සසප (එක්සත් ජනපදය) ජාතික ලේකම් ජෝසප් කිෂෝර්, “ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සරය” යන මැයෙන් කොලඹ දී පැවත්වූ ප්‍රසිද්ධ රැස්වීම අමතයි


[මෙය SEP (US) National Secretary Joseph Kishore addresses “Centenary of Trotskyism” public meeting in Colombo යන මැයෙන් 2023 දෙසැම්බර් 11 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

සසප (එක්සත් ජනපදය) ජාතික ලේකම් ජෝසප් කිෂෝර් 2023 දෙසැම්බර් 10 දින කොලඹ පැවති ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සරය පිලිබඳ රැස්වීම අමතමින්

ඉරිදා (10) පස්වරුවේ, එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ජාතික ලේකම් ජෝසප් කිෂෝර්, කොලඹ නව නගර ශාලාවේදී, ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සරය සැමරීම සඳහා 'ලියොන් ට්‍රොට්ස්කි සහ 21 වැනි සියවසේ සමාජවාදය සඳහා අරගලය' යන මැයෙන් වූ, සැලකිය යුතු සහභාගීත්වයක් සහිතව පැවත්වුනු ප්‍රසිද්ධ රැස්වීමක් ඇමතීය.

මෙම රැස්වීම, ශ්‍රී ලංකාවේ සසප සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද අතර, ඊට පෙරාතුව දෙසැම්බර් 7 දා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දී, කිෂෝර් විසින්, එම තේමාව මත ම ආමන්ත්‍රනය කරන ලද තවත් රැස්වීමක්l පැවැත්විනි.

ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් විනාශ වූ උතුරේ සැලකියයුතු නියෝජිත පිරිසක් ද සමග, කොලඹ සහ පිට පලාත්වල සසප සාමාජිකයින් සහ ආධාරකරුවන් ද ඇතුලු සියයකට අධික කම්කරුවන්, ශිෂ්‍යයන් සහ ගෘහනියන් පිරිසක් රැස්වීමට සහභාගී විය.

රැස්වීමේ මුලසුන හෙබවූයේ සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර විසිනි. සිංහලෙන් කරන ලද ඔහුගේ ආරම්භක ප්‍රකාශය සසප දේශපාලන කමිටු සාමාජික එම්. දේවරාජා විසින් දෙමල භාෂාවට පරිවර්තනය කරන ලදී. ඉංග්‍රීසියෙන් කරන ලද කිෂෝර්ගේ කතාව ජයසේකර විසින් සිංහලට පරිවර්තනය කරන ලද අතර, එහි දෙමල පරිවර්තනය සසප දේශපාලන කමිටු සාමාජික ශ්‍රී හරන් විසින් රැස්වීමේ සිය අදාල සවන්දෙන්නන් සඳහා අන්‍තර්ජාලය හරහා සිදු කරන ලදී.

කිෂෝර් උනුසුම් ලෙස පිලිගනිමින් ජයසේකර රැස්වීමේ කටයුතු ආරම්භ කලේය. නොවැම්බර් 28 වැනි දින, වයස අවුරුදු 73 දී හදිසියේ මියගිය සසප (එක්සත් ජනපදය) සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) දිගු කාලීන සාමාජිකාවක වූ හෙලන් හෙල්යාර්ඩ්ගේ විප්ලවවාදී ජීවිතයේ දැවැන්ත වැදගත්කම ඔහු පැහැදිලි කලේය. ඔහු කල ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගොඩනැගීමේ අරගලයට සිය ජීවිතයේ වසර 52 ක් කැප කල හෙල්යාර්ඩ්ට උපහාර දැක්වීම සඳහා සහභාගී වූවෝ විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වූහ.

ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සර රැස්වීම අමතන දීපාල් ජයසේකර

ශ්‍රී ලංකාවේ “කම්කරුවන් හා තරුනයන් ඇමතීමට හැකිවීමත්, ජාත්‍යන්තර කමිටුවේ ඉතිහාසයේ මෙතරම් දීර්ඝකාලීන හා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කල සහෝදරවරුන් හමුවීමටත් හැකිවීම ඉමහත් ගෞරවයක්” බව කිෂෝර් පැවසීය. ශ්‍රී ලංකාවේ සසප නායකයින්, “බොහෝවිට පාලක පන්තියේ ප්‍රචන්ඩකාරී විරුද්ධත්වය හමුවේ ට්‍රොට්ස්කිවාදය සඳහා ඔවුන්ගේ ප්‍රතිපත්තිමය අරගලයේදී ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරය පුරා යුක්ති සහගත ලෙස ගෞරවයට පාත්‍ර වන” බව ඔහු තවදුරටත් පැවසීය. ඔහු ශ්‍රී ලාංකීය ශාඛාවේ අභාවප්‍රාප්‍ය්ජ නායකයින් වන, වසර 36 කට පෙර මියගිය කීර්ති බාලසූරිය සහ 2022 ජූලි 27 වන දින අභාවප්‍රාප්ත වූ විජේ ඩයස් විශේෂයෙන් සිහිපත් කලේය.

කම්කරුවන් හා තරුනයින් තම අරගල ජාතික පදනමක් මත නොව, ජාත්‍යන්තර ඉදිරිදර්ශනයක් මත පදනම් කර ගැනීමේ අවශ්‍යතාවය පැහැදිලි කල කිෂෝර්, “කිසියම් රටක ජාතික සුවිශේෂතා මත පදනම්ව එරට සම්බන්ධයෙන් දිශානතියක් වර්ධනය කර ගත නොහැකි” යන මූලික මාක්ස්වාදී මූලධර්මය පෙන්වා දුන්නේ ය.

ඊශ්‍රායලයේ දක්ෂිනාංශික නෙතන්‍යාහු තන්ත‍්‍රය විසින් ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව පසුගිය මාස දෙක තුල සිදුකරමින් පවතින ජන සංහාරක යුද්ධය කිෂෝර් ගෙනහැර දැක්වීය; එයට, ක්‍රමානුකූලව බෝම්බ හෙලීම, මිනීමැරීම, කුසගින්නේ තැබීම, වෛද්‍ය ප්‍රතිකාර අහිමි කිරීම සහ මිනිසුන් තම නිවෙස්වලින් පලවා හැරීම ඇතුලත් වේ.

එක්සත් ජනපදය සහ එහි නැටෝ සහචරයින් ඊශ්‍රායලයේ යුද්ධයට සක්‍රීයව සහය දී ඇති ආකාරය විස්තර කරමින් කිෂෝර් මෙසේ අදහස් දැක්වීය: “ජන සංහාරක ක්‍රියා සඳහා විවෘත සහයෝගය, මුලු ලෝකයටම බලපාන හෝ බලපෑ හැකි, එක්සත් ජනපද-නැටෝ අක්ෂයේ දිග හැරෙන ගෝලීය යුද්ධයක කොටසක් ලෙස පමනක් වටහා ගත හැකිය.'

“ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ඊශ්‍රායල ක්‍රියාවන් සඳහා වන සහයෝගය, ලෝක ආධිපත්‍යය සඳහා එහි උත්සාහය සමග බැඳී තිබෙනවා. කොටින්ම කියතොත්, බයිඩන් පරිපාලනය පැහැදිලිවම ඉරානය ඉලක්ක කර ගනිමින් මධ්‍යධරනී මුහුදට දැවැන්ත මිලිටරි දෘඩාංග යෙදවීමේ අවස්ථාවක් ලෙස ගාසා තීරයේ ඊශ්‍රායලයේ ක්‍රියාවන් යොදා ගෙන තිබෙනවා. රුසියාව සහ චීනය යන රටවල් දෙක එක්ක එක්සත් ජනපදයේ ගැටුම සමග ම, ඉරානය සමඟ ගැටුමකුත් දක්නට ලැබෙනවා. ගාසා තීරයට එරෙහි යුද්ධය සහ රුසියාවට එරෙහිව යුක්‍රේනයේ එක්සත් ජනපද-නැටෝ යුද්ධය ඇත්ත වශයෙන්ම වේගයෙන් උත්සන්න වන ලෝක යුද්ධයක පෙරමුනු දෙකක්,” බව ඔහු පැවසීය.

