[මෙය 75 years since independence: Sri Lankan ruling elite celebrates its brutal record යන මැයෙන් 2023පෙබරවාරි 07 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
ශ්‍රී ලංකාවේ ආන්ඩුව, 1948 පෙබරවාරි 4 වන දින බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් රට නිල නිදහස ලබා ගැනීමේ 75 වැනි සංවත්සරය සමරන්නේ, සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව උග්‍ර කෙරෙමින් පවතින ප්‍රහාර කෙරෙහි මිලියන සංඛ්‍යාත කම්කරුවන්ගේ හා දුප්පතුන්ගේ වැඩෙන කෝපය මධ්‍යයේ ය.
නිල සැමරුම් පැවැති දින කොලඹ නගරය මිලිටරි බලකොටුවකට සමවිය. ප්‍රහාරක රයිෆල්වලින් සන්නද්ධ සොල්දාදුවන් දහස් ගනනක් මාර්ගවල යොදවා තිබූ අතර, තීරනාත්මක යැයි සැලකෙන ස්ථානවල ජල ප්‍රහාරක සවිකල රථ සමග පොලිස් භටයන් ස්ථානගත කර තිබුනි. නිල සැමරුම් ස්ථානය වූ කොලඹ මධ්‍යයේ පිහිටි ගාලු මුවදොර පිටිය මහජනයාට ඇතුලුවිය නොහැකි පරිදි කිලෝමීටරයක දුරින් අවුරා තිබිනි.
ගාලුමුවදොර පිටියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට හමුදාව් සහ පොලිසියේ උත්තමාචාරය පිරිනැමින. ඔහුට පිටුපසින් අසුන්ගෙන සිටියේ විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින්, ආන්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සහ ඇතැම් රාජ්‍ය නිලධාරීන් ය. සාමාන්‍ය ශ්‍රී ලාංකික පුරවැසියන්ට නිල උත්සවයට ඇතුලු වීමට අවසර ලැබුනේ නැත. සහභාගීවූ එකම සිවිල් වැසියන්වූයේ, දුසිම් දෙකක පමන වාර්තාකරුවන් සහ ජාතික ගීය ගායනා කිරීමට සූදානම් කර සිටි පාසල් සිසුන් පිරිසක් පමනි.
කලින් දින රාත්‍රියේ, කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරක වලින් සන්නද්ධ කැරලි මර්දන පොලිසිය, කොලඹ මරදානේ වාඩි ලා ගෙන විරෝධතාවයක් පවත්වමින් සිටි දුසිම් ගනනකට අමානුෂික ලෙස පහර දුන්නේය. නිදහස් දිනයේදී, ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් පාලනය කරනු ලබන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය විසින් සංවිධානය කර තිබූ “නිදහස” පිලිබඳ විවේචනාත්මක දේශපාලන උත්සවයක් පොලිසිය විසින් නතර කරන ලදි.
නිල නිදහස් දින සිදුවීම්, තම කප්පාදු පිලිවෙත්වලට එරෙහිව කම්කරුවන්ගේ හා දුගීන්ගේ මහජන නැගිටීමක් පිලිබඳ භීතියෙන් සිටින වික්‍රමසිංහ තන්ත‍්‍රයේ මර්දනකාරී ස්වභාවය පිලිබඳ සජීවි හෙලිදරව් කිරීමකි.
ජාත්‍යන්තර කම්කරු පන්තියේ නැගී එන අරගලවල තියුනු ප්‍රකාශනයක් වූ, මිලියන ගනනක් කම්කරුවන් හා ගම්බද දුගීන් සම්බන්ධ කරගත් ආන්ඩුවට එරෙහි විරෝධතා සහ වැඩ වර්ජන මගින් පසුගිය වසරේ අප්‍රේල්-ජූලි වලදී රටම සොලවා දැමුනි. විරෝධතාකරුවෝ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට සහ ඔහුගේ ආන්ඩුව ට ඉල්ලා අස්වෙන ලෙස බල කලහ. එපමනක් නොව, '225 ම එපා', එනම් පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වියයුතු බව කියමින් සහ නිදහසේ සිට ධනේශ්වර පාලනයේ ' 74 වසරක ශාපය' අවසන් කරන ලෙස ඉල්ලා සිටිමින් ඔවුහු හඬ නැගූහ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම පක්ෂවල පිටුබලය ලද වෘත්තීය සමිති විසින්, මෙම මහජන වෛරය, ධනපති විපක්ෂයන් වන සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) තොරොම්බල් කල අන්තර්වාර ආන්ඩු ඉල්ලීම තුලට අපසරනය කොට, මහජන ව්‍යාපාරය පාවාදෙන ලදී.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පලා ගොස් ජූලි මාසයේදී ඉල්ලා අස්වීමෙන් පසු, එක්සත් ජාතික පක්ෂයේ (එජාප) එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ අපකීර්තිමත් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ස්ථාපනය කිරීමට මෙම පාවාදීම මග පෑදීය.
