ඔක්තෝබර් 24 ඉරිදා කටුනායක නිදහස් වෙලඳ කලාපයේ සංචාරයක යෙදුනු ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට, අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රයේ කම්හල් ගනනාවක කම්කරුවෝ, බඩු මිල ඉහල යාම ඇතුලු තමන් මුහන දෙන සමාජ-ආර්ථික ගැටලු පිලිබඳ අදහස් ප්‍රකාශ කලහ.
පුත්තලම, පොලොන්නරුව, මහියංගනය, අනුරාධපුරය යනාදී දුර බැහැර දිස්ත්‍රික්කවල පිහිටි තම නිවෙස් වල පවතින දැවෙන ආර්ථික ප්‍රශ්න සහ විරැකියාව හේතුවෙන් කටුනායක කලාපයට පැමින ඇති මෙම කම්කරුවෝ, ස්මාර්ට් ෂර්ට්, නෙක්ස්ට් මැනුෆැක්චරින්, මාස් හෝල්ඩින්ග්ස්, බ්‍රැන්ඩික්ස් යනාදි ඇඟලුම් කම්හල්වලද, යුනයිටඩ් ටුබැකෝ ප්‍රොසෙසින් (යූටීපී), බීටූ එන්ජිනියරින්ග් යනාදි වෙනත් අපනයන භාන්ඩ නිපදවන කම්හල්වලද රැකියාවේ යෙදෙති.
ස්මාර්ට් ෂර්ට් අංක එක ඇඟලුම් කම්හලේ වසර පහක් පමන සේවයේ යෙදී සිටින කම්කරු කාන්තාවක් ඇගේ පවුලේ සාමාජිකාවන්ගේ තත්වය විස්තර කරමින් කියා සිටියේ, දූවරුන් දෙදෙනා විවාහ වී ඇති බවත්, එක් බෑනා කෙනෙකු සහ ස්වාමි පුරුෂයා ගොවිතැන් කරන බවත් ය. අනෙක් බෑනා ගුරුවරයෙකි. මසකට වරක් හෝ දෙවරක් ඇය තම පවුල සමග එකතු වන්නීය.
පසුගිය වසරේ රට අගුලු දමා විවෘත කිරීමෙන් අනතුරුව සොච්චම් වන්දියක් ගෙවා සේවයෙන් ඉවත් වන ලෙස පරිපාලනය විසින් ඉල්ලා සිටියද ඇය එය ප්‍රතික්ෂේප කොට ඇත.
ඇනවුම් විශාල වශයෙන් ලැබී ඇති හෙයින්, මේ දිනවල අධික වැඩ බරින් හෙම්බත්ව සිටින බව ඇය පැවසුවාය. ඉරිදා හැර දිනපතාම (අතිකාල පැය තුනක් සහිතව) පැය 12 ක් ඇය වැඩ කරන්නීය. මූලික වැටුප රුපියල් 20,000 ක් පමන වන ඇයට දිරිදීමනා, පැමිනීමේ දීමනා සහ අතිකාල දීමනා සහිතව මසකට රුපියල් 55,000 ඉක්මවා වැටුප් ලැබේ. දිරි දීමනාව ලබා ගැනීමට තමන් වැඩ කරන පේලියේ සියලු දෙනාම නොනවත්වා වැඩ කරමින් ඉලක්කය ලබා දිය යුතුය.
එක් දිනක් හෝ වැඩට නොගියොත් පැමිනීමේ දීමනාව කැපේ. “මහන්සි තමයි, ඒත් අපිට නිවාඩුවක් දෙන්නේ නැහැ,” යනුවෙන් ඇය පැවසුවාය. පරිපාලනයේ උපදෙස් පරිදි සුපවයිසර්වරු ව්‍යාජ ලෙස ඉලක්ක සටහන් කිරීම හේතුවෙන් දීමනා අඩුවන අවස්ථාවන් පවතින බව ද ඇය කීවාය. “අපිට ආර්ථික ප්‍රශ්න වැඩියි, අපි ගොවිතැන් කරලයි ජීවත් වන්නේ. අපි කුඹුරු අක්කර දෙකහමාරක් කරලත් හරිහමං ආදායමක් ලැබුනේ නැහැ,” යනුවෙන් ඇය පැවසුවාය.
