අධ්‍යාපනය පෞද්ගලීකරනයට එරෙහි සසජාතශි රැස්වීමට ශිෂ්‍යයන්ගේ හා කම්කරුවන්ගේ සහයෝගය ගොනු වේ

“අධ්‍යාපනය මිලිටරීකරනයට හා පෞද්ගලීකරනයට එරෙහිව සටන් කරන්නේ කෙසේ ද ?“ යන මාතෘකාව යටතේ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානයේ මූලිකත්වයෙන් මේ මස 16 දා සවස 7 ට කැඳවා ඇති ඔන්ලයින් රැස්වීමට ශිෂ්‍යයන්ගේ හා කම්කරුවන්ගේ උද්යෝගිමත් සහයෝගය ගොනු වෙමින් පවතී.

පැවති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් 2018 දී මුල්වරට ගෙන ආ කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත එයට එරෙහිව නැගුනු බලගතු මහජන විරෝධය හමුවේ තාවකාලිකව හකුලාගත් නමුදු, රාජපක්ෂ ආන්ඩුව විසින් එය යලි ක්‍රියාවට දැමීමට පියවර ගනිමින් සිටී. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී “විවාදයට“ ගැනුනු එය නුදුරේම සම්මත කර ගැනීම ආන්ඩුවේ බලාපොරොත්තුවයි.

1978 විශ්වවිද්‍යාල පනතෙන් හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ස්වාධීනව සහ පරිබාහිරව ක්‍රියාත්මක වීමට, නව පනත මගින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට බලතල පැවරේ. ගාස්තු අයකර අධ්‍යාපනය ලබාදෙන විශ්වවිද්‍යාල, ඒවායේ ශාඛා, පීඨ ආදිය රටපුරා පිහිටුවීමටත්, විදේශ විශ්වවිද්‍යාල සමග ඒකාබද්ධව කටයුතු කිරීමටත් පනතෙන් අවසරය ලැබේ. එම විශ්වවිද්‍යාලවල සහ ආයතනයන්හි පාලනය සිදුවනු ඇත්තේ කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ දී මෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හා ත්‍රිවිධ හමුදාවේ ඉහල නිලධාරීන් විසින් වන අතර, සිසුන් ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පාගා දැමෙන දැඩ් ම්ලිටරි විනයකට ඔවුන් යටත් කෙරේ.

මෙලෙස මුදල් අය කෙරෙන සහ මිලිටරි විනයෙන් යුත් විශ්ව විද්‍යාල ජාලයක් රජය මගින්ම ස්ථාපිත කිරීම, අධ්‍යාපනය පුද්ගලීකරනය සහ මිලිටරීකරනය සඳහා සියලු දොරටු විවරකරදෙන බවට, අධ්‍යාපන ක්ෂේත්‍රය තුල ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන ජාතික සහ ජාත්‍යන්තර මහා ව්‍යාපාරිකයට ආන්ඩුව විසින් දෙන බලගතු සංඥාවකි.

නව පනත යටතේ නිදහස් අධ්‍යාපන අයිතියට එල්ල කෙරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් දිවයිනේ විවිධ පලාත්වල ශිෂ්‍යයෝ සහ කම්කරුවෝ සසජාතශි සහ සමාජවාදී සමානතා පක්ෂ (සසප) සාමාජිකයන් සමග සාකච්ඡා කලහ. පහත පල වන්නේ රැස්වීමට ලියාපදිංචි වී සිටින අය අතරින් කිහිප දෙනෙකු පල කල අදහස් ය.

කුරුනෑගල දිස්ත්‍රික්කයේ පාසැලක උසස් පෙල ශිෂ්‍යයෙකු වන ලක්මාල්: “මම අධ්‍යාපන ක්ෂේත්‍රය මිලිටරීකරනය කිරීමට විරුද්ධයි. ඒ වගේම අධ්‍යාපනය පෞද්ගලීකරනය වේගවත් වෙද්දී, නිදහස් අධ්‍යාපනය ක්‍රමානුකූලව විනාශ කෙරෙන බැවින් දුප්පත් අයට අධ්‍යාපනය ලබන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. ආන්ඩුවේ එල්ලය අධ්‍යාපනයත් ලාභ ලබන කර්මාන්තයක් කිරීම“ යයි ප්‍රකාශ කලේ ය.

