ඉදිරිදර්ශන

සමාජවාදී ජාත්‍යන්තරවාදය සහ සියොන්වාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය

[මෙය Socialist internationalism and the struggle against Zionism and imperialism යන මැයෙන් 2023 ඔක්තෝබර් 25 ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

පහත දේශනය, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් ඔක්තෝබර් 24 වැනි අඟහරුවාදා ඈන් ආබර් හි මිචිගන් විශ්ව විද්‍යාලයේ දී පවත්වන ලදී.

පහත දේශනය, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් ඔක්තෝබර් 24 වැනි අඟහරුවාදා ඈන් ආබර් හි මිචිගන් විශ්ව විද්‍යාලයේ දී පවත්වන ලදී.

අද රාත්‍රියේ දේශනය 'ලියොන් ට්‍රොට්ස්කි සහ 21 වැනි සියවසේ සමාජවාදය සඳහා අරගලය' යන මාතෘකාව යටතේ පැවැත්වේ. එය, ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ 1923 ඔක්තෝ්බර් මාසයේ දී සෝවියට් සංගමය තුල වාම විපාර්ශ්වය පිහිටුවීමේ 100 වන සංවත්සරය සැමරීම සඳහා ජාත්‍යන්තරව සහ එක්සත් ජනපදය තුල පැවැත්වෙන රැස්වීම් මාලාවක කොටසකි. වාම විපාර්ශ්වය පිහිටුවීම සනිටුහන් කලේ, ස්ටැලින්වාදී තන්ත්‍රය යටතේ කොමියුනිස්ට් පක්ෂයේ සහ සෝවියට් රාජ්‍යයේ නිලධාරිවාදී පරිහානියටත්, 1917 ඔක්තෝබර් විප්ලවය පදනම් වූ ජාත්‍යන්තර ක්‍රියාමාර්ගය හා මූලධර්ම පාවාදීමටත් එරෙහිව ලියොන් ට්‍රොට්ස්කි විසින් මෙහෙයවන ලද අරගලයේ, එනම් 20 වන සියවසේ වඩාත්ම සංවිපාක සහිත දේශපාලන අරගලයේ ආරම්භය යි.

එය වඩාත්ම සංවිපාක සහිත අරගලය යැයි මා පවසන විට, මට එය මෙසේ කීමට ඉඩ දෙන්න. එම සටනේ ප්‍රතිඵලය වෙනස් වූයේ නම්, එය ට්‍රොට්ස්කිවාදී කන්ඩායමේ ජයග්‍රහනයෙන් හා ස්ටැලින්වාදයේ පරාජයෙන් අවසන් වූයේ නම්, 20 වැනි සියවස ලෝක සමාජවාදී විප්ලවයේ ජයග්‍රහනය තහවුරු කල සියවස වන්නට ඉඩ තිබුනි. 1990 ගනන්වල අගභාගයේදී මා විසින් පවත්වන ලද දේශනයකදී, රුසියානු විප්ලවය ආරම්භයේ සිටම විනාශයට පත් වීමට නියමිතව තිබූ බවට සහ ස්ටැලින්වාදයට විකල්පයක් නැති බවට වන ප්‍රකාශන්ට මම පිලිතුරු දුනිමි. බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්ෂය තුල වසර 60ක් ගත කල සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය ඉතිහාසඥයෙකු වන එරික් හොබ්ස්බෝම් විසින් කරන ලද තක්සේරුව එයයි. ස්ටැලින්වාදයට විකල්පයක් පැවතීමට ඇති හැකියාව ප්‍රතික්ෂේප කිරීම සඳහා ඔහුට ම හිමි දේශපාලන හා බුද්ධිමය උවමනාවක් තිබුනි. එය තමාගේම දේශපාලනය සාධාරනීකරනය කෙරුනු ආකාරයකි.

නමුත් කාරනාව එය නොවේ. 1920 ගනන්වල සහ 1930 ගනන්වල පොරබැදූ ගැටලු පසුගිය ශතවර්ෂයේ ගමන් මගට ප්‍රගාඪ බලපෑමක් ඇති කල අතර, එබැවින්, අද අප ජීවත් වන කොන්දේසි නිර්මානය කලේය. සෝවියට් සංගමය තුල ට්‍රොට්ස්කිගේ පරාජයත් ස්ටැලින්වාදයේ ජයග්‍රහනයත් ජර්මනියේ පන්ති අරගලයේ ප්‍රතිඵලය මත ව්‍යසනකාරී බලපෑමක් ඇති කලේය. ට්‍රොට්ස්කි, ජර්මනියේ ස්ටැලින්වාදී පක්ෂය විසින් අනුගමනය කරමින් සිටි ප්‍රතිපත්ති පිලිබඳව කල විවේචනය—ෆැසිස්ට්වාදයේ අන්තරාය පිලිබඳ ඔහුගේ අනතුරු ඇඟවීම් සහ කොමියුනිස්ට් පක්ෂයේ අති-වාමවාදී ප්‍රතිපත්ති පිලිබඳ ඔහුගේ විවේචන—නිවැරදි බව ඔප්පු විය. හිට්ලර් නැවැත්විය හැකිව තිබුනි. ට්‍රොට්ස්කි, ජර්මානු කම්කරු පන්තියේ බහුජන පක්ෂ දෙක වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා කොමියුනිස්ට් පක්ෂවල එක්සත් පෙරමුනක් වෙනුවෙන් පෙනී සිටියේය. හිට්ලර්ගේ පරාජය තරම් තීරනාත්මක කිසිවක් නොමැති බව ලියූ ඔහු, කම්කරු පන්තියේ පරාජය සහ හිට්ලර් බලයට පැමිනීම සිතාගත නොහැකි පරිමානයේ ගෝලීය ව්‍යසනයක් වනු ඇති බවට අනතුරු ඇඟවීය. එසේම, එම ව්‍යසනයන්ගෙන් එකක් වනු ඇත්තේ යුරෝපීය යුදෙව්වන් සමූලඝාතනය කිරීම බවට ද ට්‍රොට්ස්කි අනතුරු ඇඟවීය.

එම අනතුරු ඇඟවීම් නොතකා හරින ලදී. බිහිසුනු ප්‍රතිවිපාක ඇතිකරමින් හිට්ලර් බලයට පත් විය. මෙය, අද අප අත්විඳින දේශපාලන තත්වය තුල ක්‍රියාත්මක වන සිදුවීම් මාලාවකට ඇරඹුම ලබා දුන්නේ ය. හිට්ලර්ගේ ජයග්‍රහනයෙන් තොරව, ෆැසිස්ට්වාදයේ ජයග්‍රහනයෙන් තොරව, කිසි දිනෙක සියොන්වාදී මහජන ව්‍යාපාරයක් ඇති නොවනු ඇත; පලස්තීනයට යුදෙව්වන් විශාල වශයෙන් සංක්‍රමනය වීමක් සිදු නොවනු ඇත. තවද, අප දැන් දකින තීව්‍ර වන අර්බුදයේ එක් ප්‍රධාන සාධකයක් කිසිසේත් ම නොපවතිනු ඇත.

ජර්මානු කම්කරු පන්තියේ ජයග්‍රහනය—යුරෝපයේ වඩාත්ම දියුනු කාර්මික රට තුල කම්කරු පන්තිය බලයට පැමිනීම—නිසැකව ම ලෝකය පුරා සමාජවාදයේ ඉදිරි ගමනේ ප්‍රධාන සැතපුම් කනුවක් වීමට ඉඩ තිබුනි.

මෙම දේශනයේ මූලික සැලැස්ම වූයේ, වාම විපාර්ශ්වය පිහිටුවීමට තුඩු දුන් ඓතිහාසික සිදුවීම් සහ ගැටලු සමාලෝචනය කිරීමත්, වර්තමාන ලෝක තත්වය අවබෝධ කර ගැනීම සහ වර්ධනය කිරීම සඳහා සමකාලීන ලෝකයේ විප්ලවවාදී සමාජවාදී මූලෝපායක් සම්බන්ධයෙන් වන මෙම ඉතිහාසමය පාඩම් උකහා ගැනීම ඉතා වැදගත් වන්නේ මන්දැයි පැහැදිලි කිරීමත් ය.

එහෙත්, දිග හැරෙන සිදුවීම්, අද රාත්‍රි ප්‍රතිපාදනයේ ව්‍යුහය තරමක් වෙනස් කිරීමට තු ඩුදුනි. ඔබ සැම එය අගයකරනු ඇතැයි මම සිතමි. ස්ටැලින්වාදයට එරෙහිව වාම විපාර්ෂවය ගෙන ගිය අරගලයේ හදවත වූ මාක්ස්වාදී න්‍යාය, දේශපාලන ඉදිරිදර්ශනය සහ සමාජවාදී වැඩපිලිවෙල පිලිබඳ තීරනාත්මක ගැටලු වලට එහි සම්බන්ධය ගෙනහැර පෑමට මම තත්වය පිලිබඳ සාකච්ඡාවකින් පටන්ගෙන එතැන් සිට ඉදිරියට යමි.

ඩේවිඩ් නෝර්ත් 2023 ඔක්තෝබර් 24 වෙනිදා මිචිගන් විශ්ව විද්‍යාලයේ දී සිය දේශනය පවත්වමින්.

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් ඉක්බිතිව ඇති වූ දැවැන්ත ම ජාත්‍යන්තර අර්බුදය අපි දැන් අත්දකිමින් සිටිමු. යුක්‍රේනයේ සහ ගාසා තීරයේ යුද්ධ දෙකක් ඇවිලෙමින් තිබේ: ඇත්ත වශයෙන්ම, මේවා ශීඝ්‍රයෙන් උත්සන්න වෙමින් පවතින, තුන්වන ලෝක යුද්ධයක සටන් පෙරමුනු දෙකක් බව පැවසීම වඩාත් නිවැරදි ය; එය ජාත්‍යන්තර කම්කරු පන්තියේ මහා යුද විරෝධී ව්‍යාපාරයක් විසින් නතර නොකලහොත්, එහි පරිමාව සහ රුදුරු බව පලමු ලෝක යුද්ධය (1914-1918) සහ දෙවන ලෝක යුද්ධය (1939-1945) අභිබවා යනු ඇත. රැස්වීම පැවැත්වෙන මේ මොහොතේ පවා, එක්සත් ජනපදය මධ්‍යධරනී මුහුදේ දැවැන්ත හමුදා ප්‍රහාරක බලකායක් එක්‍ රැස් කරමින් සිටින අතර එය ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් විසින් මෙහෙයවනු ලැබේ. ඊස්රායලය සහ හිස්බුල්ලා අතර සටන උත්සන්න වුවහොත් මැදිහත් වන බවට බයිඩන් පරිපාලනය තර්ජනය කරයි. මෙය එක්සත් ජනපදය හා ඉරානය අතර යුද්ධයකට තුඩු දිය හැකිය.

ඊස්රායලයෙන් ආපසු පැමිනි පසු ජනාධිපති බයිඩන් ගිය සතියේ කල කතාවේදී, යුක්‍රේනයේ සහ ගාසා තීරයේ යුද්ධ පැහැදිලි ලෙසම සම්බන්ධ කලේය. මිලිටරි වියදම්වලට—2023 සඳහා දැනටමත් වෙන් කර ඇති ඩොලර් ට්‍රිලියන 1 ට අමතරව—අතිරේක ඩොලර් බිලියන 105 ක් ඉල්ලා සිටි ඔහු අවධාරනය කලේ, යුද්ධ දෙකම එක්සත් ජනපදයේ “ජාතික ආරක්ෂාවට” තීරනාත්මක වන බව යි; එයින් ඔහු අදහස් කලේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය භූ-දේශපාලනික අවශ්‍යතා ය.

රුසියාවට එරෙහිව අධිරාජ්‍යවාදී යුද්ධයක් දියත් කරමින් සිටින එක්සත් ජනපදය සහ එහි නැටෝ සහචරයින් තම යුක්‍රේන කුලීකාර හමුදාවන් උසිගන්වමින් සිටින්නේ, රුසියාවේ පාලන තන්ත්‍ර මාරුවක් සිදුකොට, එරට සුන්කිරීම මගින් එක්සත් ජනපදයේ අධීක්ෂනය යටතේ එහි අතිවිශාල සම්පත් කොල්ලකෑම සඳහා රට කැබිලිකර එහි කොටස් නැටෝ බලයන් අතර යලි බෙදිමේ ඉලක්ක ඇතිව ය.

ඉරානය සමඟ ඇති වීමට යන ගැටුම පැහැදිලි කරන පරිදි, ගාසා තීරයේ සිරකර සිටින ජනගහනයට එරෙහි ඊස්රායල ප්‍රහාරය, ගෝලීය යුද්ධයේ ම දිගුවකි. ඊස්රායල මහා ජන සංහාරක පරිමානයන් ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීමෙන් අපේක්ෂා කරන්නේ, සියොන්වාදී තන්ත්‍රයට එරෙහි පලස්තීන ප්‍රතිරෝධය මූලෝත්පාටනය කර දැමීම යි. ඊස්රායලය ආන්ඩුව සහ හමුදාව, සමූලඝාතනය කිරීමේ භාෂාව සහ විධික්‍රම භාවිතා කරන බැවින්, මෙම යුද්ධය පලස්තීන ප්‍රශ්නය සඳහා සියොන්වාදී පාලන තන්ත්‍රයේ “අවසාන විසඳුම” ලෙස විස්තර කිරීම සම්පූර්නයෙන්ම උචිත වේ.

