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් පෙරට ගැනීමේ අවශ්‍යතාවය පිලිබඳව සාකච්ඡා කරති

“වැටුප් විෂමතා” ඉවත් කිරීම ඇතුලු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පාසල් ගුරුවරුන් විසින් දියත්කොට ඇති ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනය තීරනාත්මක අදියරකට පැමින තිබේ. වර්ජනය ආරම්භ කෙරී අදට දින 18 කි.

පසුගිය සඳුදා අගමැති ඇතුලු ආන්ඩුවේ මැති ඇමතියන් හා ගුරු සංගම් නායකයන් අතර පැවති සාකච්ඡාවේ දී ආන්ඩුව ගුරුවරුන්ගේ “වැටුප් විෂමතා” ඉවත් කිරීම ප්‍රතික්ෂේප කලේ ය. “රටේ පවතින තත්වයත්, ගෝලීය තත්වයත් සමග රටේ ආර්ථිකය ඉතාමත් පහල මට්ටමක පවතින නිසා ඉතා ඉක්මනින් වැටුප් ඉහල දැමීමක් කිරීමට රජයට හැකියාවක් නැතැ” යි එම සාකච්ඡාවේ දී අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කලේ ය.

මේ සමගම, ආන්ඩුවේ මැති ඇමතියන් හා ධනපති මාධ්‍ය බිස්ස එක්ව ගුරු වර්ජනය මගින් දරුවන්ගේ අධ්‍යාපනය “කඩාකප්පල්” වන බවට කිඹුල් කඳුලු හෙලමින්, ගුරුවරුන්ට එරෙහිව දෙමාපියන් හා ශිෂ්‍යයන් පිහිටුවීමට උත්සාහය දරති. ගුරු විරෝධතා, කොව්ඩ්-19 වසංගතය ව්‍යාප්ත වීමේ මාර්ගයක් වී ඇතැයි යන්න ද ඔවුහු ගුරුවරුන්ට චෝදනා එල්ල කරති.

2021 අප්‍රේල් 05 බදුල්ල නගරයේ දී ගුරුවරු පැවැත් වූ විරෝධතාවක්

කෙසේ නමුත්, සම්මුතියකින් ගුරු අරගලය පාවා දීමේ පොටක් පාදා ගැනීමට මාන බලන වෘත්තීය සමිති නායකයන්, ආන්ඩුවේ තානයම අනුයමින්, “රටේ ආර්ථික අර්බුදය පිලිබඳ පැහැදිලි අවබෝධයක තමන් සිටින බැවින් එකවර වැටුප් වැඩි කිරීමක් සිදු කල නො හැකි වුව ද වැටුප් විෂමතා අවම කිරීම සඳහා සුබෝධනී වාර්තාව අනුව ප්‍රතිපත්තීමය තීරනයක් ගැනීමට කඩිනමින් කටයුතු කරන්නැ” යි සාකච්ඡාවේ දී රාජපක්ෂගෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව ලබන සඳුදා යලි ඉදිරිපත් කරන තවත් කැබිනට් පත්‍රිකාවක් පිලිබඳව ගුරුවරුන් අතර බලාපොරොත්තු ඇති කිරීමේ ව්‍යායාමයක සමිති නායකයෝ යෙදී සිටිති. ගුරු වෘත්තීය සමිති, වසර 24 ක් සිදු කල අයුරින් මෙවර ද අරගලය පාවා දෙතැයි යන සැකය තිබිය දී ම, දහස් සංඛ්‍යාත ගුරුවරු ප්‍රාදේශීය වශයෙන් පවත්වන විරෝධතාවලට උද්යෝගයෙන් සහභාගි වෙති.