මේ දිනවල කම්හලේ රෝගීන් හමු නොවූව ද, දැනට මාස එකහමාරකට පෙර ඩිපින්ග් (ෂර්ට් සෝදන) අංශයේ රෝගීන් කිහිප දෙනෙකු හමු වීමෙන් පසුව එම අංශය සති දෙකක් පමන වසා දමා ඇත. “ලමයකුට කොරෝන කියලා කිව්වොත් අපි දැනගන්නේ විෂබීජහරනය කරන නිසා. තොරතුරු කියන්නේ නැහැ. .... අපිට කෑම දෙන්නේ පාර්සල් විදියට. අපිට ඇත්තටම කතා කරන්න වෙලාවක් නැහැ, කෑම කාලා බෙල් එක වැදෙද්දී දුවගෙන යනවා. හැමෝම ලයින් එකේ ඔට්ටු වෙන්නේ අවුට් එක (ඉලක්කය) දාගන්න. එතකොටයි පඩියත් හැදෙන්නේ,” යැයි ඇය තව දුරටත් පැවසුවාය. ඔවුනට කෑම සඳහා විවෙිකය ලැබෙන්නේ පැයක් පමනි.
ආන්ඩුව ගැන කතා කරමින් ඇය කීවේ, පසුගිය ආන්ඩුව කෙරෙහි කලකිරුනු ඇය ඇතුලු බහුතරයක් ගම්වාසීන් මේ ආන්ඩුවට තමයි ඡන්දය දුන් නමුත් 'සෙතක්' නොවූ බවයි. “බඩු මිල අහස උසට වැඩි වුනාට පඩි වැඩි වීමක් නැහැ. දැන් බස් ගාස්තුත් වැඩි වෙන්නයි යන්නේ” යැයි ඇය පැවසුවාය. කාමර කුලිය සහ විදුලි බිල් සඳහා ඇයට මසකට රුපියල් 4,700 ක් වැය වේ.
ආන්ඩුව විසින් සංචරන සීමා පනවා අනෙකුත් ආයතන වසා දමා තිබියදී, හාම්පුතුන් සහ ආයෝජන මන්ඩලය ඒකාබද්ධව කම්හල් දිගටම විවෘත කරමින් කම්කරුවන්ගේ ජීවිත අවදානමට ලක් කිරීම ගැන ඇය මෙසේ කීවාය: “ලමයි ගොඩක් අසහනයෙන් සිටියේ, හැම එකක්ම වැහුවා, ගාමන්ට් වැහුවෙ නැහැ, වැඩි පැය ගානක් සේවය ගත්තා. ගෙවල් වලටත් යන්න බැහැ, සංචරන සීමා තිබුනා. ... වැඩට ගියේ නැත්තන් අයින් කරනවා. වහල් සේවයක් තමයි තියෙන්නේ.”
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සිට පැමින දැනට මාස කිහිපයක් පමන යූටීපී දුම්කොල සමාගමේ තත්ව පාලන අංශයේ (Quality Control) වැඩකරන තරුනියක් කියා සිටියේ, සියලු දීමනා සහිතව මාසිකව ඇයට රුපියල් 60,000 ක් පමන වැටුපක් ලැබෙන බවයි.
අවිවාහක නිසා තම වැටුපෙන් ජීවිතය ගැටගසා ගැනීමට දැනට හැකි වුව ද වැඩි වෙමින් පවතින බඩු මිල හමුවේ එය තවදුරටත් කල නොහැක්කක් වනු ඇතැයි පැවසූ ඇය මෙසේ ද කීවාය: “අපි රුපියල් 1,000 ක් කඩේට අරගෙන ගියාම එක පාරෙන් ඉවරයි. පරිප්පු, කිරිපිටි, ගෑස් වගේ අත්‍යාවශ්‍ය බඩු සියල්ල ගනන් ගිහිල්ලා. අපි උයන්නේ ලාම්පුතෙල් වලින්. බඩු මිල හරිම අසාධාරනයි.”
“මිනිසුන්ට ජීවත්වෙන්න අමාරුයි. අපිට මෙතන වැටුපක් ලැබෙනවා. නමුත් රුපියල් 20,000 ක් හෝ 30,000 ක් පඩි ගන්න මිනිස්සු ඉන්නවා. පවුල් වෙච්ච අය ඒ පඩියෙන් කොහොමද ජීවත් වෙන්නේ” යැයි ඇය ප්‍රශ්න කලාය.
