ඉදිරිදර්ශන

රතු මුහුද තුල ශ්‍රී ලංකා නාවික හමුදාව යෙදවීම: එක්සත් ජනපදය සමඟ භයානක පෙලගැස්මක්

ජනවාරි 23 දා, ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය ඩේලි මිරර් පුවත්පතට පැවසුවේ, එක්සත් ජනපදය නායකත්වය දෙන සන්ධානයට එක්වීම සඳහා රතු මුහුදට යුද නැව් යෙදවීමට හැකි තත්වයක නාවික හමුදාව සිටින බවයි. යේමනයේ හූති කැරලිකරුවන්ගෙන් නැව් මංතීරු ආරක්ෂා කිරීමේ කඩතුරාවට මුවාවී වොෂින්ටනය විසින් ඔපරේෂන් ප්‍රොස්පරිටි ගාඩියන් යන සංකේත නාමයෙන් හඳුන්වන මෙහෙයුමක් ආරම්භ කර ඇත.

“ඕනෑම අවස්ථාවක අපගේ නෞකා රතු මුහුදට යැවීමට අප දැන් සූදානම්ව සිටින” බවත් ඉහල මට්ටම්වල සාකච්ඡා තවමත් සිදුවෙමින් පවතින බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් පැවසුවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකා රතු මුහුදේ යෙදවීමට තමා දුන් නියෝගය පිලිබඳව ජනවාරි 3 දා, ප්‍රසිද්ධියේ නිවේදනය කලේය. දෙසැම්බර් 31 සිට රතු මුහුදේ යාත්‍රා කරන නෞකාවන් මත ප්‍රහාර 25 ක් දියත් කල බව කියන හූති කැරලිකරුවන්ට එරෙහිව සටන් කිරීමට බයිඩන් ආන්ඩුව කල ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ඔහු මෙම තීරනය ගෙන ඇත.

එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ජනවාරි 11 වන දින යේමනයේ ජනාකීර්න ප්‍රදේශවලට ප්‍රහාර දියත් කලේ, එය හූති කැරලිකරුවන්ගේ සැපයුම් ස්ථාන බොහොමයක් ඉලක්ක කරන බව පවසමිනි. අධිරාජ්‍යවාදී බලවතුන් දෙපිරිසම ජනවාරි 27 දා යේමනයට තවත් ගුවන් ප්‍රහාර වටයක් එල්ල කල බව හූති කැරලිකරුවෝ ඉරිදා වාර්තා කලහ. ලෝක සමාජවාදී වෙබ් අඩවිය ජනවාරි 13 දා එහි ඉදිරිදර්ශනය තුල බයිඩන් පරිපාලනයේ සැබෑ ඉලක්කය මෙසේ පැහැදිලි කලේය:

“යේමනයට එරෙහි ප්‍රහාරය, මැද පෙරදිග වැඩෙන යුද්ධය බරපතල ලෙස උත්සන්න කිරීමකි. ඊශ්‍රායලය විසින් ගාසාව තුල ගෙනයන ජන සංහාරය ආරම්භයේ සිටම, එක්සත් ජනපදය සහ නැටෝව තුල එහි අධිරාජ්‍යවාදී සගයින්, ඉරානය සෘජුවම ඉලක්ක කර ගනිමින් කලාපයේ දැවැන්ත මිලිටරිකරනයක් අධීක්ෂනය කරයි. එයමත්, රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය සහ චීනයට එරෙහිව වර්ධනය වෙමින් පවතින ආර්ථික හා මිලිටරි ගැටුම ද ඇතුලුව පුලුල් වන ගෝලීය යුද්ධයක කොටසකි.'

ශ්‍රී ලංකාවේ නෞකා රතු මුහුද තුල යොදවනු ලැබුවත්, නැතත්, එක්සත් ජනපදය විසින් නායකත්වය දෙන සන්ධානයට සහභාගී වීමට වික්‍රමසිංහ ගත් තීරනය යථා වශයෙන් මෙම යුද සැලසුම් සමග පෙලගැසීමකි.

ඔහුගේ තීරනය ශ්‍රී ලංකා පාලක ප්‍රභූව වොෂින්ටනයට යටත් වීම තරයේමපෙන්නුම් කරන අතරම, ඉන්දියන් සාගරයේ මූලෝපායිකව පිහිටා ඇති කුඩා දිවයින, එක්සත් ජනපදය හා ඉන්දියාව එක් පැත්තකින් ද, අනෙක් පැත්තෙන් චීනය ද අතර ඇවිලෙන ගැටුමක කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇත. එවන් යුද ගැටුමක් සමස්ත මානව වර්ගයාටම විනාශය ගෙනඑන න්‍යෂ්ටික යුද්ධයක් බවට පත්විය හැක.

