මිනිස් ජීවිත වලට ඉහලින් ධනපතියන්ගේ ලාභය තබන ආන්ඩුවේ පිලිවෙත පැරදවීමට රෝහල් තුල කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නගමු!

මේ වනවිට ලංකාවේ රෝහල් බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය ඇතුලු කෝවිඩ්-19 ආසාදිත රෝගීන්ගෙන් පිරී ඉතිරී යමින් තිබෙන අතර රෝගීන් නිවෙස් තුල හා වාහන තුල මිය යන කොන්දේසි නිර්මානය කර ඇත. දැනට රට තුල 16,000ට අධික කෝවිඩ්-19 රෝගීන් ප්‍රතිකාර ලබන අතර අවම පරීක්ෂා යටතේ පවා දිනකට දෙදහසට ආසන්නව රෝගීන් වාර්තාවේ. නිල සංඛ්‍යාලේඛන අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 121,000ද, මරන සංඛ්‍යාව 760 ද ඉක්මවා තිබේ.

වසංගතය මේ සා සීඝ්‍රයෙන් පැතිරෙද්දී, රට පූර්න අගුලු දැමීමකට යටත් කොට අත්‍යවශ්‍ය සේවා පමනක් පවත්වා ගෙන යන අතරේ, ජීවනෝපාය අහිමිවන්නන්ට ආධාර සපයමින් ජීවිත රැක ගැනීම අනිවාර්ය වෙයි. නමුත්, ලෝකයේ අනෙකුත් පාලන තන්ත්‍ර මෙන්ම මිනිස් ජීවිත වලට ඉහලින් මහා ව්‍යාපාරිකයන්ගේ ලාභය තැබීමේ පිලිවෙත අනුයන ජනාධිපති රාජපක්ෂ, එවන් වැඩපිලිවෙලක් මුලුමනින්ම ප්‍රතික්ෂේප කරයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන්ගේ උද්ඝෝෂනයක්

රෝගය සමග ඉදිරි පෙල සිට සටන් වදින සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන්ට මෙමගින් අත් කර දී ඇත්තේ අතිශය ආතති සහගත භයානක වාතාවරනයකි. 

ලාභය මුල්කරගත් ධනපති ක්‍රමයට සහ ධනපති ආන්ඩුවලට එරෙහි කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන සටනකින් තොරව මෙම විනාශකාරී කොන්දේසි පරාජය කල නොහැක. එවන් සටනක් දියත් කිරීම සඳහා, ධනපති ක්‍රමයට තදින් බැඳුනු වෘත්තීය සමිති වලින් ස්වාධීනවූ කම්කරු ක්‍රියාකාරී කමිටු සෑම වැඩපොලකම, නිවස්නා ප්‍රදේශයකම ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය වෙයි.  

ඒ අනුව, රෝහල් තුල සියලු ශ්‍රේනි නියෝජනය වන පරිදි කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීමට සෞඛ්‍ය කම්කරුවන් පෙරට පැමිනිය යුතුය. කම්කරු ක්‍රියාකාරී කමිටු වල ජාත්‍යන්තර ජාලයක් ගොඩ නගමින් ආන්ඩුවල ජන ඝාතක ක්‍රියා කලාපය පරාජය කිරීමට කම්කරු පන්තිය ප්‍රමුඛ පීඩිත ජනතාවගේ ශක්තිය බලමුලු ගැන්වීම දැවෙන අවශ්‍යතාවයයි. 

ඉන්දියාව, ඇමරිකාව හා බ්‍රසීලය වැනි රටවල කොවිඩ් ආසාදිතයින් මිලියන ගනනින් ඉහල යාමට සහ රෝහල් පද්ධතීන් පිරී ඉතිරී යමින් දිනකට දහස් ගනනින් මිය යාමට කොන්දේසි සකසනු ලැබූ මිනීමරු ආන්ඩුවල සාපරාධී පිලිවෙත් වලට එරෙහිව, එම රටවල සෞඛ්‍ය සේවකයන් දැනටමත් අරඹා ඇති සටන්, ලංකාව ද ඇතුලු ලොවපුරා විසිරී සිටින ලක්ෂ සංඛ්‍යාත සෞඛ්‍ය සේවකයන්ට පූර්වාදර්ශය සහ අධිෂ්ඨානය සම්පාදනය කරයි. 

