ලංකාව තුල ආහාර නිරාපදතාව බැරෑරුම් අවදානමක

පසුගිය දා, ඇෆ්ලටොක්සින් නමැති විෂ ද්‍රව්‍යයෙන් දූෂිත ආනයනිත පොල්තෙල් පොදු ආහාර සැපයුමට මුසු වී ඇති බව හෙලිදරව් වීමත් සමඟ දැවැන්ත මහජන කැලඹීමක් හා විරෝධයක් පැන නැගුනි. ගුදම් හිඟයක් මවාපාමින් ශ්‍රී ලංකා රේගුව මෙකී අන්තරාදායී තෙල් තොග අදාල සමාගම් වෙත මුදාහැර තිබුනේ වක්කඩේ හකුරු සඟවමිනි. සැක කටයුතු තෙල් බවුසර පොලීසිය මගින් අත්අඩංගුවට ගත් පසුව සිදු කෙරුනු අහඹු නියැදි පරීක්ෂාවන්හි තැතිගන්වනසුලු ප්‍රතිඵලවලින් පෙනී ගියේ එම දූෂිත තෙල් වෙලෙඳපොලට කාන්දු වී ඇති බව යි (සෙසු තෙල් බහාලුම් දැන් ප්‍රති-අපනයනය කෙරෙමින් පවතී).

ඇස්පර්ජිලස් ගනයට අයත් දිලීර විශේෂද්වයක තාප ප්‍රතිරෝධී අතුරු නිපැයුමක් වන ඇෆ්ලටොක්සින් නිශ්චිත මානව පිලිකාජනකයකි (අක්මාවේ පිලිකාවට තුඩු දෙන හේතු අතර මෙය තෙවැනි ස්ථානය භජනය කරයි). ආනයනිත නැව්තොග කීපයක මෙකී විෂ සාන්ද්‍රනය අනුදතහැකි ප්‍රමානය මෙන් තුන් ගුනය ඉක්මවා පවතින බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් තහවුරු කෙරුනි. කෙසේවෙතත්, වඩා භයානක (චර්මය විනිවිදිය හැකි) B1 ප්‍රවර්ගය ඒ අතර වී දැයි සඳහනක් නැත. 

මෙරට බහුතර ජනතාව සන්නාම රහිත ඉහිල් පොල්තෙල් පාවිච්චි කරන අතර ඒ සියල්ල ම පාහේ දැන් සැක සහිත ය. මීට අමතරව, තෙල් අඩංගු සත්ත්ව කෑම ඔස්සේ පවා ඇෆ්ලටොක්සින් ආහාර දාමයට ඇතුලු වෙයි. මේවා පියවි ඇසට හසු නො වන අතර යථොක්ත මගඩිය දිගට ම සිදු වුවහොත් එය අවසන් වනු ඇත්තේ රජරට වකුගඩු රෝගය බඳු කල් පවතින ඛෙදවාචකයකිනි.

ජාත්‍යන්තර ප්‍රමිතීන් ඇසුරින් සැකසී ඇති පොල්තෙල් පිලිබඳ ශ්‍රී ලංකා ප්‍රමිතිය (SLS 32:2017, තෙවැනි සංස්කරනය) අනුව, අනුදතහැකි උපරිම සමස්ත ඇෆ්ලටොක්සින් ප්‍රමානය කිලෝග්‍රෑමයකට මයික්‍රෝග්‍රෑම් 10 කි. එහෙත්, සියලු සමාජයන් තුල ආහාර සංස්කෘතිය සර්වසම නො වන අතර මෙරට ජනයා දිනපතා බහුල වසයෙන් තෙල් අනුභවයට හුරුපුරුදු වී සිටී. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, වර්ධිත රටක ඇෆ්ලටොක්සින් දෛනික භෝජන නිරාවරන සාමාන්‍යය කිලෝ ග්‍රෑමයකට නැනෝග්‍රෑම් 1 (නැනෝ ග්‍රෑමයක් යනු ග්‍රෑමයකින් බිලියනයෙන් කොටසකි) වන  අතර උප-සහරානු කලාපයෙහි එය සිය ගුනයකි (Food Safety Digest,WHO 2018 පෙබරවාරි). 

