යුද්ධයට හා කප්පාදුවට එරෙහි සසප මැතිවරන උද්ඝෝෂනයට සාලමුල්ලේ මහජනයා සහාය පල කරති

2023 පලාත් පාලන මැතිවරන උද්ඝෝෂනයේ කොටසක් ලෙස සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරයේ සාමාජිකයෝ පසුගිය දිනවල කොලඹ, කොලොන්නාව නගරාසන්නයේ පිහිටි සාලමුල්ල මහල් නිවාස සංකීර්නයේ කම්කරුවන් හා තරුනයන් අතර සාර්ථක උද්ඝෝෂන කිහිපයක නිරත වූහ.

පිලිවෙලින්, කොලඹ, නුවරඑලිය සහ යාපනය දිස්ත්‍රික්කයන්හි පිහිටි, කොලොන්නාව නගර සභාවට, මස්කෙලිය හා කාරෙයිනගර් ප්‍රාදේශීය සභාවන්ට, අපේක්ෂකයන් 53ක් ඉදිරිපත් කරමින් සසප මැතිවරනය තුල තරඟ වදී.

පසුගිය දශක ගනනාව පුරා රැකියා සොයා කොලඹට ඇදී ආ ජන කොටස් වලින්, 26 අවුරුදු වර්ගවාදී යුද්ධයෙන් අවතැන්වූ උතුරු-නැගෙනහිර දෙමල කතා කරන පීඩිත ජනයාගෙන් සහ කොලඹ නගරය තුල දූගී නිවාස කඩා ඉවත් කිරීම නිසා අවතැන් වූ දහස් ගනනක් පවුල් වලින් සමන්විත කොලොන්නාව ප්‍රදේශයේ මහජනයා ගෙවන ඉතා කටුක ජීවන කොන්දේසි, බලයට පත් ධනපති ආන්ඩුවලට එරෙහි බරපතල චෝදනා පත්‍රයකි.

2017 මීතොටමුල්ල නායයෑමෙන් නිවාස අහිමි වූ බහුතරයක් පවුල්, සාලමුල්ල මහල් නිවාස සංකීර්නයේ මේ වන විට වාසය කරති. එක් කාමරයක්, සාලය හා කුස්සියක් සහිත එම මහල් නිවාසවල මෙම ජනයා ගෙවන ජීවිතය අතිශය කටුක වූවකි. ගොඩනැගිලිවල ඇතුලත සහ පිටත පවත්නා පොදු ස්ථානවල පවිත්‍රතා කටයුතු සිදු නො වන තරම් ය. දරුවන්ට ක්‍රිඩා කිරීමට සුදුසු පාරිසරික තත්වයක් එහි ඇත්තේ නැත. 25 අවුරුදු යුද්ධය, වසංගතය හා දැන් දිග හැරෙන දරුනු ආර්ථික අර්බූදය හමුවේ මෙම නාගරික දූගී ජනයා දරිද්‍ර කොන්දේසිවලට ඇද දමා තිබේ.

පවත්නා ධනපති දේශපාලන සංස්ථාපිතය කෙරෙහි වෛරයෙන් පසුවන එම ජනයාට, සසප සහ අනෙකුත් දේශපාලන පක්ෂ මැතිවරනයේදී සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තුවන අරමුනු අතර පවත්නා අගාදමය වෙනස සසප උද්ඝෝෂකයෝ පැහැදිලි කලහ.

සසප මැතිවරනයට මැදිහත්වනුයේ, පසුගිය ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව පලවා හැරි මහජන නැගිටීම මධ්‍යයේ, කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙනඒම සඳහා එය ගෙනගිය උද්ඝෝෂනය ඉදිරියට ගෙනයාමේ මාධ්‍යයක් ලෙසින් බව ඔවුහු පෙන්වා දුන්හ. රාජපක්ෂ ආන්ඩුව විසින් සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරමින් පැවති ප්‍රහාර නතර කල හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමනක් බව සසප එහිදී අවධාරනය කල බවත්, රාජපක්ෂ පලවා හැරීමෙන් පසු බලයට පැමිනි ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ප්‍රහාරය තවදුරටත් ගැඹුරු කරමින් ඉදිරියට ගෙනයාමෙන් සසප කල එම අවධාරනය මුලුමනින්ම සනාථ වී ඇති බවත් සසප සහ සසජාතශි සාමාජිකයෝ පැහැදිලි කලහ.

