ශ්‍රී ලංකාවේ සසප, තම සාමාජිකයින්ට පාලක පක්ෂයේ මැරයන් විසින් එල්ල කරන ලද ප්‍රචන්ඩ ප්‍රහාරය හෙලා දකී

[මෙය SEP (Sri Lanka) denounces violent assault by ruling party thugs on its members යන මැයෙන් 2023 දෙසැම්බර් 05 පල කෙරුනු ප්‍රකාශයේ පරිවර්තනයයි.]

පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ (පීපීඑස්එස්) මොරටුව විශ්වවිද්‍යාල ශාඛාවේ සභාපති සහ ලේකම් ඉන්දික පෙරේරා සහ සුරංග පියවර්ධන, බ්‍රහස්පතින්දා සවස සමාජවාදී සමානතා පක්ෂ (සසප) සාමාජිකයින් දෙදෙනෙකුට ප්‍රචන්ඩ ලෙස පහර දුන්හ.

පීපීඑස්එස් යනු, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තෝරා පත්කරගත් සහ හිටපු ජනාධිපති සහ අගමැති මහින්ද රාජපක්ෂ විසින් නායකත්වය දෙන දක්ෂිනාංශික පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොපෙ) විසින් පාලනය කරනු ලබන වෘත්තීය සමිතියකි.

දේහින් වසන්ත, ප්‍රහාරයෙන් බරපතල ලෙස තුවාල ලැබූ සසප සාමාජිකයන්ගෙන් එක් අයෙකි. ඔහු වසර 25 කට වැඩි කාලයක් තිස්සේ මොරටුව විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවකයෙකි. වසන්ත ශ්‍රී ලංකා කාර්මික නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෙකු වන අතර සමාජවාදී ප්‍රතිපත්ති සහ විශ්වවිද්‍යාලයේ කම්කරුවන්ගේ සහ සිසුන්ගේ අයිතීන් සඳහා සටන් කරන්නෙකු ලෙස ඔවුන් අතර ප්‍රසිද්ධය. ප්‍රහාරයට ලක් වූ අනෙක් සසප සාමාජිකයා වන්නේ පූර්න-කාලීන පක්ෂ සාමාජිකයෙකු වන ලක්ෂ්මන් ප්‍රනාන්දු ය.

සසප මෙම රුදුරු ප්‍රහාරය හෙලා දකින අතර ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තරව කම්කරුවන්, තරුනයින් සහ ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටින්නේ නිදහසේ දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදීමට අප පක්ෂයට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරන ලෙසයි. සසප යනු හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව යි.

නීතියේ සම්පූර්න බලය යොදා වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටිමු.

මෙම ප්‍රහාරය එල්ලවූයේ, සසප (එක්සත් ජනපදය) ජාතික ලේකම් ජෝසප් කිෂෝර් විසින් ඇමතීමට නියමිත ඉදිරි මහජන රැස්වීම් සඳහා සසප සාමාජිකයින් කන්ඩායමක් මොරටුව විශ්වවිද්‍යාලයේ පසුපස ගේට්ටුව අසල උද්ඝෝෂනය කරමින් සිටියදී ය. ඔවුන් “එක්සත් ජනපදයේ සසප ජාතික ලේකම් ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සරය පිලිබඳ රැස්වීම් ඇමතීමට ශ්‍රී ලංකාවේ සංචාරයක” යන මැයෙන් වූ දැන්වීමක් බෙදා හරිමින් සිටියහ.

සසප සාමාජිකයෙකු මොරටුව විශ්වවිද්‍යාල සිසුන් අතර උද්ඝෝෂනයේ යෙදෙමින්

සවස හයට පමන සිසුන්ගේ සංචරනය අඩු වූ විට, සසප සහෝදරවරු සිය උද්ඝෝෂනය අවසන් කිරීමට සූදානම්ව සිටියහ.

පසුව පොලිසියට කරන ලද විධිමත් පැමිනිල්ලේ සඳහන් වූ ආකාරයට, වෘත්තීය සමිති නිලධාරීන් දෙදෙනා වන පෙරේරා සහ පියවර්ධන දිගු ලී මුගුරුවලින් සන්නද්ධව කුලී ත්‍රිරෝද රථයකින් පැමිනියහ.