එහෙයින්, එක් හෝ තවත් ජාතියක් ආශ්‍රිතව පැනවී ඇති සීමාවන් නිසි උපද්‍රව තක්සේරුවකින් (Risk assessment) තොරව අන්‍ය ජාතියක් මත පැටවීම ම වක්‍රාකාර සමූහ වස කැවීමකි. ඇෆ්ලටොක්සින් සාන්ද්‍රනය ශුන්‍ය මට්ටම දක්වා සිඳුවිය හැකි අතර මෙබඳු තත්ත්ව ආරක්ෂනයක් උදෙසා මුදල් ආයෝජනය කිරීමට සමාගම් සූදානම් නැත (නැවුම් පොල් මදයෙන් නිපදවන නෑඹුල් පොල්තෙල් ධනවතුන් සඳහා වෙන් වී ඇත). එසේ ම, “ප්‍රායෝගික දුෂ්කරතා” නමැති බිල්ලා මවා විවිධ දූෂක (contaminants) සඳහා ඉවසියහැකි සීමාවන් සාපේක්ෂව ඉහල අගයක රඳවා තබනුව පසුගාමී ජාතික රාජ්‍යයන්හි ප්‍රමිති සම්පාදකයන් මෙල්ල කර ගැනුමට සමාගම් සමත් වී ඇත.

මෙකී කලබැගෑනිය අතරතුර ආහාර නිරාපදතාව (food safety) විෂයයෙහි මෙතෙක් අන්තර්භෞමිකව පැවති අන්‍ය ගැටලු රැසක් ද එලිමහනට පැමිනෙමින් තිබේ. මෙරට ආහාර ද්‍රව්‍ය  බොහොමයක ඇෆ්ලටොක්සින් අල්ප වසයෙන් (එනම්, රතු කට්ට නො පැන) අඩංගු වන බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මාධ්‍ය හමුවක දී හෙලි කලා ය. දෙන ලද ආහාරයක සෞඛ්‍යයට හානිකර කිසියම් ද්‍රව්‍යයක් සීමාවන්ට යටත්ව වුව පවතී නම් එය මිලට ගත යුතු ම දැයි තීන්දු කිරීමේ පරම අයිතිය පාරිභෝගිකයා සතු ය. 

නමුත්, පරිහානිගත ධනේශ්වර ක්‍රමය යටතේ එයට ඉඩක් නැත. සෞඛ්‍යයට හානිකර විය හැකි වෙනත් ද්‍රව්‍ය (වැලි, බැර ලෝහ, ව්‍යාධිජනක ක්ෂුද්‍රජීවීන්, හීනකාරක, අනුමත නො කල ආකලන ආදිය) ද බොහෝ ආහාරයන්හි අඩු වැඩි වසයෙන් අන්තර්ගත වන අතර සතුටුදායී තත්ත්ව සහතික දරනුයේ සීමිත ප්‍රමානයකි. පවතින නීති යටතේ, මෙරට තුල ආහාර සැකසුම් ව්‍යාපාරයක් ඇරැඹීම පහසු කාර්යයක් වන අතර නිපැයුම් වට්ටෝරු ජනප්‍රිය සූපවේදීන් වෙතින් ද, ‘බේත්’ හෙවත් රසායනික සංරක්ෂක (Preservatives) විවෘත වෙලෙඳපොලින් ද රිසි සේ සපයා ගත හැකි ය!

