කොග්ගල ගාමන්ට්ස් වසා දැමීමෙන් කම්කරුවන් 300 කට රැකියා අහිමිවෙයි

කොග්ගල ආයෝජන කලාපයේ කම්කරුවෝ

කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ (නිවෙක) පවත්වාගෙන ගිය කොග්ගල ගාමන්ට්ස් ඇඟලුම් කම්හල ජූනි 13 වසා දැමීම නිසා කම්කකරුවන් 300ට රැකියා අහිමි වී ඇත. කම්හල් වසා දැමීමට හේතුව ඇනවුම් නොලැබීම බව කම්හල් හිමියන් පවසා තිබේ. කොග්ගල ගාමන්ට්ස් පිරිමි, කාන්තා හා ලමා ඇඳුම් නිෂ්පාදනය කර අපනයනය කල ඇඟලුම් සමාගමකි.

1983 දී ගාල්ල නුගදුවේ ආරම්භ කෙරුනු කොන්ටිනන්ටල් ඇපරල් නම් වූ කම්හල, 2005 දී කොග්ගල ගාමන්ට්ස් නමින් කොග්ගල නිවෙක තුල යලි ස්ථාපනය කරනු ලැබීය. 2019 වන විට එහි සේවක සංඛ්‍යාව 1200 ක් වූ බව සේවකයෝ කියති. කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇඟලුම් කර්මාන්තය තුල වැඩුනු අර්බුදයේ බර කම්කරුවන් මත පැටවීම සඳහා ගෙනගිය රැකියා කප්පාදුවේ කොටසක් ලෙස පසුගිය දෙවසර තුල කොග්ගල ගාමන්ට්ස් හි කම්කරුවන් 900 කගේ රැකියා අහෝසිකර ඇත. .

කම්කරුවන් අතරින් උද්ඝෝෂනයක් මතු වීමට ඉඩ නොතබා කම්හල් වසා දැමීම සිදුකර ඇත්තේ ක්ෂනිකවයි. ජූනි 13 වෙනිදා දහවල් සේවකයන් රැස්කල කම්හල් පාලකයන් ඔවුන්ගේ නව දුර කථන අංකවල ලැයිස්තුවක් ලබා ගෙන ඔවුන් රැකියාවෙන් දොට්ට දමා ඇත. රැකියාව අහිමි වූ කම්කරුවන්ට ජූනි19 දා මාස තුනක මුලික වැටුප පමනක් වන්දි වශයෙන් ගෙවා තිබේ. මාසික මුලික වැටුප රුපියල් 29,500 ක් වූ බව කම්කරුවෝ පැවසුහ. ඊට අමතරව පාරිතෝෂික දීමනාව ගෙවා තිබේ.

පාලකයන් ගේ මෙම දුෂ්ට පිලිවෙත ගැන රැකියාව අහිමි වූ කම්කරුවෙක් මෙසේ විස්තර කලේ ය:

“මම කොග්ගල ගාමන්ට් එකේ අවුරුදු 12ක් වැඩකලා. පසුගිය 13 වැනිදා පස්වරු 01:45 ට පමන සේවකයන් කැඳවලා අපේ අලුත් දුරකථන අඩංගු ලේඛනයක් සකස් කරන්න කියලා කිව්වා. ඒකෙන් කම්කරුවන් අතර නොසන්සුන්තාවයක් ඇතිවුනා. දිල්ෂාන් සර් (කලමනාකරු) කිව්වා ෆැක්ටරියට ඕඩර් නැහැ. පසුගිය කාලෙම මූලික පඩිය විතරයි දුන්නේ, තවදුරටත් ඒක කරන්න බැහැ කියලා”

කොග්ගල ගාමන්ට්ස්, එම නිවෙක තුල මෑතදීම වසා දැමුනු කම්කහලයි. පසුගිය වසරේ මාර්තු මාසයේ එස්කුවෙල් සමාගම (කලින් පොලිටෙක්ස්) විසින් පවත්වාගෙන ගිය කම්හල් දෙකක් ද, පිලිවෙලින් ජූනි, සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස වලදී අවුරා, ෆැෂන් සහ ට්‍රෙන්ඩ් සෙටර්ස් කම්හල් ද වසා දැමුනි. ඊට අමතරව, එම වසර තුලම, එස්කුවෙල් සමාගමේ ජාඇල සහ කෑගල්ල කම්හල් ද, ට්‍රෙන්ඩ් සෙටර්ස් හි බෙලිඅත්තේ පිහිටි කම්හල් දෙකක් ද වසා දැමුනි. එමගින් රැකියා අහිමි වූ කම්කරුවන් සංඛ්‍යාව 5,000 කට අධිකය.

