ඉදිරිදර්ශන

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මැද පෙරදිග ගිනි මැලය අවුලුවයි

[මෙය US imperialism setting Middle East ablaze මැයෙන් 2024 ජනවාරි 19දා පල කල ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනය යි.]

බ්‍රහස්පතින්දා අසල්වැසි ඉරානය ඇතුලත අවම වසයෙන් එකිනෙකට වෙනස් ස්ථාන හතකට, න්‍යෂ්ටික ව සන්නද්ධ පකිස්තානය ගුවන් රොකට් ප්‍රහාර හා ඩ්‍රෝන්-මිසයිල ප්‍රහාර එල්ල කලේ, එය බලුචි බෙදුම්වාදී කඳවුරු යයි කියූ තැන් ඉලක්ක කරමිනි.

පකිස්ථාන-ඉරාන ගැටුමේ සිතියම

තම රාජ්‍ය ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් ලෙස, ඉරානය මෙම ප්‍රහාර තදින් හෙලාදුටු අතර, ඒ හේතුවෙන් ලමුන් හතරදෙනෙකු ඇතුලු විදේශීය ජාතිකයන් නව දෙනෙකු මරා දමනු ලැබ ඇති බව ද ප්‍රකාශ කලේ ය. පකිස්තානයේ අතිශයින්ම දුප්පත්, ජනයා විසිරී ජීවත්වන බටහිරදිග ඈතින්ම තිබෙන බලුකිස්තානය තුල දශක ගනනක් තිස්සේ දේශසීමා හරහා කැරැල්ලක් දියත් කර ඇති බලුචි විමුක්ති හමුදාව, සිය හමුදාවන් ප්‍රහාරයට ලක් ව පවතින බව තහවුරු කලේ ය.

පකිස්තානය එය ඍජු ව සඳහන් නො කල ද බ්‍රහස්පතින්දා එල්ල කල ප්‍රහාර, පකිස්තානය තුලට පැය 48කට පමන පෙර ඉරානය එල්ල කල ප්‍රහාරවලට එරෙහි ප්‍රති-ප්‍රහාරයක කොටසක් විය.

ඉරානයට අනුව, එම රටේ බලුචි බහුතරයක් වෙසෙන ගිනිකොන දිග ප්‍රදේශය තුලට ප්‍රහාර එල්ල කර ඇති සන්නද්ධ බෙදුම්වාදී බලුචි කන්ඩායමක් වන ජායිෂ් අල්-අද්ල් කන්ඩායමේ කඳවුරු වලට පහර දීමට, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (අයිජීආර්සී) මිසයිල හා ඩ්‍රෝන් ප්‍රහාර යොදා ගත්තේ ය. පකිස්තානය සමග “සහෝදරාත්මක” සබඳතා කඩාකප්පල් කරගැනීමට අවශ්‍ය නො වන බව මෙම පහර දීමෙන් පසුව ටෙහ්රානය අවධාරනය කලේ ය. එහෙත් පැහැදිලි ව ම වොෂින්ටනය හා ඊස්රායලය ඉලක්ක කරමින් පනිවුඩයක් දුන් ඉරානය, තමන්ගේ ම ආරක්ෂාව සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීමේ අයිතිය තිබෙන බව කීවේ ය.

ඉරානය සහ පකිස්තානය අතර එල්ල කරගන්නා ප්‍රති-ප්‍රහාර, ඉරානයට එරෙහි පලල් යුද්ධයක් සූදානම් කරමින් ඇවිලවීමට ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහි ඊස්රායලයේ ජනසංහාරක යුද්ධය යොදා ගනිමින් සිටින එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා එහි සගයන් විසින් දැනට මත් අවුලුවා ඇති කලාපයක් තුල වැඩිදුර දහනශීලී තත්ත්වයක් එකතු කරයි.

