ඉදිරිදර්ශන

ඊශ්‍රායල රාජ්‍යයේ ෆැසිස්ට් දෘෂ්ඨිවාදය සහ ගාසා තීරයේ ජන සංහාරය

[මෙය The Israeli states fascist ideology and the genocide in Gaza යන මැයෙන් 2023 දෙසැම්බර් 18 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

මෙම දේශනය, 2023 දෙසැම්බර් 14 වන දින ජර්මනියේ බර්ලින්හි හුම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ දී ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් පවත්වන ලදී.

යමෙක් හුම්බෝල්ට් විශ්ව විද්‍යාලයට පැමින ගොඩනැගිල්ලේ දොරටුවෙන් ඇතුලු වන විට, ඔහුට මාක්ස්ගේ සුප්‍රසිද්ධ උපුටා දැක්වීමක් දැකගත හැකිය, “දාර්ශනිකයන් ලෝකය අර්ථකථනය කර ඇතිවා පමනි; එහෙත් කාරනය නම් එය වෙනස් කිරීමයි.' මාක්ස්ගේ එම මූලික කැදවුම කථිකයන් රැස්වීමක් අමතන විට සැමවිටම ඔවුන්ට මඟ පෙන්විය යුතු එකකි. ඔවුන් පවසන දේ ලෝකය වෙනස් කිරීමට දායක වන්නේ කෙසේද?

පලමුවෙන්ම, හුම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ අද සවස දේශනය සඳහා මට ආරාධනා කිරීම ගැන, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානයේ ජර්මානු ශාඛාවේ මගේ සහෝදරවරුන්ට ස්තුති කිරීමට මට අවශ්‍යයි. මෙම දේශනයේ මාතෘකාව තහවුරු කර ගැනීමේදී ඔවුන් යම් යම් ගැටලුවලට මුහුන දුන් බව මට වැටහෙන අතර, ඊශ්‍රායල ආන්ඩුව විසින් ගාසා තීරයේ සිදු කරගෙන යනු ලබන ජන සංහාරය පිලිබඳ සඳහනක් මගේ දේශනයේ මාතෘකාවට ඇතුලත් කල නොහැකි බව, ඔවුන්ට දන්වන ලදී. ඉතින්, ඔවුන් මෙම රීතියට අනුකූලව කටයුතු කර ඇති අතර, මෙම අතිමහත් වැදගත් සිදුවීමට කිසිදු සැඳහුමක් මාතෘකාවේ නොමැත. නිදහස් භාෂනය මත පනවා ඇති මෙම පැහැදිලි සීමාව, නෙතන්‍යාහු ආන්ඩුව විසින් ගෙන යනු ලබන අපරාධවලට විරුද්ධ වීම තහනම් කිරීමට සහ අපකීර්තියට පත් කිරීමට ජර්මානු ආන්ඩුව, මාධ්‍ය සහ යටහත් පහත් අධ්‍යයන ආයතන දරන උත්සාහයේ කොටසකි.

කෙසේ වෙතත්, දැන් අපි දේශනයේ මාතෘකාව මත පනවා ඇති සීමාවට අනුකූල වී ඇති අතර, මම ගාසා තීරයේ සිදුවීම් ගැන කතා කිරීම දක්වා ඉදිරියට යමි. එසේ නොකර ඉන්න පුලුවන් ද‍?

පසුගිය මාස දෙක තුල, ඊශ්‍රායල ආන්ඩුව අනාරක්ෂිත ජනගහනයකට එරෙහිව අතිමහත් ම්ලේච්ඡත්වයේ යුද්ධයක් ගෙනයන ආකාරය ලෝකයා දකිමින් සිටී. මරන සංඛ්‍යාව 20,000 ට ලඟා වෙමින් පවතින අතර, එය ඉක්මවා යා හැකිය. මියගිය අයගෙන් අඩකට වඩා කාන්තාවන් සහ ලමුන් ය. තුවාල ලත් මුලු සංඛ්‍යාව එමෙන් ගුනයකි. මෙම යුද්ධයේ පලමු සති හය තුල දී, ඊශ්‍රායලය එක්සත් ජනපදය විසින් සැපයූ බෝම්බ 22,000 ක් ගාසා තීරය මත හෙලා තිබේ. ඒ පලමු සති හය තුල පමනි; එතැන් සිට සැලකිය යුතු කාලයක් ගත වී ඇත. ප්‍රහාරයේ පරිමානය පිලිබඳ යම් හැඟීමක් ඇති කර ගැනීමට, ගාසා තීරයේ මුලු විශාලත්වය වර්ග කිලෝමීටර් 365 ක් බවත්, එය බර්ලිනයේ භූමි ප්‍රමානයෙන් (වර්ග කිලෝමීටර් 891.3) අඩකටත් වඩා අඩු බවත් මතක තබා ගන්න.

2023 දෙසැම්බර් 16 සෙනසුරාදා, ගාසා තීරයේ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයකින් පසු නැගෙන දුමාරය දකුනු ඊශ්‍රායලයට පෙනෙන ආකාරය. [ඒපී ඡායාරූප/ඒරියල් ෂාලිට්] [AP Photo/Ariel Schalit]

ගාසා තීරයෙන් හෝ එහි ජනගහනයෙන් කිසිදු කොටසක් ඊශ්රායල මිලිටරි හමුදාවන්ගේ ප්‍රහාරවලින් ගැලවී නැත. රෝහල්, පාසල්, පුස්තකාල, සරනගත කඳවුරු සහ අනෙකුත් පොදු ගොඩනැගිලිවලට බෝම්බ හෙලනු ලැබේ. මාධ්‍යවේදීන්, වෛද්‍යවරුන්, ගුරුවරුන්, ලේඛකයන් සහ කලාකරුවන් හිතාමතාම ඉලක්ක කර ගනිමින් සිටී. රිෆාට් අල්-අර්ඊර් නම් කවියාගේ ඝාතනය ඊශ්‍රායල ආන්ඩුවේ උපදෙස් මත සිදුකෙරුනු ඝාතන අතරින් වඩාත් මතු වී පෙනෙන සිදුවීම පමනි.

මෙම ජනඝාතනය නැවැත්විය යුතු අතර, 1945- 46 දී නියුරම්බර්ග් නඩු විභාගවල දී ස්ථාපිත කරන ලද මූලධර්මවලට අනුකූලව, ගාසා ජනගහනයට සහ මිලිටරි වාඩිලාගැනීම යටතේ සිටින සියලුම පලස්තීන ජනතාවට එරෙහිව සිදුවෙමින් පවතින අපරාධවලට වගකිව යුතු සියල්ලන් සම්පූර්නයෙන්ම එම වගකීමට යටත් කල යුතු ය. එමෙන්ම මේ කාරනය සම්බන්ධයෙන් යම් අදහසක් දැක්වීමේ අවස්ථාව මට ලැබේ නම්, එම දඬුවම් ම ඔවුන්ට පැමිනවිය යුතු ය.

මගේ දේශනයේ මාතෘකාවට පනවා ඇති සීමා කිරීම තුල උත්ප්‍රාසාත්මක යමක් අඩංගු වේ. හරියටම දශකයකට ආසන්න කලකට පෙර, එනම් 2014 පෙබරවාරි මාසයේදී, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොබට් සර්විස් විසින් රචිත ලියොන් ට්‍රොට්ස්කිගේ නව චරිතාපදානයක් පිලිබඳ සාකච්ඡා කිරීම සඳහා ඔහු විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රනයකට සහභාගී වීමට මා මෙහි පැමිනි විට හුම්බෝල්ට් හි, ඉතිහාසය පිලිබඳ මහාචාර්ය ජෝර්ග් බාබරොව්ස්කි විසින් කැඳවන ලද ආරක්ෂක භටයෝ මා ශාරීරිකව වැලැක්වූහ. ප්‍රසිද්ද සම්මන්ත්‍රනය පිලිබඳ ඔහුගේ නිවේදනයේ, සහභාගිවන්නන්ගේ ප්‍රශ්නවලට සර්විස් පිලිතුරු දෙන බව සඳහන් විය.

බාබරොව්ස්කි (කොල පැහැති ජැකට්ටුව හැඳ සිටින්නා) සහ ඔහුගේ ආරක්ෂක භටයින් 2014 සම්මන්ත්‍රනයට ඩේවිඩ් නෝර්ත් ඇතුලු වීම වලක්වයි

සර්විස්ගේ චරිතාපදානය ඓතිහාසික මුසාකරනයේ නිර්ලජ්ජී ව්‍යායාමයකි. ට්‍රොට්ස්කිට එරෙහි එහි අවලාද, ප්‍රමුඛතම ජර්මානු ඉතිහාසඥයින් අතර ප්‍රසිද්ධ විරෝධයක් අවුලුවාලීමට තරම් නිර්දය වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස චරිතාපදානයේ ජර්මානු භාෂා සංස්කරනය නිකුත් කිරීම වසරකට ප්‍රමාද විය.

විචාරමය රචනා කිහිපයක සවිස්තරාත්මකව දැක්වූ, සර්විස්ගේ චරිතාපදානයට එරෙහි මගේ විරෝධතාවට ලක් වූ කාරනා අතර, ට්‍රොට්ස්කි හෙලාදැකීමේ දී බ්‍රිතාන්‍ය ඉතිහාසඥයා පැහැදිලිවම ඒකාකෘතික යුදෙව් විරෝධී අර්ථාලංකාරයන් භාවිතා කිරීම ද විය. අනෙකුත් බොහෝ දේ අතර, ට්‍රොට්ස්කිගේ නාසයේ හැඩයට සහ ඔහුගේ සැබෑ රුසියානු මුල් නම 'ලෙව්' සිට 'ලීබා' බවට වෙනස් කිරීමට සැදහුම් කිරීම ඒවාට ඇතුලත් විය.

ඉක්මනින්ම එලිදරව් වීමට නියමිතව තිබූ පරිදි, බාබරොව්ස්කි සහ සර්විස් යන මහාචාර්යවරුන් අතර සන්ධානය පදනම් වූයේ පොදු කොමියුනිස්ට් විරෝධී දේශපාලන න්‍යාය පත්‍රයක් මත ය. හරියටම, හුම්බෝල්ට් සම්මන්ත්‍රනය මට තහනම් කල දිනයේ ම, හිට්ලර්ගේ ප්‍රතිපත්ති බොල්ෂෙවික් විප්ලවයේ “ම්ලේච්ඡත්වයට” යුක්තියුක්ත ප්‍රතිචාරයක් යැයි තර්ක කරමින් නාසි අපරාධ සාධාරනීකරනය කරන දීර්ඝ රචනාවක් ඇතුලත් ඩර් ස්පීගල් (Der Spiegel) හි නව කලාපයක් ප්‍රකාශයට පත් කරන ලදී.

ඩර් ස්පීගල් හි රචනාව ප්‍රකාශයට පත්කිරීමෙන් පසු හුම්බෝල්ට් සිසුන් අතර ඇති වූ කෝපය හමුවේ, හුම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ පරිපාලනය සහ මාධ්‍ය බාබරොව්ස්කි පිටුපස සිට ගත්හ. බාබරොව්ස්කි දක්ෂිනාංශික අන්තවාදියෙකු ලෙස හැඳින්විය හැකි බවට ජර්මානු අධිකරනයක් නීතිමය තීන්දුවක් දුන් පසුව පවා මෙය වෙනස් වූයේ නැත. බාබරොව්ස්කි, හුම්බෝල්ට්හි අසීමිත පිටුබලය භුක්ති විඳි අතර තවමත් භුක්ති විඳිමින් සිටියි; එය, නැගෙනහිර යුරෝපීය අධ්‍යයන අංශයේ ආචාර්ය මන්ඩලයට ෆේබියන් තුනේමාන් නම් එක්තරා පුද්ගලයෙකු පත් කිරීමට ඔහුට හැකියාව ලබා දුන්නේය; තුනේමාන්ගේ හුම්බෝල්ට් පත්වීමට පෙර ඔහුගේ යෝග්‍යතා විස්තරයේ (curriculum vitae) දෙවන ලෝක සංග්‍රාමයේදී වෙර්මාච්ට් (නාසි ජර්මනියේ ඒකාබද්ධ හමුදාව) විසින් සිදු කරන ලද කුරිරුකම් හෙලිදරව් කිරීමට එරෙහි නව-නාසි විරෝධතාවයකට සහභාගී වීම ද ඇතුලත් විය.

වසර දහයකට පෙර, මට හුම්බෝල්ට් හි සම්මන්ත්‍රනයකට සහභාගී වීම තහනම් කරන ලද්දේ, සර්විස්ගේ මුසාකරනයන් සහ යුදෙව් විරෝධී අපවාදයන් භාවිතා කිරීම අභියෝගයට ලක් කිරීමට මා අදහස් කල බැවිනි. දැන් විශ්ව විද්‍යාලය, යුදෙව් විරෝධයේ අසමසම විරුද්ධවාදියෙකු ලෙස පෙනී සිටිමින්, යුදෙව් විරෝධයට එරෙහිව සටන් කිරීමේ නාමයෙන් ගාසා ජන සංහාරය පිලිබඳ සැඳහුමක් ඇතුලත් කිරීම තහනම් කරයි.

