උතුරේ රාජ්‍ය අනුග්‍රහය යටතේ මූදු කූඩලු ගොවිපල ඉදිකිරීමෙන් පීඩිත ධීවරයන්ට බලපෑම්

[මෙය 2021 නොවැම්බර් 18 වැනි දින இலங்கையின் வடக்கில் அரச அனுசரணையுடன் அமைக்கப்பட்டுவரும் கடல் அட்டை பண்ணைகளால் ஒடுக்கப்பட்ட மீனவர்கள் பாதிக்கப்படுகின்றனர் යන මැයෙන් පල වූ ලිපියේ පරිවර්තනයයි.]

යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල, ශ්‍රී ලංකාවේ ආන්ඩුවේ අනුග්‍රහය ඇති ව අපනයනය කිරීම ඉලක්ක කර ගෙන මුහුදු කූඩැල්ලන් වගා කරන ගොවිපල ඉදි කෙරෙමින් පවතී. මෙම ගොවිපල වෙරලට ආසන්න ගැඹුර අඩු ගල්පර ආශ්‍රිත ප්‍රදේශවල පිහිටා ඇත. මේ වෙනුවෙන් අක්කර ගනනාවක පැතිර ඇති මුහුදු ප්‍රදේශ පෞද්ගලික අයිතියට පවරා දීම නිසා, මෙම මුහුදු ප්‍රදේශ ආශ්‍රිත ව මේ දක්වා ධීවර කර්මාන්තය ආශ්‍රිත සුලු රැකියාවලින් යැපුනු සිය ගනනක් ධීවරයන්ට තම ජීවනෝපායන් අහිමි වෙමින් තිබේ.

යාපනය දිස්ත්‍රික්කයේ අරියාලෛ, අල්ලප්පිට්ටි සහ පුංගුඩුතීවු ප්‍රදේශවලත් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනගරි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් කිරාංජි, වැලෛප්පාඩු, වේරවිල්, පල්ලික්කුඩා, නාච්චික්කුඩා, ඉරනතීවු වැනි ප්‍රදේශවලත් අධික ලාභයක් ලැබිය හැකි මෙම ගොවිපල ඉදිකරනු ලැබ ඇත.

මෙම ගොවිපල ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ (NARA) මගපෙන්වීම යටතේ ගොඩනගනු ලැබේ. මෙම ගොවිපල සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු 2016 සිට කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පටන් ගෙන මන්නාරම දිස්ත්‍රික්කයේත් වසර කීපයකට පෙර යාපනය දිස්ත්‍රික්කයේත් ආරම්භ කොට දැන් පුලුල් ලෙස ඉදි කෙරෙමින් පවතී.

කෞදාරිමුනෛහි ඉදි කර ඇති මූදු කූඩැල්ලන් ගොවිපලවලින් එකක් [ලෝසවෙඅ]

මෙම ගොවිපල ඉදිකිරීමට රුපියල් ලක්ෂ ගනනින් මුදල් ආයෝජනය කරන්නට සිදු වන බැවින් සාමාන්‍ය ධීවරයන්ට මෙයට වියදම් කල නොහැකිය. සමාගම් ගනනාවක් සහ දේශීය ව්‍යාපාරිකයන් මෙම ගොවිපල සඳහා ආයෝජනය කර ඇත.

ආරංචි වන ආකාරයට, මේ වන විට 250කට ආසන්න ගොවිපල කිලිනොච්චි දිස්ත්‍රික්කය තුලත් ගොවිපල 50ක් යාපනයේත් පිහිටා ඇත.

එම ප්‍රදේශවල ඉස්සන් සහ කකුලුවන් ඇල්ලීමට කූඩු සහ කොටු තැබූ ධීවරයනුත් විසිදැල් ධීවරයනුත් රැකියා කල ස්ථාන මෙම ගොවිපල ප්‍රදේශවලට අත්පත් කර ගෙන ඇති නිසා සිය ගනනක් ධීවර පවුල්වලට රැකියා අහිමි වී දරිද්‍රතාවයට ඇද වැටී ඇත.

එසේ තිබියදීත් මෞන ව්‍රතය රකිමින් සිටි දෙමල ජාතිකවාදී ධනේෂ්වර පක්ෂ පසුගිය මාස කීපයකට පෙර සිට පූනගරි කෞදාරිමුනෙහිත් අරියාල ප්‍රදේශයේත් මූදු කූඩැල්ලන් ගොවිපල චීන ජාතිකයන් විසින් ආරම්භ කිරීමට යන බව දැන ගත් පසු පමනක් චීන විරෝධී උද්ඝෝෂනයක නිරත වී ගැනීමටත් ඉන්දියානු පාලක පන්තියට තම පක්ෂපාතීත්වය ප්‍රදර්ශනය කිරීමටත් විරෝධය දැක්වීමට පටන් ගත්හ.

දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීදරන් “දකුනේ පය ගසා ඇති චීනය දැන් තම ක්‍රියාකාරකම් උතුරු පලාතට ද විස්තාරනය කරමින් සිටී. කෞදාරිමුනේ ධීවරයන් මූදුකූඩැල්ලන් වගා කිරීමට සිදු කල ඉල්ලීම් ප්‍රතික්ෂේප කර දැන් චීන සමාගමකට ඒ සඳහා අනුමැතිය ලබා දී ඇත. මෙය චීනයට අපනයනය කරන සමාගමකි. කෙසේ නමුත් මෙය උතුරු පලාතේ ධීවරයන්ට පමනක් නොව ඉන්දියාවට ද බලපෑමක් ඇති කරන කාරනාවකි. ඉන්දියාව සමග බලෙන් ගැටුමක් ඇද ගන්නට යාමක් වශයෙන් මෙය හඳුන්වා දිය හැකියි” යැයි පැවසී ය.

දෙමල ධනපතියන්ගේ පන්ති ස්වභාවය විදහා දක්වමින් ඔහු මෙම ව්‍යාපෘතියෙන් පීඩාවට පත් වන දේශීය දුගී ධීවරයන්ගේ ජීවනෝපාය ගැන එක් වචනයක් හෝ කතා කලේ නැත.

චීන විරෝධී සහ දෙමල වර්ගවාදී උද්ඝෝෂනය අවුලුවා ලීමෙන් දේශී්‍ය දෙමල ධනපතියන් ද යම් තරමකට ප්‍රාග්ධනය යෙදිය හැකි ධීවරයන් ද දිරිගැන්වීමට රාජ්‍ය නිලධාරීහු සහ දෙමල පක්ෂ උත්සහ ගනිති. “ඔබ මුහුදු කූඩලු ගොවිපල වෙනුවෙන් ආයෝජනය කිරීමට ඉදිරිපත් නොවන්නේ නම් චීනුන් නැති නම් දකුනේ අය (සිංහලුන්) එම අවස්ථා ලබා ගනු ඇත. එනිසා ඔබ ඉදිරිපත් වී මේ අවස්ථා ලබා ගන්න.” යැයි ඔවුහු පවසති. “ මෙබඳු ගොවිපල ඉදිකිරීමට මෙම ප්‍රදේශයේ ආයෝජකයෝ ඉදිරිපත් විය යුතු ය” යැයි ජූලි 4 වැනි දා යාපනය වෙලඳ සංසදය ප්‍රසිද්ධ ආරාධනයක් කලේ ය. මෙ බඳු දිරිගැන්වීම්වලට අසු වූ බොහෝ ධීවරයෝ අතේ තිබූ මුදල් නැති නම් නය වී මුදල් ගෙන ආයෝජනය කර පාඩුවලට මුහුන දී සිටිති.

උතුරු පලාතේ දීර්ඝ කාලයක් තිස්සේ ධීවරයෝ කූඩැල්ලන් ඇල්ලීමේ රැකියාවේ නිරත ව සිට ඇත. යුද්ධය අවසන් වී වසර කීපයකට පසු ව එම රැකියාවේ නිරත වූවන් ධීවර දෙපාර්මේන්තුවේ අවසර ලබා ගත යුතු බවට නීතියක් පනවනු ලැබුනි.

දැන්, අවසර ලබා ගෙන කූඩැල්ලන් එකතු කරන ධීවරයන් සූරා කන කූඩැල්ලන් ගොවිපල හිමි ධනපතියෝ යාපනයේ දී කුඩා කූඩැල්ලෙකු රුපියල් සියයකටත් කිලිනොච්චියේ දී රුපියල් 40කටත් බැගින් මිල දී ගනිති.

නිසි කිමිදුම් උපකරන නොමැති ව ජීවිතය පරදුවට තබා ධීවරයෝ මූදු කූඩැල්ලන් අල්ලති. ඇතැම් අයට කිමිදීමට අවශ්‍ය ඔක්සිජන් ටැංකි පවා නොමැත. බොහෝ අයට තමන්ගේ ම බෝට්ටුවක් නොමැති නිසා බෝට්ටු හිමිකරුවෙකු යටතේ රැකියාවේ නිරත වෙති. බෝට්ටු හිමිකරුවෝත් තැරැව්කරුවෝත් අල්ලා ගන්නා කූඩැල්ලන් නියමිත මිලෙන් අඩක් ගෙවා මිල දී ගනිති.

වැඩුනු මූදු කූඩැල්ලෙක් ප්‍රමානය අනුව රුපියල් 1000 සිට 1500 දක්වා මිලකට මිල දී ගනු ලැබේ. කූඩැල්ලන් ග්‍රෑම් 400 සිට කිලෝ ග්‍රෑම් 2.5 දක්වා බර ප්‍රමානවලින් සිටිති. එසේ නමුත් අපනයනයේ දී නැගෙනහිර ආසියාතික රටවල දී පෝෂනීය ආහාරයක් වශයෙන් වෙලඳපොලට පැමිනීමේ දී සකස් කරන ලද මූදු කූඩැල්ලන් කිලෝවක් ආසන්න වශයෙන් ඩොලර් 3 000කට පමන අලෙවි වනු ලැබේ. දැනට ඩොලරයක් ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 200කි.

