[පහත පලවන්නේ මාර්තු 27 දින US-backed UNHRC resolution puts Sri Lanka on notice යන මාතෘකාවෙන් පලවූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]
මාර්තු 23 දින ලංකාව පිලිබඳ නව යෝජනාවක් සම්මත කල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (යූඑන්එච්ආර්සී), රට තුල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් අධීක්ෂනය කරන ලෙස මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස් කාර්යාලයෙන් (ඕඑච්සීඑච්ආර්) ඉල්ලා සිටියේය.
යෝජනාව ඉදිරිපත් කලේ, එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනීග්‍රෝ හා මලාවි රාජ්‍යය යන රටවල්වලින් සැදුම්ලත් යූඑන්එච්ආර්සීය තුල ක්‍රියා කරන “ශ්‍රී ලංකාව පිලිබඳ ප්‍රමුඛ කන්ඩායම” විසිනි. එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව තමන් එම යෝජනාවේ සම-අනුග්‍රාහකයෙක් බව ප්‍රකාශ කලේ ය.
“ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් දිරිමත් කිරීම” නමැති මෙම යෝජනාවේ අරමුන වන්නේ, චීනය සමග සබඳතා බිඳ දමා වොෂින්ටනයේ චීනයට එරෙහි මිලිටරි-මූලෝපායික සූදානම්වීම් සමග ක්‍රියාශීලී ව ඒකාග්‍ර වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවට බලපෑම් කිරීමයි. යෝජනාවට පක්ෂ ව රටවල් 22ක් ද විපක්ෂ ව රටවල් 11ක් ද ඡන්දය දුන් අතර, රටවල් 14ක් ඡන්දය දීමෙන් වැලකී සිටිය හ.
ජනාධිපති රාජපක්ෂ ද ඇතුලු ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නායකයෝ, යෝජනාවට විරුද්ධ වන ලෙස යූඑන්එච්ආර්සී සාමාජිකයන්ට බරපතල ආයාචනයක් කලහ. අනෙක් අතට, කොලඹට ලැබෙන සහයෝගය අඩු කොට එය හුදකලා කිරීම සඳහා එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය තීව්‍ර ලෙස උද්ඝෝෂනයක් කල හ. මේ හා සමාන යූඑන්එච්ආර්සී යෝජනාවන් ලංකාවට එරෙහි ව ඉදිරිපත් කල තැන් පටන්, කොලඹ ආන්ඩුවට පක්ෂව අඩු ම ඡන්ද සංඛ්‍යාවක් ලැබුනේ මෙවර බව මාධ්‍ය වාර්තා කලේ ය.
බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි ලේවැකි යුද්ධය අවසන් කිරීමෙන් සතියකට පසු 2009 වසරේ ඉදිරිපත් කෙරුනු යෝජනාවකට පිටුබලය දුන් වොෂින්ටනය, 2012 හා 2017 අතර කාලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ සියලු යූඑන්එච්ආර්සී යෝජනාවලට අනුග්‍රහය දැක්වී ය.
මේ සතියේ ඉදිරිපත් කරන ලද කරුනු 16කින් යුත් යෝජනාව, බලය බෙදීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත “විමර්ශනය” කිරීම, වගවීම, ආගමික නිදහසට ගරු කිරීම හා මානව හිමිකම් රකින්නන් ආරක්ෂා කිරීම සඳහා කැඳවුම් කලේ ය. සිවිල් ආන්ඩුව මිලිටරීකරනය කිරීම පිලිබඳ උත්සුකතා ද එමගින් ප්‍රකාශයට පත් විය.
යෝජනාව සූත්‍රගත කිරීමේදී, එහි අනුග්‍රාහක රටවල් කොලඹ ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරයන් නරුම ලෙස ගසා කා ඇත. වගවීම යනු යුද්ධයේ අවසන් මාස කිහිපයේ දී අඩුම වසයෙන් යටත්වූ එල්ටීටීඊ නායකයන් ඇතුලු සිවිල් වැසියන් 40,000ක් පමන මරා දැමීම සහ තවත් අපරාධ පිලිබඳ සඳහනකි. හමුදාවට යටත් වීමෙන් අනතුරු ව අතුරුදන් වුනු තරුනයන් සිය ගනනක් පිලිබඳ තොරතුරු සම්පාදනය කරන ලෙස ඉල්ලමින් දෙමල ජනයා දිගටම උද්ඝෝෂනය කරති.