අතීතයේ එතරම් ඈතක නොවන මෙම සිද්ධිය මා මතක් කරන්නේ, එය ගාසා තීරයට එරෙහිව ඊශ්‍රායලය ගෙනයන ප්‍රහාරයට එරෙහි විරෝධය “යුදෙව් විරෝධී” ලෙස අපකීර්තියට පත් කිරීමේ ව්‍යාපාරය මෙහෙයවන නරුමත්වය, කුහකකම, වාචාලකම සහ අසීමිත බොරු කීම මනාව නිදර්ශනය කරන බැවිනි. මෙම අපවාද භාවිතය, පලස්තීනුවන් සමූලඝාතනය කිරීමට විරෝධය දක්වන සියලු දෙනා බිය ගැන්වීමට සහ හුදකලා කිරීමට ඊශ්‍රායලය සහ එහි අධිරාජ්‍යවාදී සහචරයින් දරන ප්‍රයත්නවල දී තීරනාත්මක ආයුධයක් බවට පත්ව තිබේ.

හදිසියේම, සහ බොහෝ විස්මිත අහුමුලු වලින්, යුදෙව් විරෝධයට එරෙහි රනශූරයින් මතු වී ඇත. පසුගිය සතියේ, එක්සත් ජනපදයේ, විශ්ව විද්‍යාල සභාපතිවරුන් වොෂින්ටන් ඩීසී වෙත කැඳවා, ඇමරිකානු විශ්ව විද්‍යාලවල යුදෙව් විරෝධී යැයි කියනු ලබන විරෝධතා මැඩපැවැත්වීමට ඔවුන් අසමත් වීම පිලිබඳව ප්‍රශ්න කරන ලදී. විමර්ශනාත්මක ප්‍රශ්න කිරීම්වලට නායකත්වය දුන්නේ, නිව් යෝර්ක් ප්‍රාන්තයේ දිස්ත්‍රික්කයක රිපබ්ලිකන් කොන්ග්‍රස් සභික කාන්තාවක වන එලිස් ස්ටෙෆනික් ය. පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ, හාවඩ්හි, මැසචුසෙට්ස් තාක්ෂන ආයතනයේ සහ අනෙකුත් ප්‍රධාන විශ්ව විද්‍යාලවල සභාපතිවරුන් “ජන සංහාරය” සඳහා වන කැදවුම් ඉවසා සිටින්නේ මන්දැයි ඇය විමසා සිටියාය—මෙහි දී “ජන සංහාරය” සඳහා වන කැදවුම් යන්න ඇය සමාන කලේ, පලස්තීනුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහිමි කරන වර්ගභේදවාදී පාලනය අවසන් කරන ලෙස ඉල්ලා සිටින ඕනෑම ශිෂ්‍ය විරෝධතාවයකට ය.

ෆැසිස්ට්වාදී “මහා ප්‍රතිස්ථාපන න්‍යාය” වෙනුවෙන් පෙනී සිටින්නියක සහ ජනවාරි 6 කැරැල්ලේ ආධාරකාරියක වූ (එක්සත් ජනපද) නියෝජිත මන්ත්‍රිනි එලිස් ස්ටෙෆනික්, “සියොන්වාද-විරෝධය යනු යුදෙව් විරෝධයයි” යන කියාපෑමේ ප්‍රමුඛ යෝජකයෙකි. [ඒපී ඡායාරූපය/මාර්ක් ෂීෆෙල්බයින්] [AP Photo/Mark Schiefelbein]

නමුත් යුදෙව් විරෝධයට එරෙහිව සටන් කරන්නියක ලෙස ස්ටෙෆනික් මහත්මිය සතු අක්තපත්‍ර මොනවාද? ඇය, යුදෙව්වන් ලෝකය අත්පත් කර ගැනීමේ කුමන්ත්‍රනයක කොටසක් ලෙස සුදු කිතුනුවන් තුරන් කිරීමට සැලසුම් කරන බව කියාපාන, “මහා ප්‍රතිස්ථාපන න්‍යාය” නමින් දන්නා න්‍යායේ ප්‍රසිද්ධ ප්‍රවර්ධකයෙකි. වෙනත් වචනවලින් කිවහොත්, ඇය මෙම පදයේ වඩාත් සම්භාව්‍ය නිර්වචනයට අනුව මුලුමනින්ම යුදෙව් විරෝධියෙකි.

අන්ත දක්ෂිනාංශික බලවේගවල ඊශ්‍රායල තන්ත්‍රය සමග සන්ධානය ජාත්‍යන්තර දේශපාලන ප්‍රපංචයකි. ඔබ දන්නා පරිදි, එහි එක් නායකයකු හොලොකෝස්ට් (නාසි යුදෙව් සංහාරය) යනු ඉතිහාසයේ 'කුරුලු වසුරු පිඬක්' හැර අන් කිසිවක් නොවන බව පවසමින් එය නොතකා හැර තිබෙන 'ජර්මනිය සඳහා විකල්පය' (Alternative für Deutschland - ඒඑෆ්ඩී), යුදෙව් විරෝධයට එරෙහි කුරුස යුද්ධයට සම්බන්ධ වී ඇත. තවද, Führer (හිට්ලර්) තවමත් ජීවතුන් අතර සිටින්නේ නම්, ඔහු ද එයට සම්බන්ධ වනු ඇති බවට කිසිදු සැකයක් නැත.

පසුගිය දෙසැම්බරයේ, එහි බොහෝ සාමාජිකයින් නාසි සංකේතවලින් පච්ච කොටාගෙන සිටින යුක්‍රේනියානු අසෝව් බලඇනියේ නියෝජිත පිරිසක්, නෙතන්‍යාහු පාලනයට සිය සහයෝගීතාව ප්‍රකාශ කිරීමට ඊශ්‍රායලයට ගියහ. මේවා හුදු හුදකලා වූ සිදුවීම් හෝ යුදෙව් විරෝධයට එරෙහිව සටන් කිරීමේ යුක්තියුක්ත ප්‍රයත්නයේ අසාමාන්‍ය විකෘති කිරීම් නොවේ. ඒ වෙනුවට, සමස්ත උද්ඝෝෂනය ම පදනම් වී ඇත්තේ, යුදෙව් විරෝධයේ ඓතිහාසික මූලයන් සහ දේශපාලන ක්‍රියාකාරිත්වය මුසාකරනය කිරීම මත ය. වත්මන් ව්‍යායාමය නිදර්ශනය කරන්නේ, වචනයක් එහි සැබෑ සහ දිගුකාලීනව පිලිගත් අර්ථයට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ආකාරයකින් සහ සන්දර්භයකින් භාවිතා කරන, “පද පෙරලියක්” (semantic inversion) ලෙස හැඳින්විය හැකි ක්‍රියාවලියකි.

රාජ්‍යය සහ සංගත මාධ්‍ය සතු සියලු බලතල මගින් වර්ධනය කෙරුනු හුදු පුනර්කරනයේ බලය හරහා, පදයක අර්ථය අතිමූලික වශයෙන් වෙනස් කෙරේ. මුසාකරනයේ අපේක්ෂිත ප්‍රතිඵලය වන්නේ, මහජන විඥානය හා යථාර්ථය අවබෝධ කර ගැනීමේ එහි හැකියාව පරිහානියට පත්කිරීම යි.

ඉතිහාසය මුසාකරනය කිරීමට, දේශපාලන යථාර්ථය විකෘත කිරීමට සහ ජන විඥානය ව්‍යාකූල කිරීමට 'යුදෙව් විරෝධය' යන යෙදුම භාවිතා කරන ආකාරය පිලිබඳ සැලකිය යුතු උදාහරනයක්, වත්මන් ජර්මානු සභාග ආන්ඩුවේ උපකුලපති වන, චතුර කථික රොබට් හැබෙක් මෑතකදී කල කතාව තුල සොයාගත හැකි ය. ප්‍රධාන පරිච්ඡේදයක, මෙම දේශපාලන කුහකයා (Tartuffe) මෙසේ සඳහන් කලේය:

කෙසේ වෙතත්, දේශපාලන වාමාංශික කොටස්වල මෙන්ම, අවාසනාවන්ත ලෙස තරුන ක්‍රියාකාරීන් අතර ද යුදෙව් විරෝධය ගැන මම උත්සුක වෙමි. යටත්විජිත-විරෝධය යුදෙව් විරෝධයට මඟ පෑදිය යුතු නැත.

යටත්විජිත-විරෝධය යුදෙව් විරෝධී ස්වරූපයක් අත්පත් කර ගන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමට යමෙකුට හැකිද? ඔහු තවදුරටත් මෙසේ පවසයි:

මේ සම්බන්ධයෙන් ගත් කල, දේශපාලන වමේ මෙම කොටස තම තර්ක විමසා බැලිය යුතු අතර මහා ප්‍රතිරෝධ ආඛ්‍යානය විශ්වාස නොකල යුතු ය.

සෑම කෙනෙකුටම එහි සම්පූර්න බර අවබෝධ කර ගත හැකි ආකාරයට මම මෙය ජර්මානු භාෂාවෙන් කියවමි:

Sorge macht mir aber auch der Antisemitismus in Teilen der politischen linken und zwar leider auch bei jungen Aktivistinnen und Aktivisten. Anti-Kolonialismus darf nicht zu Antisemitismus führen.

Insofern sollte dieser Teil der politischen Linken seine Argumente prüfen und der großen Widerstand Erzählung mistrauen.

මෙම ඡේදයෙන් හෙලිදරව් වන්නේ, යුදෙව් විරෝධය යන වචනයට පද පෙරලි (ප්‍රතිලෝම අර්ථකථන) යෙදීමේ කේන්ද්‍රීය අරමුන යි. දේශපාලන දක්ෂිනාංශය සමඟ ඓතිහාසිකව සම්බන්ධ වූ ප්‍රපංචයක්, දේශපාලන වමේ කේන්ද්‍රීය ගුනාංගයක් බවට පරිවර්තනය කෙරෙයි. මෙම මුසාකරන ක්‍රියාවලියේ ප‍්‍රතිගාමී අරමුන බ්‍රිතාන්‍යය තුල ජෙරමි කෝබින් විනාශ කර දැමීම තුලින් ප‍්‍රදර්ශනය විය. මම, පිටකොන්දක් නොමැති වීම සිය ප්‍රමුඛතම දේශපාලන ලක්ෂනය කරගත් කෝබින් මහතා අගයකරන්නෙක් නම් නොවේ. එහෙත් ඔහුගේ සියලු අවස්ථාවාදී පාපයන් අතරතුර, කෝබින්ට සහ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ ඔහුගේ ආධාරකරුවන්ට එරෙහි යුදෙව් විරෝධී චෝදනාව යනු, ඔහුගේ දක්ෂිනාංශික විරුද්ධවාදීන් විසින් ඔහුව දේශපාලනිකව විනාශ කිරීමට ගොතන ලද දුෂ්ට මඩ ගැසීමකි.

රොජර් වෝටර්ස් දුෂ්ඨ ලෙස දඩයම් කිරීම, මෙම මඩ ගැසීමේ භාවිතයේ තවත් සහ ඊටත් වඩා කැත උදාහරනයකි. මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා තම ජීවිතය හා කලාව කැප කලා කලාකරුවෙකු වන ඔහු යුදෙව් විරෝධියෙකු ලෙස හංවඩු ගැසීමේ ජාත්‍යන්තරව සංවිධානය වූ ව්‍යාපාරයක දඩයමක් බවට පත්ව තිබේ. ජර්මනියේ, ෆ්‍රැන්ක්ෆර්ට් හි සහ බර්ලිනයේ, ඔහුගේ ප්‍රසංග අවලංගු කිරීමට උත්සාහ කරන ලදී. එමෙන්ම, ඔහුට කරන හිංසා පීඩා අභිප්‍රේරනය ලබන්නේ කුමකින් ද? රොජර් වෝටර්ස් පලස්තීනුවන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන අතර ඔවුන්ගේ පීඩනයට එරෙහිව කතා කරයි.

“යුදෙව් විරෝධය” යන යෙදුම එහි සැබෑ ඓතිහාසික හා දේශපාලන අර්ථයෙන් සම්පූර්නයෙන්ම වෙන් කිරීම මුලුමනින් ම සාක්ෂාත් වන්නේ, එය, ඊශ්‍රායල පාලන තන්ත්‍රයේ සාපරාධී ප්‍රතිපත්තිවලට එරෙහිව දහස් ගනනින් විරෝධතා දැක්වූ යුදෙව්වන්ට එරෙහිව යෙදීම තුල ය. ඔවුන්ට එරෙහිව විශේෂයෙන් අධම වාක්‍ය ඛන්ඩයක් භාවිතා කෙරෙයි: 'ස්වයං-වෛරී යුදෙව්වන්.' මෙම අවලාදයේ සාරය නම්, ඊශ්‍රායල ප්‍රතිපත්තිවලට සහ සමස්ත සියොන්වාදී ව්‍යාපෘතියට යුදෙව්වන් විසින් දක්වන විරෝධය පැහැදිලි කල හැක්කේ, යම් ආකාරයක මනෝවිද්‍යාත්මක ගැටලුවක් ප්‍රකාශයට පත්වීමක්, තමන්ගේම අනන්‍යතාව ව්‍යාධිවේදීව ප්‍රතික්ෂේප කිරීමක් ලෙස ය යන්න යි.