මැද පෙරදිග රටවල තානාපතිවරුන් වික්‍රමසිංහගේ තීරනය ගැන නොසතුට පල කල හෙයින්, ඔහු ජනවාරි 11දා ඔවුන් සමඟ සාකච්ඡාවක් පවත්වා, ශ්‍රී ලංකාව—පලස්තීනුවන් සහ යුදෙව්වන් සඳහා—'ද්විත්ව රාජ්‍ය' විසඳුමට සහය දක්වන බව ප්‍රකාශ කලේ, ගාසා තීරයට එල්ල කරන ඊශ්‍රායල ප්‍රහාරය 'හෙලා දකිමින්' සහ විපතට පත් ජනතාවට මානුෂීය ආධාර ලබාදීමට පොරොන්දු වෙමිනි. පසුගිය දශක කිහිපය තුල මෙම ද්විත්ව රාජ්‍ය සූත්‍රය තොරොම්බල් කරද්දී සිදුවූයේ පලස්තීන ජාතිකයන් ගාසා තීරයට කොටුකරන තෙක්ම ඊශ්‍රායලය ඔවුන් ක්‍රමානුකූලව මර්දනය කිරීමයි.

සෑම පලස්තීන ජාතිකයෙකුම මරා දැමීම අරමුනු කරගත් ඊශ්‍රායල සමූලඝාතන යුද්ධය අවසන් වූ පසු ගාසා තීරයේ පාසලක් ඉදිකර දෙන බවට වික්‍රමසිංහ නරුම ලෙස පොරොන්දු විය!

කෙසේ වෙතත්, ජනාධිපති මාධ්‍ය අංශයේ මාධ්‍ය නිවේදනයකට අනුව, “රතු මුහුදේ ආරක්‍ෂක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධ වෙමින්, නාවික ගමනාගමනයේ නිදහස ආරක්‍ෂා කිරීම සඳහා කැපවන බවට නැවත නැවතත් අවධාරනය කරමින්...” ඔහු එය සාධාරනීකරනය කලේය.

'නාවික ගමනාගමනයේ නිදහස' යනු, දකුනු චීන මුහුදට චීනයේ හිමිකම් කෙරෙහි තම ප්‍රකෝපකාරී අභියෝගයන් සාධාරනීකරනය කිරීමට වොෂින්ටනය විසින් භාවිතා කරන සුත්‍රයකි.

රතු මුහුදට නෞකා යැවීමේ සැලසුම් ඉදිරිපත්වූයේ, කොලඹ පාලනය විසින් ඊශ්‍රායලයට කම්කරුවන් යැවීම ඉස්මත්තේය. ජාත්‍යන්තර කම්කරුවන් දහස් ගනනක් ඊශ්‍රායලයෙන් පිටව ගොස් ඇති හෙයින් ද, පලස්තීන කම්කරුවන් 100,000 කට පමන පමන රැකියා තහනම් කර ඇති හෙයින් ද, ඊශ්‍රායලය විශේෂ කාර්ය බලකායන් සඳහා 300,000 කට වැඩි ප්‍රමානයක් මිලිටරියට බඳවාගෙන ඇති බැවින් ද ටෙල් අවිව් දැඩි ශ්‍රම හිඟයක් අත්විඳිමින් සිටී. ශ්‍රම හිඟය ඊශ්‍රායල ආර්ථිකයේ ක්‍රියාකාරිත්වයට බලපාන අතර, කම්කරුවන් යැවීම එහි යුද ප්‍රයත්නයන් සඳහා මාහැඟි උපකාරයකි.

කෙසේ වෙතත්, ඊට පටහැනිව, පලස්තීන ජනතාව අත්විඳින දුක්ඛිත තත්වය ගැන ඔහුට කිසිදු කනස්සල්ලක් නැත. මේ වන විට, නිල ගනනයන් අනුව පමනක්, 25,000 කට වැඩි පිරිසක් සංහාරය කර, ලක්ෂ ගනනකට තුවාල සිදු කර තිබෙන අතර රෝහල්, පාසල් සහ ජල හා විදුලි සැපයුම් ඇතුලු යටිතල පහසුකම් විනාශ කර දමමින් ඇත.

රතු මුහුදේ නැව් යෙදවීම පිලිබඳ ඔහුගේ ප්‍රසිද්ධ නිවේදනය අතරතුර වික්‍රමසිංහම පැවසුවේ, දෙසතියක මෙහෙයුම් සඳහා ආන්ඩුවට රුපියල් මිලියන 250 ක් පමන වැය කිරීමට සිදුවනු ඇති බවයි. විශ්‍රාමික රියර් අද්මිරාල්වරයෙකු වන වයි.එන්.ජයරත්න පවසන පරිදි, නාවික හමුදාවේ යාත්‍රා වැඩිදියුනු කිරීම සහ නඩත්තු වියදම් සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 40 කට ආසන්න මුදලක් සහ ඊට අමතරව රුපියල් මිලියන 60 ක් වැය කිරීමට සිදුවනු ඇත.

