වැටුප් හා අධ්‍යාපන අයිතිය දිනා ගැනීමට ගුරුවරුන් ගෙනයන අරගලයට ක්‍රියා මාර්ගයක්

වැටුප් විෂමතා ඉවත් කිරීම, පාසල් නඩත්තු වියදම් දෙමාපියන් මත පැටවීම නතර කිරීම, අධ්‍යාපන උපකරනවල මිල ගනන් පහත හෙලීම හා නිදහස් අධ්‍යාපනයට ප්‍රතිපාදන ඉහල දැමීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මත රටපුරා පාසල් ගුරුවරුන් යලි අරඹා ඇති අරගලය සමග ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුව එකට සිට ගනී.

ගුරුවරුන් වන අප මුහුන දී සිටින්නේ ද සමස්ත කම්කරු පන්තියට එරෙහිව වික්‍රමසිංහ-පොදු පෙරමුනු ආන්ඩුව විසින් ක්‍රියාවට දමා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු පිලිවෙත්වලට හා ඊට එරෙහිව පැන නංවන අනිවාර්ය මහජන නැගිටීම් මැඩීම සඳහා ක්‍රියාවට දමා ඇති ආඥාදායක පොලිස් රාජ්‍ය සැලසුම්වලට ය.

විරෝධතාවයේ යෙදුනු ගුරුවරුන් කන්ඩායමක්

පසුගිය ඔක්තෝබර් 24 දා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී, ගුරුවරුන් 4,000 ක පමන සහභාගිත්වයෙන් පැවති විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලිසිය හා කැරලි මර්දන ඒකක මෙහෙයවා එල්ල කල මිලේච්ඡ කඳුලු ගෑස් හා බැටන් ප්‍රහාරයෙන් ආන්ඩුව පෙන්නුම් කර ඇත්තේ ජාමූඅ වැඩපිලිවලට එරෙහිව නැගෙන කවර හෝ විරෝධයක් තමන් නො ඉවසන බවයි. ලංකා විදුලිබල මන්ඩලය (ලංවිම), ඛනිජ තෙල් සංස්ථාවේ (ඛතෙස), සෞඛ්‍ය සේවකයන්ගේ මෑත ම සටන්වලට එරෙහිව ආන්ඩුව අත්‍යාවශ්‍ය සේවා නියෝග පනවා ඇති අතර ලංවිම සේවකයන් 67 ක්, ඛතෙස සේවකයන් 20 ක් රැකියාවලින් දොට්ට දමා තිබේ. කාර්මික ක්‍රියා තහනම් කරමින් උසාවි නියෝග ගෙන තිබේ. මෑතදී සම්මත කරගත් සමාජ මාධ්‍ය නියාමන පනත, සම්මත කර ගැනීමට යන ප්‍රති-ත්‍රස්ත පනත්වල එල්ලය කම්කරු පන්තියේ අරගල දඬු ගැසීමයි.

අනෙක් අතින්, වේගයෙන් ඉහල යන ජීවන වියදම හමුවේ වැඩි වැටුප් හා දීමනා ඉල්ලමින් ද, පෞද්ගලීකරනයට එරෙහිවද, අනෙකුත් ක්ෂේත්‍රවල අපගේ සහෝදර කම්කරුවෝ හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව අඛන්ඩව සටනට අවතීර්න වී සිටිති. ධනපති ආන්ඩු විසින් වගා දිගා කරන වාර්ගික-ආගමික භේදකරනයන් නොතකා උතුරු-නැගෙනහිර ඇතුලු රටපුරා ගුරුවරු, කම්කරුවෝ සහ ශිෂ්‍යයෝ මෙම අරගලවල සම්බන්ධ වී සිටිති. ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙල මෙන්ම මර්දනය පරාජය කල හැක්කේ සමස්ත කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයකින් පමනි.

නමුත්, ලංකා ගුරු සංගමය (ලංගුස), ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ ලංකා ගුරු සේවා සංගමය (ලංගුසේස), ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) මෙහෙය වන ඒකාබද්ධ ගුරු සේවා සංගමය (ඒගුසේස) ඇතුලු සමිති 15 කින් පමන සමන්විත ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය, අනෙකුත් වෘත්තීය සමිති නිලධරයන්සේම, ගුරුවරුන් යොමුකර ඇත්තේ කම්කරු පන්තියේ ඒකාබද්ධ ප්‍රති-ප්‍රහාරයක් සංවිධානය කිරීමට එරෙහිව, ප්‍රහාර එල්ල කරන ධනපති ආන්ඩුවට ම බලපෑම් දැමීමේ හුදකලා උද්ඝෝෂන ක්‍රියාමාර්ගයන් වෙතයි.

