ඩෙංගු ආසාදන ඉහල යන බවට වෛද්‍යවරු අනතුරු අඟවද්දී ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පද්ධතිය අර්බුදයට යයි

[මෙය 2023 මැයි 18 වනදා Sri Lankan public health system in crisis as doctors warn of rising dengue fever infections යන මැයෙන් පලවූ ලිපියේ පරිවර්තනයයි.]

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුවේ කප්පාදු ප්‍රහාරයන්ගෙන් සහ පැතිරෙමින් පවතින කොවිඩ් වසංගතයෙන් දරුනු ලෙස බැටකන ශ්‍රී ලංකාවේ කම්කරු -පීඩිත මහජනතාව, දැන් වේගයෙ න් පැතිර යන මාරාන්තික ඩෙංගු රෝගයට ද ගොදුරු වෙමින් සිටිති.

2012 ජුනි 28 වන දින නගර සභා කම්කරුවෙක් කොළඹ නගරයේ ඩෙංගු උවදුර පාලනය කිරීම සඳහා මදුරුවන් බෝවෙන ස්ථාන වලට කෘමි නාෂක විදිමින් සිටින අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ පුද්ගලයෙක් සිය මුහුන වසාගනී. [ඒපී පොටෝ/ගැමුනු අමරසිංහ] [AP Photo/Gemunu Amarasinghe]

පසුගිය දෙවසරට සාපේක්ෂව ඩෙංගු ව්‍යාප්තිය තුන් ගුනයකින් ඉහල ගොස් ඇතැයි වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය පසුගිය සතියේ මාධ්‍යයට පැවසුවේය. වර්ෂාව තීව්‍රවන තත්වය තුල, ඉදිරි සති කීපය තුල ඩෙංගු ව්‍යාප්තියේ ප්‍රමුඛ වර්ධනයක් සිදුවිය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට අනුව, මේ වසරේ පලමු සිවුමස තුල පමනක්, ඩෙංගු රෝගයෙන් 15 දෙනෙකු මියගොස් ඇත.

ඩෙංගු ව්‍යාප්තියේ වේගවත් නැග්ම හේතුවෙන්, රෝහල් කීපයක දැඩි සත්කාර ඒකකයන්හි තදබදයක් නිර්මානය වී ඇති බව ද, දිවයිනේ ප්‍රධාන ලමා රෝහල වන රිජ්වේ ආර්යා රෝහලේ, ඩෙංගු වැලඳුනු ලමුන් 45 ක් ප්‍රතිකාර ලබමින් සිටින බව ද වෛද්‍ය විජේසූරිය පෙන්වා දුන්නේය. එම ලමා රෝහලේ අධ්‍යක්ෂවරයාද වන ඔහු මෙසේ කීවේය: 'එම දරුවන්ගෙන් බහුතරයක් වයස අවුරුදු 05-14 අතරේ වෙනවා. ඒ අතරින් සමහර දෙනෙක් බරපතල ඩෙංගු තත්වයක් වන රක්තපාත තත්වයෙන් පෙලෙනවා.'

ශ්‍රි ලංකාවේ බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඩේලි මිරර් වෙත කල ප්‍රකාශයකදී “මේ අවස්ථවේදී අපි ඩෙංගු වසංගත තත්වයක් අත්දකිමින් සිටිමු. අනතුරු ඇඟවූයේය. කනස්සල්ලට කරුන වන්නේ එය වඩාත් නරක අතට හැරීමට ඉඩ තිබීමයි.… සාමාන්‍යයෙන්, ජුනි සහ ජූලි මාසවල රෝගීන් සංඛ්‍යාව වැඩි වීමේ ප්‍රවනතාවක් පවතින වන නමුත් ශ්‍රී ලංකාව දැනටමත් රෝගීන් 34,000 කට වඩා වාර්තා කර ඇත. එම තතු තුල, නරකම දේ පැමිනීමට ඉඩ ඇත්තේ ඉදිරියේදීය.” යනුවෙන් අනතුරු ඇඟවූයේය.

ඩෙංගු යනු, විශේෂයෙන්ම කුඩා දරුවන්ට මාරාන්තික විය හැකි,මදුරුවන් මගින් බෝවන රෝගයකි. එය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වාර්තා වූයේ 1965 දී නමුත් 1989 සිට එය අර්ධ-නිත්‍ය වසංගතයක් බවට පත්ව ඇත.

ඩෙංගු උනෙහි ලක්ෂන [ඡායාරූප:මිකායෙල් හැග්ස්ට්‍රෝම්] [Photo: Mikael Häggström ]

ජාතික ඩෙංගු පාලන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මාධ්‍යයට පවසා තිබුනේ, ජනවාරි 01 සිට මැයි 14 දක්වා ඩෙංගු රෝගීන් 33,722 ක් සමස්ත දිවයිනෙන් වාර්තා වූ බවයි. 'සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 59 ක් අධි-අවදානම් ප්‍රදේශ ලෙස ඩෙංගු වැලැක්වීමේ සංගමය හඳුනාගෙන තිබෙනවා. සමස්ත රෝගීන්ගෙන් සියයට 50 ක් (පමන) හඳුනාගෙන තියෙන්නෙ බස්නාහිර පලාතෙන්' යැයි ඔහු කීවේය.