කෘෂි රසායන අවශේෂ මගින් දූෂිත එලවලු හා පලතුරු ගැන නො කිවමනා ය (එහෙත්, කාබනික වගාව සඳහා විධිමත් සැලසුමක් නොමැතිව කෘෂි රසායන නැවැත්වීම අසාමාර්ථ්‍යයකි). අල්ප ආම්ලික ආහාර (ටින් මාලු, පොල්කිරි, පිසූ ව්‍යාංජන, බෝතල් කල බැදුම්, ඇඹුල්තියල්, චිලි පේස්ට් ආදිය) සඳහා සැකසුම් වලංගුකරනය (Process Validation) අත්‍යවශ්‍ය ය. අපනයනකරුවන් මීට අනුකූලව උසස් නිපැයුම් නැව්ගත කරන අතර යට කී වලංගුකරනය මෙරට තුල අනිවාර්යය කෙරී නැති බැවින් සෙසු නිෂ්පාදකයෝ අනාරක්ෂිත සැකසුම් ක්‍රියාවලීන්හි නිරතව සිටිත්. පිසුම් තෙල් පුනර්-භාවිතය (බදින ලද ඇට වර්ග, මුරුක්කු, චිප්ස්, බයිට් ආදිය) ද සෞඛ්‍යමය වසයෙන් අනාරක්ෂිත ය. 

කලපු ආශ්‍රිත කරවල නිෂ්පාදනය ඉතා අපිරිසිදු වාතාවරනයක සිදු කෙරේ. දිලීර ආසාදිත ආනයනිත කරවල හා උම්බලකඩ බහුතරය අයථා ලෙස යලි සැකසෙයි. උම්බලකඩ නිපදවීමෙහි දී දුම් ගැසීම සිදු කෙරේ. එමගින් එහි ආවේනික රසය උද්දීප්ත වුව දැව දුමෙහි අඩංගු ෆීනෝලික සංයෝග (පොලි ඇරෝමැටික හයිඩ්‍රොකාබන) පිලිකාජනක ය. නිරුපද්‍රිත නවීන දුම් ගැසුම් ශිල්පක්‍රම ඇතත් ලාභදායී සම්ප්‍රදායික ක්‍රමය ම දැනටත් අනුගමනය කෙරේ.

පෙර නිමි ආහාර (pre-packaged foods) නිරුපද්‍රිත වනුයේ නිරවද්‍ය ඇසුරුමක් භාවිත කර ඇත්නම් සහ ආයු කාලය විද්‍යාත්මකව නිර්නය කෙරී ඇත්නම් පමනි. එහෙත්, බොහෝ විට ඇසුරුම් ද්‍රව්‍ය  නිපදවන කොම්පැනිවල අලෙවි නියෝජිතයන් විසින් ඇසුරුම්කරන උපදෙස් සැපයෙන අතර කල් ඉකුත් වන දිනය හිතුමනාපයේ තීන්දු කෙරේ! විධිමත් ප්‍රතිචක්‍රීයකරන යාන්ත්‍රනයක් ස්ථාපිත කරනු වෙනුවට ප්ලාස්ටික් ඇසුරුම් ද්‍රව්‍ය  තහනම් කිරීම ද අසාමාර්ථ්‍යයකි. ජෛවහායන (biodegradable) ඇසුරුම් මිල අධික වනවා පමනක් නොව දිගු ආයු කාලයක් සහිත නිපැයුම් සඳහා තාක්ෂනමය වසයෙන් අයෝග්‍ය  ද වෙයි. ආහාර ලේබල බහුතරය සාවද්‍ය ය; නො මඟ යැවෙනසුලු ය. 