බදාදා හා බ්‍රහස්පතින්දා සවස් භාගයේ, එක්සත් ජනපදය සතියක් තුල යේමනයට හතරවැනි හා පස්වැනි මිසයිල ප්‍රහාර එල්ල කලේ, රටෙහි අතුල්‍ය ප්‍රදේශ තුල ඉරාන පිටුබලය ලබන හවුති කඳවුරු යයි එය කියා සිටින ස්ථානවලට පහර දෙමිනි. බ්‍රහස්පතින්දා උදෑසන වාර්තාකරුවන්ට කතා කල එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, හවුතිවරුන්ට එරෙහි එක්සත් ජනපද-බ්‍රිතාන්‍ය ගුවන් ප්‍රහාර මාලාව අඛන්ඩ ව කරන බවට සපථ කර තිබුනි.

ගාසා තීරය මතට ඊස්රායලය එල්ල කරන ප්‍රහාර අවසානයකට ගෙන ඒම සඳහා බල කරමින්, පලල් යේමන ජනතාවගේ සහයෝගය ලබන හවුති සටන්කරුවෝ රතු මුහුදේ නාවික කටයුතු කඩාකප්පල් කර ඇත.

බදාදා ම, හවුතිවරුන් යනු “සුවිශේෂී ලෙස නම් කරන ලද ගෝලීය ත්‍රස්තවාදී කන්ඩායමක්” යයි හංවඩු ගැසීමට බයිඩන් පරිපාලනය ක්‍රියා කලේ, දුර දිග යන සම්බාධක සඳහා දොර විවෘත කරමිනි. මෙසේ නම් කිරීම යේමනයේ මානවීය අර්බුදය සුවිශාල ලෙස තීව්‍ර කිරීමට තර්ජනය කරන්නේ යයි ආධාර දෙන කන්ඩායම් වහා ම ප්‍රතිචාර දැක්වූ හ. එක්සත් ජනපදයේ ආයුධ හා ප්‍රවර්ධන සහයෝගය සමගින්, දශකයකට ආසන්න කාලයක් තිස්සේ, සවුදි පාලන තන්ත්‍රය යේමනයට එරෙහි ව දියත් කර ඇති යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස, එම රටෙහි ජනගහනයෙන් අඩකට වැඩි ප්‍රමානයක් ඒනම් මිලියන 18කට අධික ජනයා ආහාර හා අනෙකුත් උපකාරවල අවශ්‍යතාවෙන් පසු වෙති.

ඒ අතර ම, යේමනය මතට එල්ල කරන එක්සත් ජනපද/බ්‍රිතාන්‍ය ප්‍රහාරයන්ට සහයෝගය දෙන තමන්ගේ ම නාවික මෙහෙයුම් සැලසුම් කිරීමේ අභිවර්ධිත අවදියක යුරෝපා සංගමය සිටින්නේ, කලාපීය පොලිස් කාරයෙක් ලෙස එහි ම භූමිකාව අත්පත් කර ගනිමිනි. එම මෙහෙයුම දියත් කිරීමට ජර්මානු ආන්ඩුව නායකත්වය දෙන අතර, වෙල්ට් ආම් සොන්ටෑග් පුවත්පතේ පල වූ වාර්තාවකට අනුව පෙබරවාරිය මුල දී ජර්මනිය යුද නැවක් යවමින් සිය සහයෝගය එයට දෙනු ඇත. මැද පෙරදිග දක්වා ජර්මානු අධිරාජ්‍යවාදයේ ප්‍රධාන මිලිටරි විස්තාරනය අවධාරනය කරමින්, ගාසා තීරයේ ඊස්රායල ජනසංහාරයට පිටුබලය දීමට කාල තුවක්කු ෂෙල් වෙඩි 10,000ක් නැව්ගත කිරීමට බර්ලිනය සූදානම් වෙමින් සිටී.