දශක දෙකකටත් වැඩි කාලයක් එම ක්‍රියාමාර්ගයන් ඔස්සේ සටන් වැද ඇති නමුත් අපට ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කිරීමට සරිලන වැටුප් දිනා ගැනීමටත්, දරුවන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමටත් නො හැකි වී ඇත.

2021 වසරේ අග මාස තුනක් ඔස්සේ ඇදීගිය අපගේ වැටුප් අරගලයේ පාඩම කුමක් ද?

කම්කරු පන්තියේ හා පීඩිත ජන කොටස්වල හා තරුනයන්ගේ දැවැන්ත බලය විදාහල පසුගිය වසරේ පැවැති මහජන නැගිටීමට මාස කිහිපයකට පෙර පැවති එම ගුරු වර්ජනය “ත්‍රස්තවාදය” මර්දනය කල අයුරින් තලා දමන බවට රාජපක්ෂ ආන්ඩුව තර්ජනය කරද්දී පවා ගුරු සමිති නිලධරය අපගේ අරගලය වටා අවශේෂ කම්කරු පන්තියේ සහාය ගොනු කිරීමෙන් වැලකී ගත්තේ ය.

වසංගතය මගින් උග්‍ර වූ ආර්ථික අර්බූදය හමුවේ ගුරුවරුන්ගේ වැටුප් වැඩි කල නො හැකි යයි රාජපක්ෂ ආන්ඩුව කියා සිටිද්දී ජෝසෆ් ස්ටාලින්, මහින්ද ජයසිංහ, සංජීව බන්ඩාර ඇතුලු සමිති නායකයන් නිවට ලෙස ආන්ඩුවට කියා සිටියේ “ආර්ථික අර්බූදය තේරුම් ගෙන, මස් රාත්තලම නොඉල්ලා, නම්‍යශීලී ව” සිටින බවයි. 'වැටුප් විෂමතා ඉවත්කොට වහාම හිඟ වැටුප් ලබාදෙනු!' යන ඉල්ලීම හකුලා ගනිමින් ඔවුන් ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ “වැටුප් විෂමතා ගැටලුවක් ගුරුවරුන්ට ඇතැයි ප්‍රතිපත්තියක් ලෙස පිලිගන්නා” ලෙසයි.

සමිතිවලට පිටින් ගුරුවරුන්ගේ විරුද්ධත්වය වැඩෙන තත්වය තුල ආන්ඩුව ගුරුවරුන්ගේ ඉල්ලීමෙන් තුනෙන් එකක වැටුප් වැඩිවීමක් ලබා දෙමින් වර්ජනය දියකර හැරීමට කටයුතු කරද්දී වෘත්තීය සමිති ඊට යටත්ව ගුරු වර්ජනය නතර කලහ. සමිති නායකයන් මෙම සියලු තීන්දු ගනු ලැබුවේ සාමාන්‍ය ගුරුවරුන් වන ඔබ-අප සමග කවර හෝ සාකච්ඡාවකින් තොරව ප්‍රජාතන්ත්‍ර-විරෝධී ආකාරයෙනි.

මෙම ඊනියා වැටුප් සංශෝධනයෙන් තුන්වන ශ්‍රේනියේ සිට පලමු ශ්‍රේනිය දක්වා වන ගුරුවරුන්ගේ වැටුප් වැඩිවූයේ රුපියල් 5,000 සිට 15,000 ක් පමන වූ සොච්චමකිනි. එමෙන් කිහිප ගුනයකින් වැඩි වූ උද්ධමනය මගින් සැබෑවටම සිදුකෙරී ඇත්තේ අපගේ මූර්ත වැටුප් කප්පාදු කිරීම නොවේ ද?

අනෙක් අතින්, වැටුප් විෂමතාව හේතුවෙන් වසර 24 ක් පුරා අහිමි වූ වැටුප් හෙවත් හිඟ වැටුප් කිසිවක් ගුරුවරුන්ට ලැබුනේ නැත. ඒ වනවිට විශ්‍රාම ගොස් සිටි ගුරුවරුන්ට මින් කවර හෝ ප්‍රතිලාභයක් හිමි නොවුනි. සමිති නායකයන් “ඓතිහාසික ජයග්‍රහනයක්” ලෙස ඔජ වැඩූ වැටුප් වැඩිවීමේ සැබෑ තත්වය එයයි.

