විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක සහෝදර සහෝදරියන් වෙත විවෘත ලිපියක්:

පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ මොරටු ශාඛාවේ නායකයන්ගේ මැර ප්‍රහාරය හෙලා දැකීමට එක්වන්න

වසර 25කට වැඩි කාලයක්, මොරටුව විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවකයකු ලෙස සේවය කරන දේහින් වසන්ත වන මම, විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ බලමන්ඩලයට අනුබද්ධ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල කාර්මික නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෙක්මි. මා මෙම ලිපිය ඔබට යොමුකරන්නේ, මටත් මගේ දේශපාලන සගයෙකුටත් නොවැම්බර් 30 දා පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ මොරටුව විශ්වවිද්‍යාල ශාඛාවේ සභාපති සහ ලේකම් ඉන්දික පෙරේරා සහ සුරංග පියවර්ධන එල්ල කල මැර ප්‍රහාරය    හෙලා දකින ලෙස ඉල්ලා සිටීම සඳහායි.

නොවැම්බර් 30දා, ඉහත කී පුද්ගලයන් මට සහ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පූර්න කාලීන සාමාජිකයෙකු වූ ලක්ෂ්මන් ප්‍රනාන්දුට, විශ්වවිද්‍යාලයේ පිටුපස ගේට්ටුව අසල ප්‍රසිද්ධ උද්ඝෝෂනයක යෙදී සිටිය දී කුරිරු ලෙස පහර දුන්හ. මම ද සසප සාමාජිකයෙක්මි. මෙම උද්ඝෝෂනය පැවතියේ සසප (එක්සත් ජනපදය) ජාතික ලේකම් ජෝසෆ් කිෂෝර් විසින් ඇමතීමට නියමිත ව තිබූ ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සරය පිලිබඳ සසප කොලඹ දී පැවැත්වීමට නියමිත ව තිබු ප්‍රසිද්ධ රැස්වීමකට කම්කරුවන්ට හා තරුනයන්ට ආරාධනා කිරීමටයි.

උද්ඝෝෂනයේ මාතෘකාව කම්කරුවන්ට හා තරුනයින්ට දේශපාලනික ව වැදගත් එකක් විය. ලෝකයේ පලමු කම්කරු රාජ්‍යය බලයට ගෙන ආ ලෙනින් හා ට්‍රොට්ස්කි සම නායකත්වය දුන් 1917 ඔක්තෝබර් විප්ලවයේ දී  මිලියන සංඛ්‍යාත රුසියානු කම්කරුවන් මෙහෙය වුනු ක්‍රියාමාර්ගික පදනම වූයේ, ලියොන් ට්‍රොට්ස්කි ඉදිරිපත් කල නොනවතින විප්ලවයේ න්‍යායයි.

අපට එල්ල වූ ප්‍රහාරය කලින් සැලසුම් කල සහ දේශපාලන පෙලඹවීමක් මත සිදු වූවක් බව සියලු සාක්ෂිවලින් පෙන්නුම් කෙරේ. මැරයන්ට අවශ්‍ය වූයේ අපේ ජීවිතවලට හානි කිරීමටයි. ප්‍රගතිශීලී සේවක සංගමයේ එක් මැරයෙකු විසින් මගේ හිසට එල්ල කරන ලද මාරාන්තික පහරක් යන්තමින් මග හැරුනි. කෙසේ වෙතත්, ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මගේ වම් අතේ ඇඟිලි දෙකක අස්ථි බිඳී ගිය අතර මගේ සහෝදර ප්‍රනාන්දුට බරපතල තුවාල සිදු විය. ඇඟිලිවල අස්ථි බිඳී ගිය බැවින් මට සාමාන්‍ය ලෙස වැඩෙහි යෙදිය නොහැක. මම සති හතරක වෛද්‍ය නිවාඩු මත සිටියෙමි. විකලාංග ශල්‍ය වෛද්‍යවරයා මට උපදෙස් දුන්නේ සුවවීමට කල්ගතවන බැවින් පරිස්සම් වන ලෙසයි. මේ තත්ත්වය නව වසර දක්වා දීර්ඝ වී ඇත.

