පසුගිය මාසයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත් කල රසායනික පොහොර ආනයනය කිරීමේ තහනම, ගොවීන්ගේ ජීවනෝපාය හා මහජනතාවගේ ආහාර සුරක්ෂිතාව බරපතල ලෙස අනතුරේ හෙලනු ඇති බව ගොවින් හා විද්වතුන් අවධාරනය කර ඇත.
මෙහි මුල් පියවරක් වශයෙන් මැයි 2වැනි දා චීනයෙන් ලංකාවට ආනයනය කල රසායනික පොහොර මෙට්‍රික් ටොන් 18,000ක තොගයක් ආපසු හරවා යැවූ බවත්, මින් පසුව රසායනික පොහොර හා පලිබෝධ නාශක සඳහා නයකර නිකුත් කිරීම (Letters of Credit) නවතා ඇති බවත් වාර්තා විය.
රසායනික පොහොර වලින් නිර්මානය කෙරී ඇති සෞඛ්‍ය ප්‍රශ්න සහ පරිසර දූෂනය සලකා බැලූවිට ඒවා භාවිතයෙන් සිදුවන හානි, ලැබෙන ප්‍රතිලාභ වලට වඩා වැඩි බව රාජපක්ෂ පවසයි. කාබනික වගාව දිරිමත් කර, එහි ඉහල පිරිවැයට සරිලන පරිදි, “වැඩි මිලට භෝග මිලදී ගැනීමටද රජය සූදානම්” බව පසුගිය සතියේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කල ඔහු, ශ්‍රී ලංකාව ලෝකයේ පලමු වැනි “රසායනික පොහොර වලින් තොර” රට බවට පත් කරන බවටද පාරම් බෑවේය.
රාජපක්ෂගේ “සෞභාග්‍යයේ දැක්ම” මැතිවරන ප්‍රකාශයේ “කෘෂි කර්මය තුල කාබනික පොහොර භාවිතය දිරිමත් කිරීම” ගැන කෙටි සඳහනක් තිබුත්, එවැන්නක් සාක්ෂාත් කරගත හැකි කිසිදු වැඩපිලිවෙලක් ඉදිරිපත් කර තිබුනේ නැත. වසරකට මෙට්‍රික් ටොන් මිලියන 1.2ක් වූ ලංකාවේ රසායනික පොහොර සැපයුම සඳහා විකල්පය ලෙස කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ දැන් හදිසියේ ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය පොහොර සංස්ථාව “කාබනික පොහොර” නිෂ්පාදන ආයතනයක් බවට පත් කිරීමේ කිසිදු කාල රාමුවක් නොමැති වැඩපිලිවෙලකි.
“ඉදිරි කන්නය වගා කිරීමට අවශ්‍ය රසානික පොහොර, දැනටමත් රටතුල තිබෙන” නිසා මෙමගින් කෙටි කාලීන රසායනික පොහොර හිඟයක් ඇති නොවන බව අලුත්ගමගේ සහතික වී තිබුනත්, ගොවි සංවිධාන මාධ්‍යට ප්‍රකාශ කර තිබුනේ, වෙලඳ පොලේ උග්‍ර රසායනික පොහොරවල හිඟයක් දැනටමත් ඇති වී තිබෙන බවයි.
පසුගිය සතියේ උතුරු මැද, හා නැගෙනහිර පලාත්වල නගර කීපයක ගොවීන් පොහොර ලබා ගැනීමට දීර්ඝ පෝලිම් වල පැය ගනන් කාලය ගත කරන අයුරු දැකගත හැකිවිය. මෙම පොහොර හිඟයට එරෙහිව රටපුරා ගොවි සංවිධාන වල දැඩි විරෝධය පල කෙරුනි. මෙම මහජන විරෝධය මධ්‍යයේ, තහනම මඳක් ලිහිල් කරමින්, මැයි 6 වනදාට ප්‍රථම නැව් ගත කෙරුනු පොහොර තොග ගොඩ බෑමටත්, ඉන් පසුවද “විශේෂ රෙගුලාසි”යටතේ යම් කෘෂි රසායන ගෙන්වීමටත් ඉඩ සලසන ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ආන්ඩුවට සිදු විය.
