දඩයමට ලක්වූ විදුලිබල සේවකයින් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා කම්කරු ක්‍රියාකාරී කමිටු එකමුතුව රැස්වීමක් පවත්වයි

[මෙය Sri Lankan Collective of Workers Action Committees hold public meeting to defend victimised electricity employees යන මැයෙන් 2024 පෙබරවාරි 03 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටු එකමුතුව (සීඩබ්ලිව්ඒසී) බ්‍රහස්පතින්දා (1) කොලඹදී ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීය. එය පැවැත්වුනේ, රජයට අයත් සමාගම පුද්ගලීකරනය කිරීමට එරෙහිව කටයුතු කල බැවින්, දැන් ආන්ඩුවේ දඩයමකට ලක්ව සිටින ලංකා විදුලිබල මන්ඩලයේ (ලංවිම) සේවකයින් ආරක්ෂා කිරීම සඳහා සහය ලබා ගැනීමට ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් අනවන ලද ආන්ඩුවේ පුද්ගලීකරන ප්‍රතිපත්ති සහ අනෙකුත් දරුනු කප්පාදු පියවරයන්ට එරෙහිව ලංවිම සේවකයින් ජනවාරි 3 සිට 5 දක්වා දින තුනක් විරෝධතා පැවැත්වීය.

සීඩබ්ලිව්ඒසී යනු, වරාය, සෞඛ්‍ය, ඇඟලුම්, වැවිලි, දුම්රිය සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල මෙන්ම, සේවයෙන් පහ කරන ලද සමුපකාර තොග ආයතන (සතොස) සේවකයන්, විදේශගත සංක්‍රමනික සේවකයන් සහ ශ්‍රී ලංකාවේ දකුනේ බෙරගම ප්‍රදේශයේ ගොවීන් විසින් පිහිටුවන ලද ක්‍රියාකාරී කමිටුවල සන්ධානයකි. ඔවුන්ගේ අදාල ක්‍රියාකාරී කමිටුවල කම්කරු නියෝජිතයන් ද ඇතුලුව 50 ක් පමන දෙනා රැස්වීමට සහභාගී වූහ.

සීඩබ්ලිව්ඒසී සහ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයින් බ්‍රහස්පතින්දා රැස්වීමට පෙර කොලඹ සහ අනෙකුත් ප්‍රදේශවල උද්ඝෝෂන ව්‍යාපාරයක නිරත වූ අතර, ප්‍රධාන වශයෙන් ලංවිම දඩයම හා සම්බන්ධව සිංහල සහ දෙමල භාෂාවෙන් මුද්‍රිත පත්‍රිකා දහස් ගනනක් බෙදා හරින ලදී.

සසප දේශපාලන කමිටු සාමාජික ඩබ්ලිව්.ඒ. සුනිල් විසින් ප්‍රධාන වාර්තාව ඉදිරිපත් කල රැස්වීමේ මුලසුන දැරුවේ වරාය සේවකයෙකු වන සාලිත සිංහබාහු විසිනි. වතුකරයේ සිට පැමිනි අය සඳහා රැස්වීමේ දෙමල පරිවර්තනයක් ලබා දෙන ලදී.

වරාය සේවක සාලිත සිංහබාහු

සහභාගිවන්නන් පිලිගනිමින්, ක්‍රියාකාරී කමිටු එකමුතුව, තම ආයතනය පෞද්ගලීකරනය කිරීමට එරෙහිව අරගලයක යෙදී සිටින 23,000 ක් පමන වන විදුලිබල සේවක පිරිස සමඟ සිටින බව සාලිත පැවසීය.

ලංවිම සේවකයින් 66 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවත්, දැන් ඔවුන් සම්බන්ධයෙන් කලමනාකාරීත්වය විසින් විමර්ශනයක් සිදුකරමින් පවතින බවත් ඔහු පැහැදිලි කලේය.

“ලංවිම බලධාරීන් තවත් අත්හිටුවීමේ ලිපි 75 ක් සකස් කර ඇති බවටත් අපට තොරතුරු ලැබී තිබෙනවා. කම්කරුවන් මර්දනය කිරීම අරමුනු කරගත් මෙම අත්හිටුවීම් ඉල්ලා අස්කර ගන්නා ලෙස, වෘත්තීය සමිති ලංවිම බලධාරීන්ගෙන් සහ ආන්ඩුවෙන් ඉල්ලා සිටිනවා,” ඔහු පැවසීය.

ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව කම්කරුවන්ට එකමුතු ක්‍රියාමාර්ග ගැනීමට වෘත්තීය සමිති නායකත්වයන් බාධා කරන නිසා, තම මූලික අයිතිවාසිකමක්ම ආරක්ෂා කර ගැනීමට නම්, සේවකයන්ට තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතු බව සාලිත රැස්වීමට පැවසීය.

ප්‍රධාන වාර්තාව ඉදිරිපත් කරමින් සුනිල් පැහැදිලි කලේ ලංවිම මර්දනය කලින් සැලසුම් කල එකක් බවයි. 'ඔවුන්ගේ [ජනවාරි 3 සිට 5 දක්වා] විරෝධතාවයට පෙර දින, කලමනාකාරිත්වය නැවත දැනුම් දෙන තුරු ලංවිම සේවකයින්ගේ සියලුම නිවාඩු අවලංගු කලා,' ඔහු පැවසීය.

කුරිරු අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ විදුලිය සහ ඛනිජ තෙල් ක්ෂේත්‍ර අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කලේය. මෙයින් අදහස් කරන්නේ, මෙම ක්ෂේත්‍රවල කාර්මික ක්‍රියාමාර්ග ගන්නා කම්කරුවන්ට දැඩි සිර දඬුවම්, දඩ සහ අසාදු ලේඛනගත කිරීම මගින් දඬුවම් කිරීමට මර්දනකාරී ක්‍රියාමාර්ග යොදාගත හැකි බවත්, එමගින් ඔවුන්ගේ අනාගත රැකියාවට බාධා ඇතිවිය හැකි බවත්‍ය.

සසප දේශපාලන කමිටු සාමාජික ඩබ්ලිව්.ඒ. සුනිල් 2024 පෙබරවාරි 1 රැස්වීම අමතමින්.

'ලංවිම සේවකයින්ට සමාජ මාධ්‍ය භාවිතා කිරීම තහනම් කරලා; විරෝධතාවයට එරෙහිව ආන්ඩුව විසින් පනවා තිබූ අධිකරන වාරන නියෝගය පෙබරවාරි 1 දක්වා දීර්ඝ කරලා,' ඔහු පැවසීය.

දඩයමට ලක්කරන ලද ලංවිම කම්කරුවන් ආරක්ෂා කිරීමටත්, ආන්ඩුවේ පුද්ගලීකරන පියවරයන්ට එරෙහිව සටන් කිරීමටත් කම්කරුවන් විසින් වැඩ වර්ජන, පිකටින් සහ පෙලපාලි ඇතුලු ඒකාබද්ධ පන්ති ක්‍රියාමාර්ග සංවිධානය කල යුතු බව සුනිල් රැස්වීමට පැවසීය.

අවශ්‍ය වන්නේ, “ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සහ වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව දේශපාලන මහා වැඩ වර්ජනයකට සූදානම් වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හරහා සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන්ගේ එකමුතුව ගොඩනැගීමයි.

“මෙහි ඇති අනෙක් අත්‍යවශ්‍ය සාධකය වන්නේ, ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය, ඔවුන්ගේ ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග එක්ව එක්සත්කම ගොඩනැගීමයි. මෙම ජාත්‍යන්තර අරගලයට පදනම දැමීම සඳහා අපි කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් පිහිටුවා ඇත.

'කම්කරු පන්තියට තම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගත හැක්කේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලයේදී පමනයි' සුනිල් පැවසීය.

වතු කම්කරුවන් නියෝජනය කරන කේ. කාන්දීපන් රැස්වීමට පැවසුවේ දඩයමට ලක්වීම විදුලි සේවකයින්ට පමනක් සීමා නොවන බවයි.

“මෙම මර්දනකාරී ආන්ඩුව තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා අරගලයට එන සෑම සේවක කොටසකටම එම කලදසාවම අත්කර දෙනු ඇත. නැවතත් කිවයුත්තේ, මෙය ලංකාවට පමනක් සීමා වූවක් නොවේ. සෑම තැනකම ධනේශ්වර ආන්ඩු කම්කරුවන්ට එරෙහිව මර්දනකාරී පියවරයන් මුදා හරිමින් සිටී,” ඔහු පැවසීය.