සාලමුල්ල මහල් නිවාස සංකීර්නයේ උද්ඝෝෂනයේ නිරත සසප සාමාජිකයෝ

කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙනඒම සඳහා සටන් කරනුවස්, තමාගේම බල සංස්ථාවන් ලෙස ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමට පෙරට එනලෙස, සසප එම උද්ඝෝෂනයේ දී කම්කරුවන්ගෙන් සහ පීඩිතයන්ගෙන් ඉල්ලා සිටි බවත්, එම කමිටුවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් බල කේන්ද්‍රයක් ලෙස 'කම්කරුවන්ගේ සහ ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනයක්' කැඳවා, උක්ත වැඩපිලිවෙල සාකච්ඡාකොට සම්මත කරගනිමින් එම සටන ඉදිරියට ගෙනයායුතු බවටත් සසප උද්ඝෝෂනය කලබව සසප/සසජාතශි සාමාජිකයෝ පෙන්වා දුන්හ.

එමෙන්ම වේගයෙන් වර්ධනය වන ලෝක යුද තර්ජනය පරාජය කිරීම සඳහා, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත පාදක වූ කම්කරු පංතික ලෝක යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනගනුවස්, සසප ට නායකත්වය දෙන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව කර ඇති කැඳවුම සහ ඉහත 'සම්මේලනය' අතර ඇති අවියෝජනීය සම්බන්ධය ද, සසප එම උද්ඝෝෂනය තුල දී පැහැදිලි කෙරුනි.

ලංකාවේ දිගහැරෙන ආර්ථික අර්බූදය, කෝවිඩ්-19 වසංගතය හා යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව ඇමරිකානු අධිරාජ්‍යවාදය ප්‍රමුඛ නේටෝ බලයන් ගෙන යන දරුනු යුද්ධය මගින් ගැඹුරු කෙරෙන ලෝක ධනේෂ්වර ක්‍රමයේ අර්බූදයේ කොටසක් බව ද සසප සාමාජිකයෝ කම්කරුවන්ට හා තරුනයන්ට පෙන්වා දුන්හ.

තරුන කම්කරුවෙකු වන දයාන් එම සාකච්ඡාවට එක්වෙමින් මෙසේ පැවසීය: “තෙල් හා අනෙකුත් භාන්ඩවල මිල ඉහල යනවා, වෙලඳපොල කඩාකප්පල් වෙලා තියෙනවා කියන දල වැටහීමක් මට තියෙනවා”. යුක්ක්‍රේන යුද්ධය තුන්වන ලෝක යුද්ධයක් කරා වර්ධනය වීමේ අන්තරායක් පවතින බව වටහා ගත්තේ සසප මැදිහත්වීමෙන් පසුව බව ඔහු කියා සිටියේ ය.

ධනපති මාධ්‍ය, වෘත්තීය සමිති හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම පක්ෂ තුන්වන ලෝක යුද්ධයේ සැබෑ තතු වසන් කිරීම ගැන ඔහු අදහස් දැක්වී ය. “යුද්ධය ගැන දැනුවත් කලොත් මිනිස්සු කලබල වෙනවා. කවුරුත් යුද්ධවලට කැමති නැහැ. යුද්ධය නැවැත්විය හැක්කෙ කෙසේද කියලත් ඔවුන්ට කියන්න වෙනවා”.

ඉන්දියානු සාගරයේ මූලෝපායිකව වැදගත් ස්ථානයක පිහිටි ලංකාව තුල චීනයේ මැදිහත්වීමට එරෙහිව ඇමරිකාවේ හා ඉන්දියාවේ මැදිහත් වීම් උත්සන්න වී ඇති බවත්, ඇමරිකාවේ මිලිටරියට ලංකාවේ වරාය හා ගුවන් තොටුපලවල් අවශ්‍ය ඕනෑම අවස්ථාවක භාවිතා කල හැකි වන පරිදි ඇමරිකාව සහ ලංකාව අතර අන්‍යෙන්‍ය හුවමාරු හා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බවත් උද්ඝෝෂකයෝ ඔහුට පෙන්වා දුන්හ.