උතුරු ඇමරිකානු හා යුරෝපීය අධිරාජ්‍යවාදී බලයන්ගෙන් ඊස්රායලයට ලැබෙන කුදුමහත් සහයෝගය හේතුවෙන් ශක්තිමත් කරනු ලැබෙන ඊස්රායලයේ ෆැසිස්ට් අගමැති බෙන්ජමින් නෙතන්යාහු, බටහිර ඉවුරේ කිසිදු කොටසක ස්වෛරීභාවය පිලිගැනීමට ඔහුගේ ආන්ඩුව කිසිදාක එකඟ නො වන බව කියමින්, සදාකාලික මහා ඊස්රායලයක් පිලිබඳ ඔහුගේ අරමුන ජනවාරි 18 බ්‍රහස්පතින්දා විවෘත ව යලි අවධාරනය කලේ ය.

ලෝකයේ සංගත හා දේශපාලන ප්‍රභූවේ ඩාවෝස් සම්මේලනයට, ඊස්රායල ජනාධිපති අයිසැක් හර්ට්සොග් කියා සිටියේ, “ඉරානයෙන් ප්‍රභවය ලබන යක්ෂ අධිරාජ්‍යයට” හා “කලාපය පුරා විසිරී සිටින ඔවුන්ගේ සහචරයන්ට” මුහුන දෙනු වස්, “ඉතා ශක්තිමත් සභාගයක්” අවශ්‍ය බව යි. පසුගිය මාස තුන පුරා යලි යලිත් සිදු කර ඇති ආක්‍රමන හා මිසයිල ප්‍රහාරවලින් පසුව, ලෙබනනයට එරෙහි පූර්න-පරිමාන ආක්‍රමනයක් දියත් කිරීමට ඊස්රායලය පේ වී සිටින කොන්දේසි යටතේ, “එහි බෙල්ල දක්වා ම ඉරානය විසින් සන්නද්ධ කරන හා අරමුදල් සපයන” හෙස්බුල්ලා සංවිධානයේ “ප්‍රහාරවලට” එරෙහි ව හර්ට්සොග් බැන වැදුනේ ය.

2024 ජනවාරි 15 සඳුදා උතුරු ඊස්රායලයේ ලෙබනන දේශසීමාව අසල දී ජංගම කෙටි තුවක්කුවලින් ඊස්රායල සොල්දාදුවෝ වෙඩි තබති. (ඒපී ඡායාරූප/ඔහාද් ස්විගන්බර්ග්) [AP Photo/Ohad Zwigenberg]

බයිඩන්ගේ පරිපාලනය ඊස්රායලය මුලුමනින් සන්නද්ධ කිරීමට ද ඔහුගේ නියෝග මත එක්සත් ජනපද මිලිටරිය ඊස්රායල ආරක්ෂක හමුදාවන්ට ඉලක්ක සොයා ගැනීමට ඍජු ව සහයෝගය ද දෙන නමුත්, ඊස්රායලය පලස්තීනුවන් සංහාරයට ලක්කිරීම “සීමා කිරීමට” බයිඩන් ගන්නා උත්සාහයන් ගැන දිනක් දිනක් පාසා බටහිර මාධ්‍ය බේගල් ඇද බාති. බයිඩන් හා ඔහුගේ හෙන්චයියා හා ගෝලයා වන ආරක්ෂක ලේකම් ඇන්ටනී බ්ලින්කන් මැද පෙරදිග තුල පලල් යුද්ධයක් වැලැක්වීමට ක්‍රියා කරමින් සිටිතිය යන කියාපෑම් ඊට වඩා ප්‍රෝඩාකාරීත්වයෙන් අඩු නො වේ.