මෑත මාස කිහිපයේ දී, රාජපක්ෂ පාලන තන්ත්‍රය ඉස්ලාම්-විරෝධී ප්‍රචාර අවුලුවන අතර කොවිඩ්-19 වසංගතයෙන් මියගිය මුස්ලිම්වරුන් බලහත්කාරයෙන් ආදාහනය කිරීම නිසා එම ප්‍රජාවගේ විරුද්ධත්වයට මුහුන දී සිටී. විශ්‍රාමික ජනරාල්වරුන් ආන්ඩුවේ මූලික තනතුරුවලට පත් කිරීම මගින්, ඔහුගේ පරිපාලනය මිලිටරීකරනය ද උත්සන්න කොට ඇත.
“ශ්‍රී ලංකාව තුල සිදුවන, බරපතල මානව හිමිකම් උල්ලංඝනයන්ට හෝ ජාත්‍යන්තර මානව නීති බරපතල ලෙස උල්ලංඝනය කිරීම්වලට ගොදුරු වන්නන්ට හා දිවි ගලවාගත් පුද්ගලයන්ට උපදෙස් දීම සඳහා අනාගත වගවීමේ ක්‍රියා දාමයන් පිලිබඳ භව්‍ය මූලෝපායන් වර්ධනය කරන ලෙසත් සාමාජික රටවල අධිකරන කටයුතු ද ඇතුලු අදාල අධිකරනමය හා අනෙකුත් ක්‍රියාවලීන්වලට උපකාරී වනසේ තොරතුරු හා සාක්ෂි එක්රැස් කොට, සම්පින්ඩනය කර, විශ්ලේෂනයට බඳුන් කර සංරක්ෂනය” කරන ලෙසත් යෝජනාව ඕඑච්සීඑච්ආර් වෙතින් ඉල්ලා සිටී.
මාධ්‍ය වාර්තාවන්ට අනුව, “අනාගත වගවීමේ ක්‍රියා දාමයන්වලට” අදාල දත්ත ගොනුවක් ස්ථාපිත කිරීම සඳහා මාස 18ක කාලයක් පුරා එක්සත් ජනපද ඩොලර් මිලියන 2.8ක් වැයවනු ඇත. නීති උපදේශකයන් තිදෙනෙක්, විශ්ලේෂකයන් දෙදෙනෙක්, විමර්ශකයන් දෙදෙනෙක් හා මානව හිමිකම් නිලධාරීන් ඇතුලු පුද්ගලයන් 12කු ගෙන් එම මන්ඩලය සමන්විත වනු ඇත. මෙසේ ලංකාව තුලට ජාත්‍යන්තර මැදිහත්වීමක් සඳහා සුවිශේෂී පියවරයන් ගැනීමට යූඑන්එච්ආර්සී යෝජනාවකින් සැලසුම් සටහනක් ඉදිරිපත් කොට ඇති පලමු වතාව යි.
යූඑන්එච්ආර්සී යෝජනාවේ අනුග්‍රාහකයන් යුද අපරාධ, ප්‍රජාතන්ත්‍ර අයිතීන් මැඩීම හා ආන්ඩුව මිලිටරීකරනය කිරීම පිලිබඳ ව දක්වන උත්සුකයන් අත්‍යන්තයෙන් ම කුහක ය.
පසුගිය දශක තුන තුල පමනක්, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව හා ජර්මනිය, ජනයා ලක්ෂ ගනන් මරා දමමින් හා ගනන් නැති යුද අපරාධ සිදුකරමින් නව-විජිතවාදී මිලිටරි මැදිහත්වීම් දියත් කර ඇත.
මෙම අධිරාජ්‍යවාදී රටවල පාලක ප්‍රභූන් කොවිඩ්-19 වසංගතය විසින් අවුලුවාලන ලද ආර්ථික හා සමාජ අර්බුදයට ප්‍රතිචාර දක්වා ඇත්තේ අන්ත-දක්ෂිනාංශික හා ෆැසිස්ට්වාදී බලවේග දිරිමත් කරමිනි. මෙම අන්ත-දක්ෂිනාංශික හැරීම්වල තියුනු ප්‍රකාශනයක් වූයේ, ජනවාරි 6දා වොෂින්ටනය තුල ට්‍රම්ප්ගේ නායකත්වයෙන් සිදුකල ෆැසිස්ට්වාදී කුමන්ත්‍රන ප්‍රයත්නය යි.