ගෝලීය භූ-දේශපාලනික ආතතීන්ට දකුනු ආසියාව තල්ලු කරන ආකාරය පෙන්වා දෙමින් කිෂෝර් මෙසේ පැවසීය: “මෙම පුලුල් වන ගැටුමට හසු නොවන කොටසක් ලෝකයේ නැහැ. විශේෂයෙන්ම, දකුනු ආසියාව සහ ශ්‍රී ලංකාව ඇතුලු සමස්ත ඉන්දියානු සාගර කලාපයම, එහි ප්‍රධාන ගෝලීය ප්‍රතිවාදියා ලෙස ඇමරිකානු පාලක පන්තිය විසින් සලකනු ලබන චීනය වට කිරීමේ එක්සත් ජනපද ව්‍යාපාරයට ඇදගෙන යමින් ඉන්නෙ.”

සසප (එක්සත් ජනපදය) ජාතික ලේකම් ජෝසප් කිෂෝර් 2023 දෙසැම්බර් 10 දින කොලඹ පැවති ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සර රැස්වීම අමතමින්

එක්සත් ජනපද රිපබ්ලිකන් පක්ෂයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නෙදර්ලන්තයේ ගීට් විල්ඩර්ස්, ආර්ජන්ටිනාවේ ජැවියර් මිලෙයි, ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි සහ ඉතාලියේ ජෝර්ජියා මෙලෝනි පෙන්වා දෙමින්, අන්ත දක්ෂිනාංශික සහ ෆැසිස්ට්වාදී පුද්ගලයන් ජාත්‍යන්තරව නැගී එන ආකාරය කථිකයා පැහැදිලි කලේය.

කිෂෝර් අවධාරනය කලේ, කෙසේ වෙතත්, 'වර්තමාන තත්වයේ වඩාත්ම වැදගත් සාධකය' ලෙස 'සියලු සමාජ බලවේගවල මූලික හා බලවත්ම බලවේගය වන කම්කරු පන්තියේ පුනර්ජීවනයේ' වැදගත්කමයි. ඔහු එක්සත් ජනපදය හා යුරෝපය ද ඇතුලුව ලොව පුරා කම්කරුවන්ගේ වැඩෙන වැඩ වර්ජන ව්‍යාපාර සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිටුබලය ලබන කප්පාදුවලට එරෙහිව ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ අරගල විස්තර කලේ ය.

'සෑම තැනකම කම්කරුවන් හා තරුනයන් මුහුන දී සිටින්නේ, ගෝලීය පරිමානයෙන් විප්ලවවාදී විසඳුම් සඳහා අවශ්‍යතාවය මතු කෙරෙන තත්වයකට' කිෂෝර් පැවසීය. “මෙය අවශ්‍යයෙන්ම මූලික දේශපාලන හා ඓතිහාසික ප්‍රශ්න මතු කරනවා. සමාජවාදය යනු කුමක්ද? 20 වන සියවසේදී සිදු වූයේ කුමක්ද? ස්ටාලින්වාදයට විකල්පයක් තිබුනාද?”

කිෂෝර්, 1923 ඔක්තෝම්බර් මාසයේදී ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ වාම විපාර්ශ්වය පිහිටුවීමෙන් පටන් ගෙන, ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය සහ ක්‍රියාමාර්ගය සඳහා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් ගෙන ගිය වසර 100 ක අරගලය විස්තර කලේය. ඉන් අනතුරුව, 1938 දී හතරවන ජාත්‍යන්තරය නිර්මානය කිරීමත්, එහි මතුව ආ දියකර හැරීමේ පැබ්ලෝවාදී ප්‍රවනතාවයට එරෙහිව සටන් කිරීම සඳහා 1953 දී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) පිහිටුවීමත් ගැන සඳහන් කලේය.