දැන් වසංගතය හේතුවෙන් ක්‍රියාත්මක ඔන්ලයින් අධ්‍යාපනයේ දී දහස් සංඛ්‍යාත ශිෂ්‍යයන්ට අවස්ථා අහිමි වීම, පලල් ලෙස පවතින සමාජ අසමානතාවයේ හා අධ්‍යාපනය කප්පාදුවේම පිලිබිඹුවක් බව ලක්මාල් පැවසීය. පනතට විරුද්ධව උද්ඝෝෂනයේ යෙදුනු සමිති නායකයන් සහ ශිෂ්‍යයන් අත්අඩංගුවට ගැනීම හෙලාදුටු ලක්මාල් කියා සිටියේ, තම පාසලේ ගුරුවරුන් ඇතුලු රටපුරා ගුරුවරුන් ඊට විරෝධය පල කරමින් ඔන් ලයින් ඉගැන්වීම් ප්‍රතික්ෂේප කිරීම සාධාරන බවයි.

ආන්ඩුවේ ප්‍රහාරවල මූලය ලෝක ධනේෂ්වර ක්‍රමයේ පද්ධති ගත අර්බූදය බවත්, ආන්ඩුවලට බලපෑම් දැමීමේ ශිෂ්‍ය හා ගුරු සංගම්වල උද්ඝෝෂනවලින් ආන්ඩුවේ ප්‍රහාර පරාජය කල නො හැකි බවත් සසජාතශි සමාජිකයෝ පැහැදිලි කලහ. “සාමාන්‍ය මිනිස්සු, පාසල් ගුරුවරු සහ සිසුන් කැමති නෑ මිලිටරි පාලනයකට. නමුත් මිලිටරීකරනය හා පෞද්ගලීකරනය පරාජය කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය මට තියෙනව. ඔබේ රැස්වීමෙන් ඒකට විසඳුමක් ලැබෙයි කියල මම හිතනවා“ යයි ඔහු වැඩිදුරටත් පැවසීය.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබු දිනෙත් ප්‍රකාශ කලේ නිදහස් අධ්‍යාපන අයිතිය දැන් බරපතල ලෙස ඛාදනයට ලක් කෙරී ඇති බවයි. “ලංකාවේ හැම ආන්ඩුවක්ම අධ්‍යාපනය පෞද්ගලීකරනයට අවස්ථා පුලුල් කර දෙන්නේ නිදහස් අධ්‍යාපනය සඳහා ආන්ඩුවේ වියදම් කප්පාදු කරමින්. මෑතක ඉදිවුනු, වයඹ සහ සබරගමුව විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ වල පහසුකම් නැති කමින් දැන් ඒවා වසා දමන්න සිදුවෙන තත්වයකට පත්වෙලා. ඒවගේ තැන් තව ගොඩක් තියෙනවා“ යනුවෙන් දිනෙත් ප්‍රකාශ කලේ ය.

ආන්ඩු සියල්ල පුද්ගලීකරනය වේගයෙන් ඉදිරියට ගෙනයන තත්වයක් තුල 2018 දී සයිටම් අරගලය “ජයග්‍රහනය“ කලා යනුවෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) කරන කියාපෑම්වල අර්ථයක් නැතැයි ඔහු කීවේය. “සැබෑ ලෙස නිදහස් අධ්‍යාපන අයිතීන් පුලුල් කිරීමට නම් ඒ සඳහා දැවැන්ත මුදල් සම්භාරයක් වෙන් කල යුතු වෙනවා. ඒත් ඒක කරන්නනම්, විශාල බැංකු සහ කම්හල් ඇතුලු නිෂ්පාදන බලවේග කම්කරු පන්තිය පාලනය යටතෙ ජනසතු කෙරෙන සමාජවාදී වැඩපිලිවෙලට සටන් කලයුතුබව මම පිලිගන්නව.“.