ශ්‍රී ලංකාවේ ධනපති පන්තිය පෙර නොවූ විරූ ආර්ථික ව්‍යසනයකට මුහුන දී සිටී. ලොව පුරා රටවල සිදු වූවාක් මෙන්ම, මෙම අර්බුදය කෝවිඩ්-19 වසංගතය සහ පසුව යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය විසින් ගැඹුරු කෙරින. සැපයුම් දාම අවහිර වීම් සහ රුසියාවට එරෙහි ආර්ථික සම්බාධක හේතුවෙන් අපනයන විශාල ලෙස අඩු වූ අතර තෙල් සහ අනෙකුත් ආනයන සඳහා ඉහල මිල ගනන් මගින් උද්ධමනය අවුලුවා, රටේ දැනටමත් සොච්චම් විදේශ සංචිත හිස් කෙරෙමින් පවතී.
වික්‍රමසිංහ, රාජපක්ෂ අනුගමනය කරමින්, ඇප නය සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) වෙත හැරුනේ ය. ඔහු එසේ හැරුනේ, රාජ්‍ය අංශයේ රැකියා දස දහස් ගනනක් විනාශ කිරීම, රජය සතු ව්‍යවසායන් පුද්ගලීකරනය, ආදායම් බදු ඉහල දැමීම් සහ මිල සහනාධාර කප්පාදුව ඇතුලු ගැඹුරු කප්පාදු පියවරයන් පිලිබඳ කොන්දේසි සහිතව ය.
ජාමූඅ හි ප්‍රතිපත්ති මගින්, ආහාර, ඖෂධ, ඉන්ධන, පිසින ගෑස් සහ විදුලිය ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල පිරිවැය තවදුරටත් ඉහල නංවා, උද්ධමනය සියයට 60 කට ආසන්න මට්ටමකට ඔසවා ඇත.
මෑත ලෝක බැංකු වාර්තාවකට අනුව, ශ්‍රී ලංකාවේ දරිද්‍රතා අනුපාතය සියයට 26 දක්වා ඉහල නැඟ තිබේ. යුනිසෙෆ් වාර්තාවක් පෙන්වා දෙන්නේ, ලමුන් මිලියන 2.3 ක් ඇතුලුව මිලියන 5.7 ක ජනතාවකට හදිසි මානුෂීය ආධාර අවශ්‍ය බවයි. ශ්‍රී ලංකාව දැන් ලෝකයේ මන්දපෝෂනයෙන් පෙලෙන දරුවන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් සිටින රටකි. සෑම නිවාස දහයකටම නිවාස තුනක්, එනම් මිලියන 6.26 ක ජනතාවක් ආහාර අනාරක්ෂිතභාවයට මුහුන දී සිටී
පසුගිය දෙසැම්බරයෙන් ඇරැඹී, තැපැල්, වරාය, ඛනිජ තෙල්, බැංකු, සෞඛ්‍ය, ටෙලිකොම් සහ වතු කම්කරුවන්ගේ අරගල ඇතුලුව, වික්‍රමසිංහ ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව නව විරෝධතා සහ වැඩ වර්ජන රැල්ලක් පුපුරා ගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ නිදහස ප්‍රකාශයට පත් කරන ලද්දේ, දෙවන ලෝක යුද්ධය අවසන් වී වසර තුනකට පසුව ය. 1947 දී ඉන්දියාවට සහ 1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලබා දීමට බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් ගත් තීරනය, දෙවන ලෝක යුද්ධයෙන් පසු කලාපය තුල ඇටවූ අධිරාජ්‍යවාදී සමථයේ කොටසකි.