මෙම කම්හල් වසා දැමීමට අමතරව, මාස්හෝල්ඩින්ග්ස් සහ බ්‍රැන්ඩික්ස් වැනි දැවැන්ත සමාගම් ඇතුලුව ඇඟලුම් කම්හල් තුල සතියේ වැඩ දින ගනන, වැටුප් හා දීමනා කප්පාදුව සහ වැඩ වේගවත් කිරීම් ක්‍රියාවට දමා ඇත. කොග්ගල බ්‍රැන්ඩික්ස්, යුනිචෙලා, ඒප්‍රන්, එයිට්කන් ස්පෙන්ස් හි සතියේ වැඩ දින ගනන සීමා කර තිබෙන බව කම්කරුවෝ කියති.

ප්‍රමානවත් ඇනවුම් නොලැබීම නිසා ඇඟලුම් සමාගම් සතු සමහර කම්හල් වසා දමා ඒවාට අයත් වෙනත් කම්හල් වලට අනුයුක්ත කිරීම් සිදු කෙරෙන අතර එය ප්‍රතික්ෂේප කිරීම හේතුකොට ගෙන මෙම වසරේ මාර්තු මාසය වන විට කම්කරුවන් 50,000 කගේ රැකියා අහිමි වී ඇත. දිවයින පුරා ඇඟලුම් කම්හල් 300 ක පමන සේවයේ නියුක්ත 350,000 කම්කරුවන්ට සහ ඔවුන්ගෙන් යැපෙන 700,000 කට මෙම ව්‍යසනය බලපායි.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් ප්‍රධාන වශයෙන් අපනයනය කෙරෙන්නේ එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ මහා බ්‍රිතාන්‍ය ට යි. ඒවා මිල දී ගනු ලබන්නේ මාර්ක්ස් ඇන්ඩ් ස්පෙන්සේර්, වික්ටෝරියා සීක්‍රට්ස්, ජීඒපි, ටොමී හිල්ෆිගර්, එච් ඇන්ඩ් එම් සහ ශාරා වැනි දැවන්ත සමාගම් විසිනි.

වසංගතය හා රුසියාවට එරෙහි යුද්ධය හේතුවෙන් ලෝක ධනේශ්වර අර්බුදය වඩ වඩා ගැඹුරුවීම සහ ඉහල යන ගෝලීය උද්ධමනය තුල ඇඟලුම් සඳහා ලෝක වෙලඳ පොලේ ඉල්ලුම පහත වැටී ඇත. ඒ අනුව 2022 සැප්තැම්බර් මාසයේ සිට වාර්ෂික පදනම මත ඇඟලුම් අපනයන ඉපයීම් පහත වැටීමේ ප්‍රවනතාවයක් වර්ධනය වී ඇත. මෙම වසරේ මුල් මාස පහ තුල එක්සත් ජනපදය සඳහා වූ ඇඟලුම් අපනයන වටිනාකම කලින් වසරේ එම කාලය හා සැසදීමේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 746.45 ක් දක්වා සියයට 22.77 න් පහත වැටී ඇත. යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍යය සම්බන්ධයෙන් එකී අපනයන ආදායම් පහත වැටීම, පිලිවෙලින් සියයට 14.35 සහ සියයට 15.12 කි.

