ඉදිරිදර්ශන

වික්‍රමසිංහ ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙල පරාජය කිරීම සඳහා: කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගනු! කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කරා පෙරට!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුව තීව්‍ර කර ඇති මුර්ග කප්පාදු වැඩපිලිවෙලින්, රැකියා, වැටුප්, සේවා කොන්දේසි සහ සමාජ අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ කම්කරුවන් 2024 දී තීරනාත්මක පන්ති සටන්වලට පිවිසීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) අනතුරු අඟවා ඇත්තේ, කප්පාදු පියවරයන් ක්‍රියාත්මක කිරීමට ආන්ඩුව අපොහොසත් වුවහොත් ඩොලර් බිලියන 3ක නයේ ඊලඟ වාරික නොලැබෙන බවයි.

2023 පෙබරවාරි 4දා කොලඹ පැවති 75 වන නිදහස් දින උත්සවයේ දී සන්නද්ධ හමුදා ප්‍රධානීන් පෙරටු කොටගෙන පැමිනෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ. (ඡායාරූපය: ජනාධිපති මාධ්‍ය අංශය) [Photo: Sri Lanka president’s media division]

ලබන වසර ආරම්භ වන්නේ, එකතු කල අගය මත බද්ද (වැට්) සියයට 18 ක් දක්වා ඉහල දැමීමෙනි—එමගින් සියලුම අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවා වල මිල පිම්මේ ඉහල යනු ඇත. ශ්‍රීලන්කන් ගුවන් සේවය, ටෙලිකොම්, විදුලිය, පෙට්‍රෝලියම්, තැපැල්, රාජ්‍ය බැංකු සහ රක්ෂනය වැනි රජය සතු ප්‍රධාන ව්‍යවසායන් පෞද්ගලීකරනය කිරීම ලබන වසරේ න්‍යායපත්‍රයට ඇතුලත් ය. රාජ්‍ය අධ්‍යාපනය හා සෞඛ්‍යය තවදුරටත් කපාහෙලීමට නියමිත ය.

පැහැර හරින ලද විදේශ නය ආපසු ගෙවීමත්, ලාභ පිපාසිත ජාත්‍යන්තර ආයෝජකයින් 'ආකර්ෂනය' කර ගැනීමත් සඳහා 'නය තිරසාරභාවය' සහතික කිරීමට ආන්ඩුව විසින් මෙම පියවර ගත යුතු වේ. කම්කරුවන් හා දුගීන් සම්බන්ධයෙන් මෙම කප්පාදු පියවර ක්‍රියාත්මක වනු ඇත්තේ, වැටුප්, සේවා සහ ජීවන කොන්දේසි කප්පාදු කරමින් හා තවත් ලක්ෂ ගනනකගේ රැකියා අතුගා දමමිනි.

කම්කරු පන්තියට, සිය සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගැනීමේ සටනේදී වික්‍රමසිංහ තන්ත්‍රය සහ ධනේශ්වර පංතිය වෙනුවෙන් පසුගිය සෑම අරගලයක්ම කඩාකප්පල් කොට, ජාමූඅ නියෝග ක්‍රියාත්මක කිරීමට ඉඩ සැලසූ වෘත්තීය සමිති කෙරහි විශ්වාසය තැබිය නොහැක

2023 ජනවාරි 30 වැනි දින කොලඹ වරාය සේවකයෝ රජයේ ආදායම් බදු වැඩි කිරීමට එරෙහිව දිවා ආහාර වේල තුල විරෝධතාවයට එක්වීමට [වැඩබිමෙන්] එලියට එන අයුරු. [ඡායාරූපය: ලෝසවෙඅ]

තම අයිතීන් සඳහා සටන අතට ගැනීම සඳහා සෑම සේවා ස්ථානයකම, කර්මාන්ත ශාලාවකම, වතුකරයේ සහ ඔවුන්ගේ නිවහන් පෙදෙස්වල සිය ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස සමාජවාදී සමානාත්මතා පක්ෂය (සසප) කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. තම ප්‍රදේශවල එවන් ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස ග්‍රාමීය දුප්පතුන්ගෙන් ද අපි ඉල්ලා සිටිමු.