කොලඹ රජයේ රෝහලක හෙදියක් වන ඉසුරි ප්‍රකාශ කලේ ඔන්ලයින් රැස්වීම පිලිබඳව තම රෝහලේ සිටින සසප ආධාරකරුවන්ගෙන් දැනගත් බවයි. “ඇත්තටම මම මීට පෙර දේශපාලනයට කැමැත්තක් තිබුන්නේ නෑ. නමුත් රටේ ලෝකේ සිද්ධ වන දේවල් දැක්කම මට හිතෙනවා මේ පවතින ක්‍රමය වෙනස් කිරීමට කම්කරු පන්තියේ අපි මැදිහත් විය යුතු යි කියලා. ඒ නිසා මම රැස්වීමට සම්බන්ධවීමටත්, ලෝසවෙඅ කියවන්නත් තීන්දු කලා“ යයි ඇය ප්‍රකාශ කලා ය.

මිලිටරි ආඥාදායකත්වයට විරුද්ධව ඇය මෙසේ ප්‍රකාශ කලා ය. “මිලිටරීකරනයේ විපාක මම බුරුමයේ මෑතම අත්දැකීම්වලින් දැක්කා. ලංකාවේත් දැන් රාජපක්ෂ පවුල වටා ප්‍රධාන සංස්ථා සියල්ලම පාලනය වෙන්නේ. ඒ වගේම මිලිටරියට විශාල වියදම් දරමින් මිලිටරිය ඉදිරියට ගනිමින් තියෙනවා“. ආන්ඩුවට හා ධනපති ක්‍රමයට එරෙහිව සටන් වැඳීමේ හදිසිභාවය යලි මතු කල ඉසුරි “වමේ පක්ෂවල එකමුතුවක් ගොඩනැගිය නො හැකි දැයි“ විමසුවා ය.

අධ්‍යාපන පෞද්ගලීකරනය සම්බන්ධයෙන් එවන් “වාම“ සංවිධානවල ක්‍රියාකලාපය සසජාතශි පැහැදිලි කලේ ය. ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) හා එය විසින් නායකත්වය දෙන අවිශිබමය යලි වතාවක් “නිදහස් අධ්‍යාපනය සුරැකීමේ සිසු-ජන ව්‍යාපාරය“ නමින් ධනපති පක්ෂවල, මධ්‍යම පන්තික සංවිධානවල, තවත් ව්‍යාජ-වාම පක්ෂවල හා වෘත්තීය සමිතිවල පෙරමුනක් ගොඩනගා තිබේ.

මෙම පෙරමුනේ එල්ලය බලයේ සිටින ආන්ඩුවට පීඩනය යෙදීමෙන් නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කල හැකිය යන මිත්‍යාව තරුනයන්, ශිෂ්‍යයන් අතර වගා දිගා කිරීමයි.

අවිශිබමය, ආන්ඩුවට පීඩනය වැඩි කිරීමේ නාමයෙන් ආන්ඩුවට විරුද්ධ යයි ප්‍රකාශ කරන පෙර බලයේ සිටියදී මෙම ප්‍රහාරවලට සම්බන්ධ වූ පිරිස් පවා හවුල් කර ගෙන සිටී. පසුගිය සතියේ ප්‍රහාරයට ලක් වූ අවිශිබම විරෝධතාවයේ එල්ලය වූයේ පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීන්ට පනතට විරුද්ධව ඡන්දය දෙන ලෙස බල කිරීමයි.

අධ්‍යාපනය පෞද්ගලීකරනයේ හා නිදහස් අධ්‍යාපන කප්පාදුවේ මූලය වන ලෝක ධනේෂ්වර ක්‍රමයේ පද්ධති ගත අර්බූදය යට ගැසීම මෙම ව්‍යාපාරවල තවත් ප්‍රධාන මූලිකාංගයක් බව සසජාතශි නියෝජිතයෝ පැහැදිලි කලහ.