මෙම ව්‍යාධිවේදය මතුවී එන්නේ නිශ්චිත ආගමික අනන්‍යතාවයක් ලෙස යුදෙව් ආගම ඊශ්‍රායල රාජ්‍යය සහ සියොන්වාදයේ ජාතිකවාදී මතවාදය බවට සම්පූර්නයෙන්ම දියකර හැරීමෙනි. එක් හෝ තවත් යුදෙව් පුද්ගලයෙකුගේ ජීවිතය තුල සීමිත වැදගත්කමක් දරන නැතහොත් කිසිදු විශේෂ වැදගත්කමක් තිබිය නො හැකි පුද්ගලයෙකුගේ ආගමික නැඹුරුවට විශාල පාරභෞතික වැදගත්කමක් ලබා දෙයි.

මෙම මතවාදී ප්‍රබන්ධය පදනම් වී ඇත්තේ ඉතිහාසය මත නොව, බයිබලයානු මිථ්‍යාවන් මත ය. ඇත්ත වශයෙන්ම, සියොන්වාදී ව්‍යාපෘතියේ යුක්තියුක්ත භාවය ගලා එන්නේ, වසර 75 කට පෙර ඊශ්‍රායලය නිර්මානය කිරීම, වසර 2,000 ක පිටුවාහලෙන් පසු යුදෙව් ජනයා, දෙවියන් වහන්සේ විසින් ඔවුන්ට “පොරොන්දු වූ”, ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ දේශයට ඊනියා “ආපසු පැමිනීම” සනිටුහන් කලේය යන කියාපෑමෙනි.

මෙම මිථ්‍යා ප්‍රලාපයට ඓතිහාසික යථාර්ථය තුල කිසිදු පදනමක් නැත. ස්පිනෝසා ඔහුගේ Theological-Political Treatise (දේවධර්ම-දේශපාලන සංග්‍රහය ) තුල, පංච පුස්තකය (Pentateuch) දෙවියන් වහන්සේ විසින් මෝසස්ට නියම කරන ලද බවට වූ කියාපෑම සුනුවිසුනු කිරීමෙන් වසර 350 කට වැඩි කාලයක් ගත වී ඇත. බයිබලය කතුවරුන් රැසකගේ කෘතියකි. ස්පිනෝසා පිලිබඳ ප්‍රාමානිකයෙකු වන ඉතිහාසඥ ස්ටීවන් නඩ්ලර් පැහැදිලි කර ඇති පරිදි:

මෝසස්, ටෝරා (හීබෲ පංච පුස්තකය) හි සියල්ල හෝ, බොහෝමයක් වත් ලියූ බව ස්පිනෝසා ප්‍රතික්ෂේප කරයි. මෝසස් ගැන පංච පුස්තකයේ සඳහන් වන්නේ ප්‍රථම පුරුෂයෙනි; ඔහුගේ මරනය පිලිබඳ විස්තරය; සහ සමහර ස්ථාන මෝසස්ගේ කාලයේ නොතිබූ නම්වලින් හැඳින්වීම, 'මෝසස්ගේ පොත් පහ' ලෙස පොදුවේ හඳුන්වන ලියවිලි, ඇත්ත වශයෙන්ම, මෝසස්ගෙන් පසු පරම්පරා ගනනාවකට පසුව ජීවත් වූ කෙනෙකු විසින් ලියන ලද්දක් බවට 'කිසිදු සැකයකින් තොරව පැහැදිලි කරයි'.

බයිබලයේ අධිකාරය ප්‍රතික්ෂේප කිරීමෙන් ඉදිරියට යමින්, ඇම්ස්ටර්ඩෑම්හි වැඩිහිටියන් තවදුරටත් කෝපයට පත් කල ස්පිනෝසා – ආගමක් ලෙස යුදෙව් ආගමට ද දේශපාලන මතවාදයක් ලෙස සියොන්වාදයට ද කේන්ද්‍රීය වූ – යුදෙව්වන් “තෝරාගත් ජනතාවකි' යන කියාපෑම ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීම මගින් ඔහුව [ආගමෙන්] නෙරපා හැරීම ප්‍රකුපිත කලේ ය. නඩ්ලර් ලියන පරිදි:

ශුද්ධ වූ ලියවිල්ලේ මූලාරම්භය සහ අධිකාරිය දැන් සැක සහිත නම්, හීබෲවරුන්ගේ 'අභිනියුක්තිය' පිලිබඳ එහි ගරුගාම්භීර ප්‍රකාශයන්ද එසේ විය යුතුය. ඕනෑම කෙනෙකුට ඔවුන්ගේ සහජ දක්ෂතාවන්ගේ සුවිශේෂත්වය මත සිය සතුට පදනම් කර ගැනීම 'ලාමක' බව ස්පිනෝසා අවධාරනය කරයි; යුදෙව්වන් සම්බන්ධයෙන් ගත් කල, එය සියලු මිනිසුන් අතරින් තෝරා ගැනීමේ දී ඔවුන්ගේ සුවිශේෂීභාවය වනු ඇත. ඉපැරනි හීබෲවරු, ඇත්ත වශයෙන්ම, ඔවුන්ගේ ප්‍රඥාවෙන් හෝ දෙවියන්වහන්සේට සමීප වීමෙන් වෙනත් ජාතීන් අභිබවා ගියේ නැත. ඔවුහු වෙනත් ජාතීන්ට වඩා බුද්ධිමය වශයෙන් හෝ සදාචාරාත්මකව උසස් නොවූහ.

ස්පිනෝසා ආගම හැර දැමීම 17 වන සියවසේ විද්‍යාවේ වේගවත් දියුනුව මගින් සිදු වූ දැනුවත් වීමක ප්‍රතිඵලය මෙන් ම, එය දාර්ශනික භෞතිකවාදය තුල මුල් බැස ගත් අතර වඩාත් ප්‍රගතිශීලී සහ රැඩිකල් දේශපාලන ප්‍රවනතා සඳහා මාවත එලි පෙහෙලි කලේය. එය සාධර්මිකතාවයේ යුදෙව් ආගම බලාත්මක කරන්නන්ගේ කෝපය ඔහුගේ හිස මතට ගෙන ආවේය. ස්පිනෝසා ආගමෙන් නෙරපා හැරීම ප්‍රකාශයට පත් කරන ලද්දේ කර්කශභාවයේ පෙර නොවූ විරූ භාෂාවකිනි. නෙරපා හැරීමේ ප්‍රකාශයේ එක් කොටසකින් කියවෙන්නේ:

ඔහුට දවාලෙහිද රාත්‍රියෙහිද ශාප වේවා; ඔහු වැතිර සිටින විට ඔහුට ශාප වේවා, ඔහු නැඟිටින විට ඔහුට ශාප වේවා. ඔහු පිටතට යන විට ඔහුට ශාප වේවා, ඔහු ඇතුලට එන විට ඔහුට ශාප වේවා. සමිඳානන් වහන්සේ ඔහුව ඉතිරි නොකරනු ඇත, නමුත් සමිඳානන් වහන්සේගේ උදහස සහ ඔහුගේ මාත්සර්යය ඒ මිනිසාට විරුද්ධව දුම් දමනු ඇත, මෙම පොතේ ලියා ඇති සියලු ශාපයන් ඔහු මත ම පතිත වේවා, සමිඳානන් වහන්සේ ඔහුගේ නාමය භූ තලයෙන් මකා දමනු ඇත.

සැමුවෙල් හර්සෙන්බර්ග් විසින් 1907 දී අඳින ලද"ආගමෙන් නෙරපා දැමූ ස්පිනෝසා" නමින් හැඳින්වෙන සිතුවම [ඡායාරූපය: සැමුවෙල් හර්සෙන්බර්ග්] [Photo: Samuel Hirszenberg]

මෙම හෙලාදැකීම තිබිය දී ම, ස්පිනෝසාගේ නම මකා දැමිය නොහැකි විය. ඔහුගේ ධර්ම විරෝධී සංකල්පවල බලපෑම ශතවර්ෂ ගනනාවක් පුරා පැවති අතර, හස්කලා (Haskalah) ලෙස හඳුන්වන යුදෙව් බුද්ධි ප්‍රබෝධය ද ඇතුලු, බුද්ධි ප්‍රබෝධ චින්තනයේ වර්ධනයට ද 18 වන, 19 වන සහ 20 වන සියවස්වල එහි විප්ලවවාදී දේශපාලන ප්‍රතිවිපාකයන්ට ද ප්‍රගාඪ ලෙස දායක විය.

සමකාලීන සියොන්වාදයේ දේශපාලන දේවධර්මය නියෝජනය කරන්නේ, යුදෙව් කම්කරුවන්ගේ හා බුද්ධිමතුන්ගේ පරම්පරාවන් අතර පැවති, ස්පිනෝසාවාදී සහ පසුව මාක්ස්වාදී චින්තනයෙන් ව්‍යුත්පන්න වූ ප්‍රගතිශීලී, ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්ප්‍රදායන්ගේ ආන්තික ප්‍රතිවිප්ලවවාදී ප්‍රතිවාදය සහ එම සම්ප්‍රදායන්ගේ ප්‍රතික්ෂේපනය යි. ආන්තික ජාතික ස්වෝත්තමවාදයේ සාරය තුල ආගමික මිථ්‍යාව නැවත අර්ථකථනය කරන සමකාලීන සියොන්වාදී දේවධර්මය, “තෝරාගත් ජනතාවක්” යන සංකල්පයට තරයේ වර්ගවාදී හා ෆැසිස්ට්වාදී ලක්ෂනයක් ලබා දෙයි.

ඊශ්‍රායල ආන්ඩුව අන්ත දක්ෂිනාංශික පක්ෂවලින් සමන්විත බව පුලුල්ව පිලිගෙන ඇති නමුදු, මෙම දේශපාලන කාරනය සැලකෙන්නේ ඔක්තෝබර් 7 සිදුවීම්වලට හා එයට ඊශ්‍රායල රාජ්‍යයේ ප්‍රතිචාරයට කිසිදු විශේෂ සම්බන්ධයක් නැති සුලු දෙයක් ලෙසය. ඇත්ත වශයෙන්ම, ඊශ්‍රායලයේ සියලු සතුරන් සමූලඝාතනය කිරීම පැහැදිලිවම ඉල්ලා සිටින අනාගතවාචක 'පලිගැනීමේ දේවධර්මය' නෙතන්‍යාහු ආන්ඩුවේ පිලිවෙත් මත ඇති කර ඇති බලපෑම ගැන කිසිදු සැදහුමක් යුද්ධය පිලිබඳ දේශපාලන ආවරනය තුල සොයාගත නොහැකි තරම් ය.

“පලිගැනීමේ දේවධර්මය” වර්ධනය කිරීමේ කේන්ද්‍රීය චරිතයක් වූයේ නැසීගිය මීර් කහනේ ය. 1932 දී බෘක්ලින්හි උපත ලද ඔහුගේ පියා, යුදෙව් ධර්මාචාර්්‍ය චාල්ස් කහනේ, සියොන්වාදී ව්‍යාපාරයේ ප්‍රකට ෆැසිස්ට් අංශයක නායකයා වූ සියෙව් ජැබොටින්ස්කිගේ මිතුරෙක් සහ හවුල්කාරයෙක් විය. නව-ෆැසිස්ට් යුදෙව් ආරක්ෂක සංගමයේ (ජේඩීඑල්) නිර්මාතෘවරයා ලෙස මීර් කහනේ මුලදී එක්සත් ජනපදයේ කුප්‍රකත්වයට පත් විය. ජේඩීඑල්, යුදෙව්වන්ට තර්ජනයක් ලෙස කහනේගේ හෙලාදැකීමට ලක් වූ නිව් යෝර්ක් හි කලු ජාතික සංවිධාන ඉලක්ක කර ගත්තේ ය.

1971 දී, කහනේ ඊශ්‍රායලයේ පදිංචියට ගොස් උග්‍ර අරාබි විරෝධී කච් පක්ෂය ආරම්භ කලේය. එක්සත් ජනපදය තුල සිටි ඔහුගේ අනුගාමිකයෝ දිගටම ක්‍රියාකාරීව සිටියහ. එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා වූ වර්කර්ස් ලීගය, 1978 දී ජේඩීඑල් හි ඉලක්කයක් බවට පත් වූයේ, ජාත්‍යන්තර කමිටුවේ අනුග්‍රහය යටතේ පැවැත්වූThe Palestinian (පලස්තීනුවා) නම් වාර්තා චිත්‍රපටයේ ලොස් ඇන්ජලීස් ප්‍රදර්ශනය බෝම්බ ප්‍රහාරයකින් කඩාකප්පල් කිරීමට ජේඩීඑල් උත්සාහ කල විට ය.

1984 දී මීර් කහනේ [ඡායාරූපය: ගොට්ෆ්‍රයිඩ්, බර්නාඩ්] [Photo: Gotfryd, Bernard]

ඊශ්‍රායලය තුල කහනේගේ භූමිකාව සහ බලපෑම 'මීර් කහනේ සහ සමකාලීන යුදෙව් පලිගැනීමේ දේවධර්මය' යන මාතෘකාවෙන් යුත් රචනයකින් විශ්ලේෂනය කෙරේ. 2015 දී ප්‍රකාශයට පත් කරන ලද, එහි කතුවරුන් ඊශ්‍රායල විද්වතුන් දෙදෙනෙක් වන ඇඩම් සහ ගෙදලියා ආෆ්ටර්මන් ය. ඔවුන් පැහැදිලි කරන පරිදි, කහනේගේ දේවධර්මය

කේන්ද්‍ර වූයේ, යුදෙව්වන්ට හිංසා පීඩා කිරීම, විශේෂයෙන්ම හොලොකෝස්ට් සමයේදී යුදෙව්වන් ක්‍රමානුකූලව ඝාතනය කිරීම සම්බන්ධයෙන් විජාතිකයන්ගෙන් පලිගැනීමේ ක්‍රියාවක් ලෙස දෙවියන් වහන්සේ විසින් ඊශ්‍රායෙල් රාජ්‍යය පිහිටුවන ලද බවට කෙරෙන කියාපෑම මත යි.