වොෂින්ටනය ගුවන් ප්‍රහාරක යානා රැගෙන යන කන්ඩායම් දෙකක් යවා, ඉන් ඉක්බිත්තේ න්‍යෂ්ටික බලයෙන් ධාවනය කරන න්‍යෂ්ටික ව සන්නද්ධ විය හැකි සබ්මැරීන යැවූ ගාසා යුද්ධය ආරම්භයේ ම පටන්, එක්සත් ජනපදයේ පිලිවෙත වී ඇත්තේ ඉරානය හා එහි සගයන් මත මිලිටරි පීඩනය තීව්‍ර කිරීම යි. ඊස්රායලය සමග සන්ධානගත ව, එක්සත් ජනපදය උත්සාහ දරා ඇත්තේ, ඉරාකය හා සිරියාව මතට යලි යලිත් එල්ල කරන ප්‍රහාර හා දැන් වේගයෙන් යේමනය මතට විස්තාරනය කරන යුද්ධය සමගින්, ඉරානයේ සගයන්ගේ හා අයිආර්ජීසීයේ ගිනි බලය “පහත හෙලීමට යි.”

2023 දෙසැම්බර් 14දා හෝමුට්ස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන ගුවන් යානා රැගෙන යන යූඑස්එස් ඩ්වයිට් ඩී. අයිසන්හවර් නෞකාව හා වේගවත් ප්‍රහාරවලට සහයෝගය යූඑස්එන්එස් සප්ලයි නෞකාව. (ඡායාරූපය: දෙවන පන්තියේ නාවික නිලධාරී කීත් නොවැක්) [Photo: Navy Petty Officer 2nd Class Keith Nowak]

මෙම ක්‍රියාවන් වනාහි ඕනෑ ම අවස්ථාවක සිදු විය හැකි ඉරානය සමග වන මුහුනට මුහුන ගැටුමකට සූදානම් වීමකි. පෙන්ටගනය එවන් යුද්ධයක් දශක ගනනාවක් තිස්සේ සැලසුම් කලා පමනක් නො ව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආස්ථානයෙන් ගත් කල; යුරේසියාව, අප්‍රිකාව හා සමස්ත ඉන්දියන් සාගර කලාපය හරහා භූ-‌දේශපාලනික බලය ප්‍රක්ෂේපනය කල හැකි සුවිශේෂී කලාපයක් වන ලෝකයේ ප්‍රධාන තෙල් අපනයනය කරන කලාපය මත නිර්බාධිත ආධිපත්‍යය සුරක්ෂිත කරගැනීම; යන එහි මූලෝපායික ඉලක්ක, එක්සත් ජනපදය රුසියාව සමග තථ්‍ය යුද්ධයක නිරත ව සිටින හා චීනය සමග යුද්ධයක් සැලසුම් කරමින් සිටින අද දින තරම් වෙනත් කිසිදාක තීරනාත්මක ව තිබී නැත.

ඔවුන් සියලු දෙනා ඉලක්ක කරන එක්සත් ජනපද මූලෝපායික ප්‍රහාරයන්ට ප්‍රතිචාර වසයෙන්, මොස්කෝව හා බෙයිජිනය ඉරානය සමග සමීප සබඳතා වාත්තු කරගෙන තිබීම විසින් සිදු කරනු ලැබ ඇත්තේ, ඉරානය සමග ගැටීමේ වොෂින්ටනයේ අධිෂ්ටානය ඉහල දැමීම පමනි.

බයිඩන් හා බ්ලින්කන් මත්, ගාසා යුද්ධය, යුක්‍රේන යුද්ධය සහ වර්ධනය වන එක්සත් ජනපද-චීන ගැටුම අතර සම්බන්ධතාව උකහාගෙන ඇත. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය එහි ආර්ථික බලයේ සාපේක්ෂ ඛාදනය මඟහැරවීමට හා යුද්ධය මඟින් ගෝලීය ආධිපත්‍ය පවත්වා ගැනීමට මෙන්ම කොල්ලකෑම හා විජිත අත්පත් කරගැනීම යලි පන ගන්වා ගැනීමට මංමුලා සහගත ලෙස උත්සාහ දරන තතු තුල, ඒවා වනාහි වේගයෙන් වර්ධනය වෙමින් පවතින ගෝලීය ගැටුමක වෙනස් රඟබිම් ය. එම සාරභූත හේතු නිසා ම, බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය වොෂින්ටනයේ ගමන අනුගමනය කරන්නේ, මිලිටරි බලවේග ද ඇතුලු ව ඔවුන්ගේ ම අවශ්‍යතා ආක්‍රමනශීලී ලෙස අවධාරනය කිරීමේ පදනම ස්ථාපිත කර ගැනීමට උත්සාහ දරන අතරතුර ය.