වසංගතය මැඩලීමේ නිසි පියවර නොගැනීම, ඉහල යන ජීවන වියදම හමුවේ ජීවන තත්වයන් අඛන්ඩව ඛාදනය වීම, ඔන්ලයින් අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් ලබා නො දීම හා අධ්‍යාපනය පෞද්ගලීකරනය හා මිලිටරීකරනය සමිබන්ධයෙන් ආන්ඩුවට එරෙහිව ගුරුවරුන් අතර බරපතල විරුද්ධත්වයක් වර්ධනය වී තිබේ.

ඒ තතු තුල සමාජවාදී සමානතා පක්ෂය (සසප) නායකත්වය දෙන ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුව විසින් මේ මස 30 දා සවස 7.00 ට “ගුරුවරුන්ගේ වැටුප් අරගලය ජය ගන්නේ කෙසේ ද?” යන හිසින් ඔන්ලයින් රැස්වීමක් පැවැත්වීමට පියවර ගෙන ඇත. ක්‍රියාකාරී කමිටුව ගුරු අරගලය පෙරට ගැනීම සම්බන්ධ බලගතු ප්‍රකාශයක් හා තවත් විශ්ලේෂනාත්මක ලිපි කිහිපක්ම ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පල කර තිබේ.

ගුරුවරුන්ගේ අරගලය පෙරට ගැනීමේ දී තීරනාත්මක වන අවශේෂ කම්කරු පන්තියේ සහයෝගය ගොනු කර ගැනීමේ සහ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය යටතේ රාජපක්ෂ ආන්ඩුවටත් සමස්ත ධනපති ක්‍රමයටත් එරෙහි කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය වර්ජනයේ නිරත ගුරුවරු හා අවශේෂ මහජනයා සමග සසප සාමාජිකයෝ සාකච්ඡා කලහ.

කිරිඳිවැල ප්‍රදේශයේ ගුරුවරයෙකු ලෝසවෙඅ ට ප්‍රකාශ කලේ පෙර අවස්ථාවල වර්ජනවලට සම්බන්ධ නොවන ගුරුවරු පවා දැන් විරෝධතාවලට ස්වේච්ඡාවෙන්ම සම්බන්ධ වන බවයි. “ගුරුවරු ආන්ඩුවේ ප්‍රකාශ පිලි ගන්නේ නෑ. අපිට ගුරුවරු පාලනය කර ගන්න බෑ” යනුවෙන් ලංකා ගුරු සේවා සංගමයේ (ලගුසේස) නායක මහින්ද ජයසිංහ රූපවාහිනි සාකච්ඡාවක දී කල ප්‍රකාශය ගැන සඳහන් කරමින් ඔහු කියා සිටියේ, “අවුරුදු 24 ක් කලා සේ ම ආන්ඩුවේ බොරු පොරොන්දුවකට වර්ජනය පාවා දීමට සමිති නායකයන් මාන බැලුවත්, ජයසිංහ කියන ආකාරයට ම ගුරුවරුන් එයට සූදානම් නැති නිසා මේ මොහොතෙ ඒක කරන්න බැරිව සමිති නායකයො ඉන්නෙ” යැයි ඔහු කීවේ ය.

වැටුප් වැඩිකර ගැනීමේ දැවෙන අවශ්‍යතාව මතු කරමින් ඔහු මෙසේ ප්‍රකාශ කලේ ය: “ගුරුවරු අරගලයට ආවේ ඔවුන් මූන දීල තියෙන පීඩනය උඩ. ගුරුවරයෙකුට රුපියල් තිස්, හතලිස් දාහක මාස පඩියක් අරගෙන මොනවද කරන්න පුලුවන්. හැම ගුරුවරයෙක්ම කියන්නෙ මේ කතාව.”