කහනේගේ කච් පක්ෂය, 1967 යුද්ධයේ දී ඊශ්‍රායලය විසින් අත්පත් කරගනු ලැබූ සියලුම භූමි ප්‍රදේශ ඈඳා ගන්නා ලෙසත් පලස්තීන ජනගහනය ප්‍රචන්ඩ ලෙස නෙරපා හරින ලෙසත් ඉල්ලා සිටියේ ය. කහනේ 1984 දී ඊශ්‍රායල පාර්ලිමේන්තුව වන නෙසට් (Knesset) සභාවට තේරී පත් විය. කච් පක්ෂය 1988 මැතිවරනයට තරඟ කිරීම තහනම් කරන ලද මුත්, 1990 හි නිව් යෝර්ක් වෙත ගිය චාරිකාවක දී කහනේ ඝාතනයට ලක්වීම නොතකා එහි බලපෑම දිගටම පැවතුනි.

ආෆ්ටර්මන්ලාගේ රචනය කහනේගේ පලිගැනීමේ න්‍යායේ මූලික කුලුනු තුන සාරාංශගත කරයි.

ප්‍රථමයෙන්:

ඊශ්‍රායෙල් ජනතාව දේවත්වය තුල සාරාර්ථයෙන් මුල් බැසගත් සාමූහික මිථ්‍යාමය ජීවියෙකි, ඔවුන් දෙවියන් වහන්සේ සමඟ එක්ව එහි මුල් කාලයේ සිටම මිත්‍යාමය සතුරෙකුට මුහුන දුන්හ. මෙම මිථ්‍යාමය සතුරා වන “අමලෙක්” යුදෙව් ඉතිහාසය පුරා, විවිධ සැබෑ සතුරන් තුල මූර්තිමත් වන අතර ඉතිහාසය පුරා යුදෙව්වන් විඳි විවිධ වධහිංසාවන් සහ පීඩාවන් එම මිථ්‍යාමය අරගලයේ ම ප්‍රකාශනයන් වේ. තවද, මිථ්‍යාමය ඊශ්රායල ජාතිය සහ අන්‍යජාතිකයන් (යුදෙව් නොවන්නන්), විශේෂයෙන්ම ඊශ්‍රායෙල් සතුරන්, අතර සාරාර්ථමය වෙනසක් ඇත. යුදෙව් සහ අන්‍යජාතික ආත්මය අතර පවතින සාරාර්ථමය වෙනස, සියලු මනුෂ්‍ය වර්ගයා දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මවා ඇති බවට වන යුදෙව් මූලධර්මය අභිබවා යයි. අන්‍යජාතිකයන් පහත් බවත්, ඉතිහාසය තුල සාතන් ගේ බලය මූර්තිමත් කරන බවත් විශ්වාස කිරීම මාරාන්තික ප්‍රචන්ඩත්වය සහ පලිගැනීම් සාධාරනීකරනය කරයි.

දෙවනුව:

...මේ අනුව, එම තර්කය ඉදිරියට යන්නේ, ඊශ්‍රායෙල් ජනතාව තම අන්‍යෝන්‍ය සතුරන්ට එරෙහිව පලිගැනීමට සහ ඔවුන්ගේ අන්‍යෝන්‍ය අභිමානය සහ තරාතිරම පුනරුත්ථාපනය කිරීමට හැකි සෑම ක්‍රමයක්ම භාවිතා කිරීමට ආගමික වශයෙන් බැඳී සිටී යනුවෙනි. ඔවුන් එය අවබෝධ කර ගත්තා හෝ නොගත්තා හෝ, ඊශ්‍රායලයට එරෙහිව සටන් කරන පලස්තීනුවන් සහ අනෙකුත් බලවේග යනු ඊශ්‍රායලයේ ජනතාවගේ සහ එහි දෙවියන්ගේ විනාශය සොයන මිථ්‍යාමය, ආගමික සටනක කොටසකි. මෙම සාධක සතුරන් ජය ගැනීම සඳහා ඕනෑම පියවරක් භාවිතා කිරීමට ඉඩ සලසයි.

තුන්වනුව:

නාසි යුදෙව් සංහාරයෙන් ටික කලකට පසු 1948 දී ඊශ්‍රායෙල් රාජ්‍යය පිහිටුවීම එක් අරමුනක් ඉටු කල යුතු විය: එය නම්, නිදහස සඳහා අන්‍යජාතිකයන්ට එරෙහිව පලිගැනීම්වලට පහසුකම් සැලසීම යි. ඊශ්‍රායලයේ ඓතිහාසික භූමියේ නූතන යුදෙව් රාජ්‍යය පිහිටුවීම යනු, එවැනි ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් හෝ සංඥාවක් වනවා වෙනුවට නිදහස් වීමේ ක්‍රියාදාමය සක්‍රීය කිරීමේ මෙවලමකි.

කුලුනු තුන සාරාංශගත කරමින්, ආෆ්ටර්මන් එය පැහැදිලි කලේ

…කහානේ තර්ක කරන්නේ පාරභෞතික සතුරා වන 'අමලෙක්' (සතුරු අන්‍යජාතීන්) ට එරෙහිව පලිගැනීම, නාසි යුදෙව් සංහාරයේ (හොලොකෝස්ට්) ප්‍රතිඵලයක් ලෙස සම්පූර්නයෙන්ම පාහේ අතුරුදන්ව ගොස් ඇති දෙවියන් සහ ඔහුගේ ජනතාව බේරා ගැනීම සඳහා අතිමූලික වන බවයි. කහනේගේ අදහසට අනුව, යුදෙව් රාජ්‍යය ස්ථාපිත කිරීම, එහි ආයතනික බලය සහ මිලිටරි බලය සමග, නිදහස හා බැඳුනු පලිගැනීම සදහා සේවයෙහි තැබිය යුතුය. කහනේ අහිංසක මිනිසුන්ට එරෙහිව පවා පලිගැනීමේ ක්‍රියාවන් යුක්තියුක්ත කිරීමට තරම් දුරදිග යන්නේ, ඔවුන් ඊශ්‍රායලය සහ එහි දෙවියන්ව මුදවා ගැනීම සඳහා කොන්දේසියක් ලෙස මුලිනුපුටා දැමිය යුතු මිථ්‍යාමය සතුරාට අයත් යැයි තර්ක කිරීමෙනි. අවශ්‍ය නම් අහිංසක ජීවිත අහිමි කිරීම සාධාරන බිලිදීමක් බව ඔහුගේ අදහසයි.

කහනේ, 'තෝරාගත් ජනතාව' පිලිබඳ මූලධර්මය, සාම්ප්‍රදායික බටහිර සාරධර්ම සමඟ ඇති සියලුම සබඳතා විස්තීර්න ලෙස ප්‍රතික්ෂේප කිරීමක් ලෙස අර්ථ දැක්වීය. ඔහු ඔහුගේ ඕ හරයොන් (Or Ha'Rayon) නම් ග්‍රන්ථයේ මෙසේ ලිවීය:

මෙය යුදෙව් රාජ්‍යයකි. එය යුදෙව් ආගම ඉදිරියේ හිස නමන අතර එයට පටහැනි නොවේ. එය, ජාත්‍යන්තර නීතියට සහ රාජ්‍ය තාන්ත්‍රිකත්වයට පටහැනි වුව ද සාමාන්‍ය බටහිර සහ ප්‍රජාතන්ත්‍රවාදී ජීවන රටාවට ප්‍රතිවිරුද්ධ වුව ද, යුදෙව් සාරධර්මවලට සහ යුදෙව් ආඥාවන්ට අනුකූලව ක්‍රියා කරයි; එහි අවශ්‍යතා අවදානමට ලක් වූව ද, ශිෂ්ට විජාතිකයන්ගෙන් එය හුදකලා වීමේ තර්ජනයට මුහුන දුන්න ද එය එසේ ම වේ.… යුදෙව් ආගමේ කාර්යභාරය වන්නේ වෙන් වීම, අද්විතීය බව, වෙනස් බව සහ තෝරා ගැනීම යි. මෙය යුදෙව් ජනතාවගේ සහ ඔවුන්ගේ මෙවලම වන රාජ්‍යයේ කාර්යභාරය යි ... අපි ජාතීන්ගේ සම්මත සාරධර්මවල කොටස්කරුවන් නොවෙමු. සමාග්‍රහනය ආරම්භ වන්නේ මිශ්‍ර විවාහවලින් නොව, විදේශීය සාරධර්ම, ආගන්තුක සහ යුදෙව් නොවන සංකල්ප සහ අදහස් අනුකරනය හා ඒවා පිලිගැනීම මගිනි.

කහනේගේ පලිගැනීමේ න්‍යාය හීබෘෘ භාෂාවෙන් ඔහු කිද්දූෂ් හෂෙම් (Kiddush Hashem) ලෙස හැඳින්වූ සංකල්පය ලෙස හඳුන්වනු ලැබීය. ඔහු මෙසේ ලිවී ය:

විශ්මයට පත් විජාතික ලෝකයක් හමුවේ සහශ්‍ර දෙකක් තිස්සේ නොදුටු යුදෙව් හස්තයක්; මෙය කිද්දූෂ් හෂේම් නම් වේ. අපේ ලේ උරා බිව් පල්ලිය සිය කෝපය සහ කලකිරීම වමාරන අතරේ ක්‍රිස්තියානි පූජනීය ස්ථාන මත යුදෙව් ආධිපත්‍යය; මෙය කිද්දූෂ් හෂේම් නම් වේ.

ඇත්ත වශයෙන්ම, අද්විතීය යැයි කියනු ලබන යුදෙව් දර්ශනයක් වෙත කෙරෙන අර්ධ වශයෙන් ව්‍යාකූල ආයාචනා තිබිය දී ම, කහනේගේ කිද්දුෂ් හෂේම්, ඇඩොල්ෆ් හිට්ලර්ගේ මයින් කාම්ෆ් (Mein Kampf) හි දර්ශනයේ හීබෲ භාෂා ප්‍රභේදයක් ලෙස විස්තර කල හැකිය; ප්‍රධාන වෙනස වන්නේ කහනේගේ වෛරයෙන් පිරුනු වර්ගවාදී අවලාද, වමේ සිට දකුනට නොව, හීබ්‍රෘ භාෂාවෙන් දකුනේ සිට වමට ලියා තිබීම යි.

ඊශ්රායලයේ වඩ වඩාත් දක්ෂිනාංශික දේශපාලන වාතාවරනය තුල කහනේගේ බලපෑම ඔහුගේ ඝාතනයෙන් පසුව ද පැවතුනි. 1994 පෙබරවාරි 25 වන දින, කහනේගේ ශිෂ්‍යයෙකු වන බාරුක් ගෝල්ඩ්ස්ටයින්, හෙබ්‍රොන් හි මුස්ලිම් පල්ලියකට එල්ල කල ප්‍රහාරයකින් පලස්තීනුවන් 29 දෙනෙකු ඝාතනය කර තවත් 150 දෙනෙකුට තුවාල සිදු කලේය. ගෝල්ඩ්ස්ටයින් විසින් සිදු කරන ලද සමූහ ඝාතනය කිද්දුෂ් හෂේම් හි ක්‍රියාවක් බවට ප්‍රකාශ කල අතිශය බලගතු යුදෙව් ධර්මාචාර්‍ය යිට්චක් ගින්ස්බර්ග් ඇතුලු කහනේගේ අනුගාමිකයන්ගේ පැසසුමට මෙම අපරාධය ලක් විය.

දැන් මෙයට අද තිබෙන සම්බන්ධය කුමක්ද? විදේශික-භීතිකාවෙන් පෙලෙන ඔට්ස්ම යෙහුඩෙට් පක්ෂයේ නායකයා වන ඉට්මාර් බෙන්-ග්විර් දැන් නෙතන්‍යාහුගේ සභාග ආන්ඩුවේ ජාතික ආරක්ෂාව පිලිබඳ අමාත්‍යවරයා වේ. කච් පක්ෂය නීති විරෝධී කිරීමට පෙර ඔහු එහි සාමාජිකයෙකි. ඔහු මීර් කහනේගේ ෆැසිස්ට් දේවධර්මයේ සහ දේශපාලනයේ විවෘත ආරක්ෂකයෙකු ලෙස සිටී. පසුගිය අප්‍රේල් මාසයේ දී, අගමැති කාර්යාලය විසින් සපයන ලද ආරක්ෂක භටකායක් සමග සිටි බෙන්-ග්වීර්, කහානේ සහ බාරුක් ගෝල්ඩ්ස්ටයින් යන දෙදෙනාටම ප්‍රශංසා කරමින් කථාවක් කලේය.

