කම්කරු උද්ඝෝෂන මැඩීමේ පොලිස් මෙහෙයුම් නීත්‍යානුකූල කරන ලෙස විනිසුරුවන්ට බල කෙරේ

අධිකරන සේවා කොමිෂන් සභාව (ජේඑස්සී) හා ශ්‍රී ලංකා විනිසුරුවරුන්ගේ ආයතනය එක්ව අගෝස්තු මස මුල දී පවත්වන ලද සමුලුවක දී, අගවිනිසුරු ඇතුලු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු මඬුල්ලක් විසින් මහේස්ත්‍රාත් අධිකරන විනිසුරුවරුන්ට මහජන උද්ඝෝෂන වලක්වමින් නියෝග නිකුත් කිරීමේ අවශ්‍යතාවය අවධාරනය කරමින් උපදෙස් ලබා දී තිබේ.

කොවිඩ් වසංගත තත්ත්වය තුල සිදුකෙරෙන මහජන උද්ඝෝෂන වැලැක්වීම සඳහා පනවා ඇති සෞඛ්‍ය තහංචි නොතකා කෙරෙන උද්ඝෝෂන හා මහජන ඒකරාශීවීම් තහනම් කරන ලෙස පොලීසිය විවිධ අවස්ථාවල දී ඉල්ලා ඇත. එම ඉල්ලීම්වලට ඉඩ දීම සඳහා මහජන පීඩා ඉවත්කිරීමේ ආඥා නිකුත් කිරීමට අදාල අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 98 හා 106 වගන්ති විශේෂයෙන් යොදා ගැනීමට සමුලුවේ දී නිර්දේශ කෙරුනු බව ප්‍රධාන මාධ්‍ය වාර්තා කර ඇත.

කොලඹ අධිකරන අමාත්‍යංශ පරිශ්‍රයේ පවත්වා ඇති මෙම සමුලුවට රට පුරා විනිසුරුවරුන් 200ක් පමන කායිකව හා අන්තර්ජාලය හරහා සහභාගී කරවා තිබේ. “කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ විනිශ්චය කටයුතු වලට අදාල කරුනු” යන හිසින් යුතුව ජේඑස්සී ලේකම් විසින් විනිසුරුවරුන් වෙත යවා ඇති රැස්වීම පිලිබඳ නිවේදනයේ මෙම රැස්වීමට සහභාගීවීම අනිවාර්ය බව දක්වා තිබිනි. එසේ සහභාගී නොවීමේ අනිටු ප්‍රතිවිපාක පිලිබඳ අනතුරු අඟවමින් ලිපිය දක්වා තිබුනේ රැස්වීමට සහභාගී නොවීම උසස්වීම් හා වාර්ෂික වැටුප් වර්ධක ලබාදීමේදී, විදෙස් පුහුනු වැඩමුලුවලට සහභාගී කරවීමේදී හා මහ අධිකරනයට උසස්කිරීමේදී සලකා බැලෙන කරුනක් වනු ඇති බව යි.

ජූලි 08 දා, කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය සහ වෘත්තීය සමිති එක්ව බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේ දී පැවැත්වූ විරෝධතාවකට පොලිස් ප්‍රහාරයක් එල්ල කෙරුනේ රාජපක්ෂ ආන්ඩුව නිරෝධායන නීති වලට මුවා වෙමින් විරෝධතා සහ රැස්විම් තහනම් කිරීම පදනම් කර ගෙන ය.

ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පිහිටුවා ඇති ජේඑස්සී හි ද විනිසුරුවරුන්ගේ ආයතනයේ ද ප්‍රධානියා වන්නේ අගවිනිසුරුවරයා වන අතර විධායක ජනාධිපති විසින්ම පත්කරනු ලබන තවත් ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරවරුන් දෙදෙනෙක් මගින් ඒවා සංයුක්ත වේ.

