ශ්‍රී ලංකාවේ සසප සාමාජිකයින්ට එරෙහිව ක්‍රියාත්මක ආන්ඩු ගැති ප්‍රචන්ඩත්වය හෙලා දැකීම සඳහා නවසීලන්තයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් විරෝධතා ලිපි පැමිනේ

[මෙය Protest letters from New Zealand and Australia condemn pro-government violence against Sri Lankan SEP members යන මැයෙන් 2023 දෙසැම්බර් 26 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ආන්ඩු ගැති මැරයින් විසින් ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයින් දෙදෙනෙකුට එල්ල කල ප්‍රචන්ඩ ප්‍රහාරය හෙලා දකිමින් කම්කරුවන්, සිසුන්, තරුනයින්, විද්වතුන් සහ ඔවුන්ගේ සංවිධාන විරෝධතා ලිපි එවා ඇත. දේහින් වසන්ත කම්කරුවන්ගේ අයිතීන් හා සමාජවාදය සඳහා සුප්‍රසිද්ධ සටන්කරුවෙකු මෙන්ම කෘතහස්ත විශ්ව විද්‍යාල කම්කරුවෙකු වන අතර ලක්ෂ්මන් ප්‍රනාන්දු පූර්න කාලීන සසප පක්ෂ සාමාජිකයෙකි.

ශ්‍රී ලංකාවේ නීතිපතිවරයාට සහ මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට යවන ලද මෙම ලිපි මගින් වැරදිකරුවන්ට නීතියේ උපරිම බලය යොදා නඩුව විභාග කරන ලෙස ඉල්ලා ඇත.

පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ (පීපීඑස්එස්) මොරටුව විශ්වවිද්‍යාල ශාඛාවේ සභාපති සහ ලේකම්, ඉන්දික පෙරේරා සහ සුරංග පියවර්ධන යන අය විසින් නොවැම්බර් 30 වැනි දින මොරටුව විශ්වවිද්‍යාලය අසල දී ප්‍රනාන්දුට සහ වසන්තට ශාරීරිකව පහර දුන්හ. පීපීඑස්එස් යනු පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුන පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිතියකි.

දේහින් වසන්ත, ප්‍රහාරයෙන් දින දහයකට පසු

සසප සාමාජිකයන් දෙදෙනා, සසප (එක්සත් ජනපදය) ජාතික ලේකම් ජෝසප් කිෂෝර් විසින් අමතනු ලැබීමට නියමිත, ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සරය පිලිබඳ සසප ප්‍රසිද්ධ රැස්වීම් සඳහා විශ්ව විද්‍යාලයේ පසුපස ගේට්ටුව අසල අනෙකුත් පක්ෂ සාමාජිකයින් සමග උද්ඝෝෂනය කරමින් සිටියහ. දිගු ලී මුගුරුවලින් පහර දුන් ඔවුන්ට බරපතල තුවාල සිදු විය.

වසන්තගේ ඇඟිලි දෙකක් කැඩී ගිය අතර ලක්ෂ්මන්ට දැඩි තැලුම් සමග බෙල්ල තුවාල විය. දෙදෙනාම වහාම රෝහල් ගත කෙරුනි. වෛද්‍ය උපදෙස් මත වසන්ත දිගු වෛද්‍ය නිවාඩුවක් ලබා සිටින්නේ ඔහුගේ කැඩුනු ඇඟිලි සුව වීමට සෑහෙන කාලයක් ගතවන බැවිනි.

වසන්තගේ හිසට එල්ල වූ පහර වැලැක්වීමට නොහැකි වූයේ නම් ප්‍රහාරය මාරාන්තික වන්නට ඉඩ තිබුනි. පෙරේරාට සහ පියවර්ධනට එරෙහි නඩුව ජනවාරි 8 වැනිදා මොරටුව මහේස්ත්‍රාත් අධිකරනයේදී විභාගයට ගැනීමට නියමිතය.

සසප සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) එහි සහෝදර පක්ෂ, ප්‍රනාන්දු සහ වසන්ත ආරක්ෂා කිරීම සඳහා ද, මොරටුව විශ්ව විද්‍යාලයේ හෝ වෙනත් ඕනෑම ස්ථානයක උද්ඝෝෂනය කිරීමට සසපට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කිරීම සඳහා ද ලොව පුරා උද්ඝෝෂනය කරමින් සිටියි.

නවසීලන්තයේ සමාජවාදී සමානතා කන්ඩායම (එස්ඊජී) සහ වෙලින්ටන්හි වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය විසින් එවන ලද ලිපි මෙන්ම ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සිසුන්ගේ ප්‍රකාශයන් ද අපි පහත පල කරමු.