පසුගිය දෙවසර තුල ප්‍රවාහන ගාස්තු සහ ආහාර වියදම් දැවැන්තව ඉහලයාම හේතුවෙන් දුරබැහැර සිට සේවයට පැමිනි ගුරුවරුන් 5000 ක් පමන සේවය හැර ගොස් ඇත. පාසල් ලමුන්ගෙන් සියයට 54ක ට ආර්ථික අර්බූදය දරුනු ලෙස බලපා තිබෙන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ මෑතම වාර්තාවක් පෙන්වා දෙයි. ඒ තත්වය තුල අප අත්දකින්නේ දරුවන් පාසල් හැර යෑමේ වර්ධනයක් හා නිතිපතා පාසල් පැමිනීමේ බරපතල ඛාදනයකි.

දෙවසරකට පසු, සමිති නිලධරය විසින් ගුරුවරුන්ගේ විරෝධතා යලි කැඳවා තිබෙන්නේ, වික්‍රමසිංහ-පොදු පෙරමුනු ආන්ඩුව තම ජීවන කොන්දේසි වලට සහ ප්‍රජාතන්ත්‍රීය අයිතින්ට එල්ල කරන රුදුරු ප්‍රහාරයන්ට එරෙහිව ගුරුවරුන්ගේ විරෝධය වැඩෙන තත්වය තුල, විරෝධතා කිහිපයක් කැඳවා එම විරෝධය ක්‍රමානුකූලව වාෂ්ප කර දැමීමටයි.

ආන්ඩුවට පීඩනය යෙදීමේ විරෝධතා සහ ආන්ඩුව සමග කරන සාකච්ඡාවන්හි නිස්සාරභාවය සමිති නිලධරයේ ප්‍රකාශයන් මගින්ම තහවුරු වේ. පසුගිය අය-වැය පිලිබඳව අදහස් දැක්වීම සඳහා නොවැම්බර් 15 දා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ලංගුස ලේකම් ස්ටාලින් කියා සිටියේ, “අය-වැයට පෙර අධ්‍යාපන ඇමති සමග සාකච්ඡා කර, 24 දා උද්ඝෝෂනයකුත් පවත්වා තිබිය දී, වැටුප් විෂමතා ගැන මේ අය-වැයේ කිසිදු සඳහනක් කර නැති” බවයි. ලංගුසේස ලේකම් මහින්ද ජයසිංහ එහිදී මෙසේ පැවසීය: “පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුව අඩු ගනනින් වැටුප් විෂමතා ගැටලුවක් ගුරුවරුන්ට තියෙනවා කියලා පිලිගත්තා. නමුත්, වික්‍රමසිංහ ආන්ඩුව එහෙම පිලිගැනීමක්වත් කරලා නෑ.”

වික්‍රමසිංහගේ නොතකා හැරීම යටින් පවතින්නේ ලංකාව තුල ගැඹුරින්ම ප්‍රකාශයට පත්වන ලෝක ධනේශ්වර ක්‍රමයේ පද්ධතිගත අර්බූදය යි. මෙම තතු වසන් කරමින්, කම්කරු පන්තියට එල්ල කෙරෙන ධනේශ්වර ප්‍රහාරයන් හුදෙක් වික්‍රමසිංහගේ හා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්තගේ දුර්ගුනයකට ඌනනය කොට, වැටුප් හා අනෙකුත් අයිතීන් දිනා ගැනීම සඳහා කම්කරු පන්තිය තමන්ගේ විසඳුම් ක්‍රියාමාර්ගයකින් සන්නද්ධවීම වලකා, අර්බූද ග්‍රස්ථ ධනපති ක්‍රමයට ඔවුන් යට කිරීම සමස්ත සමිති නිලධරයේ අරමුන බව ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුව අවධාරනයෙන් කියා සිටී.

කෝවිඩ්-19 වසංගතය හා මේ වන විට ඇමරිකාව ප්‍රමුඛ නේටෝ අධිරාජ්‍යවාදී බලයන් විසින් රුසියාවට එරෙහිව යුක්‍රේනය තුලත්, ඊස්රායලය හරහා පලස්තීනයේ හා මැද පෙරදිග කලාපයේත් ගෙන යන බිහිසුනු යුද්ධ මගින් ගැඹුරු කරන ලෝක ධනේශ්වර අර්බූදයේ කොටසක් ලෙස ලංකාවේ ධනපති පන්ති පාලනය මේ වන විට මුහුන දී සිටිනේනේ තම ඉතිහාසය තුල මුහුන දුන් තියුනු ම අර්බූදයටයි.

වසංගත හා වර්ධනය වන ලෝක යුද තත්වය මගින් ලොවපුරා නිෂ්පාදන, සැපයුම් දාමයන් අවහිරවීමෙන් හා ජාත්‍යන්තරව ක්‍රයශක්තිය හෙවත් මිල දී ගැනීමේ හැකියාව පහල වැටීමෙන් පසුගිය වසර කිහිපය තුල ලංකාවේ අපනයන ආදායම් අඛන්ඩව පහල බැස තිබේ. 2023 වසර තුල දී එය සියයට 11 කින් පමන පහත වැටී තිබේ.