අනතුරුව රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ නිදහස් සැමරුම ගැන කතාකල ඔහු එය පිලිකුලෙන් හෙලාදැක්කේ ය. “නිදහස තියෙන්නේ අධිරාජ්‍යවාදීන්ටයි, මහ ධනපතියන්ටයි, පාලකයන්ටයි විතරයි. ප්‍රධාන ධනපති පක්ෂ, ඒ පක්ෂවලට මුක්කු ගැසු ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) අද තියෙන තත්වයට වග කියන්න ඕනා. ඡන්දවලින් අපේ ප්‍රශ්න විසඳන්න බෑ.”

ලංකාවේ සමාජ අසමානතාවය ගැන 2021 සමීක්ෂන වාර්තාවකට අනුව රටේ ඉහලම පොහොසතුන් සියයට 10 ධනයෙන් සියයට 64 ක් පමන භුක්ති විඳින බවත් පහල සියයට 50 සඳහා ඇත්තේ සියයට 5 ටත් අඩු බවත් වාර්තාකරුවන් පැහැදිලි කල විට ඔහු පුදුමයට පත් විය. “සම්පත් සමව බෙදෙන්න ඕනා. ඒකට කම්කරුවන්ට බලය ගන්න වෙනවා, මම ලෝසවෙඅ කියවන්න, සසප හා සාකච්ඡා කරන්න කැමතියි” යනුවෙන් ප්‍රකාශ කලේ ය.

මේ වසරේ සාමාන්‍ය පෙල විභාගය සඳහා පෙනී සිටින සිසුන් කිහිප දෙනෙක් ද ලෝක යුද ධාවනයට සිය විරුද්ධත්වය දැක්වූහ. “මිලියන ගනන් ජීවිත, දේපල විනාශ කරන, තවත් ලෝක යුද්ධයක් එපා” යයි එක් ශිෂ්‍යයෙක් කියා සිටියේ ය. යුද්ධය කොතරම් බිහිසුනු එකක් ද කියන වග දැනගත්තේ තම ඉතිහාස පාඩම්වලින් බව ඔවුන් කියා සිටියේ ය. “ලොව පුරා තරුනයන්ට කැඳවුමක්: යුක්‍රේන යුද්ධය නතර කිරීමට මහජන ව්‍යාපාරයක් ගොඩනගනු!” යන නමින් සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය පසුගිය දා නිකුත් කර ප්‍රකාශයේ පිටපත් දෙකක් ඔවුහු මිල දී ගත්හ. .

1948 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ලංකාවේ ධනපති පන්තිය වෙත බලය මාරු කිරීමෙන් ගෙවුනු අවුරුදු 75ක අත්දැකීම් යලි මතකයට නැගූ සසප උද්ඝෝෂකයෝ, ධනපති ක්‍රමය තුල, පාර්ලිමේන්තු රාමුවට බැඳීගත් ජාතිකවාදී විසඳුමකින් කම්කරුවන්ට හා ගම්බද පීඩිත ජනතාවට තම සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් දිනා ගත නො හැකි බව පෙන්වා දුන්හ.

මෙම ප්‍රශ්න වලට විසඳුම් ලෙස ධනපති සහ ව්‍යාජ-වාම පක්ෂ ඉදිරිපත් කරන ජාතිකවාදී ක්‍රියාමාර්ග වලට මුලුමනින්ම විපරීත කම්කරු පංතික ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් වටා කම්කරුවන් සහ පීඩිතයන් බලමුලු ගැන්වීම සඳහා සසප කැඳවා ඇති 'කම්කරුවන්ගේ සහ ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනය' ගැන දැන ගැනීමට බොහෝ කම්කරුවෝ උනන්දු වූහ.