නිදසුනක් ලෙස, කිසියම් තෙල් මිශ්‍රනයක (blended oil) එක් සංඝටකයක් සියයට 75ක් නො ඉක්මවන කල්හි “එලවලු තෙල්”, “මිශ්‍රිත තෙල්”, “පිසුම් තෙල්” ආදි වසයෙන් නම් කිරීමට ලේබල් රෙගුලාසි මගින් ඉඩ ලැබී ඇති අතර මෙය තෙල් සමාගම් උදෙසා ලබා දුන් අයුතු වාසියකි. ඇතැම් නිපැයුමක “කොලෙස්ටරෝල් නැත” යන ව්‍යාජ හිමිකම් පෑම ද දැකිය හැක. එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලන අධිකාරියට (FDA) අනුව, හෘද රෝගයන්ට තුඩු දෙන ට්‍රාන්ස් මේද අම්ල ජනනය කරන පාර්ශ්වීය හයිඩ්‍රජනීකෘත තෙල් “නිරුපද්රිත මානව ආහාරයක් ලෙස සාමාන්‍යයෙන් සලකන (GRAS)” ගනයට අයත් නො වේ. එහෙත්, ලංකාවේ ජනප්‍රිය මාගරින් (ෆැට් ස්ප්රෙඩ්) වර්ගයක ට්‍රාන්ස් මේද අන්තර්ගත වන අතර නිපැයුම් ලේබලය ඒවා රහිත බව කියා සිටී! විටෙක, ආහාර ලේබල්වලට නොයෙක් තත්ත්ව ලාංඡන ඇතුලත් කෙරෙනුයේ මුද්‍රනාලකරුවන් විසිනි!

මේ අතර, ගෙදර දී ම කිරි දොවන ලෙසත් තෙල් සිඳින ලෙසත් ඇතැම් විද්වත්හු ජනතාවට උපදෙස් දෙති. කවර තතු යටතේ වුව, එඬේර ජීවිතය උත්කර්ෂයට නැංවීම විකාරයකි. අපවිත්‍ර වැව් ආශ්‍රිත “නෙලුම් කොලේ බත” අනුභව කිරීමේ විපාක සැක සහිත තෙල් පරිභෝජනයට වඩා භයානක විය හැකි ය. පාරම්පරික සෙක්කු පොල්තෙල් වුව අමුද්‍රව්‍යය (කොප්පරා) දිලීර ආසාදිත නම් එක සේ අවදානම් ය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කෘත්‍රීම ආකලන (artificial additives) ඉඳුරා බැහැර කරයි. මීට ප්‍රතිකූලව, මෙකී ආකලන වනාහි ආහාර නිරාපදතාව අරබයා විශාල කාර්යභාරයක් ඉටු කරන නූතන ආහාර විද්‍යාව හා තාක්ෂනය ලද ජයකි. ආහාර විෂ වීම හා ආහාර-වාහිත අසනීප (food borne illneses) අවම කර ගැනුමට මේවා ඉවහල් වේ. එසේවතුදු, විද්‍යාමය සාක්ෂාත්කරන ලෝක පරිමානව ලාභ පසුපස හඹා යන කර්මාන්තකරුවන් විසින් නිබඳව ගසාකනු ලැබේ. 

ධනේශ්වර සමාජයක් තුල, ආහාර ප්‍රමිතීන් හා නීති රෙගුලාසි සම්මත කෙරෙනුයේ නිෂ්පාදකයන්ගේ හා ආනයනකරුවන්ගේ එකඟතාව මත ය. මොවුහු බහුතරය සංස්ථාපිතයේ සෘජු පංගුකරුවෝ සහ අනුශාසකයෝ නොවේ නම් නන් අයුරින් එයට සමීපස්ථ අය වෙති. නිපැයුම් පිරිවිතර (Product specification) පිලිබඳ තාක්ෂන කමිටු තුල පෞද්ගලික අංශයේ නියෝජිතයෝ සිය ආධිපත්‍යය පතුරුවති. අනවශ්‍ය පරිදි කෘත්‍රිම ආකලන පිටසන් කිරීම පසුපස බහු ජාතික සංගත සිටින බව ප්‍රසිද්ධ රහසකි. හොඳ ම නිදසුන පිලිකාජනක නයිට්රයිට ය. සැකසූ මාංශ (සොසෙජස්, මීට් බෝල්ස්, බේකන් ආදිය) සංරක්ෂකයකැයි ව්‍යාජ හිමිකමක් පෑවත් මේ විෂ රසායනිකයෙහි සැබෑ කාරිය නම් ලාභ රේට්ටු තර කර ගනුව මාංශ මිහිකරනය (Curing) වේගවත් කිරීම සහ රුචිකර රෝස පැහැය රැක ගැනුම යි. සැකසූ මාංශ ග්රෑම් 50ක් දෛනිකව අනුභව කිරීම මගින් ආන්ත්‍රික පිලිකා හට ගැනුමේ අවදානම සියයට 18 කි (ලෝක සෞඛ්‍ය සංවිධානය, 2015).  