මෙම සමූලඝාතන යුද්ධයට සියලුම ප්‍රධාන අධිරාජ්‍යවාදී ආන්ඩුවල සහාය ලැබේ. ගාසා තීරයේ ජනතාව සිදුකෙරෙමින් පවතින ජන ඝාතනය කිරීම මධ්‍යයේ අධිරාජ්‍යවාදී නායකයෝ ඊස්රායලය සමග ඔවුන්ගේ සහයෝගීතාව ප්‍රකාශ කරති. ජනාධිපති බයිඩන්, බ්‍රිතාන්‍ය අගමැති සුනාක් සහ ජර්මානු චාන්සලර් ෂෝල්ස්, ඊස්රායලයට ඔවුන්ගේ වන්දනා ගමන් යන්නේ එය අනිවාර්ය දේශපාලන වගකීමක් බවට පත්ව ඇතිවාක් මෙනි. ප්‍රන්ස ජනාධිපති මැක්‍රොන් අද පෙරවරුවේ එහි පැමිනියේය.

මෙම නායකයෝ යුදෙව් ජනතාව කෙරෙහි ඔවුන්ගේ ගැඹුරු අනුකම්පාව ප්‍රකාශ කරමින්, ගාසා තීරයට එල්ලවන ඊස්රායල ප්‍රහාරය ආරක්ෂා කිරීමේ සිය පිලිවෙත සාධාරනීකරනය කිරීම පිනිස නාසින්ගේ යුදෙව් සමූලඝාතනය (Holocaust) මතක් කරයි. එවැනි ප්‍රකාශයන් තුල ඇති වංචාවේ සහ කුහකකමේ පරිමානය මිනිය නොහැක.. ඔවුන් සියල්ලෝම 1939 සහ 1945 අතර යුදෙව්වන් වධහිංසාවන්ට ලක් කිරීම සහ සමූල ඝාතනය කිරීම සංවිධානය කල, සහයෝගය දුන් හෝ ඒ සම්බන්ධයෙන් ඇස්කන් පියාගෙන සිටි ආන්ඩුවල දේශපාලන අනුප්‍රාප්තිකයෝ වෙති. සිය බලය සහ ආර්ථික අවශ්‍යතා ආරක්ෂා කිරීම ඇඩොල්ෆ් හිට්ලර්ට භාර දුන් වසර ගනනාව තුල, ජර්මානු පාලක පන්තිය විසින් යුදෙව්වන් සමූලඝාතනය කරනු ලැබීම, ධනේශ්වර සමාජයේ කුනුවීමේ බිහිසුනු සැතපුම් කනුවක් සනිටුහන් කලේය: එනම්, මිලියන ගනනක් මිනිසුන් එක්කාසු කිරීම, ප්‍රවාහනය සහ මරා දැමීමේ ක්‍රියාවලිය සඳහා නවීන තාක්ෂනය හා කාර්මික සංවිධාන ව්‍යුහය යොදා ගැනීම යි. ප්‍රන්ස පාලක පන්තිය මෙම ක්‍රියාවලියේදී නාසි තන්ත්‍රය සමග සහයෝගයෙන් කටයුතු කලේය. ප්‍රන්සයේ යුදෙව් පුරවැසියන්ගෙන් ආසන්න වශයෙන් සියයට 25 ක් සමූලඝාතනය සඳහා නාසීන් වෙත භාර දෙන ලදී.

අවුෂ්විට්ස් සමූලඝාතන කඳවුරට පැමිනෙන හංගේරියානු යුදෙව්වන් [ඡායාරූපය: අවුෂ්විට්ස් නිර්නාමික ඡායාරූප ශිල්පියෙකුගෙනි] [Photo: Anonymous Auschwitz photographer]

නාසීන් විසින් මහා බ්‍රිතාන්‍යය අත්පත් කර නොගත් අතර එහි සාපේක්ෂව කුඩා යුදෙව් ජනගහනය සමූලඝාතනයේ භීෂනයෙන් බේරුනි. එහෙත් බ්‍රිතාන්‍ය පාලක පන්තිය තුල පැතිර තිබූ යුදෙව් විරෝධය, නාසින් විසින් අත්පත් කරගත් යුරෝපයෙන් පැමිනි යුදෙව් සරනගතයින්ට සලකන ලද කෲරත්වය තුලින් ප්‍රකාශිත විය.

බ්‍රිතාන්‍යයට පලා ගිය ජර්මානු යුදෙව්වන් 20,000 කට අධික සංඛ්‍යාවක් “පරදේසක්කාර සතුරන්” ලෙස වර්ගීකරනය කර, අයර්ලන්ත මුහුදේ, අයිල් දූපතේ, පිහිටි සිර කඳවුරුවල රැඳවීය. හචින්සන් කඳවුර ලෙස හැඳින්වෙන මෙම රැඳවුම් කඳවුරුවලින් එකක සරනාගතයින් 1,200 ක් සිරගත කරන ලදී; ඔවුන් අතර ප්‍රමුඛ කලාකරුවෝ, සංගීතඥයෝ සහ බුද්ධිමත්තු සිටියහ. නාසිවාදීන් වෙතින් පලා ආ යුදෙව් සරනාගතයින් සමූහ වශයෙන් සිරගත කිරීමේ බ්‍රිතාන්‍ය ප්‍රතිපත්තිය පිලිබඳ සවිස්තරාත්මක වාර්තාවක්, මාධ්‍යවේදී සයිමන් පාකින් විසින් රචිත The Island of Extraordinary Captives (අත්‍යසමාන රැදවියන්ගේ දිවයින) නම් පොත තුල ඇත. බ්‍රිතාන්‍ය ආන්ඩුව යුදෙව් සරනගතයින්ට අයුතු ලෙස සැලකීම ගැන සමාව අයැදීම තිබීයේවා, එසේ කල බව කිසිදාක පිලිගෙනවත් නැත.

එක්සත් ජනපදය සම්බන්ධයෙන් ගත් කල, යුදෙව්වන්ගේ ඉරනම කෙරෙහි රූස්වෙල්ට් පරිපාලනයේ නොතැකීම, ප්‍රතික්ෂේප කල නොහැකි ලෙස තහවුරු වූ ඓතිහාසික සත්‍යයකි. බේරීමට ඉඩ තිබූ ලක්ෂ ගනන් යුරෝපීය යුදෙව්වන්, එක්සත් ජනපදයට ඇතුලුවීම ප්‍රතික්ෂේප කිරීම නිසා ම, නාසි ගෑස් කුටිවල මිය ගියහ. 1939 දී, එක්සත් ජනපදය යුදෙව් සරනගතයින් 900 කට එම්එස් සේන්ට් ලුවී (MS St. Louis) නෞකාවෙන් බැසීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කලේය. ඔවුන්ට යුරෝපයට ආපසු යාමට බල කෙරුනි. මෙම සරනාගතයින් සිය ගනනක් පසුව නාසීන් විසින් ඝාතනය කරන ලදී. නාසි ජර්මනිය සෑම දිනකම යුදෙව්වන් දහස් ගනනින් ඝාතනය කරන බව හොඳින් ම දැනගත් පසුව පවා, අවුෂ්විට්ස් වෙත දිවෙන දුම්රිය මාර්ගවලට බෝම්බ හෙලීම වැනි උපක්‍රම මගින් යුදෙව්වන් සමූලඝාතන කඳවුරු වෙත ප්‍රවාහනය කිරීම කඩාකප්පල් කිරීමට ගත හැකිව තිබූ මිලිටරි පියවරයන් කිසිදු සිතාබැලීමකින් තොරව වහාම ප්‍රතික්ෂේප කරන ලදි.

ඊස්රායලය නිර්මානය කිරීම වෙනුවෙන් කටයුතු කිරීමට එක්සත් ජනපදය මෙහෙයවූයේ, හිට්ලර්වාදී ජන සංහාරයෙන් යුදෙව්වන් බේරා ගැනීමට අසමත් වීම ගැන ප්‍රමාද වී ඇති වූ පසුතැවිල්ලක් වත් ද? 1948 දී ඊස්රායල රාජ්‍යය බිහිකිරීමෙන් පසු එය පිලිගත් ප්‍රථම රට වූයේ, ජනාධිපති හැරී ටෲමන්ගේ පරිපාලනය යටතේ පැවති එක්සත් ජනපදය බවට බයිඩන් පසුගිය සතියේ උදම් ඇනීය. එහෙත් ටෲමන්ගේ තීරනය යුදෙව් ජනතාව කෙරෙහි කිසිදු පුද්ගලික අනුකම්පාවකින් පෙලඹවූවක් නොවීය.

ඔහුගේ මනාව තහවුරු වී ඇති යුදෙව් විරෝධී උමතුව නොතකා, ටෲමන්ගේ ප්‍රතිපත්තිය තීරනය වූයේ, ඔහු ඇමරිකානු අධිරාජ්‍යවාදයට ඉතාම වාසිදායක යැයි සැලකූ දේ මත ය: ප්‍රථමයෙන්, මැද පෙරදිග ප්‍රධාන අධිරාජ්‍යවාදී බලය ලෙස පැවති බ්‍රිතාන්‍යය විස්ථාපනය කිරීම සහ ඒ සමගම, වොෂින්ටනයේ ප්‍රධාන කලාපීය දඩ බල්ලා ලෙස ඊස්රායලය යොදා ගැනීමයි. වසර 75 ක ඉතිහාසය පුරාම පාහේ එය [ඊස්රායලය] ඉටුකල කාර්යභාරය එයයි. බයිඩන් ඊස්රායල පාර්ලිමේන්තුව අබියස කල කතාවේදී කැපී පෙනෙන නිර්ව්‍යාජත්වයකින් යලි තහවුරු කල පරිදි: 'මම බොහෝ කලක සිට කියා තියෙනවා: ඊස්රායලයක් නොතිබුනේ නම්, අපට එය නිර්මානය කිරීමට සිදුවනු ඇති.' ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සේවාදායක රාජ්‍යයක් ලෙස ඊස්රායලයේ සේවාවන්, ඉරානයට එරෙහි මිලිටරි මෙහෙයුම් සඳහා ඔවුන් සූදානම් වන විට එක්සත් ජනපද-නැටෝ අධිරාජ්‍යවාදයට අන් කවරදාටත් වඩා තීරනාත්මක ය.

යුක්‍රේනයේ යුදෙව්වන් සමූලඝාතනය කිරීමේදී නාසීන් සමඟ සහයෝගයෙන් කටයුතු කල යුක්‍රේන ජාතිකවාදීන්ගේ සංවිධානයේ (OUN) නායකයා වූ ද, දරුනු ෆැසිස්ට්වාදියෙකු සහ යුදෙව් විරෝධියෙකු වූ ද ස්ටෙපාන් බන්ඩෙරා ප්‍රධාන ජාතික වීරයා වන යුක්‍රේනයේ පාලන තන්ත්‍රය සමග අධිරාජ්‍යවාදී බලවතුන්ගේ විවෘත සන්ධානය, ඊස්රායලයට කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ඔවුන් ලබාදෙන සහයෝගය හා එකට ගමන් කරන බව යමෙකුට නොපෙනී යා නොහැක.

බෙනීටෝ මුසෝලිනීට තම දේශපාලන පරම්පරාව සම්බන්ධ කරන ඉතාලියේ ෆැසිස්ට් අගමැතිනිය වන ජෝර්ජියා මෙලෝනි ද, ඊස්රායලයට ගොස්, නෙතන්‍යාහු සමඟ එක පෙලට සිට, සියොන්වාදී තන්ත්‍රයට සිය සහයෝගීතාවය ප්‍රකාශ කර තිබේ.

පසුගිය මාසයේ, අගමැති ජස්ටින් ටෲඩෝ සහ ජර්මානු තානාපතිවරයා මෙන්ම, කැනේඩියානු පාර්ලිමේන්තුවේ සියලුම සාමාජිකයෝ, සෝවියට් සංගමයට එරෙහි යුද්ධයේ දී නාසීන්ගේ සහචරයෙකු ලෙස වොෆන් එස්එස් හි සේවය කල යුක්‍රේන ෆැසිස්ට්වාදී යාරොස්ලාව් හුන්කාට උපහාර පිනිස අත්පොලසන් දීමට නැඟී සිටියහ.

කැනඩාවේ පාර්ලිමේන්තුව වොෆන් -එස්එස් හි හිටපු සාමාජිකයෙකු වන යාරොස්ලාව් හුන්කාට ප්‍රශංසා කරයි. කැනඩාවේ ආරක්ෂක මාන්ඩලික ප්‍රධානී ජෙනරාල් වේන් අයර් වම් පසින් සිටී.