යුද අපරාධ හෙලිදරව් කිරීම හෝ මානව හිමිකම් රැකීම සමග කවර හෝ සම්බන්ධයක් නැති යූඑන්එච්ආර්සී යෝජනාවෙන් ප්‍රකාශයට පත්වන්නේ බෙයිජිනය සමග පවත්වාගෙන යන සබඳතා නතර කරන ලෙස කොලඹට අනතුරු ඇඟවීම මගින්, කලාපය තුල බෙයිජිනයේ ආනුභාවයට වලකැපීමට එක්සත් ජනපදය දරන තීව්‍ර ප්‍රයත්නයයි.
රාජපක්ෂ ආන්ඩුව මූල්‍යාධාර පතා වඩ වඩා බෙයිජිනය මත වාරුවීම ගැන එක්සත් ජනපදය හා එහි මූලෝපායික සගයා වන ඉන්දියාව කනස්සලු වේ. නය පැහැර හැරීමේ අද්දරක මුදල් හිඟයන් පෙලෙමින් සිටින ආන්ඩුව, පසුගිය සතියේ චීන මහජන බැංකුවෙන් ඩොලර් බිලියන 1.5ක හුවමාරු නයක් ලබාගත්තේ, ඇදවැටෙන විදේශ සංචිත පුම්බාගැනීමට ය.
වත්මන් ජනාධිපතිගේ සහෝදරයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහි ව, 2015 දී වොෂින්ටනය තන්ත්‍ර-මාරු මෙහෙයුමක් ක්‍රියාවට දැමුවේය. එම තන්ත්‍ර මරු මෙහෙයුම සිදු කලේ, යූඑන්එච්ආර්සීයේ දී ඉදිරිපත් කරන ලද “මානව හිමිකම්” යෝජනා ගනනාවක් මගින් බෙයිජිනයෙන් ඈත්වන ලෙසට කොලඹ ආන්ඩුව පොලඹවා ගැනීමට අසමත් වීමෙන් පසු ය.
වොෂින්ටනයේ දේශපාලන උපාමාරු ගැන දැනුවත් බෙයිජිනය, පසුගිය සතියේ ශ්‍රී ලංකාවට එරෙහි යූඑන්එච්ආර්සී යෝජනාවට විරුද්ධ ව උද්ඝෝෂනය කලේ ය. යෝජනාවට විරුද්ධ වන ලෙස යූඑන්එච්ආර්සී සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටි ජිනීවාහි චීනයේ නියෝජිතයා, “මානව හිමිකම් දේශපාලනීකරනය කිරීම හා දෙබිඩි ප්‍රතිපත්තිය” හෙලාදුටුවේ ය. “අව්‍යාජ සංවාදය හා සහයෝගය හරහා මානව හිමිකම් දිරිමත් කොට ආරක්ෂා කරන” ලෙසත්, අනෙක් රටවල “ස්වෛරීභාවයට හා නිදහසට ගරු කරන” ලෙසත්, ඔහු යූඑන්එච්ආර්සීයට කියා සිටියේය.
යෝජනාවට විරුද්ධ වන ලෙස ආයාචනා කරමින් ජනාධිපති රාජපක්ෂ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට කතා කලේ ය. එහෙත් ඉන්දියාව යූඑන්එච්ආර්සී හිදී ඡන්දය දීමෙන් වැලකී සිටියේ ය. බලය බෙදාගැනීමේ සම්මුතියක් සඳහා කොලඹ මත පීඩනය යොදමින් සිටින ශ්‍රී ලංකාවේ දෙමල ජාතිකවාදී පක්ෂ සමග නව දිල්ලිය සමීප සබඳතාවක් පවත්වාගෙන යයි.