එම ක්‍රියාකාරී කමිටුවලින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරගත් නියෝජිතයන්ගෙන් සැදුම්ලත්, කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීම සඳහා උද්ඝෝෂනය කරන ලෙස ද සසප කම්කරුවන්ගෙන්, ග්‍රාමීය දුප්පතුන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටී.

ජනවාර්ගික බෙදීම් කපාගෙන කම්කරුවන් එක්සත් කිරීමටත්, සියලු ධනපති පක්ෂවලින් ස්වාධීනව, ඔවුන්ගේ කාර්මික හා දේශපාලන ශක්තිය බලමුලු ගන්වමින් වික්‍රමසිංහ තන්ත්‍රය පලවාහැරීමටත් පදනම් දැමීමට එවැනි බලකේන්ද්‍රයක් ගොඩනැගීම තීරනාත්මකව අවශ්‍ය වේ. එමෙන්ම, එම බලකේන්ද්‍රය ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන කම්කරු හා ගොවි ආන්ඩුවකට මග පාදනු ඇත.

පසුගිය වසරේ මහජන නැගිටීමේ පාඩම් උකහා ගනිමින්, 2022 ජූලි 20 වන දින සසප මෙම කැඳවුම නිකුත් කලේය. අප පැහැදිලි කලේ: 'පාලක පන්තියේ අලුත් [වික්‍රමසිංහ] ආන්ඩුවට ඇත්තේ එකම අභිලාශයක් පමනි: මහජන විරෝධයේ ගෙල සිරකරන අතරම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද, එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදයන් හා ශ්‍රී ලංකාවේ පාලක පන්තියද විසින් ඉල්ලා සිටින ම්ලේච්ඡ කප්පාදු වැඩපිලිවෙල පැනවීම යි.'

මෙම ප්‍රකාශය තුල අප විසින් පැහැදිලි කර ඇති දේ සහ එහි ඉදිරිපත් කර ඇති විප්ලවවාදී වැඩපිලිවෙල මුලුමනින්ම සනාථ වී තිබේ. කම්කරුවන්ට සහ දුප්පතුන්ට ධනපති ආන්ඩුවේ ප්‍රතිගාමී ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීමට වෙනත් විකල්පයක් නැත.

මෙම අරගලයේ දී ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ මිත්‍රයන් වන්නේ, සිය ජාත්‍යන්තර කම්කරු පන්ති සහෝදර සහෝදරියන් ය. සංගත හා මූල්‍ය කතිපයාධිකාරය විසින් තම සමාජ අයිතීන්ට එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව ඔවුහු ද අරගලයේ යෙදී සිටිති.

ගැඹුරු වන ලෝක ධනවාදී අර්බුදය මධ්‍යයේ, එක්සත් ජනපදය සහ නැටෝව යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව යුද්ධ කරමින්, ගාසා තීරය ආක්‍රමනයට සහයෝගය දෙමින් සහ චීනය සමඟ මිලිටරි ගැටුමක් සඳහා සූදානම් වෙමින් සිටී. මෙම රටවල පාලන තන්ත්‍රයෝ යුද්ධ සඳහා වියදම් කිරීමට, කම්කරු පන්තියේ සමාජ අයිතිවාසිකම් කප්පාදු කරමින් ඩොලර් බිලියන ගනන් සූරාගනිමින් සිටිති.

පසුගිය මාස දොලහ තුල එක්සත් ජනපදය, යුරෝපය සහ අනෙකුත් අධිරාජ්‍යවාදී රටවල සිට 'පසුගාමී' රටවල් දක්වා කම්කරු පන්තිය මෙම ප්‍රහාරවලට එරෙහිව අරගලවලට පැමිනියහ. ගාසා තීරය තුල සියොන්වාදී තන්ත්‍රයේ ජන සංහාරයට විරුද්ධව මිලියන සංඛ්‍යාත කම්කරුවන් සහ තරුනයින් අඛන්ඩව වීදි බසිමින් සිටිති.