විශේෂයෙන්ම ජර්මනියේ නාසි තන්ත්‍රයේ අපරාධ සාපේක්ෂකරනයට සහ යුක්තිසහගත කිරීමට දැඩි උත්සාහයක යෙදී සිටින යුක්‍රේන ෆැසිස්ට්වාදීන් සමග අධිරාජ්‍යවාදී බලවතුන් නින්දිත සහයෝගීතාවක් පවත්වාගෙන යති. එනමුත්, ඊස්රායලය විසින් පලස්තීන ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කුරිරු ලෙස උල්ලංඝනය කරනු ලැබීම හෙලිදරව් කරන, හෙලා දකින හෝ අඩු ගනනේ ප්‍රශ්න කරන සියල්ලන්ට එරෙහිව 'යුදෙව්-විරෝධී' චෝදනාව එල්ල කිරීම එක්සත් ජනපදය, එහි නැටෝ සහචරයින් සහ ඇත්ත වශයෙන්ම සියොන්වාදී තන්ත්‍රය නතර කර නැත.

සිය මෑත ලෝක සංචාරය පුරාම, අතිශයින් ජනප්‍රිය සංගීතඥ රොජර් වෝටර්ස් නිර්දය ප්‍රහාරයන්ටත් යුදෙව් විරෝධී චෝදනාවන්ටත් ලක් වූයේ ඔහුට පලස්තීන ජනතාව ආරක්ෂා කිරීමට තරම් ධෛර්යයක් තිබූ බැවිනි. රොජර් වෝටර්ස්ගේ නිර්මාන හඳුනන සෑම කෙනෙකුම ඔහු මානව හිමිකම් සඳහා සටනේ ඉදිරියෙන්ම සිටින වැදගත්ම කලාකරුවෙකු බවත්, ඊස්රායල පාලන තන්ත්‍රයේ ප්‍රතිපත්ති කෙරෙහි ඔහුගේ විරුද්ධත්වයට යුදෙව් විරෝධය සමග කිසිදු සම්බන්ධයක් නැති බවත් හොඳින් දනී.

19 වැනි සියවසේ අගභාගයේ දී, මුලින්ම වියානාහි නගරාධිපති කාල් ලුගර් යටතේ, යුදෙව් විරෝධය බලවත් ප්‍රතිගාමී ව්‍යාපාරයක් ලෙස මතු වූ කාලයේ පටන්, එය නැගී එන කම්කරු පන්තියට හා සමාජවාදී ව්‍යාපාරයට එරෙහිව දේශපාලන හා මතවාදී අරගලයේ ආයුධයක් ලෙස වටහා ගන්නා ලදී. යුදෙව් විරෝධියාගේ යුදෙව්වන් කෙරෙහි වෛරයත්, සමාජවාදය හා කම්කරු ව්‍යාපාරය කෙරෙහි ඔහුගේ වෛරයත් අතර සම්බන්ධය පලල්ව හඳුනාගෙන තිබුනි.

මෙම කුට සම්බන්ධතාව, ඇඩොල්ෆ් හිට්ලර්ගේ ලෝක දෘෂ්ටිය සහ දේශපාලනය තුල වඩාත්ම මාරාන්තික ප්‍රකාශනය ලබා ගත්තේ ය. හිට්ලර්ගේ පැරනිතම චරිතාපදාන රචකයෙකු වන මාධ්‍යවේදී කොන්‍රඩ් හයිඩන්, හිට්ලර්ගේ මයින් කාම්ප් (Mein Kampf 1925 දී නාසි පක්ෂ නායක ඇඩොල්ෆ් හිට්ලර් විසින් රචිත ස්වයං චරිතාපදානය - පරිවර්තක) ප්‍රවේශමෙන් කියවීම මත පදනම්ව, නාසි නායකයාගේ ප්‍රචන්ඩ යුදෙව් විරෝධයේ මූලාශ්‍රය වූයේ, ඔහු යුදෙව්වන් කම්කරු පන්තිය හා සමාජවාදය සමඟ අනන්‍යකරනය කිරීම බව පැහැදිලි කලේය. හයිඩන් මෙසේ ලිවීය:

මහා ආලෝකය ක් ඔහුට උදා විය; හදිසියේම 'යුදෙව් ප්‍රශ්නය' පැහැදිලි විය ... එයට නායකත්වය දුන්නේ යුදෙව්වන් නිසා කම්කරු ව්‍යාපාරය ඔහුව පලවා හැරියා නොවේ. යුදෙව්වන් ඔහුව පලවා හැරියේ ඔවුන් කම්කරු ව්‍යාපාරයට නායකත්වය දුන් බැවිනි. … එහෙත් එක් දෙයක් ස්ථිර ය: ඇඩොල්ෆ් හිට්ලර්ගේ යුදෙව් විරෝධය ඇවිලවූයේ රොත්ස්චයිල්ඩ් නම් ධනපතියා නොව, කාල් මාක්ස් නම් සමාජවාදියා ය.

හිට්ලර්ගේ වෛරය ඇවිස්සූ කම්කරු ව්‍යාපාරය ගැන කිව හැක්කේ කුමක්ද? ඔහු අන් සියල්ලටම වඩා සියලු මිනිසුන්ගේ සමානාත්මතාව සඳහා වන ආයාචනාවන් හෙලා දුටුවේය. හයිඩන් ලියූ පරිදි:

කම්කරු ව්‍යාපාරයට හිට්ලර් විසින් කරන ලද වඩාත්ම විශේෂිත දෝෂාරෝපනයක් නම්, ඕස්ට්‍රියාව තුල එය, දෙවියන් වහන්සේ විසින් තෝරා ගන්නා ලද ප්‍රධාන ජාතියට හානියක් වන පරිදි සැමට සමාන අයිතිවාසිකම් සඳහා සටන් කර තිබීමයි.

නමුත් දැන්, අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා අනුව, යුදෙව් විරෝධය සම්පූර්නයෙන්ම නව අර්ථයක් අත්පත් කර ගෙන ඇත. එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්, මානව සමානාත්මතාව සහ ඇත්ත වශයෙන්ම සමාජවාදය වෙනුවෙන් සටන් කරන අය හෙලා දැකීමට සහ අපකීර්තියට පත් කිරීමට අසභ්‍ය වදනක් ලෙස භාවිතා කරයි.

පලස්තීනුවන්ට එරෙහි ඊස්රායලයේ ජන සංහාරක යුද්ධය සාධාරනීයකරනය සඳහා දැන් කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරන ප්‍රචාරක ව්‍යාපාරයේ තවත් අංගයක් තිබේ. හමාස් විසින් මෙහෙයවන ලද සහ ආසන්න වශයෙන් ඊස්රායල ජාතිකයින් 1,500 දෙනෙකුට මරු කැඳවූ ගාසා තීරයේ ඔක්තෝබර් 7 වෙනිදා ප්‍රහාරය, බයිඩන් විසින් අවස්ථා කිහිපයකදී 'ශුද්ධ අමු දුෂ්ටත්වයක්' ලෙස විස්තර කර ඇති, බිහිසුනු සාපරාධී ක්‍රියාවක ප්‍රකාශනයක් ලෙස මිස වෙනත් ආකාරයකට ඉදිරිපත් නොවේ.

බොහෝ අහිංසක මිනිසුන් මියයාම ඛේදනීය සිදුවීමකි. එහෙත් ඛේදවාචකය මුල් බැස ඇත්තේ වෛෂයික ඓතිහාසික සිදුවීම් සහ එවැනි සිදුවීමක් නොවැලැක්විය හැකි දේශපාලන තත්වයන් තුල ය. සෑම විටම මෙන්, පාලක පන්තීන් නැගිටීමට පාදක වූ සියලු හේතු වලට විරුද්ධ වේ. ඔවුන්ගේ සමූලඝාතන සහ ඔවුන් නිර්දය ලෙස නායකත්වය දෙන සමස්ත ලේවැකි මර්දන පද්ධතිය ගැන සඳහන් නොකල යුතුය.

කෝපය පිපිරී ගියේ සියොන්වාදී පාලන තන්ත්‍රය විසින් දශක ගනනාවක් තිස්සේ පවත්වාගෙන ගිය පීඩාවන් නිසා ය යන්න ගැන කවුරුන් හෝ පුදුම විය යුත්තේ ඇයි? එය අතීතයේ සිදු වූ අතර, මිනිසුන් පීඩාවට හා ම්ලේච්ඡත්වයට පත් කර තිබෙන තාක්, අනාගතයේදී ද සිදුවනු ඇත. මංමුලා සහගත කැරැල්ලකදී, තමන්ගේ ජීවිත අවිනිශ්චිත තුලාවක එල්ලෙමින් පවතින විට, පීඩාවට පත් වූවන්, තම වධකයන්ට මුදු මොලොක් ආචාරශීලීව සලකනු ඇතැයි අපේක්ෂා කල නොහැක. එවැනි කැරලි බොහෝ විට කුරිරු හා ලේ වැකි පලිගැනීමේ ක්‍රියාවලින් සලකුනු වේ.

බොහෝ උදාහරන මගේ මතකයට නැඟේ: ඉන්දියාවේ සිපෝයි කැරැල්ල, අලුතින් පදිංචිකරුවන්ට එරෙහිව ඩැකෝටා ඉන්දියානුවන්ගේ නැගිටීම, චීනයේ බොක්සර්වරුන්ගේ කැරැල්ල, නිරිතදිග අප්‍රිකාවේ හෙරෙරෝස් සහ වඩාත් මෑත කාලවලදී, කෙන්‍යාවේ මාවු මාවු ව්‍යාපාරයේ නැගිටීම. මේ සෑම අවස්ථාවකදීම, කැරලිකරුවන් හදවතක් නැති මිනීමරුවන් සහ රාක්ෂයන් ලෙස හෙලා දකින ලද අතර, ම්ලේච්ඡ පලිගැනීම්වලට ලක් විය. ඔවුන් නිදහස් සටන්කාමීන් ලෙස ප්‍රමාද වී ගෞරවාදරයට පාත්‍ර වීමට ශත වර්ෂයක් හෝ ඊටත් වැඩි කාලයක් නොවේ නම්, දශක ගනනාවක් ගත විය යුතු විය ය.

1901 දී ටියැන්ජින් අසල එක්සත් ජනපද 6 වන අශ්වාරෝහක හමුදාව විසින් අල්ලා ගන්නා ලද "බොක්සර්වරු". ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ ඔවුන් හුදෙක් නරඹන්නන් පමනක් බවයි. [ඡායාරූපය රැල්ෆ් රෙපෝගෙනි / CC BY 2.0] [Photo by ralph repo / CC BY 2.0]

700,000 කට අධික මරනවලට තුඩු දුන් ඇමරිකානු සිවිල් යුද්ධයේ හේතු පැහැදිලි කිරීමේදී, ලින්කන් 250 වසරක වහල්භාවයේ ප්‍රතිවිපාකයක් ලෙස ඛේදවාචකය ගැන කතා කල අතර [බයිබලයේ -පරිවර්තක] මැතිව් ගේ වචන අනුව මෙසේ කියා සිටියේය: “මෙවැනි බාධා ලොවේ ඇති වීම කොතරම් දුකක් ද? බාධා ඇතිවීම නියත ය; එසේ වුව ද යමෙකු නිසා බාධා ඇති වේ ද, ඒ තැනැත්තාට වන විපතක මහත!'

පලස්තීනුවන් සහ ගාසා වැසියන් සම්බන්ධයෙන් ගත්කල, වරද පැමින ඇත්තේ සියොන්වාදී රාජ්‍යයෙන් සහ එහි අධිරාජ්‍යවාදී ආධාරකරුවන්ගෙනි.

හමාස් සංවිධානය සහ පලස්තීනුවන් හෙලා දැකීමේ දී බැහැර කරනු ලබන්නේ, සියොන්වාදීන් විසින් පලස්තීනුවන් සමූලඝාතනය කිරීමේ දිගු ඉතිහාසය නොමැතිව ඊස්රායල රාජ්‍යය පිහිටුවිය නොහැකි වනු ඇත යන කාරනාවයි. 2018 දී ඊස්රායල සොල්දාදුවන්, 200 කට අධික ගාසා වැසියන් තම දේශසීමාව තුල සාමකාමීව උද්ඝෝෂනය කරන විට වෙඩි තබා ඝාතනය කිරීම වැනි මෑත සිදුවීම් පවා මාධ්‍ය ආඛ්‍යානයේදී බැහැර කරනු ලැබ ඇත.