රාජපක්ෂ ආන්ඩුවේ රසායනික පොහොර තහනම, මහජන සෞඛ්‍යය හෝ පරිසරය පිලිබඳ උත්සුකයකින් සිදු කෙරෙන්නක්ය යන්න අමූලික බොරුවකි. කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ ආන්ඩුව ගෙනයන සාපරාධී පිලිවෙත හේතුවෙන් දහසකට වැඩි ගනනක් මරනයට ගොදුරු කෙරෙමින් වසංගතය වඩාත් ව්‍යසනකාරී මට්ටම් වලට ඇදෙමින් පවතී.
මෙම තත්වය තුල, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ සේවා වසා දැමීම ඇතුලත් දැඩි සංචරන සීමා සහිත ජාතික පරිමාන අගුලු දැමීමක් අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය විශේෂඥයන් බලගතු ලෙස අවධාරනය කරද්දී රාජපක්ෂ එය නරුම ලෙස ප්‍රතික්ෂේප කරයි. ඔහු කියා සිටින්නේ එවන් අගුලු දැමීමකින් “රටේ ආර්ථිකය” වඩාත් දුර්වල වන බවයි. “රටේ ආර්ථිකය” ආරක්ෂා කිරීමේ නාමයෙන් ධනපති ආන්ඩු ආරක්ෂා කරන්නේ ධනපතියන්ගේ ලාභෝත්පාදන ක්‍රියාවලිය යි.
මිනිස් ජීවිත වලට ඉහලින් මහ ධනපතියන්ගේ ලාභය තබන රාජපක්ෂ වැන්නවුන් මහජන සෞඛ්‍යය පිලිබඳ උත්සුකයෙන් රසායනික පොහොර තහනම් කල බවට කෙරෙන ප්‍රකාශ කෙතරම්නම් වංචනික ද?
එමෙන්ම, අතොරක් නැතිව සිදු කෙරෙන වන විනාශය, සංවේදී පරිසර පද්ධති කසල දමා විනාශ කිරීම හා කිසිදු විද්‍යාත්මක පාරිසරික ක්‍රමවේදයකින් තොරව යටිතලව්‍යූහ ඉදිකිරීම ආදී පාරිසරික අපරාධ ගොන්නකට ද ආන්ඩුව වගකිව යුතුය. එවන් ආන්ඩුවක් රසායනික පොහොර වලින් වන පරිසරයට වන හානිය ගැන කඳුලු සැලීම එවැනිම ප්‍රෝඩාවකි.
රාජපක්ෂගේ ප්‍රලාපයන්ට විපරීතව රසායනික පොහොර තහනමේ සැබෑ අරමුනු මෙසේය:
වර්තමාන කොවිඩ් වසංගතය මගින් වේගවත්කොට ඇති විදේශ විනිමය අර්බුදය හමුවේ, විදේශ විනිමය පිටතට ගලා යාම අවම කරගැනීමේ මංමුලාසහගත උත්සාහයක රාජපක්ෂ ආන්ඩුව යෙදී සිටී. රසායනික පොහොර ආනයනය නතර කිරීම මෙම උත්සාහයේ කොටසකි.
පොහොර සහනාධාරය කපා දැමීම තවත් අරමුනකි. රාජපක්ෂගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය තුලම, “ප්‍රජාව යලි පනගැන්වීම සඳහා, දැනට පවතින [ගොවීන්ට ලබාදෙන] පොහොර සහනාධාරය අහෝසි කර, විකල්ප ක්‍රමවේදයක් සකසා ගත යුතුය” යනුවෙන් සඳහන් වී තිබේ. කම්කරුවන්, ගොවීන් හා පීඩිතයින් භුක්තිවිඳිමින් සිටි සීමිත සහන සියල්ල මුලිනුපුටා දැමීමේ වැඩපිලිවෙලක් අනුප්‍රාප්තික ආන්ඩු විසින් පසුගිය දශක කීපය පුරා දියත් කර ඇත.
