ජල ගැලීම් හා නායයෑම්වලින් පුද්ගලයන් 25 මරනයට පත් වී දහස් ගනනක් අවතැන් වෙති

ලංකාවට මේ වන විට ඇදහැලෙමින් පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වී තිබෙන ගංවතුර හා නායයෑම් වලින් පුද්ගලයන් 25 ක් මරනයට පත්ව තවත් දහස් ගනනක් ජනයා ආපදාවට ලක්ව සිටිති.

දිස්ත්‍රික්ක 17කට අයත්, පවුල් 17,487 ක පුද්ගලයන් 62, 247 ක් පීඩාවට පත්ව සිටන බව අද උදෑසන පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී ආපදා කලමනාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සුදන්ත රනසිංහ ප්‍රකාශ කලේ ය. ඔහුට අනුව, ආපදාවට ලක්ව සිටින පවුල් 384 ක පුද්ගලයන් 1,498 ක් “ආරක්ෂිත ස්ථාන“ 23 ක රඳවා ඇත. පවතින කොවිඩ් අවදානම හේතුවෙන් තවත් 1,020 ක පුද්ගලයන් 3,537 ක් ඥාති නිවෙස්වල හෝ හිතවතුන්ගේ නිවෙස්වල රඳවා සිටින බව ද ඔහු කියා සිටියේ ය.

පසුගිය සතිය පුරා බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇතිව තිබූ කැලඹිලි සහගත වායුගෝලීය තත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් තිබෙන බවත් ඒ හේතුවෙන් ඇද හැලෙන වර්ෂාපතනය තවත් දින දෙකක් පමන පවතිනු ඇතැයි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිනිකොන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වන එම අවපාතය ලංකාවේ උතුරු ප්‍රදේශවලට බලපෑම් ඉල්ල කරමින් ඉන්දියාවට දෙසට වර්ධනය වන බව දෙපාර්තමේන්තුවේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මිලි මීටර් 204 ක් වූ ඊයේ දිනයේ ඇද හැලුනු වැඩිම වර්ෂාපතනය යාපනයේ පේදුරු තුඩුව ප්‍රදේශයෙන් වාර්තා විය. මන්නාරම් දිස්ත්‍රික්කයේ නිවාස 13 ක් සම්පූර්නයෙන්ම විනාශ වී තවත් 802 කට අර්ධ වශයෙන් හානි වී ඇතැයි වාර්තා වේ. ඊයේ වන විට එම දිස්ත්‍රික්කයේ පවුල් 3,501 ක් පීඩාවට පත්ව තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රදේශයේ නිවාස 108 ට හානි සිදුව තිබේ. රටපුරා පුර්න නිවාස හානි 18 ක් හා අර්ධ හානි සිදු වූ නිවාස ගනන 960 ක් ලෙස වාර්තා වේ.

යාපන නගරයේ ස්ටැන්ලි වීදිය ජලයෙන් යට වී ඇති ආකාරය (ඡායාරූපය: Facebook-Haputalenews)

මහා මාර්ග හා දුම්රිය මාර්ග ජලයෙන් යටවීමෙන්, පස් කඳු කඩා වැටීමෙන් හා ගස් පෙරලී යෑමෙන් ගමනා ගමන හා අත්‍යාවශ්‍ය සේවා සැපයුම්වලට විශාල බලපෑමක් එල්ල කර තිබේ. කොවිඩ්-19 වසංගත තත්වයෙන් සහ විශේෂයෙන් ආන්ඩුව පසුගිය මාස කිහිපය තුල ගෑස්, තෙල්, සීනි හාල් ඇතුලු අත්‍යාවශ්‍ය භාන්ඩවල මිල ඉහල දැමීම හේතුවෙන් බැට කමින් සිටින ලංකාවේ කම්කරු පන්තික, ගම්බද හා නාගරික දිලිදු ජන කොටස් ගංවතුරෙන් තවත් ප්‍රහාරයට ලක්ව තිබේ. ගොවිබිම්, සුලු වෙලඳසැල් ජලයෙන් යටවී ඇත. දිවයින වටා ධීවර ජනයාගේ රැකි රක්ෂා ඇන හිට තිබේ.

ඒ තත්වය තුල ආහාර, පිරිසිදු ජලය හා අත්‍යාවශ්‍ය සේවා සම්පාදනය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් පැන නැග තිබේ. එවැනි කිසිදු පහසුකම් සම්පාදනයක් නොමැතිවීමෙන් රටපුරා කොලරාව, පාචනය, ඩෙංගු වැනි තවත් වසංගත තත්වයන් නිර්මානය වීමේ දැඩි අවදානමක් පවතී.

