කොවිඩ්-19 වසංගතය ශ්‍රී ලංකාවේ ලමුන්ගේ අධික දරිද්‍රතාව තවත් උග්‍ර කරයි

"අනාගතයට ආයෝජනය කිරීම: ශ්‍රී ලංකාවේ ලමුන්ට විශ්වීය ප්‍රතිලාභයක්" නමැති එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ලමා අරමුදලේ (යුනිසෙෆ්) වාර්තාවකින් දිවයින පුරා ලමුන් හා ඔවුන්ගේ පවුල් මුහුන දෙන කටුක කොන්දේසි සහ වර්තමානයේ පවත්නා සමාජ සුරක්ෂිතතා වැඩසටහන්වල අප්‍රමානවත් බව හෙලිදරව් කර ඇත.

කොලඹ ලමුන් (ලෝසවෙඅ මාධ්‍ය)

නොවැම්බර් මාසයේ ලෝක ලමා දිනය දා නිකුත් කරන ලද මෙම වාර්තාව, “විශ්වීය ලමා ප්‍රතිලාභ” සඳහා කැඳවුම් කරයි. මෙම පියවර “කොවිඩ්-19 වසංගතය විසින් ගැඹුරු කරනු ලැබ ඇති, ශ්‍රී ලංකාවේ පවුල් හා ලමුන් මුහුන පාන දරිද්‍රතාව හා අනාරක්ෂිත භාවය අඩු කිරීමේ අත්‍යවශ්‍ය පියවරක්” වනු ඇතැයි එම වාර්තාව සදහන් කරයි.

මැයි මාසයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යුනිසෙෆ් ආයතනය සිදු කල සමීක්ෂන වාර්තාවක මෙසේ සඳහන් විය: “සමීක්ෂනයට බඳුන් කල පවුල්වලින් සියයට 30ක් ඔවුන්ගේ ආහාර පරිභෝජනය අඩුකර තිබේ... කොවිඩ්-19 වසංගතයට පෙර, ලමුන්ගෙන් සියයට 39ක් යකඩවලින් අනූන කිසිදු ආහාරයක් පරිභෝජනය නො කල තතු තුල, මෙම ආහාර වේල්වල වෙනස් කම නිසා ජීවිත-කාලීන විපාක ගෙන එමින් අනාරක්ෂිත ලමුන් අතර මන්දපෝෂන රේට්ටුව තවදුරටත් ගැඹුරු කරනු ඇත.

ශ්‍රී ලංකාවේ බොහෝ පවුල්වලට ප්‍රමානවත් ආදායම් නොමැති බවත්, ඔවුන් ලමුන් ඇතිදැඩි කිරීමේ දී බොහෝ දුෂ්කරතාවන්ට මුහුන දෙන බවත්, "අනාගතයට ආයෝජනය" වාර්තාව හෙලිදරව් වෙයි.

ජාතික දරිද්‍රතා රේට්ටුව අනුව දරිද්‍රතාව තුල ජීවත් වන්නේ අඩු ලමුන් සංඛ්‍යාවක් බව පෙන්නුම් කිරීමට ඉඩ ඇතත්, “යතාර්ථයේ දී ඉතා පහල මට්ටමකින් සකස් කරනු ලබන දරිද්‍රතා රේඛාව, මධ්‍යම ආදායමක් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය පැහැදිලිකිරීම සඳහා තව දුරටත් යෝග්‍ය නො වේ” යි වාර්තාව සටහන් කරයි.

සාමාන්‍යයෙන් ඉහල ආදායම් ලබන පවුල් ඔවුන්ගේ ඉපැයීම්වලින් සියයට 15ට අඩු ප්‍රමානයක් ආහාර සඳහා වියදම් කරද්දී, පවුල්වලින් සියයට 70ට අධික ප්‍රමානයක් ඒවායේ ආදායමින් සියයට 40ට වැඩියෙන් ආහාරවලට වියදම් කරති. එ නිසා, ඔවුන්ගේ අතිශයින් අස්ථීර ආදායම් හේතුවෙන් අනෙකුත් අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවා සඳහා වියදම් කිරීමේ හැකියාව අඩු වේ.