මා තෝරා ගන්නා දේශපාලන මතය දැරීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම මගේ නීත්‍යානුකූල අයිතිය වන අතර, මගේ සගයන් වන ඔබ සියල්ලන්ටම ද මෙම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඇත. මම සමාජවාදියෙකු වෙමි. එම පදනම මත කම්කරු පන්තියේ සහ දුගීන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට සටන් කිරීමට මූලිකත්වය ගැනීමේ ඉතිහාසයක් මට තිබේ. මගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ප්‍රතික්ෂේප කිරීමට හෝ යටපත් කිරීමට කිසිවෙකුට නොහැක. නමුත් මොරටුව විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ වෘත්තීය සමිති ශාඛාවේ සභාපති සහ ප්‍රධාන ලේකම් මෙම අයිතීන් මර්දනය කරනුවස් අපට එරෙහිව ප්‍රචන්ඩත්වය මුදා හැරියහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මේ නායකයින් දෙදෙනාට සහ මොරටුව විශ්වවිද්‍යාලයේ වෘත්තීය සමිති ඒකාබද්ධ බලමන්ඩලයේ නායකයින්ට, වෘත්තීය සමිති රැස්වීම් ඇමතීමේ මගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කඩ කිරීමේ ඉතිහාසයක් ඇත. එම රැස්වීම්වලදී මා කතා කිරීම නැවැත්වීමට ඔවුන් කිහිප වතාවක්ම කායික බලය යොදාගෙන ඇත.

මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී භූමිකාව හුදෙක් මොරටුව විශ්වවිද්‍යාලයේ අනධ්‍යන සේවක වෘත්තීය සමිති ශාඛාවන්ට සීමා වූවක් නොවේ. එය, සමස්තයක් ලෙස සියලු වෘත්තීය සමිති වල ප්‍රධාන නායකත්වයන්ගේ සිට පහල නායකත්වයන් දක්වා සාමාන්‍ය සාමාජිකත්වයට එරෙහි ව ක්‍රියාත්මක වන්නකි. මට සහ මගේ සගයාට එල්ල කල මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී මැර ප්‍රහාරය සම්බන්ධයෙන් අනධ්‍යන සේවක සමිති ඇතුලු සමස්ත සමිති නිලධරය මුනිවත රැකීමෙන් තහවුරු කෙරෙන්නේ ඒ පිලිබඳ ඔවුනගේ පූර්න එකඟතාවය යි.

සමිති නිලධරය වෘත්තීය සමිති තුල හෝ ඒකාබද්ධ වෘත්තීය සමිති බලමන්ඩලය තුල ප්‍රජාතන්ත්‍රවාදයක් පවත්වාගෙන යන්නේ නැත. වෘත්තීය සමිති නායකයින් එවැනි රැස්වීම් කැඳවන්නේ ඔවුන් තීරනය කරන දේ ප්‍රකාශ කිරීමට පමනි. ඔවුන්ට අනුව මා කල “අපරාධය” වනුයේ, අපගේ අරගල පාවා දීම ගැන ප්‍රශ්න කිරීම සහ විවේචනය කිරීම, අපගේ අයිතිවාසිකම් දිනා ගැනීමට සහ ආරක්ෂා කිරීමට ශක්‍ය වැඩපිලිවෙලක් යෝජනා කිරීම, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව අනෙකුත් කම්කරුවන් සමඟ ඒකාබද්ධ වීමට කැඳවීම සහ දේශපාලන වැඩපිලිවෙලක අවශ්‍යතාව පැහැදිලි කිරීම යි.

ඇත්ත වශයෙන්ම, මගේ අදහස් සහ ප්‍රතිපත්ති මෙම වෘත්තීය සමිති නායකයින් සමඟ සෘජු ව ගැටෙයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුන ඇතුලු ධනපති පක්ෂවල සාමාජිකයෝ වෙති. ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවකට ඉඩ දී එමගින් අප සාමාජිකයින්ගේ අවශ්‍යතා ආරක්ෂා කරන වැඩපිලිවෙලක් තීරනය කරනු වෙනුවට ඔවුන් ප්‍රජාතන්ත්‍ර-විරෝධී නිලධාරිවාදී ක්‍රමවේදයන් භාවිතා කරති.

නොවැම්බර් 1 වැනි දා එක්දින සංකේත වැඩවර්ජනයක් ගැන දැනුම් දීම සඳහා පැවැත් වූ රැස්වීමේ දී වෘත්තීය සමිති ඒකාබද්ධ බලමන්ඩලයේ සභාපති ගයාන් පීරිස් මෙසේ පැවසී ය: “තව ප්‍රශ්න ඇත්නම් අහන්න, ඒත් කාටවත් කතා කරන්න අවසර නෑ.”