මරනවලින් අඩක් පමන නායයෑම් හා පස් කඳු කඩා වැටීමෙන් සිදු වූ ඒවා ය. කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ඊයේ සිදු වූ නායයෑමකින් මැදිවියේ කාන්තාවක් හා වසය අවුරුදු 13 ක හා 8 ක ගැහැනු දරුවන් දෙදෙනෙක් මරනයට පත් වූහ. එම දිස්ත්‍රික්කයේ ම ගලිගමුව ප්‍රදේශයේ සිදු වූ තවත් නායයෑමකින් කාන්තාවක් බරපතල තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුලත් කර ඇත. පස්වලට යට වී මරනයට පත් වූ එම කාන්තාවගේ සැමියා හා තිස් දෙහැවිරිදි පුත්‍රයාගේ මල සිරුරු සොයා ගනු ලැබූවේ අද දහවල් කාලයේ දී ය.

රඹුක්කන නාය යෑමෙන් නිවාස විනාශයට පත් ව ඇති ආකාරය (ඡායාරූපය: facebook-newstamil)

කුරුනෑගල දිස්ත්‍රික්කයේ රිදීගම උඩවත්ත ප්‍රදේශයේ ඊයේ රාත්‍රීයේ සිදු වූ නායෑමකින් අඹු සැමි යුවලක් මරනයට පත් වූහ. නාරම්මල ප්‍රදේශයේ සෞඛ්‍ය සේවිකාවක් ද තවත් නායයෑමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. කුලියාපිටිය ප්‍රදේශයේ අමතර පන්තියකට සහභාගී වී නිවෙස බලා පා පැදියකින් ගමන් කරමින් සිටි පිය පුතු දෙදෙනෙක් හා වතුරට ගසා ගෙන යන පොල් අහුලමින් සිටි තවත් දිලිදු පුද්ගලයෙක් ද මරනය පත් වූහ. ජලාශයක මසුන් අල්ලමින් සිටි තරුනයෙකු අතුරුදහන් වී තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂන ආයතනය දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගනනාවක් සඳහා නායයෑමේ අනතුරු ඇගවීම් නිවේදනය කර තිබේ. ඉන් මහනුවර, කෑගල්ල හා කුරුනෑගල දිස්ත්‍රික්ක දැඩි අවදානම් කලාප ලෙස නම් කර ඇත.

ආපාදාවට ලක් වූවන්ට කොපමන සහන සලසන්නේ ද යන්න පිලිබඳව නිශ්චිතව සඳහන් නොකල අගමැති මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේ දී ජීවිත අහිමි වූ පවුල්වල සාමාජිකයන්ට සිය “ශෝකය“ ප්‍රකාශ කලේ ය. “සහන“ සැලසීමේ වැඩපිලිවෙල හා එක්වන්නැයි විපක්ෂයේ දේශපාලන පක්ෂවලට රාජපක්ෂ කල කැඳවුමේ අර්ථය වෙන කිසිවක් නොව, සහන නො ලැබීමෙන් ඇතිවිය හැකි මහජන වෛරය සමහන් කර ගැනීමට ආන්ඩුවට සහාය ඉල්ලා සිටීමකි.

ආන්ඩුවේ සහන වැඩපිලිවෙල ප්‍රෝඩාවක් බව ජෙනරාල් සුදන්ත රනසිංහ කල ප්‍රකාශ මගින්මත් එලිමහනට පැමින තිබේ. ආපදා තත්වය “ක්‍රමිකව ඇති වූවක්“ බවත් ජනතාවට ඒ සම්බන්ධව “දැනුවත් කිරීමට“ පියවර ගෙන ඇති බවත් සඳහන් කරමින් ඔහු ප්‍රකාශ කලේ, “අවදානම් ප්‍රදේශවලින් ඉවත් නො වීම හා ජනතාවගේ අපරික්ෂාකාරී හැසිරීම“ නිසා මෙම ජීවිත හානි සිදු වූ බවයි.

“ජාතික ආරක්ෂාව“ සැලසීම ආන්ඩුවේ වගකීම බව සඳහන් කල රනසිංහ, ගොඩනැගිලි පර්යේෂන ආයතනය අවදානම් කලාප ලෙස නම්කර ඇති ප්‍රදේශ වලින් ඉවත් නොවන පුද්ගලයන් පොලීසිය හා අධිකරන බලය යොදා බලහත්කාරයෙන් ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමාට උපදෙස් දුන් බව ප්‍රකාශ කලේ ය. බලහත්කාර ඉවත් කිරීම් තාවකාලිකව සිදු කරන බවක් හෝ ඉවත් කරන ජනයාට අවශ්‍ය විකල්ප නිවාස ලබා දීමක් පිලිබඳව කිසිවක් රනසිංහ එහිදී සඳහන් නො කලේ ය.

