රට දැඩි එන්නත් හිඟයකට මුහුන දී සිටිද්දී ඉන්දියාව දිනපතා කෝවිඩ්-19 මරන 4,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා කරයි

[මෙහි පලවන්නේ 2021 මැයි 07, දින  India reports almost 4,000 daily COVID-19 deaths as the country faces severe vaccine shortages මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියේ පරිවර්තනයයි.]

වර්තමානයේ ඉන්දියාව පුරා කෝවිඩ්-19 ආසාදන වැඩිවීමේ රැල්ල හා සමාන කිසිඳු පූර්ව සිදුවීමක් කෝවිඩ්-19 වසංගත ඉතිහාසයේම නොමැත. සමස්ත ගෝලීය ආසාදිතයන් 850,000 න් අඩකට ආසන්න ප්‍රමානයක්  වූ අති ඉහල සංඛ්‍යාවක් වන ආසාදන 412,618 ක් ඊයේ (මැයි 5) වාර්තා වූයේ ,  දිනපතා ආසාදන පිලිබඳ නව වාර්තාවක් පිහිටුවමිනි.

2021 මැයි 5 වන බදාදා ඉන්දියාවේ බෙංගාලූරු නගරයට නුදුරින් පිහිටි ග්‍රැනයිට් ගල් වලක පිහිටුවා ඇති විවෘත ආදාහනාගාරයකදී කම්කරුවෙකු කෝවිඩ් -19 වසංගතයෙන් විපත්ට පත්වූවන්ගේ දර සෑ මතට ඉන්ධන ඉසින අයුරු. (AP ඡායාරූපය / අයිජාස් රාහි)

කොරෝනා වෛරසයෙන් ඉන්දියාවේ සිදු වූ මරන සංඛ්‍යාව වූ 3,980, රට තුල මෙතෙක් වාර්තා වූ වැඩිම සංඛ්‍යාව වේ. සෑම වාර්තාවකටම අනුව, මරන සංඛ්‍යා ලේඛනගත කිරීම සදහා පවතින ඉන්දියාවේ යල් පිනූ හා අකර්මන්‍ය නිල ලේඛනාගාර සැලකිල්ලට ගත් කල, මෙම සංඛ්‍යා විශාල වශයෙන් අඩු කර දක්වන්නේ වෙයි.

ගෝලීය වශයෙන්, කෝවිඩ්-19 රෝගීන්ගේ සමුච්චිත (මුලු) සංඛ්‍යාව මිලියන 160 ක් කරා ලඟා වෙමින් පවතින අතර, වාර්තා වූ මරන සංඛ්‍යාව මිලියන 3.26 කි. සති 10 ක් තිස්සේ, ලොව පුරා දෛනික කෝවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහල යමින් පවතී. පසුගිය සතියේදී මෙම වැඩිවීම පෙර සතියට වඩා සියයට 0.13 ක වැඩිවීමක් පමනක් පෙන්නුම් කරමින් නව ඉහලකට ලඟා වී ඇති බව පෙනී යයි. 

කෙසේ වෙතත්, මරන සංඛ්‍යාව දිගටම ඉහල යමින් පවතී. ඊයේ ලොව පුරා මරන 14,567 ක් වාර්තා වී තිබේ. මෙයින් 4,418 ක් දකුනු ඇමරිකාවට අයත් වන අතර බ්‍රසීලය සහ බොහෝ ලතින් ඇමරිකානු රටවල් දිගින් දිගටම නව ආසාදනවලට මුහුන දෙමින් සිටින අතර ඒ පසුපසින් එන මරන වලටද නිමක් නැති බව පෙනේ. මේ අතර, උතුරු ඇමරිකාව සහ යුරෝපය පිලිවෙලින් මරන 1,303 ක් සහ 2,809 ක් වාර්තා කර ඇති අතර එය මාස කිහිපයකට පෙර පැවති ඉහල මට්ටම් වලට වඩා පහතට වැටී තිබේ. 

