සමාජ මාධ්‍යට එරෙහිව කඩා පැනීම සඳහා ආන්ඩුව පොලීසිය මුදා හරියි

[මෙහි පලවන්නේ Sri Lankan government deploys police to crackdown on social media  යනුවෙන් 2021 ජුනි 25දා පලවූ ලිපියේ පරිවර්තනය යි.]

සමාජ මාධ්‍යයන්හි ඊනියා ව්‍යාජ ප්‍රවෘත්ති පලවන බවට චෝදනා කරමින් ඒවා මර්දනය කිරීම පිනිස, නව ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරයන් නිවේදනය කර ඇති ආන්ඩුව, ඒවා ක්‍රියාත්මක කිරීමට පොලීසිය මෙහෙයවා තිබේ. 

“සයිබර් අවකාශයේ මුර සංචාරයේ යෙදෙමින් කොවිඩ්-19 හෝ වෙනත් ඕනෑ ම සංවේදී කරුනක් පිලිබඳ ව්‍යාජ ප්‍රවෘත්ති” හසු කරගැනීමට, අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විශේෂ කන්ඩායමක් ස්ථාපනය කොට ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන ජුනි 7දා ප්‍රකාශ කලේ ය.

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් රට නිදහස් වීමේ සංවත්සරය සැමරීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2020 උත්සවයට සහභාගී වේ. [අනුග්‍රහය : ඒපී ඡායාරූපය / එරංග ජයවර්ධන]

“ව්‍යාජ ප්‍රවෘත්ති පතල කිරීම හරහා යම් පුද්ගලයෙක් සන්ත්‍රාස තත්ත්වයක් නිර්මානය කරන්නේ නම්” එය වරදක් බව රෝහන කීවේ ය.

ඊට පසු දින පොලිස් මාධ්‍ය ප්‍රකාශයකින් නව පියවරයන් විස්තර කෙරුනි. ඒ අනුව, ව්‍යාජ තොරතුරු, ඡායාරූප හෝ වීඩියෝ පට බෙදාහරින පුද්ගලයන්, මහජන සාමයට බාධා කිරීම, ජනවාර්ගික හෝ ආගමික විසංවාදය නිර්මානය කිරීම හෝ කාන්තාවන් හා ලමුන් ලිංගික අඩන්තේට්ටම්වලට බඳුන් කිරීමට උදව් කිරීම යටතේ වරෙන්තුවකින් තොර ව අත්අඩංගුවට ගනු ලැබිය හැක. 

මෙලෙස අත්අඩංගුවට ගනු ලබන්නන්ට දන්ඩ නීති සංග්‍රහය, පරිගනක අපරාධ පනත, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) හා අසභ්‍ය ලිංගික කෘති පනත යනාදී රටෙහි පවතින දරුනු නීති යටතේ, චෝදනා කරනු ලැබිය හැක.

ආන්ඩුවට හා ධනපති රාජ්‍යයට විරුද්ධ වන හෝ ඒවා විවේචනය කරන ඕනෑ ම පුද්ගලයෙකුට දඬුවම් කිරීම සඳහා මෙම නීති යොදාගත හැක. විෂඝෝර පීටීඒ පනත යටතේ අත්අඩංගුවට ගනු ලබන්නන් මාස 18ක් දක්වා රඳවා ගනු ලැබිය හැකි අතර, එම කාල සීමාවේ දී ලබා ගන්නා ඕනෑ ම පාපෝච්ඡාරනයක් සාක්ෂි ලෙස යොදා ගනු ලැබේ.

ජුනි 8දා පාර්ලිමේන්තුව ඇමතූ මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර පොලීසියේ ප්‍රකාශ පුනරුච්ඡාරනය කලේය. ඉන් පෙන්නුම් කෙරෙන්නේ, සමාජ මාධ්‍ය මතට කඩා පැනීමේ තීරනය ජනාධිපති රාජපක්ෂ ආන්ඩුවේ ඉහල ම මට්ටම්වල දී ගන්නා ලද බවයි. 