අද දින, බයිඩන් පරිපාලනයේ ප්‍රකාශක ජෝන් කර්බි විශේෂයෙන් කියා සිටියේ, එක්සත් ජනපදය සටන් විරාමයකට විරුද්ධ බවයි. බොහෝ සිවිල් වැසියන් මිය යන බව පිලිගත් ඔහු, නමුත් එය එසේ වන්නේයැයි පැවසීය. එසේ කිරීමෙන් ඔහු හමාස් සංවිධානය හෙලා දැකීමේ සම්පූර්න පදනම ම ඛාදනය කලේය. ඔහු සරලව කියා සිටියේ, “ඔව්, සිවිල් වැසියන් හමුදා ක්‍රියාමාර්ගයකින් මිය යනවා, නමුත් එම සිවිල් වැසියන් ඊස්රායල ජාතිකයන් අතින් මැරුනොත් ඒකට කමක් නැහැ. පලස්තීනුවන් විසින් සිදු කරන ලද මිලිටරි ක්‍රියාමාර්ගයක් මධ්‍යයේ සිවිල් වැසියන් මිය ගියහොත් එය 'ශුද්ධ අමු දුෂ්ටත්වයක්' පිලිබඳ නිදර්ශනයක් වෙනවා.”

ඔක්තෝබර් 7 ප්‍රචන්ඩත්වය සම්බන්ධයෙන් හමාස් හෙලා නොදුටුවේ මන්දැයි අපෙන් විමසා ඇත. පිලිතුර නම්, පීඩනයට එරෙහි ප්‍රතිරෝධය හෙලා දකින හෝ පීඩිතයා වරින්වර කරන හිංසනය ද පීඩකයාගේ ඊට වඩා බෙහෙවින් විශාල, නිර්දය සහ ක්‍රමානුකූල ප්‍රචන්ඩත්වය අතර සමාන ලකුනක් අඳින ප්‍රතිගාමී නරුමත්වය සහ කුහකත්වය අප භජනය නොකරන අතර, එයට කිසිදු සාධාරනීයකරනයක් ලබා නොදෙන බවයි.

සිය දේශපාලන අරමුනු ඉටුකර ගැනීම සඳහා බෝම්බ ප්‍රහාර සංවිධානය කිරීම සහ මිනීමැරුම් සිදුකිරීම සම්බන්ධයෙන් කිසිදු පසුතැවිල්ලක් නැති ත්‍රස්තවාදීන් ද ඊස්රායල් රාජ්‍යයේ නිර්මාතෘවරුන් අතරට ඇතුලත්ව සිටියේය යන කරුන මෙම කුහකත්වය තවත් උග්‍ර කරයි.

ඊස්රායලය රාජ්‍ය පිහිටුවීම උත්කර්ෂයට නංවනු වස් 1960 දී නිපදවන ලද එක්සොඩස් චිත්‍රපටයේ, සියොන්වාදීන්ගේ ත්‍රස්තවාදී කන්ඩායමක නායකයා එක් ප්‍රධාන චරිතයක් මෙන්ම, සුවිශේෂී ආකාරයකින්, වඩාත් අවංක පුද්ගලයෙකි. ඔහු ත්‍රස්තවාදය භාවිතා කිරීම ඉතා සෘජු ලෙස පැහැදිලි කර සාධාරනීකරනය කරයි. ඒ මිනිසා සමහර විට නොමඟ ගිය, නමුත් තවමත් වීර චරිතයක් ලෙස චිත්‍රපටයේ ඉදිරිපත් කර තිබේ. එම චරිතය ලෙහි නමින් හැඳින්වෙන කුප්‍රකට සියොන්වාදී ත්‍රස්තවාදී සංවිධානයේ නායකයෙකුගේ ප්‍රතිනිර්මානයකි; එය ස්ටර්න් කල්ලිය ලෙස ද හැඳින්වේ; එහි නිර්මාතෘ අව්‍රහම් ස්ටර්න් මෙසේ ලිවීය:

'බලය යෙදීම සෑම විටම ජාතීන්ගේ ඉරනම සකස් කලේය ... ඊස්රායල් දේශයේ ඉරනම සෑම විටම තීරනය කෙරුනේ රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් නොව, අසිපතෙනි. ලෝකයේ එකම යුක්තිය බලය වන අතර, ලෝකයේ ඇති ආදරනීයම සම්පත නිදහසයි. ජීවත්වීමේ අයිතිය ලබා දී ඇත්තේ ශක්තිමතුන්ට පමනක් වන අතර බලය නීත්‍යානුකූලව ලබා නොදෙන්නේ නම් නීති විරෝධී ලෙස ගත යුතුය.'

ස්ටර්න් කල්ලියේ මෙහෙයුම් නායකයා වූයේ, 1948 දී ඊස්රායල රාජ්‍යය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඇති වූ යුද්ධය සමථයකට පත් කිරීම සඳහා සාකච්ඡා කිරීම පැවරුනු, එක්සත් ජාතීන්ගේ මැදිහත්කරු වූ කවුන්ට් ෆෝල්ක් බර්නාඩෝට් ඝාතනය කිරීමට නියෝග කල යිට්සාක් ෂමීර් ය. එක්සත් ජාතීන්ගේ මැදිහත්කරු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ෂමීර්ට ලැබුනු දඬුවම කුමක්ද? ඊස්රායලය නිදහස ලැබීමෙන් පසු ගත වූ වසර වලදී ඔහු රාජ්‍ය රහස් පොලිසිය වන මොසාඩ්හි ඉහල මට්ටමේ තනතුරක් දැරීය. 1983 දී ෂමීර් ඊස්රායලයේ අගමැති විය. ඔහුගේ පලමු ධුර කාලය 1984 දී අවසන් විය. නමුත් ඔහු 1986 දී එම ධුරයට යලි පත් වූ අතර 1992 දක්වා අගමැති ලෙස කටයුතු කලේය. 2011 දී වයස අවුරුදු 96 දී ඔහු මිය ගිය අතර, ඊස්රායල රාජ්‍යයේ සියලුම නායකයින් කුරිරු ත්‍රස්තවාදියාට මහත්සේ උපහාර දැක්වීය.

හමාස් සංවිධානය ගැන අපගේ විවේචන දේශපාලනික මිස කුහක සදාචාරවාදී ස්වභාවයක් නොගනී. එය ධනේශ්වර ජාතික ව්‍යාපාරයකි. ඔක්තෝබර් 7 වැනි දින සිදු කරන ලද මිලිටරි මෙහෙයුම ද ඇතුලුව එය අනුගමනය කරන විධික්‍රම, සියොන්වාදී තන්ත්‍රය පරාජය කිරීමට හා පලස්තීන ජනතාවගේ විමුක්තියට හේතු විය නොහැක. එපමනක් නොව, හමාස් සංවිධානය මැද පෙරදිග එක් හෝ තවත් ධනේශ්වර තන්ත්‍රයක අනුග්‍රහය මත රඳා පවතින තාක් දුරට, සියොන්වාදී රාජ්‍යයට එරෙහි එහි අරගලය, කලාපයේ ධනේශ්වර පාලක ප්‍රභූන්ගේ අවශ්‍යතාවලට සහ එබැවින් ඔවුන්ගේ ඊස්රායල් තන්ත්‍රය හා ලෝක අධිරාජ්‍යවාදය සමග ප්‍රතිගාමී උපාමාරු දැමීම් වලට සැමවිටම යටත් වනු ඇත.

අවසාන විග්‍රහයේ දී පලස්තීන ජනතාවගේ විමුක්තිය සාක්ෂාත් කරගත හැක්කේ සියොන්වාදී තන්ත්‍රයට මෙන්ම ද්‍රෝහී අරාබි සහ ඉරාන ධනේශ්වර පාලන තන්ත්‍රවලට එරෙහිව කම්කරු පන්තියේ, අරාබි සහ යුදෙව්වන්ගේ ඒකාබද්ධ අරගලයකින් සහ ඔවුන් ගේ මැද පෙරදිග පුරා සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සහ, ඇත්ත වශයෙන්ම, සමස්ත ලෝක සමාජවාදී සමූහාන්ඩු සංගමයක්, ප්‍රතිස්ථාපනය තුලින් පමනි.

2023 ඔක්තෝබර් 20 වැනි දින යේමනයේ සානා නගරයේ දහස් ගනනක් දෙනා විරෝධතා පවත්වති. [ඡායාරූපය: QudsNewsNetwork] [Photo: QudsNewsNetwork]

මෙය යෝධ කර්තව්‍යයකි. එහෙත් ලෝක ඉතිහාසයේ වර්තමාන අවධියත්, ලෝක ධනවාදයේ ප්‍රතිවිරෝධතා සහ අර්බුදය මෙන්ම ජාත්‍යන්තර පන්ති අරගලයේ ගතිකත්වයත් පිලිබඳ නිවැරදි තක්සේරුවක් මත පදනම් වූ එකම ඉදිරිදර්ශනය එයයි. ගාසා තීරයේ සහ යුක්‍රේනයේ යුද්ධ යනු, ලෝක ආර්ථිකයේ ප්‍රමුඛත්වය, ධනවාදයේ නිෂ්පාදන බලවේගවල ගෝලීය වශයෙන් ඒකාග්‍ර වූ ස්වභාවය සහ, ඒ නිසා ම, කම්කරු පන්තියේ අරගලය ජාත්‍යන්තර මූලෝපායක් මත පදනම් කිරීමේ අවශ්‍යතාවයෙන් යුතු ඓතිහාසික යුගයක ජාතික ක්‍රියාමාර්ග වල ව්‍යසනකාරී භූමිකාව හා ප්‍රතිවිපාක පිලිබඳ ඛේදනීය නිදර්ශනයන් වේ.

මෙම ඉදිරිදර්ශනය ඊස්රායල කම්කරු පන්තියට ද නොඅඩු ලෙස වලංගු වේ. වර්තමාන තත්වය අනුව, පලස්තීන ප්‍රතිරෝධය තලා දැමීමට සියොන්වාදී රාජ්‍යයේ මිලිටරි බලය යොදා ගන්නා විට, නිවැරදි ආකාරයටම, අවධානය යොමු වී ඇත්තේ ඊස්රායල පාලනයේ අපරාධ කෙරෙහි ය.

එහෙත් සියොන්වාදී රාජ්‍යය පිහිටුවීම පලස්තීනුවන්ට පමනක් ඛේදවාචකයක් නොවන බව නොතකා හැරීම දේශපාලන වරදකි; එය යුදෙව් ජනතාවට ද ඛේදවාචකයකි. සියොන්වාදය කිසිදා යුදෙව් ජනයාගේ ඓතිහාසික පීඩනයට හෝ හිංසනයට විසඳුමක් වූයේ නැත; අද ද එසේ නොවේ. එහි මූලාරම්භයේ සිටම සියොන්වාදී ව්‍යාපාරය පදනම් වූයේ ප්‍රතිගාමී මතවාදයක් සහ වැඩපිලිවෙලක් මතය. එය ස්ථාවර හා අධි-ඓතිහාසික ස්වභාවයකින් හෙබි—එහෙයින් නූතන දේශපාලන යුදෙව් විරෝධයේ මූලාශ්‍රය වන ධනවාදයේ ආර්ථික, දේශපාලනික හා සමාජීය සබඳතා පෙරලා දැමීමට කිසිවිටෙකත් උත්සාහ නොකරන—සහ ඇත්ත වශයෙන්ම එසේ කිරීමට විරුද්ධ වූ—යුදෙව්විරෝධවාදයේ මූලාශ්‍රය පිලිබඳ ව්‍යාජ විශ්ලේෂනයක් ඉදිරිපත් කරයි.

නූතන සියොන්වාදයේ නිර්මාතෘ තියඩෝර් හර්සල්ගෙන් පටන්ගත් යුදෙව් රාජ්‍ය සංකල්පය, 19 වැනි සියවසේ අගභාගයේ සහ 20 වැනි සියවසේ මුල් භාගයේ යුදෙව් කම්කරුවන් අතර ශක්තිමත්ව ගොඩනැගෙමින් තිබූ සමාජවාදී වැඩපිලිවෙලට එරෙහිව යොමු විය. යුදෙව්වන්ගේ විමුක්තිය සඳහා මාවත ලෙස කම්කරු පන්තියේ ජාත්‍යන්තර සහයෝගීතාවයට විරුද්ධ වෙමින්, සියොන්වාදය තම අනාගතය එක් හෝ තවත් ප්‍රතිගාමී බලයක් සමඟ ගොඩනගා ගන්නා සන්ධානයක් මත පරදුවට තැබීය. 1944 දී බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ සම්මේලනයක් අමතමින් ලියන ලද විවෘත ලිපියක පලස්තීන ට්‍රොට්ස්කිවාදීහු මෙසේ පැහැදිලි කලහ:

සිය මුලු ඉතිහාසය පුරා සියොන්වාදය ලෝකයේ ප්‍රතිගාමී බලවේගවලට සැමවිටම සහාය දී ඇත. සියොන්වාදයේ නිර්මාතෘ ආචාර්ය හර්ස්ල්, සියොන්වාදී ව්‍යාපාරය යුදෙව් සමාජවාදීන්ට එරෙහිව ලීවරයක් ලෙස භාවිතා කල යුතු බවට, සාර්වාදී ඇමති ප්ලේව් (කිෂිනෙව්හි යුදෙව්වන්ට එරෙහි සංහාරයේ සංවිධායක) සමඟ ඇතිකර ගත් ගිවිසුම අනුව, ඊට ප්‍රත්‍යෝපකාරයක් ලෙස ප්ලෙව් පලස්තීනයේ සියොන්වාදය සඳහා වරපතක් ලබා ගැනීමට [තුර්කි] සුල්තාන් කෙරෙහි ඔහුගේ බලපෑම භාවිතා කරනු ඇත.