ඒ අනුව, රටෙහි සමස්ත බස්නාහිර පලාතේ ඩෙංගු රෝගීන්ගෙන් සියයට 21 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද, සියයට 18 ක් කොලඹ දිස්ත්‍රික්කයෙන් ද, සියයට 7 ක් කලුතර දිසත්‍රික්කයෙන් ද වේ. මේ දිනවල වැඩියෙන්ම ව්‍යාප්ත වන්නේ, දෙවන සහ තුන්වන වර්ගයේ ඩෙංගු වෛරසය බවත්, වසර 14 කට පසුවත් පලමු වර්ගය ව්‍යාප්ත වෙමින් පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මෙය, 2017 න් පසු වාර්තා වූ ඉහලම ඩෙංගු ආසාදන සංඛ්‍යාවයි. එහිදී 186,101 කට රෝගය වැලඳුනු අතර 440 ක් මිය ගියහ. එම අවස්ථාවේ, ජාතික රෝහල සහ බෝවන රෝග පිලිබඳ රෝහල (අයිඩීඑච්) ඇතුලු කොලඹ රෝහල් සියල්ල ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඉතිරුනි. බොහෝ රෝගීන්ට රෝහල් ගතවීමට නොහැකිව දැඩි අන්තරායකාරී තත්වයකට මුහුනදුන් අතර ඉන් සමහරු ප්‍රතිකාර නොලබාම මිය ගියහ. නැවතත් වර්ධනය වෙමින් පවතින්නේ එවන් තත්වයකි.

මීට අමතරව කෝවිඩ්-19 ව්‍යාප්තියේ ද වර්ධනයක් පෙන්නුම් කරමින් නව ආසාදිතයන් සහ මරන ගනනාවක් වාර්තා විය. සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත ඒකකයට අනුව පසුගිය දින 20 තුල ආසාදන 150 සහ මරන 16ක් වාර්තා වී ඇත.

ජාත්‍යන්තරව සිය සගයන් මෙන්ම ලංකාවේ ආන්ඩුවද ජීවිත වලට ඉහලින් ලාභ තබමින් මූලික සෞඛ්‍ය ආරක්ෂන පියවරයන් පවා ඉවත ලා ඇත. විශාල වශයෙන් අවතක්සේරු කෙරී ඇති රටේ නිල සංඛ්‍යා ලේඛන වලට අනුව ලංකාවේ කොවිඩ් ආසාදන 672,304 වාර්තා වී ඇති අතර ඒ හේතුවෙන් 16,856 මිය ගොස් ඇත.

මේ අතර, වරෙක ශ්‍රී ලංකාවෙන් තුරන් කෙරුනු මැලේරියා වසංගතයද යලි හිස ඔසවමින් සිටී. ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනයේඅධ්‍යක්ෂිකා තමරා කලුබෝවිල මාධ්‍යයට පවසා තිබුනේ, වසර 14 කට පසු 2023 අප්‍රේල් මාසයේ මැලේරියා මරනයක් වාර්තා වූ බවයි. මෙම වසරේ පලමු සිවුමස තුල මැලේරියා රෝගීන් 11 ක් වාර්තා වී ඇත.

ජනාධිපති වික්‍රමසිංහ මැයි 09 දා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිපියක් යවමින්, ඩෙංගු ව්‍යාප්තිය වැලැක්වීම සඳහා ගතහැකි 'සියලු ආරක්ෂක පියවර' ගන්නා ලෙස උපදෙස් දුන්නේය. වික්‍රමසිංහගේ සැබෑ උත්සුකය වී ඇත්තේ ඉහල යන ඩෙංගු ආසාදන සිය ආන්ඩුවේ සහ එහි කම්කරු පන්තිය මත සමාජ කප්පාදු ප්‍රහාර වලට එරෙහිව දැනටමත් වර්ධනය වන මහජන විරුද්ධත්වය ඉහල නංවනු ඇතිය යන්න පිලිබඳවය.

ජනතාවට ඩෙංගු වැලැක්වීමට “සියලු පියවර” ගන්නා ලෙසට වික්‍රමසිංහ ඉල්ලා සිටියද එවන් කිසිදු පියවරයක් ක්‍රියාවට දැමීමට නිශ්චිත වැඩ පිලිවෙලක් ප්‍රකාශයට පත් කර නැති අතර, මුදල් යෙදවීමක් හෝ කර නොමැත.