මෙම ඝෝර සංඛ්‍යාලේඛනයේ විශාල කොටසකට ඉන්දියාව දායක වෙමින්, ආසියාවෙන් මරන 5,713 ක් වාර්තා වූ යේ, යුරෝපය සහ එක්සත් ජනපදය වසංගතයේ කේන්ද්‍රස්ථාන ලෙසද , දුප්පත් රටවල් කෙරේ සාපේක්ෂව වසංගතයේ  අඩු බලපෑමක් ඇති ලෙසද පෙනී ගිය වසංගතයේ පලමු වසරට සම්පූර්නයෙන් ප්‍රතිලෝම වශයෙනි.

එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ඉරනම් ආපසු හැරීම කිසිසේත් උපක්‍රමවල වෙනසක් හෝ විද්‍යාත්මක හා තීරනාත්මක මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම නිසා වූවා නොවේ. ඒ වෙනුවට, අධිරාජ්‍යවාදී මධ්‍යස්ථාන හොඳින් සංවර්ධිත ඖෂධ කර්මාන්තවල වාසිය ලබා ගෙන ඇත. මේවා විශාල ලෙස රජයේ අරමුදල් සපයනු ලැබ , මුලින් බලාපොරොත්තු වූවාට වඩා ඉක්මනින් ඵලදායී එන්නත් ලබා දෙන ලදී.

ඒ පසුපස එන එන්නත් ජාතිකවාදී ප්‍රතිපත්තියේ අර්ථය වන්නේ, ලතින් ඇමරිකාවේ සහ ආසියාවේ (මෙන්ම දියුනු කලාපවල දුප්පත් ජන කොටස්වල ද) වඩාත්ම ඛේදනීය හා අනිෂ්ට පෙර නිමිති දරන වර්ධනයන් අඛන්ඩව සිදු වෙද්දීම, (තම රටේ) ජනගහනය එන්නත් කිරීම සහ අවසන් වශයෙන් වසංගතයේ නිමාව ප්‍රකාශයට පත් කිරීම ය. 

ලොව පුරා කෝවිඩ්-19 එන්නත් මාත්‍රා බිලියන 1.21 ක් මේ දක්වා ලබා දී ඇති අතර එය ප්‍රධාන වශයෙන් ඉහල ආදායම්  රටවලට වාසි දායී ලෙසට වේ. එක්සත් ජනපදය විසින් මාත්‍රා මිලියන 250 ක් ලබා දී ඇති අතර එහි ජනගහනයෙන් සියයට 32.3 ක් සම්පූර්නයෙන්ම එන්නත් කර ඇති අතර අවම වශයෙන් සියයට 45 කට එක මාත්‍රාවක්  ලබා දී ඇත.

සැපයුම් ගැටලු සහ දුර්ලභ එන්නත් ආශ්‍රිත රුධිර කැටි ගැසීමේ සංකූලතා යුරෝපා සංගමය පුරා පෙබරවාරි සහ මාර්තු මාසවලදී ප්‍රතිශක්තිකරන ප්‍රයත්නයන්  කලඹා ලූවද, මෑත සිදු  කල මෙහෙයුම මගින් මෙතෙක් මිලියන 160 කට අධික මාත්‍රා ප්‍රමානයක් ලබා දී ඇති අතර, එන්නත් කරන ලද ජනගහන ප්‍රතිශතය 100 න් 35 කට වඩා වැඩි වී ඇත. ඉන්දියාව විසින්මද, එහි සැලකිය යුතු පරිමානයේ ඖෂධ කර්මාන්තයෙන් මාත්‍රාවන් මිලියන 160 ක් ලබා දී ඇතත්, මෙය ජනගහනයෙන් සියයට 10 කට වඩා යන්තම් වැඩි ප්‍රමානයක් නියෝජනය කරයි. ජනගහනයෙන් මිලියන 30 ක් එනම්  සියයට 2 කට  වඩා සුලු වශයෙන් වැඩි ප්‍රමානයක්  පමනක් සම්පූර්නයෙන් එන්නත්කරනය වී ඇත. 

එක්සත් ජනපදය හා යුරෝපා සංගමය යන දෙකෙහිම, විශාල වශයෙන් එන්නත් කිරීම මගින් සහ වෛරසයට විශාල වශයෙන් නිරාවරනය වීම මගින් අදහස් වන්නේ ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමානයක් SARS-CoV-2 වෛරසයට යම් මට්ටමක ප්‍රතිශක්තියක් ලබා තිබීම විය හැකි අතර, එමඟින් වෛරසයට අලුතින්ම මුහුනදෙන පුද්ගලයින් සංඛ්‍යාව අඩු වන අතරම නව මහා පරිමාන පැතිරිම් ඇතිවීමේ හැකියාවද අඩු වේ. 