2021 පෙබරවාරි මාසයේ දී වැඩි වැටුප් ඉල්ලා වැඩ වර්ජන ක්‍රියාමාර්ග ගැනීමෙන් පසු මස්කෙලියේ ඕල්ටන් වතු කම්කරුවන් රාජ්‍ය මර්දනයට ලක් වූ ආකාරය ඔහු පසුව පැහැදිලි කලේය.

කේ. කාන්දීපන්

“ව්‍යාජ චෝදනා මත කම්කරුවන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කම්කරුවන් 38 දෙනෙකු වහාම ඔවුන්ගේ රැකියාවලින් නෙරපා හරින ලදී. ප්‍රධාන වතු වෘත්තීය සමිතිය වන ලංකා කම්කරු කොංග්‍රසය කලමනාකාරීත්වය සහ පොලිසිය සමඟ කුමන්ත්‍රනය කල මුත්, මෙම කම්කරුවන් ආරක්ෂා කිරීමට කිසිවක් කලේ නැත,” ඔහු පැවසීය.

කම්කරුවන් කිහිප දෙනෙකු එකතු වී ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීමට තීරනය කල බව කාන්දීපන් පැවසීය. 'කම්කරුවන්ගේ අරගල මැඩලීමට නිලධරයන් වෘත්තීය සමිති යොදා ගනිමින් සිටින නිසා, තවත් වතු කීපයක කම්කරුවන් දැන් ක්‍රියාකාරී කමිටු පිහිටුවීම ගැන සාකච්ඡා කරමිනුයි ඉන්නේ' ඔහු වැඩිදුරටත් පැවසීය.

මොරටුව විශ්ව විද්‍යාලයේ අනධ්‍යන කම්කරුවෙකු වන දෙහින් වසන්ත, විශ්ව විද්‍යාලයේ පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (එස්එල්පීපී) විසින් පාලනය කරන වෘත්තීය සමිතියක මැරයන් විසින් තමාට සහ සසප පූර්නකාලීන සාමාජිකයෙකු වන ලක්ෂ්මන් ප්‍රනාන්දුට ම්ලේච්ඡ ලෙස පහර දුන් ආකාරය පැහැදිලි කරමින් රැස්වීම ඇමතීය. ඔහුගේ වම් අතේ ඇඟිලිවල අස්ථි බිඳී ගොස් තිබූ අතර, මාසයක පුලුල් ප්‍රතිකාර අවශ්‍ය විය. ප්‍රනාන්දු ද බරපතල තුවාල ලැබීය.

'විදුලි සේවකයින් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාකාරී කමිටු එකමුතුව රැස්වීමේ සහයෝගීතාවයට මම සම්පුර්නයෙන්ම එකඟ යි,' වසන්ත පැවසීය. “කම්කරුවන්ගේ වැඩ තහනම් කිරීම නවත්වන්න අධිකරනයට යන බව ලංවිම වෘත්තීය සමිති නායකයෝ කියනවා. නමුත් ආන්ඩුව මෙම කුරිරු නීති සකස් කර ඇත්තේ විශේෂයෙන් කම්කරුවන්ට එරෙහිව භාවිතා කිරීමට යි. ආන්ඩුව අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවා නීති සේවකයන්ට එරෙහිව භාවිතා කරන නිසා අධිකරනය හරහා එම අත්හිටුවීම් නතර කිරීමට උත්සාහ කිරීම හාස්‍යජනකයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.

“ජාමූඅ හි දරුනු කප්පාදු පියවර ක්‍රියාවට නැංවීමට වික්‍රමසිංහ අධිෂ්ඨාන කරගෙන සිටින අතර සියලු පන්ති අරගල මර්දනය කිරීමට ඔහුට අවශ්‍ය යි. ප්‍රති ප්‍රහාරයක් සූදානම් කිරීම සඳහා කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් වර්ධනය කිරීම වැදගත්; කම්කරුවන් තමන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුත්තේ ඒ නිසයි,” වසන්ත පැවසීය.

කොලඹ වරාය සේවකයෙකු වන සම්පත්, ලංවිම දඩයම හෙලා දකින බව ද, වරාය සේවකයින් ද එම ගැටලුවලට ම මුහුන දෙන බව ද පැවසීය. කම්කරුවන්ගේ කොන්දේසි සහ ජීවන තත්වයන් මත තීව්‍ර වන ප්‍රහාර ගැන ඔහු සඳහන් කලේය.