ශ්‍රී ලංකාවේ ලමුන්ගෙන් සියයට හැත්තෑ හතරක් දිනකට රුපියල් 506ක ආදායමක් මත යැපෙන අතර සියයට 36ක් යැපෙන්නේ දිනකට රුපියල් 278ක සොච්චමකිනි. අවම වසයෙන් දරුවන් තිදෙනෙක් සහිත පවුල් අති දුෂ්කර කොන්දේසිවලට මුහුන දෙති.

කොලඹ පැල්පත් (ලෝසවෙඅ මාධ්‍යයේ චායා රූපයකි)

ලමුන්ගේ අධ්‍යාපනික කාර්ය සාධනයන් “ඉගන ගැනීමට උපකාරී වන හොඳ ආහාර ලැබීම සහ නිවසේ පරිසරය වැනි පාසලට පරිබාහිර සාධකයන් මත" රඳා පවතින බව ජාත්‍යන්තර සාක්ෂිවලින් පෙන්නුම් කෙරෙන බව වාර්තාව සඳහන් කරයි. ලමා කාලය පුරා මොලයේ වර්ධනයේ දී ආහාර හා පෝෂනය විසින් ඉටු කරනු ලබන වැදගත් භූමිකාව පර්යේෂනය මගින් පෙන්වා දී තිබේ.

ලමයෙකුගේ වර්ධනයට පලමු දවස් දහස තීරනාත්මක වන්නේ, ප්‍රශස්ත සෞඛ්‍යය, ආයු අපේක්ෂාව හා වර්ධනය සඳහා පදනම් ස්ථාපිත කරනු ලබන්නේ එම කාල පරිච්ඡේදය තුල යයි සැලකෙන නිසා ය. එහෙත්, ශ්‍රී ලංකාවේ අවුරුදු 5ට අඩු ලමුන්ගෙන් සියයට 17ක් හා අවුරුදු 2ට අඩු ලමුන්ගෙන් සියයට 22ක් මිටි බව (stunted-වයසට සරිලන උස නොමැතිවීම) වාර්තා වේ.

කෘෂවීම (wasting-උසට සරිලන බර නොමැතිවීම) පිලිබඳ ව සලකන කල, අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් සියයට 15කට පමන එය බලපාන අතර, එහි දී ශ්‍රී ලංකාව “9වන නරක ම රට” ලෙස වාර්තාගතය. පිලිවෙලින් සියයට 8.6ක් හා 7.5ක් වන ආසියානු හා අප්‍රිකානු සාමාන්‍ය අගයන්ට ඉහලින් ශ්‍රී ලංකාව  පිහිටා සිටී.

මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සියයට 25.4ක් හා 21.8ක් ලෙස ඉහල මට්ටමේ කෘෂ වීම් පෙන්නුම් කරන්නේ “සාගතයට ආසන්න තත්වයට සමාන කොන්දේසීන්" තුල ඔවුන් ජීවත්වන බවය.

බොහෝ ලමුන්ට පාසලට යාමට අවස්ථාව තිබුන ද වයස ඉහල යාමත් සමග පාසලට පැමිනීම අඩු වන බව වාර්තාව පෙන්නුම් කරයි; වයස අවුරුදු 18 වන විට පිරිමි ලමුන්ගෙන් සියයට 50ක් ද ගැහැනු ලමුන්ගෙන් සියයට 40ක් ද පාසල්වලින් එලියට වැටේ. වයස අවුරුදු 15දී හා ඉන් ඉහල දී බොහෝ දෙනා පාසල හැර යන්නේ, ඔවුන්ගේ පවුල්වල අප්‍රමානවත් ආදායම් පිරිමැසීම පිනිස රැකියා සොයා ගැනීමට ය.

තව ද සීමිත ආදායම් සහිත පවුල්වලින් පැමිනෙන ලමයි, ඉගන ගැනීමට උපකාරී වන නිවාස වටපිටාවක් නිර්මානය කරගැනීමේ දී දුෂ්කරතාවන්ට මුහුන දෙති. උදාහරනයක් ලෙස, “වයස අවුරුදු 2-4 අතර දරුවන්ගෙන් සියයට 60කට ම නිවසේ තිබෙන්නේ පොත් පහක් හෝ අඩු ගනනක් බව” වාර්තාව උපුටා දක්වයි.