2021 අප්‍රේල් 14 වන විට, නිල වාර්තාගත මිලියන 30-35 මෙන් තුන් ගුනයකටත් වඩා අධික  මිලියන 115 ක ජනතාවක් එක්සත් ජනපදයේ කෝවිඩ්-19 ආසාදනය වී ඇති බව රෝග පාලන හා නිවාරන මධ්‍යස්ථානය විසින් මෑතකදී ඇස්තමේන්තු කර තිබීම සැලකිය යුතු කරුනක් වේ. මිලියන 100 කට වඩා වැඩි එන්නත් ප්‍රමානයක් ලබා දී ඇති බවද, පිරිසක් මෙම කන්ඩායම් දෙකටම අයිති වන බවද සැලකිල්ලට ගත්විට, අවම වශයෙන් එක්සත් ජනපද ජනගහනයෙන් අඩක් සහ වැඩිහිටියන්ගෙන් අඩකට වඩා විශාල වශයෙන් වැඩි ප්‍රමානයක් කෝවිඩ්-19  ප්‍රතිදේහ දරා සිටින බව මෙයින් කියැවේ.

ෆ්ලොරිඩා, ටෙක්සාස්, මිචිගන් සහ වෙනත් ප්‍රාන්තවල සැලකිය යුතු පිපිරීම් අඛන්ඩව පැවතෙද්දීත්, එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රදේශවල හොඳින් ප්‍රචාරනය වූ  වෛරසයේ පැතිරීම  හීන වීමට මූලික හේතුව මෙයයි. වරක් ඇමරිකානු කේන්ද්‍රස්ථානය වූ දකුනු කැලිෆෝනියාවේ, ලොස් ඇන්ජලීස් ප්‍රදේශයෙ (කවුන්ටි) හි, අතර, ඊයේ වාර්තා වූයේ රෝගීන් 170 ක් සහ මරන 15 ක් පමනි.

නමුත් ලෝක ජනගහනයෙන් සියයට 18 ක් පමන නියෝජනය කරන ඉන්දියාවේ ජනගහනයෙන් වැඩි ප්‍රමානයක් ඒන්නත් නොකර පවතින අතර සම්පූර්නයෙන්ම අවදානමට බඳුන්  කර ඇත. මේ වන විට ඉන්දියාවේ කෝවිඩ්-19 රෝගීන් මිලියන 21.48 ක් සහ මරන 234,000 ක් නිල වශයෙන් වාර්තා වී තිබේ. 

රට තුල සිටින්නන් කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා එන්නත් අපනයනය නවතා දමා තිබියදීත්, සැපයුම් ගැටලු හේතුවෙන් එන්නත් කිරීමේ වැඩසටහන දුෂ්කරතා සමග පොර බදද්දී , මෙම ප්‍රතිකාර සඳහා  ප්‍රාන්ත රාජ්‍යයන් අතර තරඟය උනුසුම් වෙමින් ජාතික එන්නත් කිරීමේ යුද්ධ (ප්‍රාන්ත රාජ්‍ය අතර) පුපුරා යයි. ඉන්දියාව, රුසියාවේ ස්පුට්නික් V එන්නත පවා භාවිතය සඳහා අනුමත කර ඇති අතර, මේ සතියේ පලමු නැව්ගත කිරීම එහි ලඟා වීමට  නියමිතය.