අපට පහර දීම මගින් වෘත්තීය සමිති නායකයින් කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම කෙරෙහි ඔවුන්ගේ පිලිකුල සහ වෛරය පෙන්නුම් කර ඇත. කම්කරුවන් තමන් වෙනුවෙන් කතා කිරීම අපරාධයක් ලෙස ඔවුන් සලකයි. ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රමවේදයන් සහ ප්‍රචන්ඩත්වය පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ දේශපාලන බංකොලොත්භාවය පමනකි. කම්කරුවන්ගෙන් බහුතරයක් ඔවුන්ගේ ධනේශ්වර ගැති පිලිවෙත් පිලිනොගන්නා බව දන්නා ඔවුහු, මෙම කම්කරුවන් සහ තරුනයන් මා සටන් වදින සමාජවාදී වැඩපිලිවෙලට එක්වනු ඇතැයි බිය වෙති.

ප්‍රකාශනයේ නිදහස පිලිබඳ මූලික අයිතිවාසිකම්වලට එරෙහි ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රම සාධාරනීකරනය සඳහා, මෙම වෘත්තීය සමිති නායකයෝ වෘත්තීය සමිති තුල “දේශපාලනය එපා” යැයි දේශනා කරති. කෙසේ වෙතත්, ඔවුන් ක්‍රියා කරන්නේ ධනපති පක්ෂවලට ඔවුන්ගේ සහයෝගය මත ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් (ලෝසවෙඅ) මෙය දැනගැනීමෙන් කම්පනයට පත්, ශ්‍රී ලංකාව ද ඇතුලු ලොව පුරා කම්කරුවන් සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන් අගය කරන්නන්, මට සහ මගේ සගයාට එරෙහි නිර්ලජ්ජිත ප්‍රහාරය හෙලා දකිමින්  දැනටමත් ප්‍රකාශ දුසිම් ගනනක් නිකුත් කර ඇත.

සසප සාමාජිකයෙකු ලෙස මම දශක තුනක කාලයක් තිස්සේ කම්කරුවන් හා තරුනයන් අතර ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය සඳහා සටන් කරමින් සිටින්නෙමි. කම්කරු පන්තියේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට සටන් කිරීමේ දශක ගනනාවක වාර්තාවක් සසප සතු බව කම්කරුවෝ හොඳින් දනිති.

මා මැදිහත් වූ සෑම තැනකම මම අවධාරනය කර ඇත්තේ, කම්කරුවන්ට සිය අයිතීන් සහ ජීවන කොන්දේසි ආරක්ෂා කර ගත හැක්කේ, සියලු ධනේශ්වර පක්ෂවලින් සහ පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය ඇතුලු ද්‍රෝහී වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීනව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමෙන් පමනක් බවයි.

සෑම කම්කරුවෙකුටම තමා විශ්වාස කරන සහ ගරු කරන දේශපාලන අදහස් දැරීමටත්, ඒ සඳහා කම්කරුවන් අතර උද්ඝෝෂනය කිරීමටත්, ඒවා විවෘතව සාකච්ඡා කිරීමට හා විවාද කිරීමටත් අයිතියක් ඇත. එය ශ්‍රේෂ්ඨ සම්ප්‍රදායක් වන අතර කම්කරු පන්තියේ මූලික අයිතියකි. පීපීඑස්එස් ඇතුලු ධනේශ්වර ගැති වෘත්තීය සමිති නිලධරය, ඔබ-අප වැනි සාමාන්‍ය කම්කරුවන් සතු මෙම මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිලි නොගනී.

වෘත්තීය සමිති ලංකාවේ විශ්ව විද්‍යාල තුල කම්කරුවන්ගේ නිල නියෝජිත ලෙස පාලනාධිකාරිය පිලිගනී. පාලකයන් මාසිකව වෘත්තීය සමිති සමග රැස්වීම් පවත්වයි. වැඩ වේගවත් කිරීම් ඇතුලු මර්දනයන් මොරටුව විශ්ව විද්‍යාලය තුල සැලසුම් කලේ වෘත්තීය සමිති නායකයන් සමග සම්බන්ධීකරනයෙනි. මෙම සැලසුම් පිලිබඳ ව    වෘත්තීය සමිති මෑත ඉතිහාසයේ කම්කරුවන් සමග සාකච්ඡා කොට නැත. කම්කරුවන් මර්දනය ගැන දැනගන්නේ ඒවා ක්‍රියාත්මක වන විට ය. එවිට වෘත්තීය සමිති උත්තරදෙන්නේ “අපි ඕවාට එරෙහිව නොසෑහෙන්න කතාකලා එත් පලක් වුනේ නැහැ” යනුවෙනි.