එකල හතරවන ජාත්‍යන්තරයේ ඉන්දියානු ශාඛාව වූ ඉන්දියාවේ බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි) මෙම “නිදහසේ” සැබෑ පන්ති ස්වභාවය පිලිබඳ දූරදර්ශී මාක්ස්වාදී විශ්ලේෂනයක් සැපයීය. “නියම නිදහසක් ද නැතහොත් ව්‍යාජ නිදහසක් ද?” යන මැයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ බලගතු ප්‍රකාශයක බීඑල්පීඅයි නායක කොල්වින් ආර්. ද සිල්වා මෙසේ ලිවීය:
'ඔවුන් විසින් අන බෙර ගසා ප්‍රකාශ කරන 'ස්වාධීනත්වයේ' ජනතාවට 'ප්‍රීතිවීමට' කිසිත් නොමැත... ඔවුන් ලබා ගන්නා 'අලුත් තත්වය' වනාහි 'ස්වාධීනත්වය' නොවෙනවා පමනක් නොව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට ලංකාව ගැටගසා ඇති වහල්භාවයේ යදමෙහි රූපාකාරය වෙනස් කිරීමක් පමනකි... පලමු අවස්ථාවේ දී ම පීඩිත සහ කැරලිකාර ජනතාව යටපත් කිරීමේ කර්තව්‍යය ලංකාවේම ධනේශ්වරයට පැවරී ඇත.”
මෙම ව්‍යාජ නිදහස ප්‍රතික්ෂේප කරමින් ට්‍රොට්ස්කිවාදීන් 1948 නිල සැමරුම් වර්ජනය කල අතර ඒ වෙනුවට ගාලු මුවදොර පිටියේ කම්කරුවන් 50,000 ක් සහභාගී වූ මහා ජන රැලියක් සංවිධානය කලහ.
1948 අගමැති ඩී.එස්. සේනානායකගේ එජාප ආන්ඩුවේ පලමු ක්‍රියාව වූයේ ඉන්දීය සම්භවයක් ඇති දස ලක්ෂයකට අධික දෙමල වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහෝසි කිරීමයි. කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීමේ මෙම ප්‍රතිගාමී දේශපාලන පියවරට බීඑල්පීඅයි විරුද්ධ විය.
පශ්චාත් දෙවන ලෝක යුද සමථයන්ට බීඑල්පීඅයි හි පසුකාලීන දේශපාලන අනුගතවීම සහ 1950 අවස්ථාවාදී ලංකා සමසමාජ පක්ෂය (ලසසප) සමග ඒකාබද්ධ වීම තිබ්යදී, ශ්‍රී ලංකාවේ නිදහස පිලිබඳ එහි විශ්ලේෂනය සහ මූලධර්මාත්මක ප්‍රතිචාරය බලගතු ලෙස තහවුරු වී ඇත.
ඊලඟ දශකවලදී සමසමාජ පක්ෂය සිංහල ජනතාවාදයට හා ධනේශ්වර පාලනයට අනුගත විය. සමාජවාදී ජාත්‍යන්තරවාදය අතහැර 1964 දී සිරිමා බන්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් ධනේශ්වර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සභාග ආන්ඩුවකට සම්බන්ධ වූ විට, මෙම කඩා වැටීම අවසානයේ ලසසපයේ මහා පාවාදීම කරා ගෙන ගියේය. ලසසපයේ පාවාදීමට ආධාර හා අනුබල ලැබුනේ, දෙවන ලෝක යුද්ධයෙන් පසුව හතරවන ජාත්‍යන්තරයේ මතු වූ සහ 1953 දී ට්‍රොට්ස්කිවාදයෙන් බිඳී ගිය මයිකල් පැබ්ලෝ සහ අර්නස්ට් මැන්ඩෙල්ගේ නායකත්වයෙන් යුත් අවස්ථාවාදී කන්ඩායමක් වන පැබ්ලෝවාදී සංශෝධනවාදී ප්‍රවාහයෙනි.
ලසසප ය බන්ඩාරනායක ආන්ඩුවට ඇතුලුවීම සහ ධනේශ්වර ප්‍රභූවේ සිංහල ස්වෝත්තමවාදී දෘෂ්ටිවාදය වැලඳ ගැනීම, කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක් දියකර දැමීය. 1972 දී, ශ්‍රීලනිප-ලසසප සභාග ආන්ඩුව, ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ සහය ඇතිව, බුද්ධාගම රටේ ප්‍රධාන ආගම ලෙසත් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙසත් තහවුරු කරමින් නව ව්‍යවස්ථාවක් සම්මත කර ගත්තේය.
ලසසප පාවාදීම මහජනයා අතර දැවැන්ත ව්‍යාකූලත්වයක් ජනිත කලේ ය. මාඕවාදය, කැස්ත්‍රෝවාදය සහ සිංහල දේශප්‍රේමයේ මිශ්‍රනයක් මත පදනම්ව මෙම වසරවල පැන නැගි ජවිපෙ ඉස්මත්තට ඒම සඳහා මෙම ව්‍යාකූලත්වය ගසාකෑවේ ය. උතුරේදී, බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සහ අනෙකුත් සන්නද්ධ කන්ඩායම් මතුව ආවේ ය.