එක් පැත්තකින් මූදු කූඩලු ගොවිපල දිරිගන්වද්දී ඒ ගමන් ම අනික් අතට උතුරු නැගෙනහිර ධීවරයෝ, අනේක අවස්ථාවල දී කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දුගී ධීවරයෝ මිලිටරියේ මර්දනකාරී තර්ජනවලටත්, නීතිමය ක්‍රියාමාර්ග වැනි ආන්ඩුවේ මර්දන පියවරවලටත් දිගින් දිගට ම ලක් වෙමින් සිටිති.

බෙදුම්වාදී දෙමල විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය නිමාවට පත් ව වසර 12ක් ගත ව ඇතත් උතුරු නැගෙනහිර හමුදා වාඩි ලා ගැනීම තව තවත් තර කරනු ලැබ ඇත. මෙහි කොටසක් වශයෙන් “ජාතික ආරක්ෂාව” සහ “මත්ද්‍රව්‍ය ජාවාරම නතර කිරීම” වැනි ව්‍යාජ සන්දර්භයන් තුල නාවික හමුදාව මුර සංචාරයන්හි යෙදෙයි.

ධීවර අමාත්‍යාංශය 2019 මාර්තු සිට මූදු කූඩැල්ලන් ඇල්ලීම තහනම් කර බලපත්‍රයක් ඇති අයට පමනක් කූඩැල්ලන් ඇල්ලීමට අවසර ලබා දී ඇති අතර සාගර සම්පත් සංරක්ෂනය කිරීමේ නාමයෙන් මසුන් ඇල්ලීමේ ඇතැම් ක්‍රම තහනම් කර ඇත. මේවා ව්‍යාජ හේතූන් බවට පත් කර ගෙන ධීවරයන් වටලා අත්තඩංගුවට ගැනීම, මුහුද මැද දී පහර දීම් සහ ඔවුන්ගේ අස්වැන්නත් උපකරනත් පැහැර ගැනීම දිගින් දිගට ම සිදු වෙයි. සාමාන්‍ය විදුලි පන්දමක් යාත්‍රාවේ තබා ගෙන සිටිය ද එය හේතු කොට ගෙන ධීවරයන්ට පීඩා සිදු කරනු ලැබේ.

අත්තඩංගුවට ගනු ලබන ධීවරයෝ ධීවර පරීක්ෂකයන් වෙත භාර දෙනු ලැබ අධිකරනයට පමුනුවා විශාල දඩ මුදලවලට යටත් කරනු ලැබෙති. බොහෝ ධීවරයෝ එක ම විදියේ නඩු ගනනාවකට මුහුන දී සිටිති. එ මෙන් ම ඔවුහු තම මාසික ආදායමට සමාන වන ආසන්න වශයෙන් රුපියල් 25 000ක් දක්වා වන දඩ මුදල්වලට යටත් කරනු ලැබෙති.

වසංගතයෙන් ගැඹුරු වී ඇති ආර්ථික අර්බුදයකට මුහුන දී ඇති ලංකාවේ ආන්ඩුව පෞද්ගලීකරනය වේගවත් කිරීමේත් අපනයන දිරිගැන්වීමේත් කොටසක් ලෙස දෙමල ධනපති පක්ෂවල සහයෝගය ඇති ව මූදු කූඩැල්ලන් ගොවිපල දිරිගන්වමින් සිටිති. ප්‍රාග්ධනය ප්‍රසාරනය වෙමින් කෘෂිකර්මාන්තය තුල සුලු ගොවීන් වනසනවා සේ ම ධීවර කර්මාන්තය තුල ද එම ක්‍රියාවලිය සිදු වෙයි. මහ ව්‍යාපාර කෘෂිකර්මාන්ත ආක්‍රමනය කිරීමට එරෙහි ව ඉන්දියාවේ ගොවියෝ අරගලවල නිරත ව සිටිති.

මේ තත්ත්වය තුල ගොවීන්ට මෙන් ම ධීවරයන්ටද ස්වයං රැකියාවල නිරතවන්නන්ට ද මහා ව්‍යාපාරවල කම්කරුවන් බවට පත් වීමට බල කෙරී ඇත. ධීවරයන් තමන් මුහුන දෙන අර්බුදයෙන් ගොඩ ඒමට නම් තමන් මෙන් ම දරිද්‍රතාවයෙනුත් අධික වැඩවලිනුත් වැටුප් කැපීම්වලටත් මුහුන දී සිටින කම්කරු පන්තිය පිටුපස පෙලගැසීම අවශ්‍ය වෙයි. ඒ මගින් පමනක් සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත සියලු නිශ්පාදන මාධ්‍ය කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රීය පාලනය යටතට ගෙන සියලු වැඩ කරන ජනතාවගේ ජීවන අවස්ථාවන් ආරක්ෂා කර ගත හැකි ය.

Loading