වසංගතය මගින් තවත් ගැඹුරු කර ඇති ලෝක ධනේෂ්වර අර්බූදය හමුවේ, අපනයන හා සංචාරක කර්මාන්තයේ පසුබෑම සහ විදේශ සංක්‍රමනිකයන්ගේ ප්‍රේෂන ගලා ඒම පහල බැසීම හේතුවෙන් රටෙහි විදේශ සංචිත හිඳී යාමකට රාජපක්ෂ ආන්ඩුව මුහුන දී සිටී. දැවැන්ත නය ගොන්නක් ගෙවීමට බැඳී සිටින ආන්ඩුවට අර්බූදයේ සියලු බර කම්කරු පීඩිත මහජනයා මත පැටවීම හැර වෙනත් විකල්පයක් නැත.

ඒ තත්වය තුල දෙස් විදෙස් ආයෝජකයන්ගේ ලාභ මඩි තර කරදෙන සහ විදේශ විනිමය රැස් කරගත හැකි මාර්ගයක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය දැක ගන්නා ආන්ඩුව පෞද්ගලීකරනය වේගවත් කිරීමට තීන්දු කර තිබේ.

ලංකාවේ සෞඛ්‍යය සේවකයන්, පාසල් ගුරුවරුන්, වරාය කම්කරුවන් හා වතු කම්කරුවන්ගේ අරගල මෙන්ම, යූඒඩබ්ලිව් වෘත්තීය සමිතිය සහ පාලකයන් එක්ව තමාට එරෙහිව සැලසුම් කල ගිවිසුම් ප්‍රතික්ෂේප කරමින් එක්සත් ජනපදයේ වොල්වෝ ට්‍රක් රථ කම්කරුවන් මාසයක් තිස්සේ ගෙනයන අධිෂ්ඨානවත් අරගලය පිලිබඳව සසජාතශි සාමාජිකයෝ දීර්ඝ ලෙස සාකච්ඡා කලහ.

ව්‍යාජ-වාම පක්ෂ හා වෘත්තීය සමිති, ධනේෂ්වර ප්‍රහාර කම්කරුවන් මත පටවන ආන්ඩුවේ හා මහ සමාගම්වල උපකරන බවට පත්ව ඇති තත්වය යටතේ කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීමටත් එම කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනැගීමටත් සසප හා ලෝසවෙඅ මූලිත්වය ගෙන තිබේ.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ සුලු ව්‍යාපාරිකයෙකු වන අයි.කේ.මොහොට්ටි, ලංගුස ලේකම් ජෝසෆ් ස්ටාලින් ඇතුලු වෘත්තීය සමිති නායකයන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයෙන් රඳවා තැබීම හෙලා දැක්කේ ය. නමුත් ඔහු අවිශිබමය ඇතුලු ගුරු සංගම්වල විරෝධතා දේශපාලනය සම්බන්ධව ලෝසවෙඅ හි පලවූ විශ්ලේෂනාත්මක ලිපි කියවා තිබූ හෙයින් ගුරු සංගම්වල හා අවිශිබමයේ දේශපාලනය විවේචනය කලේ ය. “ඔවුන් යලිත් කියන්නේ, සයිටම් එක නතර කලා වගේ විරෝධතා මගින් නව පනතත් නතර කරන්න පුලුවන් කියලා. ආන්ඩුව උපමාරුවක් වශයෙන් තාවකාලිකව මෙම පියවර නතර කල හැකි වුනත් නිදහස් අධ්‍යාපනය නැත්තට ම නැති කිරීම ආන්ඩුවේ එල්ලයයි. ඒ නිසා තමයි පනත යලි ඇවිත් තියෙන්නේ“ යයි මොහොට්ටි ප්‍රකාශ කලේ ය.

නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමට නම්, බිලියන ගනනින් මුදල් ඒ සඳහා වෙන් කල යුතු වුවත් බලයට පත්වන ආන්ඩු ක්‍රියාවට දමන්නේ ලෝක බැංකුවේ සහ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල බව ඔහු වැඩිදුරටත් පැවසීය. “දැවැන්ත විදේශ ගෙවීම් නතර කල හැක්කේ ජාත්‍යන්තර සමාජවාදයේ කොටසක් ලෙස ලංකාවේ බලයට පත්වන කම්කරු-ගොවි ආන්ඩුවකට පමනක් බවට ඔබ කරන පැහැදිලි කිරීමට මම මුලුමනින්ම එකඟයි“.

Loading