ආර්ථික අර්බුදයේ බර පැටවීමට එරෙහිව මිලියන සංඛ්‍යාත කම්කරුවන් සම්බන්ධ වූ ලංකාවේ අප්‍රේල්-ජූලි මහජන නැගිටීමෙන් දැන් මාස දහඅටක් ගතවී ඇත. මෙම වෘත්තීය සමිති නායකයෝ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ වාම කන්ඩායම්වල ද සහාය ඇතිව, දේශපාලන අර්බුදයෙන් ධනේශ්වර පාලනය ආරක්ෂා කිරීමේ ඉලක්කය ඇතිව, අන්තර්වාර ආන්ඩුවක් පිහිටුවන ලෙස සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ගෙනගිය ප්‍රචාරයට සහාය දීමට කම්කරුවන් තල්ලුකරමින් දැවැන්ත මහජන වැඩ වර්ජන පාවා දුන්හ.

ජනතා විරෝධයට මුහුන දුන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පලාගොස් ඉල්ලා අස්විය. කෙසේ වෙතත්, කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් වර්ධනය කිරීම වැලැක්වූ, වෘත්තීය සමිති සහ ව්‍යාජ වම්මු, එක්සත් ජනපද ගැත්තෙකු වන වික්‍රමසිංහ විධායක ජනාධිපති ධූරයට ඔසවා තැබීමට රාජපක්ෂ කල්ලියට මග පෑදීය.

එතැන් පටන් ජනතාවගේ තත්වය තවත් නරක අතට හැරි ඇත. සමාජ අසමානතාව, දරිද්‍රතාව, කුසගින්න, විරැකියාව සහ වසංගත ලාංකික ජනතාවගේ ජීවිත වනසමින් තිබේ. ලංකාවේ පොහොසත්ම සියයට එක රටේ සමස්ත ධනයෙන් සියයට 31ක් පොදිගසාගෙන සිටින අතර, පහලින් සිටින සියයට 50 ට ඉතිරිවී ඇත්තේ සියයට 4කටත් අඩු ප්‍රමානයකි. 2020 සිට දරිද්‍රතාව ජනගහනයෙන් සියයට 28 දක්වා, දෙගුනයකට නැගී ඇත. සංඛ්‍යා හා ජනලේඛන දෙපාර්තමේන්තුව මේ සතියේ වාර්තා කලේ සියයට 61ක කුටුම්භවලට තම වියදම් දරාගත නොහැකි අතර, සියයට 55කගේ පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වී ඇති බව යි. වසරේ මුල් මාස දහය තුල විදුලි සම්බන්ධතා 550,000කට ආසන්න ප්‍රමානයක් කපා හැර ඇත; විදුලි බිල ගෙවාගැනීමට නොහැකිව, ඊට පෙර වසර දෙකේ විදුලිය සම්බන්ධතා කපාහැර සිටි 350,000 ද එකතු වූ විට දශ ලක්ෂයකට පමන විදුලිය නැත.

සෞඛ්‍ය සේවකයින්, 2023 නොවැම්බර් 1 වන දින කොලඹ ජාතික රෝහල ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවය

කම්කරුවන් අතර දැවෙන කෝපය මධ්‍යයේ, පසුගිය මාස දෙක තුල වර්ජන හා විරෝධතා කැඳවීමට වෘත්තීය සමිතිවලට බල කෙරුනි. රාජ්‍ය පරිපාලන, බැංකු, සෞඛ්‍ය, විදුලිය, වරාය සහ ටෙලිකොම් සේවකයෝ සහ පාසල් ගුරුවරු ඇතුලු ලක්ෂ සංඛ්‍යාත දෙනා මෙම අරගලවලට සම්බන්ධ වූයේ වැඩි වැටුප් ඉල්ලමින් සහ පුද්ගලීකරනයට, විශ්‍රාම වැටුප් හා වැටුප් කප්පාදුවලට, අධික ආදායම් බදු සහ අනෙකුත් බදුවලට විරුද්ධව ය.