“දෙමල ප්‍රජාවේ අභිලාෂයන්ට ආමන්ත්‍රනය කොට ... සියලු පුරවැසියන්ගේ මූලික නිදහස හා මානව හිමිකම් සුරක්ෂිත කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව සමග නිර්මානාත්මක ව ක්‍රියා කරන්න” යයි ජිනීවාහි ඉන්දියාවේ නියෝජිත පවන්කුමාර් බාධි කොලඹ පාලනයෙන් ඉල්ලා සිටියේ ය.
බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව ඇමතූ ශ්‍රී ලංකා විදේශ ඇමති දිනේශ් ගුනවර්ධන හාස්‍යජනක ලෙස ප්‍රකාශ කලේ “රට තුල සාමය, සංහිඳියාව හා ආර්ථික සංවර්ධනය පවත්වාගෙන යාමේ උත්සාහයන්ට” මෙම යෝජනාව “අනර්ථකාරී ලෙස බලපාන” බවයි.
කොලඹ ආන්ඩුව වොෂින්ටනයේ යෝධ පීඩනයක් යටතේ පවතින බව දැනුවත් ඔහු “එක්සත් ජාතීන් හා එහි ආයතන සමග, එම සහයෝගීතාවේ ජීවගුනයෙන් යුතුව ලංකාව අඛන්ඩ ව හා ක්‍රියාශීලිව කටයුතු කරන බව” අවධාරනය කලේ ය.
යූඑන්එච්ආර්සී යෝජනාව සම්මත වීමට හේතුව “ආන්ඩුව රටෙහි විවිධ ප්‍රජාවන් අතර අසමගිය හා අවිශ්වාසයට හේතුවන ප්‍රතිපත්ති අනුගමනය කිරීම” බව ප්‍රධාන විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගයේ (සජබ) නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී කීවේ ය. ප්‍රේමදාස ඒ හුස්මට ම කියාගෙන ගියේ “දේශීය යාන්ත්‍රනයක් ඉදිරියට ගැනීම සඳහා ආන්ඩුවට උදව් කිරීමට තම පක්ෂය කැමති” බවයි.
ආන්ඩුව “දුෂ්ට හා ආඥාදායක බලය සඳහා රට පාවා දී ඇත” යි ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායකයෙකු වන බිමල් රත්නායක කීවේ ය. “උඩඟුකම පසෙක තබා දැන් වත් අපි අපේ අත්වැරදි පිලිගත යුතු යි. මානව හිමිකම්වලට ගරු කරන ලෙස, 20වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන ලෙස හා මිලිටරීකරනය නවත්වන ලෙස අපි ආන්ඩුවට බල කරනවා, එවිට ඊලඟ වතාවේ දී අපට යූඑන්එච්ආර්සීයේ දී ජයගත හැකි වේවි.”
යූඑන්එච්ආර්සී යෝජනාවට යටින් දිවෙන භූ-මූලෝපායික ප්‍රශ්න මෙම සංවිධාන විසින් යලි යලිත් යටගසා ඇත. කලින් එක්සත් ජාතික පක්ෂයේ සිටි සජබ නායකත්වය සහ ජවිපෙ යුද්ධයට මුලුමනින් පිටුබලය දෙමින්, මිලිටරිය යුද අපරාධ කර ඇතැයි යන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරති. රාජපක්ෂගේ පාලක පක්ෂය මෙන් ඔවුන් ද මිලිටරිය මත පදනම් වන අතර, සමාජ ආතතීන්ගේ මහා පරිමාන පුපුරා යාමකට එරෙහි ව පාලක ප්‍රභූව ආරක්ෂා කිරීම සඳහා එය අවශ්‍ය බව දනී.
මෙම යෝජනාව හුදෙක් ශ්‍රී ලංකාව පිලිබඳව ඉදිරිපත්වූ එකක් නොවේ. එය වනාහි, චීනයට එරෙහි ව මිලිටරි මෙහෙයුම් සූදානම් කිරීමේ දී, එක්සත් ජනපදය එහි සගයන් මත යොදමින් සිටින තීව්‍රතර පීඩනය පෙන්නුම් කරයි. න්‍යෂ්ටික ව සන්නද්ධ මෙම ජාතීන් දෙක අතර යුද්ධයක්, ව්‍යසනකාරී ගෝලීය වහ්නි ජාලයක් බවට ක්ෂනික ව පුපුරා යනු ඇත.