[මෙය Hundreds protest against Sri Lankan president’s visit to Jaffna මැයෙන් 2023 ජනවාරි 16 පල වූ ලිපියේ පරිවර්තනයයි.]
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පසුගිය ඉරිදා තෛපොංගල් ආගමික උත්සවය වෙනුවෙන් යාපනයේ සිදු කල සංචාරය සිය ගනනක් දෙමල ජනයාගේ විරෝධතාවය අවුලුවාලී ය. “අපේ අතුරුදහන් වූවන් ආපසු ලබා දෙනු,” “සියලු දෙමල දේශපාලන සිරකරුවන් නිදහස් කරනු” සහ “හමුදාව විසින් අත්පත් කරගෙන සිටින ඉඩම් ආපසු ලබා දෙනු” ආදි සටන් පාඨ කියමින් පෙලපාලිකරුවෝ හඞ නැගූහ.
ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා දෙමල ප්‍රජාවන් විසින් සමරනු ලබන හින්දු උත්සවය අතරතුර වික්‍රමසිංහගේ සංචාරයේ අර්ථය වූයේ ශ්‍රී ලංකාවේ දෙමල සුලුතරයේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන් පිලිබඳ කනස්සල්ලක් මවා පෑමේ අශිෂ්ට සහ නරුම උත්සාහයකි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පිලිවෙත් මගින් රටේ මූල්‍ය අර්බුදය කම්කරු පන්තිය හා ග්‍රාමීය ජනතාව මත පැටවීම සඳහා දෙමල ප්‍රභූ පක්ෂවල සහයෝගය ලබා ගැනීමේ වික්‍රමසිංහගේ “උත්සුකය” ඔහුගේ අඛන්ඩ ප්‍රයත්නයේ කොටසකි.
'අතුරුදහන් කරනු ලැබූවන්” යනු බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි ව කොලඹ ආන්ඩු ගෙන ගිය වසර 26ක ලේ වැකි යුද්ධයේ දී හමුදාව විසින් පැහැරගෙන යනු ලැබූ හෝ හමුදාවට යටත් වූ දෙමල තරුනයෝ ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, 2009 මැයි මාසයේ දී අවසන් වූ යුද්ධයේ අවසන් මාසවල දී දෙමල සිවිල් වැසියෝ 40,000 ක් පමන හමුදාව විසින් ඝාතනය කරන ලදහ.
වික්‍රමසිංහ ආන්ඩුව විසින් “අතුරුදහන් වූවන්” සඳහා මරන සහතික නිකුත් කෙරෙන බවටත්, ආදරනීයයන් අහිමි වූ සෑම පවුලකටම රුපියල් 100,000 ක (ඇමරිකානු ඩොලර් 270 ක්) වන්දියක් ගෙවනු ලබන බවටත් පසුගිය මාසයේ වික්‍රමසිංහ කල ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දෙමල ජනයා දැඩි ව කෝපයට පත්ව සිටිති.
හමුදාව සහ එහි ඝාතක කල්ලි විසින් ඝාතනය කරන ලද අයට, ඔවුන්ගේ පවුල්වලට සාධාරනයක් ඉටු නොවේ. තවමත් ජීවතුන් අතර සිටින ඕනෑ ම කෙනෙකු පිලිබඳ ව ගතහොත්, එයින් අදහස් කරන්නේ නොදන්නා ස්ථානවල ඔවුන් දිගට ම සිරගත ව වධහිංසාවලට ගොදුරු වෙමින් සිටිති යන්නයි.
යුද්ධය අවසන් වී වසර දහතුනක් ගතවී ඇතත්, දෙමල දේශපාලන සිරකරුවන් දුසිම් ගනනක් තවමත් සිරගතව සිටින බව ප්‍රකට කරුනක් වන අතර උතුරේ අක්කර දහස් ගනනක් තවමත් එම ප්‍රදේශය පාලනය කරන ශ්‍රී ලංකා හමුදාවේ අධිකාරිය යටතේ ඇත.
ඉරිදා පලාලි ගුවන් තොටුපලට ගොඩබට වික්‍රමසිංහ, එහි දී කොලඹ ආන්ඩුවේ ඇමතිවරයෙකු වන ඊලාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (ඊපීඩීපී) නායක ඩග්ලස් දේවානන් ද විසින් පිලිගනු ලැබුනි. විශේෂ කාර්ය බලකාය (එස්ටීඑෆ්) සහ කමාන්ඩෝ භටයන් ඇතුලු පොලිසියේ දැඩි රැකවරනය මධ්‍යයේ ජනාධිපති ශ්‍රී නාග විහාරයේ නායක භික්ෂුව බැහැ දැකීමට ගියේ ය. ඔහු යාපනය රදගුරු ආචාර්ය ජස්ටින් ඥානප්‍රකාසම් හමු වී අනතුරු ව යාපනය නල්ලූර් කෝවිලේ පැවති තෛපොංගල් උත්සවයට පැමිනියේ ය.