කෙසේ වෙතත්, වෘත්තීය සමිති නායකයෝ මෙම වැඩ වර්ජන සහ විරෝධතා එකිනෙකින් වෙන්කොට, වික්‍රමසිංහ තන්ත්‍රයට නිෂ්ඵල ආයාචනා කිරීම සඳහා ඒවා කොටුකලහ.

ලබන වසරේ (2024) ජනාධිපතිවරනය සහ පාර්ලිමේන්තු මැතිවරනය පැවැත්වෙන බව ජනාධිපති වික්‍රමසිංහ නොවැම්බර් මාසයේ දී ප්‍රකාශ කලේ ය. සැප්තැම්බර් මාසයේ ජනාධිපතිවරනය පැවැත්වීමට නියමිත ය. සජබ සහ ජවිපෙ සහ එහි පෙරමුනු සංවිධානය වන ජාතික ජන බලය (ජාජබ) මැතිවරනවල දී තමන්ට සහාය දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිමින් තම මැතිවරන ව්‍යාපාර ආරම්භ කර ඇත.

මෙම ව්‍යාපාරයට එක්වෙමින්, සජබ ට සහ ජවිපෙ/ජාජබ ට සම්බන්ධ වෘත්තීය සමිති නායකයින් කම්කරුවන් මෙම පක්ෂවලට ගැටගැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත; මෙම පක්ෂවල අනාගත පාලන තන්ත්‍ර මගින් සියලු ගැටලු විසඳනු ලබන බව ඔවුහු කම්කරුවන්ට පවසති.

කිසිදු කම්කරුවෙක් මෙම බේගල්වලින් නොරැවටෙනු ඇත. සියලුම පාලක සහ විරුද්ධ පක්ෂ ජාමූඅ වැඩසටහනට කැපවී සිටිති. සජබ නායක සජිත් ප්‍රේමදාස තම ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිලිවෙල සම්බන්ධයෙන් 'යලි සාකච්ඡා' කරන බව ප්‍රකාශ කලේය. ජවිපෙ/ජාජබ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක, ආර්ථික අර්බුදය විසඳීම සඳහා කප්පාදු වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට---එනම් ජාමූඅ කප්පාදු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට---තම පාලනය යටතේ ජනතාව ඉඩදෙනු ඇති බව පුනපුනා කියා සිටියි.

කප්පාදු පියවරයන් ගෙනහැර දක්වමින් ජාමූඅ මාන්ඩලික වාර්තාව මෙසේ අනතුරු අඟවා ඇත: “බදු අනුපාත ඉහල දැමීම් සහ බලශක්ති ක්ෂේත්‍රයේ පිරිවැය-ප්‍රතිසාධන මිලකරනය ආදිය හේතුවෙන් සැබෑ ආදායම පහත වැටීම නිසා ද දූෂන-විරෝධී ප්‍රයත්න ප්‍රමානවත් නොවීම හා පලාත් පාලන මැතිවරනය ප්‍රමාදවීම හේතුවෙන් ද සමාජ කැරලිකාරිත්වය නැවත මතුවිය හැකිය.” එය පාලක පැලැන්තියට පෙර සූදානම් වීමට කර ඇති අනතුරු ඇඟවීමකි.

ඇත්ත වශයෙන්ම, වික්‍රමසිංහ ආන්ඩුව සුදානම් වෙමින් සිටින්නේ කම්කරු පන්තියට එරෙහි පන්ති යුද්ධයට සඳහායි. ජනාධිපති දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ත්‍රිවිධ හමුදාව සීරුවෙන් තබා ගනිමින්, සෞඛ්‍ය, විදුලිය, ඛනිජ තෙල් සහ දුම්රිය ආදී ක්ෂේත්‍රවල වැඩ වර්ජන තහනම් කිරීම සඳහා අත්‍යවශ්‍ය මහජන සේවා පනත දීර්ඝ කරමින් සිටියි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ජනාධිපතිවතිගේ ආශිර්වාද ඇතිව, දසදහස් ගනනක් අත්අඩංගුවට ගනිමින් මත්ද්‍රව්‍යවලට එරෙහි ඊනියා සංග්‍රාමයක් ආරම්භ කර තිබේ. ඔහු පොලිසියෙන් ඉල්ලා ඇත්තේ 'උපරිම බලය' භාවිතා කරන ලෙසයි. රාජ්‍ය හමුදා 'ඔවුන් සොයා ගන්නා' බවත් 'වෙඩි හුවමාරු ඇති විය හැකි අතර අවසානයේ ඔවුන් මරා දැමෙනු ඇති' බවත් අලස් වැඩිදුරටත් පැවසී ය. මෙලෙස ක්‍රියා කරන පොලිස් නිලධාරීන් වෙනුවෙන් තමන් පෙනී සිටින බවට ඔහු පොරොන්දු විය.