අගවිනිසුරු හා සමුලුවට සහභාගීවූ ජේඑස්සී හි අනෙක් සාමාජිකයන් වන බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී. දෙහිදෙනිය යන ⁣විනිසුරුවරුන් වෙත යොමුකරන ලද ලිපියකින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය දියාරු ලෙස පවසා ඇත්තේ සමුලුව පිලිබඳව පල වූ “වාර්තාවල අන්තර්ගතය” ලංකාවේ “නීතියේ ආධිපත්‍යයට, අධිකරනයේ ස්වාධීනත්වයට හා යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයට ඇති මහජන විශ්වාසයට” බලපාන බව යි. පහල අධිකරන විනිසුරුවරුන්ට තම නියෝග නිකුත්කිරීම සඳහා මෙලෙස සෘජු බලපෑම් කරමින් අගවිනිසුරුම මැදිහත් වූ අවස්ථාවන් මීට පෙර තම පූර්ව අත්දැකීම් තුල නැති බවට විනිසුරුවරුන් අදහස් දක්වා ඇතිබව කලම්බුටෙලිග්‍රාෆ් හා ඩේලිමිරර් වාර්තා කලේ ය.

ජාත්‍යන්තර විනිශ්චයකරුවන්ගේ කොමිසම (අයිසීජේ) නිවේදනයක් නිකුත් කරමින්, විනිසුරුවරුන්ට නිකුත් කර ඇති තර්ජනාත්මක ලිපිය හෙලා දැක ඇති අතර එය ඉල්ලා අස්කරගන්නා ලෙස දන්වා තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකරන ස්වාධීනත්වය පිලිබඳ 1985 මූලික මූලධර්මවලට පටහැනිව “මහජන විරෝධතා මැඩපැවැත්වීම සඳහා සුවිශේෂී ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධිකරන නිලධාරීන්ට උපදෙස් දීම හෝ වෙනත් ආකාරයකින් යෝජනා කිරීම අනවශ්‍ය ලෙස අධිකරනයට බලපෑම් කිරීමක්” බව එහි නීති හා ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ඉයන් සෙයිඩර්මාන් ප්‍රකාශකර ඇත.

මහජනයා අතර බරපතල ලෙස අපකීර්තියට පත්වෙමින් පවතින අධිකරන පද්ධතිය වඩා නග්න ලෙස හෙලිදරව් වන මෙම සමුලුවේ අරමුන නැගෙන කම්කරු පන්තික අරගල මැඩලීමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආඥාදායක උපාමාරුවලට අධිකරනය සෘජුවම බද්ධ කරගැනීමයි. දේශපාලන වැදගත්කමකින් යුතු නඩුවල තින්දු ගැනෙන්නේ ධනපති ආන්ඩුවල ඉහලම කවයන්හි දී බවට චෝදනා එල්ලවූ අවස්ථා තිබේ. කම්කරු අරගල මැඩීමේ තීන්දු දෙන ලෙස පහල අධිකරන විනිසුරන්ට බලපෑම් කිරීම වඩාත් විසකුරු ය.

පහල අධිකරන විනිසුරුවරුන්ට මෙලෙස බලපෑම් කිරීමේ ආසන්නම හේතුව වනුයේ, පසුගිය මාස කිහිපය තුල පුපුරා ගිය, කම්කරු සහ ගොවි උද්ඝෝෂන ගනනාවක් තහනම් කිරීම සඳහා, වසංගතය කඩතුරාව කරගනිමින් පොලීසිය විසින් කරන ලද ඉල්ලීම් මහේස්ත්‍රාත්වරුන් විසින් අවස්ථා කිහිපයකදීම ප්‍රතික්ෂේප කිරීමය. එවන් එක් අවස්ථාවක, මහජනතාවගේ දැවෙන ප්‍රශ්න ප්‍රකාශයට පත්කිරීමේ මාධ්‍යයක් ලෙස උද්ඝෝෂන, රැලි පැවැත්වීමේ මූලික අයිතියක් ඔවුනට ඇති බව කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රකාශයට පත් කලේ ය. එලෙස උද්ඝෝෂන තහනම් කිරීමේ නියෝග නිකුත් කිරීමෙන් අධිකරනය ඇතුලු සමස්ත පද්ධතියම අර්බුදයකට ඇදවැටීමේ අවදානම ගැන පහල අධිකරන විනිසුරුවරුන් සංවේදී ය.