මර්දනකාරී සභාග ආන්ඩුව, දක්ෂිනාංශික එජාපයට විශාල පාර්ලිමේන්තු බහුතරයකින් බලයට ඒමට පාර කැපුවේය. එහි නායක ජේ.ආර්. ජයවර්ධන මෙය භාවිතා කලේ, අත්තනෝමතික විධායක ජනාධිපති ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීමට සහ විවෘත වෙලඳපොල පියවර හඳුන්වා දීමට, සුබසාධන වැඩසටහන් කප්පාදු කිරීමට සහ රාජ්‍ය ආයතන රාශියක පෞද්ගලීකරනය ආරම්භ කිරීමට ය. 1980 දී, රාජ්‍ය අංශයේ කම්කරුවන් මෙම ප්‍රහාරවලට එරෙහිව මහා වැඩ වර්ජනයක් ආරම්භ කල නමුත්, වෘත්තීය සමිතිවල පාවාදීම ගසාකමින්, ආන්ඩුව විසින් එය තලා දැමුවේ 100,000 ක් පමන සේවකයන් රැකියා වලින් නෙරපා හරිමිනි.
1983 දී ක්‍රමානුකූලව ඇවිස්සූ දෙමල විරෝධී ව්‍යාපාරයකින් පසුව ජයවර්ධන ආන්ඩුව එල්ටීටීඊයට එරෙහිව යුද්ධය අවුලුවාලූ අතර, එය අනෙක් අතට, කම්කරු පන්තිය බෙදීමට හා දුර්වල කිරීමට යොදා ගන්නා ලදී.
2009 මැයි මස අවසන් වූ 26 වසරක ලේවැකි යුද්ධයේදී බලයට පත් වූ ශ්‍රී ලංකාවේ සෑම ආන්ඩුවක්ම කම්කරු පන්ති අරගල මර්දනය කිරීමට මෙම ගැටුම යොදා ගත්තේය. උතුරු නැගෙනහිර විනාශ කල යුද්ධයේදී 100,000 කට අධික දෙමල ජනතාවක් මිය ගියේ, තවත් දහස් ගනනක් තුවාලකරුවන් සහ ආබාධිතයින් බවට පත් කරමිනි. යුද්ධය දියත් කිරීමට සහ නඩත්තු කිරීමට කොලඹ ලබා ගත් දැවැන්ත විදේශ නය වත්මන් ආර්ථික අර්බුදයේ තවත් ප්‍රධාන සාධකයකි.
මෙම ගැටුම අතරතුර දී පැවති සෑම කොලඹ ආන්ඩුවක්ම එක්සත් ජනපදය ඇතුලු අධිරාජ්‍යවාදී බලවතුන් සමග මෙන්ම ඉන්දියාව සමග සමීපව කටයුතු කලේය. සියලුම දෙමල ධනේශ්වර පක්ෂ මෙන්ම, එල්ටීටීඊය ද අධිරාජ්‍යවාදී බලවතුන් වන “ජාත්‍යන්තර ප්‍රජාවට” තම බෙදුම්වාදී අරමුනට සහාය දෙන ලෙස ආයාචනා කලේය. ජවිපෙ ඇතුලු ශ්‍රී ලංකාවේ සියලුම ධනපති පක්ෂ මෙම යුද්ධයට සහාය දුනි.
එජාපයේ ශාඛාවක් වන සජබ නායක සජිත් ප්‍රේමදාස නිල නිදහස් දින සැමරුමට සහභාගී වූයේ නැත. එය වික‍්‍රමසිංහගෙන් සහ ඔහුගේ ආන්ඩුවෙන් දේශපාලනිකව ඈත්වීමේ මංමුලා සහගත උත්සාහයකි. කෙසේ වෙතත්, 'සියලු ශ්‍රී ලාංකිකයින්ට දීප්තිමත් අනාගතයක් නිර්මානය කිරීම සඳහා අපගේ නොසැලෙන කැපවීමට සාක්ෂියක් වශයෙන්,' එකට නැගී සිටින ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමින් ප්‍රේමදාස අමු ජාතිකවාදී ට්විටර් පනිවිඩයක් නිකුත් කලේය.