ගොවීන්ගෙන් එල්ල විය හැකි බරපතල විරෝධය නිසා පොහොර සහනාධාරයට අතගැසීම විටින් විට පමා කලත්, දැවන්ත ආර්ථික අර්බුදයක ගිලී සිටින ශ්‍රී ලංකාවේ පාලක පන්ති එය කෙසේ හෝ අහෝසිකිරීමට අධිශ්ඨාන කරගෙන සිටී. අයවැය හිඟය දල දේශිය නිෂ්පාදිතයෙන් සියයට 3ක් දක්වා අඩු කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබාදී ඇති විධානයේද ප්‍රධාන ඉලක්කයක් බවට පොහොර සහනාධාරය පත්ව ඇත.
රසායනික පොහොර තහනම පිටුපස ඉහත ආර්ථික අරමුනු වලට අමතරව ප්‍රධාන දේශපාලන අරමුනක් ද පවතී. වසංගතයට දක්වා ඇති සාපරාධී ප්‍රතිචාරයට ද, තම සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන්ට ද එරෙහිව වැඩෙන දැවන්ත මහජන විරෝධය අපගමනය කරනුවස්, ජාතිකවාදය වඩාත් බලගතු අන්දමින් පෙරට ගැනීමට රාජපක්ෂට අවශ්‍ය ය. ඒ සඳහා “රසායනික පොහොර තහනම” යහමින් යොදා ගැනීමට රාජපක්ෂ බලාපොරොත්තු වෙයි.
වසංගතය මගින් තීව්‍ර කෙරී ඇති ජාත්‍යන්තර පන්ති අරගල රැල්ල අපගමනය කිරීමේ අරමුනෙන් රටක් රටක් පාසා පාලකයන් ජාතිකවාදය රුදුරුම ආකාරයෙන් ප්‍රවර්ධනය කරමින් සිටින අතර, රාජපක්ෂගෙන් ප්‍රකාශයට පත් වන්නේ එම ජාත්‍යන්තර ප්‍රපංචය යි.
2019 ජනාධිපතිවරනයේදී බලයට ඒමේදී, තුච්ඡම ආකාරයෙන් සිංහල බෞද්ධ වර්ගවාදී කොටස් මත පදනම් වීමට රාජපක්ෂට සිදු විය. මේ වර්ගවාදී කන්ඩායම් වලට ආවේනික වූ විද්‍යා විරෝධයට මෙන්ම, “අතීත ශ්‍රී විභුතියකට” හා “සරල ග්‍රාමීය දිවි පෙවෙතකට” ඉතිහාසය ආපසු හැරවිය හැකිවෙතැයි යන අන්ත පසුගාමී චින්තනයට, මෙම “රසායනික පොහොර තහනම” මගින් රාජපක්ෂ ආමන්ත්‍රනය කරයි. එමගින්, තම පියවරට, ජාතිකවාදී යුක්තියුක්ත භාවයක් ලබාදීම ඔහුගේ අරමුනයි.
ආන්ඩුවේ මේ ප්‍රතිපත්තිය, ගොවිජනතාවත්, මහජනතාවත් රැගෙන යනු ඇත්තේ බරපතල අනතුරක් දෙසටයි. අවම වශයෙන් වසර 50ක් වත් පුරා කෘෂි රසායන මත පදනම්ව ගොවිතැන් කෙරෙන ලංකාව තුල, කෘෂි රසායනික හිඟයක් එකවරම ඇති වුවහොත්, එමගින් වගාවන්හි පලදායිතාව භයානක ලෙස පහත වැටී, ආහාර නිෂ්පාදනයේ මහා පරිමාන බිඳ වැටීමකට මගපාදනු ඇත. මෙමගින් ලක්ෂ ගනනක් ගොවීන්ගේ ජීවනෝපාය විනාශ කරනු පමනක් නොව, උග්‍ර ආහාර හිඟයක්ද නිර්මානය කරනු ඇත.