“වැටුප්වලට බදු ප්‍රහාර එල්ල කිරීම යන්නෙන් අදහස් කරන්නේ අපගේ වැටුපෙන් කිසිවක් ඉතිරි නොවන බවයි. කලින් තිබිච්ච වැටුපෙන් අපට කලමනාකරනය කරන්න පුලුවන් වුනා. ගෙයක් හදාගන්න, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න පුලුවන් වුනා” යැයි පැවසීය.

'ඔවුන්ගේ පවුල් සමඟ ජීවිතය භුක්ති විඳීමේ අවස්ථාව අහිමි කරමින්' බොහෝ කම්කරුවන්ට දැන් තම ආදායම සඳහා අමතර වැඩ කිරීමට බල කෙරෙමින් තිබෙන බව තව ඔහු දුරටත් පැවසීය. වරායේ වෘත්තීය සමිති කම්කරුවන් බෙදා ඇති බවත්, තවදුරටත් ඔවුන්ගේ අවශ්‍යතා නියෝජනය නොකරන ආකාරයත් සම්පත් පැහැදිලි කලේය.

ගුරුවරයෙකු වන වසන්ත විජේසිරි පැවසුවේ, “ලංවිම සේවකයන් ගොදුරු කර ගැනීම අප සැමට එල්ල කරන ප්‍රහාරයක් බව ගුරුවරුන්ට, දෙමාපියන්ට සහ සිසුන්ට පැහැදිලි කරමින් අපි උද්ඝෝෂන කලා. අපට වගකීමක් තිබෙනවා විදුලි සේවක සේවිකාවන් ආරක්ෂා කිරීමට.”

2021 දී ගුරුවරුන් යහපත් වැටුප් සඳහා ගෙන ගිය අධිෂ්ඨානශීලී අරගලය ගැන විජේසිරි කතා කලේය. “ගුරු වෘත්තීය සමිති කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයකට සතුරුයි; පසුව ආන්ඩුව ප්‍රමානවත් නොවන වැටුප් වැඩිවීමක් ලබා දුන් විට ඔවුන් එය පිලිගෙන අපගේ දින 100 වැඩවර්ජනය නතර කලා.

“ධනපති ආන්ඩුවලට බලපෑම් කරලා මේ ප්‍රහාර පරාජය කරන්න බැහැ. කම්කරු පන්තිය වෘත්තීය සමිති හා ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව සංවිධානය වී එක්සත් විය යුතුයි,” ඔහු පැවසීය.

සෞඛ්‍ය සේවකයෙකු වන අතුකෝරල පැවසුවේ, “රෝහල්වල වෛද්‍යවරුන් සහ අනෙකුත් කාර්ය මන්ඩලය ඇතුලු බොහෝ දුෂ්කරතා සහ හිඟයන් පවතින නමුත් අමාත්‍යාංශ නියෝගයක් යටතේ අපට මේවා මාධ්‍යයට හෙලි කිරීම තහනම් කරලා. වෘත්තීය සමිති විසින් කම්කරුවන් බෙදලා; පාලකයින්ට ඒ්ක වාසිදායකයි. මේ බෙදීම් අවසන් කරන්න අපි මේ ක්‍රියාකාරී කමිටුව පිහිටුවා තිබෙනවා. එය ම සිදු කරන ලෙසත්, ඔබේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ඔබේ හඬ නඟන ලෙසත් අපි අනෙකුත් කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.”

තිලක ගමගේ

බෙරගම ගොවියෙකු තිලක ගමගේ ගොවීන් මුහුන දෙන ආර්ථික බර ගැන රැස්වීමට කීවේය. “අද සීනි කිලෝග්‍රෑමයක් මිල දී ගැනීමට වී කිලෝග්‍රෑම් 4ක් විකිනිය යුතුයි, නමුත් කුඹුරක අස්වැන්නක් ලබාගැනීමට කොල මඬින යන්ත්‍රයක් කුලියට ගැනීමට අපට රුපියල් 25,000 ක් වැය වෙනවා. මෙම වියදම්වලින් අදහස් වන්නේ අපට අසනීප වුවහොත් ඖෂධ සඳහා ගෙවීමට නොහැකි බවයි,” ඔහු පැවසීය.

සියලුම ධනපති පක්ෂ ගොවීන් රවටා ඇති බව පැවසූ ගමගේ, ගොවීන්ට විසඳුම කම්කරු පන්තියේ විසඳුමක් පමනක් බව අවධාරනය කලේය.

