ලංකාදීප කතුවැකිය දුම්රිය කම්කරුවන්ට බුරා පනී

ජනවාරි 12දා මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථානාධිපතිවරු එක් දින සංකේත වර්ජනයක නිරත වූ හ. කොවිඩ් 19 වසංගතය හේතුකොටගෙන වසර දෙකකට ආසන්න කාලයක් නතරකර තිබෙන දුරධාවන දුම්රිය සේවාවන් යලි ආරම්භ කිරීම, දුම්රිය කාර්ය මන්ඩලය නිසිලෙස පරිපාලනය කිරීම, සාමාන්‍ය දුම්රිය කාල සටහන ක්‍රියාත්මක කිරීම ඇතුලු ඉල්ලීම් ස්ථානාධිපතිවරු ඉදිරිපත් කල හ. මේවායින් බොහොමයක් ඉල්ලීම් වසර ගනනාවක් තිස්සේ නො විසඳුනු ගැටලු වන අතර, ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු ඒවා විසඳීමට ක්‍රියාත්මක නො වී සිටින්නේ දැනුවත් ව ම ය.

දුම්රිය කම්කරුවන් කොටසකගේ මෙම වැඩ වර්ජනය, ජාත්‍යන්තර ව පුනර්ජීවනය වී ඇති කම්කරු පන්තික අරගලවලට සමගාමීව ඉස්මතු වෙමින් පවතින ලංකාවේ පන්ති අරගල රැල්ලේ කොටසකි. කම්කරු පන්තියේ අන් සෑම වර්ජනයක දී හා අරගලයක දී මෙන් ම මෙම අරගලය සමයේ ද ධනපති මාධ්‍ය ක්‍රියාත්මක වූයේ ආන්ඩුව කම්කරුවන්ට එරෙහි ව කල තර්ජනයන්ට අත්වැල් අල්ලමින් ඔවුන්ට එරෙහි ව බුරා පනිමිනි.

දිනපතා ලංකාදීප පත්‍රය ජනවාරි 15සෙනසුරාදා පලකල කතුවැකිය මෙහි දී කැපී පෙනේ. “ත්‍රස්ත පන්නයේ වැඩ වර්ජනයක්” යන හිසින් යුත් එය, දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනය දියත් කල ආකාරය, උතුරේ හා නැගෙනහිරේ දෙමල සුලුතරයට එරෙහි ව ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩුව 1983 පටන් වසර 30කට ආසන්න කාලයක් තිස්සේ ගෙන ගිය වර්ගවාදී යුද්ධය සමයේ, දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය කල වැඩ කටයුතුවලට සමාන කරයි.

කතුවැකිය මෙසේ පවසයි: 'මිනිසුන් ගල ග්‍රහනයෙන් ගෙන තම අයිතිවාසිකම් දිනා ගැනීම සමාන කල හැක්කේ ප්‍රභාකරන් මාදිලියටය. ප්‍රභාකරන් තිස් වසරක් පුරා ආයුධ සන්නද්ධ අරගලයක් මෙහෙය වූයේ උතුරේ හා නැගෙනහිර සාමයට ලැදි ජනයා පලිහක්ව තබා ගෙනය.........ඇතැම් වෘත්තීය සමිති ද තම ඉල්ලීම් ඉටුකර ගැනීමට ප්‍රභාකරන් මාදිලියම යොදා ගන්නා සෙයකි. '

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය, ඒ හා සමාන ප්‍රහාරයන්ට මුහුන දී සිටින සෙසු දුම්රිය කම්කරුවන්ගේ හා අවශේෂ කම්කරු පන්තියේ ආකර්ශනය දිනාගනු ඇතැයි බිය වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවේ ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුනුගම, “දුම්රිය ධාවනයට බාධා කරන්නන්ට සලකනු ඇත්තේ ත්‍රස්තවාදීන්ට සලකන ආකාරයට” බව මාධ්‍ය වෙත කීවේ ලංකාදීප කතුවැකියට දින දෙක තුනකට පෙර ය.

කම්කරුවන්ගේ ඉල්ලීම් නො දෙනවා පමනක් නො ව, රාජපක්ෂ ආන්ඩුව, එය මුහුන දෙන සමස්ත ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පැටවීමට ද ක්‍රියා කරයි. කම්කරුවන් අරගලවලට තල්ලු කරනු ලබන්නේ ආන්ඩුවේ මෙම ප්‍රහාරයන් විසිනි. එබැවින් මෙම අර්බුදවලට ඍජු දේශපාලනික වගකීම දරන්නේ රාජපක්ෂ ආන්ඩුව ප්‍රමුඛ ධනපති පාලක ප්‍රභූව යි.