රුපියල් ට්‍රිලියන 3 කට ආසන්න අය-වැය හිඟය පියවා ගැනීම සඳහා රාජ්‍ය වියදම් කප්පාදුව, රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරනය, වැට් බදු ඉහල දැමීමට ජාමූඅ නියෝග කර ඇති අතර එම රුදුරු කප්පාදු ක්‍රියාවට දැමීමේ දී සිදු කරන යම් හෝ ප්‍රමාදයක් ලබාදීමට නියමිත ඩොලර් මිලියන 3 ක නය මුදලේ ඊලග වාරික මුදා හැරීම නතර කිරීමට තර්ජනය කරයි. අර්බූදයේ පරිමාව කොතරම් ද කියතොත් රාජ්‍ය වියදමින් ට්‍රිලියන 3 ක් තරම් දැවැන්ත මුදලක් වෙන් වන්නේ විදේශ නය ආපසු ගෙවීම සඳහායි.

එම නියෝග පිලිපදිමින් වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාවට දමා ඇත්තේ, ලොව පුරා සහචර පාලක පන්තීන් ගෙන යමින් තිබෙන අර්බූදයේ බර මහජනයා මත පැටවීමේ පන්ති යුද්ධයේ පිලිවෙතයි.

ධනපති ආන්ඩුවලට ආයාචානා කිරීමේ වෘත්තීය සමිති වැඩපිලිවෙල යටතේ ගුරුවරුන් ඇතුලු මහජනයාට තම අයිතීන් දිනා ගත නො හැකි වන්නේ මේ තත්වය තුලයි. සෑම පාසලකම ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගනිමින් හා අවශේෂ කම්කරු-පීඩිත කොටස් ඒ වටා ඒකාබද්ධ කර ගනිමින්, ගරා වැටෙන ධනපති ක්‍රමයට ලබා දිය හැකි සොච්චමක් සඳහා නොව ශිෂ්ඨ සම්පන්න ජීවතයක් ගත කිරීමට සරිලන වැටුප්, යහපත් රැකියා කොන්දේසි හා සැමට ගුනාත්මක නිදහස් අධ්‍යාපනයක් හා සෞඛ්‍ය සේවයක් දිනා ගැනීම සඳහා ගුරුවරුන් වන අප පෙරට ආ යුතු ය.

එම ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටු පහත ඉල්ලීම් මත සටන් වැදිය යුතුයැයි අපි යෝජනා කරමු.

• ජීවන වියදමට අනුව සැකසෙන පරිදි ගුරුවරුන්ගේ අවම මාසික වැටුප රුපියල් 75,000 ක් කරනු!

• සෑම ගුරුවරයෙකුටම පූර්න විශ්‍රාම වැටුපක් සහතික කරනු !

• මහජන අධ්‍යාපනයට දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 10 ක් වෙන් කරනු!

• පන්ති කාමරයක ගුරු-සිසු අනුපාතය 1:20 දක්වා පහත හෙලනු!

• අඩු පොලී අනුපාත යටතේ ප්‍රමානවත් නිවාස නය පහසුකම් සම්පාදනය කරනු !

• සේවය අත්හිටවූ සියලුම ලංවිම, ඛතෙස සේවකයින් වහාම සහ කොන්දේසි විරහිතව නැවත සේවයේ පිහිටුවනු! කාර්මික ක්‍රියා තහනම ඉවත් කරනු!

අප විශ්වාස කරන්නේ, පුද්ගලික දේපොල සහ ලාභය මත පාදක වූ ධනපති ක්‍රමය තුල මෙම යුක්තියුක්ත ඉල්ලීම් සාක්ෂාත් කල නොහැකි බවයි. එය කල හැක්කේ, සමාජවාදී ආර්ථික පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ සහ ගොවියන්ගේ ආන්ඩුවකින්, වික්‍රමසිංහ ආන්ඩුව ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ ධනේශ්වර පන්ති පාලනය විස්ථාපනය කිරීමෙනි.

ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක වැඩපිලිවෙල යටතේ, ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග ඒකාබද්ධව ලෝක ධනවාදය සහ ධනේශ්වර ලාභ පද්ධතිය අහෝසි කරන්නා වූ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය පෙරට ගැනීමට අප හා ඒකාබද්ධ වන්න.

සෑම සති අන්තයකම පවත්වන ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුවේ සාකච්ඡාවන් හා ඒකාබද්ධ වීමට මෙම දුරකථන අංකය අමතන්න. 0773562327;

Loading