ඉදිරිදර්ශන

පලස්තීනුවන් සාගින්නෙන් මරා දමා ඊශ්‍රායලයේ වාර්ගික ශුද්ධකරන සැලසුම් සම්පූර්න කිරීමේ අරමුනෙන් යූඑන්ආර්ඩබ්ලිව්ඒ වෙත අරමුදල් සැපයුම නතර කෙරේ

[මෙය Defunding UNRWA aimed at starving Palestinians to death and completing Israel’s plans for ethnic cleansing යන මැයෙන් 2024 ජනවාරි 31 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

2023 දෙසැම්බර් 21 වන දින ගාසා තීරයේ රෆා හිදී නොමිලේ ලබාදෙන ආහාර වේලක් සඳහා පෙල ගැසී සිටින පලස්තීනුවන්. [ඒපී ඡායාරූප/ෆාතිමා ෂ්බෙයාර්] [AP Photo/Fatima Shbair]

එක්සත් ජනපදය හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් විසින් පලස්තීන සරනාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ කාර්ය ඒජන්සිය (යූඑන්ආර්ඩබ්ලිව්ඒ) සඳහා අරමුදල් සැපයීම නතර කිරීම, ඊශ්‍රායලය සඳහා ගාසා තීරය අල්ලා ගැනීමේ අරමුන ඇතිව, පලස්තීනුවන්ට බෝම්බ හෙලීමේ දී සහ සාගින්නට පත් කිරීමේ දී නෙතන්‍යාහු තන්ත්‍රය සමග ඔවුන්ගේ සෘජු හවුල්කාරිත්වය මූර්තිමත් කරයි.

එය, බටහිර ඉවුරේ සහ මැද පෙරදිග පුරා පලස්තීනුවන්ගේ වාර්ගික ශුද්ධකරනයේ පුලුල් ව්‍යාපාරයක කොටසකි.

ජන සංහාරක ක්‍රියාවන් වැලැක්වීම සඳහා ඊශ්‍රායලය “තමා සතු බලතල තුල සියලු ක්‍රියාමාර්ග ගත යුතු” බව ජනවාරි 27 දා ජාත්‍යන්තර අධිකරනය (අයිසීජේ) තීන්දු කලේය. පැය කිහිපයක් ඇතුලත ඊශ්‍රායලය කලින් සැලසුම් කල ප්‍රතිප්‍රහාරයක් දියත් කලේය. වොෂින්ටනයේ උපදෙස් යටතේ ක්‍රියා කරන යූඑන්ආර්ඩබ්ලිව්ඒ කොමසාරිස් ජනරාල් පිලිප් ලසාරිනි, ගාසා තීරයේ සිටින ඔහුගේ 13,000 ක පිරිස අතරින් 12 දෙනෙකු, ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලය තුල හමාස් සංවිධානය විසින් මෙහෙයවන ලද ආක්‍රමනයට යම් දායකත්වයක් ලබා දී ඇති බවට සතියකට පෙර ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ඔහු අතට පත්කල ඔප්පු නොකල චෝදනා වාර්තා කලේ ඊට පැය කිහිපයකට පසුව ය.

එක්සත් ජනපදය වහාම යූඑන්ආර්ඩබ්ලිව්ඒ වෙත ලබාදුන් සියලු අරමුදල් අත්හිටුවන ලදී. ජර්මනිය, එක්සත් රාජධානිය සහ ප්‍රංශය ඇතුලුව තවත් රාජ්‍යයන් 10 ක් වොෂින්ටනය අනුගමනය කලේය.

එහි ඇඟවුම් බිහිසුනුය.

සේව් ද චිල්ඩ්‍රන්, ඇක්ෂන් ඒඩ්, ඔක්ස්ෆෑම් සහ ඩෙන්මාර්ක් රිෆියුජී කවුන්සිල් ඇතුලු ජාත්‍යන්තර ආධාර ආයතන 21 ක් පමන, 'ගාසාවේ ශීඝ්‍රයෙන් නරක අතට හැරෙන මානුෂීය ව්‍යසනයක් මධ්‍යයේ' ගත් තීරනය ගැන 'දැඩි කනස්සල්ලට සහ කෝපයට' පත්වන බව ලිවීය.