රැකියා අහෝසිය, වැටුප් කප්පාදුව සහ රුදුරු වැඩ කොන්දේසි ක්‍රියාව දැමීම තුලින් ඇඟලුම් කර්මාන්ත හිමියන් මෙම අර්බුදයේ බර කම්කරුවන් මත පටවති. රනිල් වික්‍රමසිංහ ආන්ඩුව, යෝජිත කම්කරු නීති සංශෝධනය තුලින්, හාම්පුතුන්ට අභිමත පරිදි කම්කරුවන් දොට්ට දැමීමට, වැටුප් කප්පාදු කිරීමට සහ රුදුරු සේවා කොන්දේසි ක්‍රියාවට දැමීමට කොන්දේසි සකසමින් සිටී. අනෙක් අතින් දේශීය නය ප්‍රතිව්‍යුහකරනය තුල දී අර්ථසාධක අරමුදලෙන් කම්කරුවන්ට රුපියල් බිලියන ගනනක් අහිමි කෙරෙයි.

නිවෙක කම්කරුවන් නියෝජනය කරන බව පවසන නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය (නිවෙකපොසෙස) අන්තර් සමාගම් සේවක සංගමය හා ලංකා වානිජ හා පොදු සේවා සේවක සංගමය ඇතුලු සියලු වෘත්තීය සමිති මෙම ප්‍රහාරයන් ට එරෙහිව කිසිදු අරගලයක් සංවිධානය කිරීම ප්‍රතික්ෂේපකර ඇත. ඒ වෙනුවට ඔවුහු ධනපති ආන්ඩුව සහ හාම්පුතුන් සමග සහයෝගී වෙමින් කම්කරුවන්ගේ අරගල කඩා කප්පල් කිරීමට සහ එම ප්‍රහාරයන් කම්කරුවන් මත පැටවීමේ ද්‍රෝහී භුමිකාවක නිරතව සිටිති.

එස්කුවෙල් සමාගමේ ඇඟලුම් කම්හල් වසා දැමීමේදී සොච්චම් වන්දියකට යටත් කොට රැකියා අහෝසි කිරීමේ හාම්පුතුන්ගේ සැලසුම් කම්කරුවන් මත පැටවීමට නිවෙකපොසෙස නායක ඇන්ටන් මාකස් ඍජු ව ම සහයෝගය දුන්නේ ය.

රැකියා ඇතුලු තම අයිතීන් රැක ගැනීම සඳහා කම්කරුවන් වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීනව සංවිධානය වීම අවශ්‍ය ය. එමගින්, අයිතීන් සඳහා සටන් කිරීමේ තීන්දු තීරන ගැනීම කම්කරුවන් සියතට ගත යුතු ය. සමාජවාදී සමානතා පක්ෂයේ මඟ පෙන්වීම යටතේ කොග්ගල නිවෙක කම්කරුවන් එවන් ක්‍රියාකාරී කමිටුවක් දැනටමත් ගොඩනගා ඇත. එයට සම්බන්ධ වෙමින් එය පුලුල් කිරීමටත්, සෙසු නිවෙක තුල එවන් කමිටු ගොඩනැගීමට පියවර ගන්නා ලෙසත් රැකියා අහිමි වූ සහ සේවයේ නිරත කොග්ගල හා සියලු නිවෙක කම්කරුවන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

නිෂ්පාදනය හා බෙදා හැරීම ධනපතියන් අතලොස්සක් අත පවතින්නාවූ ද, ඔවුනගේ ලාභ අවශ්‍යතා සඳහා සියලු තීන්දු තීරන ගැනෙන්නාවූ ද ලෝක ධනපති ක්‍රමය ගැඹුරුම අර්බුදයකට මුහුන දී සිටියදී, ධනපති ආන්ඩු වලට හෝ මහා ව්‍යාපාරිකයන්ට කන්නලව් කිරීමෙන් හෝ බල කිරීමෙන් කම්කරුවන්ගේ අයිතීන් රැකගත නොහැකි ය.

කම්කරු පංතිය විසින් නිෂ්පාදනය හා බෙදා හැරීම් සියතට ගෙන මහජනයාගේ අවශ්‍යතා සපුරාලීම සඳහා සමස්ත ආර්ථිකය ප්‍රතිසංවිධානය කල යුතු ය. මහා සමාගම්, බැංකු සහ වතු, කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කෙරෙන සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට නංවන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙනඒම සඳහා සටන සමග එය අත්‍යන්තයෙන් බැඳී පවතී.

Loading