ජනාධිපති රාජපක්ෂ මැයි හා ජුනි මාස වලදී, වරාය, ඛනිජ තෙල්, ගෑස්, දුම්රිය හා බස් ප්‍රවාහන අංශවල මෙන්ම සියලුම දිස්ත්‍රික් මට්ටමේ ආන්ඩුවේ පරිපාලන කාර්යාල, රාජ්‍ය බැංකු සහ රක්ෂන, රේගු හා සෞඛ්‍ය යන සියලුම සේවාවල මිලියනයකට අධික කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතියක් වන වෘත්තීය ක්‍රියාමාර්ග තහනම් කිරීම සඳහා හා අරගලයට පිවිසෙන කම්කරුවන්ට අපරාධ දඬුවම් පැමිනවීමට හැකිවන පරිදි, අත්‍යවශ්‍ය සේවා පනත ක්‍රියාත්මක කලේය.

රාජපක්ෂගේ මෙම තහංචිවලට පිටුපසින් පැවතියේ මෙම ක්ෂේත්‍රවල මෙන්ම වතු කම්කරුවන්, ගුරුවරුන් හා ශිෂ්‍යයන් මෙන්ම ගොවීන් ද ගෙනගිය අනවරත අරගල මාලවකි. කම්කරුවෝ මෙම තහංචි ද නොතකා උතුරු නැගෙනහිර ඇතුලු රටේ සෑම ප්‍රදේශයකම තම ඉල්ලීම් උදෙසා වීදි බැස්සෝය. ආන්ඩුවට එරෙහිව පුලුල් වන මහජන වික්ෂෝපයේ ගැඹුර පෙන්වමින් අප්‍රේල් 20 සිට අගෝස්තු 15 දක්වා රට පුරා ආන්ඩු විරෝධී උද්ඝෝෂන 847 ක්ම පවත්වා ඇති බවට ආන්ඩුවේම ඇමතියෙකු වන කාංචන විජේසේකර පැවසුවේය.

ආන්ඩුවේ සාපරාධී නොසැලකිල්ල හේතුවෙන් වසංගතය ඉමහත් ව්‍යසනයක් බවට පත්ව ඇති තතු තුල, ඒ පිලිබඳව ආන්ඩුව විවේචනය කිරීමෙන් සෞඛ්‍ය කම්කරුවන් වැලැක්වීම සඳහා ආයතන සංග්‍රහයේ විනය රීති යොදාගන්නා බවට තර්ජනය කෙරුනි. ⁣සමස්ත කම්කරු පන්තියටම එරෙහිව පන්ති යුද්ධය ප්‍රකාශයට පත් කරමින් ආන්ඩුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා හරහා වසංගතය සම්ප්‍රේෂනය වැලැක්වීමේ මුවාවෙන් සියලු උද්ඝෝෂන තහනම් කල අතර විරෝධතාකරුවන් බුරුතු පිටින් අත්අඩංගුවට ගැනුනි.

ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු මිලිටරිය, පොලීසිය හා බුද්ධි අංශ මත වඩවඩාත් වාරු වෙමින් රාජපක්ෂ ක්‍රියාවට දැමූ ආඥාදායක පියවරයන්ට සමගාමීව, තමාට අවනත අධිකරනයක් හා රාජ්‍ය සේවයක් ඔහු කැඳවා සිටියේය. අවස්ථා කිහිපයකදීම ඔහු අවධාරනය කලේ තම 'ආර්ථික සංවර්ධන' ප්‍රතිපත්ති වලට බාධා නොවන පරිදි අධිකරනය ක්‍රියාත්මක වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව යි.