දැනටමත් උග්‍ර නය බරක ගිලී සිටිමින්, නියඟය, වන සතුන්ගෙන් සිදුවන හානි හා සමාජ ප්‍රශ්න ගනනාවකින් බැටකන ලංකාවේ කෘෂිකාර්මික ප්‍රජාවට, මෙවැනි තත්වයක් මරු පහරකි. කොවිඩ් වසංගත තුල අහස උසට නැග ඇති අහාර වල මිල, කෘෂි නිෂ්පාදන වල සුලු හිඟයක් මගින් පවා තවත් ඉහල යවා, පෝෂන ඌනතාවන් හා සෞඛ්‍ය ගැටලු වඩාත් තීව්‍ර කරනු ඇත.
මේ විනාශකාරී පියවරේ පරිමාව තේරුම් ගැනීමට එමගින් වී වගාවට පමනක් ඇතිවිය හැකි බලපෑම නිරීක්ෂනය කිරීමද ප්‍රමානවත්ය. මෙට්‍රික් ටොන් මිලියන 3ක් පමන වන ශ්‍රී ලංකාවේ වාර්ෂික සහල් පරිභෝජනය රට තුල නිෂ්පාදනය වන මෙට්‍රික් ටොන් මිලියන 2.8ක් පමන වන සහල් ප්‍රමානයෙන් යාන්තමෙන් පිරිමැසේ. නිෂ්පාදනයේ කුඩා පහල යාමක් වුවද බරපතල සහල් හිඟයකට තුඩු දිය හැක.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව ශ්‍රී ලංකාවේ කුඹුරු ඉඩම් හෙක්ටයාර 750,000 පමන ප්‍රමානයෙන්, සියයට 70ක්ම වගා කෙරෙන්නේ රසායනික පොහොර භාවිතයෙන් පමනි. සියට 30ක් පමන රසායනික හා කාබනික යන පොහොර වර්ග දෙකම භාවිත කරන අතර, කාබනික පොහොර පමනක් භාවිත වන්නේ සියයට 0.1ක් පමන වූ නොගිනිය හැකි ඉඩම් ප්‍රමානයකය. ඉඩම් වලින් සියයට 83ක්ම රසායනික පලිබෝධ නාශක භාවිතය මත පදනම්ව ඇත.
කෘෂි කර්මාන්තයේදී, රසායනික හා කාබනික යන පොහොර වර්ග දෙකෙන්ම සිදු කරනුයේ, ශාකයක වර්ධනයට හා පරිවෘත්තිය ක්‍රියා වලට අත්‍යාවශ්‍ය වන නයිට්‍රජන්, ෆොස්ෆරස් හා පොටෑසියම් යන මූලික පෝෂක මූල ද්‍රව්‍යත්, අවශේෂ ක්ෂුද්‍ර පෝෂක ද්‍රව්‍යත් ලබා දීමයි.
කාබනික පොහොර ස්වභාවික ද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කල හැකි හා පරිසර හිතකාමී වන නමුත්, ඒවායේ පෝෂක ද්‍රව්‍ය ඇත්තේ ශාක වලට උරා ගැනීමට කල් ගතවන අඩු සාන්ද්‍රන වලිනි. රසායනික පොහොර වල නිෂ්පාදනයේදී හා භාවිතයේදී ඇතිවන පාරිසරික හා සෞඛ්‍ය ගැටලු රැසක් ඇතත්, ඒවායේ ඉහල පෝෂක ද්‍රව්‍ය සාන්ද්‍රනයක්, ක්ෂනිකව උරාගත හැකි අයුරින් අඩංගු වී තිබේ.