නූතන දේශපාලන සියොන්වාදයේ පියා වන තියඩෝර් හර්සල් [ඡායාරූපය: කාල් පීට්ස්නර්] [Photo: Carl Pietzner]

ඊස්රායල රාජ්‍යය පිහිටුවීමට පෙර 20 වැනි සියවසේ මුල් දශක හතර තුල, සියොන්වාදී නායකයන්ගේ උපායමාර්ගය කේන්ද්‍රගත වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය සමඟ සන්ධානයක් මත ය. පලස්තීනය තුල යුදෙව් නිජබිමක් සඳහා සහය පල කල විදේශ ඇමති බැල්ෆෝර්ගේ 1917 ප්‍රකාශනය, තම ව්‍යාපෘතියේ නීත්‍යානුකූලභාවයේ උත්තරීතර හා ආපසු හැරවිය නොහැකි ප්‍රකාශනය ලෙස සියොන්වාදීගේ වර්නනාවට පාත්‍ර විය. ඇත්ත වශයෙන්ම, පලස්තීනුවන්ගෙන් අදහස් විමසීමක් සිදුනොවූ අතර මෙම කාරනය සම්බන්ධයෙන් ඔවුන් කිසිදු අදහසක් පල කිරීමට ඉඩක් නොතිබුනි.

තම ව්‍යාපෘතිය ශක්‍ය වන්නේ අරාබි නොවන යුදෙව් රාජ්‍යයක් පිහිටුවීම අධිරාජ්‍යවාදී අවශ්‍යතාවලට සේවය කරන තරමට පමනක් බව ඉතා හොඳින් දැන සිටි සියොන්වාදීන් මේ පිලිබඳව සැලකිල්ලක් දැක්වූයේ නැත. මෙය සියොන්වාදී ව්‍යාපාරයේ ෆැසිස්ට් අංශයේ නායක සහ අනාගත ඊස්රායල අගමැති මෙනචම් බෙගින්ගේ උපදේශක ව්ලදිමීර් ජබොටින්ස්කි විසින් අපූරු පැහැදිලිකමකින් යුතුව ප්‍රකාශ කරන ලදී. ජබොටින්ස්කි මෙසේ ලිවීය:

බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය අවශ්‍යතා පිලිබඳ දෘෂ්ටිකෝනයෙන් පලස්තීනයේ වැදගත්කම පිලිබඳ සුප්‍රසිද්ධ කියමන් මත පදනම් වීමට මට අවශ්‍ය නැත; මට එකතු කිරීමට ඇත්තේ එහි වලංගු භාවය රඳා පවතින්නේ එක් ප්‍රධාන කොන්දේසියක් මත බව පමනි: එනම් පලස්තීනය අරාබි රටක් වීම නැවැත්විය යුතුය. මධ්‍යධරනී භූමිවල පිහිටි එංගලන්තයේ සියලුම “බලකොටුවල” දෝෂයන් වන්නේ (පුංචි මෝල්ටාව හැර) ඒවා සියල්ලම ජනාවාස වී ඇත්තේ ජාතික ආකර්ෂන අක්ෂ වෙනත් තැන්වල පිහිටා ඇති සහ එබැවින් ඓන්ද්‍රීයව හා සුව කල නොහැකි කේන්ද්‍රාපසාරී වන ජනගහනයන් විසිනි. එංගලන්තය, ඔවුන්ගේ කැමැත්තට පටහැනිව ඔවුන්ව පාලනය කරන අතර මෙය නූතන තත්වයන් යටතේ අවදානම්සහගත රඳවා ගැනීමකි.… පලස්තීනය අරාබි රටක් ලෙස පැවතිය යුතු නම්, පලස්තීනය අරාබි ඉරනමේ කක්ෂය--එනම්, වෙන්වීම, අරාබි රටවල් එක්සත් වීම සහ යුරෝපීය බලපෑමේ සෑම ලේශමාත්‍රයක්ම ඉවත් කිරීම--අනුගමනය කරනු ඇත. නමුත් ප්‍රධාන වශයෙන් යුදෙව්වන් සිටින සහ යුදෙව් රාජ්‍යයක් ලෙස සෑම පැත්තකින්ම අරාබි රටවලින් වට වී ඇති පලස්තීනය, තමන්ගේම ආරක්ෂාව සඳහා සෑම විටම අරාබි නොවන සහ ඉස්ලාම්භක්තික නොවන බලවත් අධිරාජ්‍යයක් මත රඳා සිටීමට උත්සාහ කරනු ඇත. මෙය එංගලන්තය සහ යුදෙව් (නමුත් යුදෙව් පමනක්) පලස්තීනය අතර ස්ථීර සන්ධානයක් සඳහා මුලුමනින් පාහේ වාසිදායක පදනමකි.

පලස්තීනයට යුදෙව් සංක්‍රමන සීමා කරමින් මැද පෙරදිග සිය ප්‍රතිපත්ති සකස් කිරීමට ලන්ඩනයේ ආන්ඩුවට බල කෙරුනු දෙවන ලෝක සංග්‍රාමය ලඟාවීම හා පුපුරා යාමෙන්, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය සමග සියොන්වාදී සන්ධානයට වල කැපුනි. සියොන්වාදී ව්‍යාපාරයේ කොටස් එයට ප්‍රතිචාර දැක්වූයේ, බ්‍රිතාන්‍ය සොල්දාදුවන් දෙදෙනෙකු එල්ලා මරා දමමින් සහ කිං ඩේවිඩ් හෝටලයට බෝම්බ හෙලීම ඇතුලු බ්‍රිතාන්‍ය ගොඩනැගිලි වලට ප්‍රචන්ඩ ප්‍රහාර එල්ල කරමිනි. නමුත් අධිරාජ්‍යවාදය සමඟ සන්ධානය දිගටම පැවතුනි. 1948 දී ඊස්රායලය පිහිටුවීමෙන් පසුව, එය අරාබි ජාතිකවාදයේ නැඟී එන රැල්ලට එරෙහිව බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ අධිරාජ්‍යවාදයේ අරගලයේ අත්‍යවශ්‍ය සහචරයෙකු ලෙස ක්‍රියා කලේය. 1956 දී ඊස්රායලය නසාර්ගේ නායකත්වයෙන් යුත් ජාතිකවාදී පාලනය පෙරලා දමා සූවස් ඇලේ පාලනය නැවත ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය සමඟ එකතු වී ඊජිප්තුව ආක්‍රමනය කලේ ය. කෙසේ වෙතත්, එක්සත් ජනපදය විසින් බ්‍රිතාන්‍යයට සහ ප්‍රංශයට යුද්ධය අවසන් කිරීමටත්, ඔවුන්ගේ හමුදා ඊජිප්තුවෙන් ඉවත් කර ගැනීමටත් බල කිරීමෙන් පසුව, ඊස්රායලය ඇමරිකානු අධිරාජ්‍යවාදය සමඟ ඇති සම්බන්ධයට ප්‍රමුඛත්වය දුන්නේය.

.යුදෙව් පලස්තීන ජනතාව ප්‍රචන්ඩ ලෙස මර්දනය කරමින්, ඊස්රායලය තුලම ෆැසිස්ට්වාදය දෙසට ගමන් කිරීම තිබියදී, යුදෙව් වර්ගභේදවාදී රාජ්‍යයක් පවත්වාගෙන යාම, මැදපෙරදිග අධිරාජ්‍යවාදයේ කඩඇනයක් ලෙස ඊස්රායලයේ භූමිකාවට අවියෝජනීය ලෙස සම්බන්ධ වේ. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ දැවැන්ත සන්නද්ධ බලකොටුවක් ලෙස, අවසානයේ ව්‍යසනකාරී ප්‍රතිවිපාක දරා ගනිමින්, එය වොෂින්ටනය විසින් උසිගන්වන සියලුම යුද්ධ සඳහා යොදාගත යුතු විය.

යුදෙව් වර්ගභේදවාදී රාජ්‍යයක් පවත්වාගෙන යාම, පලස්තීන ජනතාව ප්‍රචන්ඩ ලෙස මර්දනය කරන අතරම ඊස්රායලය තුලමත් ෆැසිස්ට්වාදය දෙසට ගමන් කිරීම, මැදපෙරදිග අධිරාජ්‍යවාදයේ කඩඇනයක් ලෙස එහි භූමිකාවට අවියෝජනීය ලෙස සම්බන්ධ වේ. අවසාන ව්‍යසනකාරී ප්‍රතිවිපාක දරාගත්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ දැවැන්ත සන්නද්ධ බලකොටුවක් ලෙස එය වොෂින්ටනය විසින් උසිගන්වන සියලුම යුද්ධ සඳහා යොදාගත යුතු විය.

1938 දෙසැම්බරයේදී ට්‍රොට්ස්කි අනතුරු ඇඟවූයේ, ෆැසිස්ට්වාදයේ පැතිරීම සහ දෙවන අධිරාජ්‍යවාදී ලෝක යුද්ධයක් ආසන්න පුපුරා යාම යුදෙව් ජනතාවට පැවැත්මේ තර්ජනයක් එල්ල කරන බවයි. “අනාගත ලෝක යුද්ධය පුපුරා යාමේදී යුදෙව්වන් ට සිදුවන්නේ කුමක් දැයි පහසුවෙන් සිතාගත හැකිය. එහෙත් යුද්ධයකින් තොරව වුවද ලෝක ප්‍රතිගාමිත්වයේ මීලඟ වර්ධනය යුදෙව්වන් ශාරීරිකව සමූලඝාතනය කිරීම නිසැකයෙන්ම සංකේතවත් කරයි,' ඔහු ලීවේය. දෙවන ලෝක යුද්ධය ආරම්භ වී වසරකට පසුව, 1940 ජූලි මාසයේදී ට්‍රොට්ස්කි මෙසේ ප්‍රකාශ කලේය: “යුදෙව්වන් පලස්තීනයට සංක්‍රමනය කරවීම හරහා යුදෙව් ප්‍රශ්නය විසඳීමට දරන ප්‍රයත්නය, යුදෙව් ජනයා සම්බන්ධයෙන් ඛේදනීය සමච්චලයක් වනු ඇත.… යුදෙව් ජනතාවගේ ගැලවීම ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීමත් සමඟ වෙන් කල නොහැකි ලෙස බැඳී පවතින බව, අද මෙන් කිසිදාක පැහැදිලි නොවීය.”

ලියොන් ට්‍රොට්ස්කි

දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස යුදෙව්වන් මිලියන 6 ක් සමූලඝාතනය විය. එහෙත් එම ව්‍යසනයෙන් ඉක්බිතිව, ට්‍රොට්ස්කි අනතුරු ඇඟවූ 'යුදෙව් ජනතාව සම්බන්ධයෙන් ඛේදනීය සමච්චලය” සාක්ෂාත් වී ඇත්තේ ඓතිහාසිකව පීඩිත ජනතාවක් පීඩකයන් බවට පරිවර්තනය වීම තුලිනි. ඇත්ත වශයෙන්ම, ඊස්රායලය තුල හා ලොව පුරා සිටින යුදෙව් ජනගහනයෙන් විශාල කොටසක් එවැනි අනන්‍යතාවයකින් බැහැරව සිටිති. ඔවුන්ට කිසිවෙකුට පීඩා කිරීමට අවශ්‍ය නැත. එහෙත් දේශපාලන වැඩසටහන්—ජාතිකවාදී ක්‍රියාමාර්ග—හුදෙක් ආත්මීය අභිප්‍රායන් මගින් නිර්නය නොවන ප්‍රතිවිපාක ගෙන දෙයි.

සියොන්වාදී රාජ්‍යය නිර්මානය කිරීම, ස්ටැලින්වාදයේ සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ පාවාදීම් හේතුවෙන් 1920 සහ 1930 ගනන්වල සිදුවූ කම්කරු පන්තියේ පරාජයන්ගේ සෘජු ප්‍රතිඵලය විය. අවතැන් වූවන් සහ නාසි වධක කඳවුරුවලින් දිවි ගලවා ගත් අය නොවන්නට, දේශපාලනිකව අධෛර්යමත් වූවන් සහ සමාජවාදී ඉදිරිදර්ශනය පිලිබඳ විශ්වාසය නැතිවූවන් නොවන්නට, සියොන්වාදී නායකයින්ට පලස්තීන ජනතාව ඔවුන්ගේ නිවෙස්වලින් සහ ගම්වලින් නෙරපා හැර, සාපරාධී විධික්‍රම මගින්, යුදෙව් ජාතික රාජ්‍යයක් නිර්මානය කරමින් ත්‍රස්තවාදී යුද්ධයක් දියත්කිරීමට අවශ්‍ය මිනිසුන් සංඛ්‍යාව ඔවුන් සතුව නොතිබෙනු ඇත.