ලංකාදීප කතුවැකිය දුම්රිය ස්ථානාධිපතිවරුන් ත්‍රස්තවාදින්ට සමාන කරමින්, වැඩ වර්ජනයේ බලපෑමට ලක් වූ ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුලු හෙලයි. මීට මාස කිහිපයකට පෙර පුපුරා ගිය ලංකාවේ මෑතකාලීන දීර්ඝතම ගුරු අරගලයට එරෙහි ව කඩාපැනීමේ දී ද ආන්ඩුව ගුරුවරුන් ත්‍රස්තවාදීන්ට සමාන කලේ ය. මේ අනුව කම්කරු පන්තියේ අරගල පුපුරා යන සෑම අවස්ථාවක දී ම වර්ජන හෝ විරෝධතාවන්හි නිරත වන කම්කරුවන්ට විරුද්ධ ව මහජනයා- මෙයින් බහුතරයක් ද කම්කරුවන් ය- උසිගැන්වීමට යත්න දරන ධනපති මාධ්‍ය ප්‍රකෝපකරනයන් අවුලුවති. ලංකාදීප පත්‍රය මෙවර කතුවැකිය තුල යෙදි සිටින්නේ ද එවන් ප්‍රකෝපකරනයක ය.

කම්කරුවන් මෙය අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතු ය. ආන්ඩුවේ හා ධනපති මාධ්‍ය බිස්සේ ප්‍රකෝපකරනයන්ට විරුද්ධ ව, කම්කරු පන්තිය දුම්රිය කම්කරුවන් ඇතුලු සියලු කම්කරු අරගලවලට සිය පන්ති සහෝදරත්වය පුද කරමින් එම අරගල රාජපක්ෂ ආන්ඩුව ඇතුලු සමස්ත ධනපති පන්ති පාලනයට එරෙහි දේශපාලන අරගලයක් බවට වර්ධනයට කිරීමට තම එකමුතුව ගොඩනගා ගත යුතු ය.

දුම්රියේ ගමන් කරන මහජනයා යනු අහසෙන් පාත්වූ කොටසක් නො වේ. දෛනික ව දුම්රියෙන් ගමන් කරන මගීන්ගෙන් බහුතරයක් දුර බැහැර ප්‍රදේශවල සිට නගර බලා රැකියාවලට පැමිනෙන කම්කරුවන් ය. දුර ගමන්වල යෙදෙන්නන්ගෙන් බහුතරය ද කම්කරුවන් ය. අනුප්‍රාප්තික ආන්ඩුවල කප්පාදු වලින් බැටකන සමස්ත කම්කරු පන්තියේ කොටසක් වන දුම්රිය කම්කරුවන් එම කප්පාදු වලට එරෙහිව කරන අරගල ආරක්ෂා කිරීමේ වගකීමක් දුම්රියවල ගමන් ගන්නා මගී කම්කරුවන්ට ද තිබේ.

ලංකාදීප කතුවැකිය මෙසේ ද සඳහන් කරයි: “වැඩ වර්ජන යනු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල අවසන් අදියර වේ. පලමුව තම ඉල්ලීම් බලධාරීන්ට ඉදිරිපත් කල යුතු ය. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කල යුතු ය. සාකච්ඡා ඵල නොදරන්නේ නම් වැඩ වර්ජනයට යන බව නිවේදනය කල යුතු ය. එවිට බලධාරීන්ට මෙන්ම ජනතාවට ද එයට සූදානම් විය හැකි ය.”

එහෙත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ දුම්රිය ස්ථානාධිපති සංගමයේ නිලධරය පවා පෙර වැඩ වර්ජනය සමයේ ප්‍රකාශ කලේ ඔවුන් නිරත වන සාකච්ඡා අසාර්ථක වන බවකි.

අනෙක් අතට, මෙවන් යෝජනාවන්හි අරමුන වනුයේ, කම්කරුවන් අරගලවලට පිවිසීම පිටුපස තිබෙන ප්‍රධාන සාධකය වන රාජ්‍ය වියදම් කප්පාදුව ඇතුලු අනෙකුත් ප්‍රහාරයන්ගේ මූලය, වසංගතයෙන් උග්‍ර කෙරුනු ලෝක ධනපති ක්‍රමයේ අර්බුදය බව වසන් කිරීම යි. ලංකාදීප යෝජනා කරන වර්ගයේ “සාකච්ඡා” මෙලොව තිබෙන දෙයක් නො වන බව කම්කරුවෝ අත්දැකීමෙන් දනිති.

දුම්රිය සේවය සැලකීමේ දී එය මුල පටන් ම මහජන සේවාවක් ලෙස පැවතුන අතර, දුම්රියෙන් ගමන් ගන්නා අතිමහත් බහුතරය ද කම්කරුවන් ය. දැන් රාජපක්ෂ ආන්ඩුව යටතේ තීව්‍ර කරමින් තිබෙන පුද්ගලීකරන සැලසුම්වල කොටසක් ලෙස, අධ්‍යාපනය, සෞඛ්‍යය, දුම්රිය හා තැපෑල ආදී සියලු අංශවලට කරන අරමුදල් වෙන් කිරීම් අනුප්‍රාප්තික ආන්ඩු විසින් කපා දමා ඇත. එලෙසින් ම, ඒවායේ පුරප්පාඩු පිරවීම වසර ගනනක් තිස්සේ නතර කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සැලකීමේ දී, එහි සේවාවන් පවත්නා මට්ටමෙන් පවත්වාගෙන යාමට පවා 20,000ට අධික පිරිසක් අවශ්‍ය වුව ද දැනට සේවය කරන්නේ 13,000ක් පමන පිරිසකි.