2023 ඔක්තෝබර් 18 වැනි බදාදා, ටෙල් අවිව්හි, බෙන් ගුරියන් ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිනීමෙන් පසු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු විසින් පිලිගනු ලැබේ. (ඒපී ඡායාරූප/ඉවාන් වුචි) [AP Photo/Evan Vucci]

ඊශ්‍රායල නායකයින් විසින් කහනේගේ පලිගැනීමේ මූලධර්මයට කැදවුම් කිරීම, යුද්ධය ආරම්භ වූ දා සිට වඩ වඩාත් සුලභව දැකගත හැකි ය. පසුගිය මාසයේ, නෙතන්‍යාහු ප්‍රසිද්ධ කථාවකදී ප්‍රකාශ කලේ, “අමලෙක් ඔබට කල දේ ඔබ මතක තබා ගත යුතු බව අපගේ ශුද්ධ වූ බයිබලය පවසයි. ඒ වගේම අපිට මතකයි.” නෙතන්‍යාහු, අමලෙක් ගැන කරන සඳහනේ දී ඇඟවුම් කරන දේ, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් විසින් කරන ලද ප්‍රකාශයක පැහැදිලි කරනු ලැබී ය: “අපි සටන් කරන්නේ මනුෂ්‍ය තිරිසනුන් සමඟ බැවින්, අපි ඒ අනුව ක්‍රියා කරමු. අපි සියල්ල වනසා දමමු—ඔවුන්ට ඒ ගැන පසුතැවීමට සිදුවනු ඇත.” යුද්ධයේ ආරම්භයේ සිටම ඊශ්‍රායල නායකයින් විසින්, මේ හා සමාන අරුත් ඇති බොහෝ ප්‍රකාශයන් සිදු කර ඇති අතර, ඊශ්‍රායල ආන්ඩුවේ සහ හමුදාවේ ජන සංහාරක ක්‍රියාවන් තුලින් මෙම ප්‍රකාශයන් යථාවත්කරනය කර තිබේ.

ඊශ්‍රායල පාලන තන්ත‍්‍රය විසින් සිදු කරනු ලබන අපරාධ මධ්‍යයේ, සියොන්වාදයට විරුද්ධ වීම යුදෙව් විරෝධි ය යන ප‍්‍රකාශයට වඩා ලොකු හෝ වඩා කපටි බොරුවක් තවත් නැත. මෙය, පලස්තීනයට යලි පැමිනීම ගැන මිථ්‍යාව මත පදනම් වූ කැදවුම ප්‍රතික්ෂේප කල නොගැනියහැකි තරම් දහස් ගනන් යුදෙව් කම්කරුවන්ගේ සහ බුද්ධිමතුන්ගේ අතර පරම්පරා කිහිපයක් පුරා විහිදී ගිය, 1948ට පෙර සියොන්වාදයට පැවති විරුද්ධත්වයේ දිගු ඉතිහාසය විසින් නිෂ්ප්‍රභා කරන ලද බොරුවකි.

පලස්තීනයේ යුදෙව් රාජ්‍යයක් පිහිටුවීමේ ඉදිරිදර්ශනයේ දේශපාලනික වශයෙන් ප්‍රතිගාමී ස්වභාවය හඳුනාගෙන එය හෙලා දුටු සමාජවාදී ව්‍යාපාරය විසින්, සියොන්වාදයට එරෙහි විරුද්ධත්වය ඉහලම දේශපාලන පැහැදිලිතාවයකින් යුතුව ප්‍රකාශ කරන ලදී. මෙම ව්‍යාපෘතිය යටත් විජිතවාදී ව්‍යාපාරයක් බවත්, එය සාක්ෂාත් කර ගත හැක්කේ අධිරාජ්‍යවාදය සමඟ සන්ධානගතව සහ වසර 2,000 ක් තිස්සේ එම භූමියේ ජීවත් වූ පලස්තීන අරාබි ජනගහනයේ වියදමින් පමනක් බවත් වටහා ගැනුනි.

එපමනක් නොව, සාම්ප්‍රදායික ආගමික හිංසනයට ද 19 වැනි සියවසේ අගභාගයේ පටන් දේශපාලන යුදෙව් විරෝධය මතුවීමට ද එරෙහි ඔවුන්ගේ අරගලය තුල, යුදෙව් මහජනතාව, ඔවුන් ජීවත් වූ රටවල් තුල දේශපාලන හා සමාජ සමානාත්මතාව සාක්ෂාත් කරගැනීමට උත්සාහ කලහ. විශේෂයෙන්ම ජර්මනියේ දී එය ප්‍රගාඪ සත්‍යයක් විය. පීඩනයට එරෙහි මහජන ව්‍යාපාරයේ කොටස්කරුවන් වීමට ඔවුහු කැමති වූහ. මෙම උත්සාහය, යුදෙව් තරුනයන්ගේ, කම්කරුවන්ගේ සහ බුද්ධිමතුන්ගේ වඩාත්ම දේශපාලනිකව සවිඥානක කොටස්, සක්‍රීයව සමාජවාදී ව්‍යාපාරයට සම්බන්ධ වීමට හේතු විය.

සියොන්වාදය යනු යුදෙව් අනන්‍යතාවයේ අනිවාර්ය සහ අව්‍යාජ ප්‍රකාශනය බවට වන වර්තමාන කියාපෑමට ඉතිහාසය තුල කිසිදු පදනමක් නැත. එපමනක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාසයන්හි ද යුදෙව් විරෝධී අගතිය සහ හිංසා පීඩා පිලිබඳ අත්දැකීම් තුල මුල් බැසගත් පීඩිතයන් කෙරෙහි අනුකම්පාවේ ද නොනැසී පැවත්ම, ගාසාන්වරුන්ට එරෙහි ඊශ්‍රායල ප්‍රහාරයට විරුද්ධව විරෝධතාවල යෙදී සිටින අතිමහත් සංඛ්‍යාත යුදෙව් තරුනයින් තුල මැනවින් ප්‍රකාශ වේ.

සියලු ප්‍රචාරනයන් නොතකා, අනාරක්ෂිත පලස්තීනුවන් සමූල ඝාතනය කිරීමේ ඡායාරූප මගින්, නාසීන් අත යුදෙව්වන්ට අත්වූ ඉරනම පිලිබඳ ඓතිහාසික හා පවුල්මය මතකයන් අවදි වීම නොවැලැක්විය හැකිය. මේ අනුව, ගාසා තීරයේ ජනතාවට එරෙහි යුද්ධය ඊශ්‍රායල කුරිරුකම්වලට ගොදුරුවූවන් සමඟ සහයෝගීතාවයේ හැඟීමක් පමනක් නොව, යුද්ධය යුක්තියුක්ත කිරීම සඳහා හොලෝකෝස්ට් ඛේදවාචකය ගසාකෑමට එරෙහිව ගැඹුරු කෝපයක් ද මතු කරයි.

සත්තකින්ම, සියොන්වාදීන් සහ ඔවුන්ගේ ක්ෂමාලාපකයින්, මා කී සියල්ල හුදෙක් මගේ ගැඹුරින්ම මුල් බැසගත් යුදෙව් විරෝධිත්වයේ සාක්ෂියක් පමනක් බවත්—මා දැනටමත් පැහැදිලි කර ඇති පරිදි—එය සමාජවාදී ව්‍යාපාරය තුල පුලුල්ව පවතින අගතියක් බවත් ප්‍රකාශ කරනු ඇත. පුද්ගලයෙකු වඩ වඩාත් වමට බරවෙන තරමට, ධනවාදයට සහ අධිරාජ්‍යවාදයට ඔහුගේ හෝ ඇයගේ විරුද්ධත්වය වඩ වඩාත් ප්‍රබල වන තරමට, යුදෙව් රාජ්‍යය කෙරෙහි ඔවුන්ගේ විරුද්ධත්වය සහ, එබැවින්, ඔවුන්ගේ යුදෙව් විරෝධය, වඩාත් අශමනීය වේ.

මෙම චෝදනාව දේශපාලනික වශයෙන් ප්‍රතිගාමී මෙන්ම අභූතයකි. අඩසියවසකට වැඩි කාලයක් සමාජවාදී ව්‍යාපාරයේ නියැලී සිටින මට, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ සිටින මා සහ මගේ සහෝදරවරු යුදෙව් විරෝධීන් ය යන කියාපෑමට පිලිතුරු දීමට කිසිදු පුද්ගලික වගකීමක් නොමැත. කියමනකට අනුව, මගේ වාර්තාව, එය වෙනුවෙන් ම කථා කරයි.

එහෙත්, අවාසනාවකට මෙන්, පොදුවේ ගත් කල එය සත්‍ය නොවේ. යුදෙව් විරෝධය පිලිබද චෝදනාව සඳහා කිසියම් පුද්ගලයෙකුගේ දේශපාලන ඉතිහාසය නොසලකා හැරීම සහ විකෘති කිරීම අවශ්‍ය වේ.

එහෙයින් මම පලමු වතාවට, චෝදනාවට ප්‍රතිචාර දැක්වීම සඳහා, මගේ අතිශය ප්‍රසිද්ධ දේශපාලන වාර්තාවට මගේ පෞද්ගලික පසුබිමට අදාල තොරතුරු එකතු කරමි. දැන් මගේ 75 වැනි උපන්දිනයට අවුරුද්දකට වඩා මඳක් වැඩි කාලයක් ඉතිරිව ඇති, තරමක් වැඩිමහලු වයසකට පැමින ඇති මම, මෙය කිරීමට කාලය එලඹ ඇතැයි සිතමි. මා එසේ කරන්නේ, එය අවලාදකරුවන් මත යම් බලපෑමක් ඇති කරන නිසා නොව, තරුන පරම්පරාවකට අර්ථවත් විය හැකි සහ පලස්තීන ජනයා ආරක්ෂා කිරීමේ හා සියලු ආකාරයේ පීඩාවන්ට එරෙහි වීමේ ඔවුන්ගේ අරගලය තීව්‍ර කිරීම සඳහා ඔවුන් දිරිමත් කල හැකි මුඛ්‍යාංග මගේ පෞද්ගලික අත්දැකීම් තුල පවතින බැවිනි.

සියලු පුද්ගලයන්ගේම වර්ධනයේ ප්‍රමුඛතම සාධකය වන්නේ, ඔවුන් ඉපදුනු සමාජයේ පවතින සමාජ ආර්ථික ව්‍යුහයන් විසින් වඩාත් අතිමූලික මට්ටමින් නිර්නය කෙරුනු, ඔවුන්ගේ කාලයේ සමාජ හා දේශපාලන පරිසරයයි. මිනිසුන්ගේ පෞරුෂයන් හැඩගැසී ඇත්තේ, මාක්ස් විසින් 'සමාජ සම්බන්ධතාවල සමස්තයක්' ලෙසින් හැඳින්වූ දෙය මගිනි. නමුත් මෙම සමාජ සම්බන්ධතා වර්තනය වන්නේ තමන්ගේම සහ පවුලේ අය, මිතුරන්, ගුරුවරුන්, හඳුනන අය යනාදීන් හරහා සම්ප්‍රේෂනය වන පුද්ගලික අත්දැකීම් මගිනි.

මම 1950 උපන්, පලමු පරම්පරාවේ ඇමරිකානුවෙක්මි. මගේ උපන් ස්ථානය—ඇත්ත වශයෙන්ම, මගේ පැවැත්ම—තීන්දු වූයේ ඊට වසර හතරහමාරකට පෙර අවසන් වූ දෙවන ලෝක යුද්ධයට තුඩු දුන් සිදුවීම් මගිනි. යුදෙව්වන්ට එරෙහි නාසි වධහිංසාවන්ගෙන් බේරීමට මගේ දෙමාපියන් දෙදෙනාම යුරෝපයෙන් පලා ඇවිත් තිබුනි. මගේ මව බියට්‍රිස් උපත ලැබුවේ 1913 දෙසැම්බර් 18 වන දින විල්මර්ස්ඩෝෆ් හි ය—හරියටම හර්බට් ෆ්‍රාම් හෙවත් විලී බ්‍රැන්ඩ් උපත ලැබූ දිනයේ ය. කොන්ස්ටන්සර් ස්ට්‍රාස් හි පිහිටි ඇය උපන් මහල් ගොඩනැගිල්ල තවමත් පවතී. ඇගේ පියා—මගේ මුත්තනුවන් —බර්ලිනයේ සංස්කෘතික ජීවිතයේ සැලකිය යුතු ස්ථානයක් හිමි කර ගත්තෙකි. ඔහුගේ නම ඉග්නාට්ස් වැග්හල්ටර් විය. 1881 දී වෝර්සෝ හි ඉතා දුප්පත් සංගීතඥයින්ගේ පවුලක උපත ලැබූ වැග්හල්ටර් වයස අවුරුදු 17 දී නිසි සංගීත අධ්‍යාපනයක් ලබා ගැනීමේ අරමුනින් බර්ලිනයට ගියේය.