මේ යුද වියදම් සඳහා ගෙවීමට බලකරනු ඇත්තේ කාට ද? නියත වශයෙන්ම ඒ ලංකාවේ මහ ජනතාවටයි. වික්‍රමසිංහ ආන්ඩුව, දරාගත නොහැකි ජීවන තත්වයන්ට මුහුනදෙන කම්කරුවන් සහ දුප්පතුන් මත බදු වැඩි කිරීම් පටවමින් මෙම වියදම් මිරිකා ගැනීමට උපක්‍රම යොදනු ඇත.

වොෂින්ටනයේ භූ දේශපාලන අවශ්‍යතා සඳහා සේවය කරනුවස් එය සමග පෙලගැසීමේ වාර්තාවක් වික්‍රමසිංහට ඇත. 2015 ජනාධිපතිවරනයේ දී, එක්සත් ජනපදයේ අනුග්‍රහය මත, එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයෙන් පහ කර ඒ වෙනුවට මෛත්‍රීපාල සිරිසේන පත් කිරීමේ තන්ත්‍ර මාරු මෙහෙයුමේදී චන්ද්‍රිකා කුමාරතුංග සමග එක්ව තිරය පිටුපස සිටි පුද්ගලයා ඔහුය. වොෂින්ටනයට රාජපක්ෂ නෙරපා හැරීමට අවශ්‍ය වූයේ, ලේ වැකි වර්ගවාදී යුද්ධය හා යුද අපරාධ සිදුකිරීම නිසා හෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ඔහුගේ නිර්දය ප්‍රහාරය නිසා නොව, චීන පාලන තන්ත්‍රය සමග ඔහු සමීප සම්බන්ධතා පැවැත්වීම නිසා ය.

වික්‍රමසිංහ අධිරාජ්‍යවාදී හාම්පුතුන්ට යටහත්ව සේවය කිරීමට සූදානමින් සිටීම අහම්බයක් නොවේ.

ශ්‍රී ලංකා පාලක ප්‍රභූව මතු වූයේ, බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට සහ එහි ප්‍රාග්ධනයට බැඳීගෙන ය. එය, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා වෙනුවෙන් සේවය කලේ, ස්වාමියාගේ මේසයෙන් වැටෙන ඉඳුල් කෑමට බලාපොරොත්තුවෙනි. මෙම ධනපතියන් සියවස් දෙකකට ආසන්න, බ්‍රිතාන්‍යය පාලන කාලය තුල, ලංකාවට නිදහස පවා ඉල්ලා සිටියේ නැත, එයට එරෙහි අරගලයක් ගැන කවර කතා ද?

පලමු ලෝක යුද්ධයේදී ඔවුහු අධිරාජ්‍යවාදී යුද්ධයට සහාය දුන්හ. දෙවන ලෝක සංග්‍රාමයේදී එහි නීච භූමිකාව වඩාත් කැපී පෙනුනි.. ධනේශ්වර ප්‍රභූව, එනම් වික්‍රමසිංහගේ මුතුන්මිත්තන්, රාජ්‍ය මන්ත්‍රන සභාවේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුධ යාන්ත්‍රනයට දායක වීමට මුදල් වෙන් කිරීම වෙනුවෙන් ඡන්දය දුන්හ.

1939 සැප්තැම්බර් පිපිරි ගිය, අධිරාජ්‍යවාදී දෙවන ලෝක යුද්ධයට විරුද්ධ වූයේ, මාක්ස්වාදයේ අඛන්ඩතාවය වන, ට්‍රොට්ස්කිවාදයේ ආනුභාවය ලද ලංකා සමසමාජ පක්ෂය (ලසසප) පමනකි. ලසසප නායක පිලිප් ගුනවර්ධන මෙසේ ප්‍රකාශ කලේ ය: “අපි කිසිදු අධිරාජ්‍යවාදී යුද්ධයක කොටස්කරුවන් වීම ප්‍රතික්ෂේප කරමු. අපි සියලු අධිරාජ්‍යවාදී යුද්ධවලට සහ සූරාකෑමට විරුද්ධ වෙමු. රටක් යුද්ධයක සිටින නිසා පන්ති අරගලය නවතින්නේ නැත.”

ලසසප දෙවන ලෝක යුද්ධයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට හා උගන්වා ගැනීමට සටන් වැදුනු අතර, බ්‍රිතාන්‍ය යටත් විජිත කාර්යාලය විසින් 1940 ජුනි මාසයේදී පක්ෂය තහනම් කර ප්‍රධාන නායකයින් අත්අඩංගුවට ගන්නා ලදී.