නායයෑම්වලින් සෑම වසරකම මරන ඉහල යන්නේ මෙම අනතුරු ඇගවීම් බොහෝ කොට හුදු නිවේදනවලට පමනක් සීමා වීම හේතුවෙනි. ආපදාවලට පෙර නිසි අනතුරු ඇගවීම් සිදු කිරීමටත්, අදාල ජනයා එම ප්‍රදේශවලින් ඉවත් කර අවශ්‍ය පහසුකම් සැලසීම බලයට පත් සෑම ආන්ඩුවක් විසින්ම දැනුවත්ව නොතකා හැර තිබේ.

නායෑම්වලට බහුල වශයෙන් ගොදුරු වන්නේ සුදුසු ආරක්ෂිත ස්ථානවල ඉඩම් මිල දී ගෙන නිවාස ඉදි කිරීමේ හැකියාවක් නොමැති, තේ, රබර් වතුවල රැකියාවල රැකියා කරන කම්කරුවන් සහ දිලිදු ගොවි ජනතාවයි.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදි සමයේ ඉදිකරන ලද වසර 100 ත් වඩා පැරනි ලයින් කාමරවල බහුතරයක් වතු කම්කරුවන් මෙතෙකුදු දිවි ගෙවන අතර සුලු වර්ෂාවකට හා සුලගකට පවා එම නිවාසවලට හානි ගෙන දෙයි. 2016 මැයි මාසයේ සිදු වූ අරනායක, සාමසර කන්ද නායයෑමෙන් වතු ගම්මාන තුනක 200 ට ආසන්න ජනයා පොලවට යට වි ගියහ.

කොලඹ ඇතුලු නාගරික ප්‍රදේශවල දසදහස් සංඛ්‍යාත දිලිඳු ජනයා මුහුනදෙන උග්‍ර නිවාස ප්‍රශ්නය හේතුවෙන් තම දරු පවුල් සමග ජීවත් වීමට අටවාගෙන ඇති කුඩා නිවහන් “අනවසර ඉදි කිරීම්“ ලෙස නම්කර ඔවුන් ඒවායෙන් බලහත්කාරයෙන් ඉවත් කිරීම සෑම ආන්ඩුවක් විසින්ම ක්‍රියාවට නංවමින් සිටී. එම ප්‍රදේශයන්හි ගංවතුරට හේතුව මෙම “අනවසර ඉදි කිරීම්“ බවට චෝදනා කරන පාලකයෝ, එම බලහත්කාරී ඉවත් කිරීම් සඳහා සෑම ගංවතුරක්ම යහමින් යොදා ගනිති. එලෙස නිදහස් කර ගන්නා ඉඩම් මහ ව්‍යාපාරිකයන් ට පවරාදීම සෑම ආන්ඩුවකම පිලිවෙතයි.

ජාත්‍යන්තර ප්‍රාග්ධනය ආකර්ශනය කරගනුවස්, අධිවේගී මාර්ග, නව වරාය සහ ගුවන් තොටුපොල ආදී යටිතල පහසුකම් සඳහා දැවැන්ත ලෙස මුදල් වැය කරන රාජපක්ෂ ආන්ඩුව, පොදු මහජනයාගේ නිවාස ගැටලුව විසඳීමට හා එම ජනයා ජීවත්වන ප්‍රදේශවල ඇල මාර්ග, වාරි මාර්ග හා සනීපාරක්ෂක පහසුකම් නගා සිටුවීමට කිසිදු වැඩපිලිවෙලක් ක්‍රියාවේ යොදවා නොමැත. කොලඹ ඇතුලු නාගරික ප්‍රදේශ ජලයෙන් යට වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ මෙම අවිධිමත් නාගරීකරනයයි.

ගංවතුර තත්වය ඉදිරි දින කිහිපය පුරා පවතිනු ඇති අතර නායයෑමේ අවදානමත් වැඩෙමින් පවතී. අඛන්ඩව ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශවල ජලාශ, වැව් පිටාර ගැලීමෙන් පහලට ගලා එන දැවැන්ත ජලස්කන්ධයෙන් පහත් බිම් විශාල ලෙස යට වෙමින් තිබේ.

විටෙක ප්‍රචන්ඩ සුලි කුනාටු, දීර්ගකාලීන නියං හා ලැව්ගිනි වැනි දේශගුනික විපර්යාස ගෝලීය උෂ්නත්වය ඉහල යෑම මගින් පෘථිවි ගෝලයේ සෑම කලාපයකම වර්ධනය වන ව්‍යසනකාරී තත්වයකි. වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහල දමමින් මහා සමාගම්වල ලාභ මඩි තර කිරීම සඳහා සිදු කරන පොසිල ඉන්ධන දහනය හා වනාන්තර විනාශය මේ තත්වයට හේතු වී ඇත.

Loading