මගේ මුත්තනුවන් ලමයි 20 දෙනෙකුගෙන් 15 වැනියා විය. එම දරුවන් 20 දෙනාගෙන් 13 දෙනෙක් ලමා වියේදී මිය ගිය අතර, 1888 ටයිෆස් වසංගතයේදී එක් දිනක් තුල හතර දෙනෙක් මිය ගියහ. ලමුන් 20 දෙනාගෙන් හත් දෙනෙක්—පිරිමි ලමයින් හතර දෙනෙක් සහ ගැහැනු ලමයින් තිදෙනෙක්—දිවි ගලවා ගත්හ. මගේ මුත්තනුවන්, ඔහුගේ මුල් අවදියේ සිටම, අතිමහත් සංගීතමය කුසලතා ප්‍රදර්ශනය කලේය. වයස අවුරුදු හය වන විටත් ඔහු වෝර්සෝ සැනකෙලි බිමෙහි වාදන ඉදිරිපත් කලේය. වයස අවුරුදු අටේ දී ඔහු විප්ලවීය ගීතයක් ලියා එයට සංගීතයට රචනා කල අතර, එය කෙතරම් ජනප්‍රිය වී ද යත් කැරලිකාර සංගීතඥයාගේ නම සහ අනන්‍යතාව සොයා ගැනීමට පොලිසිය විසින් පරීක්ෂනයක් ආරම්භ කරන ලදී. ඒ අට හැවිරිදි දරුවකු බව දැනගත් විට ඔවුන් බෙහෙවින් කම්පනයට පත් විය. වැග්හල්ටර් පවුලට පෝලන්ත ජනතාවගේ විප්ලවවාදී ප්‍රජාතන්ත්‍රවාදී අරගලය තුල ගැඹුරු මූලයන් තිබුනි. ඇත්ත වශයෙන්ම, මම මෑතකදී, පුස්තකාලයක තිබී, 1848 දී මගේ මුත්තනුවන්ගේ මුත්තනුවන් විසින් රචනා කරන ලද විප්ලවවාදී සංගීත ඛන්ඩයක් සොයා ගතිමි.

මගේ මුත්තනුවන්ට සැබෑ අධ්‍යාපනයක් ලබා ගැනීමට අවශ්‍ය විය. ඔහුට හුදු සංචාරක සංගීතඥයෙක් වීමට අවශ්‍ය නොවී ය, ලෝකයේ සංගීත අගනුවර වන බර්ලිනයට ගොස් බැරෑරුම් සංගීත රචකයකු වන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට ඔහුට අවශ්‍ය විය. කිසිදු මුදලක් අත නොමැතිව 1897 දී දේශ සීමාව හරහා හොර රහසේ පැන යාමට ඔහුට හැකි විය. ඔහුට දැඩි දුෂ්කරතා විඳදරාගැනීමට සිදුවූ මුත්, ඔහු අවසානයේ ශ්‍රේෂ්ඨ වයලීන වාදකයෙකු සහ බ්‍රහ්ම්ස්ගේ මිතුරෙකු වූ ජෝසෆ් ජෝකිම්ගේ අවධානයට ලක් විය. ජෝකිම්ගේ නිර්දේශය මත මගේ මුත්තනුවන් ඇකඩමි ඩර් කුන්ස්ටේ (Akademie der Kunste) ට ඇතුලත් විය. 1902 දී, වයලින් සහ පියානෝ සඳහා ඔහුගේ සොනාටාවලට මෙන්ඩල්සන් ත්‍යාගය පිරිනමන ලදී. වසර දෙකකට පසු, ඔහු පසුපස බර්ලිනයට ගොස් තිබූ ඉග්නාට්ස්ගේ බාල සොහොයුරා වන ව්ලැඩිස්ලාව්ට ද, වයලීන වාදකයෙකු ලෙස ඔහුගේ ජයග්‍රහන සඳහා ද එම ත්‍යාගය ම ලැබුනි.

ඔහුගේ උපාධියෙන් පසුව, ඉග්නාට්ස්, කොමිෂ් ඔපෙරා රංග ශාලාවෙහි සංගීතය මෙහෙයවන්නෙකු ලෙස තනතුරක් ලබා ගත්තේය. වසර කිහිපයකට පසුව එසෙන් ඔපෙරා රංග ශාලාවේ ඔහුට පත්වීමක් ලැබුනි. නමුත් ඔහුගේ සංගීත දිවියේ තීරනාත්මක හැරවුම් ලක්ෂ්‍යය වූයේ, 1912 දී, අද ඩොච් ඔපෙරා රංග ශාලාව ලෙස හඳුන්වන චාලටන්බර්ග් හි බිස්මාක් ස්ට්‍රාස් හි අලුතින් ඉදිකරන ලද ඩොචස් ඔපෙරාහි ප්‍රධාන සංගීත මෙහෙයවන්නා ලෙස පත් කිරීමයි. එය අද එම වීදියේ ම පිහිටා ඇතත්, ඇත්ත වශයෙන්ම, මුල් ගොඩනැගිල්ල දෙවන ලෝක සංග්‍රාමයේදී විනාශ වී නැවත ගොඩනඟන ලදි. 1912 නොවැම්බර් 7 වන දින බීතෝවන්ගේ ෆිඩෙලියෝ ප්‍රසංගය සමඟ විවෘත වූ නව ඔපෙරා රංග ශාලාවේ ප්‍රසංග ප්‍රධානියා ලෙස ව්ලැඩිස්ලා වැගල්ටර් පත් කරන ලදී. යුදෙව් විරෝධීන්ගේ වාචික විරෝධය සහ නොයෙකුත් මරන තර්ජන තිබියදීත්, මංගල දර්ශනය මෙහෙයවන ලද්දේ ඉග්නාට්ස් වැග්හල්ටර් විසිනි.

ඊලඟ අවුරුදු 10 තුල මගේ මුත්තනුවන් ඩෝචස් ඔපෙරා ශාලාවේ ප්‍රධාන සංගීත මෙහෙයවන්නා ලෙස ඔහුගේ තනතුර පවත්වාගෙන ගියේය. ඔහුගේ ඔපෙරාවලින් තුනක් වන මැන්ඩ්‍රගෝල, ජුගෙන්ඩ් සහ සැටනියෙල් (Mandragola, Jugend and Sataniel) හි, මංගල දර්ශන ඔපෙරා ශාලාවේ පැවැත්වුනි. රිචඩ් වැග්නර් ට මහත් සේ ඇලුම් කල සංගීත ආයතනයක් විසින් මීට පෙර ප්‍රතික්ෂේප කර තිබුනු ග්‍යාකමෝ පුෂිනිගේ ඔපෙරා වෙනුවෙන් බලගතු ලෙස පෙනී සිටීම හේතු කොටගෙන වැග්හල්ටර් ප්‍රසිද්ධියට පත් විය. වැග්හල්ටර් විසින් පුෂිනි ගේ බටහිර කන්‍යාව (La Fanciulla del West [Das Mädchen aus dem goldenen Westen]) හි ජර්මානු මංගල දර්ශනය 1913 මාර්තු මාසයේදී පුෂිනිගේ සහභාගීත්වයෙන් මෙහෙයවන ලදී. එය ජර්මනිය තුල විශිෂ්ට කලාකරුවෙකු ලෙස පුෂිනිගේ කීර්තිය තහවුරු කල ජයග්‍රහනයකි.

ඩොචස් ඔපෙරා ශාලාවේ ඔහුගේ දීර්ඝ සේවා කාලය පුරාවට, වැග්හල්ටර්ට පෝලන්ත-විරෝධී සහ යුදෙව් විරෝධී අගතීන් සමඟ සටන් කිරීමට සිදු විය. ඔහු විසින් ආගමික චාරිත්‍ර වාරිත්‍ර පිලිපැදීම හෝ යුදෙව් ආගමික ස්ථානවලට යාම සිදු නොකල මුත්—වෙනත් බොහෝ යුදෙව්වන් ලෙස උපන් සංගීතඥයින් මෙන් නොව—වැග්හල්ටර් ක්‍රිස්තියානි ආගමට හැරීම ප්‍රතික්ෂේප කලේය. තම වෘත්තිය ඉදිරියට ගෙන යාමේ අරමුනින් කෙනෙකුගේ ආගම වෙනස් කිරීම, එමගින් යුදෙව් විරෝධී අගතියට අනුගත වීම පිලිබඳ සිතුවිල්ල ඔහුට පිලිකුල්සහගත විය.

1914 දී, පලමු ලෝක සංග්‍රාමය පුපුරා යාමත් සමඟ, වැග්හල්ටර්ට සංගීත මෙහෙයවීම් තහනම් කරන ලද්දේ, ඔහු අධිරාජ්‍ය ජර්මනිය යුද්ධයක යෙදී සිටි රුසියානු අධිරාජ්‍යයේ උපත ලැබූ බැවිනි. චාලටන්බර්ග්හි, ඔපෙරාවලට ඇලුම් කරන මහජනතාවගේ විරෝධතා, ඔහු නැවත සේවයේ පිහිටුවීමට හේතු විය.

ව්‍යසනකාරී උද්ධමන අර්බුදය මධ්‍යයේ එය බංකොලොත් බවට පත් වූ, 1923 දක්වාම, වැග්හල්ටර්, ඩොචස් ඔපෙරා ශාලාවෙහි සේවයේ යෙදී සිටියේය. ඔහු නිව් යෝර්ක් ප්‍රාන්ත සංධ්වනි වාද්‍ය වෘන්දයේ ප්‍රධානියා ලෙස වසරක් එක්සත් ජනපදයේ ගත කලේය. පසුව ඔහු නැවත ජර්මනියට ගිය අතර එහිදී ඔහු ඌෆා චිත්‍රපට සමාගමේ සංගීත අධ්‍යක්ෂක ලෙස පත් කරන ලදී. නමුත් ප්‍රතිසංවිධානය කර නැවත විවෘත කරන ලද ඩොචස් ඔපෙරා රංග ශාලාව එවක හැඳින්වූ නාමය වන ස්ටැඩිෂ ඔපෙරා වෙත ආපසු යාමට ඔහුට නොහැකි විය.

හිට්ලර්ගේ බලයට පැමිනීම, ජර්මනියේ සංගීතඥයන් ලෙස ඔහුගේ සහ ඔහුගේ සහෝදරයාගේ වෘත්තීය ජීවිත තථ්‍ය ලෙස අවසන් කර දැමී ය. තවමත් 20 වන වියට පිවිස නොසිටි මගේ මවට, තුන්වන පාලන තන්ත්‍රය (නාසි ජර්මානු තන්ත්‍රය) යුදෙව්වන්ට ඔවුන්ගේ වෘත්තීන් පමනක් නොව, ඔවුන්ගේ ජීවිතද අහිමි කරනු ඇති බවට පූර්ව-සැකයක් තිබුනි. බියට්‍රිස් ඇගේ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ පලා යාමට නොහැකි වීමට පෙර, ජර්මනිය හැර යන ලෙසයි. ඔවුහු ඇයගේ උපදෙස් පිලිගෙන ජර්මනියෙන් පිටත්ව මුලින්ම චෙකොස්ලොවැකියාවටත් පසුව ඔස්ට්‍රියාවටත් ගමන් කලහ.

ඉහල දක්ෂතා ඇති සංගීතඥවරියක වූ මගේ මව ජර්මනියේ රැඳී සිටියා ය. යුදෙව් සංස්කෘතික සංගමයට (Jüdische Kultur Bund) සම්බන්ධ වූ ඇය, එහිදී ජර්මනිය පුරා සිටින යුදෙව්වන්ගේ පෞද්ගලික නිවාසවල ගායිකාවක ලෙස සේවය කලා ය. 1937 දී ඇය එක්සත් ජනපදයට ඇතුලු වීමට වීසා බලපත්‍රයක් ලබා ගත්තා ය. ඇයගේ දෙමාපියන්ට ද ඇතුලුවීමේ වීසා ලබා ගැනීමට ඇය සමත් වූවා ය. මගේ මුත්තනුවන් සහ මිත්තනිය 1937 මැයි මාසයේ දී නිව් යෝර්ක් වෙත පැමිනියහ. පැමින දින කිහිපයක් ඇතුලත ඉග්නාට්ස්, අප්‍රිකානු ඇමරිකානු සංගීතඥයින්ගෙන් සැදුම් ලත් ප්‍රථම සම්භාව්‍ය සංගීත වාද්‍ය වෘන්දය නිර්මානය කරමින්, ඓතිහාසික වැදගත්කමක් ඇති ව්‍යාපෘතියක් ආරම්භ කලේ ය.

මෙම රැඩිකල් ව්‍යාපෘතියට එකල ජාතිවාදී පරිසරය තුල දැඩි විරෝධයක් එල්ල විය. වැග්හල්ටර් ඔහුගේ මහල් නිවාසයේ පෙරහුරු කිරීමට කලු ජාතික සංගීතවේදීන්ට නිතර ආරාධනා කලේ ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස වැග්හල්ටර් මෙම පුරුද්ද දිගටම කරගෙන ගියහොත් ඔහුව නෙරපා හරින ලෙස ඉල්ලන, මහල් ගොඩනැගිල්ලේ සිටින සියලුම සුදු ජාතිකයින් විසින් පාහේ අත්සන් කරන ලද පෙත්සමක් දියත් කෙරුනි.

මගේ මුත්තනුවන් බැල්ටිමෝර්හි අප්‍රිකානු ඇමරිකානු පුවත්පත විසින් සම්මුඛ සාකච්ඡාවකට ලක් කෙරුනි. 'විශ්ව ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රබලම බලකොටුව වන සංගීතය, වර්නය, ආගම හෝ ජාතිකත්වය නොදනී' යනුවෙන් ප්‍රකාශ කරමින් ඔහු සංධ්වනි වාදක කන්ඩායම නිර්මානය කිරීමට පෙලඹවූ විශ්වාසයන් ප්‍රකාශ කලේ ය.