ඇයගේ මව ගුරුවරියක් වන අතර පියා විශ්‍රාමික රාජ්‍ය සේවකයෙකි. මවගේ මුලු මාසික වැටුප රු. 40,000 කි. නයවලට කැපීමෙන් පසු දෙදෙනාටම ඉතිරිවන්නේ සොච්චමකි. “රජයේ සේවකයෝ හැමදාම දුවන්නෙ ලෝන් වලින්, අපේ අම්මගේ පඩිය එන්නේ මාසෙකට 8,000 යි. පියාගේ (විශ්‍රාම) වැටුපෙන් නය කැපුනට පස්සේ ලැබෙන්නේ රුපියල් 8,000 ක් පමනයි. ඉතින් රජයේ සේවකයෝ, ගුරුවරු පාරට බහින එක සාධාරනයි. කොරෝනා පිට දාලා මේ ආන්ඩුව පඩි අඩු කරනවා, බඩුමිල වැඩි කරනවා” යනුවෙන් ඇය තවදුරටත් පැවසුවාය.
කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ආන්ඩුවේ ප්‍රතිචාරය ගැන පිලිකුලෙන් කතා කල ඇය කියා සිටියේ, ආන්ඩුව සෞඛ්‍යයට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් නොකල බව යි. ආන්ඩුවේ මෙම නොතැකීම ගැන පැහැදිලි කරමින් ගැන වාර්තාකරුවන් කියා සිටියේ, ලබන වසර සඳහා විසර්ජන අයවැයෙන් මෙම වසරට සාපේක්ෂව රුපියල් බිලියන 6 ක් සෞඛ්‍ය වියදමෙන් කපා හැර ඇති බව සහ ආරක්ෂක වියදම බිලියන 18 කින් වැඩි කර ඇති බවයි.
“මේක හමුදා පාලනයක් වගේ තමයි” යනුවෙන් ප්‍රතිචාර දැක්වූ ඇය, සිවිල් පාලනයට හමුදා නිලධාරීන් පත් කිරීමත්, වසංගතය පාලනය පාලනය කිරීමේ වැඩකටයුතුවල ප්‍රමූඛත්වය හමුදාවට ලබා දීමත් ගැන අප්‍රසාදය පල කලාය.
මහියංගනය අවට ගම්මානයක සිට දැනට වසරකට පමන පෙරාතුව කටුනායක කලාපයට පැමිනි කාන්තා කම්කරුවෙක් වාර්තාකරුවන් සමග කතා කලාය. පැරෂූට සඳහා කොටස් නිෂ්පාදනය කරන බීටූ ඉංජිනියරිං නැමැති කම්හලක සේවය කරන ඇගේ පියා ගොවියෙකි.
ආන්ඩුවේ රසායනික පොහොර තහනම හේතුවෙන් තම පියා ඇතුලු දසදහස් සංඛ්‍යාත ගොවීන් ඉඉමුහුන දී ඇති බව ඇය කීවාය.
ඇගේ මූලික වැටුප් රුපියල් 22,000 ක් වන අතර ඉරිදා හැර සෙසු දිනවල වැඩට ගිය විට මසකට මුලු වැටුප ලෙස රු 40,000 ක් පමනක් ලැබේ. 200 ක් පමන වන මෙම කම්හලේ සේවකයින්ගෙන් හතරෙන් එකකට කොරෝනා ආසාදනය වී ඇති අතර, එන්නත් දෙකම ලබා ගත් ඇයට ද රෝගය වැලඳී තිබේ. පෙර දී රුපියල් 15,000 කින් තම මාසික වියදම් දරාගත හැකි වුව ද, බඩුමිල ඉහල යාම හේතුවෙන් රුපියල් 10,000 කින් එම වියදම වැඩි වී ඇති බව ඇය පැවසුවාය.
අනුරාධපුරය සිට පැමින කටුනායක නෙක්ස්ට් ගාමන්ට් ඇඟලුම් කම්හලේ වසර පහක් පමන වැඩ කරන කම්කරුවෙක් දරාගත නොහැකි අධික වියදම් ගැන කතා කලේය. 'ආන්ඩුව අපි ගැන හිතන්නේ නැහැ, මහ ව්‍යාපාරිකයන් ගැනයි හිතන්නේ. මිල පාලනය ඉවත් කල නිසා බඩු මිල දරාගන්න බැහැ. වසංගතයත් එක්ක මරනය අතේ තියාගෙන ජීවත් වෙන්නෙ' යැයි ඔහු පැවසුවේය.
