ඉදිරිදර්ශන

ආන්ඩුව ලංකා විදුලිබල මන්ඩලයේ සේවකයින්ට එරෙහිව මුදාහැර ඇති දඩයමට විරුද්ධව නැගී සිටිමු

[මෙය Oppose Sri Lankan government’s witch-hunt of Ceylon Electricity Board employees යන මැයෙන් 2024 ජනවාරි 15 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ලංකා විදුලි බල මන්ඩලය (ලංවිම) පුද්ගලීකරනය කිරීමට විරුද්ධව, ජනවාරි මස මුලදී දින තුනක අසනීප නිවාඩු දමා විරෝධතාවයක නිරත වූ එහි සේවකයින්ට එරෙහිව, ආන්ඩුවේ නියෝග මත උසිගන්වා ඇති දඩයමට විරුද්ධ වන ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී.

ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් 2024 ජනවාරි 4 වන දින කොළඹින් පිටත ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ පවත්වයි.


වික්‍රමසිංහ ආන්ඩුවේ පුද්ගලීකරනයට විරුද්ධව, ජනවාරි 3-5 කොලඹ ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂනය කරමින් සිදුකල විරෝධතා ක්‍රියාමාර්ගයට රට පුරා සේවකයෝ දස දහස් ගනනක් සහභාගි වූහ .

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පසුගිය සතියේ කරන ලද නියෝග අනුව, ලංවිම එක් එක් ශාඛා වල සිටින කලමනාකාරවරුන්, අරගලයට සම්බන්ධ වූ සියලු කම්කරුවන්ගෙන් කරනු දක්වන ලෙසට දන්වන ලිපි සකස් කර තිබේ.

ලංවිම කම්කරුවන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසුවේ, සමහර ලිපි දැනටමත් යවා ඇති නමුත්, අද (15) රජයේ නිවාඩු දිනයක් බැවින්, ඉතිරි ඒවා අඟහරුවාදා යැවීමට අපේක්ෂා කරන බව යි.

ආන්ඩුවේ නියෝග මත යවන මෙම ලිපි, තම රැකියා, වැටුප් හා සේවා කොන්දේසි ආරක්ෂා කර ගැනීම සඳහා කාර්මික ක්‍රියාමාර්ග ගැනීමට කම්කරුවන්ට ඇති මූලික අයිතියට එරෙහිව එල්ලකර තිබෙන දරුනු ප්‍රහාරයකි. කම්කරු පන්තිය තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමේ අරගලයේ ම කොටසක් ලෙස පෙරට පැමින සියලු විදුලිබල සේවකයින්ට සහාය දැක්විය යුතුය. එක් අයෙකුට එල්ල කරන ප්‍රහාරයක් යනු සැමටම එරෙහි ප්‍රහාරයකි!

අත්‍යවශ්‍ය මහජන සේවා පනත තුලින් කම්කරුවන්ට එරෙහිව පියවර ගැනීම සඳහා ලංවිම සභාපති විසින් නිකුත් කරන ලද ලිපියේ පිටපතක්. [ඡායාරූපයකි] [Photo]


'හේතු දක්වන ලෙස' ලංවිම කලමනාකාරිත්වය නිකුත්කර ඇති ලිපිවල, අත්‍යවශ්‍ය මහජන සේවා පනත (ඊපීඑස්ඒ) යටතේ සියලුම විදුලි සැපයුම මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදනය සහ ඉන්ධන බෙදා හැරීම අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශ කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දෙසැම්බර් 18 ගැසට් පත්‍රය ගැන අවධානය යොමු කරයි. සියලුම සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් ජනවාරි 1 කලමනාකාරිත්වය නිකුත්කල චක්‍රලේඛය ගැන ද එම ලිපිවල සඳහන් වේ.

ජනවාරි 3 සිට ජනවාරි 5 දක්වා කාලය තුල, වැඩ කිරීමට අපොහොසත්වූ සියලුම සේවකයින්, ඔවුන්ට එරෙහිව “විනය ක්‍රියාමාර්ග” නොගත යුත්තේ මන්දැයි වැඩ කරන දින තුනක් ඇතුලත ඔවුන්ගේ ආසන්නතම ප්‍රධානීන්ට ලිඛිතව පැහැදිලි කල යුතු බව එම ලිපිවල සඳහන් වේ.

'එසේ කිරීමට අපොහොසත් වුවහොත්... ඔබ වරද පිලිගෙන ඇති බව සලකා ඔබගේ සේවය අවසන් කරනු ලැබේ' යනුවෙන් එහි වැඩිදුරටත් සඳහන් වේ. ලංවිම 26,000 ක ශ්‍රම බලකායෙන් බහුතරයක් විරෝධතාවලට සම්බන්ධ වූ නිසා මෙම ලිපිය දහස් ගනනක් සේවකයින් වෙත යවනු ඇත.