ඉරාන-පකිස්තාන එකටෙක මිසයිල පහරදීම් මෙන් ම, මේ සතිය මුල දී උතුරු ඉරාකයේ හා සිරියාවේ කුර්දි සටන්කරුවන්ට එරෙහි ව තුර්කිය එල්ල කල ප්‍රහාර අවධාරනය කරන්නේ, මැද පෙරදිග තුල තීව්‍ර වන අධිරාජ්‍යවාදී යුද්ධය, විවිධාකාර ප්‍රාදේශීය ගැටුම් සමග අන්තර්-ඡේදනය වෙමින් ඒ සියල්ලට වැඩිදුර පුපුරනසුලු ගතිකයක් එකතු කරන බව යි. පලමු හා දෙවන ලෝක යුද්ධ අවසානයේ දී, මැද පෙරදිග ජනයා මත හිතුමතේ පටවන ලද දේශසීමා ද ඇතුලු ඓතිහාසික අධිරාජ්‍යවාදී පරිපීඩනය තුල ම මෙම ගැටුම් මුල් බැස තිබේ.

පකිස්තානය හා ඉරානය යන රටවල් දෙක ම, ඔවුන්ගේ ප්‍රහාර මුලුමනින් ම විදේශයන් මත පාදක කැරලිකරුවන්ට එරෙහි ඒවා ලෙස ඉදිරිපත් කිරීමට උත්සාහ දරා ඇත්තා හ. එහෙත් එවන් විග්‍රහ කිරීම්වලට යා හැක්කේ සීමිත දුරක් පමනි.

එහි දේශපාලන සංස්ථාපිතයේ වඩාත් ම වැදගත් ක්‍රීඩකයා වන පකිස්තාන මිලිටරිය, සිය දේශසීමා ඉරානය විසින් උල්ලංඝනය කිරීමට ප්‍රතිචාර දැක්වීමට අසමත් වීමක්, සිය මූලෝපායික ප්‍රතිමල්ලවයා වන ඉන්දියාව හා තමන්ගේ ම දේශීය බල ආස්තානය මත ඇති කරන බලපෑම ගැන නිසැකයෙන් ම උත්සුක වී තිබිය යුතු ය. 2019 දී, දේශසීමා හරහා ඉන්දියාව එල්ල කල ප්‍රහාරයකට පකිස්තානය තමන්ගේ ම එවන් ප්‍රහාරයක් සමගින් ප්‍රතිචාර දැක්වූ විට, එම රටවල් දෙක භයානක ලෙස යුද්ධයක ආසන්නයට පැමිනිය හ.

කෙසේ වෙතත් මාධ්‍ය වාර්තාවන්ට අනුව, පකිස්තානයේ ප්‍රති-ප්‍රහාරයෙන් ඉරානය විස්මයට පත් විය. පකිස්තානය සමග සිය සම්බන්ධතාව බොහෝ සෙයින් ම පාහේ එහි මිලිටරිය හරහා සමාධ්‍ය කරන වොෂින්ටනය, ධෛර්යය හා පෙර අනුමැතිය දී ඇති යයි විශ්වාස කිරීමට සෑම හේතුවක් ම පවතී.

ටෙහ්රානය හා ඉස්ලබාමාබාදය යන රටවල් දෙක ම, ඔවුන්ගේ අලුත් ම ප්‍රකාශ තුල තම සබඳතාවලට අන්ඩ දමා ගැනීමේ අවශ්‍යතාව සංඥා කර ඇති අතර, ඒ සඳහා මැදිහත් වීමට චීනය ඉදිරිපත් වී තිබේ.