“1930 ගනන්වල අගභාගයේදී ට්‍රොට්ස්කිවාදයට හැරුනු” ලංකා සමසමාජ පක්ෂය (ලසසප) 1935 දී පිහිටුවීමෙන් පටන්ගෙන, ශ්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදයේ පොහොසත් ඉතිහාසය පිලිබඳ සවිස්තර වාර්තාවක් සැපයූ කිෂෝර්, ඉන් පසුව, “1942 දී ඉන්දියාවේ සංවිධාන කිහිපයක් සමඟ ලසසප ඒකාබද්ධ කිරීම හරහා ඉන්දියාවේ, ලංකාවේ සහ බුරුමයේ බොල්ෂෙවික්-ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි),” පිහිටවූ ආකාරය විස්තර කලේය.

මෙයට, “සියලු භාෂා, ආගම් සහ වර්ගවලට අයත් කම්කරුවන් හා පීඩිත ජනතාව එක්සත් කරමින්, සමස්ත ඉන්දීය විප්ලවවාදී අරගලයක් සඳහා ඉදිරිදර්ශනයේ පදනම මත, අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයට බීඑල්පීඅයි හි බලගතු මැදිහත්වීම” සහ 1947 වාර්ගික බෙදීමට එහි විරුද්ධ වීමේ සිට, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ පැවති ඉන්දියාව, මුස්ලිම් පකිස්ථානයක් සහ හින්දු ආධිපත්‍ය සහිත ඉන්දියාවක් බවට පත්වීමත්, එවකට ලංකාව ලෙසින් හැඳින්වුනු ශ්‍රී ලංකාව 1948 දී ලද නාමික නිදහසත් දක්වා ඉතිහාසය ඇතුලත් විය.

“'යල් පැන ගිය අදහසක් සහ බිඳ වැටුනු දර්ශනයක්' වන, “රාජ්‍යය ජාතිය සමග ද ජාතිය වර්ගය සමග ද සමසීමිත විය යුතු ය”' යන උපකල්පනය මත පදනම් වූ, දෙමල කම්කරුවන්ට ඡන්ද අයිතිය අහිමි කිරීමේ පියවරයන්ට එරෙහිව, බීඑල්පීඅයි නායක කොල්වින් ආර්. ද සිල්වා 1948 අගෝස්තුවේ කල කතාවක දී පහර දුන් බව කථිකයා වැඩිදුරටත් පැවසීය. එම කතාවේම ද සිල්වා කල ප්‍රකාශයන් ද කිෂෝර් උපුටා දැක්වීය: “ජාතිය වර්ගය සමග සමසීමිත කොට රාජ්‍යය ගොඩනැගීමේ දී ජනවර්ගය තීරනාත්මක සාධකය කරන ලද්දේ ද නිශ්චිතව ම ෆැසිස්ට්වාදය යටතේ ය.

'ඇමරිකානු ට්‍රොට්ස්කිවාදී ජේම්ස් පී. කැනන් විසින් ප්‍රකාශයට පත් කරන ලද විවෘත ලිපියේ සිට වසර හැත්තෑවක්' ලිපිය ගැනත්, එම ලේඛනය තුල විස්තාරනය කර ඇති, 1950 ගනන් මුල හතරවන ජාත්‍යන්තරය තුල පැනනැගුනු පැබ්ලෝවාදී සංශෝධනවාදී ප්‍රවනතාවයට එරෙහි ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ මූලික මූලධර්ම ආරක්ෂා කිරීමට සහ ඉදිරියට ගෙන යාමට 1953 දී ජාත්‍යන්තර කමිටුව පිහිටුවීම ගැනත්, ඉන් අනතුරුව කිෂෝර් සඳහන් කලේය.