එක්සත් සමාජවාදී පක්ෂය සහ පසුව ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා ගත්, ලසසපයෙන් නෙරපා හරින ලද ස්ටැලින්වාදී කන්ඩායම, බ්‍රිතාන්‍ය හා ධනේශ්වර ප්‍රභූව සමග පෙලගැසී අධිරාජ්‍යවාදී යුද්ධයට සහයෝගය දැක්වීම සඳහා නිෂ්පාදනය වේගවත් කරන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

ලසසප නායකයන් ඉන්දියානු ට්‍රොට්ස්කිවාදීන් සමග එක්වුනු අතර හතරවන ජාත්‍යන්තරයේ ශාඛාවක් ලෙස 1942 දී ඉන්දියාවේ බොල්ෂෙවික්-ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි) පිහිටුවා ගත්හ. සමස්තයක් ලෙස ඉන්දියානු උප මහාද්වීපයේ කම්කරු පන්තියට නායකත්වයක් සැපයීමේ අරගලයේ දී, එම පක්ෂයේ කෙටුම්පත් වැඩපිලිවෙල මෙසේ ප්‍රකාශ කලේ ය: “අධිරාජ්‍යවාදය භංග වේවා! අධිරාජ්‍යවාදී යුද්ධය භංග වේවා!'

'අධිරාජ්‍යවාදය පෙරලා දැමීම සහ නිර්ධන පංති ආඥාදායකත්වය ස්ථාපිත කිරීම' සඳහා බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන්ගේ යුද ප්‍රයත්නයන්ට එරෙහිව ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම සඳහා බීඑල්පීඅයි සටන් වැදුනි.

මේවා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කම්කරු පන්තියේ විශිෂ්ටතම විප්ලවවාදී සම්ප්‍රදායන් වේ.

රතු මුහුදේ නාවික හමුදාව යෙදවීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ ගත් තීරනය ගැන විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මෙසේ පැවසීය: “අපේ ම පුරවැසියන්ගේ මූලික අවශ්‍යතා පවා සපුරා ගැනීමට නොහැකි මොහොතක ශ්‍රී ලංකාව මෙතරම් මිල අධික යුද මෙහෙයුමක් දියත් කරන්නේ ඇයි?.' හූතිවරුන්ට එරෙහිව ක්‍රියා කිරීමට ප්‍රධාන බලවතුන්ට ඉඩ දෙන ලෙස ඔහු ආන්ඩුවෙන් ඉල්ලා සිටියේය. ප්‍රේමදාස සහ ඔහුගේ පක්ෂය වික්‍රමසිංහගේ අධිරාජ්‍ය ගැති ක්‍රියාව පිටුපසින් ගමන් කරමින් සිටී.

ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ එහි ජාතික ජන බලවේගය (එන්පීපී) රතු මුහුදේ නාවික හමුදාවේ නැව් යෙදවීම ගැන සම්පූර්නයෙන්ම නිහඬය. යුද්ධය ආරම්භයේදීම ජවිපෙ/ජාජබ ඊශ්‍රායලය ප්‍රකෝප කිරීම සම්බන්ධයෙන් හමාස් සංවිධානයට දොස් පැවරීය. මෙම හවුල, එක්සත් ජනපදයේ ඉහල රාජ්‍ය තාන්ත්‍රික ජුලී චංග් සමඟ සමීප සබඳතා ගොඩනඟා ගනිමින් සිටී. තමන් ඉදිරි මැතිවරනයේදී ජනාධිපති ධූරය සඳහා ලංසු තබා ඇති නිසාත්, බලයට පැමිනීමට සහ එය දිගටම පවත්වාගෙන යාමට එක්සත් ජනපද අවසරය අත්‍යවශ්‍ය බව දකින නිසාත්, වොෂින්ටනය විරසක කර ගැනීම හෝ එය සමඟ ගොඩනඟා ගත් සමීප සබඳතා අවුල් කර නොගැනීමට ජවිපෙ/ජාජබ ට අවශ්‍ය ය.

වොෂින්ටනයේ අනුබලය ලත් ෆැසිස්ට්වාදී නෙතන්යාහුගේ ජන ඝාතක යුද්ධයට උදව් කරන වික්‍රමසිංහ සහ එක්සත් ජනපද ගැති ප්‍රතිපත්ති අනුයන පාලක ප්‍රභූවේ සෑම කන්ඩායමක්ම හෙලා දකින ලෙස අපි කම්කරු පන්තියෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

ඔවුන් තම පූර්වජයන්ගේ විප්ලවවාදී සම්ප්‍රදායන් වැලඳ ගත යුතුය. එම සම්ප්‍රදායන් මත පිහිටා සිටිමින්, සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ, තවත් ව්‍යසනකාරී ලෝක යුද්ධයක් වැලැක්වීම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියේ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට ගෙනයන අරගලයට සම්බන්ධ වන ලෙස කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටී.

Loading