ඔවුන් වසන්ත දෙසට දිව ආවේ “අපි අද තෝව ඉවර කරනවා. ආයෙ කැම්පස් එකට එන්න දෙන්නෙ නෑ,' යයි කෑ ගසමිනි. පෙරේරා වසන්තගේ හිසට ලී මුගුරකින් පහර දීමට උත්සාහ කල අතර එය මාරාන්තික පහරක් විය හැකිව තිබුනි.

වසන්ත ප්‍රහාරය වැලකූ නමුත් තවත් පහරකින් ඔහුගේ වම් අත තුවාල වී ඇඟිලි දෙකක් කැඩී ගියේය (වෛද්‍ය වාර්තා අනුව 4 වැනි සහ 5 වැනි මෙටාකාපල් [අත්ලේ] අස්ථි බිඳී ගොස් තිබුනි). පියවර්ධන වසන්තගේ උපැස් යුවල ද පොඩිපට්ටම් කරමින් පහර දුන්නේය.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ සසප සාමාජික දෙහින් වසන්ත

ලක්ෂ්මන්ගේ බෙල්ල තුවාල විය; ඔහුගේ ශරීරයේ පිට පෙදෙසේ තැලීම් සහ සීරීම් ද තිබුනි.

අනෙකුත් සසප සාමාජිකයන් පැමිනි විට මැරයන් දෙදෙනා පිටව ගියහ.

මෙම ප්‍රහාරය කලින් සැලසුම් කල එකකි. සසප සාමාජිකයන් එදින ප්‍රචාරක කටයුතුවල නිරත වන බව ඔවුන්ගේ ශිෂ්‍ය උදව්කරුවන් කිහිප දෙනෙකු හරහා මැරයන් දැන සිටියහ; ඔවුන් කැටුව පැමිනි ඔවුන්ගේ ශිෂ්‍ය උදව්කරුවන් අපගේ සහෝදරවරුන්ට එල්ල කල ප්‍රචන්ඩ ප්‍රහාරය දෙස බලා සිටියහ.

වසන්ත සසප ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත්වලට සටන් කරන්නෙකු ලෙස ප්‍රහාරකයෝ හොඳින් දැන සිටියහ. ඔහු වෘත්තීය සමිති නිලධරයේ ආන්ඩු ගැති සහ ධනේශ්වර ගැති ප්‍රතිපත්ති හෙලිදරව් කරමින් අනධ්‍යයන සේවකයින්ගේ අයිතීන් සඳහා කරන සටනේ ප්‍රමුඛ උද්ඝෝෂකයෙකි.

වෘත්තීය සමිති රැස්වීම් වලදී, මෙම නිලධාරීහු ඔහු කතා කිරීම වැලැක්වීමට ද ඇතැම් විට ඔහුට ශාරීරිකව පහර දීමට ද උත්සාහ කලහ. විශේෂයෙන්ම, ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවීමේ වසන්තගේ උද්ඝෝෂනයට ඔවුන් තම සතුරුකම ප්‍රකාශ කර ඇත.

අපේ සහෝදරවරු පක්‍ෂයේ නීතීඥයා ද කැටුව මොරටුව පොලිසියට ගොස් පැමිනිල්ලක් ඉදිරිපත් කලහ. ඔවුන්ගේ තත්වය බරපතල බැවින් පොලිසිය ඔවුන්ව අසල පිහිටි ලුනාව මහජන රෝහල වෙත රැගෙන ගියේය. එහි එක්ස්-කිරන පහසුකම් නොතිබූ නිසා, පසුදින වසන්ත දකුනු කොලඹ ශික්ෂන රෝහලට යවන ලද අතර එහිදී ඔහුගේ වම් අතේ අස්ථි බිඳීමක් සිදුව ඇති බව සොයාගැනුනි.

සෙනසුරාදා, සහෝදරවරුන් දෙදෙනාම රෝහලෙන් පිටව ගිය නමුත් වෛද්‍ය පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස උපදෙස් දෙන ලදී. වසන්තගේ වම් අතට වෙලුම් පටියක් දමා ඇති අතර අස්ථි බිඳීම සුව වන තුරු එය භාවිතා කල නොහැක. වැඩිදුර ප්‍රතිකාර සඳහා සායනයකට යා යුතුය. ලක්ෂ්මන්ගේ මුහුනේ, බෙල්ලේ සහ පිටේ පැලැස්තර දමා තිබේ.