වැග්හල්ටර්ගේ දැවැන්ත උත්සාහය නොතකා, ප්‍රතිගාමී පරිසරය නිසා වාද්‍ය වෘන්දය පවත්වාගෙනයාම කල නොහැකි විය. ඔහුගේ ජීවිතයේ අවසාන දශකය තුල වැග්හල්ටර් වඩ වඩාත් හුදකලා විය. ඔහුට ඔහුගේ පවුලේ අය සමඟ සබඳතා නැති විය. ජර්මනියෙන් පිටව යාමට නොහැකි වූ ඔහුගේ සහෝදරයා වන ව්ලැඩිස්ලාව් 1940 දී ගෙස්ටාපෝ මූලස්ථානයට ගිය පසු හදිසියේම මිය ගිය බව ඔහු දැනගත්තේ යුද්ධයෙන් පසුව ය. ඔහුගේ බිරිඳ සහ එක් දියනියක් අවුෂ්විට්ස්හි දී 1943 දී මිය ගියහ. ඇත්ත වශයෙන්ම ඔබට, මගේ මවගේ බාප්පා වූ ව්ලැඩිස්ලාව් පදිංචිව සිටි බ්‍රැන්ඩන්බර්ගර්ස්ට්‍රාස් අංක 49 දරන ස්ථානයේ, ව්ලැඩිස්ලාව්ගේ සහ ඔහුගේ පවුලේ අයගේ ජීවිතය සහ මරනය අනුස්මරනය කරන ස්මාරක (Stolpersteine) දැක ගත හැකි ය.

වාසනාවකට මෙන්, ව්ලැඩිස්ලාව්ගේ එක් දියනියක්, යොලන්ඩා පැන ගැනීමට සමත් වූවා ය. ඇය දකුනු ඇමරිකාවට ගොස්, පේරු හි ජීවත් වූ අතර, එහිදී ඇය ලීමා සංධ්වනි වාදක වෘන්දයේ පලමු වයලීන වාදකයා බවට පත් වූවා ය;, ඇගේ පුත් කාලෝස්, මගේ දෙවන ඥාති සහෝදරයා, දැන් නිව් ඕර්ලියන්ස් හි ජීවත් වන අතර, අපගේ වැඩිහිටි ජීවිත කාලය පුරා අපි සමීප මිතුරන් වී සිටිමු. ඉග්නාට්ස්ගේ සහෝදර ජෝසප් වෝර්සෝ ගෙටෝහිදී මිය ගියේ ය. සහෝදරියන් තිදෙනාගෙන් දෙදෙනෙක් ද පෝලන්තයේ දී මිය ගියහ. ඔහුගේ වැඩිමහල් සොහොයුරා වූ පෝලන්තයේ ශ්‍රේෂ්ඨ චෙලෝ වාදක හෙන්‍රික් වැග්හල්ටර් පමනක් යුද්ධයෙන් බේරීමට සමත් විය. මගේ මුත්තනුවන් 1949 අප්‍රේල් මාසයේ දී වයස අවුරුදු 68 දී නිව් යෝර්ක්හි දී හදිසියේ මිය ගියේ ය.

1935-36 අතරතුර දී චෙකොස්ලොවැකියාවේ කෙටි පිටුවහලක සිටිය දී මගේ මුත්තනුවන් කෙටි මතක සටහනක් ලියා ඇති අතර එය අවසන් වන්නේ කලාකරුවෙකු ලෙස ඔහුගේ පරමාදර්ශයන් ප්‍රකාශ කිරීමෙනි. නාසීන් යුදෙව්වන්ට මාරාන්තික තර්ජනයක් නියෝජනය කරන බව ඔහු හඳුනා ගත් නමුත්, යුක්තිය සඳහා යුදෙව් ජනතාවගේ ආචාර විද්‍යාත්මක හෝ සදාචාරාත්මක කැපවීම පරයා නාසි තන්ත්‍රයේ අපරාධකරුවන් ජයග්‍රහනය කිරීමට සමත් නොවනු ඇති බවට ඔහු විශ්වාසය පල කලේ ය. අවසානයේ තමාට රැකවරනය ලැබිය හැක්කේ කොතැනදැයි තමා තවමත් නොදන්නා බව වැග්හල්ටර් පිලිගත්තේ ය. එබැවින් ඔහු සිය මතක සටහන අවසන් කලේ මෙසේ ය:

කොතැනක සිටියද, 'ඔබ වහල්භාවයෙන් නිදහස් කරන ලද්දේ ඔබේ සහෝදරයන්ට සේවය කිරීම සඳහා ය' යන මෝසස්ගේ වචනවලට අනුකූලව කලාවට සහ මනුෂ්‍යවර්ගයාට සේවය කිරීමට මම කැමැත්තෙමි.

පැහැදිලිවම, යුදෙව් ආචාර ධර්ම පිලිබඳ මගේ මුත්තනුවන්ගේ සංකල්පය නෙතන්‍යාහු ආන්ඩුවේ සහ වර්තමාන සියොන්වාදී රාජ්‍යයේ පවතින සංකල්පයට වඩා බෙහෙවින් වෙනස් ය. යුදෙව් ජනයාගේ නාමයෙන් සිදු කරන දේ ඔහු දන්නේ නම් ඔහු කම්පනයට හා භීතියට පත් වනු ඇත. වර්තමානයේ පීඩිත පලස්තීන ජනතාවට එරෙහිව සෑම දිනකම සිදු කෙරෙමින් පවතින අපරාධ සමඟ යුදෙව් ජනතාව සම්බන්ධ කිරීමට වඩා විශාල අපහාසයක්, විශාල තෑග්ගක් සැබෑ යුදෙව් විරෝධීන්ට තිබිය නොහැක.

මගේ මුත්තනුවන්ගේ ජීවිත කතාව සහ යුරෝපීය යුදෙව්වන් විනාශ කර දැමූ ව්‍යසනය සමඟ එයට ඇති සම්බන්ධය මගේ ලමා කාලයේ නිවසේ නිරන්තර සාකච්ඡාවට ලක් වූ මාතෘකාවක් විය. අපි ඕමි ලෙස හැඳින්වූ මගේ මිත්තනිය, ඉග්නාට්ස්ගේ වැන්දඹුව, අප සමඟ ජීවත් විය. මම ඇගේ කාමරයේ පැය ගනන් ගත කලෙමි, එහිදී ඇය මට බර්ලිනයේ ජීවිතය ගැන, බොහෝ විශිෂ්ට කලාකරුවන් සමඟ ඇති මිත්‍රත්වය, ග්යාකොමෝ පුෂිනි ඇගේ තට්ටම කෙනිත්තූ ආකාරය, ඇය දන්නා සියලුම මිතුරන්, ලේඛකයින් සහ කොන්ස්ටන්සර්ස්ට්‍රාස් හි පිහිටි මහල් නිවාසයට නිතර ආ ගිය ඇල්බට් අයින්ස්ටයින් ඇතුලු විද්‍යාඥයින් පවා ගැන පැවසුවා ය. අයින්ස්ටයින් එහිදී, සිව් දෙනෙකුගෙන් සමන්විත වාදක කන්ඩාමයක කොටසක් ලෙස සිය වයලීනය වාදනය කිරීමට ප්‍රිය කලේ ය. මහල් නිවාසයේ පදිංචිකරුවන් එයට විරුද්ධ වූයේ නැත.

මගේ මිත්තනියගේ කතන්දරවලට අමතරව, ඇගේ පියා සමඟ විශේෂයෙන් සමීප සබඳතාවක් භුක්ති විඳි මගේ මව විසින් පවසන ලද ඒවා ද විය. බොහෝ කතා, අපේ නිවසේ ඉංග්‍රීසි හා සමාන තත්වයක් භුක්ති විඳි ජර්මානු භාෂාවෙන් පවසන ලදි.

අඩුම තරමින්, මම ජීවත් වූ වීදියේ මෙය අසාමාන්‍ය දෙයක් නොවේ. අපගේ අසල්වාසීන්ගෙන් බොහෝ දෙනෙක් සරනාගතයින් වූහ: ආචාර්ය ජාකොබියස්, ෆ්‍රෝ ලන්ඩන්, ෆ්‍රෝ ස්පිට්සර්, ෆ්‍රෝ රෙහ්ෆිෂ්, වෝල්ටර් සහ උස්චි බර්ගන්, ආචාර්ය හාර්ට්මන් සහ ආචාර්ය ගුට්ෆෙල්ඩ්. මට නම් මතක නැති තවත් අය සිටි අතර, එය හරියට චාලටන්බර්ග්හි සැලකිය යුතු කොටසක් නිව් යෝර්ක්හි උපනගර ප්‍රදේශයක නැවත එක්රැස් කලාක් මෙනි. ඒ අතරම, නගරයේ වෙනත් ප්‍රදේශවල ජීවත් වූ නමුත් නිතර නිතර පැමිනි බොහෝ මිතුරන් සිටියහ: ග්‍රේටා වෙස්ට්මන්, ඩෙලා ෂ්ලෙගර් සහ කර්ට් ස්ටර්න්.

බර්ලිනයේ ජීවිතය විස්තර කරන බොහෝ සාකච්ඡා 'Und dann kam Hitler' යන වාක්‍ය ඛන්ඩය කරා පැමිනියේය. ඊට පස්සේ හිට්ලර් ආවා. ඒ සියල්ල වෙනස් කල සිදුවීම යි. මෙය මගේ තරුන මනස තුල බොහෝ ප්‍රශ්නවලට තුඩු දුන්නේ ය. 'හිට්ලර් ආවේ කොහොම ද?' 'ඇයි හිට්ලර් ආවේ?' '1933 ට පෙර කවුරුහරි ඔහු එන බව දැන සිටියා ද?' 'මගේ මුත්තනුවන්, මිත්තනිය සහ මව හිට්ලර් ගැන මුලින්ම අසා ඔහු පැමිනිය හැකි බව දැනගත්තේ කවදා ද?' අවසාන වශයෙන්, සියල්ලටම වඩා වැදගත්ම ප්‍රශ්නය, “මිනිසුන් හිට්ලර් පැමිනීම නැවැත්තුවේ නැත්තේ ඇයි?”

මෙය, මා දන්නා කිසිවකුට සම්පූර්නයෙන් සැකසූ හෝ ඒත්තු ගැන්වෙන සුලු පිලිතුරු නොතිබූ ප්‍රශ්නයකි. නමුත් නිවසේ දී මට ලැබුනු පිලිතුරුවල යම් යම් ප්‍රයෝජනවත් අංග තිබුනි. පලමුව, නාසීන් දක්ෂිනාංශික ව්‍යාපාරයක් ලෙස පැහැදිලිව හඳුනා ගන්නා ලදී. එබැවින් මගේ පවුල තුල යහපත සහ අයහපත අතර බෙදුම් රේඛාව තිබුනේ ජර්මානුවන් සහ යුදෙව්වන් අතර නොව, වම සහ දකුන අතර ය. මෙම බෙදීම ජර්මනියේ පමනක් නොව ලොව පුරා සහ ඇත්ත වශයෙන්ම එක්සත් ජනපදය තුල ද පැවති බව මගේ මව අවධාරනය කලා ය. ඇය ඉඳහිට සමහර ඇමරිකානු දේශපාලනඥයන් වෙත අවධානය යොමු කොට 'Ich traue nicht dieser Bande ' ('මම මේ කල්ලිය විශ්වාස කරන්නේ නැහැ') යනුවෙන් පැවසුවා ය.

මගේ මව මේ කාරනය ගැන විශේෂයෙන් අවධාරනය කලා ය. ඇය ෆැසිස්ට්වාදයට වෛර කලා ය. යම් සුවිශේෂී පිලිකුල් සහගත සමාජ සහ දේශපාලනික ආකල්පයන් දුටු විට හෝ ඒවා මුහුන දුන් විට, වරදකාරී පුද්ගලයා 'ein echter Fascist' සැබෑ ෆැසිස්ට්වාදියෙකු ලෙස විස්තර කිරීමට ඇය නැඹුරු වූවා ය.

හිට්ලර්ට පෙර සිටම ජර්මනියේ යුදෙව් විරෝධය පැවති බව ඇය නිසැකවම දැන සිටියා ය. හිට්ලර් පැමිනීමට පෙර සිටම, ඇගේ පාසලේ ගුරුවරුන් අතර ඇය එවැනි ප්‍රවනතාවලට මුහුන දුන්නා ය. නමුත් ඇය බොහෝ විට මෙම ප්‍රවනතා ගැන කරුනු ඉදිරිපත් කරන විට, ඒවා සමූහ මිනීමැරුම් දක්වා නොවැලැක්විය හැකි ලෙස වර්ධනය වනු ඇතැයි කිසි සේත් විශ්වාස නොකල බවත් නොකරනු ඇති බවත් සදහන් කලා ය. එවැනි අනිවාර්යතාවයක් ඇය විශ්වාස කලේ නැත. එපමනක් නොව, ඇය කිසි විටෙකත් ජර්මානුවන් කෙරෙහි වෛරයක් හෝ කලකිරීමක් යන්තමින්වත් ප්‍රකාශ කලේ නැත. ජර්මනියෙන් පලා ගොස් වසර 60 ක් ගතවී ඇතත් ජර්මානු භාෂාව පිලිබඳ ඇගේ දැනුම අඩු නොවීම ගැන ඇය ආඩම්බර වූවා ය.