ආගමික හා ජනවාර්ගික සමගිය ආරක්ෂා කිරීමට හා කොවිඩ්-19 වසංගතය පිලිබඳ වැරදි තොරතුරු වැලැක්වීමට ක්‍රියා කරන බවට ආන්ඩුවේ කියාපෑම් මුලුමනින්ම බේගලයකි.

වර්තමාන පාලන තන්ත්‍රය ද ඇතුලු ලංකාවේ අනුප්‍රාාප්තික ආන්ඩු, විශේෂයෙන් ම බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි 30-අවුරුදු දෙමල-විරෝධී සිවිල් යුද්ධය ඇතුලු ගනන් නැති දෙමල-විරෝධී හා මුස්ලිම්-විරෝධී ප්‍රකෝපකරනයන්ට වගකිව යුතු ය.

ඒ හා සමාන ව, කොවිඩ්-19 වසංගතය පිලිබඳ වැරදි තොරතුරු පතුරුවා හැරීම ගැන ද වගකිව යුත්තේ ආන්ඩුවයි. විශේෂයෙන් ම ඉතා පහල රේට්ටුවේ පරීක්ෂන  සිදු කරමින්, ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් විසින් වාර්තා කරනු ලබන ආසාදන හා මරන සංඛ්‍යාවන්ට වඩා, සැබෑ සංඛ්‍යා ලේඛන අධික බව වෛද්‍ය විශේෂඥයන් යලි යලිත් පෙන්වාදී ඇත. තව ද ජාත්‍යන්තර ව මෙන් ම ලංකාවේ ආන්ඩුව ද, ලාභය මුල් කොටගත් ප්‍රතිපත්ති ගෙනයමින් වසංගතය කෙරෙහි දක්වන්නේ අප්‍රමානවත් ප්‍රතිචාරයකි. එය  යුක්තියුක්ත කිරීම සඳහා වසංගතයේ බරපතලකම අවම කර පෙන්වීමට මෙම ආන්ඩු උත්සාහ දරති. 

සැබවින්ම නම්, ධනපති පන්තියේ ගැඹුරු වන දේශපාලන හා ආර්ථික අර්බුදයටත්, දරුනුවන වසංගතය සාපරාධී ලෙස නොතකා හැරීම කෙරෙහි වැඩෙන සමාජ විරුද්ධත්වයටත් ප්‍රතික්‍රියා දක්වමින් ඊනියා ව්‍යාජ ප්‍රවෘත්ති සාපරාධීකරනය කොට මැඩීම සඳහා රාජපක්ෂ පාලනය පියවර ගනිමින් සිටියි. 

ආහාර හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහල දමන අතරම, ආන්ඩුව හා මහ ව්‍යාපාරිකයන් ක්‍රියාවට දමා ඇති රැකියා හා වැටුප් කප්පාදුවට එරෙහිව රාජ්‍ය අංශයේ සෞඛ්‍ය, අධ්‍යාපන, දුම්රිය, විදුලිබල හා ජල සම්පාදන කම්කරුවන්ගේ වැඩ වර්ජන හා විරෝධතා අවුලුවමින් තිබේ.

මෙලෙස වැඩෙන විරුද්ධත්වය නිසා තැතිගැනී සිටින ජනාධිපති රාජපක්ෂ මැයි 27දා හා ජුනි 2දා අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ සමස්ත රාජ්‍ය අංශ කම්කරුවන්ම අලලා ගත් වැඩ වර්ජන තහනමක් පැනවූයේය. පරිපාලනයේ මූලික තනතුරුවලට සේවයේ යෙදීසිටින හා විශ්‍රාමික මිලිටරි නිලධාරීන් පත් කරමින්, කොලඹ පාලනය රාජ්‍ය යාන්ත්‍රනය ක්‍රමානුකූල ව මිලිටරීකරනය කරමින් සිටී. සමාජ මාධ්‍ය මත ආන්ඩුවේ ප්‍රහාරය මෙම මර්දනකාරී සූදානම්වීම්වල කොටසකි.