නවදිල්ලියේ වෛද්‍යවරයකු මෙන්ම එන්නත්, පොදු මහජන ප්‍රතිපත්ති සහ සෞඛ්‍ය සේවා පද්ධති පිලිබඳ විශේෂඥයෙකු වන වෛද්‍ය චන්ද්‍රකාන්ත් ලහාරියා බදාදා සීඑන්බීසී සමග පැවසුවේ,  “අපේක්ෂිත සැපයුම තිබුනේ වුවද ඉන්දියාව එන්නත්කරනය විවෟත කර ඇත්තේ,  පෙනී යන ආකාරයට, මොනයම්ම හෝ ආකාරයකටවත් එන්නත් ආවරනය දීමට අපේක්ෂා කල හැකිවාට වඩා විශාල ජනගහනයකට ය. එය මූලිකවම සීමිත සැපයුම් සහ සැපයුම් ගැන සැලකිලිමත් නොවූ එන්නත්කරන ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයකි. ඉන්දියාවේ මිලියන 940 ක ජනතාවකට එන්නත්කරනය විවෘත කිරීමත් සමඟ මේ ආකාරයේ සැපයුමක් සහතික කිරීම,  කිසිදු උසස් සැලසුමකරනය ක් මගින් පවා සහතික කල නොහැක.”

ලෝකයේ විශාලතම එන්නත් නිෂ්පාදන ධාරිතාව තිබියදීත්- මේවාට ඉන්දියාවේ සේරම් ආයතනය සහ කොවැක්සින් නිෂ්පාදනය කරන භාරත් බයෝටෙක් ඇතුලත් වේ - කෝවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන ගනනක් යුරෝපයට සහ එක්සත් රාජධානියට අපනයනය කිරීමට ඉඩ දීම සම්බන්ධයෙන් ඉන්දීය ආන්ඩුව දැඩි විවේචනයට ලක්ව ඇත. නිෂ්පාදකයින් දෙදෙනා එක්ව මසකට මාත්‍රා මිලියන 100 ක් යාන්තමින් නිෂ්පාදනය කරති.

ඇස්ට්‍රාසෙනෙකා COVID එන්නත නිපදවන සේරම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අදාර් පූනාවල්ලා ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට පැවසුවේ එන්නත හිඟය ජූලි මස අවසානය දක්වාම පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි. සමාගම වඩා කලින් ධාරිතාව ඉහල නංවා නොකලේ “ඇනවුම් නොමැති නිසා, වසරකට මාත්‍රා බිලියනයකට වඩා වැඩියෙන් නිපදවිය යුතු යැයි අපි නොසිතුවෙමු.”

වැඩි ඉල්ලුම ගසා කමින් මිල නියම කිරීම සම්බන්ධයෙන් සමාගමට එරෙහිව විවේචන එල්ල වූ පසු ඔහු වහාම ට්වීට් කලේ: “සේරම් ඉන්ඩියා සාමගමේ පරාර්ථකාමී පියවරක් ලෙස, මම වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රාන්ත සදහා මාත්‍රාවක මිල රුපියල් 400 සිට 300 දක්වා අඩු කරමි.” යනුවෙනි. යන්තම් සති දෙකකට පෙර, ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු හා ප්‍රධාන විපක්ෂයේ හිටපු ෆෙඩරල් ඇමතිවරයකු වූ ජයරාම් රමේෂ් සිය කනස්සල්ල ප්‍රකාශ කරමින් ට්වීට් කලේ, “මධ්‍යම රජය විසින් කොවිෂීල්ඩ් (ඇස්ට්‍රාසෙනෙකා එන්නත) සඳහා මාත්‍රාවකට රුපියල් 150 ක්  (පමනක්) ගෙවීම තව දුරටත් කර ගෙන යනු ඇත. මෙය සමුපකාරී ෆෙඩරල්වාදය නොවේ. මෙ මඟින් දැනටමත් පීඩා විඳින ප්‍රාන්ත රාජ්‍ය මූල්‍යය වියැකී වියලී යනු ඇත. අතිහයින්ම කුරිරුයි! ” යනුවෙනි.

පරාර්ථකාමී පියවරෙහි සැබෑ තතු එවන් වේ. මරන සංඛ්‍යාව නිල සංඛ්‍යාලේඛනවලට වඩා පස් ගුනයකින් හෝ 10 ගුනයකින් වැඩි විය හැකි බවට විශේෂඥයන් අනතුරු අඟවද්දීත්, ලාභ උත්සුකතා රජ කරයි.  මෙම ප්‍රතික්‍රියා සහ වර්ධනයන් ඉන්දියානු ධනවාදයෙහි  ආබද්ධ කොටස් වන අතර සමස්ත අධිරාජ්‍ය ක්‍රමය තුල එහි යටත් භූමිකාවේ ලක්ෂන වේ.