ඒ අතරම, ඔන්ලයින් ක්‍රමවල ආරක්ෂාව පිලිබඳ පනත ජනවාරි මාසයේදී බලාත්මක කිරීමට සැලසුම් කරන බව ආන්ඩුව නිවේදනය කර ඇත. එය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සාපරාධීකරනය කරමින් සියලු සමාජ මාධ්‍යට රුදුරු ප්‍රහාරයක් එල්ල කරයි.

ශ්‍රී ලංකාවේ ආන්ඩුවේ මෙම ඒකාධිපති පියවර ජාත්‍යන්තර වර්ධනයන්හි කොටසකි. එක්සත් ජනපදයේ සහ යුරෝපීය රටවල පාලක පන්තීන් ෆැසිස්ට් හා මිලිටරි ආඥාදායකත්වයන් කරා ගමන් කරමින් සිටිති. ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි ආන්ඩුව හින්දුත්ව ආඥාදායක පාලනයක් තහවුරු කරමින් සිටියි.

විරුද්ධ පක්ෂ, වෘත්තීය සමිති නායකයින් සහ ව්‍යාජ වාම පක්ෂ උත්සාහ කරන්නේ ආර්ථික අර්බුදයේ සැබෑ මූලාශ්‍රය වසන් කිරීමට ය. ඔවුන් අවධාරනය කරන්නේ, එය රට පාලනය කල පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් සිදු කරන ලද වංචා, දූෂන සහ ආර්ථිකය වැරදි ලෙස කලමනාකරනය කිරීමේ ප්‍රතිඵලයක් බවයි. ජවිපෙ/ජාජබ 'යහපාලනයෙන්' සහ ජාතික සම්පත් යොදා ගනිමින් ආර්ථිකය දියුනු කිරීමෙන් ධනපති අර්බුදය විසඳෙනු ඇතැයි පවසයි. පෙරටුගාමි සමාජවාදී පක්ෂය දූෂිතයන් වංචාකල මුදල් අත්පත් කරගැනීමෙන් හා සුපිරි ධනපතියන්ට බදුගැසීමෙන් ධනපති අර්බුදය සමහන් කරගත හැකිබවට දිවුරයි.

අතීත සහ වත්මන් ආන්ඩුවල මුදුනන්ගේ සහ ඔවුන්ගේ ගජමිතුරු කල්ලිවල වංචා හා දූෂන ඉහවහා ගොස් ඇතිබව සැබෑය. එහෙත් එම ධනය අල්ලා ගැනීමෙන් අර්බුදය විසඳිය හැකි බවට කරන ප්‍රචාර අමු ව්‍යාජයන් ය. ලංකාවේ ආර්ථික අර්බුදය ලෝක ධනේශ්වර ක්‍රමය සමග අත්‍යන්තයෙන් බැඳී ඇත. එම අර්බුදය විසඳාලීම හා එහි බරපටවමින් එල්ලකරන ප්‍රහාර නතරකල හැක්කේ, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා කරන අරගලයේ කොටසක් ලෙස, ලංකාවේ ධනේශ්වර පන්ති පාලනය පෙරලා දැමීමෙන් පමනි. ධනපති ක්‍රමය තුල කිසිදු විසඳීමක් නැත.