“අතුරුදහන් කරනු ලැබූවන්ගේ” පවුල්වල සාමාජිකයන් රාජ්‍ය හමුදාවන්ගේ බාධා කිරීම් නොතකමින්, විරෝධතාවලට සහභාගි වීමට මුලතිව්, කිලිනොච්චි සහ වවුනියාවේ සිට පැමිනියහ. පසුව ඔවුන් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සමඟ එක් වූහ. 400 ක් පමන වූ පිරිස වික්‍රමසිංහ සහභාගි ව සිටි තෛපොංගල් ආගමික උත්සවය පැවැත් වුනු නල්ලූර් කෝවිල දෙසට පාගමනින් පැමිනියහ. පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය පෙලපාලිකරුවන් අවහිර කිරීමට මාර්ග බාධක යෙදූහ. විරෝධතාකරුවන් මෙම මාර්ග බාධක ඉවත් කරමින් දිගටම පාගමනේ යෙදීමට උත්සාහ කල නමුත් පොලිසිය ඔවුන්ට ජල ප්‍රහාර එල්ල කරමින් ප්‍රචණ්ඩ ලෙස පහර දී විසිරුවා හැරියේ ය.
නල්ලූර් කෝවිලේ උත්සවයෙන් පසු වික්‍රමසිංහ යාපනයේ දුර්ගා ශාලාවට පැමින ආන්ඩුවේ ආධාරකරුවන් ඇමතී ය. “13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්නයෙන් ක්‍රියාත්මක කිරීමට” තමන් බලාපොරොත්තු වන බව ඔහු රැස්ව සිටි පිරිසට පැවසීය.
ලබන මාසයේදී, ආන්ඩුව නව “සංහිඳියා” පියවරයන් ප්‍රකාශයට පත් කරන බව පැවසූ ඔහු, “මේ රට එක්සත් කිරීමට සහ සංහිඳියාව ඇති කිරීමට කටයුතු කරන” ලෙස සියලුම පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ට ආයාචනා කල බව කියා සිටියේ ය.
දෙසැම්බර් 13 වැනි දා, වික්‍රමසිංහ දෙමල ජාතික සන්ධානය සහ දෙමල ජනතා ජාතික සංසදය සහභාගී වූ සර්ව පාක්ෂික සමුලුවක් කැඳවූ අතර, එහිදී ඔහු 13 වැනි සංශෝධනය සම්පූර්නයෙන් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ප්‍රකාශ කලේ ය. මෙම සංශෝධනයේ කොටසක් වූ 1987 ජූලි ඉන්දු-ලංකා ගිවිසුම යටතේ එල්ටීටීඊය නිරායුධ කිරීමට සහ කම්කරු පන්තික ප්‍රතිරෝධය මැඬීමට ඉන්දියානු හමුදාවන් උතුරට යවනු ලැබුනි.
13 වැනි සංශෝධනය පීඩිත දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ දේශපාලන අයිතීන් ආරක්ෂා කිරීම සමඟ කිසිදු සම්බන්ධයක් නොතිබුනි. එමගින් ඒකාබද්ධ කල උතුරු සහ නැගෙනහිර පලාත්වල දෙමල ප්‍රභූ පැලැන්තියට යම් යම් බලතල ලබා දීමට නියමිත විය. ඒකාබද්ධ වූ පලාත් සභාවලට පොලිස් සහ ඉඩම් බලතල ලබා දෙමින් එම සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස දෙමල පක්ෂ අවධාරනය කරයි.
සිංහල වර්ගවාදී දේශපාලනය මත පදනම් වූ අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු, මෙම බලතල ලබාදීමට සතුරු විය. 2007 දී, සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් කරන ලද ඉල්ලීමක් මත ක්‍රියාත්මක වූ ශ්‍රේෂ්ඨාධිකරනය, ඒකාබද්ධ උතුරු නැගෙනහිර පලාත් සභාව නීති විරෝධී බවට තීන්දු කර ඒවා නැවත වෙන් කලේ ය.
වික‍්‍රමසිංහ මෙම ප‍්‍රශ්නය යලිත් වරක් අරඹන්නේ ඔහුගේ කප්පාදු පිලිවෙත්වලට පුලුල්ව පැතිරුනු විරුද්ධත්වය මධ්‍යයේ දේශපාලනිකව දුබල වී ඇති ආන්ඩුවට මුක්කු ගැසීමට දෙමල ධනේශ්වරයේ සහ වරප‍්‍රසාදිත ඉහල මධ්‍යම පන්තියේ කොටසක් සමග ගනුදෙනුවකට එලඹීම සඳහා ය.