“රාජ්‍ය අංශය රටේ ආර්ථිකයට බරක්” යැයි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, නොවැම්බර් මාසයේ අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රසිද්ධියේ මාධ්‍යය පැවසීය. රාජ්‍ය අංශයට කිසිදු අලුත් පත්වීමක් මේ වසර තුල සිදු නො කරන ලෙස ද ඔහු සියලු අමාත්‍යාංශවලට උපදෙස් දී තිබේ. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ, සේවයේ යෙදෙමින් සිටින කම්කරුවන් බරපතල ලෙස සූරාකෑමට බඳුන් වීම යි.

ධනපති මාධ්‍ය මහජනතාව වෙනුවෙන් කිඹුල් කඳුලු සලන්නේ ඔවුන් කෙරෙහි කිසිදු කැක්කුමකින් නො වේ. උදාහරනයක් ලෙස, සමස්ත ලෝකය ම මුහුන පාන ප්‍රමුඛ පෙලේ ගැටලුව වන කොවිඩ්-19 වසංගතයට මුහුන දීමේ දී, ලංකාව තුල එය ආරම්භයේ පටන් ම රාජපක්ෂ ආන්ඩුව, මහධනපතියන්ගේ ලාභ රැකදෙනුවස්, වසංගත විශේෂඥයන්ගේ මහජන සෞඛ්‍ය ආරක්ෂන නිර්දේශ ප්‍රතික්ෂේප කරමින් දැක්වූ සාපරාධී ප්‍රතිචාරය ගැන හෝ එම ප්‍රතිචාරය හේතුවෙන් ලක්ෂ ගනනක් ආසාදනය වී දසදහස් ගනනක් මිය යාම ගැන මෙම මාධ්‍ය වචනයක් වත් කතා නො කරති. ආන්ඩුව මෙන් ම ධනපති මාධ්‍ය ද භීතියට පත් වී සිටින්නේ, වැඩෙන කම්කරු අරගල සමස්ත ධනපති ක්‍රමයට ම අභියෝග කරනු ඇතැයි යන්න කෙරෙහි ය.

අනෙක් අතට, දුම්රිය කම්කරුවන් ඇතුලු කම්කරුවන්ගේ අරගල ධනපති ආන්ඩුවලට සහ ධනපති ක්‍රමයට අභියෝග කරන කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන අරගලයක් දෙසට වර්ධනයවීම වලකා සිටින වෘත්තීය සමිතිවල ද්‍රෝහී වැඩකටයුතු, ආන්ඩුව මෙන් ම ධනපති මාධ්‍ය යහමින් ප්‍රයෝජනයට ගනී. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංකේත වැඩ වර්ජනය පැවතීගෙන යන අතරතුර, රාජපක්ෂ ආන්ඩුවේ 'විවේචකයෙක්' ලෙස පෙනී සිටින සිරස රූපවාහිනිය, දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න 'දවස' නමැති වැඩසටහනට කැඳවි ය. එහි දී එම සාකච්ඡාව මෙහෙයවූ රොෂාන් වටවල, “ඔබලාගේ ක්‍රියාමාර්ග නිසා අසරන වන්නේ ජනතාව, ඒ නිසා ඔබලා දඬුවම් විඳිය යුතු” යැයි පැවසූ විට, එම ප්‍රකෝපකාරී ප්‍රකාශය ඉදිරියේ සෝමරත්න බකන් නිලාගෙන සිටියේ ය.

මෙය හුදු නායකත්වයේ දෝෂයක් නිසා සිදුවන්නක් නො වේ. දැනට දශක ගනනකට පෙර ම, ධනපතීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කම්කරුවන් මත පිඩනය යොදන කාර්මික පොලීසියක් බවට වෘත්තීය සමිති පරිවර්තනය වී ඇත. වර්ගවාදී, ශ්‍රේනිවාදී සහ ක්ෂේත්‍රවාදී භේද කපාගෙන සමස්ත කම්කරු පන්තිය එකමුතු කිරීමට විරුද්ධ වන වෘත්තීය සමිති කම්කරු අරගල පවා සංවිධානය කරන්නේ, ශ්‍රේනි භේද හා ක්ෂේත්‍ර භේද අවුලුවන ආකාරයට ය. ධනපති මාධ්‍යයන්ට උඩ පැන පැන කම්කරුවන්ට තැලීමට හැකියාව ලබා දීමේ දී මෙම වෘත්තීය සමිති භේදකරනයන් ඉටු කරන්නේ සුලුපටු සේවයක් නො වේ.

කම්කරුවන්ට තම රැකියා, සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ආන්ඩුව එල්ල කරන ප්‍රහාර පරාජය කල හැකි වන්නේ, ධනපති ආන්ඩුවලට, ධනපති මාධ්‍ය බිස්සට සහ වෘත්තීය සමිති වලට එරෙහි ව තමන්ගේ ම ස්වාධීන දේශපාලන අරගලයක් සංවිධානය කිරීමෙන් පමනි.

Loading