එය ඒ ආකාරයෙන් සිදු විය හැකි වුව ද, මැද පෙරදිග හරහා පවතින ගතිකය වන්නේ, අධිරාජ්‍යවාදී සගයන් හා ඔවුන්ගේ ප්‍රධාන කලාපීය අන්තේවාසිකයා වන ඊස්රායලය විසින් කලාපීය ගැටුමක් දෙසට වන වේගවත් තීව්‍ර කිරීමක් කරා වොෂින්ටනයේ මෙහෙයවීමයි.

යේමනයට ද ඒ හා සමාන ව ‌ඓතිහාසික ව පීඩිත රටක් වන ඉරානයට එල්ල කරන ප්‍රහාරවලට විරුද්ධ ව, එක්සත් ජනපදයේ, යුරෝපයේ හා ලොව පුරා කම්කරුවෝ එක පැහැර බලමුලුගැන්විය යුත්තා හ.

පිලිවෙලින් පුටින් හා ෂී විසින් නායකත්වය දෙන රුසියාවේ හා චීනයේ ධනේශ්වර පුනස්ථාපනවාදී පාලන තන්ත්‍රයන් මෙන් ම, ඉරානයේ ධනේශ්වර ජාතිකවාදී පාලනය ද ලෝකය ලේවැකි ලෙස යලි බෙදා ගැනීමක් හරහා ඔවුන්ගේ ආධිපත්‍යය යලි අවධාරනය කිරීමට අධිරාජ්‍යවාදී බලයන් දරන ධාවනයට කිසිදු ප්‍රගතිශීලී පිලිතුරක් සම්පාදනය කිරීමට ‌ඓන්ද්‍රීය ව ම අසමත් ය.

මෙම ප්‍රහාරයේ දේශීය සංරචකය වන්නේ අධිරාජ්‍යවාදී යුද්ධයට අරමුදල් සම්පාදනය කර ගනු වස් කම්කරු පන්තිය සූරාකනු ලැබීම නාටකාකාර ව තීව්‍ර කිරීමේ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මත දුරදිග යන ප්‍රහාර එල්ල කිරීමේ ධාවනයකි. එය ලෝකයේ කම්කරුවන්ට හා පීඩිතයින්ට එරෙහි යුද්ධයක රූපය ගනිමින් පවතී.

මේ වස‌ර ආරම්භයේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය නිකුත් කල ප්‍රකාශය විස්තර කල පරිදි, ධනපති ම්ලේච්ඡත්වයට, ජනසංහාරය “සාමාන්‍යකරනය” කිරීමට, න්‍යෂ්ටික යුද්ධයට, ෆැසිස්ට් ප්‍රතිගාමිත්වයට හා සමාජ අසමානතාවේ අසමාන්තර මට්ටම්වලට පිලිතුර විය යුත්තේ “කම්කරු පන්තියේ දේශපාලන දැක්ම තුල සමාජවාදය සාමාන්‍යකරනය කිරීම යි.” කම්කරු පන්තියේ ජීවන තත්ත්වයන්ටත් සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ටත් එල්ල කරන අනවරත ප්‍රහාරයට එරෙහි ගෝලීය කම්කරු-පන්තික පුනර්ජීවනයත් සමඟම ගාසා තීරය තුල ජනසංහාරයට එරෙහි මහජන විරුද්ධත්වයක් පවතී. ධනවාදය අවසන් කර කම්කරුවන්ගේ බලය ස්ථාපිත කිරීම සඳහා ඒකාබද්ධ අරගලයක් වර්ධනය කරනු වස්, මෙම විරුද්ධත්වය විප්ලවීය සමාජවාදී ඉදිරි දර්ශනයකින් කාවද්දා ගත යුතු ය.

;

Loading