ඔවුන්ගේ ඒකාබද්ධ ලිපිය තවදුරටත් මෙසේ පවසයි:

ආධාර දෙන රාජ්‍යයන් විසින් අරමුදල් සැපයීම අත්හිටුවීම, ගාසා තීරයේ යූඑන්ආර්ඩබ්ලිව්ඒ ආධාර මත යැපෙන මිලියන දෙකකට අධික සිවිල් වැසියන්ගේ—ඉන් අඩකටත් වැඩියෙන් සිටින්නේ ලමුන් ය—දිවි බේරාගැනීමේ ආධාර කෙරෙහි බලපානු ඇත. ඊශ්‍රායලයේ අඛන්ඩ ඉවබව නැති බෝම්බ හෙලීම සහ ගාසා තීරයට ලැබුනු ආධාර හිතාමතාම අහිමි කිරීම හේතුවෙන් ජනගහනය හාමතට, වැඩි වෙමින් පවතින සාගතයට සහ පැතිර යන රෝග වලට මුහුන දෙති.

ස්වාධීන මානව හිමිකම් කොමිසම (අයිසීඑච්ආර්), අල් මෙසාන් මානව හිමිකම් මධ්‍යස්ථානය සහ රෆාහි මානව හිමිකම් පිලිබඳ පලස්තීන මධ්‍යස්ථානය ඇතුලු පලස්තීන කන්ඩායම් මෙම පියවර විස්තර කලේ, “ගාසා තීරයේ වාඩිලාගෙන සිටින හමුදා විසින් සිදු කරන ජන සංහාරයේ දිගුවක්” ලෙස සහ එය එහි සිටින මිලියන දෙකකට වැඩි පලස්තීනුවන් “සාගින්නෙන් මිය යාමට” සැලැස්වීමක් ලෙස ය.

ඔවුන් වරින්වර කුමන නරුම ප්‍රකාශ කල ද, ඊශ්‍රායලයේ සහ එහි සියලු ආධාරකරුවන්ගේ පැහැදිලි අභිප්‍රාය වන්නේ කුසගින්නෙන් මියැදීමට සැලැස්වීමයි. එහි සන්නද්ධ හමුදා විසින් පලස්තීනුවන් 30,000 ක් පමන ඝාතනය කර ඇති අතර, ඉන් වැඩි පිරිසක් කාන්තාවන් සහ ලමුන් ය; තවත් 65,000 කට තුවාල සිදුවී ඇත; මිලියන 1.9 ක ජනතාවක් (එහි ජනගහනයෙන් සියයට 85 ක්) අභ්‍යන්තරව අවතැන් වී ඇති ගාසා තීරයේ, අත්‍යවශ්‍ය යටිතල පහසුකම්වලින් අඩකට වඩා බිමට සමතලා කර තිබේ; සියලු අධිරාජ්‍යවාදී බලවතුන් ඊශ්‍රායලයේ “තමන්ව ආරක්ෂා කර ගැනීමේ අයිතිය” නොසැලී ආරක්ෂා කර ඇත්තේ ඒ ආකාරයට ය.

කිසිදු පැකිලීමකින් තොරව, ඊශ්‍රායලය සහ එහි මිතුරන් දැන් තවත් දස දහස් ගනනක මරන වරෙන්තුවකට අත්සන් තබා ඇත.

සීඑන්එන් හි බිහිසුනු වාර්තාවක ලමයින් පරන පාන් සඳහා පොරකන ආකාරයත්, කුසගින්න නිවා ගැනීම සඳහා තනකොල කෑමට බල කෙරී ඇති ආකාරයත් විස්තර කරයි. පිරිසුදු ජලය නොමැති අතර කොලරාව, පාචනය වැනි රෝග බහුල වී ඇති මුත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ක්‍රියාත්මක රෝහල් නොමැත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හදිසි සහන ප්‍රධානී මාර්ටින් ග්‍රිෆිත්ස් සීඑන්එන් වෙත පවසන්නේ, ගාසාහි සාගින්නෙන් පෙලීමේ අවදානමේ සිටින බවට එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන විසින් හඳුන්වා දෙන 400,000 න් “අතිමහත් බහුතරයක්” “ඇත්ත වශයෙන්ම සාගතයක” සිටින බවයි.