එහෙත් වසර 75 කට පසු, දැන්, ට්‍රොට්ස්කි සියොන්වාදය “ඛේදනීය සමච්චලයක්” ලෙස දූරදර්ශීව සිදුකල තක්සේරු කිරීම තහවුරු වෙමින් පවතී. එම ඛේදවාචකයේ සාරය වූයේ, ඒ වන විටත් ප්‍රගතිශීලී සමාජ සංවර්ධනයට ප්‍රධාන බාධාව බවට මෙම දේශපාලන සංවිධාන ස්වරූපය [ජාතික රාජ්‍යය] පත්ව තිබු ඓතිහාසික මොහොතක, ජාතික රාජ්‍යය වැලඳ ගැනීමයි. ට්‍රොට්ස්කිගේ චරිතාපදාන රචකයෙකු වන අයිසැක් ඩොයිෂ්චර් 'යුදෙව් නොවන යුදෙව්වන්ගේ පනිවිඩය' යන මැයෙන් යුත් රචනයක ඊස්රායලය පිහිටුවීම විස්තර කලේ, 'යුදෙව් ඛේදවාචකයේ විරෝධාභාසී පරිසමාප්තිය' ලෙසට ය. එය පරස්පර විරෝධී ය; “අප ජීවත් වන්නේ ඊස්රායලයේ ජාතික රාජ්‍යය පමනක් නොව, රුසියාව, එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය, ප්‍රන්සය, ජර්මනිය සහ අනිකුත් ජාතික රාජ්‍යයන් වේගයෙන් පෞරානික බවට පත්වෙමින් පවතින යුගයක බැවිනි. ඒවා සියල්ලම කාල-විරෝධී රාජ්‍යයන් ය.” ජාතික රාජ්‍යයන් මිනිසාගේ සමාජ, ආර්ථික හා සංස්කෘතික සංවර්ධනයේ ප්‍රගතිශීලී සාධකයක් ව පැවති ඓතිහාසික යුගය අවසන් වී ඇත. පැරනි ස්ථාපිත ජාතික රාජ්‍යයන් සම්බන්ධයෙන් මෙය සත්‍යයක් වනවා සේම, පශ්චාත් දෙවන ලෝක සංග්‍රාම යුගයේ යටත් විජිත විරෝධී අරගල පදනම් කරගෙන ගොඩනැගුනු නව රාජ්‍යයන් සම්බන්ධයෙන් එය දෙගුනයකින් සත්‍ය වේ.

ඩොයිෂ්චර් මෙසේ ලිවීය:

ඉන්දියාව, බුරුමය, ඝානාව සහ අනෙකුත් යටත් විජිත සහ අර්ධ-යටත් විජිත ජනයා විසින් විමුක්තිය සඳහා ගෙන ගිය අත්‍යවශ්‍ය සහ ප්‍රගතිශීලී අරගලයක ප්‍රතිඵලයක් ලෙස බිහි වූ එම තරුන ජාතික රාජ්‍යයන්ට පවා, මගේ දැක්මට අනුව, ඒවායේ ප්‍රගතිශීලී ස්වභාවය දිගු කාලයක් සඳහා රැකගත නොහැක. ඒවා සමහර ජනයාගේ ඉතිහාසයට අවශ්‍ය අවධියක් සාදයි; නමුත් එය තම පැවැත්ම සඳහා පුලුල් රාමු සොයා ගැනීමට නම්, එම ජන කොටස් විසින් ද ජයගත යුතු අදියරකි. අපගේ යුගයේ ඕනෑම නව ජාතික රාජ්‍යයක්, සංස්ථාපනයෙන් ඉක්බිතිව, එහි දේශපාලන සංවිධානයේ රාමුව පොදුවේ පරිහානියට ගොදුරු වීමට පටන් ගනී. මෙය දැනටමත් ඉන්දියාවේ, ඝානාවේ සහ ඊස්රායලයේ කෙටි අත්දැකීම් වලින් පෙන්නුම් කරයි. ජාතික රාජ්‍යය වැලඳගෙන එය ඔහුගේ අභිමානය සහ අපේක්ෂාව බවට පත් කර ගැනීමට ලෝකය යුදෙව්වන්ට බල කර සිටින්නේ, එ පිලිබඳව සුලු හෝ බලාපොරොත්තුවක් තැබිය නොහැකි මොහොතක ය. මේ සඳහා ඔබට යුදෙව්වන්ට දොස් පැවරිය නොහැක; ඔබ දොස් පැවරිය යුත්තේ ලෝකයට ය. එහෙත් යුදෙව්වන් අවම වශයෙන්, විරෝධාභාසය ගැන දැනුවත් විය යුතු අතර 'ජාතික ස්වෛරීත්වය' සඳහා ඔවුන්ගේ දැඩි උද්‍යෝගය ඓතිහාසිකව කල්පසු වී ඇති බව වටහා ගත යුතුය. මානව වර්ගයාගේ ඉදිරි ගමනේ මාධ්‍යයක් මෙන්ම ඉතිහාසයේ මහා විප්ලවවාදී සහ එක්සත් කරන සාධකයක් වූ, එම ශතවර්ෂවල ජාතික රාජ්‍යයේ වාසිවලින් ඔවුන් ප්‍රයෝජන ගත්තේ නැත. එය ඔවුන් සන්තක කර ගෙන ඇත්තේ අසමගිය හා සමාජ විසංයෝජනය කරන සාධකයක් බවට පත්වූ පසුවය.

කාල් මාක්ස් (1818-1883)

ස්පිනෝසා, මාක්ස්, හයිනෙ, ට්‍රොට්ස්කි සහ ලක්සම්බර්ග්ගේ ආදර්ශයන් ඉදිරිපත් කරමින්, සිය අපේක්ෂාව ප්‍රකාශ කරමින් ඩොයිෂ්චර් සිය රචනය අවසන් කලේය.

අනෙකුත් ජාතීන් සමඟ එක්ව, යුදෙව්වන් අවසානයේ ජාතික රාජ්‍යයේ අප්‍රමානවත් බව පිලිබඳ දැනුවත් වනු ඇත—නැතහොත් දැනුවත්භාවය නැවත ලබා ගනු ඇත; යුදෙව්භාවයෙන් ඔබ්බට ගිය යුදෙව්වන්ගේ ප්‍රතිභාව අපට ඉතිරි කර ඇති සදාචාරාත්මක හා දේශපාලන උරුමය වෙත—විශ්ව මානව විමුක්තියේ පනිවිඩය වෙත—ඔවුන් යලි පැමිනෙනු ඇත.

මේ මොහොතේ දී, වත්මන් ලෝක අර්බුදයේ සන්දර්භය තුල ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සරයේ වැදගත්කම වෙත අපට ආපසු යා හැක්කේ ය. 1923 ඔක්තෝබර් 15 වැනි දින රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මන්ඩලයට ඉදිරිපත් කරන ලද “46 දෙනාගේ ප්‍රකාශනය” තුල, ගැඹුරු වන ආර්ථික අර්බුදයට අදාලව පැහැදිලි කරන ඇති, වාම විපාර්ශ්වය ගොඩනැගීමට හේතු වූ විශේෂිත කරුනු අනුව, සෝවියට් රාජ්‍යය සහ කොමියුනිස්ට් පක්ෂය යන දෙකෙහිම වර්ධනය වන නිලධාරිවාදී පීඩනයේ ප්‍රතිවිපාකයක් ලෙස සෝවියට් සංගමයේ ද අභ්‍යන්තර පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයේ ද පිරිහීමකට මුහුන දුන්නේය.

ප්‍රකාශය තුලින් මතු කල ප්‍රශ්න ඉතා වැදගත් විය. එහෙත් ඉක්බිතිව පැමිනි සති, මාස සහ වසර ගනනාව තුල අරගලය දිග හැරෙද්දී වඩවඩාත් පැහැදිලි වූයේ, දේශපාලන ගැටුමට යටින් දිවෙන හේතුව වූ 1917 ඔක්තෝබර් විප්ලවයේ වැදගත්කම සහ එම ඓතිහාසික යුගයේ ස්වභාවය පිලිබඳ පරස්පරවිරෝධී සංකල්ප දෙකකි.

.

ධනේශ්වර තාවකාලික ආන්ඩුව පෙරලා දමා පලමු කම්කරු රාජ්‍යය පිහිටුවීම ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ වැඩපිලිවෙලක් මත පදනම් විය. බලය අල්ලා ගැනීමේ තීරනය පදනම් වූයේ හුදු රුසියානු තත්වයන් පිලිබඳ තක්සේරුවක් මත නොව, 1914 දී පලමු ලෝක යුද්ධය පුපුරා යාමෙන් හෙලිදරව් වූ ලෝක ධනේශ්වර පද්ධතියේ අර්බුදය මත ය. වසර තුනකට පසුව රුසියාව තුල පුපුරා ගිය ලෝක යුද්ධයේ සහ විප්ලවයේ සාරභුත හේතුව වූයේ ලෝක ආර්ථිකය සහ ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතිය අතර ප්‍රතිවිරෝධයයි.

මෙම ප්‍රතිවිරෝධයට ධනපති-අධිරාජ්‍යවාදී විසඳුම වූයේ, යටත් කර ගැනීමේ යුද්ධ දියත් කිරීම, භූමිය අල්ලා ගැනීම, යටත් විජිත යලි බෙදා ගැනීම—එනම් ලෝකය යලි බෙදීමකි. මෙම අර්බුදයට සමාජවාදී විසඳුම වූයේ, කම්කරු පන්තිය විසින් බලය අත්පත් කර ගැනීම, ධනවාදය අහෝසි කිරීම සහ ජාතික රාජ්‍ය පද්ධතිය විසුරුවා හැරීමයි. මෙම 'විසඳුම' මනෝරාජික යෝජනා ක්‍රමයක් නොවේ. ලෝක සමාජවාදී විප්ලවය වර්ධනය වූයේ ලෝක යුද්ධයට තුඩු දුන් එම ගෝලීය ප්‍රතිවිරෝධතා තුලින්ම ය. පූර්ව දශකය තුල ලියොන් ට්‍රොට්ස්කි විසින් විස්තාරනය කරන ලද නොනවතින විප්ලව න්‍යායේ බලපෑම යටතේ 1917 දී ලෙනින් විසින් අනුගමනය කරන ලද මූලෝපාය මෙම ගෝලීය මූලෝපාය මත පදනම් විය. බොල්ෂෙවික් මූලෝපාය සැකසීමේ තීරනාත්මක සාධකය වූයේ, රුසියාව, ජාතික ස්ථිතියක් ලෙස, සමාජවාදය සඳහා සූදානම් ද යන්න නොවේ—එනම්, එහි ජාතික ආර්ථික සංවර්ධන මට්ටම සමාජවාදයට සංක්‍රමනය වීමට ප්‍රමානවත් ද යන්න නොවේ. ඇත්ත වශයෙන්ම, එකල පැවති ප්‍රධාන ධනේශ්වර රටවල ආර්ථික වශයෙන් වඩාත්ම පසුගාමී රටක් වන රුසියාව සමාජවාදය සඳහා “සූදානම්” නොවීය. එහෙත් ලෝක අර්බුදයේ සන්දර්භය තුල රුසියාව මුහුන දෙන ආර්ථික හා දේශපාලන වර්ධනයේ ගැටලු, ධනේශ්වර පන්තිය පෙරලා දැමීම, කම්කරු පන්තියට බලය පැවරීම සහ සමාජවාදී දේපල සම්බන්ධතා පදනම මත ආර්ථික ජීවිතය ප්‍රතිසංවිධානය කිරීමේ ආරම්භය හරහා මිස විසඳිය නොහැකි විය.

වී. අයි. ලෙනින්

කෙසේ වෙතත්, සෝවියට් රාජ්‍යය සමාජවාදයට සංක්‍රමනය වීම තනිකරම ජාතික උපාය මාර්ගයකින් සාක්ෂාත් කරගත නොහැකි විය. මාක්ස්වාදී පක්ෂයක් විසින් මෙහෙයවන ලද නිර්ධන පංති විප්ලවයක පදනම මත 1917 ඔක්තෝබර් මාසයේදී පිහිටුවන ලද කම්කරු රාජ්‍යයේ ඉරනම රඳා පැවතියේ, රුසියාවේ දේශසීමාවෙන් ඔබ්බට, බටහිර යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ දියුනු ධනේශ්වර මධ්‍යස්ථාන වෙත විප්ලවය ව්‍යාප්ත කිරීම මත ය.