කොග්ගල නිදහස් වෙලෙඳ කලාපයේ සේවයෙන් ඉවත් කල ඇඟලුම් සේවිකාවක් වන කුසුම් කතා කලාය. “අපි—ඇගලුම් අංශයේ 600,000 කට වැඩි කම්කරුවන්—විදුලිබල කම්කරුවන් ආරක්ෂා කිරීමට සටන් කල යුතුයි. කම්කරුවන් අරගලයට එක්සත් කිරීමේ මාර්ගය මෙයයි,” ඇය පැවසූ අතර වෘත්තීය සමිතිවල ද්‍රෝහී භූමිකාව හෙලා දුටුවාය.

කුසුම්


නිදහස් වෙලඳ කලාපයේ සහ පොදු කම්කරු සංගමයේ (එෆ්ටීඉසඩ්ජීඩබ්ලිව්යූ) ප්‍රධාන ලේකම් ඇන්ටන් මාකස් කම්කරුවන් පාවා දුන් ආකාරය ඇය පැහැදිලි කලාය. කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ ඇඟලුම් කම්හලක් වසා දැමූ අවස්ථාවේදී මාකස් කම්කරුවන්ට පොරොන්දු වූයේ හොඳ වන්දියක් ලබා දීමට තමා සහතික වන බවයි.

'මෙය ව්‍යාජ පොරොන්දුවක් බව ඔප්පු වුනා,' කුසුම් පැවසුවේ, මාකස් ක්‍රියා කර ඇත්තේ අයිතිකරුවන් වෙනුවෙන් බවත්, වසා දැමීමෙන් ඔවුන්ට කොල්ලකාගත් දේ ඉතිරි වූ නමුත් කම්කරුවන්ට ඔවුන්ගේ වන්දිය නොලැබුන බවත් සඳහන් කරමිනි. “මේ සියලු ගැටලු විසඳීමට කම්කරුවන්ට සමාජවාදය අවශ්‍යයි,” ඇය පැවසුවාය.

2024 පෙබරවාරි 1 දින, දඩයමට ලක්වූ ලංකා විදුලිබල මන්ඩල සේවකයින් ආරක්ෂා කිරීම සඳහා කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකයේ යෝජනාව ඒකච්ඡන්දයෙන් සම්මත වේ.

මෙම කථා වලින් පසුව, දඩයමට ලක්වූ ලංවිම සේවකයින් ආරක්ෂා කිරීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳ යෝජනාවක් සීඩබ්ලිව්ඒසී විසින් ඉදිරිපත් කරන ලදී. ඒකමතිකව සම්මත වූ එම යෝජනාවෙන් උපුටා ගත් කොටස් පහත පල වේ:

“පෞද්ගලීකරන න්‍යාය පත්‍රයට එරෙහිව විරෝධතා ක්‍රියාමාර්ග ගත් ලංවිම සේවකයින්ට එරෙහිව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ගෙන යන දඩයම මෙම රැස්වීම තරයේ හෙලා දකී. අප ඉල්ලා සිටින්නේ වැඩ තහනමට ලක්වූ සේවකයන් කොන්දේසි විරහිතව වහාම සේවයේ පිහිටුවන ලෙසයි.

'මෙම රැස්වීම, සේවකයින්ගේ ඕනෑම අත්හිටුවීමකට හෝ ඕනෑම දන්ඩනීය ක්‍රියාවකට විරුද්ධ වන අතර එවැනි ක්‍රියා මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීමක් ලෙස සලකයි.'

'ලංවිම සේවකයින්ට එල්ල කරන ප්‍රහාරය අනෙකුත් කම්කරුවන්ට ද එරෙහි ප්‍රහාරයකි; ජාමූඅ විසින් නියම කරන ලද ප්‍රහාරයන්ට අපි සියල්ලෝම මුහුන දී සිටිමු.'

කම්කරුවන් සිය අරගල එක්සත් කිරීමට හා සම්බන්ධීකරනය කිරීමට ශ්‍රී ලංකාවේ සියලුම සේවා ස්ථානවල සහ අසල්වැසි ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස යෝජනාව ඉල්ලා සිටියේය. මෙම ක්‍රියාකාරී කමිටු ජාත්‍යන්තරව තම අරගල සම්බන්ධීකරනය කිරීම සඳහා කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය සමඟ පෙලගැසිය යුතු බවට ද එය තීරනය කලේය.

Loading