යූඑන්ආර්ඩබ්ලිව්ඒ විනාශ කිරීම ගාසාව තුල ඊශ්‍රායලය ගෙනයන යුද්ධයේ පැහැදිලි ඉලක්කයක් වන අතර, ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (අයිඩීඑෆ්) ප්‍රහාර සිය ගනනක් දියත් කරමින් යූඑන්ආර්ඩබ්ලිව්ඒ හි කාර්ය මන්ඩලයේ 150 කට අධික සංඛ්‍යාවක් සහ එහි සැපයුම් ස්ඛානවල නවාතැන් ගෙන සිටි තවත් සිවිල් වැසියන් සිය ගනනක් මරා දැමීය. යූඑන්ආර්ඩබ්ලිව්ඒ කාර්ය මන්ඩල සාමාජිකයින් හමාස් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවට චෝදනා කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ වීමත් සමග, දෙසැම්බර් මාසයේදී එලිදරව් වූ රහසිගත ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශ වාර්තාවක සඳහන් වූයේ, යූඑන්ආර්ඩබ්ලිව්ඒ තුරන් කිරීමට යෝජනා කරන බවයි.

ජනවාරි මාසයේදී, දක්ෂිනාංශික කොහෙලෙට් පදනමේ නෝගා ආර්බෙල් නෙසට් වෙත පැවසුවේ, “අප යූඑන්ආර්ඩබ්ලිව්ඒ විනාශ නොකලහොත් මෙම යුද්ධය ජයගත නොහැකිවන' බව සහ “ත්‍රස්තවාදීන් බිහි වීමට ඉඩ දීම” වැලැක්වීමට නම් පලස්තීන සරනාගතයින්ට සේවා සැපයීම නවතා දැමිය යුතු බවයි. විදේශ අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ප්‍රකාශ කලේ, ගාසා තීරයේ ඊශ්‍රායල ජයග්‍රහනයකින් “පසුව තවදුරටත් යූඑන්ආර්ඩබ්ලිව්ඒ එහි කොටසක් නොවන බවට සහතික වන ප්‍රතිපත්තියක් ප්‍රවර්ධනය කිරීම” ඔහුගේ අරමුනුවලට ඇතුලත් බවයි.

මෙම ඉලක්කය ගාසා තීරයෙන් ඔබ්බට විහිදේ. ගාසා තීරය සහ බටහිර ඉවුර ද ඇතුලුව, ජෝර්දානය, ලෙබනනය සහ සිරියාව පුරා ද පැතිරී ඇති සරනාගත කඳවුරු 58 ක සිටින මිලියන හයක් පමන පලස්තීනුවන් යැපෙන්නේ යූඑන්ආර්ඩබ්ලිව්ඒ සහ එහි 30,000 ක කාර්ය මන්ඩලය හරහා ලැබෙන ආධාර මතය.

සරනාගතයින් සඳහා වූ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් (යූඑන්එච්ආර්සී) කාර්යාලය 1950 දී පිහිටුවන ලදී. ඊට පෙර කෙටි කාලීන සංවිධාන ගනනාවක මෙන් එහි ද මෙහෙවර වූයේ, නාසි පාලන තන්ත්‍රයේ සහ දෙවන ලෝක සංග්‍රාමයේ භීෂනයෙන් බේරුනු, වැඩි වශයෙන් යුරෝපීය යුදෙව්වන් වන, ලොව පුරා සරනාගතයින්, ස්වේච්ඡාවෙන් ආපසු ගෙන්වා ගැනීම සහ ප්‍රාදේශීයව ඒකාබද්ධ කිරීම හෝ තුන්වන රටක නැවත පදිංචි කිරීම සඳහා ආධාර සැපයීමයි.

නමුත් 1949 දී පිහිටුවන ලද යූඑන්ආර්ඩබ්ලිව්ඒ වෙනම ආයතනයක් ලෙස තබා ගනු ලැබුවේ, ඊශ්‍රායලය පිහිටුවීමෙන් පසුව සහ 1948-49 අරාබි-ඊශ්‍රායල් යුද්ධයෙන් පසුව, පලස්තීනයෙන් පලා ගිය හෝ පලවා හරින ලද 700,000 පලස්තීනුවන් නැවත සිය රටට ගෙන්වා ගැනීම සියොන්වාදී පාලනයට ජුගුප්සාජනක වූ බැවිනි. අසල්වැසි අරාබි රටවල් බොහෝ විට පුරවැසිභාවය ලබාදීම ප්‍රතික්ෂේප කලේ, පලස්තීනුවන් අපිරිසිදු, තදබද වූ කඳවුරුවල සිරවී සිටිනුයේ, ඊශ්‍රායලය විසින් ඔවුන් නෙරපා හැරීමට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමක් ලෙස යැයි නරුම ලෙස ප්‍රකාශ කරමිනි.