නමුත් ජනාධිපතිගේ ඊනියා උපදෙස් යටතේ සෞඛ්‍ය සේවකයින් සමග, පොලිස් නිලධාරියෝ සහ හමුදා භටයෝ “ඩෙංගු අවදානම සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ප්‍රදේශ” වල ගෙයින් ගෙට යති. ප්‍රදේශවාසීන්ට ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන ලෙස උපදෙස් දෙන අතර ඔවුන් එය කිරීමට අසමත් උවහොත් ඩෙංගු මර්දන නීති යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට තර්ජනය කරති.

2017 ඩෙංගු නැග්මේදී, එවකට පැවති ජනාධිපති මෛත්‍රීපාල සිරි​සේනගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව, ඩෙංගු මර්දන නීති කඩකිරීමේ බවට චෝදනා යටතේ දහස් ගනනකට නඩු පැවරුවේය.

මෙවන් මෙහෙයුම්වල අරමුන, රෝග පැතිරීම වැලැක්වීම පිලිබඳ වගකීම මහජනතාව මත පටවා අත සෝදා ගැනීමට ආන්ඩුවට සහය වීමයි. එමෙන්ම ඩෙංගු මර්දනයේ කඩතුරාව යටතේ පොලිස් සහ මිලිටරි නිලධාරීන් යොදා ගැනීම, දේශපාලන තලය තුල ඉහල යමින් පවතින මිලිටරීකරනයේ කොටසකි.

මහජනයාගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් ජනාධිපති වික්‍රමසිංහගේ සැබෑ උත්සුකය 2023 වසර සඳහා ඔහුගේ අයවැයෙන් සෞඛ්‍යයට වෙන්කොට ඇති මුදලෙන්ම ප්‍රකාශයට පත්වෙයි. එය මිලිටරි-පොලිස් මර්දන යන්ත්‍රය වර්ධනය කරනුවස් රුපියල් බිලියන 539 ක් වෙන් කරද්දී සෞඛ්‍යයට වෙන් කලේ බිලියන 322 ක සොච්චමකි.

ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු, පසුගිය දශක කීපය තුල සෞඛ්‍යයට වෙන්කර ඇත්තේ දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 2 ටත් අඩු ප්‍රතිශතයකි. එම ආන්ඩු සියල්ල, සෞඛ්‍යය සහ අධ්‍යාපනය ඇතුලු සමාජ වැඩසටහන් වලට වැය කෙරෙන මුදල් කප්පාදුකොට, බෙදුම්වාදී එල්ටීටීඊ සංවිධනයට එරෙහි 26 අවුරුදු වර්ගවාදී යුද්ධයට කැප කලහ. 2008 ගෝලීය මූල්‍ය අර්බුදයේ සිට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග යටතේ සමාජ වැඩසටහන් මත ප්‍රහාරය වඩාත් තීව්‍ර කෙරුනි.

සේවකයින්ගේ ඌනතාවයෙන් පෙලෙන රජයේ රෝහල් ජාලය, අත්‍යාවශ්‍ය උපකරනවල සහ ඖෂධ හිඟය සමග ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ අද්දරටම පැමින ඇත.

2017 සංඛ්‍යා ලේඛන වලට අනුව දිවයිනේ සමස්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගනන 1720 ක් විය - 13,000 කට සිටිනුයේ එක් පරීක්ෂකවරයෙකු පමනි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමග කතා කල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු කියා සිටියේ ලංකාවේ සමහර ප්‍රදේශයන්හි මෙම අනුපාතය 30,000:1 ක් තරම් වන බවයි. කෙසේ නමුත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව මෙම අනුපාතය අවම වශයෙන් 10,000:1 ක් විය යුතුය.

මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තියවේදීන් පුහුනු කිරීම් සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් කප්පාදු කර ඇත. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් සහ පලාත් පාලන ආයතන වලින් පවත්වාගෙන ගිය, මදුරු කීට නාශක දියර ඉසීම සහ දුම් ගැසීම ආදී අනෙක් වැඩසටහන් මුලුමනින්ම පාහේ නතර කෙරී ඇත.

ලෝසවෙඅ සමග කතා කල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මෙසේ පැහැදිලි කලේය: 'ඩෙංගු වගේ රෝග පාලනය කරන්න නම්, ඉතා දියුනු කැලිකසල ඉවත් කිරීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕන. ඊට සමගාමීව මහජනතාවට රෝග සහ ඒවා පාලනය කර ගැනීම ගැන විද්‍යාත්මක අවබෝධයක් ලබාදෙන වැඩ සටහන් අවශ්‍ය යි. ඒ වගේම, සේවයේ යෙදෙන අපිට තෘප්තියෙන් සේවයේ යෙදෙන්නනම් යහපත් වැටුපක් සහ වැඩ කන්දරාවෙන් නිදහස් වීමක් අවශ්‍ය යි.'

Loading