ආනයන සීමා කිරීම වැනි හේතු නිසා කුඩා කර්මාන්ත වැසි යෑමෙන් රැකියා අහිමි වූ කම්කරුවන් කිහිප දෙනෙක් ම සසප සාමාජිකයන් සමග අදහස් දැක්වූහ. ගොඩනැගිලි සමාගමක සුපර්වයිසර්වරයෙකු ලෙස රැකියාව කල සනත් ට ඉන්ධන මිල ඉහල යෑමෙන් පසු සිය රැකියාව කර ගත නො හැකි වී ඇත. “මම මේ වැඩබිම් වලට ගියේ මගේ යතුරුපැදියෙන්. පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 110 ට තියෙන කාලේ මම හොදට රස්සාව කලා .පස්සේ පෙට්රල් මිල වැඩිවුනා. ඒවගේම පෙට්‍රල් හිගවුනා. මට රස්සාව කරන්න වුනේ අතින් පාඩු විඳගෙන. මම රස්සාවෙන් අස්වුනා” යැයි ඔහු පැවසුවේ ය.

ඔහු දැනට පෙදරේරුවකු ලෙස වැඩ කරන නමුත් අමුද්‍රව්‍ය මිල ඉහල යෑම නිසා සෑම දිනකම වැඩ නොලැබේ. මේ දිනවල තම දරුවන් දෙදෙනා ඇතුළු පවුල දිනකට එක් වේලක් පමනක් ආහාර ගන්නා බව සනත් පැවසීය. ඔහු මෙසේ පැවසීය: “25 අවුරුදු යුද්ධය, වසංගතය කාලේ තිබුනාටත් වඩා දැන් ආර්ථික ප්‍රශ්න උග්‍රයි”.

මෙම මැතිවරනයේ දී ජවිපෙ ට ඡන්දය දීමට බලාපොරොත්තු වන බව සනත් මුල දී ප්‍රකාශ කල ද, ජවිපෙ හා එය නායකත්වය දෙන ජාතික ජන බලවේගය (ජාජබ) ජාමූඅ හි කප්පාදු ක්‍රියාත්මක කිරීමට සැදී පැහැදී සිටින ආකාරයත්, ඒ සඳහා ජනවරමක් අවශ්‍ය බව ඔවුන් කියා සිටින බවත් පැහැදිලිකලවිට ඒ ගැන යලි සිතා බැලියයුතු යැයි ඔහු කීවේය.

කොලඹ ඔරුගොඩවත්තේ ජීවත්ව සිට, අධිවේගී මාර්ගයට සම්බන්ධිත නව නුවර පාලම ඉදි කිරීම හේතුවෙන් තම නිවස අහිමි වී, මේ වන විට ජෑම් නිපදවන කම්හලක රැකියාවේ නිරත කම්කරුවෙකු ප්‍රකාශ කලේ දිනකට පැය 10 ක් ඉක්මවා වැඩ කොට රුපියල් 1,400 ක දෛනික වැටුපක් ලබන බවයි.

පසුගිය වසරේ මහජන අරගලය තුලින් කම්කරුවෝ පීඩිතයෝ බලාපොරොත්තු වූ දෙවල් සිදු නොවූ බව ඔහු ප්‍රකාශ කලේ ය. “විධායක ජනාධිපති ධූරය අනිවාර්යයෙන් නැති කරන්න ඕනා. මහජනයාට සහන ඕනා කියලා මිනිස්සු ඉල්ලුවා නමුත් කිසිවක් වෙනස් වුනේ නෑ. වික්‍රමසිංහ ජනාධිපති වෙයි කියලා මම කොහොමත් හිතුවේ නෑ”.

වෘත්තීය සමිති නායකයන් සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ඒකාබද්ධව එම මහජන නැගිටීම කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලක් ඔස්සේ වර්ධනය කිරීමට හතුරුව විපක්ෂයේ ධනපති පක්ෂවල අන්තර්වාර ආන්ඩු වැඩපිලිවෙල යටතට තල්ලුකොට පාවාදීම හේතුවෙන්, රනිල් වික්‍රමසිංහ බලයට පැමිනි බව සසප/සසජාතශි සාමාජිකයෝ පෙන්වා දුන්හ.

මහජන නැගිටීම පාවාදීමට හැකිවූයේ එයට විප්ලවවාදී ඉදිරි දර්ශනයක් සහ නායකත්වයක් නොමැතිවීමෙන් යැයි ද, එම ඉදිරි දර්ශනය ඉදිරිපත් කරන සසප, මහජන විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩනැගීමට එක්වන ලෙස උද්ඝෝෂකයන් කල ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

Loading