ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති දින 75 ක වැඩ වර්ජනය පාවා දෙයි

[මෙය Sri Lankan university non-academic trade unions betray 75-day strike යන මැයෙන් 2024 ජූලි 20 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

වැඩ වර්ජනය කරන අනධ්‍යන සේවකයින් 2024 ජූනි 18 වැනි දින කොලඹ දී උද්ඝෝෂනය කරමින්

ජූලි 15 වන සඳුදා, විශ්ව විද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති සන්ධානය (යූඑන්ඒටීයූඒ) ආන්ඩුවේ නොපැහැදිලි පොරොන්දු මාලාවක් පිලිගනිමින්, එහි සාමාජිකයින්ගේ දින 75 ක වැටුප් වැඩ වර්ජනය ඔවුන්ගේ ඉල්ලීම් කිසිවක් දිනා නොගෙන අවසන් කලේය. දීර්ඝකාලීන වැටුප් විෂමතා නිවැරදි කිරීම හරහා සියයට 15 ක වැටුප් වැඩිවීමක් සහ මාසික හිලවු දීමනාව (එම්සීඒ) සියයට 25 කින් වැඩි කිරීමක් ඉල්ලා දිවයින පුරා රාජ්‍ය විශ්ව විද්‍යාල 17 ම අනධ්‍යන සේවකයෝ 13,000 ක් පමන මැයි 2 දා සිය සටන ආරම්භ කලහ.

සමිති නිලධරයේ තීරනය, පොලිස් මර්දනය සහ වික්‍රමසිංහ ආන්ඩුව ඔවුන්ගේ ඉල්ලීම් මුලුමනින්ම ප්‍රතික්ෂේප කිරීම සහ 'ශිෂ්‍යයන්ගේ අනාගතය කඩාකප්පල් කරන' බවට කම්කරුවන්ට චෝදනා කරන දුෂ්ට මාධ්‍ය ව්‍යාපාරය නොතකා අධිෂ්ඨානශීලී වැඩ වර්ජනයක් දියත් කල එහි සාමාජිකයින් අමු අමුවේ පාවාදීමකි.

එහි පාවාදීම සාධාරනීකරනය කිරීමට උත්සාහ කරමින් සමිති එකමුතුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මාධ්‍ය වෙත පැවසුවේ, වැඩවර්ජනය “තාවකාලික” නවතා දැමූ බවයි. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග සමඟ එකඟතාවකට පැමිනීමට වෘත්තීය සමිති නායකත්වයට හැකි වූ බව ඔහු කියා සිටියේය.

ජනාධිපති වික්‍රමසිංහ විසින් කලින් යෝජනා කරන ලද 'විශේෂඥ කමිටුවක්' හරහා ලබන වසරේ ජනවාරි මාසය වන විට වැටුප් විෂමතා 'නිවැරදි කිරීමට' මෙම නිලධාරීන් පොරොන්දු වූ බවත්, එම්සීඒ වැඩිවීමක් සඳහා වැඩ 'ඉක්මනින්' ආරම්භ කරන බවත් ප්‍රියන්ත පැවසීය.

2016 දී අනධ්‍යයන වෘත්තීය සමිති සිය ඉල්ලීම් ප්‍රථමයෙන් මතු කල දා සිට, ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති ආන්ඩු ද එවැනිම නිස්සාර පොරොන්දු දී තිබේ. මේ සෑම අවස්ථාවකදීම, වෘත්තීය සමිති නිලධරය මෙම පොරොන්දු 'ජයග්‍රහනයක්' ලෙස ඉදිරිපත් කරමින් සියලු ක්‍රියාමාර්ග නවතා දමා ඇත.

වික්‍රමසිංහ මුල සිටම භාන්ඩාගාරයට ප්‍රමානවත් ආදායමක් නොමැති බවත්, රාජ්‍ය අංශයේ වැටුප් වැඩිකිරීම් සඳහා තම ආන්ඩුව මෙවර අයවැයෙන් මුදල් වෙන් නොකරන බවත් අවධාරනය කලේය. 'වැටුප් වැඩිවීමක් ලබා දීම සඳහා වැට් බදු [අගය එකතු කල බද්ද] සියයට 3 සිට 4 දක්වා වැඩි කිරීමට ඔබට අවශ්‍යද?' ඔහු කීවේය.

රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම් සඳහා වන වැඩෙන ඉල්ලීම්වලට මුහුන දුන් වික්‍රමසිංහ, ඔවුන්ගේ ඉල්ලීම් පරීක්ෂා කිරීමට උදය නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් යුත් “විශේෂඥ කමිටුවක්” පත් කරන බව පැවසීය. කමිටු යෝජනාව—මෙය ආන්ඩුවවේ අශික්ෂිත දේශපාලන උපාමාරුවකි—කාර්මික ක්‍රියාමාර්ග සඳහා කම්කරුවන්ගේ ඉල්ලීම් පීලි පැන්නවීම සඳහා වෘත්තීය සමිති නායකත්වයට නිදහසට කරුනක් සපයා ඇත.

දින 75 ක වැඩවර්ජනය අතරතුර අනධ්‍යන කාර්ය මන්ඩලයේ වැටුප් කප්පාදු නොකරන බවට සහ නය වාරික ගෙවීම් අඩු නොකරන බවට යූජීසී සභාපතිවරයා පොරොන්දු වීම වර්නනා කරමින්, ප්‍රියන්ත වෘත්තීය සමිතියේ වර්ජන-පාවාදීම ජයග්‍රහනයක් ලෙස ඉදිරිපත් කලේය. තවත් පිරිසක් වර්ජනය කිරීමකට නොපෙලඹෙන පරිදි කාර්මික ක්‍රියාමාර්ගය නතර කිරීමට මංමුලා සහගතව සිටි ආන්ඩුව මෙම පොරොන්දුව ඉටු කරයිද යන්න තවමත් කිව නොහැක.

සමිති නිලධරය කාර්මික ක්‍රියාමාර්ග සියල්ල අවසන් කිරීමට පෙර සාමාජිකයින්ගේ අදහස් නොවිමසූ අතර නායකයින්ගේ තීරනය ප්‍රකාශයට පත් කිරීම සඳහා හදිසියේම විශ්ව විද්‍යාලවල රැස්වීම් කැඳවීය. මෙම රැස්වීම්වලදී සාමාජිකයින්ට කිසිදු සාකච්ඡාවකට ඉඩ නොතබමින් සහ ඡන්ද විමසීමකින් තොරව හුදෙක් සිදුවූ දෙය පමනක් ඉදිරිපත් කලේය.

සඳුදා (15) මොරටුව විශ්ව විද්‍යාලයේ යූඑන්ඒටීයූඒ ට අනුබද්ධ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකමුතුව විසින් කැඳවන ලද කම්කරුවන් 400 කගේ පමන රැස්වීමකදී ද, මෙම සාමාජික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීම නැවත වරක් සිදුවිය.

රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීම් වැඩ වර්ජන අනධ්‍යන සේවකයින්ට වල කපා ඇති බව මොරටුව විශ්ව විද්‍යාලයේ වෘත්තීය සමිති එකමුතුවේ සභාපති ගයාන් පීරිස් පැවසීය. විශ්ව විද්‍යාල කම්කරුවන් අනෙකුත් අංශවල සිටින ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන්ට එරෙහිව ඉදිරිපත් කිරීමේ ගොරහැඩි ප්‍රයත්නයේ දී පීරිස් ප්‍රකාශ කලේ, “ආන්ඩුව සිතන්නේ එක කොටසකට ඉල්ලීම් දුන්නොත්, අනෙක් කොටස්වලටත් ඒ දේම දෙන්න වෙයි කියලා... මේකෙන් අපට වෙන්නෙ අවාසියක්” ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ මැතිවරන කොමිසම සැප්තැම්බර් හෝ නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත ඉදිරි ජනාධිපතිවරන දිනය ප්‍රකාශ කලහොත් කම්කරුවන්ට කිසිදු කාර්මික ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බව ද පීරිස් ව්‍යාජ ලෙස ප්‍රකාශ කලේය. එබැවින්, ඔහු පැවසුවේ, අනධ්‍යයන සේවකයින්ගේ වැඩ වර්ජනය අවසන් කිරීම 'උපායශීලී තීරනයක්' බව ය.

පාවාදීම යුක්ති සහගත කිරීමට උත්සාහ කරමින්, ජනතා විමුක්ති පෙරමුනෙන් (ජවිපෙ) පාලනය වන අන්තර් විශ්වවිද්‍යාල කම්කරු සංගමයේ මොරටුව විශ්වවිද්‍යාල ශාඛාවේ අශෝක චන්දන මෙසේ ප්‍රකාශ කලේය: “අපි එක්ව ක්‍රියාමාර්ගය ආරම්භ කර එය එකට අවසන් කිරීම ජයග්‍රහනයක්... අපි සටන් කලේ නිකම්ම මුදල් සඳහාම නෙවෙයි.'

මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂනික සේවකයෙකු සහ ප්‍රමුඛ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයෙකු වන දේහින් වසන්ත, වෘත්තීය සමිති නිලධරයට සහ එහි බංකොලොත් වැඩපිලිවෙලට අභියෝග කරමින් රැස්වීම ඇමතීය. වෘත්තීය සමිති නායකත්වය ඔහු කතා කිරීම නැවැත්වීමට උත්සාහ කල මුත් එය ව්‍යර්ථ වීමත් සමඟ ඔවුන් ඔහුගේ කතාව නොඇසෙන ලෙස කෑ ගසන්නටත්, ශබ්ද කිරීමටත් පටන් ගත්හ.

දේහින් වසන්ත 2024 පෙබරවාරි 1 වන දින කොලඹ මහජන රැස්වීමක දී වින්දිත ලංකා විදුලිබල මන්ඩල සේවකයින්ට සහය දැක්වීමේ යෝජනාවක් ඉදිරිපත් කරමින්.

වසන්ත, වැඩ වර්ජනය කල තම සගයන් ගෙන ගිය අධිෂ්ඨානශීලී අරගලයට ප්‍රශංසා කලේ ය: “සසප සහ මම අරගලයේ ආරම්භයේ සිටම අවධාරනය කලේ, ආන්ඩුවට බලපෑම් දැමීමෙන් අනධ්‍යන සේවකයින්ට ඉල්ලීම් දිනා ගැනීමට නොහැකි බව යි. ඒ බව දැන් පැහැදිලිව ඔප්පු වී හමාරයි.

“මෙම අරගලයේදී අප ඉදිරියේ ඇති තීරනාත්මක දේශපාලන ප්‍රශ්න පිලිබඳව ඔබ දැඩි අවධානය යොමු කල යුතුයි. වෘත්තීය සමිති නායකයෝ අකමැත්තෙන් තමයි මේ වර්ජනය කැඳෙව්වේ. අධ්‍යාපන ඇමැතිවරයාට යවපු ලිපියේ ‘සාමාජිකයන්ගේ බලපෑම් නිසා අපට වර්ජනය කැඳවීමට සිදු වුන’ බව ඔවුන් පිලිගත්තා.

“අපගේ වැටුප් ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම සහ කම්කරු පන්තියට එරෙහි අනෙකුත් ප්‍රහාර, වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාවට නංවන ජාමූඅ [ජාත්‍යන්තර මුල්‍ය අරමුදල] වැඩසටහනේ කොටසක්. ආන්ඩුවට සහ එහි කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව ඒකාබද්ධ අරගලයක් තුල කම්කරුවන් බලමුලු ගැන්විය යුතුය.

“මේ අරගලය වෘත්තීය සමිති යටතේ කරන්න බැහැ. එවැනි අරගලයක් සංවිධානය කිරීම සඳහා වෘත්තීය සමිති නායකත්වයෙන් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය යි. සසප සහ ලෝසවෙඅ ඉදිරිපත් කරන වැඩපිලිවෙල අධ්‍යයනය කරන්න,” වසන්ත පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග අනුගමනය කරමින්, විදේශ නය ගෙවීමට සහ ආයෝජන සහ ලාභ පද්ධතිය ඉහල නැංවීමට කම්කරුවන් හා දුප්පතුන් මිරිකා ගැනීමෙන් කොලඹ ආන්ඩුවේ ආදායම ඉහල ගොස් තිබේ.

මෙම සමාජ ප්‍රහාරවලට එරෙහිව සටන් කරනවා වෙනුවට, යූඑන්ඒටීයූඒ ඇතුලු වෘත්තීය සමිති නිලධරයේ සියලුම කොටස්, හිතාමතාම කම්කරුවන් බෙදා, එක් අංශයක් තවත් අංශයකට එරෙහිව තබා, වෙනම, විසිරුනු ක්‍රියාමාර්ග කැඳවමින්, ආන්ඩුවේ ගමන් මග වෙනස් කිරීමට බලපෑම් කල හැකි බවට ව්‍යාජ ප්‍රකාශ කරයි.