පොලීසියේ නිවේදනයෙන් දවස් පහකට පසුව, ජුනි 13දා ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල සන්ඩේ මෝනිං පුවත්පතට මෙසේ පැවසුවේය: සමාජ මාධ්‍යවලින් ව්‍යාජ ප්‍රවෘත්ති පලකිරීම මගින්, “සාපරාධී අපහාස නීතිය යලි බලාත්මක කිරීම දෙසට සමහර පුද්ගලයින් විසින් රට තල්ලු කරමින් සිටින බව පෙනේ.”  

2002 දී අහෝසි කරන ලද කුප්‍රකට ප්‍රජාතන්ත්‍ර-විරෝධී සාපරාධී අපහාස නීතිය, බ්‍රිතාන්‍ය විජිත පාලන සමයේ ආරම්භ කරනු ලැබුන ද 1948 ලංකාවට නාමික නිදහස ප්‍රදානය කිරීමෙන් පසුවත්  දිගට ම පවත්වාගෙන යනු ලැබිනි. මාධ්‍ය බියවැද්දීමට හා වාරනය කිරීමට අනුප්‍රාප්තික ආන්ඩු මෙම නීතිය යොදාගත් හ.

අධිකරන ඇමති අලි සබ්රි හා මාධ්‍ය ඇමති විසින්, “අන්තර්ජාලය මත ව්‍යාජ ප්‍රචාරනයන් විසින් ඇති කරනු ලබන හානිවලින් සමාජය ආරක්ෂා කරගැනීම” සඳහා නව නීති හඳුන්වා දීමට ඉදිරිපත් කරන ලද පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව අප්‍රේල් මාසයේ දී කැබිනට් කාර්යාලය නිවේදනය කලේ ය.

එක්සත් ජනපද ඩොලර් 750,000ක ආසන්න දඩයක් හා වසර 10ක් දක්වා සිරගත කල හැකි සිංගප්පූරුවේ දන්ඩනීය “අන්තර්ජාල ව්‍යාජයන් හා උපාමාරු පනතට” සමාන නීති හඳුන්වා දීමට කැබිනට්ටුව සාකච්ඡා කරමින් සිටින බව සබ්රි කීවේ ය. 

අන්තර්ජාලය භාවිතා කරන්නන්ට එරෙහි ව කොලඹ ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරයන් හෙලා දකින ප්‍රකාශයක් නිකුත් කල "ශ්‍රී ලංකාවේ අයිතීන් සඳහා ජනමාධ්‍යවේදියෝ" කන්ඩායම, ආන්ඩුව “සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් බියවැද්දීමට උත්සාහ දරමින් සිටින බව” සඳහන් කලේ ය.

ව්‍යාජ ප්‍රවෘත්ති පල කිරීම ගැන චෝදනා ලබන ඕනෑ ම අයෙක්, වරෙන්තුවකින් තොර ව අත්අඩංගුවට ගැනීමට පොලීසියට ඉඩ දීම පිලිබඳ ව උත්සුකය පලකරමින් ජුනි 11දා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශයක් නිකුත් කලේ ය. “තම ආත්මීය තීන්දු මත පදනම් ව, ව්‍යාජ පුවතක් වන්නේ හෝ නො වන්නේ කවරක්දැයි තීන්දු කිරීමට පොලීසියට ඉඩ දීම” නව පියවරයන්ගෙන් සිදුවන   බවට එය අනතුරු ඇඟවී ය.

පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂ හා වෘත්තීය සමිති මෙම මර්දනාකරී පියවරයන්ට විරුද්ධ නැත. ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය එය මෙම පියවරයන්ට දක්වන සහයෝග සඟවා ගැනීමට උත්සාහ දැරුවේ, ආන්ඩුවට විරුද්ධ අදහස්  දැරීම නිසා අත්අඩංගුවට පත්වන ඕනෑ ම අයෙකුට, එහි තරුන අංශය විසින් නෛතික සහයෝගය සම්පාදනය කරනු ඇතැයි පුච්චානමක් කියමිනි. 