අගවිනිසුරු ප්‍රමුඛ රටේ ඉහලම අධිකරනය රාජපක්ෂගේ අත ශක්තිමත් කිරීම සඳහා දිගටම කැපවී සිටින බව ප්‍රදර්ශනය කල තීන්දු මාලාවක්ම ප්‍රකාශයට පත්විය. පසුගිය වසරේ මැද, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරන කොමිසම විසින් මහමැතිවරනයට දින නියම කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කරනු ලැබූ නඩු විභාග කිරීම මුල් අවස්ථාවේම ප්‍රතික්ෂේප කිරීම, රාජපක්ෂ වෙත අසීමිත බලතල සංකේන්ද්‍රනය කරන 20 වැනි ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා විදෙස් ආයෝජකයන්ට බදු සහන පාරාදීසයක් තනන පොර්ට්සිටි පනත සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය නෛතික අනුමැතිය ලබාදීම සම වර්ගවාදී විභේදනයන් උත්සන්න කිරීම අරමුනු කරගත් ආන්ඩුවේ කොවිඩ් මරන ආදාහනය කිරීමේ අනිවාර්ය නියෝගය අභියෝගයට ලක්කල මූලික අයිතිවාසිකම් නඩු සියල්ල ඉවත දැමීම ආදිය ඒ අතර වෙයි. අවස්ථා ගනනාවකදී දේශපාලන වශයෙන් සංවේදී නඩු කිහිපයකම ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරුන් නඩු ඇසීමෙන් ඉවත්ව සිටියෝය.

රටේ ඉහලම අපරාධ අධිකරනය වන මහඅධිකරනය ඇතුලු උසාවි වල ඇසෙන රජපක්ෂ පාලක කල්ලියේ හිතවාදීන්ට එරෙහි නඩු කුනු කූඩයට විසිකිරීමේ පාර කැපීම සඳහා රාජපක්ෂ තමාට පක්ෂපාතී හිටපු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරයෙකුගේ මූලිකත්වයෙන් “දේශපාලන පලිගැනීම් විභාග කර නිර්⁣දේශ ඉදිරිපත් කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවක්” පත් කිරීම අධිකරනයට බලපෑම් කිරීම සඳහා ගන්නා ලද කුප්‍රකටම පියවරකි.

ධනපති ප්‍රජාතන්ත්‍රවාදය තුල, ධනපති ආර්ථිකය හා පන්ති අවශ්‍යතාවයන් ආරක්ෂා කිරීම සඳහා, පාර්ලිමේන්තුව, මිලිටරිය, පොලීසිය, සිර මැදිරි මෙන්ම එම පද්ධතියේම රැකවලෙකු වන අධිකරනය ඓන්ද්‍රියව බැඳී තිබේ. අර්බුද කාලයන්හිදී ඒවා අඥාදායකත්වයේ වඩාත් විවෘත රැකවලුන් ලෙස කම්කරු පන්තිය මත කඩා පනින මර්දන උපකරන බවට පත්වේ.

ගෝලීය වසංගතය හා ආර්ථික අර්බුදය මධ්‍යයේ ජාත්‍යන්තර ප්‍රපංචයක් වන එය, ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය, ඉන්දියාව සිට ලංකාව දක්වා සෑම රටකම මහජනතාවගේ එදිනෙදා අත්දැකීමක් බවට පත්ව තිබේ. 2017 දී, ඉන්දියානු පාලක පන්තියේ හා අධිකරනයේ කුමන්ත්‍රනයක් මගින් මරුටි සුසුකි කම්කරුවන් දහතුන් දෙනෙකුට එරෙහිව බොරු නඩු අටවා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදීම, රටක් රටක් පාසා මෙම මර්දන යාන්ත්‍රනය ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳ ජාත්‍යන්තර කම්කරු පන්තියට පාඩම් උගන්ව යි.

Loading