පැබ්ලෝවාදී සංශෝධනවාදය, ජාතිකවාදී මාවතක් ඔස්සේ ලසසපයේ දේශපාලන පරිහානිය විවෘතව දිරිමත් කල ආකාරය පැහැදිලි කල කිෂෝර්, 1964 දී ලසසපය, එවකට අගමැතිනිය වූ සිරිමා බන්ඩාරනායකගේ ධනේශ්වර සභාගයට ඇතුලු වෙමින් මහා පාවාදීම කූටප්‍රාප්තියට ගෙන ගිය බව පැවසීය.

සසප පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය 1968 දී පිහිටුවන ලද්දේ, 'පැබ්ලෝවාදී ලසසප සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ක්‍රියාමාර්ගය පාවාදීමේ සැබෑ පාඩම් උකහා ගැනීම සඳහා' ජාත්‍යන්තර කමිටුව විසින් මෙහෙයවන ලද අරගලයක පදනම මත බව කථිකයා පෙන්වා දුන්නේය.

ලෝකය පුරා අරගලවලට අවතීර්න වෙමින් සිටින කම්කරුවන් හා තරුනයින් “විප්ලවවාදී නිගමනවලට එලඹීමට පටන් ගෙන ඇති” බව පැහැදිලි කිරීමෙන් පසු කිෂෝර් මෙසේ පැවසීය: “සෑම රටකම කම්කරුවන් මුහුන දෙන කර්තව්‍යය වන්නේ, සාපරාධී කතිපයාධිකාරීන්ගෙන් සහ යුදවාදීන්ගෙන්, ජන සංහාරයේ සැපයුම්කරුවන්ගෙන් සහ ඔවුන්ගේ සහචරයන්ගෙන් බලය ලබා ගැනීම සහ සමාජ සමානාත්මතාවය මත පදනම්ව ලෝක පරිමානයෙන් සමාජ හා ආර්ථික ජීවිතය ප්‍රතිසංවිධානය කිරීම සඳහා කම්කරු පන්තිය තුල සැබෑ සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමයි. මෙම කර්තව්‍යය ඉටු කිරීමේදී කම්කරුවන්ට හා තරුනයින්ට ඉතිහාසයෙන් පලා යා නොහැක.”

කිෂෝර් අවසාන වශයෙන් මෙසේ පැවසීය: “වර්තමානය ගොඩනඟා වාත්තු කර ඇත්තේ අතීතය විසින් වන අතර, අතීතයේ අත්දැකීම් මත පදනම්ව, වර්තමාන ගැටලුවලට මුහුන දීමේ සහ අනාගතයේදී සමාජවාදී සමාජයක් ගොඩනැගීමේ අභියෝගයටයි අපි මුහුන දෙමින් ඉන්නෙ.”

ප්‍රශ්නෝත්තර සැසියේ දී, හජාජාක-සසප කම්කරුවන්ට තමන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට කරන ඉල්ලීම සහ විප්ලවවාදී පක්ෂය ගොඩනැගීම සඳහා එහි අරගලය අතර සම්බන්ධය පිලිබඳ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් කිෂෝර් පැහැදිලි කලේ, ක්‍රියාකාරී කමිටුවලට බැඳෙන විට සමාජවාදය හෝ විප්ලවවාදී දේශපාලනය පිලිගැනීමට අප කම්කරුවන්ට බලපෑම් නොකරන බව යි. “එමෙන්ම, අපි දේශපාලන ප්‍රශ්නවල වැදගත්කම සඟවා තබන්නේ හෝ අවතක්සේරු කරන්නේ නැහැ. කම්කරුවන්ගේ අයිතීන් සඳහා වන අරගලය වෘත්තීය සමිති යාන්ත්‍රනයේ පාවාදීම්වලට එරෙහි සටනක් බව අපි ඔවුන්ට පැහැදිලි කරනවා. මෙම අරගලයේ වර්ධනය අවසානයේ පාලක පන්තියට හා ධනේශ්වර පද්ධතියට එරෙහි සටනක්. ඒ වගේම මේ මූලික අයිතිවාසිකම් සඳහා වන අරගලය වෙනත් ගැටලුවලින් වෙන් කරන්න බැහැ. මේ අනුව, එය අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලයත් එක්ක බැඳී තිබෙනවා.”