එමගින්, පලස්තීනුවන්, ආහාර, නවාතැන්, සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා එක්සත් ජනපදය හා ජර්මනිය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන් විසින් සපයනු ලබන කිසිසේත් ප්‍රමානවත් නොවන අරමුදල්වල අනුකම්පාව යටතට මුලුමනින්ම පත් කෙරුනි. එය හමාස්හි පෙරමුනක් වියහැකි බව පවසමින් ඊශ්‍රායලය නැවත නැවතත් යූඑන්ආර්ඩබ්ලිව්ඒ හි අරමුදල් අවහිර කිරීමට උත්සාහ කලේය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2018 දී ඒජන්සියට එක්සත් ජනපද අරමුදල් සැපයීම අවසන් කර දැමූ අතර, බයිඩන් යටතේ එය නැවත අර්ධ වශයෙන් ප්‍රකෘතිමත් කරන ලදී.

සියොන්වාදීන් දැන් යූඑන්ආර්ඩබ්ලිව්ඒ සලකන්නේ, පලස්තීනුවන් පිලිගතහැකි ජනතාවක් නොවන පරිදි මුලිනුපුටා දැමීමට බාධාවක් ලෙසයි; මන්දයත්, යූඑන්ආර්ඩබ්ලිව්ඒ ආධාර මත මිලියන සංඛ්‍යාත පලස්තීනුවන් එසේ එක්ව තැබීම, එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලයේ 194 වෙනි යෝජනාවෙන් තහවුරු කර ඇති පරිදි, ඔවුන්ගේ නිවෙස් කරා ආපසු යාමේ අයිතිය ඉල්ලා සිටීමට ඉඩ සලසන බැවිනි.

දක්ෂිනාංශික ජේවිෂ් නිවුස් සින්ඩිකේට් හි ප්‍රධාන කර්තෘ ජොනතන් එස්. ටොබින් සියොන්වාදී ආස්ථානය සවිස්තරාත්මකව ඉදිරිපත් කරමින් මැසිවිලි නැගීය: “අනෙක් සෑම සරනාගත ජනගහනයකටම වෙනස් ලෙස, පලස්තීන අරාබිවරුන් නැවත පදිංචි නොකෙරුනි.” ඒ වෙනුවට “ඔවුන් දැන් ඊශ්‍රායලය බවට පත්ව ඇති ප්‍රදේශයේ තමා පදිංචිව සිටි 'නිවෙස්වලට යාමට' හැකි දවස එනතුරු බලා සිටීම සඳහා තබා ඇත… ඒ නිසා, ඔක්තෝබර් 7 වෙනිදා සිදුවීමට යූඑන්ආර්ඩබ්ලිව්ඒ හි හවුල්කාරිත්වය හෝ වෙනත් ත්‍රස්තවාදී ක්‍රියා පිලිබඳ විස්තර ගැන වාද කරමින් වැඩි කාලයක් නාස්ති නොකරමු. පැවැත්විය යුතු එකම සාකච්ඡාව නම් එය අහෝසි කිරීම සහ සැබෑ සරනාගත ඒජන්සියක් මගින් එය ප්‍රතිස්ථාපනය කිරීම පිලිබඳ සාකච්ඡාවකි.”

ඉරිදා ජෙරුසලමේ පැවති 'ඊශ්‍රායලයේ ජයග්‍රහනය පිලිබඳ සමුලුවකින්' ඊශ්‍රායලය වාඩිලාගෙන සිටින ප්‍රදේශ ස්ථිරවම ඈඳා ගැනීමේ අභිප්‍රාය තහවුරු කලේය. මෙම අවස්ථාවට ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටමාර් බෙන් ග්විර්, මුදල් අමාත්‍ය බෙසලෙල් ස්මොට්‍රිච් සහ ආන්ඩුවේ තවත් බොහෝ අමාත්‍යවරුන් සහ නෙසෙට් සාමාජිකයින් සහභාගී විය. එය ගාසා තීරයේ යුදෙව් ජනාවාස යලි ස්ථාපිත කරන ලෙසත් බටහිර ඉවුරේ ඒවා ව්‍යාප්ත කරන ලෙසත් ඉල්ලා සිටියේය.