එම එන්නත් නිෂ්පාදනය  පුලුල් පදනමක් මත සිදු කිරීම සඳහා පහසුකම් සැලසීමට  මෙන්ම ඒවායේ බෙදාහැරිම වෙනුවෙන්ද, කෝවිඩ්-19 එන්නත් සඳහා වන සියලු බුද්ධිමය දේපල ආරක්ෂන තාවකාලිකව අත්හැර දැමීමේ ප්‍රශ්නය ආමන්ත්‍රනය කිරීමට ලෝක වෙලඳ සංවිධානයේ මහා මන්ඩලය විසින් භාරගෙන ඇත්තේ නෛතික හා නිපදවිය හැකි එන්නත් ප්‍රමානය පිලිබඳ භෞතික බාධාවන්ගෙන් දැනට විලංගු වැටී ඇති බැවිනි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ රටවල් 100 කට වැඩි ගනනකගේ සහයෝගය මේ සඳහා ඇත. මෙම රටවල් ඔවුන්ගේ වානිජ්‍යය සම්පූර්නයෙන් විවෘත කිරීමට බාධා කරන මහජන සෞඛ්‍ය පිලිබඳ අවහිරතාවන්ගෙන් පෙලෙමින් සිටිනාතර කොරොන වෛරසයට ප්‍රතිශක්තිමය ලෙස නව්‍ය වූ තම ජනගහනය සඳහා එන්නත්කරනය ආරම්භ කිරීමට අති මහත් උනන්දුවකින්  බලා සිටිති.

ඊයේ එක්සත් ජනපද වෙලඳ නියෝජිත කැතරින් ටායි නිවේදනය කලේ බයිඩන් පරිපාලනය “බුද්ධිමය දේපල ආරක්ෂනය කෙරෙහි දැඩි ලෙස විශ්වාස කරන නමුත් මෙම වසංගතය අවසන් කිරීමේ සේවයේ දී කෝවිඩ්-19 එන්නත් සඳහා වන එම ආරක්‍ෂාවන් අත්හැරීමට සහාය දෙන” බවයි. කෙසේ වෙතත්, අවසානයේදී එවැනි ක්‍රියාමාර්ග සම්මත වූවද, එන්නත් නිපදවූ වේගය මෙන් නොව, කේවල් සාකච්ඡා සහ තථ්‍ය ලෙස ක්‍රියාවට නැගීම නැවත නැවත ප්‍රමාදයන්ට හා නිලධාරිවාදී බාධාවන්ට මුහුන දෙන බව ඊට සම්බන්ධ සියලු පාර්ශව දනියි.

එන්නත් නිෂ්පාදකයින් ඊට එක හෙලා විරුද්ධ ව සිටිත්. ජෛව තාක්‍ෂන නවෝත්පාදන සංවිධාන වෙලඳ කන්ඩායමේ ප්‍රධාන විධායක වෛද්‍ය මිෂෙල් මැක්මරි-හීත් ඒපී මාධ්‍යය වෙත පැවසුවේ, “අවශ්‍යතා ඇති රටවලට, අවශ්‍ය අමුද්‍රව්‍ය, සුරක්‍ෂාව සහ අවශ්‍ය ශ්‍රම බලකාය නොමැතිව වට්ටෝරු පොතක් ලබා දීම එන්නත බලාපොරොත්තුවෙන් සිටින අයට උදව්වක් නොකරනු ඇති” බවයි. ඇමරිකා එක්සත් ජනපදයේ ඖෂධ පර්යේෂන හා නිෂ්පාදකයින්ගේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ස්ටීවන් උබ්ල් සඳහන් කලේ , “එක්සත් ජනපද තීරනය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කරුවන් අතර ව්‍යාකූලත්වයක් ඇති කිරීමටත්, දැනටමත් පීඩාවට පත්ව ඇති සැපයුම් දාම තවදුරටත් දුර්වල කිරීමටත් ව්‍යාජ එන්නත් ව්‍යාප්ත කිරීමටත් ඉවහල් වනු ඇත” යනුවෙනි. 

Loading