දෙවැනි ලෝක යුද්ධය සමයෙහි යුරෝපය පුරා විදුලි බලය අක්‍රීය වූ තතු යටතේ, එලකිරි කල් තබා ගනු පිනිස හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් යොදා ගැනින. ප්‍රවාහන හා ශීතාගාර පහසුකම් පුලුල් කරනු වෙනුවට මෙරට ඇතැම් කිරි නිෂ්පාදන සමාගම් සෛලවලට හානි පමුනුවන මුක්ත ඛන්ඩ (free radicals) ජනනය කෙරෙන මේ විෂ රසායනිකය දැනුදු භාවිත කරයි. මෙලමයින් නමැති සුවිකාරකය (plasticizer) කිරිපිටි තුල හමු වූ කල්හි එම දුර්භාවිතාව තහනම් කරනු වෙනුවට ‘දියුනු ලෝකය’ සිදු කලේ එකී විෂ රසායනිකය සඳහා අනුදත් උපරිම සීමාවක් පැනවීම යි (ලංකා ආන්ඩුව ද වහා එය බාර ගති!). 

මෙය අභූතරූපී වනුයේ, මෙලමයින් යනු ඇෆ්ලටොක්සින් මෙන් ස්වාභාවික ද්‍රව්‍යයක් නො වන බැවිනි. විටෙක, කිසියම් නිපැයුමක අලෙවිය පහත වැටීම නිසා ආයු කාලය දීර්ඝ කර ගනු වස් කෘත්‍රිම සංරක්ෂක අනුමත කෙරෙන අවස්ථා ඇත. නිදසුනක් ලෙස, මී කිරි පිලිබඳ ශ්‍රී  ලංකා ප්‍රමිතිය සෝර්බික් අම්ලය සඳහා ඉඩ දුන්නා මතු නොව එහි උපරිම සීමාව මෑත දී තුන් ගුනයකින් ඉහල ද නැංවී ය (SLS 824:1:2017,  ප්‍රථම සංස්කරනය). මේ අනුමතිය ලබා දුන්නේ මැටි හට්ටි කද බැඳ ගත් ගම්බද කිරි ගොවියා රැක ගැනුමට නොව අභිනව ප්ලාස්ටික් බඳුන් තොග සමඟ ‘හෙම්බත්ව’ සිටි මහා පරිමාන කිරි නිෂ්පාදකයා වෙනුවෙනි.

අතීත සමාජය තුල ආහාර මගඩි ඇරැඹුනේ අති සරල හීනකාරකයකිනි (adulterant). වර්තමානයෙහි එය සංකීර්න ප්‍රයෝගයක් බවට පත්ව තිබෙනුයේ කුලී රසානඥයන්ගේ ද සහායෙනි. නිදසුනක් ලෙස, ජනප්රිය දේශීය මඤ්ඤොක්කා පෙති බැදුමක් එයට මොනෝ සෝඩියම් ග්ලූටමේට් (MSG) එකතු කර නැතැයි කියා සිටී. න්‍යායිකව, මෙය නීත්‍යානුකූල හිමිකම් පෑමකි. එහෙත්, අඩංගු ද්‍රව්‍ය අතර ඇති අන්‍ය  රසෝද්දීපක (Flavour enhance) දෙකක් විසින් MSG මගින් අපේක්ෂිත ආසක්තකාරී ගුනය ම උපදවනු ලබයි. මෙය රසායන විද්‍යාවේ ශූර අවභාවිතාවකි. තතු එසේ වුව, පොල්තෙල් විකුනා හති වැටී සිටින ධනේශ්වර ජනමාධ්‍ය දැන් කුජීදු දේශපාලනඥයින් හා ඊනියා විද්වතුන් සිය මන්ඩප වෙත කැඳවමින් ගම්මිරිස් ඇට සමඟ පැපොල් ඇට මිශ්ර වී ඇති දැයි සංවාද පවත්වයි.