ගාසා තීරයේ ජන සංහාරය අවසන් කරන ලෙස ඉල්ලා ලොව පුරා කම්කරුවෝ හා තරුනයෝ සතියක් සතියක් පාසා මිලියන ගනනින් පෙලපාලි යති. සටන් විරාමයක් ඉල්ලා දැවැන්ත පීඩනයක් යෙදීමෙන් මෙය ඉටුකරගත හැකි බව ඔවුන්ට පවසා ඇත; ඒත් ඔවුන් දකිනු ඇත්තේ, සිවිල් වැසියන් මරා දැමීමෙන් වලකින ලෙස ආචාරශීලීව ආයාචනා කරද්දී ම, එම ආන්ඩු ඊශ්‍රායලයට දිගින් දිගටම සහාය දෙන බව පමනි.

නීතියේ ආධිපත්‍යය වෙත නැවත පැමිනීමක් සඳහා තවමත් බලාපොරොත්තුවක් ඇති බවට සාක්ෂියක් ලෙස අයිසීජේ (ජාත්‍යන්තර අධිකරනය) මූලික තීන්දුව ප්‍රශංසාවට ලක් කිරීමත් සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානය මත විශ්වාසය තබන ලෙස ඔවුන්ට පසුව දැනුම් දෙන ලදී. ඒ වෙනුවට, අයිසීජේ විසින් තාවකාලික සටන් විරාමයක්—මෙය එක්සත් ජාතීන්ගේ නිල බහුතරයේ ස්ථාවරය විය— ඉල්ලා නොසිටියා පමනක් නොව, අයිඩීඑෆ් (ඊශ්‍රායල ආරක්ෂක හමුදා) පාලනය කරන ලෙස ඊශ්‍රායලයට කරන ලද නියාලු ආයාචනා මගින් සිදු කෙරුනේ තවත් විශාල යුද අපරාධ වලට පෙලඹවීම පමනි.

නිගමනවලට එලඹිය යුතුය. ජන සංහාරයට එරෙහි සටන යනු, එක්සත් ජනපද-නැටෝ අධිරාජ්‍යවාදයට එරෙහි සටනකි; මැද පෙරදිග එහි ප්‍රධාන නියෝජිතයා වන්නේ ඊශ්‍රායලය යි. වොෂින්ටනය, ලන්ඩනය සහ අනෙකුත් ප්‍රධාන නගර ගාසා තීරය තුලදී ඊශ්‍රායලයට පිටුබලය දෙන්නේ “පලස්තීන ප්‍රශ්නය” ඉවත් කර දැමීම, අනභියෝගී ලෙස ලෝකය සහ එහි සම්පත් පාලනය කිරීම සඳහා රුසියාවට හා චීනයට එරෙහි යුද්ධයේ සැලසුම් සමගම බැඳී සිටින ඉරානය සහ එහි සහචරයින් ඉලක්ක කර ගනිමින් මැදපෙරදිග පුලුල් යුද්ධයකට මග පාදා දෙන බැවිනි.

ඊශ්‍රායලය, එක්සත් ජනපදය සහ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් පලස්තීනුවන් වාර්ගික වශයෙන් අතුගා දැමීමේ ඔවුන්ගේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීමෙන් වලක්වාලීම සඳහා, යුද්ධයටත්, යුදවාදී ආන්ඩු සහ ඔවුන්ගේ නාමික විරුද්ධ පක්ෂවලටත්, ඔවුන් සියල්ලන්ම ආරක්ෂා කරන ගෝලීය සූරාකෑමේ ධනේශ්වර පද්ධතියටත් එරෙහි කම්කරු පන්තියේ ජාත්‍යන්තර හා සමාජවාදී ව්‍යාපාරයක් වර්ධනය කිරීම ඉල්ලා සිටී.

Loading