ධනපතිවාදයට එරෙහි අරගලය පෙරට ගෙනයාම සඳහා, සමාජවාදී සමානතා පක්ෂය (සසප), ක්‍රියාකාරී කමිටු මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා කැඳවුම් කරන අතරම, එමගින් ක්‍රියාත්මක කල යුතු වන, කම්කරුවන් හා ගම්බද දුගීන් විසින් සටන් කල යුතු පියවර මාලාවක් යෝජනා කරයි. එම පියවරයන් මාලාව මෙසේ ය:

* සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු! ජාත්‍යන්තර බැංකුකරුවන් සහ මූල්‍ය ආයතන නියෝජනය කරන ජාමූඅ කප්පාදු ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනු!

* ප්‍රකෝටිපතියන්ගේ සහ සංගත අතැති දැවැන්ත ධන සම්භාරයන් අත්පත් කරගනු!

* වැඩකරන ජනතාවගේ ජීවිත සඳහා තීරනාත්මක සියලුම අත්‍යාවශ්‍ය භාන්ඩ සහ අනෙකුත් සම්පත් නිෂ්පාදනය හා බෙදාහැරීම මත කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සඳහා! බැංකු, මහා සංගත, වතු සහ අනෙකුත් ප්‍රධාන ආර්ථික මර්මස්ථාන කම්කරුවන්ගේ පාලනයක් යටතේ ජනසතු කරනු!

* දිලිඳු හා ආන්තික ගොවීන්ගේ සහ කුඩා ව්‍යාපාර හිමියන්ගේ සියලුම නය අහෝසි කරනු! ගොවීන් සඳහා පොහොර සහනාධාර ඇතුලු සියලු සහනාධාර නැවත ලබා දෙනු!

* යහපත් සහ ආරක්ෂිත සේවා කොන්දේසි සහිතව සැමට රැකියා සහතික කිරීම! ජීවන වියදමට සරිලන වැටුප්!

කම්කරු පන්තිය බෙදීම සඳහා ධනේශ්වර පක්ෂ සහ අන්තවාදී කන්ඩායම් අවුලුවන සියලු ආකාරයේ සිංහල ස්වෝත්තමවාදී සහ වාර්ගික භේදකරනයන් ප්‍රතික්ෂේප කරන ලෙස අපි වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටිමු. ලංකාවේ පාලක ප්‍රභූව හිමිකම් කියන්නේ, ආර්ථික හා දේශපාලන අර්බුදයන්ට මුහුන දෙන විට ලේ වැකි වර්ගවාදී යුද්ධයක් දියත් කිරීම ඇතුලු විසකුරු අවි භාවිතාකිරීමේ තුච්ච ඉතිහාසයකි.

කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා වන සසප අරගලය, ජාත්‍යන්තර කමිටුව විසින් ආරම්භ කර ඇති කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රික-ජාස) ගොඩනැගීමේ ව්‍යාපාරය සමග බැඳී තිබේ. කක්‍රික-ජාස මගින් කම්කරු ක්‍රියාකාරී කමිටු සම්බන්ධීකරනය කිරීමට සහ ජාත්‍යන්තරව පන්ති අරගලය සංවිධානය කිරීමට හැකියාව ලැබේ.

ව්‍යසනකාරී තුන්වන ලෝක යුද්ධයේ අන්තරාය ගෙනඑන අධිරාජ්‍යවාදී යුද ධාවනයට එරෙහිව කම්කරුවන්ගේ හා තරුනයන්ගේ ජාත්‍යන්තර මහජන ව්‍යාපාරයක් ගොඩනගන ලෙස සසප කම්කරුවන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටී. ලංකාව මෙම යුදධාවනයේ ගිනිසුලිය තුල සිටියි.

මෙම වැඩපිලිවෙල සඳහා අරගලය දියත් කිරීමේ දී වඩාත්ම තීරනාත්මක ප්‍රශ්නය වන්නේ, දුර්නායකත්වයන් පලවා හරිමින් කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳාගැනීම යි. එම කර්තව්‍යය ජයගත හැක්කේ ඉහත කී විප්ලවවාදී සමාජවාදී ක්‍රියාමාර්ගය ඉදිරිපත් කරන සසප ගොඩනැගීමෙනි. සසපට බැඳී එම නායකත්වය තහවුරුකිරීමට එක්වන ලෙස අපි කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටිමු.

Loading