ජනතා විමුක්ති පෙරමුන, දෙමල ජාතික සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය මෙන්ම වෘත්තීය සමිති, නව මර්දන පියවරයන් ගැන වචනයක් වත් කියා නැත. ආන්ඩුවේ වැඩ වර්ජන-විරෝධී අත්‍යවශ්‍ය සේවා නියෝගයන්ට ද ඔවුන් විරුද්ධ වී නැත. ආන්ඩුව මෙන් ම මෙම සංවිධාන ද බියපත්ව සිටින්නේ, නැගෙන කම්කරු-පන්තික විරුද්ධත්වය කෙරෙහිය.  

ලංකාව තුල සමාජ මාධ්‍යවලට මත එල්ල කරන ප්‍රහාර, සෑම මහාද්වීපයක් තුල ම කතා කිරීමේ හා අදහස් පලකිරීමේ නිදහසට  එල්ල කරන දැඩි ප්‍රහාර වල කොටසකි.

එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කොවිඩ්-19 ආසාදන පිලිබඳ ව යථා තොරතුරු ප්‍රසිද්ධ කිරීම නිසා, ජුනි මස මුල දී දත්ත විද්‍යාඥ රෙබෙකා ජෝන්ස්ගේ ට්විටර් ගිනුම අත්හිටුවී ය. පසුගිය වසරේ වසංගතය සමයේ පාසල් යලි විවෘත කිරීමට විරුද්ධ වූ ජෝන්ස්, ප්‍රාන්තයේ කොරෝනා වෛරස් දත්ත පුවරුව මත පලකෙරෙන ආසාදන හා මරන ගනන් හිලවු වෙනස් කිරීම ප්‍රතික්ෂේප කලේ ය.

ඉන්දියාවේ ආන්ඩුව වසංගතයට දක්වන ප්‍රතිචාර පිලිබඳ විවේචනාත්මක අදහස් පල කර තිබීම නිසා, අප්‍රේල් මාසයේ දී මෝදි පාලනය කල ඉල්ලීමක් අනුව එරට ට්විටර් ගිනුම් 20ට අධික සංඛ්‍යාවක් ඉවත් කරනු ලැබී ය.

ගූගල් සෙවුම් යන්ත්‍ර හා සමාජ මාධ්‍ය වේදිකා මත ලෝක සමාජවාදී වෙබ් අඩවිය ද අඛන්ඩ ව වාරනය කරනු ලැබේ.

වතු කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම් සඳහා සහය දක්වන 2018 දී ගාලු මුවදොර පිටියේ පැවති විරෝධතාව (මූලාශ්‍රය: ලෝසවෙඅ මාධ්‍ය)

සෑම රටක් තුල ම, කම්කරුවන්ට ඔවුන්ගේ අරගල සංවිධානය කිරීම සඳහා බලගතු අවියක් සමාජ මාධ්‍ය විසින් සම්පාදනය කරනු ලැබේ. ලංකාව තුල සමාජ මාධ්‍ය භාවිතය, මෑත වසරවල දී සීඝ්‍රයෙන් ඉහල ගොස් ඇත. ඩිජිටල් මාකටින් ආසියා පැසිෆික් ආයතනයට අනුව, 2020 දී ලංකාවේ අන්තර්ජාලය භාවිතා කරන මිලියන 10.1කින් සියයට 63ක් සමාජ මාධ්‍ය භාවිතා කලහ.

ඉහල වැටුප් ඉල්ලා වතු කම්කරුවන් 2018 දී ගෙන ගිය අරගලය සමයේ, කොලඹ හා ඒ අවට වැඩ කරන වතු තරුනයන් දහස් ගනනක් අවශේෂ තරුනයන්ගේ ද සහාය ඇතිව, කම්කරු ඉල්ලීම්වලට සහාය පල කිරීම සඳහා ගෝල් ෆේස් පිටියේ දී විරෝධතාවක් සංවිධානය කිරීමට සමාජ මාධ්‍ය යොදාගත් හ. සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියා මාර්ගයක පදනම මත ධනපති පද්ධතියට අභියෝග කිරීම සදහා, කම්කරු පන්තිය හා ගම්බද ජනයා විසින් වඩා පලල් පරිමානයකින් මෙය යලි යොදා ගනු ඇතැයි කොලඹ පාලනය බිය ව සිටියි.

Loading