ඇමරිකාවේ මැසචුසෙට්ස්හි ටෙනට් හෙල්ත්කෙයාර් නමැති මහා ව්‍යාපාරයට අයත් සාන්ත වින්සන්ට් රෝහලේ හෙදියන් 700කට වැඩි ප්‍රමානයක් මාස දෙකක පමන කලක් වැඩ වර්ජනය කරමින් සිටින්නේ සෞඛ්‍ය සේවක හිඟය නිසා තමන්ට මෙන්ම රෝගීන්ටද අත් කර දී ඇති භයානක මරනීය තත්වයන්ට එරෙහිවය. 

ලොව ධනවත්ම හා බලවත්ම රට වන එක්සත් ජනපද තුල මහා ව්‍යාපාරික බිලියනපතියන්, වසංගතය මධ්‍යයේදී පවා ඩොලර් ප්‍රකෝටි ගනනින් කඳු ගසා ගනිද්දී සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව හා වැටුප් දීමනා සඳහා මුදල් නැතැයි කියන එරට  ආන්ඩුව, දැනට ලක්ෂ හය ඉක්මවා ගොස් ඇති වසංගත මරන වලට ඉඩ සලසා ඇත. 

ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට 2021 සඳහා වෙන් කරන මුදල 2019 වසරට වඩා රුපියල් බිලියන 28කින් කප්පාදු කල රාජපක්ෂ ආන්ඩුව කම්කරු දුගී ජනයාට එරෙහිව පොලිස් - මිලිටරි යාන්ත්‍රනය වර්ධනය කිරීම සඳහා ප්‍රතිපාදන ඉහල දැමීය. මහා ව්‍යාපාරයන්ට, අවම වශයෙන් රුපියල් බිලියන 230ක් පසුගිය වසර තුල පොම්ප කලේය.

වසංගතය සඳහා සොයා ගත් එන්නත් මහ ජනයා වෙත වහා ලබා දීම සඳහාත්, වේගයෙන් වැඩිවන රෝගීන් ප්‍රමානයට සරිලන සේ රෝහල් පද්ධතිය පුලුල් කිරීම සඳහාත් ආන්ඩුව දැක්වූයේ අවම ප්‍රතිචාරයකි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පැවසූ ලෙස, මරන සියයට 55 කින්ද, පැතිරීම සියයට 50 කින්ද ඉහල බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය ලංකාවේ පැතිරෙන බව හඳුනාගෙන වගකිවයුතු අංශවලට දන්වා ඇත්තේ පසුගිය අප්‍රේල් 8 වැනිදාය.

වයස අවුරුදු තිස් ගනන්වල තරුනයන්ද කොවිඩ් රෝගයෙන් මරනයට පත්වීම දැන් වාර්තා වෙමින් තිබේ. රෝගයේ ශීඝ්‍ර පැතිරීම වැලැක්වීම සඳහා අගුලු දැමීමේ දැවෙන වුවමනාව පෙන්වන ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලංකාවේ ඔක්සිජන් නිෂ්පාදනය, ප්‍රවාහනය හා ගබඩා කිරීම ප්‍රමානවත් නොවීම නිසා ඉන්දියාවේ මෙන්ම රෝගීන් මහමගදී සහ රෝහල් තුල මිය යා හැකි තත්වය පිලිබඳ අනතුරු අඟවයි.

එමෙන්ම, කෑගල්ල රෝහලේ  ක්ෂුද්‍ර ජීවී විද්‍යාව පිලිබඳ විශේෂඥ වෛද්‍ය මුදිත අබේකෝන් පවසන්නේ, රෝහල් පිරී ඉතිරී ඇති නිසා මේ මොහොතේ රට මාසයකට හෝ අගුලු දැමීම හැර තත්වය පාලනය කිරීමට කිසිම ක්‍රමවේදයක් නැති බවයි. 

ප්‍රධාන කෝවිඩ් රෝහල වන අංගොඩ බෝවන රෝග සඳහා වූ රෝහල, වෙනත් රෝග සහිත කොරෝනා වැලඳුනු රට පුරා රෝගීන්ට ප්‍රතිකාර කරන හෝමාගම විශේෂිත කෝවිඩ් රෝහලේ ලමා වාට්ටුව හා අවදානම් වැඩි රෝගීන්ට ප්‍රතිකාර කරන ඒකකය, මෑතදී ප්‍රධාන කොවිඩ් රෝහලක් ලෙස නම්කර ඇති තෙල්දෙනිය රෝහල, පැනිදෙනියේ ඇති කොරෝනා වැලඳුනු ගැහැනු රෝගීන් සඳහා වූ  ඒ්කකය සහ කරන්දෙනිය දිසා රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒ්කකය ආදිය මේවනවිට රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොසිනි. 