වාර්තාවේ ප්‍රධාන ඉලක්කය වන්නේ, දැනට පවතින සමාජ සුභසාධන පද්ධතියේ දෝෂ පෙන්වා දෙමින්, ඒ වෙනුවට “විශ්වීය ලමා ප්‍රතිලාභ” පද්ධතියක් යෝජනා කිරීම යි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සමෘද්ධි සහනාධාර වැඩසටහන, 1800 ගනන්වල යුරෝපීය රටවල් තුල ක්‍රියාත්මක කරන ලද හා නිෂ්ඵල ක්‍රමයක් බවට ඔප්පු වී ඇති, යල්පිනූ ආදර්ශයක් අනුගමනය කරමින් ඇතිකල එකකි.

පහල හා මධ්‍යම ආදායම් සහිත රටවල් තුල උපයෝගී කරගනු ලබන දරිද්‍රතාව ඉලක්ක කරගත් වැඩසටහන් සමග සම්බන්ධිත ප්‍රශ්නවලට වාර්තාව අවධානය යොමු කරයි. එවන් වැඩසටහන් පිලිබඳ ව මෑත දී සිදු කල විස්තීර්න විශ්ලේෂනයකට අනුව, සුභසාධන ලැබිය යුත්තන් අතරින් අවම වශයෙන් බැහැර කෙරෙන අනුපාතය සියයට 44ක් බව සොයා ගන්නා ලදී. එහි අර්ථය වන්නේ සහනාධාර ලැබිය යුත්තන්ගෙන් ආසන්න වසයෙන් අඩකට ම ඒවා ලැබී නැති බව යි.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සමෘද්ධි වැඩසටහන, එය ලැබීමට සුදුසුකම් ලබන නිවහන්වලින් සියයට 59ක් බැහැර කරන අතර, වැඩසටහනේ ඉලක්කගත ඵලදායකත්වය සරල ව පුලුල් කිරීම මගින් එවන් වැරදි විසඳා ගනු ලැබිය හැකි ද යන්න පිලිබඳ ව ඇත්තේ සැකසහිත බව වාර්තාව ප්‍රකාශ කරයි.

ඒ වෙනුවට වාර්තාව සීමිත “විශ්වීය ලමා ප්‍රතිලාබ” ක්‍රමයක් යෝජනා කරයි. එහි මූලික සංරචකයක් වන්නේ ලමුන්ගේ පවුල්වලට මාසයකට වරක් මුදල් මාරු කිරීම යි. මෙම ආස්ථාන ඔස්සේ, වාර්තාව විකල්ප දෙකක් ඉදිරිපත් කරයි: “පලමු විකල්පය වයස 0-5 අතර සියලු ලමුන් සමගින් ආරම්භ වන අතර, දෙවැන්න වයස 0-8 අතර ලමුන් සමගින් ඇරඹේ.” විකල්ප දෙකේ දී ම, ලමුන්ට මාසයකට රුපියල් 2,500ක් ලැබෙනු ඇති අතර, 18වන උපන් දිනය තෙක් එය දිගටම පවත්වා ගතයුතුය.

ලමුන් මුහුන දෙන බියකරු ප්‍රශ්න ශ්‍රී ලංකාවට පමනක් සීමා වූ ඒවා නො වේ. දකුනු ආසියාවේ ද ගෝලීය ව ද බොහෝ ලමුන්ට එම ප්‍රශ්න බලපායි. වසංගතය තත්ත්වය පෙර නුවූ විරූ මට්ටමකට ගැඹුරු කොට තිබේ.

"ජීවිත පෙරලයි: දකුනු ආසියාවේ ලමුන් මිලියන 600ක අනාගතයට කොවිඩ්-19 තර්ජනය කරන්නේ කෙසේ ද"  UNICEF report: COVID-19 exacerbating hunger and other maladies facing South Asia’s children, 15 July 2020) නමැති යුනිසෙෆ් වාර්තාව, වසංගතයට පෙර ම දුෂ්කර වූ ජීවන කොන්දේසි කොවිඩ්-19 විසින් ගැඹුරු කරනු ලැබ ඇත්තේ කෙසේ ද යන්න හෙලිදරවු කරයි. වසංගතය සමයේ බොහෝ සේවාවන් බාධනය වී තිබෙන තතු තුල, දකුනු ආසියාවේ ලමුන් මිලියන 600න් මිලියන 240ක් ජීවත් වන්නේ “බහුමානීය දරිද්‍රතාව” යටතේ බව වාර්තාවෙන් පෙන්නුම් කෙරේ.