ලෙනින් බොල්ෂෙවික් පක්ෂයේ නායකත්වයේ සිටින තාක් මෙම සංකල්පය පැවතිනි. 1919 දී කොමියුනිස්ට් ජාත්‍යන්තරය පිහිටුවීම තුල එහි වඩාත්ම දියුනු ප්‍රකාශනය ලබා ගත්තේය. එහි පලමු වාර්ෂික සම්මේලන හතර, බලය ලබා ගැනීමට සහ ලෝක විප්ලවය ඉදිරියට ගෙන යාමට හැකි ජාතික ශාඛා වර්ධනය කිරීමේ අරමුන සඳහා ලොව පුරා විප්ලවවාදීන් එක්‍ රැස් කලේය. එහෙත් 1922 දී ලෙනින්ගේ සෞඛ්‍ය පිරිහීම, 1923 මාර්තු මාසයේ දී ආඝාතයේ ප්‍රතිඵලයක් ලෙස දේශපාලන ක්‍රියාකාරකම්වලින් ඔහු සම්පූර්නයෙන් ඉවත් වීම සහ 1924 ජනවාරි මාසයේ දී ඔහුගේ මරනය බොල්ෂෙවික් නායකත්වය තුල ජාතිකවාදී ප්‍රවනතාවන් නැවත නැඟිටීම සමග සමපාත විය.

සෝවියට් සමාජවාදී සමූහාන්ඩුවේ ආර්ථික සංවර්ධනයේ ගැටලු ජාත්‍යන්තර වශයෙන් නොව, ජාතික වශයෙන් අර්ථකථනය කරන ලදී. මෙම ප්‍රවනතාවය පක්ෂයේ සහ රාජ්‍ය නිලධරයේ වැඩෙන පීඩනය හා බලපෑමට සමීපව සම්බන්ධ විය. ජෝසෆ් ස්ටැලින් බලයට නැගී ඒම මෙම ක්‍රියාදාමයේ ප්‍රකාශනයකි. කන්ඩායම් අරගලයේ ආරම්භක අදියරවල ආධිපත්‍යය දැරුවේ ට්‍රොට්ස්කි සහ වාම විපක්ෂය විසින් පක්ෂ තන්ත්‍රය විවේචනය කිරීම පිලිබඳ නිලධරයේ හෙලදැකීම් විසිනි. එහෙත් අරගලය 1924 දක්වා අඛන්ඩව පැවතීමත් සමඟ යටින් පවතින සහ මූලික ක්‍රියාමර්ගික වෙනස්කම් මතු විය. ට්‍රොට්ස්කිට එරෙහි නිලධරයේ ප්‍රහාරයේ අවධානය නොනවතින විප්ලවයේ න්‍යාය කෙරෙහි, එනම්, සෝවියට් සංගමයේ ඉරනම සහ ලෝක විප්ලවයේ ජයග්‍රහනය අතර ආවශ්‍ය සම්බන්ධය පිලිබඳ ඔහුගේ අවධාරනය, කෙරෙහි යොමු විය.

1924 පුරා—ග්‍රිගරි සිනොවියෙව්, ලෙව් කමනෙව් සහ ස්ටාලින්ගෙන් සමන්විත—ප්‍රතිපත්ති විරහිත කන්ඩායමක් විසින් මෙහෙයවන ලද බොල්ෂෙවික් නායකත්වයේ ට්‍රොට්ස්කිගේ විරුද්ධවාදීන්, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවය පිලිබඳ න්‍යාය ලෙනින්වාදී-විරෝධී බව ද, සමාජවාදය සඳහා රුසියානු ගොවීන්ගේ කැපවීම පිලිබඳ විශ්වාසයක් නොමැතිකම ප්‍රකාශ කරන බව ද පවසමින් ඔහු අපකීර්තියට පත් කිරීමට පටන් ගත්හ. 1924 දෙසැම්බර් 17 වැනි දින වඩවඩාත් කටුක අරගලයේ තීරනාත්මක ලක්ෂ්‍යයකට ලඟා වූයේ—නොනවතින විප්ලවයට එරෙහිව—සමාජවාදී විප්ලවය ලෝක ධනවාදයේ දියුනු මධ්‍යස්ථාන කරා ව්‍යාප්ත නොකර, රුසියානු සම්පත්වල පදනම මත සමාජවාදයට සංක්‍රමනය වීමේ හැකියාව පැහැදිලිවම ඉදිරියට ගෙන යන 'තනි රටේ සමාජවාදය' පිලිබඳ න්‍යාය ස්ටැලින් ප්‍රථම වරට එලිදක්වීම මගිනි.

ස්ටැලින්, රයිකොව්, කමනෙව් සහ සිනොවියෙව්

ස්ටැලින්ගේ කතාව රුසියානු හා ලෝක සමාජවාදී විප්ලවය අතර සම්බන්ධය බිඳ දැමූ ජාතිකවාදී වැඩපිලිවෙලක් සාධාරනීය කලේය. එය ප්‍රගාඪ බලපෑමක් ඇති කිරීමට නියමිතව තිබුනේ ස්ටැලින්වාදී තන්ත්‍රයේ අභ්‍යන්තර පිලිවෙතට පමනක් නොවේ. එය, ජාතික රාජ්‍යයක් ලෙස සෝවියට් සංගමයේ තත්කාර්යවාදී සංකල්පිත අවශ්‍යතාවලට විප්ලවවාදී දේශපාලන මූලෝපාය යටත් කරමින්, කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ස්වභාවය ලෝක සමාජවාදී විප්ලවය ව්‍යාප්ත කිරීමේ මෙවලමක සිට, සෝවියට් විදේශ ප්‍රතිපත්තියේ සහායක ඒජන්සියක් බවට පරිවර්තනය කලේ, එය පදනමෙන් ම වෙනස් කරමිනි. මුලදී, සෝවියට් තන්ත්‍රයේ ජාතිකවාදී පිලිවෙත කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ කොටස් අවමංගත කිරීමට තුඩු දුන් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍යයේ, චීනයේ සහ ජර්මනියේ කම්කරු පන්තියේ විශාල පරාජයන් ඇති විය.

1930 ගනන් මැද භාගය වන විට, නාසීන්ගේ ජයග්‍රහනයෙන් සහ ජර්මානු කම්කරු පන්තිය මුලුමනින්ම තලා දැමීමෙන් පසුව, ස්ටැලින්වාදී කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ පිලිවෙත් දැනුවත්ව ප්‍රතිවිප්ලවවාදී ස්වභාවයක් අත්පත් කර ගත්තේය. 1936 මොස්කව් නඩු විභාගයෙන් ආරම්භ වූ භීෂනයේදී සෝවියට් සංගමය තුල සමාජවාදීන් මුලිනුපුටා දැමීමත් සමගම දෙවන ලෝක සංග්‍රාමය පිපිරීමට මාවත එලිපෙහෙලි කරමින් ස්පාඤ්ඤ විප්ලවයේ ස්ටැලින්වාදී පාවාදීම සිදු විය.

වාම විපාර්ශ්වයේ අරගලය, ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන්, සමාජවාදී ජාත්‍යන්තරවාදය සහ ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපාය ආරක්ෂා කිරීමකි. 1930 දී රුසියානු කොමියුනිස්ට් පක්ෂයෙන් සහ කොමියුනිස්ට් ජාත්‍යන්තරයෙන් නෙරපා හරිනු ලැබ සෝවියට් සංගමයෙන් පිටුවහල් කිරීමෙන් ඉක්බිති, ට්‍රොට්ස්කි නොනවතින විප්ලව න්‍යායේ අත්‍යවශ්‍ය අභ්‍යුපගමන නැවත ප්‍රකාශ කලේය. ඔහු මෙසේ ලිවීය:

'ජාතික සීමාවන් තුල සමාජවාදී විප්ලවය සම්පූර්න කිරීම සිතාගත නොහැකි ය. ධනේශ්වර සමාජයේ අර්බුදයට මූලික හේතුවක් වන්නේ, එය විසින් නිර්මානය කරන ලද නිෂ්පාදන බලවේග තවදුරටත් ජාතික රාජ්‍ය රාමුව සමඟ සමාදානයෙන් පැවතිය නොහැකි වීමයි. මෙයින්, එක් අතකින් අධිරාජ්‍යවාදී යුද්ධ ද, අනෙක් පැත්තෙන් ධනේශ්වර යුරෝපීය එක්සත් ජනපදයක මනෝරාජ්‍යය ද අනුගමනය කරයි. ජාතික තලයේ ආරම්භ වන සමාජවාදී විප්ලවය, ජාත්‍යන්තර තලයේ දිග හැරෙන අතර ලෝක තලයේ සම්පූර්න වේ. මේ අනුව, සමාජවාදී විප්ලවය වචනයේ නව සහ පුලුල් අර්ථයකින් නොනවතින විප්ලවයක් බවට පත්වේ; එය සම්පූර්න වන්නේ අපගේ මුලු ග්‍රහලෝකය මත නව සමාජයේ අවසාන ජයග්‍රහනය තුල පමනි.'

ලෝක විප්ලවවාදී මූලෝපායේ මූලික කරුනු මත කේන්ද්‍රගත වූ රුසියානු කොමියුනිස්ට් පක්ෂය තුල අරගලයේ තර්කනය අනුව, වාම විපාර්ෂවයේ වැඩකටයුතු සෝවියට් සංගමයේ සීමා මායම් වලින් ඔබ්බට ගියේය. 1928 දී, ස්ටැලිනීකරනය වූ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ හයවන සම්මේලනය අතරතුර, ට්‍රොට්ස්කි විසින් මධ්‍යම ආසියාවේ අල්මා අටා හි තාවකාලික පිටුවහල් ස්ථානයක සිට ලියූ 'කෙටුම්පත් වැඩසටහන පිලිබඳ විවේචනය' අහම්බෙන් ඇමරිකානු විප්ලවවාදී ජේම්ස් පී. කැනන් සහ කැනේඩියානු විප්ලවවාදී මොරිස් ස්පෙක්ටර් අතට පත්විය. ඔවුන් එම ලේඛනය සෝවියට් සංගමයෙන් පිටතට හොර රහසේ ගෙන ගිය අතර ට්‍රොට්ස්කිගේ ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙල සඳහා ඔවුන් ආරම්භ කල සටන, ජාත්‍යන්තර වාම විපාර්ශ්වයේ ආරම්භය සනිටුහන් කලේය.

වාම විපාර්ෂවයේ සාමාජිකයන් 1928 පිටුවහලට යන ගමනේදී. වමේ සිට දකුනට අසුන්ගෙන: එල්. සෙරිබ්‍රියකොව්, කේ. රඩෙක්, ට්‍රොට්ස්කි, එම්. බොගුස්ලව්ස්කි, ඊ. ප්‍රියොබ්‍රැෂන්ස්කි; වමේ සිට දකුනට සිටගෙන: සී. රකොව්ස්කි, වයි. ඩ්‍රොබ්නිස්, ඒ. බෙලොබොරදොව්, සෙස්නොව්ස්කි

වසර පහකට පසුව, 1933 ජූලි මාසයේදී, ජර්මානු කම්කරු පන්තියේ ස්ටැලින්වාදී පාවාදීමට හා හිට්ලර්ගේ ජයග්‍රහනයට ප්‍රතිචාර වශයෙන්, ට්‍රොට්ස්කි හතරවන ජාත්‍යන්තරය පිහිටුවීම සඳහා කැඳවීම නිකුත් කලේය. 1938 සැප්තැම්බර් මාසයේදී එහි ආරම්භක සම්මේලනය පැවැත්විනි.

අපි දැන් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ශත සංවත්සරය සනිටුහන් කරමින් සිටිමු. මෙතරම් දීර්ඝ කාලපරිච්ඡේදයක් පුරා මෙම ව්‍යාපාරයේ අඛන්ඩ පැවැත්ම ඉමහත් වෛෂයික වැදගත්කමක් දරයි. එය පුද්ගලයන්ගේ පෞද්ගලික භක්තියේ ප්‍රතිඵලයක් ලෙස පැහැදිලි කල නොහැක. මෙම ව්‍යාපාරය ආරම්භ කල අය බොහෝ කලකට පෙර මියගොස් ඇත. මෙම ව්‍යාපාරය ජාත්‍යන්තර පරිමානයෙන්, සාමාන්‍යයෙන් ඉතාමත් දුෂ්කර තත්වයන් යටතේ ක්‍රියා කර ඇත. එයට පැවැත්මක් තිබුනේ නම්, එය කම්කරු ව්‍යාපාරය තුල සුලුතරයකි, ඉතා කුඩා සුලුතරයකි. එසේ නම් එය නොනැසී පැවතුනේ ඇයි?