පාලකයන්ගේ අවශ්‍යතා සනසන පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය ඇතුලු සෑම වෘත්තීය සමිතියක් ම සමස්ථ සාමාජිකත්වයේ ම    ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට විරුද්ධ ය. මින් අවධාරනය කෙරෙන්නේ,    සසප යෝජනා කරන අයුරින් කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සඳහා සටනේ දැවෙන වැදගත්කමයි. ක්‍රියාකාරී කමිටු යනු කම්කරුවන්ගේ ප්‍රජාතනත්‍රවාදී සාකච්චාවෙන් තීන්දු ගන්නා ආයතනයන්‍ ය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝගයන්ට එරෙහි ව සටන් වැදීමට කම්කරුවන්ට එවැනි සංවිධාන අවශ්‍ය වේ.

වෘත්තීය සමිති නායකත්වයන්ගේ ද්‍රෝහී ක්‍රියාකලාපය පිලිබඳ හොඳ ම උදාහරනය පසුගිය වසරේ සිදු වූ මහජන අරගලය පාවාදීමයි. එය සිදුකලේ කම්කරුවන්ගේ සාකච්චාඡාකට මග ඇහිරිමෙනි. සාකච්ඡාවක් ඇති වුයේ නම් ධනපති අන්තර්කාලීන ආන්ඩුවක් පිහිටුවන ලෙස සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුන ගෙන ආ යෝජනාවලට තම අරගලය යට කිරීමට කම්කරුවන් එකහෙලා විරුද්ධ වන බව සක් සුදක් සේ විශ්වාස ය.

අපට එරෙහිව කායික ප්‍රචන්ඩත්වය එල්ල වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවන ලද දැඩි කප්පාදු පියවර ක්‍රියාත්මක කරමින් සිටින පසුබිමක ය. එහි ප්‍රතිඵලයක් ලෙස විශ්වවිද්‍යාල ඇතුලු ආයතනවල රැකියා ලක්ෂ ගනනකට තර්ජන එල්ල වී ඇති අතර සේවා කොන්දේසි සහ වැටුප් කප්පාදු වෙමින් පවතී. කම්කරුවන්ට තම රැකියා සහ කොන්දේසි ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් මෙම වෘත්තීය සමිති නිලධරයන් කෙරෙහි විශ්වාසය තැබිය නොහැක. ඇත්ත වශයෙන්ම, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මෙම අයිතීන්ට පහර දෙන ආන්ඩුවේ ආධාරකරුවෝ වෙති.

අනධ්‍යයන කාර්ය මන්ඩලයේ මගේ හිතවත් සහෝදරවරුනි, සහෝදරියනි: ඔබ මෙවැනි මැරකම්වලට, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලට සහ අපගේ අයිතිවාසිකම්වලට පහර දෙන ආන්ඩුවට සහ පාලක පන්තියට සේවය කරන අයට විරුද්ධ බව මගේ විශ්වාසය යි. එම වෘත්තීය සමිති නායකයින් විසින් සිදු කරන ලද ප්‍රචන්ඩත්වය හෙලා දකින ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට සහාය දෙන ලෙසත් මම ඔබෙන් ඉල්ලා සිටිමි.

තවද, මා හිතවත් අනධ්‍යයන සේවක සගයනි, මෙම වෘත්තීය සමිති නිලධරයන් පිලිබඳ අප සැමගේ පොදු අත්දැකීම, විශේෂයෙන්ම අපගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා අප ගත යුතු ක්‍රියාමාර්ග සහ වැඩපිලිවෙල පිලිබඳව වෘත්තීය සමිති තුල කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවකට ඉඩ නොදීමේ ඔවුන්ගේ භූමිකාව, මෙම නිලධරයන්ගෙන් ස්වාධීනව සංවිධානය වීමේ අවශ්‍යතාවය අවධාරනය කරයි. එයින් අවශ්‍ය නිගමන උකහා ගනිමින්, ස්වාධීන ක්‍රියාකාරී කමිටු ඔබේ සේවා ස්ථානයේ පිහිටුවාගෙන මූලික සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් රැකගැනීමේ අරගලය ඔබ අතට ගන්නා ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි.

මෙයට,

සහෝදරත්වයෙන්,

දෙහින් වසන්ත.

වැඩිදුර කියවන්න

Loading