එහෙත්, විශ්වීය ලමා ප්‍රතිලාභ යටතේ කරනු ලැබ ඇති යෝජනාව වුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවේ ද සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ පාලක පන්තියේ ද විරුද්ධත්වයට ලක්වනු ඇත.

අගුලු දැමීම හේතුවෙන් ආදායම් අහිමි වී ගියේ යයි සැලකුනු සෑම පවුලකට ම ආන්ඩුව රුපියල් 5,000ක් ගෙවූ නමුත් එසේ කලේ අප්‍රේල් හා මැයි මාස සඳහා පමනි. එම මුදල ද බොහෝ දෙනෙකුට නොලැබුනි.

හැටන්හි තේ වත්තක ලයින් කාමර (ලෝසවෙඅ මාධ්‍ය)

 රාජපක්ෂ ආන්ඩුව වසංගතය හසුරුවන ආකාරයෙන් මෙය තව දුරටත් හෙලිදරව් කෙරුනි. ආන්ඩුව දැනට මත් පරිහානියට ලක්කර තිබෙන සෞඛ්‍ය අංශය තව දුර ඛාදනය වීමට ඉඩ හැරියේය.

ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය නොවැම්බරයේ නිකුත් කරන ලද වාර්තාවකට අනුව, පුද්ගලික අංශයේ කම්කරුවන්ගෙන් සියයට 75ක් හෙවත් මිලියන 1.5ක් “දරිද්‍රතාවට ඇද වැටීමේ ඉහල අන්තරායකට” මුහුන දෙයි. ඔවුන්ගෙන් සියයට 68ක් සේවය කරන්නේ කිසිදු සමාජ ප්‍රතිලාභයක් රහිත අනියම් ක්ෂේත්‍රයේ ය.

ඒ හා සමාන ව ගොවීන් හා ධීවරයන් ඇතුලු ගම්බද දුගියෝ අඛන්ඩ ආදායම් අහිමි වීමකට හා දරිද්‍රතාවයකට මුහුන දෙති.

ප්‍රධාන වසයෙන් මහ ව්‍යාපාරිකයට ප්‍රතිලාබ ලබා දෙමින් සංගතයන් සඳහා රුපියල් බිලියන 150ක් සම්පාදනය කරන ලෙස රාජපක්ෂ ආන්ඩුව මහ බැංකුවට නියෝග කලේ ය. මහ බැංකුව එම ප්‍රමානය තවත් රුපියල් බිලියන 28කින් ප්‍රසාරනය කර තිබේ.

මිලියන ගනන් කම්කරුවන්ගේ හා දුගීන්ගේ සෞඛ්‍යය හා ජීවිත ආරක්ෂා කිරීම පිනිස හදිසි පියවර ගැනීම ආන්ඩුවේ ප්‍රමුඛතාව නොවේ. ආන්ඩුව එය ප්‍රතික්ෂේප කිරීම ලමුන් මත අනිවාර්යයෙන් බලපා ඇත.

වසංගතය විසින් ජනනය කරනු ලබන සමාජීය භේදනයන් සඳහා සම්පූර්න වගකීම දරන්නේ, ශ්‍රී ලංකාවේ හා දකුනු ආසියාව පුරා අනුප්‍රාප්තික ආන්ඩු ය. මෙය වනාහි මේ සියලු ආන්ඩු දශක ගනනක් තිස්සේ ක්‍රියාවට දමන ලද කප්පාදුවේ හා “ආයෝජක-ගැති” පිලිවෙත්වල ඍජු ප්‍රතිඵලය යි.

මෙම ලිපිය දෙසැම්බර් 21 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

සමාජවාදී සමානතා පක්ෂය වසංගතයට හා ඒකාධිපතිවාදයට එරෙහි විකල්පය ඉදිරිපත් කරයි

ලෝක බැංකුව: දකුනු ආසියාවේ ආර්ථිකයන් කොවිඩ්-19 වසංගතයෙන් දැඩි ලෙස බැට කෑමට ලක්වේ

ශ්‍රී ලංකාවේ චින්තන පර්ෂදයක් වැඩෙන සමාජ අසමානතාව පිලිබඳ අනතුරු අඟවයි

Loading