බෙයිජින අරමුදලින් කොලඹ වරාය නගරය පිහිටුවීමත් සමග වොෂින්ටනය ලංකාවේ ආන්ඩුවට පීඩනය දැඩි කරයි

[මෙහි පලවන්නේ, Washington puts pressure on Sri Lankan government over Beijing-funded Colombo Port City යන මාතෘකාවෙන් , 2021 ජූනි 14 දින පලවූ ලිපියේ පරිවර්තනයයි.] 

කොලඹ වරාය අසල ගොඩනැගූ කොලඹ වරාය නගර (සීපීසී) භූමියේ විශේෂ ආර්ථික කලාපයක් ස්ථාපනය කරන,  ආර්ථික කොමිසන් සභා සංශෝධිත පනත, පසුගිය මාසයේ දී ලංකාවේ පාර්ලිමේනතුව විසින් සම්මත කලේ ය. බෙයිජිනයෙන් සපයන එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4ක් සමගින් චීන කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන්  සමාගම විසින් ගොඩනැගු වරාය නගරය ලංකාව තුල මේ දක්වා සිදු කෙරුනු විශාලතම තනි ආයෝජනය යි.

චීනය මිලිටරිමය ලෙස කොටු කිරීමට එක්සත් ජනපදයේ නායකත්වයෙන් දැරෙන ප්‍රයත්නයන්ට එරෙහිව, බෙයිජිනයේ ආනයන හා අපනයන ඉන්දියන් සාගරය හා මධ්‍යම ආසියාව හරහා නිදහසේ ප්‍රවාහනය සුරක්ෂිත කිරීම ඉලක්ක කරගත් භූ-මූලෝපායික සැලැස්මක් වන, එක් තීරුවක් එක් මාවතක් ආරම්භකත්වයේ (බීආර්අයි) ප්‍රධාන කොටසක් වන්නේ මෙම ව්‍යාපෘතිය යි.

නය හා ආයෝජන ලබා ගැනීමට රාජපක්ෂ ආන්ඩුව බෙයිජිනයට නැඹුරුවීම ගැන, එක්සත් ජනපදය, යුරෝපා සංගමය හා ඉන්දියාව සතුරු ය. සීපීසී පනත පිලිබඳව මෙම රටවල් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නැතත්, කොලඹ තුල චීන සම්බන්ධතාවලට වලකැපීම සඳහා දරන ප්‍රයත්නයන් දැඩි කරමින් සිටින බවට බොහෝ කරුනු තිබේ. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ (ඒපී ඡායාරූප/ එරංග ජයවර්ධන)

එක්සත් ජනපදය තුල, රිපබ්ලිකන් කොංග්‍රස් සභික බිල් ජොන්සන්ගේ ද සහයෝගය ඇතිව ඩිමොක්‍රටික් පක්ෂ කොංග්‍රස් සාමාජිකා ඩෙබෝරා රොස්, ලංකාව තුල “බියකරු මානව හිමිකම් උල්ලංඝනය කිරීම්” අරබයා වගවීමට “ඵලදායී ජාත්‍යන්තර යාන්ත්‍රනයක්” ඉල්ලුම් කරන යෝජනාවක් හඳුන්වා දුන්නා ය.

මැයි 18දා ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව, දැන් කොන්ග්‍රසයේ පහල මන්ත්‍රන සභාවේ විදේශ සබඳතා කමිටුවේ සභාපතිවරයා අතේ පවතී. එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය, ආරක්ෂක කවුන්සිලය සහ මානව හිමිකම් කවුන්සිලය (යූඑන්එච්ආර්සී) සමග කොලඹ මත පීඩනය දැඩි කිරීම සඳහා ක්‍රියා කරන්නැයි එය වොෂින්ටනයෙන් ඉල්ලා සිටී.