රසායනික පොහොර හා පලිබෝධ නාශක මත පදනම් වීම, ගොවීන්ගේ හෝ කෘෂි නිලධාරීන්ගේ හිතලු මත සිදු කල තේරීමක් නොව. වේගවත් ජනගහන වර්ධනයත් සමග ඉහල යන ආහාර අවශ්‍යතාවයන්ට සරිලන පරිදි, කෘෂි කාර්මික බිම් වල පලදායිතාව වැඩිකර ගැනීම සඳහා කෘෂි රසායන යෙදීම අත්‍යාවශ්‍ය විය. පැරනි කෘෂිකර්මයේ පැවති, වගා බිම තුල පෝෂක ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරනය කිරීම වෙනුවට, පතල් හෝ ඛනිජ තෙල් කර්මාන්තය මගින් නිපදවුනු පෝෂක සංඝටක පිටතින් ගෙනවිත් ටොන් මිලියන ගනනින් වගාබිම් වලට යෙදීමට සිදු විය.
මහා පරිමාන ඛනිජ නිස්සාරනයෙන් නිපදවන රසායනික පොහොර හා පලිබෝධ නාශක භාවිතය අවමකර, පරිසර පද්ධතින්ගේ සමබර බව හා එම පරිසර පද්ධතින්ට සුදුසු භෝග හා වගා ක්‍රම ආදී කරුනු ගැන ගැඹුරු අවබෝධයක් සහිතව “තිරසාර කෘෂිකර්මාන්තයකට” (Sustainable Agriculture) ප්‍රවේශ වීම අත්‍යවශ්‍ය කරුනකි. මේ සඳහා අවශ්‍ය විද්‍යාත්මක දැනුම දැනටමත් කලල අවස්ථාවේ පවතී.
නමුත්, මහා සංගත හා ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ ලාභ අවශ්‍යතාවන් පිනිස, විනාශකාරී විෂම චක්‍රයක ගොවීන් සහ කෘෂිකර්මය සිරකරගෙන සිටින ධනපති ක්‍රමය තුල විද්‍යාත්මක හා ප්‍රජාතන්ත්‍රවාදී සැලසුම්කරනය මගින් තිරසාර කෘෂිකර්මයක් ගොඩනැගිය නොහැක.
ඊනියා නිදහසෙන් පසු දශක හතකටත් වැඩි කාලයක් ලංකාව පාලනය කොට ඇති මෙරට ධනපති පන්තිය බලගතු ලෙස සනාථකොට ඇත්තේ ගොවීන්ගේ ප්‍රශ්න විසඳීම සහ සුලු ජන වාර්ගිකයන්ගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීම ඇතුලු ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් පවා ඉටු කිරීමේ ලා ඔවුනට පවත්නා ඓතිහාසික නොහැකියාවයි.
ධනපති වර්ධනයන් කල් පසු වී ඇති ශ්‍රී ලංකාව වැනි පසුගාමී රටවල, මෙම කර්තව්‍යයන් ඉටුකල හැක්කේ, කම්කරු පන්තිය තම නායකත්වය යටතේ ගොවියන් සහ අනෙකුත් පීඩිතයන් රැලිකර ගනිමින්, ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන සටනකින් පමනි. ලෝක කම්කරු පන්තිය සමග ඒකාග්‍රව කරන එවන් සටනකින්, මහා සංගත, යෝධ බැංකු සහ සුවිසල් ඉඩම් ඇතුලු නිෂ්පාදන මාධ්‍යයන් කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට නතු කොට, ලාභය වෙනුවට මානව අවශ්‍යතා සපුරාලන පරිදි සමස්ත ගෝලීය ආර්ථිකය තාර්කිකව ප්‍රතිසංවිධානය කරගත හැක.