කම්කරුවන්ට වැඩවර්ජන කිරීමට හෝ මැතිවරනවලදී ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට නොහැකි බවට වෘත්තීය සමිති නිලධරය කරන ලද ප්‍රකාශයන්, පැහැදිලිව ම මුසාවන් ය. පාර්ලිමේන්තු විපක්ෂයේ සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ ඔවුන්ගේ අදාල වෘත්තීය සමිති, මෙම මිථ්‍යාප්‍රවාදය ප්‍රවර්ධනය කරයි. මෙම ධනේශ්වර ගැති පක්ෂ සහ වෘත්තීය සමිතිවලට ජාමූඅ සමග මූලික වෙනස්කම් නොමැති අතර, තේරී පත් වුවහොත් වික්‍රමසිංහ සහ ඔහුගේ ආන්ඩුව මෙන් ම නිර්දය ලෙස කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දමනු ඇත.

සසප, ඔවුන්ගේ අරගලය ඉදිරියට ගෙන යාම සඳහා සංවිධානාත්මක විකල්ප වැඩපිලිවෙලක් යෝජනා කරමින් අනධ්‍යන සේවක වර්ජනයට මැදිහත් විය. එය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඉංග්‍රීසි, සිංහල සහ දෙමල බසින් ලිපි රාශියක් පල කල අතර, එහි ඉදිරිදර්ශනය පිලිබඳ සාකච්ඡාවක් වර්ධනය කිරීමට ජූනි 14 දා ප්‍රසිද්ධ අන්තර්ජාල රැස්වීමක් පැවැත්වීය.

සසප සාමාජික දෙහින් වසන්ත මොරටුව විශ්ව විද්‍යාල රැස්වීමේදී පැහැදිලි කල පරිදි, විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මන්ඩලය ඔවුන්ගේ දින 75 අරගලයේ දේශපාලන පාඩම් සමාලෝචනය කල යුතුය. සියල්ලටම වඩා, කම්කරුවන්ට ඔවුන්ගේ අරගලය ධනේශ්වර ගැති වෘත්තීය සමිති නිලධරයන් අතේ පවතී නම් ඉදිරියට යා නොහැක.

ඔවුන්ගේ ඉල්ලීම් සහ ජයග්‍රහනය කිරීමට අවශ්‍ය කාර්මික හා දේශපාලන ක්‍රියාමාර්ග පිලිබඳ ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවක්, පවතින වෘත්තීය සමිති ව්‍යුහය තුල කල නොහැක්කකි. පවතින වෘත්තීය සමිති නායකත්වය සහ ඔවුන්ගේ වැඩපිලිවල පිලිබඳව සාකච්ඡා කිරීමට හෝ විවේචනය කිරීමට උත්සාහ කරන කම්කරුවන්, ශාරීරික ප්‍රචන්ඩත්වයේ තර්ජන ද සමග අවහිර කර නිහඬ කරනු ලැබේ.

වෘත්තීය සමිති යාන්ත්‍රනවලින් ස්වාධීනව, ප්‍රජාතන්ත්‍රවාදීව පාලය වන ක්‍රියාකාරී කමිටු පිහිටුවීමෙන් කාරනා තමන්ගේ අතට ගන්නා ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

එවැනි කමිටුවලට, ආන්ඩුවට සහ එහි උත්සන්න වන සමාජ ප්‍රහාරවලට එරෙහිව පොදු අරගලයක් සඳහා මාර්ග සහ විධික්‍රම වර්ධනය කිරීමට වෙනත් වැඩපලවල, වතුකරයේ සහ කම්කරු පන්තියේ අසල්වැසි ප්‍රදේශවල කමිටු සමග සම්බන්ධීකරනය විය හැකිය. ඔවුන්, දැන් රැකියාවලට හා වැටුප් කප්පාදුවලට හා මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනයට එරෙහිව අරගලවලට එලඹෙමින් සිටින ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් වෙත ද ලඟා වනු ඇත.

වික්‍රමසිංහ තන්ත්‍රයට සහ එහි ජාමූඅ පියවරයන්ට එරෙහිව සහ සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා දේශපාලන අරගලයකින් තොරව මෙම ඉල්ලීම් කිසිවක් දිනාගත නොහැක.

ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට සහ අරගලය ඉදිරියට ගෙන යාමට, ඔබට සහ අනෙකුත් කම්කරුවන්ට සහාය වීමට සසප සම්බන්ධ කර ගන්නා ලෙස අපි අනධ්‍යයන විශ්ව විද්‍යාල කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

Loading