විදේශ සබඳතා කමිටුව යෝජනාව අනුමත කරන්නේදැයි නො පැහැදිලි නමුත්, බෙයිජිනය සමග රාජපක්ෂ ආන්ඩුවේ වැඩෙන සබඳතාවන්ට එක්සත් ජනපදය එකහෙලා විරුද්ධ වේ.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි 26-අවුරුදු ම්ලේච්ඡ වාර්ගික යුද්ධයේ අවසන් සති කිහිපයේ දී සිවිල් වැසියන් 40,000ක් මරා දැමීම, හමුදාවට යටත් වූ ජනයා සිය ගනනක් අතුරුදන් වීම හා එක්සත් ජාතීන් විසින් ගෙනහැර දක්වන අනෙකුත් හිමිකම් උල්ලංඝනය කිරීම්, යෝජනාව තුල සඳහන් කෙරෙන “බිහිසුනු අපරාධවලට” ඇතුලත් ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2006 දී යුද්ධය යලි ඇරඹූ අතර, ලේවැකි ගැටුම 2009 මැයි මාසයේ දී එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසු අවසන් විය. ඔහුගේ බාල සහෝදර හා වත්මන් ජනාධිපති වන ගෝඨාභය රාජපක්ෂ එවකට ආරක්ෂක ලේකම් ධූරය දැරුවේය.

එක්සත් ජනපදයේ සම-අනුග්‍රහය සහිතව එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රන්සය හා කැනඩාව විසින් නායකත්වය දෙන රටවල් කන්ඩායමක් විසින් දැනටමත් යූඑන්එච්ආර්සී වෙත ඉදිරිපත් කර ඇති,  යෝජනාවකින්, ජාත්‍යන්තර යාන්ත්‍රනයක් විසින් අධීක්ෂනය කරනු ලබන කොලඹ ආන්ඩුවේ යුද අපරාධ පිලිබඳ විමර්ශනයක් සඳහා කැඳවුම් කර ඇත.

පසුගිය දශක තුන තුල පමනක් ලෝකය සිසාරා අනේකවිධ යුද අපරාධ සිදු කිරීමට වැරදිකරුවා වන වොෂින්ටනයට, කොලඹ ආන්ඩුවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන අබමල් රේනුවක තැකීමක් නැත. 2006 දී මහින්ද රාජපක්ෂ යටතේ යුද්ධය යලි ඇරඹීමටත්, ඔහුගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පාලන තන්ත්‍රයටත්, එය පිටුබලය දුන්නේ ය.

ශ්‍රී ලංකාවට මූල්‍යමය සහයෝගය හා ආයුධ සපයන ප්‍රධාන රට ලෙස චීනය ඉස්මතු වීමෙන් පසු, යුද්ධයේ අවසන් මාස   කිහිපයේ දී පමනක්, වොෂින්ටනය කොලඹට පීඩනය දැමීම ඇරඹී ය.

කොලඹට පීඩනය යෙදීම සඳහා, මානව හිමිකම් විමර්ශනයක් ඉල්ලුම්  යෝජනා මාලාවක් එක්සත් ජනපදය විසින් ආරම්භයේ දී යූඑන්එච්ආර්සීයට ඉදිරිපත්  ආවේ ය. එය අසාර්ථක වූ තැන, 2015 දී ජනාධිපති ධූරයෙන් මහින්ද රාජපක්ෂ ඉවත් කරමින්, එක්සත් ජනපද-ගැති මෛත්‍රීපාල සිරිසේන ස්ථාපනය කල තන්ත්‍ර-මාරු මෙහෙයුමකට වොෂින්ටනය අනුග්‍රහය දුන්නේ ය.

එක්සත් ජාතික පක්ෂය (එජාප), දෙමල ජාතික සන්ධානය (දෙජාස) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) වොෂින්ටනයේ තන්ත්‍ර මාරු මෙහෙයුමට සහයෝගය දුන් හ. සිරිසේන “යහපාලනයක්” ස්ථාපිත කරනු ඇතැයි කියමින්, රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පාලනය හෙලා දුටු රැඩිකලුන් රොත්තක්, ව්‍යාජ-වාම කන්ඩායම් හා වෘත්තීය සමිති මෙම මෙහෙයුම පිටුපස රැලි වූ හ.

2019 නොවැම්බරයේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස තේරී පත්වීම හා ඉන්පසු මහින්ද රාජපක්ෂ අගමැති වීමත් සමග, චීනය සමග කොලඹ සබඳතා ඇතිකර ගැනීමට යොමුවීම ගැන යලි යලිත් අනතුරු අඟවමින් වොෂින්ටනය මැදිහත් වූයේය.

ඔහුගේ පූර්වගාමීන් මෙන්, වොෂින්ටනයේ චීන-විරෝධී භූ-දේශපාලනික න්‍යාය පත්‍රය ගැඹුරු කරමින් සිටින එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, රාජපක්ෂ පාලනය බෙයිජිනය දෙසට දක්වන නැඹුරුව නො ඉවසනු ඇත.