ඇතුලත් කරන රෝගීන්ගෙන් බොහොමයකට ඔක්සිජන් අත්‍යාවශ්‍ය වන නමුත් සමහර රෝහල්වල එය සිදු කෙරෙන්නේ, එක් රෝගියෙකුගේ සැපයුම ඉවත් කර අනෙකාට ලබාදෙන අයුරින් මාරුවෙන් මාරුවට බව වාර්තාවේ. දැඩි සත්කාර ඒකක සියල්ල රෝගීන්ගෙන් පිරී ඇත. මෙම රෝහල්වල පවතින කාර්ය මන්ඩල හිඟය නිසා සේවක සේවිකාවන් මුහුන දෙන්නේ අතිශය අසීරු තත්වයකටය.

තත්වය මෙසේ වුවද, රටේ විවිධ ප්‍රදේශ වලින් රෝගීන් එවීමට ඇඳන් තිබේ දැයි විමසමින් උදේ පාන්දර සිට රාත්‍රී වන තෙක්ම මිනිත්තු දෙකෙන් දෙකට මෙම රෝහල් වලට ඇමතුම් ලැබෙන බව ඒ්වායේ සේවකයෝ පවසති.

කෝවිඩ් රෝගය සඳහා වූ රෝහල් පිරී ඉතිරී ඇති බැවින් සමහර රෝහල් වල කොරෝනා රෝගීන් නිවෙස්වලට ආපසු යවා ඇති බව වාර්තාවේ. සෞඛ්‍ය අංශයේ අන නොතකා, ප්‍රවාහන ඇමති ගාමිනී ලොකුගේ කල මැදිහත්වීමකින් අගුලු දැමීම ඉවත් කෙරුනු පිලියන්දල සෞඛ්‍ය බල ප්‍රදේශයේ රෝගීන් සියයක් පමන රෝහල් ප්‍රවේශය හා ගිලන් රථ පමාව නිසා නිවෙස් වල රැඳී සිටින බව වාර්තා විය. 

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සමිතියේ සභාපති උපුල් රෝහනට අනුව විශාල සංඛ්‍යාවක් රෝගීන් නිවෙස්වල රඳවා ඇති අතර ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සැපයීම හා මධ්‍යස්ථාන වලට යොමු කිරීම ගැටලු සහගත වී ඇති අතර එය මහජන පරීක්ෂකවරුන්ගේ ජීවිතවලට ද තර්ජනයක් වී ඇත. රට  අගුලු දැමීම  හැර විකල්පයක් නැති බව ඔහු පවසයි.

පේරාදෙනිය ශික්ෂන රෝහලේ හා මහනුවර රෝහලේ රෝගීන් කෝවිඩ් රෝහලකට මාරු කර යවන තෙක්  තබා ගන්නා තාවකාලික කොවිඩ් වාට්ටුද පිරී ඉතිරී ගොසිනි. තවදුරටත් රෝගීන් පැමිනිය හොත් එම රෝගීන් නිවෙස් වලට යැවීමට සිදුවන බව රෝහලේ වෛද්‍යවරු පවසති. සමහර රෝගීන් පූනානි වලට සහ උඳුගොඩ කොරෝනා මධ්‍යස්ථාන වලට යවා තිබේ.

වතුපිටිවල රෝහලේ සෞඛ්‍ය සේවකයෙකු පැවසුවේ, වතුපිටිවල යොවුන් සේනාංක මධ්‍යස්ථානය කොරෝනා රෝගීන් නවතා තබන ස්ථානයක් බවට පත් කර ඇති නමුත් එහි ඇති ඇඳන් 143ක රෝගීන් 150-200 අතර ප්‍රමානයක් රඳවා තබන බවයි. තම රෝහලේ සේවකයන්හට එම ස්ථානයේද සේවය කිරීමට සිදුව ඇති බවද, රෝගීන් වැඩි වන විට වරින් වර මෙහි සිට යාපනය ප්‍රදේශයේ ඇති කොරෝනා මධ්‍යස්ථානවලට රෝගීන් පිටත්කර හරින බව ද ඔහු පැවසීය.  