ප්‍රහාරයෙන්, සසප සාමාජික ලක්ෂ්මන් ප්‍රනාන්දුගේ මුහුනේ සහ පිටේ තුවාල සිදුව තිබූ අයුරු

වෘත්තීය සමිති නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන සිකුරාදා රක්ෂිත බන්ධනාගාරගත කෙරිනි. කෙසේ වෙතත්, නීතීඥවරයා විසින් මැරයන් ප්‍රවාහනය කිරීමට යොදාගත් කුලී රථයේ අංකය ලබාදුන්නද එය පොලිසිය භාරයට නොගත්තේ නීත්‍යානුකූලව එසේ කිරීමට අවශ්‍යව තිබියදීය.

පෙරේරා සහ පියවර්ධන සෙනසුරාදා මොරටුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලදී.

මහේස්ත්‍රාත්වරයාගේ විමර්ශනයේදී සසප වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැහැදිලි කලේ, ඔවුන් දෙදෙනා රටේ ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකමක් වන ප්‍රකාශනයේ නිදහස අමු අමුවේ උල්ලංඝනය කර ඇති බවයි. ඔවුන් සසප සාමාජිකයින්ට එරෙහිව කුමන්ත්‍රන කිරීමටත් මාරාන්තික විය හැකිව තිබූ කායික ප්‍රහාරය සංවිධානය කිරීමටත් ආන්ඩු පක්ෂය සමඟ ඇති තම සමීප සබඳතාව භාවිතා කර ඇති බව ඔහු පැවසීය.

සසප කන්ඩායම විසින් බෙදා හරින ලද පත්‍රිකාව උසාවියේදී නීතිඥවරයා ඉදිරිපත් කලේය. සසප රටේ මැතිවරන කොමිසම විසින් පිලිගත් ජාතික දේශපාලන පක්ෂයක් පමනක් නොව එහි ප්‍රතිපත්තිමය දේශපාලනය සඳහා ලොව පුරා ප්‍රකට හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) කොටසක් ද බව ඔහු පැහැදිලි කලේ ය.

මෙම පක්‍ෂයේ සාමාජිකයන්ට පහරදීම, දේශපාලනයේ යෙදීමට, ඕනෑම අයෙකු සහ සමස්ත සමාජය සතු මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන සාපරාධී ප්‍රහාරයක් ලෙස සැලකිය යුතු බව නීතිඥවරයා යලි අවධාරනය කලේය.

වෘත්තීය සමිති නායකයින් පාලක පක්‍ෂයේ සහාය ලබන මැරයන් ලෙස කටයුතු කරන ආකාරය පැහැදිලි කරමින් ඔහු පෙන්වා දුන්නේ මෙය ස්වයංසිද්ධ ප්‍රහාරයක් නොවන බවයි. මැරයන් ත්‍රිරෝද රථයක් කුලියට ගෙන, ලී පොලු ආයුධ ලෙස ලබාගෙන සසප සාමාජිකයන් හඹාගොස් පාර මැදදී ඔවුන්ට පහර දුන් බැවින් එය සැලසුම් සහගත අපරාධයකි.

පෙරේරා සහ පියවර්ධන, පාලක පක්ෂය සමග ඔවුන්ට පවත්නා සමීප දේශපාලන සම්බන්ධතා භාවිතා කල හැකි බැවින්, ඔවුන් අත්අඩංගුවේ සිට නිදහස් කිරීම සසප සාමාජිකයින්ට හානිකර වනු ඇති බවට නීතිඥවරයා තර්ක කලේය.

පෙරේරාට සහ පියවර්ධනට ඇප ලබාදීමට පාර කැපූ පොලිසිය වින්දිතයින්ට සුලු තුවාල සිදුවූ බව වැඩබලන මහේස්ත්‍රාත්වරයාට පවසමින් සිද්ධිය හෑල්ලු කලේය. කුලී රථය භාරයට නොගත්තේ මන්දැයි මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් ප්‍රශ්න කලේය.