කොවිඩ්-19 වෛරසය වුහාන් වෛරස් විද්‍යා ආයතනය තුල වර්ධනය කොට මුදා හැරීය යන බේගලය බයිඩන් පරිපාලනය, එක්සත් ජනපද ඔත්තු සේවා හා මාධ්‍ය විසින් දැන් ඉස්මත්තට ගනිමින් සිටියි. වොෂින්ටනය දැන් චතුර්-පාර්ශවික ආරක්ෂක සංවාදය ද ශක්තිමත් කරමින් සිටියි. කොඩ් නමින් හැඳින්වෙන, චීනයට එරෙහිව එල්ල වන මෙම  මිලිටරි සන්ධානයට, එක්සත් ජනපදය, ජපානය, ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව ඇතුලත් වෙයි.

තවත් වැදගත් වර්ධනයක්  වන්නේ, ලංකාවට පීඩනය යොදන ලෙස ඉල්ලමින් ද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යටතේ මෑත දී සිදුකල අත්අඩංගුවට ගැනීම් හා රඳවා ගැනීම් ද යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනයන් ද ගෙනහැර දක්වමින්  ජුනි 10දා යුරෝපා සංගම් පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කිරීමයි.

“ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිලිබඳ වගවීම් අභිවර්ධනය සඳහා තල්ලුව දෙන ලීවරයක්” ලෙස ජීඑස්පී+ බදු සහන යොදා ගන්නා ලෙසත්, කොලඹ පාලනය පීටීඒ පනත ඉවත දැමිය යුතු බවත්, එම යෝජනාව යුරෝපා කොමිසමෙන් ඉල්ලා සිටියි. ලංකාවේ ප්‍රධාන වෙලඳපොලවල් වන යුරෝපයට හා එක්සත් ජනපදයට කරන අපනයනවල දී, ප්‍රධාන බදු සහන සම්පාදනය කරන ජීඑස්පී (පොදු වරනීය මනාප පද්ධතිය) මත ලංකාව බොහෝ සෙයින් රැඳී සිටියි.  

යෝජනාවේ 18වන කොටස, “ශ්‍රී ලංකාව තුල චීනයේ වැඩෙන භූමිකාව හා මැදිහත් වීම පිලිබඳ උත්සුකය” ඍජුව ම ප්‍රකාශ කරයි. යෝජනාව යුරෝපා කොමිසමට යොමු කරනු ලැබ ඇති අතර, එම කොමිසම ශ්‍රී ලංකාවට ජීඑස්පී ලබා දීම පිලිබඳව නොවැම්බරයේ දී විමර්ශනය කිරීමට නියමිත ය.

වොෂින්ටනය මෙන් ම යුරෝපා සංගමය සතුව ද මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වල හා යුද අපරාධ සිදු කිරීමේ ම්ලේච්ඡ වාර්තාවක් තිබේ. ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිලිබඳ එහි කුහක උත්සුකය අර්ථය වන්නේ, ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජනපදය නායකත්වය දෙන ප්‍රයත්නයන්ට සහයෝගය දීම හා  තම භූ-මූලෝපායික අවශ්‍යතාවන් තහවුරු කර ගැනීමයි.

චීනයට එරෙහි පෙරමුනු රාජ්‍යයක් ලෙස වොෂින්ටනයේ ප්‍රධාන කලාපීය සගයා වන ඉන්දියාවේ ආන්ඩුව, කොලඹ වරාය නගර පනත පිලිබඳ කිසිදු ඍජු ප්‍රකාශයක් නිකුත් කර නැත. එහෙත්, සීපීසී පනත ලංකාව තුල “චීන-ගැති” ව්‍යාපෘති ශක්තිමත් කිරීමක් නියෝජනය කරන බව ප්‍රකාශ කරන මාධ්‍යවලින් ඉන්දීය ප්‍රභූවේ උත්සුකතා මතුවී ඇත.

ඉන්දියාවේ වියොන් නිව්ස්  පල කල “කොලඹ වරාය නගරය සමගින් චීනය ශ්‍රී ලංකාව තුල විජිතයක් ලබාගනී” නමැති ලිපියක්, “ශ්‍රී ලංකාව චීනයේ යටත් විජිතයක් බවට පත්වීමේ මහ මාවතේ සිටී” යනුවෙන් ප්‍රකාශ කලේ ය. බෙයිජිනය “කලාපය තුල සිය පාසටහන ඉහල දමා ගනිමින් සිටිති” යි ද හින්දු පත්‍රය අනතුරු ඇඟවී ය.