ජවිපෙ නිදහස් දිනයේදී වෙනම ප්‍රකාශයක් හෝ පොලිස් බලමුලු ගැන්වීම ගැන විවේචනයක් නොකල අතර, වික්‍රමසිංහ උත්සවය සඳහා ඕනෑවට වඩා මුදල් වියදම් කිරීම හෙලා දුටුවේය.
සජබට හෝ ජවිපෙට වික්‍රමසිංහ ආන්ඩුව සහ එහි ජාමූඅ වැඩපිලිවෙල සමග මූලික වෙනස්කම් නොමැත. එම පක්ෂ දෙකම, ආන්ඩුවට එරෙහිව නැගී එන මහජන විරෝධය ගැන කනස්සල්ලට පත්ව සිටින අතර තමන් ද බලයට පැමිනියහොත් ජාමූඅ කප්පාදු පියවරම ක්‍රියාත්මක කරන බව ඇඟවුම් කර ඇත.
සැමරීමට නිදහසක් නොමැති බව ප්‍රකාශ කර ඇති ව්‍යාජ වාම පෙසප, රට පුරා ජන සභා පිහිටුවීම සඳහා උද්ඝෝෂනය කරයි. මෙය, බලයේ සිටින කුමන ආන්ඩුවට වුවද, මහජනතාවට සේවය කිරීම සඳහා බලපෑම් දමනු ඇතැයි එය කියා සිටී. මෙය මහජනයා පාර්ලිමේන්තු රාමුව තුල සිරකර තබා ගැනීමේ සහ ධනවාදයට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් වර්ධනය වීම වැලැක්වීමේ ගොරහැඩි උපාමාරුවකි.
ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත කම්කරු පන්තියට නායකත්වය සැපයීමට සූදානම් සහ එසේ කල හැකි එකම පක්ෂය, සමාජවාදී සමානතා පක්ෂය (සසප) යි. එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස), 1968 දී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව ලෙස පිහිටුවන ලදී. එය ගොඩනැගුනේ, ලසසප පාවාදීමට එරෙහිව සහ පැබ්ලෝවාදී අවස්ථාවාදය තුල පැවැති එහි මූලයන් පිලිබඳ අවබෝධයෙන් යුතුව ය.
ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ න්‍යාය මත පදනම්ව, ධනේශ්වර පන්තියේ සෑම කන්ඩායමකින්ම කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට විකොස අඛන්ඩව සටන් කලේය. නොනවතින විප්ලවයේ න්‍යාය පැහැදිලි කරන පරිදි, කල්පසු වූ ධනේශ්වර සංවර්ධනයක් සහිත රටවල ධනපති පන්තියට, කම්කරුවන්ගේ හා පීඩිතයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී අභිලාෂයන් විසඳීමට නොහැකි ය. ලංකාව තුලදී යලියලිත් සනාථවී ඇත්තේ මෙයයි.
ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව සහ ඔවුන්ගේ සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සඳහා සටන් කිරීම පිනිස, ධනේශ්වර පක්ෂ හා වෘත්තීය සමිතිවලින් ස්වාධීනව, වැඩපලවල, අසල්වැසි ප්‍රදේශවල සහ ගම්බද ප්‍රදේශවල තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.
මහජනයාගේ දැවෙන ප්‍රශ්නවලට ධනපති ක්‍රමය තුල විසඳුමක් ඇත්තේ නැත. ජීවිතයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම හා ඒවා බෙදා හැරීමේ පාලනය කම්කරුවන්ගේ අතට ගත යුතුය. මෙය කල හැකි වන්නේ, සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීම සහ බැංකු, මහා සමාගම් සහ වතු ජනසතු කිරීම, ඒවා කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කිරීම මගින් පමනි.
මෙම ක්‍රියාමාර්ගය සඳහා සටන් කිරීමට, ක්‍රියාකාරී කමිටු වලින් තෝරා පත් කරගත් නියෝජිතයින් මත පදනම්ව, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමට සසප උද්ඝෝෂනය කරයි. ශ්‍රී ලංකාවේ, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීමට, ග්‍රාමීය දුප්පතුන්ගේ සහාය ඇතිව කම්කරු පන්තියේ එවැනි බල මධ්‍යස්ථානයක් ගොඩනැගීම තීරනාත්මක ය.
සසප කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටින්නේ, අපගේ ඉදිරිදර්ශනය හා ක්‍රියාමාර්ගය අධ්‍යයනය කර, සමාජවාදී අනාගතයක් සඳහා සටන් කිරීමට එය හා සම්බන්ධ වන ලෙස යි.