1970 සරත් සෘතුවේ දී මා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට සම්බන්ධ වන විට, ඒ මහා ශිෂ්‍ය රැඩිකලීකරනයේ සහ ලොව පුරා මහජන ව්‍යාපාරවල කාලපරිච්ඡේදයේ දී, රැඩිකල් දේශපාලනය තුල තවමත් ස්ටැලින්වාදීන්, මාඕවාදීන් සහ කැස්ත්‍රෝවාදීන් ආධිපත්‍යය දැරීය. කොමියුනිස්ට් පක්ෂ මහජන ව්‍යාපාර විය. ඇලෙන්ඩේ වැනි අය කාලයේ වීරයෝ වූහ. නමුත් ඔවුන් ඉතිරි කර ඇති උරුමය කුමක්ද? ඔවුන් සියල්ලෝම දර්ශන පථයෙන් අතුගෑවී ගොස් ඇත. ට්‍රොට්ස්කි, ඔහුගේ කාලයේ ස්ටැලින්වාදී හා සංශෝධනවාදී ව්‍යාපාර ගැන කතා කරමින්, “මෙම කල් ඉකුත් වූ සංවිධානවල එක ගඩොලක් වත් ඉතිරි නොවනු ඇත” යනුවෙන් පැවසීය. මන්ද? මක්නිසාද යත්, ඔවුන්ගේ වැඩපිලිවෙල යුගයේ වෛෂයික සංලක්ෂනයන්ට අනුරූප නොවූ බැවිනි. ඒවා වෛෂයික අර්බුදයේ ඉල්ලීම්වලට පිලිතුරු දිය නොහැකි ව්‍යාජ ප්‍රතිපත්ති, බොහෝ දුරට ජාතිකවාදී ප්‍රතිපත්ති, ප්‍රතිසංස්කරනවාදී ප්‍රතිපත්ති පැටවීමේ උත්සාහයන් විය.

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ නොනැසී පැවතීම පැහැදිලි කල හැක්කේ, එහි විශ්ලේෂනය, තවමත් අතික්‍රමනය නොකලා වූ යුගයක, එම යුගයේ ස්වභාවයට අනුරූප වීමෙනි. ට්‍රොට්ස්කි පසුකර ගිය අධිරාජ්‍යවාදී අර්බුදයේ හා දිරාපත්වීමේ යුගය, පැවැත්මේ ඉතා දියුනු සහ අවසාන අදියරක් වුවද, අප ජීවත් වන්නේ ද එම ඓතිහාසික යුගයේම ය. රුසියානු විප්ලවය, ඊට පෙර පැවති ලෝක යුද්ධය, අධිරාජ්‍යවාදී යුගයේ මතුවීමේ ප්‍රතිඵලයකි. අපි ඉන් ඔබ්බට ගොස් නැත. අපගේ වර්තමාන යුගය සහ අපගේ වර්තමාන තත්වය, පලමු සහ දෙවන ලෝක සංග්‍රාම ඇති කිරීමේ හේතු වලට පවතින සමානකම් කැපී පෙනේ. අප භාවිතා කරන පාරිභාෂික වචන එම පාරිභාෂික වචන ම වන අතර එය වර්තමාන ගැටලු සඳහා ගත යුතු ප්‍රවේශය අවබෝධ කර ගැනීමේදී අතිශයින් වැදගත් වේ.

සමාජ නිෂ්පාදන ක්‍රියාවලියත්, නිෂ්පාදන බලවේගවල පුද්ගලික ධනේශ්වර හිමිකාරිත්වයත් අතර ප්‍රතිවිරෝධතාවයෙන් පැන නගින ආර්ථික අර්බුද, අතිශයින් ඒකාබද්ධ වූ ලෝක ආර්ථිකයක් සමග යල්පැන ගිය ජාතික රාජ්‍ය පද්ධතියේ නොගැලපීම මගින් ඇති කරන ලද භූ දේශපාලන ගැටුම්, දියුනු ජන සමාජය මුහුන දෙන සියලු ගැටලු පුද්ගලික ධන සමුච්චයට යටත් කිරීමේ විනාශකාරී ප්‍රතිවිපාක, ධනේශ්වර පන්තිය විසින් ශ්‍රම සූරාකෑම මගින් ජනනය වන සමාජ ආතතීන් උත්සන්න වීම සහ මහජනතාව කුසගින්නෙන් පෙලෙන විට පවා අඥාන ලෙස සිදුවන අති විශාල ධන සංකේන්ද්‍රනය—යන මෙම කොන්දේසි විසින් ලෝක සමාජවාදී විප්ලවය දේශපාලන න්‍යායපත්‍රය මත තබා ඇත.

ඇත්ත වශයෙන්ම, කම්කරු පන්ති අරගලයේ නැඟී එන රැල්ලක් අපි ලෝකය පුරා අත්දකිමින් සිටිමු. එය ලෝක ඉතිහාසයේ පෙර නොවූ විරූ පරිමානයේ විශාලත්වයක් අත්කර ගනු ඇත. සමාජ විඥානය කෙතරම් සීඝ්‍රයෙන් වෙනස් වන්නේද, මිනිසුන් නොසිතූ සිදුවීම් මගින් කෙතරම් වේගයෙන් රැඩිකලීකරනයට ලක්වන්නේද යන්න, පුරෝකථනය කල නොහැකි වූ පසුගිය සති කිහිපයේ සිදුවීම් මගින් පෙන්නුම් කර ඇත.

විශේෂයෙන් 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව, පසුගිය වසර 40 තුල මූලිකාංග වූයේ, අවට දිග හැරෙන මහා සිදුවීම් නොසලකා හරිමින් යම් උදාසීනත්වයක්, වෙහෙසකර බවක්, බලාපොරොත්තු සුන්වීමේ හැඟීමක්, පුද්ගලිකත්වය තුලට පල්ලම් බැසීමක්, තමන්ගේ වැඩක් බලාගෙන සිටීමක්, පුද්ගලික අනන්‍යතාවය සහ ජීවන රටාව පිලිබඳ ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කිරීම, ව්‍යායාම් ශාලාවල අධික කාලයක් ගත කිරීම, තමාගේ රූපය වැඩි දියුනු කිරීම, තම බර බැලීම, කෙනෙකුගේ නොවැදගත් පුද්ගලික ක්‍රියාකාරකම්වල සෑම අංශයක්ම නිරීක්ෂනය කිරීම ආදිය යි. හිටි හැටියේම, ලෝකය පුරා පැවැත්වෙන මහජන පෙලපාලිවලින් අපට දැකගත හැකි පරිදි, වෙනසක් ආරම්භ වී තිබේ.

ට්‍රොට්ස්කි වරක් ලියූ ආකාරයට, ප්‍රතිගාමීත්වයේ කාල පරිච්ඡේදවලදී, අඥානකම සිය දත් විලිස්සයි. නමුත් පසුව ජීවිතය වෙනස් වේ, සිදුවීම් කඩා බිඳගෙන පැමිනේ, දිගු කාලයක් පුරා සහ බොහෝ අත්දැකීම් වලින් පසුව ලෝකය වෙනස් වූ බව හඳුනා ගැනීම මතුවී එයි. මාධ්‍ය සහ එහි ප්‍රචාර කිසිවකු විශ්වාස කරන්නේ නැත. සියලු දේශපාලන පක්ෂවල බංකොලොත් බව පැහැදිලිය. ජනාධිපතිවරයා තුප්පහි, වයෝවෘද්ධ නූගතෙකුට සමාන ය. රිපබ්ලිකන් පක්ෂය, මැර කල්ලියකි. මෙම කිසිදු බලවේගයකට කීමට කිසිවක් නොමැති අතර, සුලු-ධනේශ්වර රැඩිකලුන්, පශ්චාත් නූතනවාදයේ වාචාලයන්, පුද්ගලික අනන්‍යතාවයට සම්බන්ධ එක් හෝ තවත් ප්‍රශ්නයක නියැලී සිටින්නන්, කෙලවරක් නැති කෝන්තර නිසා මැසිවිලිවලි නගන්නන්, ඒ හෝ මේ පුද්ගලික ගොන්කමක් ගැන හෙලාදකින්නන්, සිදුවීම්වල ආලෝකය හමුවේ සොච්චම් බවට පත්වේ.

අද ලෝකය අවධානයෙන් සිටින්නේ ගෝලීය යුද්ධයේ අනතුර, අහිංසක මිනිසුන්ට එරෙහි ජන සංහාරය, දරිද්‍රතාවය, පරිසරය විනාශය, මිලියන ගනනක් මරා දමන සහ කිසිදු ආන්ඩුවකට පිලිතුරක් නොමැති දැවැන්ත වසංගතය ගැන ය, රෝගාතුර වෙනවාට වඩා මුහුනු ආවරන පැලඳීමට මිනිසුන්ගෙන් ඉල්ලා සිටීම තරම් සරල දෙයක් පවා සිදු නොවන්නේ එසේ කිරීම කුමනාකාරයකින් හෝ පුද්ගලික ධනය හා ලාභය රැස් කිරීමට බාධාවක් වන බැවිනි. එහෙත් සැබවින්ම උනන්දු කරවනසුලු, වෙනස් වෙමින් පවතින ලෝක තත්වය වන්නේ, සියලු සමාජ බලවේගවල මූලිකම සහ බලවත්ම ජාත්‍යන්තර බලවේගය ලෙස කම්කරු පන්තිය හදිසි පුනර්ජීවනය යි.

ඔබේ බොහෝ තරුන ජීවිතවල, ඔබ වැඩ වර්ජන ගැන, කම්කරු පන්තියේ ක්‍රියාකාරකම් ගැන එතරම් අසා නැත. ඇත්ත වශයෙන්ම, පශ්චාත්-නූතනවාදී න්‍යායේ මූලික සංකල්පයක් වූයේ, පන්ති අරගලය සහ සමාජවාදය කේන්ද්‍ර කරගත් පැරනි ඓතිහාසික ආඛ්‍යාන තවදුරටත් අදාල නොවන බවයි. එහෙත් අද කම්කරු පන්තියේ පුලුල් කොටස් වැලඳ ගනිමින් සෑම තැනකම වැඩ වර්ජන පවතින අතර පන්ති අරගලය සමාජ සංවර්ධනයේ ගාමක බලය බව නිසැකව ම පැහැදිලි වෙමින් තිබේ. කම්කරුවන් මුහුන දෙන ගැටලු පහසුවෙන් විසඳිය හැකි බව මින් අදහස් නොකෙරේ. ඔවුන් අරගලවලට අවතීර්න වන්නේ කුනු වූ නායකත්වයක් ඇතිව, ඔවුන් පාවා දෙන සංවිධාන සමඟින් සහ තමන්ගේ රටේ පමනක් නොව, ජාත්‍යන්තර පරිමානයෙන් පවා පන්ති අරගලයේ ඉතිහාසය ගැන ඉතා අල්ප අවබෝධයක් ඇතිව ය.

රැස්වීමෙන් පසු සාහිත්‍ය මේසය අසල රොක්වුනු ශ්‍රාවකයෝ

හතරවන ජාත්‍යන්තරයේ දැවැන්ත වැදගත්කම පවතින්නේ මෙහි ය. අපගේ පක්ෂය යනු, සමස්ත යුගයක් පුරා, පන්තියේ මුලු ඓතිහාසික අත්දැකීමේ සංකේන්ද්‍රිත ප්‍රකාශනයයි. වසර 25 ක් පුරා සෑම දිනකම නොවරදවාම ප්‍රකාශයට පත් කරන ලද ලෝක සමාජවාදී වෙබ් අඩවිය, සිදුවීම් ඇගයීමේදී මෙතරම් අසාමාන්‍ය නිරවද්‍යතාවයක් සහ පූර්ව දැනුමක් ප්‍රදර්ශනය කලේ කෙසේදැයි අපගෙන් නිතර අසනු ලැබේ. අතිවිශාල ඓතිහාසික අත්දැකීම් සමග වැඩ කිරීමට හැකිවීම, අතීතයේ අත්දැකීම් සමඟ වර්තමානය සම්බන්ධ කිරීම, වර්තමානය යනු පෙර සිදු වූ දෙයෙහි හුදු පුනර්කරනයක් ලෙස නොදැකීම, අපට දේශපාලන වර්ධනයේ මූලික හා සාරභුත ගාමක බලවේග කෙරෙහි අවධානය යොමු කිරීමට ඉඩ සලසන දිශානතියක් තිබීම යනාදිය අපට වාසියකි.

මා කියූ පරිදි අප දැන් දකින්නේ මහා දේශපාලන රැඩිකලීකරනයකි. අපගේ කර්තව්‍යය වන්නේ, මෙම ව්‍යාපාරයට එහි අත්‍යවශ්‍ය කර්තව්‍යයන් පිලිබඳ අවබෝධයක් වර්ධනය කර ගැනීමට හැකි වන ඉදිරිදර්ශනයක් සහ ක්‍රියාමාර්ගයක් ගෙන ඒමයි. කම්කරු පන්තිය සහ අරගලයේ මාවතට පිවිසෙන තරුනයින් පසුගිය ශතවර්ෂයේ අත්දැකීම් උකහා ගත යුතුය, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය අධ්‍යයනය කල යුතුය—ඔබ අරගලයේදී එය කල යුතුම ය. එබැවින්, දැන් සිදුවෙමින් පවතින දෙයින් නිගමනවලට එලඹෙන ලෙස මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි, සමාජවාදය සඳහා වන සටනට ක්‍රියාකාරී වන්න. ඒ් සඳහා සූදානම් වීමට ඔබත් සමාජවාදී සමානතා පක්ෂයට බැඳෙන්න.

Loading