ක්‍රියාකාරී කමිටු තුල අරගල ගැන සඳහන් කරමින් කිෂෝර් පැහැදිලි කලේ, තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමේදී එවැනි කමිටු ගොඩ නගා ගන්නා කම්කරුවන්ට අවශ්‍ය දේශපාලන මග පෙන්වීම සැපයිය හැක්කේ, ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන වැඩපිලිවෙල සහ දේශපාලන ප්‍රශ්න පිලිබඳ පැහැදිලිකම මත පදනම්ව වූ පුහුනු සහ උගත් කම්කරුවන්ට බවයි. ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “මෙම අභියෝගාත්මක කාර්යයන් වලදී පක්ෂය දේශපාලන කරුනු සැලකිල්ලට ගන්නවා. සංවිධානාත්මක ප්‍රශ්නවලට ප්‍රමුඛත්වය දෙන විට, එයින් ඇඟවෙන්නේ ‘සංවිධානාත්මක අවස්ථාවාදයයි.’ අපගේ ප්‍රධාන අවධානය ඓතිහාසික ප්‍රශ්නවල පැහැදිලිකම කෙරෙහි යොමු වන අතර, එය කල හැක්කේ ට්‍රොට්ස්කිවාදයේ ඉතිහාසය පිලිබඳ අවබෝධයක් මත පමනයි.”

කිෂෝර් තවදුරටත් මෙසේ පැවසීය: “මෙම පාඩම් මත කම්කරු පන්තියේ දේශපාලන නායකත්වය ගොඩනැගිය යුතු අතර, සමාජවාදය සාක්ෂාත් කර ගත හැක්කේ ඒ හරහා පමනයි. ලොව පුරා විප්ලවවාදී සහ කම්කරු පන්තික අරගල වර්ධනය වෙමින් පවතිනවා. අපගේ ව්‍යාපාරය පදනම් වී ඇත්තේ කම්කරු පන්තියේ න්‍යායික හා දේශපාලන මට්ටම අවශ්‍ය මට්ටමට ඔසවා තැබිය යුතුය යන අවබෝධය මතයි. මේ ක්‍රමය තුලින් පමනයි අපට ජනතාව අතරට යා හැක්කේ.”

දීපාල් ජයසේකර විසින් ට්‍රොට්ස්කිගේ පාවාදුන් විප්ලවය පොතේ පලමු දෙමල පිටපත ජෝශප් කිෂෝර් වෙත පිලිගන්වමින්

රැස්වීම අවසන් කිරීමට පෙර, ජයසේකර, ශ්‍රී ලංකාවේ සසප ප්‍රකාශන ආයතනය වන කම්කරු මාවත/තොලිලලර් පාතයි ප්‍රකාශකයින් විසින්, 1936 දී ලියන ලද ට්‍රොට්ස්කිගේ අනුස්මරනීය කෘතියක් වන පාවාදුන් විප්ලවය හි දෙමල පරිවර්තනය ප්‍රකාශයට පත් කලේය. ප්‍රකාශනයේ පරිවර්තනය, සංස්කරනය සහ පරිගනක පිටු සැකසීම සංවිධානය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර කමිටුවේ ප්‍රංශ ශාඛාවේ සහෝදරවරුන්ට ඔහු විශේෂයෙන් ස්තුති කලේය. ඔහු පොතේ පිටපතක් කිෂෝර්ට පිරිනැමීය.

සසප පක්‍ෂය ගොඩනැගීමේ අරමුදලට දායක වන ලෙස මූලාසනය කල ආයාචනය මත, රැස්වීමේ සිටි අය රුපියල් 16,000 ක් පරිත්‍යාග කර තිබුනි. ජාත්‍යන්තර ගීතය ගායනා කරමින් රැස්වීම අවසන් විය.

Loading