නවසීලන්තයේ එස්ඊජී සහ වෙලින්ටන්හි වික් ටෝරියා විශ්ව විද්‍යාලයේ සසජාතශි:

නවසීලන්තයේ සමාජවාදී සමානතා කන්ඩායම සහ වෙලින්ටන්හි වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයින් වන දේහින් වසන්ත සහ ලක්ෂ්මන් ප්‍රනාන්දුට එරෙහිව එල්ල කල ප්‍රචන්ඩ ප්‍රහාරය හෙලා දකියි.

සාක්ෂි පැහැදිලිය: ශ්‍රී ලංකා පොදුජන පෙරමුන විසින් පාලනය කරනු ලබන වෘත්තීය සමිතියක් වන මහජන ප්‍රගතිශීලී සේවක සංගමයේ නිලධාරීන් විසින් එල්ල කල සැලසුම්ගත ප්‍රහාරයකින් සසප සාමාජිකයින් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා තිබේ. ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය මත කුරිරු කප්පාදු පියවරයන් පටවන සහ මිලියන ගනනක් දරිද්‍රතාවයට ඇද දමන, ගැඹුරින්ම පිලිකුලට පාත්‍රව ඇති ආන්ඩුවට නායකත්වය දෙන පක්ෂය මෙයයි.

ප්‍රහාරයෙන් ලක්ෂ්මන් ප්‍රනාන්දුගේ මුහුනට සහ පිටට තුවාල සිදුවී තිබූ අයුරු

මෙම වෘත්තීය සමිතිවල ආන්ඩුවේ මැරයන්ට නීතියේ උපරිමයෙන් දඬුවම් දිය යුතු යැයි බල කිරීමට අපි සසප සමග එක් වෙමු. ඔවුන්ගේ අරමුන වූයේ, එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ජෝසප් කිෂෝර් විසින් ඇමතීමට නියමිත ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සරය පිලිබඳ පක්ෂයේ ඉදිරි මහජන රැස්වීම ගැන මොරටුව විශ්ව විද්‍යාලයෙන් පිටත දී සිසුන් සමග සසප සාකච්ඡා කිරීම නැවැත්වීමයි.

මෙය සසපට පමනක් නොව, හතරවන ජාත්‍යන්තරය විසින් ඉදිරියට ගෙන යන සමාජවාදය සඳහා වූ ඓතිහාසික අරගලය ගැන ඉගෙනීමට හා නිදහසේ සාකච්ඡා කිරීමට සිසුන්ට හා කම්කරුවන්ට ඇති අයිතියට එල්ල කල ප්‍රහාරයකි. මෙම විෂය සම්බන්ධයෙන් පැවැත්වෙන විවෘත සාකච්ඡාවක් රාජ්‍යයට ඉවසාගත නොහැකි බව මගින් පෙන්වා දෙන්නේ, කිසිදු මහජන සහයෝගයක් හෝ නීත්‍යානුකූල භාවයක් නොමැති වික්‍රමසිංහ ආන්ඩුව ව්‍යාකූල කර තිබෙන ගැඹුරු සමාජ හා දේශපාලන අර්බුදයයි.

සමාජ අසමානතාවයට හා දරිද්‍රතාවයට එරෙහිව පසුගිය දෙවසර පුරා මහජන විරෝධතා ව්‍යාපාරය ප්‍රචන්ඩ ලෙස මර්දනය කලේ ද මෙම පාලන තන්ත්‍රයමය. යුද්ධයට, ආඥාදායකත්වයට හා අසමානතාවයට එරෙහිව සටන් කිරීමට මගක් සොයමින් සිටින තරුනයින් සසප හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ජාත්‍යන්තරවාදී හා සමාජවාදී ඉදිරිදර්ශනයට ආකර්ෂනය වනු ඇතැයි ආන්ඩුව හා එහි වෘත්තීය සමිති ආධාරකරුවන් බියට පත්ව සිටිති.

මෙය හුදෙක් ලංකාවේ ප්‍රශ්නයක් පමනක් නොවේ. පසුගිය මාස දෙක තුල, ගාසා තීරය තුල ඊශ්‍රායලයේ ජන සංහාරයට එරෙහිව විරෝධතා දක්වන කන්ඩායම් සහ පුද්ගලයන් එක්සත් ජනපදය, යුරෝපය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය තුල මඩ ගසා වාරනයට ලක් කර ඇති අතර ඇතැම් අවස්ථා වලදී පොලිස් ම්ලේච්ඡත්වයට සහ ප්‍රචන්ඩත්වයට ද ලක් කර තිබේ.