මේ ලෙස තත්වය උග්‍ර වන තතු තුල මහා ව්‍යාපාරිකයන් විසින් දිනකට රු.17,000.00ක් අයකරමින් හෝටල් කාමර රෝගීන්ට විකිනීමේ ජාවාරමක් ක්‍රියාත්මක කර තිබේ.

පවතින රෝහල්වල වාට්ටු, කුඩා රෝහල්, රෝහල් නොවන වෙනත් ගොඩනැගිලි ආදිය කෝවිඩ් වාට්ටු, කෝවිඩ් රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පරිවර්තනය කිරීමේ පැලැස්තර සැලසුමක් ආන්ඩුව සූදානම් කරමින් සිටියි. උදාහරන ලෙස පේරාදෙනිය රෝහලේ 18 වාට්ටුව, කටුගස්තොට ප්‍රාදේශීය රෝහල, මධ්‍යම පලාතේ අටබාගේ රෝහල, ගම්පහ වැරැල්ලවත්තේ අතහැර දමා ඇති ඇඟලුම් කම්හලක්, පුත්තලමේ මදුරන්කුලියේ අධ්‍යාපන ආයතනයක් කොරෝනා රෝගීන් සඳහා සූදානම් කරමින් පවතී. 

නමුත් මේවායේ සේවය සඳහා යෙදවීමට ඇත්තේ දැනට සිටින සීමිත සෞඛ්‍ය කාර්යය මන්ඩලයම බැවින් මේ වන විටත් දුෂ්කර සහ අධික වැඩ වලින් හෙම්බත් වී සිටින සෞඛ්‍ය කම්කරුවන්ට දැරිය නොහැකි දුෂ්කර කොන්දේසි නිර්මානය වෙමින් පවතී. 

ගොඩනැඟිලි කිහිපයක් හැරුනු විට කිසිදු මානව සම්පත් හෝ සැලකිය යුතු ලෙස භෞතික සම්පත් වැඩි කිරීමට ආන්ඩුව මුලුමනින්ම අසමත් වී ඇත. එබැවින් රෝගීන් සංඛ්‍යාව වැඩි වීමත් සමග මරන සංඛ්‍යාවද සීග්‍රයෙන් වැඩි වීමට නියමිතය. 

සමස්ත සෞඛ්‍ය කාර්යය මන්ඩලයම දැවැන්ත අර්බුදයකට මුහුන පා සිටින නමුත් සියලු සෞඛ්‍ය වෘත්තීය සමිති සම්පූර්නයෙන්ම තම සාමාජිකයන්ට පස්ස හරවමින් ආන්ඩුවේ වැඩපිලිවෙලට කර බදු වී ඇත.

මහා ව්‍යාපාරයන්ට අවශ්‍ය පරිදි රට විවෘතව තැබීමේ ආන්ඩුවේ පිලිවෙත අප්‍රේල් 24 දා ජනාධිපති රාජපක්ෂ විසින් කුහක ලෙස පැහැදිලි කෙරුනේ “කොවිඩ් උවදුරට විසඳුමක් ලෙස රට යම් කාලයකට වසා දැමීම” වනාහි “ජන ජීවිතයට හා ආර්ථිකයට අතිශය හානිකර බලපෑම් ඇති කරවන ක්‍රියාදාමයක්” ලෙසය. 

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කලේ “වසංගතයෙන් නොව අගුලු දැමීමෙන් රට බේරා ගත යුතු” බවයි. අද එරට දහස් ගනන් කෝවිඩ් රෝගීන් මියයමින් තිබෙන්නේ මෙම සාපරාධී ධනපති මූලෝපායේ විසකුරු බව කරන කොට ගෙනය. 

ලංකාවද මෙම දරුනු තත්වය කරා වේගයෙන් ලුහුටා යමින් පවතින බැවින්, වහාම වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය සේවක සේවිකාවන් තම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් ධනපති ආන්ඩුවේ මිනීමරු පිලිවෙත පරාජය කිරීමේ සටනට මූලිකත්වය ගත යුතු බව සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව අවධාරනය කරයි. අපි ඔබට ඒ සඳහා සහාය වන්නෙමු. 

අප සමග සම්බන්ධ වියහැකි; ඊ මේල්: healthworkers-sl@wsws.org දුරකථන සහ කෙටි පනිවිඩ: 0773562327

Loading