ශ්‍රී  ලංකා ප්‍රමිති ආයතනය තුල ඇෆ්ලටොක්සින් විශ්ලේෂන පහසුකම් ස්ථාපිත කෙරුනේ යන්තම් දෙමසකට පෙර දී බව ආචාර්ය සිද්ධිකා සේනාරත්න පැවසූ අතර එමගින් වැදගත් කරුනක් හෙලි වේ: රජයේ විද්‍යාත්මක ආයතන අත්‍යවශ්‍ය  සම්පත් හිඟයකින් පෙලෙන බව යි. එසේ ම, සාක්ශාත් කර ගැනුමට ඉතා අසීරු ස්වයංපෝෂී ඉලක්ක කරා තල්ලු කෙරෙන තතු තුල මෙකී ආයතන පුද්ගලික සමාගම් මත යැපෙමින් සිය ස්වාධීනත්වය අහිමි කර ගැනුම නො වැලැක්විය හැකි ය. මේවායෙහි සභාපති ධුරයන්ට ව්‍යාපාරිකයන් පත් වීම යනු ජාවාරම්කාර සංස්කෘතිය සමඟ ආන්ඩුවට ඇති ඥාතිත්වයේ සෘජු ප්‍රකාශනයකි.

ශ්‍රී  ලංකා ආහාර පනත එලිදුටුවේ 1980 දී ය. ආහාර ලේබල් හා ප්‍රචාරක රෙගුලාසි (2005) සහ ඇසුරුම් රෙගුලාසි (2010) ගැසට් කිරීමට තවත් සෑහෙන කලක් ගත විය. කෝකටත් තෛලය වන මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ කෙටි විපරම හැර ආහාර සැකසීම විශයයෙහි දැකිය හැකි තාක්ෂනික දුර්වලතා, දුෂ්-පරිහරන හා දුර්-ක්‍රියාකාරකම් වැලැක්වීමේ විධිමත් යාන්ත්‍රනයක් මෙතෙක් ස්ථාපිත කෙරී නැත. පාරිභෝගික කටයුතු අධිකාරී පනත (2003) සම්මත කෙරුනේ, එම අධිකාරියට ම අනුව, “නව ආර්ථික පර්යාය හා වෙලෙඳ පටිපාටි පිලිබඳ වත්මන් සන්දර්භය” තුල ය! ඊනියා ‘නිදහසින්’ පසුව දශක හතක් මුලුල්ලේ මෙරට පාලනය කල ධනේශ්වර ආන්ඩු පරිභෝජකයාගේ ආරක්ෂාව නො තකා හල තරම මින් පැහැදිලි ය.