නවසීලන්තයේ එස්ඊජී සහ සසජාතශි, ශ්‍රී ලංකාවේ සසපට එරෙහි දේශපාලනිකව අභිප්‍රේරිත ප්‍රචන්ඩත්වයට විරුද්ධ වන ලෙස නවසීලන්තයේ අපගේ ආධාරකරුවන් සහ පාඨකයින්ගෙන් ඉල්ලා සිටී. එය පිලිබිඹු කරන්නේ, විරුද්ධත්වය මර්දනය කිරීම සඳහා සහ සියල්ලටත් වඩා, කම්කරුවන් හා තරුනයන් අතර සමාජවාදී ව්‍යාපාරයක් වර්ධනය කිරීමට උත්සාහ කිරීම නැවැත්වීම සඳහා ආන්ඩු විසින් ඒකාධිපති හා ෆැසිස්ට් විධික්‍රම වෙත ගෝලීය හැරීමයි. පාලක පන්තියට සිතැඟි ඉටුකර ගැනීමට ඉඩ නොදිය යුතුය.

සසපට අත නොතබනු! භාෂනයේ නිදහස ආරක්ෂා කර සමාජවාදයට එල්ල කරන ප්‍රහාර නවත්වනු!

ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල සිසුන්ගේ ප්‍රකාශ:

නිව්කාසල් විශ්ව විද්‍යාලයේ යූප්

මගේ නම යූප්; මම ඔස්ට්‍රේලියාවේ සසජාතශි සාමාජිකයෙක් වන අතර මගේ ශ්‍රී ලාංකික සහෝදරයින්ට එල්ල වූ ප්‍රහාරයට එකහෙලා විරුද්ධ වෙමි. භාෂනයේ නිදහස පරම මූලික අයිතිවාසිකමක් වන අතර කිසිවකු, ඔවුන්ගේ විශ්වාසයන් නිසා පහර කෑමට හෝ මරා දැමීමට ලක් නොවිය යුතුය. මෙම රුදුරු ප්‍රහාරය සැලසුම් සහගතව සිදු වූවක්‍ය යන කාරනය, පීපීඑස්එස් සහ ශ්‍රීලංපොපෙ හි දේශපාලනය ගැන වෙලුම් ගනනක කතාවක් කියයි—ඔවුන්ට දේශපාලනිකව අපට පහර දිය නොහැක, එබැවින් ඔවුන්ට මුගුරු වලින් අපට පහර දීමට සිදු වේ. මා සිතන්නේ, අපරාධකරුවන්, නිසි ක්‍රියා පටිපාටියකට ලක් කල යුතු අතර නීතියේ සම්පූර්න බලයට මුහුන දිය යුතුය.

ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලයේ, තෙනුකි

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයින්ට එරෙහිව වාර්තා වී ඇති ප්‍රහාරය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට සහ දේශපාලන නිදහසට ඇති බරපතල තර්ජන ඉස්මතු කරන අතර, එය සැබැවින් ම කනගාටුදායක ය. දේශපාලන ක්‍රියාකාරීන්ට එරෙහි ප්‍රචන්ඩත්වය, ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සඳහා අත්‍යවශ්‍ය නිදහස් ප්‍රකාශනයේ සහ විවෘත කතිකාවේ මූලික මූලධර්මවලට අභියෝග කරයි. ප්‍රහාරකයින් ආන්ඩු පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිතියකට සම්බන්ධ යැයි කියනු ලබන බැවින්, නීතිය ක්‍රියාත්මක කිරීමේ අපක්ෂපාතීත්වය සහ දේශපාලන විරුද්ධත්වයේ ආරක්ෂාව පිලිබඳ උත්සුකයන් මතු කරයි. ප්‍රචන්ඩත්වය පිලිබඳ සංවාදයක් මතු කරන මෙම සිදුවීම, විවිධ පුද්ගලයින්ගේ අදහස් නොබියව ප්‍රකාශ කල හැකි, සුරක්ෂිත සහ සියල්ලන් ඇතුලත් දේශපාලන පරිසරයක් පෝෂනය කිරීමේ අත්‍යවශ්‍ය බව අවධාරනය කරයි.

ලිපියේ දක්වා ඇති පරිදි, පොලිස් ප්‍රතිචාරය, වින්දිතයින්ගේ අයිතීන් සුරැකීමේ දී පෙනෙන්නට තිබෙන පක්ෂග්‍රාහී බව මෙන්ම ප්‍රමානවත් නොවීම සම්බන්ධයෙන් විවේචනයට ලක්ව ඇත; සිද්ධිය අවතක්සේරු කිරීම සහ ප්‍රහාරකයන්ගේ කුලී රථය අල්ලා ගැනීමට අපොහොසත් වීම, නීතිය ක්‍රියාත්මක කිරීම කෙරෙහි මහජන විශ්වාසය පලුදු කල හැකිය. ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක, විනිවිද පෙනෙන ලෙස සහ අපක්ෂපාතී ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමයක තීරනාත්මක වැදගත්කම, මෙම තත්ත්වය අවධාරනය කරන අතර දේශපාලන ප්‍රචන්ඩත්වයට එරෙහිව වගවීම සහ එවැනි දේ වැලැක්වීම සහතික කිරීම සඳහා පූර්න පරීක්ෂනයක අවශ්‍යතාවය ඉස්මතු කරයි.

වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ, ග්‍රේස්

ශ්‍රී ලංකාවේ සසප සාමාජිකයින් වන දෙහින් වසන්තට සහ ලක්ෂ්මන් ප්‍රනාන්දුට වෘත්තීය සමිති නිලධරයන් විසින් එල්ල කල සැලසුම් සහගත ප්‍රහාරය ගැන මම කම්පා වීමි. මෙම සසප සාමාජිකයන්, කිසිවෙකුට හානියක් නොවන පරිදි, කම්කරු පන්තිය හා පීඩිත ජනතාව එක්සත් කිරීම සඳහා තම දේශපාලන ආස්ථානයන් ප්‍රකාශ කරමින් සිටියහ. ජනාධිපති වික්‍රමසිංහගේ දක්ෂිනාංශික පාලනය සහ එය සක්‍රීයව පහසුකම් සපයන ප්‍රචන්ඩත්වය විසින් ඔවුන්ගේ ජීවිත අනතුරට ඇද දමා තිබේ. වික්‍රමසිංහ, කම්කරුවන් හා ශිෂ්‍යයන් කෙරෙහි කිසිදු අනුකම්පාවක් නොදක්වයි; ඔහුගේ දේශපාලන තීරනවලට විරුද්ධ වීම වැලැක්වීම සඳහා ඔහු මිලිටරිවාදී මාධ්‍යයන් භාවිතා කිරීම බිහිසුනු ය.

බටහිර සිඩ්නි විශ්වවිද්‍යාලයේ සසජාතශි සභාපති, සැක්

නොවැම්බර් 30 වැනිදා මොරටුව විශ්වවිද්‍යාලයේදී දේහින් වසන්තට සහ ලක්ෂ්මන් ප්‍රනාන්දුට එල්ල වූ ප්‍රහාරයන් තැති ගන්වනසුලු ය. බටහිර සිඩ්නි විශ්වවිද්‍යාලයේ සමාජ සමානාත්මතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ වන අපි අපගේ සහෘදයන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර, එල්ල කල මෙම නින්දිත ප්‍රහාරයට විරුද්ධ වෙමු.

රාජ්‍යයට සහ වෘත්තීය සමිතිවලට සම්බන්ධ ශ්‍රීලංපො හි සන්නද්ධ මැරයන් අපගේ ප්‍රචාරක ව්‍යාපාරයට ඇඟිලි ගැසීමට සහ අපගේ සාමාජිකයන් අකර්මන්‍ය කිරීමට යොදවා තිබුනේ පලමු වතාවට නොවේ. මෙම වර්ධනය ධනේශ්වර පන්තියේ සහ කොලඹ පමනක් නොව, ජාත්‍යන්තරව වෘත්තීය සමිති තුල සිටින ඔවුන්ගේ ගෝලබාලයන්ගේ දුර්වලකමේ සහ නොසන්සුන්තාවයේ දැවැන්ත සලකුනකි. ඔවුන් සාර්ථක නොවනු ඇත; නමුත්, කම්කරු පන්තියට තමන්ව එලිදරව් කරමින්, ඔවුන්ට එරෙහිව හැරවීම සඳහා පමනක් දායක වනු ඇත.

වැරදිකරුවන්ට නඩු පවරා දඬුවම් කල යුතුය. කම්කරු පන්තියේ පීඩනයකින් තොරව ශ්‍රී ලංකාවේ උසාවි මෙය කරනු ඇතැයි යන්න සිතිය නොහැක. කෙසේ වෙතත්, අපගේ ආයාචනය, යුක්තිය සඳහා ධනේශ්වර උසාවිවලට නොව, ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින අති විශාල සමාජ බලවේගය වෙත ය. එය රාජ්‍යයට ලබා දීමට නොහැකි නම්, අපි කම්කරු පන්තිය තුල ඒ සඳහා සටන් වදිමු.

* * * * *

සසප (wswscmb@sltnet.lk) වෙත පිටපත් සමග, අදාල බලධාරීන්ගේ පහත ලිපිනයන්ට විරෝධතා ලිපි එවමින් තම විරුද්ධත්වය පල කරන ලෙස ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමට උත්සුක වන සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිමු.

මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එන්.ඩී. ගුනවර්ධන

විද්‍යුත් තැපෑල: vc@uom.lk හෝ ndg@uom.lk

නීතිපති, සංජය රාජරත්නම්

විද්‍යුත් තැපෑල:  agdurgentmotions@gmail.com

agdurgentmotions@gmail.com agdurgentmotions@gmail.com

Loading