නීතීඥවරයා ලෝසවෙඅ වෙත පැවසුවේ පොලිසිය මැරයන් දෙදෙනාට පක්ෂග්‍රාහීව ක්‍රියා කර ඇති බවයි.

වැඩබලන මහේස්ත්‍රාත්වරයා විත්තිකරුවන්ට ඇප ලබා දුන්නේ, රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් සහ සෑම ඉරිදාවකම පොලිසියට වාර්තා කිරීම ඇතුලු දැඩි කොන්දේසිවලට යටත්ව ය.

සසප දේශපාලන ක්‍රියාකාරකම් කඩාකප්පල් නොකරන ලෙස චූදිතයින්ට අවවාද කරන ලදී.

සසප සහ සමාජ සමානතාව උදෙසා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), අපගේ සහෝදරවරුන්ගේ ආරක්ෂාව සඳහාත්, එහි දේශපාලන ක්‍රියාකාරකම් කරගෙන යාමට පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කිරීම සඳහාත් උද්ඝෝෂනය කරනු ඇත.

මොරටුව විශ්ව විද්‍යාලයේ මෙම වෘත්තීය සමිති නායකයින්, කම්කරුවන් අතර විරුද්ධත්වය නිහඬ කිරීම සඳහා බොහෝ වැඩපලවල ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මැර කල්ලිවල කොටසකි.

ජනතාව අතර මුලුමනින්ම අපකීර්තියට පත්ව ඇති පාලක පක්ෂය මංමුලා සහගතය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රීලංපොපෙ තන්ත‍්‍රය, මිලියන ගනනක් කම්කරුවන්ගේ, ගම්බද දුගීන්ගේ හා තරුනයන්ගේ මහජන නැගිටීමකින් පසුගිය වසරේ නෙරපා හරින ලදී. පෙර නොවූ විරූ ධනේශ්වර ආර්ථික අර්බුදයක දැවැන්ත බර තමන් මත පැටවීම සම්බන්ධයෙන් පාලන තන්ත‍්‍රය හෙලා දකිමින් මහජනතාව පාරට බැස්සාහ.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පසුගිය වසරේ මැයි 9 දා කොලඹ දී, ගාලුමුවදොර පිටිය වාඩිලාගෙන විරෝධතාවයේ නිරත වූ ජනතාවට ප්‍රචන්ඩත්වය මුදාහරින ලෙස එහි වෘත්තීය සමිති ඇතුලු මැරයින් දහස් ගනනක් යොමු කලේය.

කෙසේ වෙතත්, මහජන කෝපය මධ්‍යයේ ඔහුගේ ආන්ඩුව බිඳ වැටුනි. අපකීර්තියට පත් ගෝඨාභය රාජපක්ෂට රටින් පැන ගොස් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය. වෘත්තීය සමිති නිලධරයන් හා ව්‍යාජ-වාම කන්ඩායම් විසින් කම්කරුවන්ගේ නැගිටීම පාවාදීම ගසාකමින්, ශ්‍රීලංපොපෙ, එක්සත් ජනපද ගැති ආවතේවකාර වික‍්‍රමසිංහ විධායක ජනාධිපති ධුරයට ඔසවා තැබීමට පාලක ප‍්‍රභූවේ කොටස් සමග කුමන්ත‍්‍රනය කලේය.

වික්‍රමසිංහ සහ ශ්‍රීලංපොපෙ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද කප්පාදු වැඩපිලිවෙලට අනුව, රැකියා, වැටුප් හා විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම, පුද්ගලීකරනය, මහජන සෞඛ්‍යය හා අධ්‍යාපනය ඇතුලු සමාජ වැඩසටහන් කප්පාදු කිරීම සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල දරාගත නොහැකි මට්ටම් වලට ඉහල දැමීම නිර්දය ලෙස ක්‍රියාවට නංවති.

එහි ප‍්‍රතිඵලයක් ලෙස වික‍්‍රමසිංහ තන්ත‍්‍රය කම්කරුවන්ගේ, ශිෂ්‍යයන්ගේ සහ ගම්බද දුගීන්ගේ දැවැන්ත විරෝධයකට මුහුන දී සිටී. වෘත්තීය සමිති නිලධරයන් යොදා ගනිමින් මෙම මහජන විරෝධය වැලැක්වීමට උත්සාහ කරන අතරම, වැඩෙන විරුද්ධත්වය තලා දැමීම සඳහා මර්දනකාරී පොලිස්-මිලිටරි යාන්ත්‍රනය සහ මැර කල්ලි ද මුදා හරිමින් සිටී.