“අපි සියලු දෙනාටම එකම රටක ජීවත් විය යුතු බැවින්, අප නැවත ශ්‍රී ලාංකීය අනන්‍යතාවයට ගොස් වසර 75 කට පෙර දිවංගත ඩී.එස්. සේනානායක මහතා [ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති සහ එක්සත් ජාතික පක්ෂ (එජාප) නායකයා] නිර්මානය කල ආර්ථිකය ගොඩනැගිය යුතුය,” යනුවෙන් වික්‍රමසිංහ දුර්ගා ශාලාවේ ප්‍රේක්ෂකයන්ට පැවසීය. ඔහු තවදුරටත් පැවසුවේ “තිස් වසරක යුද්ධය සහ කැරැල්ල” අපව “භේදකාරී, ජාතිවාදී, නිකායවාදී හා බංකොලොත් දේශපාලනයෙන් බෙදනු ලැබ” තිබෙන බවයි.
වික්‍රමසිංහ ඉතිහාසය උඩු යටිකුරු කර ඇත. සේනානායකගේ ප්‍රථම ආන්ඩුව 1948 දී දෙමල කතා කරන වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතීන් අහෝසි කල අතර කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීමට කුරිරු වාර්ගික වෙනස්කම් කිරීම් ආරම්භ කලේය. මෙම වාර්ගික ප‍්‍රකෝපකරනයන් 1983 දී එවක එජාප පාලනය යටතේ එල්ටීටීඊයට එරෙහි යුද්ධය සමග කූටප්‍රාප්ත විය. එම එජාප ආන්ඩුවේ ඇමතිවරයෙකු වූ වික‍්‍රමසිංහ ශ‍්‍රී ලාංකික දෙමල ජනයාට එරෙහි ව මුදා හරින ලද ලේවැකි සාහසික ක‍්‍රියාවන්හි සෘජු වගකීමට හවුල්ය.
පසුගිය ඉරිදා ජනාධිපති වික්‍රමසිංහට එරෙහි විරෝධතාව හුදකලා සිදුවීමක් නොවේ. එය දිවයින පුරා කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවිත විනාශ කර ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කිරීමට සහ ආර්ථික අර්බුදයේ බලපෑමට එරෙහිව රටපුරා ඇති ගැඹුරු විරෝධයේ ප්‍රකාශනයකි.
පසුගිය අප්‍රේල් සහ ජූලි අතර එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා ගොස් ඉල්ලා අස්වීමට බලකරමින් මිලියන සංඛ්‍යාත ජනතාවක් ආන්ඩුවට එරෙහිව නැඟී සිටි විට වාර්ගික හා ආගමික රේඛාවන් ඉක්මවා කම්කරු පන්තියේ සහ දුප්පතුන්ගේ එකමුතුව බලවත් ලෙස දක්නට ලැබිනි.
උතුරු නැගෙනහිර අතුරුදහන් කරනු ලැබූවන්ගේ ඥාතීන්ගේ සංවිධානය සහ යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද පසුගිය ඉරිදා විරෝධතාව දෙමල ජාතිකවාදය මත පදනම් විය. කොලඹ ආන්ඩුවට කෙරෙන ආයාචනවල අරමුන වන්නේ, යුධ අපරාධ පිලිබඳ සැබෑ කෝපය සහ දෙමල මහජනතාවට එරෙහි ව පවතින රජයේ වෙනස් කොට සැලකීම අපසරනය කරමින් දෙමල ප‍්‍රභූව සඳහා වඩා හොඳ ගනුදෙනුවක් තහවුරු කර ගැනීමට මග පෑදීමයි.
එපමනක් නොව, දෙමල දේශපාලන පක්ෂ, දෙමල ප‍්‍රභූව සඳහා බලය බෙදාගැනීමේ ගනුදෙනුවක් ලබා ගැනීමට සහය වන ලෙස එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට සහ ඉන්දියාවට ආයාචනා කරයි. එල්ටීටීඊයට එරෙහි කොලඹ ආන්ඩුවේ වාර්ගික යුද්ධයට මුලුමනින්ම සහය දුන් වොෂින්ටනයට සහ නව දිල්ලියට දෙමල ජනයාගේ හෝ ලෝකයේ වෙනත් තැන්වල පීඩිත සුලුතරයන්ගේ අයිතීන් ගැන සැබෑ උනන්දුවක් නැත. ඔවුන්ගේ “උනන්දුව” වන්නේ චීනයට එරෙහි තමන්ගේ යුද සූදානමේ දී ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය මූලෝපායික මිලිටරි මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන යාම සහ පුලුල් කිරීම සඳහා වග බලා ගැනීම වේ.
ශ්‍රී ලංකාවේ දෙමල සහ අනෙකුත් වාර්ගික හා ආගමික වෙනස්කම් කිරීම් අවසන් කිරීම ජයග්‍රහනය කල හැක්කේ කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයකින් සහ ශ්‍රී ලංකා සහ ඊලම් එක්සත් සමාජවාදී ජනරජයක් පිහිටුවීම සඳහා ග්‍රාමීය දුගීන් - සිංහල, දෙමල සහ මුස්ලිම් යන - භේදයකින් තොරව දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා කෙරෙන පුලුල් අරගලයේ කොටසක් ලෙස පෙල ගැස්වීම තුලින් පමනි. සමාජවාදී සමානතා පක්ෂය සටන් වදින ඉදිරිදර්ශනය මෙයයි.