කොලඹ වරාය නගරය, රටෙහි “ස්වෛරීත්වය හා භෞමික අඛන්ඩතාව” පාවාදෙන බව හා දිවයින චීනයේ විජිතයක් බවට පරිවර්තනය කරමින් තිබෙන බව ප්‍රකාශ කරමින්, ලංකාවේ නිල විරුද්ධ පක්ෂ -සමගි ජන බලවේගය (සජබ), එජාප, ජවිපෙ හා දෙජාස- එයට එරෙහි ප්‍රතිගාමී ජාතිකවාදී හා වර්ගවාදී උද්ඝෝෂනය ඉස්මත්තට ගෙන ඇත.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක හා සජබ නායක සජිත් ප්‍රේමදාස, පනත “රටෙහි ස්වෛරීත්වය, භෞමික අඛන්ඩතාව හා දේශපාලන නිදහස විදෙස් රටවලට විකුනන” බව ප්‍රකාශ කරමින්, එය හකුලා ගන්නා ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ ය.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, නව පනත ලංකාව තුල චීන පලාතක් ස්ථාපිත කිරීම දක්වා ඉදිරියට යනු ඇතැයි කීවේ ය.

දෙජාස මන්ත්‍රීවරයෙක් වන එම්. ඒ. සුමන්දිරන් පාර්ලිමේන්තු විවාදයේ දී වඩා ඍජු විය: “ඔබ ඔබේ භූමියේ පවතින මුහුදේ ගොඩබිමක් චීනයට තෑගි කරමින් සිටිනවා, මෙම ක්‍රියාවේ ප්‍රතිවිපාක නුදුරේ දී ම ඔබට අත්විඳින්නට සිදුවනු ඇති.”

මෙම ප්‍රකාශ චීනයට එරෙහි වොෂින්ටනයේ භූ-මූලෝපායික න්‍යාය පත්‍රය සමග ඍජුව පෙලගැසෙයි. කොවිඩ්-19 වසංගතයට රාජපක්ෂ ආන්ඩුව දක්වන සාපරාධී ප්‍රතිචාරයට හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත එය එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහිව කම්කරුවන් හා දුගීන් අතර වැඩෙන කෝපය ප්‍රතිගාමී, ජාතිකවාදී දිශාවක් ඔස්සේ යොමු කිරීමට ද ඒවා යොදාගනු ලැබෙමින් පවතී. ඇත්ත වසයෙන්, මෙම සියලු පක්ෂ 2015 දී එක්සත් ජනපද අනුග්‍රහයෙන් සිදු කල කොලඹ තන්ත්‍ර-මාරු මෙහෙයුමට සහයෝගය දුන් හ.

සීපීසී ආර්ථික කොමිසන් සභා පනතට එරෙහිව එක්සත් ජනපදය හා යුරෝපා සංගමය දක්වන ප්‍රතිචාරය පිලිබඳව, රාජපක්ෂ ආන්ඩුව බරපතල ලෙස  කනස්සලු සහගත ය.

විදේශ ඇමති දිනේශ් ගුනවර්ධන, එක්සත් ජනපද තානාපති කාර්යාලයේ කාර්යභාර නිලධාරියා වෙත ඇමරිකානු කොන්ග්‍රස්  යෝජනාව පිලිබඳ කොලඹ උත්සුකයන් ඉස්මතු කලේ ය. එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති වන රවිනාත් ආරියසිංහ, එක්සත් ජනපද පහල මන්ත්‍රන  සභාවේ විදේශ සබඳතා කමිටුවෙන් යෝජනාව ඉදිරියට ගෙන නො යන ලෙස ආයාචනා කල අතර, මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් දිවයිනේ ජීඑස්පී බදු සහන ආරක්ෂා කර දෙන ලෙස රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ඉල්ලී ය.

ජනාධිපති රාජපක්ෂ ඔහුගේ ආන්ඩුව “නො බැඳි විදෙස් පිලිවෙතක්” අනුගමනය කරන බව යලි යලිත් ප්‍රකාශ කර ඇතත්, එක්සත් ජනපදය චීනයට එරෙහි ප්‍රකෝපකාරීත්වයන් ඉහල දමද්දී, කොලඹ තමන් පිටුපස පෙල ගස්වා ගැනීමට වොෂින්ටනය අධිෂ්ඨානවත් ව සිටී.

Loading