ලංවිම සේවකයින්ට හේතු දැක්වීමට යොදාගෙන ඇති අත්‍යවශ්‍ය සේවා පනත, වැඩවර්ජන කිරීමේ අයිතිය සහ අනෙකුත් කාර්මික ක්‍රියාමාර්ග තහනම් කිරීමේ කුරිරු නීතියකි. මෙම නීති උල්ලංඝනය කලා සේ සලකනු ලබන අය සේවයෙන් පහකර අසාදු ලේඛනගත කල හැකිය. මෙම පනත අනුව සිරගත කිරීම, දඩ ගැසීම සහ ඔවුන්ගේ දේපල රාජසන්තක කිරීම ඇතුලු දැඩි දඬුවම් නියම කිරීමට බලය ඇති අධිකරනය ඉදිරියට ද ඔවුන් ගෙන යා හැකිය.

2024 දී ලංකාවේ කම්කරුවන්ගේ පලමු කාර්මික ක්‍රියාමාර්ගය වන දින තුනක විරෝධතාවක් පැවැත්වීමට ලංවිම සේවකයින් අත්‍යවශ්‍ය සේවා නියෝග නොතකා ගත් තීරනය පාලක පන්තිය ද තදින්ම පිලිකුලට පාත්‍ර ව ඇති වික්‍රමසිංහ ආන්ඩුව ද තැතිගන්වා තිබේ.

පුද්ගලීකරනය, කප්පාදු සහ වැටුප් අඩු කිරීමේ පියවරයන්ට මුහුන දෙන අනෙකුත් කම්කරුවන් අරගලවලට පිවිසෙනු ඇතැයි යන භීතියෙන් ආන්ඩුව ලංවිම සේවකයින්ට දඬුවම් කිරීමට සහ සමස්තයක් ලෙස කම්කරු පන්තිය විනයගත කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටී.

ඉදිරි සති කිහිපය තුල ලංවිම කොටස් 14 කට කඩා, ඒවායින් සමහරක් පුද්ගලික සමාගම්වලට විකුනා, තවත් ඒවා වානිජකරනය කර ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ලංවිම යනු, රැකියා දස දහස් ගනනක් විනාශ කරන පෞද්ගලීකරනය හෝ වානිජකරනය සඳහා වෙන් කර ඇති රාජ්‍ය ව්‍යවසායන් සිය ගනනින් එකකි. ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාව, ශ්‍රී ලංකා වරායේ ඉතිරි කොටස්, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලය, දුම්රිය සහ රාජ්‍ය බැංකු කිහිපයක් මෙම වසරේ ඉලක්ක කර ඇති අනෙකුත් ප්‍රධාන ආයතන අතර වේ.

මෙම දැවැන්ත “ප්‍රතිව්‍යුහගත කිරීම”, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලදුව, වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාවට දමනු ලබන කප්පාදු වැඩපිලිවෙලේ කොටසකි. අත්‍යාවශ්‍ය භාන්ඩ හා සේවාවල මිල ඉහල නංවන බදු සහ ගාස්තු වැඩිකිරීම් සහ සුබසාධන වැඩසටහන්, මහජන සෞඛ්‍ය සහ අධ්‍යාපනය දැඩි කප්පාදුවකට ලක්කිරීම අනෙකුත් ක්‍රියාමාර්ගවලට ඇතුලත් වේ.

තම ඉල්ලීම් ක්‍රියාවට නැංවීමට අපොහොසත් වුවහොත්, ඩොලර් බිලියන 3 ක නයෙහි ඉතිරි වාරික නොගෙවන බවට ජාමූඅ කොලඹ ආන්ඩුවට අනතුරු අඟවා ඇත. සැප්තැම්බර් මාසයේදී දීමට නියමිතව තිබූ දෙවන නය වාරිකය ගෙවීම නතර කරගෙන සිටි ජාමුඅ එය දෙසැම්බර් මාසයේ ලබා දුන්නේ 2024 ජාතික අයවැයෙන් දැඩි ක්‍රියාමාර්ග පැනවීමෙන් පසුවය.

තමන් අසනීප යෙන් සිටි බව පවසමින් කලමනාකාරිත්වයට උත්තර බඳින ලෙස වෘත්තීය සමිති සාමාජිකයින්ට උපදෙස් දෙමින්, සමාගමේ තර්ජනාත්මක ලිපිවලට වෘත්තීය සමිති නායකත්වය උදාසීන ප්‍රතිචාරයක් දක්වා ඇති බව ලංවිම සේවකයෝ ලෝසවෙඅට පැවසුහ.

ජනවාරි 3-5 විරෝධතාව ආරම්භ කරන ලද්දේ, විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන, සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගින් පාලනය වන වෘත්තීය සමිති කිහිපයක් සම්බන්ධ වී ඇති ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති එකතුව (ජේටීයූසී) විසිනි.

කම්කරුවන්ගේ නැගෙන කෝපය සහ සටන් කිරීමේ අධිෂ්ඨානය මධ්‍යයේ විරෝධතාව කැඳවීමට ජේටීයූසී ට බලකෙරුනු අතර, මෙම රැකියා විනාශ කිරීමේ වැඩසටහන වසර ගනනාවක් තිස්සේ පෙනෙන්නට තිබුනද, වෘත්තීය සමිති නිලධරය පුද්ගලීකරනයට එරෙහිව අව්‍යාජ අරගලයක් කිරීම අවහිර කලහ.