නෙක්ස්ට් ගාමන්ට් හි තවත් කම්කරුවෙක් මෙසේ කීවේය: “මේ රෝගය තුරන් කරන්න ඕන. ඒකට ආන්ඩුවට නිසි වැඩපිලිවෙලක් නෑ. ගාමන්ට් ඇතුලේ දුරස්ථභාවයවත් මාස්ක් දාලද කියලවත් බලන්නේ නෑ. ඇන්ටන් මාකස්ලා මෙහේ වෘත්තීය සමිතියක් හැදුවා. ඒත් ඒකෙන් කිසිදෙයක් වෙන්නේ නෑ.”
බ්‍රැන්ඩික්ස් කම්හලේ කාන්තා කම්කරුවෙකු තම කම්හලේ පවතින අනාරක්ෂිතභාවය ගැන මෙසේ පැවසුවාය: “එක්කෙනෙකුට හිසරදයක් හැදුනොත් එයාව විතරක් අරන් ගිහින් පීසීආර් කරනවා. අනිත් අය ඔක්කොම වැඩ.”
කටුනායක කලාපයේ මාස් හෝල්ඩින්ග්ස් සමූහයට අයත් ඇඟලුම් කම්හලක වසර පහක් ඉක්මවා වැඩ කරන තරුන කම්කරුවකු කියා සිටියේ, දැනට කම්හල් තුල එතරම් කොරෝනා රෝගීන් වාර්තා නොවුවද, රට පුරා පවතින්නේ අනතුරුදායක තත්වයක් බවයි. 'කොරෝනා පාලනය වෙලා නැහැ ... ඇත්ත වාර්තා කරන්නේ නැහැ, දැන් පීසීආර් කරන්නෙත් නැහැ, රජය සෞඛ්‍යය සේවාව අඩපන කරලයි තියෙන්නේ' යැයි ඔහු කීවේය.
පසුගිය මැතිවරන සමයේදී ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන් බව පැවසූ ඔහු දැන් විකල්ප පක්ෂයක් සොයමින් සිටින බවත්, “හැම තරුනයෙක්ම දැන් විකල්පයක් හොයනවා' යනුවෙන්ද පැවසීය.
වසංගතය මුලු ලොවින් මුලිනුපුටා දැමීම් සම්බන්ධව එදින (ඔක්තෝබර් 24) රාත්‍රී ‘වසංගතය තුරන් කරන්නේ කෙසේද’ යන මැයෙන් ලෝසවෙඅ විසින් පැවැත්වූ වෙබිනාර් රැස්වීම් ගැන දැනුම් දුන්විට ඔහු ඒ ගැන උනන්දුවෙන් කරුනු විමසුවේය.
දරාගත නොහැකි ජීවන වියදම හේතුවෙන් කම්කරුවන් අතර ආන්ඩුවට සහ හාම්පුතුන්ට එරෙහිව බලගතු විරෝධයක් වැඩෙද්දී, කලාපයේ වෘත්තිය සමිති ඇතුලු දේශපාලන පක්ෂ 10 ක්, ඊලඟ අයවැයෙන් කම්කරුවෙකුගේ අවම දෛනික වැටුප රුපියල් 1,000 දක්වාද, මාසික අවම වැටුප රුපියල් 10,000 කින්ද වැඩි කරන ලෙස ඉල්ලා මුදල් ඇමතිට ලිපියක් භාර දී ඇත.
මෙය, උසුලනු නොහැකි ජීවන වියදම ඇතුලු ධනපති ප්‍රහාරයන්ට එරෙහිව ගුරුවරුන්, සෞඛ්‍ය සේවකයන් සහ වතු කම්කරුවන් ඇතුලු අනෙකුත් අංශවල කම්කරුවන් ගෙනයන අරගල සමග අපනයන නිෂ්පාදන කර්මාන්තයේ කම්කරුවන් පෙල ගස්වමින් කම්කරු පංතියේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීම වලකා, වැඩෙන කම්කරු විරෝධය ආන්ඩුවට කන්නලවු කිරීම් තුල දියකර හැරීමේ දැනුවත් උපායකි.