මෑතක දී මාසයක කාලයක් ඇදී ගිය ඇමරිකාවේ වොල්වෝ ට්‍රක් රථ කම්කරුවන්ගේ වර්ජනයේ දී, යූඒඩබ්ලිව් වෘත්තීය සමිතිය සහ සමාගම එක්ව තමා මත පැටවීමට ගිය ගිවිසුමට එරෙහි ව කම්කරුවන් අරගලයට පිවිසි අයුරු සසප සාමාජිකයන් විස්තර කල විට ඔහු මෙසේ කීවේ ය. “ගුරු අරගලයේදීත් අපිට ඒ වර්ධනයන් පේන්න තියෙනවා. වොල්වෝ අරගලයේ දී වගේම ක්‍රියාකාරී කමිටුව ගොඩ නගා ගෙන කම්කරු පන්තියේ ශක්තිය ගොනු කර ගත යුතු යි. ඔන්ලයින් රැස්වීමට මම සම්බන්ධ වෙනවා.”

රත්මලාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලික සමාගමක සේවිකාවක්: “මටත් පාසල් යන දරුවෝ ඉන්නවා. අධ්‍යාපනය දරුවන්ට නැතිවීම පාඩුවක්. නමුත් ගුරුවරු නිකන් අරගලයට එන්නෙ නෑනෙ. ඉතා අඩු පඩියට ගුරුවරු වැඩ කරන්නෙ. මේ ආන්ඩුවෙන් ගුරුවරුන්ගෙ ප්‍රශ්න වලට විසඳුමක් ලැබෙයි කියල නම් හිතන්න අමාරුයි” යයි පැවසුවා ය.

ආන්ඩුව කිසිම අයුරකින් ඔන්ලයින් අධ්‍යාපනයට සහන නොදීම නිසා තමන්ට මුහුන පෑමට සිදු ව ඇති මුදල් ප්‍රශ්න ගැන අවධාරනය කරමින් ඇය මෙසේ කීවාය: “මගෙ ලමයට ගිය මාසෙ ඔන්ලයින් බිල රුපියල් 5000 ක් වුනා. අපිට අමාරුයි එතරම් වියදම් කරන්න. ඇත්තටම මේ ආන්ඩුව පෙරලන්න ඕන.”

හලාවත සෞන්දර්ය ගුරුවරයෙක් සාකච්ඡාවට සම්බන්ධ වෙමින් කියා සිටියේ “ගුරුවරු තම අරගලයට අවශේෂ කම්කරුවන්ගේ, දෙමාපියන්ගේ හා ශිෂ්‍යයන්ගේ සහයෝගය ගොනු කර ගත යුතු“ බවයි. විරෝධතා සහ වර්ජන ඇතුලු ඔවුනගේ ක්‍රියාශීලී සහයෝගය ඒ සඳහා අත්‍යවශ්‍ය නමුත්, ගුරු අරගලයට සහාය දෙන බව සඳහන් බැනර පාසල් ඉදිරිපිට එල්ලන ලෙස දෙමාපිය හා ආදි ශිෂ්‍ය සංගම්වලට ආයාචනා කිරීමේ ඇල්මැරුනු වැඩකටයුතු වලට සමිති නායකයෝ එය සීමා කරති.

ගුරු අරගලය පෙරට ගැනීමට නම් අවශේෂ කම්කරු පන්තියේ වර්ජන ක්‍රියාමාර්ග සංවිධානය කිරීම මගින් සමස්ත කම්කරු පන්තියේ කාර්මික ශක්තිය බලමුලු ගැන්විය යුතු ය. ධනේෂ්වර ලාභ පද්ධතිය යටතේ සහන දිනා ගත හැකි ය යන මිත්‍යාව වගා දිගා කරන හා මෙම පද්ධතියට තදින්ම බැඳී ගත් වෘත්තීය සමිති, එවන් වැඩපිලිවෙලකට පරම ලෙසින්ම සතුරු ය. එවැනි බලමුලු ගැන්වීමක්, ආන්ඩුවට හා සමස්ත ධනපති ක්‍රමයට අභියෝග කෙරෙතැයි ඔවුහු බියපත් වෙති.