පසුගිය වසරේ රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ වෘත්තීය සමිති කම්කරුවන් සිය ගනනකගේ රැකියා විනාශ කරන තුරු ඔහේ බලා සිටියහ.

* සැප්තැම්බර් 30 දා, ආන්ඩුව, සමුපකාර තොග ආයතනයේ කම්කරුවන් අනිවාර්ය විශ‍්‍රාම ගැන්වීමකට ගොදුරුකොට රැකියා 292 ක් විනාශ කලේය.

* 2023 ජුනි මාසයේදී, ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාවේ කලමනාකාරීත්වය, එම සමාගම පෞද්ගලීකරනය කිරීමට එරෙහිව කම්කරුවන් මෙහෙයවීමට ක්‍රියාකිරීම නිසා රක්ෂන පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සහ තවත් සමිති නායිකාවක බලහත්කාරයෙන් මාරු කරන ලදී.

* 2023 මාර්තු මාසයේදී, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, වෘත්තීය සමිති නායකයින් සහ අනෙකුත් සේවකයන් 20 ක් අනිවාර්ය නිවාඩු ගන්වමින් තෙල් සංස්ථාවේ දහසකට අධික සේවකයන්ගේ වැඩවර්ජන ක්‍රියාමාර්ගය මර්දනය කිරීමට පියවර ගත්තේය. වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් තවමත් ඔවුන් නැවත සේවයේ පිහිටුවා නොමැත. මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රහාරය පරාජය කිරීමට කාර්මික ක්‍රියාමාර්ග කැඳවීමට තබා, මෙම වින්දිතයන් ගැන තම සාමාජිකයින්ට සම්පූර්නයෙන් දැනුම් දීමටවත් සීපීසී වෘත්තීය සමිති ක්‍රියාකර නැත.

මෙම දරුනු දඩයමට එරෙහිව සටන් කිරීම ප්‍රතික්ෂේප කල ලංකාවේ වෘත්තීය සමිති, මේ සතියේ ලංවිම සේවකයින්ට පහරදීමේ කොන්දේසි නිර්මානය කලේය.

ලංවිම වෘත්තීය සමිති නායකයින්, ආන්ඩුවේ පහරදීම් වලට එරෙහිව සටන් වැදීමෙන් කම්කරුවන් වලක්වා නිරායුධ කර දඩයමට ඉඩදී ඇතැයි අපි විදුලිබල සේවකයින්ට සහ සමස්තයක් ලෙස කම්කරු පන්තියට අනතුරු අඟවමු.

ජාමූඅ කප්පාදු නියෝග වලට වික්‍රමසිංහ පරිපාලනය එකඟ වී යන්තම් මාස නවයකි. ලංකාවේ වෘත්තීය සමිති නිලධරයට සහ ඒවා පාලනය කරන දේශපාලන පක්ෂවලට මෙම ම්ලේච්ඡ ප්‍රහාරවලට කිසිදු මූලික විරුද්ධත්වයක් නොමැත. ආන්ඩුවට එරෙහි දේශපාලන හා කාර්මික අරගලයකට කම්කරුවන් බලමුලු ගැන්වීම වෙනුවට, එහි ගමන වෙනස් කිරීමට කොලඹ ආන්ඩුවට බලපෑම් කල හැකි බව අවධාරනය කරන මෙම සමිති කම්කරුවන්ගේ කෝපය වාෂ්ප කර දැමීම සඳහා හුදකලා විරෝධතා කැඳවා ඇත.

ආන්ඩුවේ ප්‍රහාර පරාජය කිරීම සඳහා එක්සත් ක්‍රියාමාර්ගයක් සංවිධානය කරන ලෙස ඉල්ලා සිටිමින් ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් වෙත හැරෙන ලෙස ලංවිම සේවකයන් ගෙන් අපි ඉල්ලා සිටිමු. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලුම කම්කරුවන් “අපගේ ලංවිම සගයන් දඩයම් නොකරනු! අත්‍යවශ්‍ය සේවා පනත ඉවත්කරනු!' යන ඉල්ලීම් මත සහයෝගීතා ක්‍රියාමාර්ග සූදානම් කල යුතුය.

ලංවිම අරගලයෙන් නැවත වරක් පෙන්නුම් කර ඇත්තේ, වෘත්තීය සමිතිවලින් ස්වාධීනව තමන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින් සහ තම සියලු මූලික අයිතීන් ආරක්ෂා කර ගැනීමට සටන් වැදීම සඳහා තීන්දුතිරන කම්කරුවන්ට තම අතට ගැනීමේ අවශ්‍යතාවයයි. මෙම ක්‍රියාකාරි කමිටු පිහිටුවීමේ දී කම්කරුවන්ට සහාය වීමට සමාජවාදී සමානතා පක්ෂය (සසප)සූදානම් ය.

ඒ අතරම, කම්කරු පන්තියට සිය සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගත හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලයකදී පමනක් බව සසප අවධාරනය කරයි.

Loading