වෘත්තීය සමිති නිලධරයන් ඇතුලු ආන්ඩුව සහ එහි ආධාරකරුවන්, ජීවන තත්වයන්ට එල්ල කරන ප‍්‍රහාර හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මර්දනයට එරෙහිව කම්කරුවන් හා ශිෂ්‍යයන් අතර සසප විසින් දියත් කරන ලද සමාජවාදී වැඩපිලිවෙලේ වැඩෙන බලපෑම පිලිබඳව විශේෂයෙන්ම බිය වෙති.

පක්ෂයේ උද්ඝෝෂකයින් විසින් බෙදා හරින ලද සසප පත්‍රිකාව මෙසේ පැහැදිලි කරයි:

පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලයේ සියොන්වාදී රාජ්‍යයේ මිනීමරු වැටලීම ද ඇතුලු අධිරාජ්‍යවාදී යුද්ධයේ පිපිරීම, 20 වන සියවසේ නොවිසඳුනු සියලු ගැටලු වලට ජාත්‍යන්තර කම්කරු පන්තිය හා තරුනයින් අභිමුඛ කරයි. කම්කරුවන් හා පීඩිත ජනතාව මුහුන දෙන සියලු දැවෙන ප්‍රශ්න—සමාජ අසමානතාවය, යුද්ධය, කෝවිඩ්-19 වසංගතය, දේශගුනික විපර්යාස, රාජ්‍ය මර්දනය සහ ඒකාධිපතිවාදයේ සහ ෆැසිස්ට්වාදයේ නැගීම—ජාත්‍යන්තර ගැටලු වන අතර ඒවාට කම්කරු පන්තියේ ගෝලීය හා විප්ලවවාදී විසඳුමක් අවශ්‍ය වේ.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය චීනයට එරෙහි සිය යුද සූදානම තීව්‍ර කරන තතු තුල, ශ්‍රී ලංකාව ඇතුලු සමස්ත දකුනු ආසියානු කලාපයම භූ දේශපාලනික ආතතීන්ගේ ගෝලීය සුලි කුනාටුවකට ඇද දමා ඇත. අවශ්‍ය වන්නේ කම්කරු පන්තියේ බලගතු සමාජවාදී හා ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයකි.

සසප පදනම් වී ඇති වැඩපිලිවෙල මෙයයි. මෙම ප්‍රහාරය හෙලා දකිමින් විරෝධතා සටහන් යොමු කරන ලෙස අපි කම්කරුවන්, තරුනයින් සහ සිසුන්ගෙන් ඉල්ලා සිටිමු‍.

විරෝධතා සටහන් පහත දැක්වෙන ඊමේල් ලිපිනයන්ට යොමු කල යුතුයි. තව ද එම විරෝධතා සටහන් wswscmb@sltnet.lk යන සසප ඊමේල් ලිපිනයට කොපි කරන්න.

  1. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එන්. ඩී. ගුනවර්ධන, උපකුලපති, මොරටුව විශ්වවිද්‍යාලය, ඊමේල් ලිපිනය: vc@uom.lk හෝ ndg@uom.lk
  2. නීතිපති, සංජය රාජරත්නම් මහතා, ඊමේල් ලිපිනය: agdurgentmotions@gmail.com

දෙසැම්බර් 7 දා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ අංක 86 දේශන ශාලාවේ දී සවස 3 ටත්, කොලඹදී, දෙසැම්බර් 10 වැනි දින නව නගර ශාලාවේදී සවස 3 ටත් එක්සත් ජනපදයේ සසප ජාතික ලේකම් ජෝසප් කිෂෝර් සහෝදරයා විසින් අමතනු ලබන අපගේ වැදගත් මහජන රැස්වීම්වලට සහභාගී වන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

වැඩි දුර අධ්‍යයනය සඳහා පහත ලේඛන

විශ්ව විද්‍යාල වෘත්තීය සමිති නිලධරය සසප සාමාජිකයන්ට එරෙහිව යලිත් මැර ප‍්‍රහාරයක් එල්ල කරයි

Loading