සෞන්දර්ය ගුරුවරයා සමග සාකච්ඡාව තවත් ඉදිරියට ගියේ ය. “කොතලාවල විශ්වවිද්‍යාල පනත“ සම්බන්ධ ජාතික සමගි ජන බලවේගයේ විරුද්ධත්වය මුලුමින්ම ප්‍රෝඩාවක්” යයි ප්‍රකාශ කල ඔහු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) ඔවුන් එක්ක කරන සාකච්ඡා හා ගොඩනගන පෙරමුනු මුලුමනින්ම “අවස්ථාවාදී” යයි ප්‍රකාශ කලේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු පිලිවෙත් ඉටු කිරීමට පාලක පන්තියේ සියලු කොටස් බැඳී සිටින ආකාරය සසප සාමාජිකයන් පැහැදිලි කල අතර ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය යටතේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් පෙරට ගැනීම අවශ්‍යතාවය ඔවුහු සාකච්ඡා කලහ.

බන්ඩාරවෙල ගුරුවරියක් ප්‍රකාශ කලේ ගුරුවරුන් මෙතරම් ධෛර්යමත්ව විරෝධතාවලට සම්බන්ධ වී ගනිමින් වර්ජනයේ යෙදීම සතුටක් වුවත් වැටුප් ඇතුලු ඉල්ලීම් ජයග්‍රහනය කිරීම පිලිබඳව විශ්වාසයක් නොමැති බවයි. ගුරුවරුන්ට එරෙහිව දෙමාපියන් හා ශිෂ්‍යයන් පිහිටුවීමේ ආන්ඩුවේ මාධ්‍ය උද්ඝෝෂනය ඇය හෙලා දැකී ය.

“වසංගතය පාලනයටත්, ඔන්ලයින් අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් සැපයීමටත් ආන්ඩුව කටයුතු නො කිරීමෙන් හා කොතලාවල විශ්වවිද්‍යාල පනත වගේ අධ්‍යාපනය පෞද්ගලීකරන හා මිලිටරීකරනය කරන පනත් ගෙන ඒම මගින් ආන්ඩුව පෙන්වන්නේ නිදහස් අධ්‍යාපනය තවදුරටත් පවත්වා ගෙන යෑමට ආන්ඩුව සූදානම් නැති බවයි. ඒ නිසා අධ්‍යාපනය ආරක්ෂා කිරීම ගුරුවරු ඇතුලු කම්කරු පන්තිය තම අතට ගත යුතු යි” යයි ඇය ප්‍රකාශ කලා ය.

අනුරාධපුර තලාවේ විශ්‍රාමික විදුහල්පතිවරයෙකු පැවසුවේ 1981 ජේ.ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව අධ්‍යාපන “ධවල පත්‍රිකාව” ගෙන ආ කාලයේ පටන් නිදහස් අධ්‍යාපන අයිතිය අඛන්ඩ ව කප්පාදු වන බවත් ගුරුවරුන්ගේ වැටුප් කප්පාදුවත් බලයට පත් සෑම ආන්ඩුවක් විසින්ම සිදු කල එම නිදහස් අධ්‍යාපන කප්පාදුවේ කොටසක් බවත් ය.

“වෘත්තීය සමිතිවල ආන්ඩුවට බලපෑම් දැමීමේ වැඩපිලිවෙල දිගේ ගුරුවරුන්ට තවදුරටත් ඉදිරියට යන්න බෑ. මෙම තත්වයට මුහුන දීමට ගුරු සිසු දෙමව්පිය ක්‍රියාකාරී කමිටු හා ක්‍රියාකාරී කමිටු වල ජාත්‍යන්තර ජාලයක් ගොඩ නැගීමේ අවශ්‍යතාව පෙනෙනවා. මොකද මෙම ප්‍රහාරයට ලංකාවෙත් ජාත්‍යන්තරවත් කම්කරු පන්තිය මුහුන දීලා ඉන්නවා. මේක ලෝක ධනේෂ්වර ක්‍රමයේ අර්බූදයෙන් ගලා ගෙන එන්නේ“ යයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ ය.

Loading