ජර්මනියේ ෆැසිස්ට්වාදය බලයට පත් වූ ආකාරය පැහැදිලි කරන දේශපාලනිකව ඒත්තු ගැන්වෙන පිලිතුරක් සොයා ගැනීමට මට වසර ගනනාවක් ගත විය. මගේ පරම්පරාවේ බොහෝ දෙනෙක් මෙන්, මම සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය, ගීටෝ නැගිටීම් සහ වියට්නාම් යුද්ධය පිලිබද අත්දැකීම් හරහා ගමන් කලෙමි. 1960 ගනන්වල ඇති වූ පුපුරන සුලු සිදුවීම්, ඉතිහාසය පිලිබඳ මගේ අධ්‍යයනය උනන්දු කල අතර සමකාලීන සිදුවීම් පුලුල් කාල රාමුවක් තුල ස්ථානගත කිරීමේ ප්‍රවනතාව දිරිමත් කලේ ය. එපමනක් නොව, කිසිදා නිම නොවන වියට්නාම් යුද්ධය පිලිබඳ කෝපය ද ඩිමොක්‍රටික් පක්ෂය සහ ඇමරිකානු ලිබරල්වාදය කෙරෙහි පැවති මිථ්‍යාවන් ක්‍රමානුකූලව වඩ වඩා බිදවැටීම ද මා සමාජවාදය දෙසට තව දුරටත් පෙලඹවී ය. මෙම ක්‍රියාවලිය, අවසානයේ 1969 සරත් සෘතුවේ දී ප්‍රථම වතාවට ලියොන් ට්‍රොට්ස්කිගේ ලේඛන සොයා ගැනීම කරා මා ගෙන ගියේ ය.

ඔහුගේ සොයාගත හැකි ලේඛන අධ්‍යයනයේ මම ගිලී සිටියෙමි: ඔහුගේ අනුස්මරනීය රුසියානු විප්ලවයේ ඉතිහාසය, ඔහුගේ ස්වයං චරිතාපදානය වන මගේ ජීවිතය, නව මාවත, ඔක්තෝබරයේ පාඩම් සහ පාවාදුන් විප්ලවය. මෙම සියලු කෘතීන් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට බැඳීමට මා ගත් තීරනයේ පදනම ලෙස සේවය කලේ ය. එහෙත් මා මත විශාලතම බලපෑම ඇති කල වෙලුම වූයේ 1930 සහ 1933 අතර නාසීන් බලයට පත්වීමට එරෙහි අරගලයට කැප වූ ට්‍රොට්ස්කිගේ ලේඛන එකතුවකි.

එම තීරනාත්මක වසරවල දී ට්‍රොට්ස්කි ඉස්තාන්බුල් වෙරලට ඔබ්බෙන් වූ ප්‍රින්කිපෝ දූපතේ පිටුවහලේ ජීවත් විය. ස්ටැලින්වාදී තන්ත්‍රය විසින් ඔහුව පිටුවහල් කර තිබුනි. ජර්මනියේ සිට සැතපුම් 2000 කට ආසන්න දුරකින් සිටි ඔහු, එහි දිග හැරෙමින් තිබූ සිදුවීම් අධ්‍යයනය කරමින් සිටියේ ය. ඔහුගේ ලිපි, හිට්ලර් සහ නාසි පක්ෂය විසින් එල්ල කරන ලද අන්තරාය ගැන ඔහු කල අනතුරු ඇඟවීම් දේශපාලන සාහිත්‍යයේ අසමසම වේ.

ලියොන් ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝ හි ඔහුගේ මේසයේ

ට්‍රොට්ස්කි, ෆැසිස්ට්වාදයේ ස්වභාවය—එහි පන්ති පදනම සහ සමාජවාදී හා කම්කරු පන්ති ව්‍යාපාරයට එරෙහි දේශපාලන භීෂනයේ මෙවලමක් ලෙස එහි ආවශ්‍යක ක්‍රියාකලාපය —පැහැදිලි කලා පමනක් නොව, නාසීන් පරාජය කල හැකි ආකාරය ද පැහැදිලි කලේ ය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සහ ෆැසිස්ට්වාදය එක සමාන බවට ප්‍රකාශ කල ඊනියා තුන්වන කාලපරිච්ඡේදයේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්ති ඔහු හෙලිදරව් කලේ ය. ඔහු මෙම බංකොලොත් අති-වාමවාදී පිලිවෙතට ප්‍රතිප්‍රහාර එල්ල කලේ, නාසි තර්ජනය පරාජය කිරීම සඳහා සියලු කම්කරු පන්තික පක්ෂවල එක්සත් පෙරමුනක් සඳහා වූ කැඳවුමෙනි. ඔහුගේ අනතුරු ඇඟවීම් නොසලකා හරින ලදී. ස්ටැලින්වාදයේ මෙන්ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ පාවාදීම් ද නාසීන්ගේ ජයග්‍රහනයට හේතු විය.

නමුත් හිට්ලර් බලයට පත්වීම සහ ඒ සමග පැමිනි දෙවන ලෝක සංග්‍රාමයේ ව්‍යසනය සහ නාසි යුදෙව් සංහාරය (Holocaust) නොවැලැක්විය හැකි දේවල් නොවීය. ඒවා කම්කරු පන්තියේ ප්‍රතිසංස්කරනවාදී හා ස්ටැලින්වාදී නායකත්වයන්ගේ දේශපාලන පාවාදීම්වල ප්‍රතිඵලය විය. එය තේරුම් ගැනීම, ෆැසිස්ට්වාදය යනු කුමක්දැයි වටහා ගැනීම—සහ, මම ඒ ගැන නැවත සිතා බලන විට, මා හැදී වැඩුනේ මේ සියල්ල සිදුවී දශක කිහිපයකට පසුව පමනක් බව වටහා ගැනීම—මා කෙරෙහි දැඩි බලපෑමක් ඇති කලේ ය. නැවත කිසි දිනෙක ෆැසිස්ට්වාදයක් ඇති නොවිය යුතු බව වටහාගෙන, මෙම දේශපාලන භීෂනය පරාජය කල හැකිව තිබූ බව අවබෝධ කර ගත් කල, සමාජවාදී ව්‍යාපාරය තුල සහ විශේෂයෙන් මානව වර්ගයා මුහුන දුන් දැවැන්තම තර්ජනය නිවැරදිව විශ්ලේෂනය කර එයට විසදුමක් ලබා දුන් එම දේශපාලන සංවිධානය තුල ක්‍රියාකාරී වීමට යමෙකු බැඳී සිටියේ ය.

ට්‍රොට්ස්කිට අනුව, ෆැසිස්ට්වාදයේ නැඟීම මුල්බැස ගත්තේ ජර්මානු මානසිකත්වය තුල නොව ධනවාදයේ හා ජාතික රාජ්‍ය පද්ධතියේ ඓතිහාසික අර්බුදය තුල ය. හිට්ලර් සහ ෆැසිස්ට් තන්ත‍්‍රය, අවසාන විග‍්‍රහයේ දී නියෝජනය කලේ, පවතින ජාතික රාජ්‍ය පද්ධතිය විසින් එය මත පනවන ලද සීමා කිරීම්වලට, යුද්ධය හා සමූහ ඝාතනය හරහා විසඳුමක් සොයන ජර්මානු ධනවාදයේ මංමුලා සහගත උත්සාහය යි. එයට 'යුරෝපය ප්‍රතිසංවිධානය කිරීමට' බල කෙරුනි. නමුත් මෙය තනිකරම ජර්මානු ගැටලුවක් නොවීය. ඇමරිකානු අධිරාජ්‍යවාදය මත පටවා තිබෙන, එය අද නියැලී සිටින, අර්බුදය ඊටත් වඩා විශාල අභියෝගයකි: එය නම් ලෝකය ප්‍රතිසංවිධානය කිරීමේ කර්තව්‍යය යි.

ෆැසිස්ට්වාදය සහ දෙවන ලෝක යුද්ධය පුපුරා යාම යුරෝපීය යුදෙව්වන් සමූලඝාතනය කිරීමේ අන්තරාය මතු කරන බවට, හිට්ලර් බලයට පත්වීමෙන් පසු ලියන ලද පසුකාලීන ලේඛනවල, ට්‍රොට්ස්කි අනතුරු ඇඟවී ය. ධනේශ්වර ක‍්‍රමයේ ගෝලීය ප‍්‍රතිවිරෝධතා තුල මුල් බැසගත් ගැටලුවකට ජාතික විසඳුමක් ඉදිරිපත් කල සියොන්වාදයට මෙම අනතුර වැලැක්විය නොහැකි බව ඔහු ලිවී ය.

නාසීන්ගේ ජයග්‍රහනයෙන් පසුව ට්‍රොට්ස්කි අවධාරනය කලේ, යුදෙව්වන්ගේ ඉරනම වෙන කවරදාටත් වඩා සමාජවාදයේ ඉරනම සමග බැඳී ඇති බව යි. 1934 ජනවාරි 28 දිනැති ලිපියක ඔහු මෙසේ ලිවීය:

සමස්තයක් හැටියට යුදෙව්වන්ගේ ඓතිහාසික ඉරනම කුමක් වුවත්, යුදෙව් ප්‍රශ්නය ජාත්‍යන්තර එකකි. එය 'තනි රටක සමාජවාදය' තුලින් විසඳිය නොහැක. වත්මන් නීච හා පිලිකුල් සහගත යුදෙව් විරෝධී වධහිංසා සහ සංහාරවල තතු යටතේ, යුදෙව් ජනතාවගේ ඉරනම විසඳිය හැක්කේ නිර්ධන පංතියේ පූර්න හා අවසාන ජයග්‍රහනයෙන් පමනක් ය යන්න පිලිබද ඥානයෙන් යුදෙව් කම්කරුවන්ට විප්ලවවාදී අභිමානයක් ඇති කර ගත හැකි ය; ඇති කර ගත යුතු ය.

මෙම ඉදිරිදර්ශනය ඉතිහාසය විසින් සනාථ කර ඇත. ඊශ්‍රායලය පිහිටුවීම දේශපාලන ජයග්‍රහනයක් යැයි පවසන අයට දේශපාලන ජයග්‍රහනයක් සමන්විත වන්නේ කුමකින් ද යන්න පිලිබඳ සුවිශේෂී අදහසක් ඇත. වෙනත් ජනතාවකගේ දේශයක් අමු අමුවේ පැහැර ගැනීම මත පදනම් වූ, සියලු පුරවැසියන්ට ලබාදිය යුතු මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හුදු වාර්ගික පදනමක් මත ප්‍රතික්ෂේප කරන, රාජ්‍ය ප්‍රතිපත්තියේ පදනමක් ලෙස වෛරය සහ පලිගැනීම විශුද්ධ කරන, සිය දේශය පැහැර ගැනීමට ලක් වූ මිනිසුන් මරා දමා වධ හිංසා පැමිනවීම පිනිස තම පුරවැසියන්ව ක්‍රමානුකූලව මෙහෙයවන සහ ලෝකයේ වඩාත්ම වෛරයට ලක් වූ රට බවට පත්ව ඇති රාජ්‍යයක් නිර්මානය කිරීම—මෙය “දේශපාලන ජයග්‍රහනයක්” ලෙස විස්තර කල නොහැක. එය දේශපාලන පරිහානියකි.

දැන් පවතින යුද්ධය, එහි සියලු භීෂනයන් තිබියදී ම, එක් සැලකිය යුතු දේශපාලන ප්‍රතිපදානයක් නිර්මානය කර ඇත. එය තරුන පරපුර අවදි කර ඇත. එය ලෝකයේ ඇස් විවර කර ඇත. එය සියොන්වාදී තන්ත‍්‍රය සහ එහි අධිරාජ්‍යවාදී හවුල්කරුවන් අපරාධකරුවන් ලෙස හෙලිදරව් කර ඇත. එය ලොව පුරා පැතිර යන කෝපයේ උදම් රැල්ලක් නිර්මානය කර ඇති අතර මෙම ජන සංහාරයට වගකිවයුත්තන් එහි ගසාගෙන යනු ඇත.

එහෙත් අපගේ ව්‍යාපාරය මුහුන දෙන දැවැන්තම අභියෝගය නම්, මෙම කෝපය, අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට එරෙහි පොදු අරගලයක් තුල ගෝලීය කම්කරු පන්තිය එක්සත් කල හැකි විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලකින් පනපොවා ගැනීම යි. මෙම අභියෝගයට මුහුන දීමට අපගේ ව්‍යාපාරය සහ අපගේ ව්‍යාපාරය පමනක් ම සමත් වේ. එය දැවැන්ත දේශපාලන ඉතිහාසයක් සහ මුලු ශතවර්ෂයක් පුරා විහිදෙන දැවැන්ත දේශපාලන අත්දැකීමක් මූර්තිමත් කර යි. අප දැන් මුහුන දී සිටින ආකාරයේ අර්බුදයක දී, එහි ගතිකත්වය පිලිබඳ අවබෝධයක් සහ වත්මන් තත්වයට මැදිහත් වී කම්කරු පන්තියේ අවශ්‍යතා වෙනුවෙන් එය වෙනස් කිරීමට සමත් ඉදිරිදර්ශනයක් ගෙන ඒමට හැකි වෙනත් පක්ෂයක් නොමැත.

එබැවින් මෙම දේශනය, වර්තමාන සිදුවීම් පිලිබඳව හැර ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සරය පිලිබඳ විධිමත් වාර්තාවක් නොවූවත්, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය යනු කුමක් ද යන්න සහ අප මුහුන දෙන වර්තමාන අරගලයන් සමඟ එහි ඇති සම්බන්ධය පිලිබඳව ඔබේ අවබෝධයට එය දායක වන්නට ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

Loading