එහෙයින්, විෂ පොල්තෙල් වේවා කී නොකී සෙසු මගඩි වේවා ආහාර නිරාපදතාව අවදානමට හෙලන සියලු ක්රියාවන්හි සැබෑ වගඋත්තරකරු ඒ හෝ මේ කූට ව්‍යාපාරිකයා නොව කෑදර ධනවාදය යි. ඔව්, ෆුකුයාමාගේ අසමාර්ථ්යය යලියලිත් තහවුරු වී ඇත. සෝවියට් රුසියාව බිඳී විසිරෙනු හා බර්ලින් තාප්පය බිඳ වැටෙනු දැක මේ කුප්‍රකට අමෙරිකානු දේශපාලන ආර්ථිකඥයා සහ ලෝක ධනවාදයේ අචල දෘෂ්ටිවාදියා “ධනවාදයේ විජයගහනය” නිවේදනය කරමින් කියා සිටියේ ලෝක ව්‍යාප්ත ලිබරල් පජාතන්ත්රවාදය හා නිදහස් වෙලෙඳපොල ආර්ථිකය මානව ආන්ඩුක්රමයේ අවසන් රූපාකාරය වන බව යි (ෆ්රැන්සිස් ෆුකුයාමා, The End of History and the Last Man, 1992). 

දශකද්වයකට පසුව, සමාජ සුබසාධනය, ආහාර සුරක්ෂිතතාව, ආහාර නිරාපදතාව, පරිභෝජක රැකවරනය හා මහජන සෞඛ්‍ය ය වඩවඩා නරක අතට හැරෙනු අපි අත්විඳිමින් සිටිමු. විද්‍යා ත්මක හා තාක්ෂනික මස්තකප්‍රාප්තීන් තිබියදී ආහාර විෂ වීම් හා ආහාර-වාහිත අසනීප ලොව අහුමුලු නෑර දිනපතා වාර්තා වෙයි. ෆුකුයාමා සහ ඔහුගේ දේශපාලන අනුචරයන් ද, එක් හෝ තවත් අයුරකින් ධනවාදයට උඩගෙඩි දුන් නා නා ප්‍රකාර ස්ටැලින්වාදීන් හා ව්‍යාජ වම්මුන් ද අද ගලේ පැහැරූ බලලුන් මෙනි.

සියලු දෑ – එනම්, ආහාර හීනකරනයේ සිට ප්‍රමිති සම්පාදනය හා රෙගුලාසි පැනවීම දක්වා හැම දෙය ම ක්‍රියාත්මක වනුයේ වෙලෙඳපොල ආර්ථිකයේ රුචි අරුචිකම් මත ය. මෙදා කොවිඩ්-19 වසංගතය සමඟ ඔට්ටු වන ධනේශ්වර රාජ්‍යයන් “නව සාමාන්‍ය ය” ජීවන රටාව හඳුන්වා දුන්නේ මහජනයාගේ සුවසෙත පිනිස නොව සිය ආර්ථිකයේ අරක්ෂාව පිනිස ය. එබඳු සමාජයක් තුල මනුෂ්‍යයාගේ යහපැවැත්මට හිමි වනුයේ අඩු වැදගත්කමකි; නැතහොත්, කොහෙත්ම නො වැදගත් තැනකි. එහෙයින්, පුද්ගලික දේපල මත යැපෙන මෙකී කොල්ලකාරී ජගත් ධනවාදය, කවර වියදමක් දරා වුව, මහජනයාගේ සැබෑ රුචි අරුචිකම් අනුව කටයුතු කරන කම්කරු රජයන් මගින් විස්ථාපනය විය යුතුව තිබේ. ජාතික නියාමන ආයතනයන්හි පැවරුම් බලයන් (mandates) ද, එවිට, ජනතාවට වග වන පරිදි, විප්ලවීය වෙනසකට බඳුන් වනු ඇත.

එක්කෝ සමාජවාදය නැතිනම් මරනය!

--------------------------------------------------------------

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයෙකු වන මෙම ලිපියේ කතුවර දර්ශන මේදිස්, ලංකා කාර්මික තාක්ෂන ආයතනයේ (ලංකා විද්‍යාත්මක හා කාර්මික පර්යේෂනායතනයේ අනුප්‍රාප්තික) ආහාර තාක්ෂන අංශයෙහි ජ්‍යෙෂ්ඨ පර්යේෂන තාක්ෂනඥයෙකු වෙයි. 

Loading